පුරාණ ශ්‍රී ලංකාවේ මුදල්

විකිපීඩියා වෙතින්

පුරාණ ශ්‍රී ලංකාවේ මුදල් භාවිතය සම්බන්ධ තොරතුරු විවිධ ඉතිහාසමය, අාගමික, සංස්කෘතික හා පුරාවිද්‍යා යන මූලාශ්‍රයන්හී දැකගත හැකි වන මුත්, එහි නිශ්චිත අාරම්භය සිදුවූවේ කවදා කොතැනද යන්න අවිනිශ්චිත වේ. එසේම මෙරට පැරණි මුදල් සම්බන්ධ වෙළඳ කටයුතු සඳහා ඉන්දීය වෙළඳුන්ගේ බලපෑම් බහුලව යෙදෙන්නට අැතැයි විශ්වාස කෙරේ.

කහපණ[සංස්කරණය]

මෙරට මුදල් භාවිතය සම්බන්ධ පැරණිම තොරතුර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාම්පිට විහාරයේ වූ ශිලා ලිපියක දැකගත හැකිවේ. ක්‍රි. පූ. 3 වන සියවසට පමණ අයත් යැයි විශ්වාස කෙරෙන එම සෙල්ලිපියෙහි කහපණ, කර්ශපාන යන වචන වලින් දක්වා අැත්තේ එකල භාවිතාවේ යෙදෙන්නට වූ මුදල් විශේෂයන් වන්නට අැති බව විශ්වාස කෙරේ. එසේම විල්ගම්මුල හිමියන් විසින් රචිත සිංහල බෝධි වංශයෙහි කර්ශපාන යනුවෙන් භාවිත වූ කිසියම් මුදල් ඒකකයක් සම්බන්ධව සඳහන් කොට තිබේ.

කහවනු[සංස්කරණය]

මහානාම හිමියන් විසින් රචිත මහා වංශයෙහි මුදල් සම්බන්ධව සඳහන් වන පළමු විස්තරයෙහි එකල භාවිතයට ගන්නා ලද මුදල් ප්‍රමාණ පිළිබඳ තොරතුරු දක්වා අැති මුත් එම මුදල් හැඳින්වීමට භාවිතා කල නාමය කුමක්ද යන්න දක්වා නොතිබේ. කෙසේ නමුදු එම පළමු විස්තරයෙන් අනතුරුව මහා වංශය තුල මුදල් සම්බන්ධ විස්තර සඳහන් වන ස්ථානයන්හී එම ගණුදෙනුවට අදාල මුදල් වල නාමය කුමක්ද යන්න සඳහන් කොට තිබේ. වරක ගමන් ගත් රථයෙහි රෝදයක් සෑගිරියෙහි වූ සෑ කොණක වැදීමෙන් හානියට ලක්වූ අතර එය පිළිසකර කිරීමට එළාර රජු කහවනු පහලොස් දහසක් යෙදවූ බව මහා වංශයෙහි දක්වා තිබේ. එසේම දුටුගැමුණු රජු ලෝවාමහාපාය ඉදිකිරීම අාරම්භ කල අවස්ථාවේ එහි දොරටු සතරෙහි කහවනු අට ලක්ෂය බැගින් තැම්පත් කරනූ බවටද එහි තොරතුරු දක්වා තිබේ.

සහස්සවත්ථුප්පකරණයෙහි දක්වා අැති කතා වස්තූන් ද්විත්වයක සඳහන් පරිදි කාවන්තිස්ස රජ සමයේ නන්දිමිත්‍ර යෝධයා විසින් කහවනු තුනක් වැය කොට මුවමස් ලබා ගත් අයුරුත්, සද්ධාතිස්ස රජ සමයේ වාසය කල අඹුසැමි යුවලක් කහවනු අටක් ගෙවා එළදෙනක් මිලදී ගත් බවත් දක්වා තිබේ. අනුරාධපුර යුගයේ සිට භාවිතා කරන්නට ලදුව වර්ථමානයේ සොයාගෙන අැති කාසි වලට අනූව කහවනුව රන්, රිදී, හා තඹ යන ලෝහයන්ගෙන් හා විවිධ සංකේතයන්ගෙන් යුතුව පැවතී තිබේ.

මහා වංශ ටීකාවට අනූව කහවනුව, හිරඤ්ඤ ලෙසද, පූජාවලියේ සඳහන් සිරි සඟබෝ සිදුවීම විස්තරයෙහි රන් ලෙසද හඳුන්වා දී තිබේ. විවිධ බෞද්ධ මූලාශ්‍රයන්ට අනූව නීලකහපන නම් වූ කහවනු විශේෂයක්ද පුරාණ ශ්‍රී ලංකාවේ භාවිතයේ පැවති බව පැවසයි.

රන්, රන්මසු, මසුරන්[සංස්කරණය]

බෞද්ධ ග්‍රන්ථ රාශියක සහ විවිධ රජවරුන් විසින් පිහිටුවන ලද ශිලා ලිපි රාශියක රන්, රන්මසු, සහ මසුරන් යනුවෙන් හඳුන්වන ලද මුදල් විශේෂයක් පිළිබඳව තොරතුරු සඳහන් වේ. සද්ධර්මරත්නාවලියෙහි දැක්වෙන පරිදි දීඝායු කුමරුන් පුණ්‍ය ක්‍රියා සිදුකිරීමෙන් අනතුරුව මසුරන් සියයක් හා තවත් දෑ බොහොමයක් ලද බැව් සඳහන් කොට තිබේ.

නික්ඛ[සංස්කරණය]

චූලවංශයට අනූව පළමු පරාක්‍රමභාහු රජු විසින් බුරුම රටින් අැතුන් ගෙන්වා ගැනීම පිණිස නික්ඛල නම් කාසි විශේෂයකින් ගෙවීම කල බව දැක්වේ. පොළොන්නරු යුගයේ රචිත අභිධානප්පිදීපිකාවෙහි නික්ඛ නම් වූ කාසි විශේෂයක් ගැන සඳහන් කොට තිබේ.

ලක්ෂ්මී තහඩු කාසි[සංස්කරණය]

ක්‍රි. පූ. 3 වන සියවසේ සිට ක්‍රි. ව. 8 වන සියවස දක්වා කාලය තුල වූ අනෙකුත් සමකාලීන මුදල් ඒකක සමග ලක්ෂ්මී තහඩු කාසී සංසරණයෙහි පැවතී අැත. කාසි වල මුහුණතෙහි ලක්ෂ්මී දේවියගේ යැයි සැළකෙන හිටි සහ හිඳි රූපයක් දක්නට ලැබෙන අතර ඉන් එක් වර්ගයක ලක්ෂ්මී දේවිය නෙළුම් මලක් මත සිටින අයුරුත් නෙළුම් මල දෙපසින් පැන නැගුණු නෙළුම් දඬු දෙකක් අතින් අල්ලා සිටින අයුරුත්. එම දඬු දෙකෙහි පිපුණු නෙළුම් මල් දෙකක් මත හොඬයෙන් පැන් කලයක් බැගින් දරා සිටින අැතුන් දෙදෙනෙකු විසින් ලක්ෂ්මී දේවිය ස්නානය කරවන අාකාරයත් දක්වා තිබේ. කාසියේ පිටුපස බෞද්ධ ස්වස්ථිකය දැකගත හැකි අතර ඉන් සමහර කාසිවල ස්වස්ථික සළකුණ දෙපත ගොනෙකුගේ හා පැන් කලයක රූප දක්වා තිබේ. මෙම කාසී අනුරාධපුරය, කදුරුගොඩ, වල්ලිපුර, මන්නාරම, හලාවත, සහ තිස්සමහාරාමය යන ප්‍රදේශයන්හීදී හමුවී තිබේ.

දඹදෙනි මස්ස[සංස්කරණය]

පොළොන්නරු යුගයේ නිකුත් කරන ලද මස්ස කාසිය, දඹදෙණි මස්ස නමින් හැඳින්වේ. අනුරපුර යුගයේ නිකුත් කෙරූ කහවනුවේ අැතුළත් මූලික රූප සටහන් ඒ අයුරින්ම දඹදෙනි මස්සෙහි දැකගත හැකිවේ. දෝතියක් වැනි අැඳුමකින් සැරසී දකුණු පස බලා සිටින මිනිස් රුවක් මෙම කාසි වල එක් පසක දැකගත හැකිවන අතර අනෙක් පසහී හිඳගෙන සිටිනා රුවක් දැකගත හැකිවේ. කාසිය දෙපැත්තෙහිම විවිධ සංකේත හා සළකුණු දක්නට අැත.

පොළොන්නරු යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා දඹදෙණි මස්ස හා සමාන කාසි වර්ග සුළු සුළු වෙනස්කම් සහිතව භාවිතයට ගෙන තිබේ. හයවන පරාක්‍රමබාහු රජු විසින් නිකුත් කෙරූ කාසියේ මුහුණත සිටගෙන සිටිනා මිනිස් රුවට දකුණු පසින් සිංහ රුවක් දක්වා අැත. පොළොන්නරු, දඹදෙනි, යාපහුව සහ කෝට්ටේ යුගය දක්වා භාවිතයට ගත් මෙම කාසි ශ්‍රී ලංකා වර්ගයේ කාසි සේ විස්තර කෙරේ. කෝට්ටේ යුගයේ භාවිත කල කාසි යාපනයේ තිබී සොයාගෙන අැති අතර, මීට හේතුව වී අැත්තේ සපුමල් කුමරු යාපනය ප්‍රදේශය පාලනය කිරීම යැයි විශ්වාස කෙරේ.

පණම[සංස්කරණය]

පුරාණ ශ්‍රී ලංකාවෙහි පණම නමින් කාසි විශේෂයක් භාවිතා වන්නට වූ බව පැරණි බෞද්ධ මූලාශ්‍රයන්ගේ සඳහන් කොට තිබේ. පණම නම් මුදල් විශේෂය ගම්පල යුගයේ භාවිත කෙරූ බවට ගඩලාදෙණිය, ලංකාතිලක පර්වත ලිපිවලත් නියම්ගම්පාය සෙල්ලිපියෙහිත් දක්වා ඇත.

විදෙස් කාසි[සංස්කරණය]

ශ්‍රී ලාංකික රජවරුන් විසින් නිකුත් කෙරූ කාසි වලට අමතරව විදෙස් පාලකයින් සහ විදෙස් වෙළෙන්දන් විසින් හඳුන්වාදෙනු ලැබූ කාසි වර්ග පිළිබඳ සාධකද මෙරටින් හමුව තිබේ. පොළොන්නරු යුගයේ මෙරට භාවිතා කරන ලද කාසි වර්ග අතර චෝල අධිරාජ්‍යයේ පළමුවන රාජ රාජ, පළමුවන රාජේන්ද්‍ර, සහ පළමුවන රාජාධිරාජ යන චෝල රජවරුන් විසින් නිකුත් කරන ලද කාසි හා පාණ්ඩ්‍ය රජවරුන් විසින් නිකුත් කරන ලද කාසි දැකගත හැකිවේ. එසේම චීනයේ සුං රාජ පෙළපතට අයත් කාසි හා අරාබි කාසිද එම යුගයේ භාවිතයට ගත් බැව් සාධක තිබේ.

සේතු කාසි[සංස්කරණය]

13 වන සියවසේ මැද සමයේ යාපනය තුල බලයට පත්ව සිටි අාර්ය චක්‍රවර්තීන් විසින් දඹදෙනි මස්ස අනුකරණය කරමින් තඹයෙන් නිර්මිත මෙම සේතු කාසී නිකුත් කරනු ලැබ තිබේ. ප්‍රධාන වශයෙන් මෙම කාසි වර්ග දෙකකට අයත් වේ. ඉන් එක් වර්ගයක කාසියේ මුහුණත් පස දඹදෙනි කාසියේ දැකගත හැකි අයුරින් මිනිස් රුව අැතුළු අනෙක් සළකුණු දක්වා අැති අතර කාසියේ පිටුපස සිටිනා මිනිස් රුව පසෙකින් දඹදෙනි කාසිවල දක්නට ලැබෙන නාගරී අක්ෂරයෙන් යුත් රාජ නාමය වෙනුවට දමිල අක්ෂරයෙන් සේතු යන්න දක්වා තිබේ.

මින් අනෙක් වර්ගයේ කාසියේ මුහුණත් පස දඹදෙනි කාසියේ දැක්වෙන පරිදි දකුණතින් පහණක් දරා සිටින සිටිනා මිනිස් රුව වෙනුවට තිශූලයක් දරා සිටින මිනිස් රුවක් දැකගත හැකිවේ. එසේම එහි පසුපිට දඹදෙනි කාසියේ දක්නට අැති මිනිස් රුව වෙනුවට ලැග හිඳින ගව රුවක් හා සේතු යන්න දමිල අක්ෂරයෙන් දක්වා තිබේ. මෙම කාසි විශේෂය නල්ලූර්, කෝපායී, නාගකෝවිල් හා මාම් කුලම් වැනි ප්‍රදේශ වලදී බහුල වශයෙන් හමුවී තිබේ.

ලාරින්[සංස්කරණය]

ලාරින් නැතහොත් අඟුටු මස්ස, කොකුමස්ස ලෙස ව්‍යවහාරයේ යෙදෙන මෙම කාසි, පර්සියාවේ මුහුදුබඩ නගරයක් වූ ලාරිස්තාන්හී නිපදවන්නක් වූ බැවින් එම නම යෙදී අැතැයි විශ්වාස කෙරේ. අඟල් හතරක පමණ රිදී කම්බි කැබලි දෙපැත්ත සමතලා වන සේ තලා දෙකට නැමීමෙන් මෙම කාසි විශේෂය නිර්මාණය කොට තිබේ. කාසිය දෙපැත්තෙහි මුස්ලිම් අාගමික පාඨයන් අරාබි අකුරින් සටහන් කොට අැත. මෙම අරාබි කාසි විශේෂය රට තුල ව්‍යාප්ත වී යාම හේතුවෙන් මහනුවර යුගයේ රජවරු ඒ අනුකරණයෙන් කාසි නිපදවා සංසරණයේ යෙදවූ බව අතීත ලේඛනයන්හී සඳහන් වේ. ශ්‍රී ලංකාව තුලදී තමන් ලැබූ අත්දැකීම් අැසුරින් රොබට් නොක්ස් විසින් රචිත කෘතියක මෙම කාසි පිළිබදව තොරතුරු දක්වා තිබේ.

අාශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • කාසියේ අසිරිය, ජී. ධම්මික ගුණරත්න, ISBN 978-955-51246-0-7, ප්‍රකාශනය-ශ්‍රී ලංකා මහ බැංකුව