නාගසාකි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
නාගසාකි
長崎市
මධ්‍ය නගරය
නාගසාකි නගරය
Nagasaki City view from Hamahira01s3.jpg
නාගසාකි දිස්ත්‍රික්කය තුල නාගසාකි නගරයේ පිහීටීම
නාගසාකි දිස්ත්‍රික්කය තුල නාගසාකි නගරයේ පිහීටීම
රට ජපානය
ප්‍රදේශය ක්යූශූ
දිස්ත්‍රික්කය නාගසාකි දිස්ත්‍රික්කය
රජය
 • නගරාධිපති ටෝමිහිසා ටාඋ (2007-)
සරිය
 • මුළු 406.35 කිමී2 (156.89 සතරැස් සැත)
 • භූමිය 241.20 කිමී2 (93.13 සතරැස් සැත)
 • ජලය 165.15 කිමී2 (63.76 සතරැස් සැත)
ජනගහණය(2009 ජනවාරි 1 දිනට)
 • මුළු 446,007
 • ඝණත්වය 1,100/කිමී2 (3,000/වර්ග සැත)
වේලා කලාප ජපාන සම්මත වේලාව (UTC+9)
තැපැල් කේතය 〒850-8685
- වෘක්ෂය Triadica sebifera
- පුෂ්පය Hydrangea
දුරකථන අංකය 095-825-5151
ලිපිනය 2-22 Sakura-machi, Nagasaki-shi, Nagasaki-ken
850-8685
වෙබ් අඩවිය city.nagasaki.lg.jp

නාගසාකි (長崎市 නගසකි-ශි?) (මෙම ශබ්දය පිළිබඳ උච්ඡාරණය ) යනු ජපානයේ නගරයක් වන අතර, එය ක්යූශූ දූපතේ පිහිටා ඇති නාගසාකි දිස්ත්‍රික්කයේ අගනුවර මෙන්ම විශාලතම නගරයද වේ. එය 16 වන සියවසේ සිට 19 වන සියවස දක්වා අතර කාලය තුල පෘතුගීසි සහ අනෙකුත් යුරෝපීය ජාතීන් රැසකගේ වෙළඳ මධ්‍යස්ථානයක්ද විය. නාගසාකි නගරයේ පිහිටා ඇති ක්‍රිස්තියානි පල්ලි සහ අනෙකුත් ක්‍රිස්තියානි ආගමට අයත් ස්ථාන රැසක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීම සඳහා නිර්දේශ වී ඇත. නාගසාකි නගරයේ කොටසක්, පළමු චීන-ජපාන යුද්ධය සහ රුසියානු-ජපාන යුද්ධය පැවති කාලසීමාවේදී ජපාන අධිරාජ්‍ය නාවික හමුදාවට අයත් කඳවුරක් පිහිටුවීමටද යොදාගෙන ඇත. නාගසාකි යන්නෙහි අර්ථය වන්නේ "දිගු තුඩුව" යන්නයි.

නාගසාකි නගරය ලොව න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක්වූ දෙවන සහ දැනට අවසන් නගරය ලෙස සැලකේ. ඊට හේතුව වන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමට දින කිහිපයකට පෙර, එනම් 1945 අගෝස්තු 9 වෙනිදා පෙ.ව. 11:02 ට ඇමරිකාව විසින් නාගසාකි නගරයට "ෆැට් මෑන්" නමැති පරමාණු බෝම්බය හෙලීමයි.[1]

2009 ජනවාරි 1 දිනට නගරයේ ඇස්තමේන්තුගත ජනගහනය 446,007ක් වන අතර ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයින් 1,100ක් වේ.

ඉතිහාසය[සංස්කරණය]

ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය

මධ්‍යකාලීන සහ පූර්ව නූතන ඉතිහාසය[සංස්කරණය]

1543 වසරේ පෘතුගීසි ගවේශකයින් නාගසාකියට ගොඩ බැසීමට පෙර එය පැවතියේ, වැඩි ඓතිහාසික වටිනාකමක් නොමැති, කුඩා වරායන් කිහිපයකින් සමන්විත ධීවර නගරයක් ලෙසය. නගරයට මුලින්ම පැමිණි විදේශිකයන්ගෙන් අයෙකු වූයේ පෘතුගීසි ජාතික ෆර්නාවෝ මෙන්ඩිස් පින්ටෝය. ඔහු පෘතුගීසි නෞකාවකින් පැමිණ ටනෙගශිමා ප්‍රදේශයට ගොඩබසින ලද්දෙකි.

එයින් පසු නැන්බැන් වෙළඳාම ආරම්භ වූ අතර, පෘතුගීසි නෞකා, ජපානය සමග විධිමත් වෙළඳ සම්බන්ධතා අරඹමින් ජපානයට නිතරම යාත්‍රා කරන්නට විය. එමගින් චීනය ඇතුළු බාහිර ලෝකය සමග පවත්වාගෙන යනු ලැබූ ජපාන වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය විය. චීනය හා ජපානය අතර ඊට පෙර පැවති වාණිජ සහ දේශපාලන සබඳතා දකුණු චීන මුහුදේදී සිදුවූ වුකෝ මංකොල්ලය වැනි සිදුවීම් නිසා බිඳවැටිණි. නමුත් පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු, ජපානය සහ චීනය අතර අතරමැදියන් ලෙස කටයුතු කිරීමට පෘතුගීසින් ක්‍රියා කළහ. මෙම වෙළඳ කටයුතු වලට හවුල් වූ පාර්ශව වලටත්, ඒවායෙන් ඉමහත් ලාභ ලැබීමට බලාපොරොත්තු වූ ක්යූශූ හි දයිමියෝවරයාටත්, ඒ වන විට තිබූ ප්‍රධාන ගැටලුව වූයේ ක්යූශූ දූපතේ වරායක් නොමැති වීමයි.

මේ කාලය අතරතුර 1549 දී නවාරේ රාජධානියේ මිෂනාරිවරයෙකු වූ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දකුණු ක්යූශූ ප්‍රදේශයේ කගොශිමාවට සැපත් වී, ඉන්පසු ජපානය පුරා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමේ මෙහෙයුමක් දියත් කළේය. පසුව 1551 දී හෙතෙම චීනයට ගිය අතර ටික කලකට පසු එහිදී මිය ගියේය. ඔහුගේ අනුගාමිකයින් අතර දයිමියෝවරු රැසක්ද වේ. ඕමුරා සුමිටාඩා ඒ අතරින් ප්‍රධාන වේ. ඔහු ක්‍රිස්තියානි (කිරිශිටාන්) ආගම වැළඳගැනීම ඔහුට ඉමහත් ලාභ ගෙන දුන්නේය. පෘතුගීසි නෞකා වලට ලැබෙන ආදායමෙන් කොටසක් ඔහුටද හිමිවීම ඊට හේතුවයි. 1569 වසරේදී පෘතුගීසි නැව් නැවත්වීම සඳහා නාගසාකියේ වරායක් තැනීමට ඕමුරා විසින් අවසර දෙන ලදී. මිෂනාරිවරයෙකු වූ ගැස්පර් විලේලා සහ පෘතුගීසි කපිතාන්-මේජර් ට්‍රිස්ටාවෝ වාස් ද වෙයිගා යන අයගේ අධීක්ෂණය යටතේ ද, ඕමුරාගේ පෞද්ගලික සහයෝගයෙන්ද, 1571 වන විටදී එම වරාය සාදා නිම විය.[2]

නාගසාකියේ සැලැස්ම, හයිසෙන් පළාත, 1778
නාගසාකියේ සැලැස්ම, 1860
නාගසාකි වෙත පැමිණෙන පෘතුගීසි කැරැක් නෞකාවක චිත්‍රයකි. මෙය 1571 දී පමණ නිර්මාණය වූ ජපාන නැන්බැන් යුගයට අයත් බ්යෝබු නිර්මාණයකි.
1870 දී පමණ උචිඩා කුයිචි විසින් ගන්නා නාගසාකියේ ඡායාරූපයක්

කුඩා වරාය ගම්මානයක් ලෙස පැවති නාගසාකිය ඉතා ඉක්මනින් වරාය නගරයක් දක්වා දියුණු විය.[තහවුරු කරන්න] ඒ හරහා දුම්කොළ, පාන්, රෙදිපිළි සහ පෘතුගීසි ස්පොන්ජ්-කේක් වර්ගයක් වන කසුතෙරා (castellas) වැනි දෑ ජපානයට ආනයනය කල අතර, ඒවා ජපාන සංස්කෘතියට එකතු විය. තෙම්පුරා නමැති ආහාරය ජපන් සංස්කෘතියට එකතු වූයේ peixinho-da-horta නමැති පෘතුගීසි කෑම වට්ටෝරුවකට අනුවය. පෘතුගීසීන්ගේ ආගමනය ජපන් සංස්කෘතියට බලපෑ ආකාරය පෙන්වීමට එය හොඳ උදාහරණයකි. පෘතුගීසින් විසින් චීනයෙන්ද ජපානයට භාණ්ඩ ගෙන එන ලදී.

සෙන්ගොකු යුගයේදී පවතී අස්ථාවර භාවය නිසා කතෝලික නගරයක් කතෝලික නොවන දයිමියෝවරයෙකු අතට පත්වීම වැලැක්වීමට, නාගසාකියේ පාලනය සොසයිටි ඔෆ් ජීසස් නමැති කතෝලික සංවිධානය වෙත පවරා ගැනීමට සුමිටාඩා සහ මිෂනාරියෙකු වූ ඇලෙක්සැන්ඩ්‍රෝ වැලිග්නානෝ යන අය විසින් සැලැස්මක් දියත් කළහ. මේ හේතුවෙන් 1580 වසරෙන් පසු කෙටි කාලයකට නාගසාකිය එම කතෝලික සංවිධානයේ කොලනියක් බවට පත්විය. එය ඔවුන්ගේ පරිපාලන සහ මිලිටරි බලයට යටත් විය. නාගසාකිය මෙලෙස කතෝලික කොලනියක් බවට පත්වීම නිසා, ජපානයේ අනෙකුත් ප්‍රදේශ වලදී තාඩන පීඩන වලට ලක්වන කතෝලිකයන් නාගසාකියට පැමිණ පදිංචි වූහ.[3] ටොයොටොමි හිඩෙයෝෂි විසින් දියත් කරනු ලැබූ ජපානය එක්සත් කිරීමේ ව්‍යාපාරය 1587 දී ක්යූශූ දූපතට පැමිණියහ. ඒ වනවිට දකුණු ජපානය තුල ඉතා විශාල වශයෙන් කතෝලික දහම ව්‍යාප්ත වී ඇති ආකාරයත්, ජපාන දේශපාලනයට මිෂනාරීන් විසින් සිදුකර ඇති බලපෑමත් දුටු හිඩෙයෝෂි, සියලුම මිෂනාරීන් දකුණු ජපාන දේශපාලනයෙන් නෙරපා දමා එහි පාලන බලය සියතට ගත්තේය. කෙසේවෙතත් මෙහිදී ඔවුන්ව බලෙන් පිටුවහල් කිරීමක් සිදු නොවුනි. එම නිසා නාගසාකියේ වැඩි ජනකායක් තවදුරටත් කතෝලික දහමම ඇදහූහ.

1596 දී ස්පාඤ්ඤ නෞකාවක් වූ සැන් ෆෙලිප් නෞකාව ෂිකොකු වෙරළට ආසන්නයේදී අනතුරකට ලක් විය. ජපානයට එල්ල වූ ඉබරියානු ආක්‍රමණයකදී, එහි යුධ බලඇණිය ලෙස කටයුතු කර ඇත්තේ ස්පාඤ්ඤ ෆ්‍රැන්සිස්කානුවන් බව, එම නැවේ කපිතාන්වරයාගෙන් හිඩෙයෝෂි දැනගත්තේය. ඊට ප්‍රතිචාර ලෙස එම වසරේ පෙබරවාරි 5 වෙනිදා නාගසාකියේ කතෝලිකයන් 26 දෙනෙකු කුරුසියේ ඇණ ගසා මරාදැමීමට හෙතෙම නියෝග කළේය. කෙසේවෙතත් පෘතුගීසි වෙළෙන්දන් පිටුවහල් කිරීමක් සිදු නොවුණු අතර, එම නිසාම නගරය තව දුරටත් දියුණුවට පත්විය.

නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි.

1602 දී ඔගස්ටීනියන් මිෂනාරීන්ද ජපානයට පැමිණියහ. ටෝකුගාවා ඉයෙයාසු 1603 දී බලයට පත්වන විටත් කතෝලික දහම ප්‍රභලව ව්‍යාප්තව පැවතිනි. සෙකිගහරා සටන පැවති අවස්ථාවේ කතෝලික දයිමියෝවරු රැසක් මිත්‍ර පාක්ෂිකව කටයුතු කළහ. ඔවුන්ට එරෙහිව සටන් කිරීමට ටොකුගාවාට බලයක් නොතිබුණි. එක් අවස්තාවකදී ඔසාකා මාලිගාව අල්ලාගත් අතර ටොයොටොමි හිඩෙයෝෂිගේ දරුවෙකුද ඝාතනය විය. කෙසේවෙතත් ටොකුගාවාගේ බලප්‍රදේශය අරක්ශා කරගනීමට හෙතෙම සමත්විය. මේ අතරම ඕලන්ද සහ ඉංග්‍රීසි ජාතිකයින්ද වෙළඳාම සඳහා ජපානයට පැමිණි අතර, ආගමික බලපෑම් වලින් තොරව වෙළඳ කටයුතු කිරීමට ඔවුන් කටයුතු කළහ. 1614 වසරේදී කතෝලික දහම නිල වශයෙන් ජපානය තුල තහනම් වූ අතර, සියලුම මිෂනාරීන්ට ජපානය අතහැර යන ලෙස නියෝග කෙරිණි. බොහොමයක් කතෝලික දයිමියෝවරු ඔවුන්ගේ ආගම අත්හැර ඔවුන්ගේ රාජකාරි දිගටම කරගෙන යාමට එකඟ වූහ. නමුත් ඉතිරි පිරිස ආගම අත්හැරීමෙන් තොරව ජපානයෙන් පිටවී, මැකාවු, ලූසන්, සහ අග්නිදිග ආසියාවේ ඇති ජපන් නගරවලට ගොස් ජීවත් වූහ. ක්යූශූ දූපතෙත්, ඉන් පිටත ජපානයේ අනෙකුත් ප්‍රදේශ වලත් සිටි කතෝලිකයන්ට ඔවුන්ගේ ආගමෙන් ඉවත් වීමට බලකිරීම සඳහා ඉතා සාහසික ව්‍යාපාරයක් දියත් විය. එමගින් විශාල පිරිසක් කතෝලික දහම අත්හරින ලද අතර, තවත් විශාල පිරිසකට දරුණු පහරදීම් සහ ඝාතනයන්ට ලක්වීමට සිදුවිය.[තහවුරු කරන්න]

1864 දී ඉදිකරන ලද ඕවුරා පල්ලිය, ජපානයේ ජාතික නිධානයක් ලෙස සැලකේ.
මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය.
ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය.

එයින් පසුව මෙයිජි ප්‍රතිස්ථාපනය දක්වා කාලය තුල ජපානයේ කතෝලිකයන් විසින් සිදුකරනු ලැබූ සැලකියයුතු මට්ටමේ එකම මිලිටරි ක්‍රියාව වූයේ 1637 දී සිදුවූ ෂිමබාරා කැරැල්ල වේ. කෙසේවෙතත් මෙම කැරැල්ලට යුරෝපීයයන් සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි හමුවී නොමැත. නමුත් ෂිමබාරා ප්‍රදේශය දශක ගණනාවක් පුරා ක්‍රිස්තියානි හන් පරිපාලනමය ඒකකයක් ලෙස පැවතිනි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. Hakim, Joy (1995). A History of Us: War, Peace and all that Jazz. New York: Oxford University Press. ISBN 0-19-509514-6. 
  2. Boxer, The Christian Century In Japan 1549-1650, p. 100-101
  3. Diego Paccheco, Monumenta Nipponica, 1970
"https://si.wikipedia.org/w/index.php?title=නාගසාකි&oldid=392156" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි