බ්යෝබු

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
17වන සියවසට අයත් පනේල හයකින් යුත් බ්‍යෝබුවක්
මුල්කාලීන 19වන සියවසට අයත් පනේල හයකින් යුත් බ්‍යෝබුවක්; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.
ඔගතා කෝරින්ගේ අයිරිස් (燕子花図 කකිත්සුබතා-සු?) හි වම් පනේලය, 1702
හසෙගවා තෝහකුගේ ෂෝරින්-සුබ්යෝබු (松林図屏風, පයින් ගස් තිරය) තිරයේ වම් පනේලය, ක්‍රි.ව.1595 පමණ.
යට්සුහෂිහි අයිරිස්, ඔගතා කෝරින්, මුල්කාලීන 18වන සියවස; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

බ්‍යෝබු (屏風?, සුළං පවුර) යනුවෙන් හැඳින්වෙන්නේ සම්බන්ධිත පනේල කිහිපයක් ආධාරයෙන් තැනූ ජපන් නැමුම් තිරයන් ය. අලංකාර සිතුවම් සහ චාරුලේඛන ඇතුළත් වන මේවා අභ්‍යන්තර කුටි වෙන් කිරීමට සහ පෞද්ගලික අවකාශ ආවරණය කිරීමට භාවිතා විය.[1]

ඉතිහාසය[සංස්කරණය]

බොහෝ ජපන් කලාවන් සහ ජපන් ශිල්පකලාවන් සේම නැමුම් තිර ද සම්භවය වූයේ චීනයේ ය. හන් රාජවංශ යුගය තරම් ඈතට දිවෙන මේවායේ මූලාදර්ශ පවා හමුවී ඇත. "බ්යෝබු" යන වදනේ රූපකාත්මක අර්ථය වන්නේ "සුළ‍ඟෙන් ආරක්ෂාව" යන්නයි. මේ අනුව යෝජනා වන්නේ බ්යෝබුවල මුල් භාවිතය වූයේ සුළං අවහිර කිරීම බවයි. අටවන සියවසේ දී ජපානය වෙත බ්යෝබු හඳුන්වා දෙනු ලැබූ අතර, ජපන් කලා ශිල්පීන් ස්වකීය බ්යෝබු නිර්මාණ ඇරඹීමේ දී චීන මෝස්තරවල ආභාසය බෙහෙවින් අනුගමනය කොට ඇත. වෙනස් ජපන් යුග ඔස්සේ, ව්‍යූහය සහ සැලැස්ම අතින් බ්යෝබු පරිණාමය වූ අතර,තාක්ෂණ ක්‍රම මෙන්ම යොදාගත් අමුද්‍රව්‍ය ද එසේ දියුණු විය:

නාරා යුගය (646–794): බ්යෝබුහි මුල් ස්වරූපය තනි සිටුවූ පාදයක් සහිත පනේලයකි. 8වන සියවසේ දී, බහු-පනේල බ්යෝබු දක්නට ලැබුණු අකර, ඒවා අධිරාජකීය මාලිගය තුළ විශේෂයෙන්ම වැදගත් උත්සවවල දී ගෘහභාණ්ඩ ලෙස භාවිතා විය. පනේල සයකින් යුත් ‍බ්යෝබු නාරා යුගයේ අතිශයින් සුලබ අතර, ඒවා සේදවලින් ආවරණය කොට සම් හෝ සේද තන්තු මගින් සම්බන්ධ කරන ලදී. සෑම ඵලකයකම වූ සිතුවම් සේද රාමුවකින් වැඩ තිබිණි. පනේලය දැව රාමුවකට තබා බැඳීම සිදු විය.[2]
හෙයියන් යුගය (794–1185): 9වන සියවස වන විට, බ්යෝබු දයිම්යෝ නිවහන්, බෞද්ධ විහාර, සහ ආශ්‍රම සඳහා අත්‍යාවශ්‍ය ගෘහභාණ්ඩ අංගයක් බවට පත් විය. සෙනිගතා (銭形) නම් වූ කාසි හැඩැති අසව් හඳුන්වා දෙනු ලැබූ අතර, සේද තන්තු වෙනුවට පනේල එකිනෙක සම්බන්ධ කිරීමට මේවා පුළුල්ව භාවිතා විය.
මුරොමචි යුගය (1392–1568): හකුළන තිර තවත් ජනප්‍රිය වූ අතර බොහෝ නිවාස, දෝජෝ, සහ වෙළඳසැල්වල මේවා සුලබ විය. පනේල දෙකකින් යුත් බ්යෝබු සුලබ විය. අතිපිහිත කඩදාසි අසව් සෙනිගතා සඳහා ආදේශකයක් ලෙස භාවිතා වූ අතර, මේ නිසා මේවා පහසුවෙන් ඔසවාගෙන යා හැකි විය. එසේම පහසුවෙන් නැවීමට ද හැකියාව ලැබුණු අතර, සන්ධි වඩා ශක්තිමත් විය. මෙම තාක්ෂණය හේතුවෙන් බ්යෝබුහි මෝස්තර සිරස් දාරයක් සහිත පනේල ඇතුළත අඛණ්ඩව සිදු කිරීමට අවස්ථාව සැලසිණි. මේ නිසා චිත්‍ර ශිල්පීන් අනර්ඝ, බොහෝ විට තනි වර්ණයෙන් යුත් ස්වභාවික තේමා රැගත් දර්ශන සහ ප්‍රකට ජපන් භූමි දර්ශන සිතුවම් මගින් මේවා අලංකාර කොට ඇත.
අසුචි–මොමායමා යුගය (1568–1600) සහ මුල්කාලීන එදෝ යුගය (1600–1868): බ්යෝබුහි ජනප්‍රියත්වය වර්ධනය විය. මෙම යුගයේ කලාවන් කෙරෙහි ජනයාගේ අවධානය ඉහළ යාම මෙයට හේතු විය. බ්යෝබු මගින් සමුරායි නිවාස අලංකාර කෙරුණු අතර, එමගින් ඔවුන්ගේ ඉහළ තත්ත්වය සහ ධනය මෙන්ම බලය ද සංකේතවත් කෙරිණි. මෙය බ්යෝබු නිර්මාණකරණයේ විප්ලවීය වෙනසකට හේතු විය. එහි දී රන් පත්‍ර (金箔 kinpaku?) ආධාරයෙන් තැනූ පසුබිම් සහ අතිශයින් වර්ණවත් සිතුවම් භාවිතා විය. කනෝ ගුරුකුලයේ පුරෝගාමීත්වය යටතේ බිහිවූ මෙම සිතුවම්කරණයේ දී ස්වභාවධර්මය නිරූපිත දර්ශන මෙන්ම එදිනෙදා දිවිය නිරූපිත සිතුවම් ද භාවිතා විය.
නූතන යුගය: වර්තමානය වන විට, බොහෝවිට බ්යෝබු යන්ත්‍රානුසාරයෙන් නිර්මාණය කෙරේ. කෙසේනමුත්, හස්ත-නිර්මාණ බ්යෝබු තවමත් දක්නට ලැබේ. මේවා නිර්මාණය කරනු ලබන්නේ කලා සම්ප්‍රදායයන් ඉදිරියට පවත්වාගෙන යනු ලබන පවුල් විසිනි.

ජපන්වාදය[සංස්කරණය]

පසුකාලීන 19වන සියවසේ සිට යුරෝපය සහ ඇමරිකාව වෙත ආනයනය කළ ජනප්‍රිය ජපන්වාදී අංගයක් ලෙස මෙම තිර සැලකේ. ප්‍රංශ චිත්‍ර ශිල්පී ඔඩිලන් රේඩොන් විසින් බර්ගන්ඩිහි Château de Domecy-sur-le-Vault සඳහා පනේල මාලාවක් නිර්මාණය කළ අතර, ඒවායේ බ්යෝබු කාල ආභාසය දක්නට ලැබිණි.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Byobu: The Grandeur of Japanese Screens, Yale University Art Gallery
  2. Traditional folding screens (byobu), Corfu Museum of Asian Art
  3. "Musée d'Orsay: non_traduit". www.musee-orsay.fr.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Japanese architectural elements

"https://si.wikipedia.org/w/index.php?title=බ්යෝබු&oldid=411185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි