උඩරට නැටුම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
වෙස් බැඳි උඩරට නැට්ටුවෝ

උඩරට නැටුම් යනු ලක්දිව මධ්‍යම කදුකර ප්‍රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්‍රදායකි. සිංහල නැටුම් සම්ප්‍රදායන් අතරින් එක් ප්‍රධාන සම්ප්‍රදායකි. මේ වන විට මෙය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිංහල ජනතාව අතරත් පුළුල් ව පැතිරී ඇත. 19වන සියවසේ අග දක්වාම පිරිමින්ට පමණක් සීමාවූ නැටුමකි. වර්තමානයේ කාන්තා උඩරට නැටුම් ද පුළුල් ව පැතිරී ඇත.

මුලික ප්‍රදේශ[සංස්කරණය]

ඉතිහාසය[සංස්කරණය]

දළදා මාළිගාව

පුරාවෘත්තීන්ට අනුව එකල රජකම් කළ රජු සිහිනයකදී අඳුන් දිවියෙක් තමාගේ ඇඟට පනිනු දැක ඇත. එකල පැවති විශ්වාසයට අනුව, එම සිහිනය කුවේණියගේ ශාපය තමාමත පතිත වීමක් යැයි සැලකූ රජු ඉන් දරුණු ලෙස රෝගාතුර විය. මෙම රෝගය සුව කිරීම පිණිස රජු විසින් කළ ඉල්ලීමකට අනුව යැකැදුරන් පිරිසක් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි අතර ඉන් පසු රජුහට කොහොඹා කංකාරිය නම් වූ ශාන්ති කර්මය සිදු කරන ලදී. මෙයින් රජු සම්පූර්ණ සුවය ලැබූ බවත්, දැනට පවතින උඩරට සාම්ප්‍රදායික නැටුම් කලාවේ මූලාරම්භය මෙය බවත් ඉතිහාසයේ සඳහන් වේ.

මෙම නැටුම් සම්ප්‍රදායට ලාංකීය අන්‍යන්‍යතාවයක්ද එක් කොට ගනිමින් ඒ හා සම්බන්ධ වූ විශේෂ කුලයක් උඩරට රාජධානිය තුළ බිහි වූ අතර ඔවුහු දළදා වහන්සේට තේමාවන් පවත්වන කුලයේම විශේෂයේම කොටසක් වූහ. එමෙන්ම මොවුහු දළදා පෙරහැරේ ප්‍රධාන නැට්ටුවන් කොටසක් වශයෙන් ද පිළිගැනීමට ලක්වූහ.

බ්‍රිතාන්‍යයන්ගේ උඩරට ආක්‍රමණයත් සමග උඩරට රාජධානිය බිඳ වැටුණු අතර මෙම සාම්ප්‍රදායික නැටුම් කලාවද ඒ හා සමගාමීව අභාවයට පත් විය. නිදහස ලැබිමත් සමග මෙම සුවිශේෂී කලාවේ ශේෂයන් තුළින් නැවතත් උඩරට සාම්ප්‍රදාය පණ ගැණුනු අතර අදටත් ලාංකීය සමාජයේ සාම්ප්‍රදායික නැටුම් වර්ග උඩරට නැටුම් කලාව දැකගත හැක.


පුරාවෘත්තයන්ට අනුව, උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වූයේ මෙරටට පැමිණි ඉන්දියානු යකැදුරන් පිරිසක් විසින් පවත්වන ලද කොහොඹා කංකාරිය නම් වූ ශාන්තිකර්මයක් මගින් යැයි විශ්වාස කෙරේ.

පුරාවෘත්තයන්ට අනුව, ඉන්දියානු යකැදුරන් මෙරටට පැමිණියේ කුවේණිය විසින් විජය රජුට සිදුකල දිවි දෝෂය ඔහුගෙන් පසු පඬුවස් දෙව් රජුට වැළඳී ඔහු අසාද්‍ය වූ පසු ඔහු සුව කිරීමටය. රජු යකැදුරන්ට පැවසුවේ දිවියෙක් තමාට පහර දෙනු නිතර නිතරම සිහිනෙන් පෙනෙන අතර එය තමාට මහත් පීඩාවක් බවයි. එය විජය රජුගේ පලමු බිසව වූ කුවේනියගේ ඉන්ද්‍රජාලික මායාවක් නිසා ඇති වූවක් බව විශ්වාස කෙරිණි. කොහොඹා කංකාරිය නම් වූ ශාන්තිකර්මය පැවැත්වීමෙන් පසු රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ අතර එය බෙහෝ ස්වදේශිකයන්ගේ අවධානයට ලක් විය.

මෙය මූලිකව ඉදිරිපත් කරන ලද්දේ උඩරට රාජ්‍ය ක්‍රමය විසින් නම් කරන ලද විරල කුලයක නැට්ටුවන් විසිනි. මොවුහු ශ්‍රී දළදා මාලිගාවේ රැකියාවන්ට අනුයුක්තව රාජකාරි කල අතර වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහැරේදී සුවිශේෂී මෙහෙයක් ඉටු කළහ.

උඩරට රජවරුන්ගේ අනුබලය යටතේ පැවත ආ මෙම සාම්ප්‍රදායික නැටුම් ක්‍රමයේ ජනප්‍රියත්වය බ්‍රිතාන්‍ය පාලන සමයත් සමග තරමක් දුරට හීන විය. වර්තමානයේදී එය නැවත උද්‍යෝගිමත් වී වේදිකාවට ගැලපෙන ලෙස හැඩගස්වා ඇති අතර ශ්‍රී ලංකාවේ මූලික සංස්කෘතික අංගයක් ලෙස කැපී පෙනෙයි.

උඩරට නැටුම් වර්ග[සංස්කරණය]

වෙස් නැටුම්[සංස්කරණය]

උඩරට වෙස් නර්තනය ශ්‍රි ලංකාවේ ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සංකේතවත් කරන ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. වෙස් නර්තන කලාවේ එන ඉතාමත් වැදගත් නර්තන අංගයකි කොහොඹා කංකාරිය. මහා සම්මත රජ දවස ඔහුගේ විවාහය නිමිත්තෙන් මෙම වෙස් නර්තනය මුලින්ම නර්තනය කල බව පතපොතේ සඳහන් වේ.

වෙස් නර්තන ශිල්පියෙකුගේ ඇඳුම් කට්ටලය දෙවිවරු විසිහතර දෙනෙකුගේ ඇඳුම් ආයිත්තම් වලින් සකස් වුවක් බව නර්තන කලාවේ සඳහන් වේ. එම නිසා නර්තන ශිල්පින් ඉමහත් ගෞරවයෙන් මෙම වෙස් ඇඳුම් කට්ටලය භාවිතා කරයි. නුවර ඇසල පෙරහැරේ ඉතාමත් විචිත්‍රවත් නර්තන අංගයක් ලෙස ද මෙම වෙස් නර්තන අංගයන් හැඳින්විය හැක. එය ඇසල පෙරහැරේ අනිවාර්ය අංගයකි.

වෙස් නැට්ටුවන් හට දළදා පෙරහැරෙහි කංකාරි දෙවොල් සීමාවෙන් පිටතදී නැටුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ 19 වන සියවසෙහි අග භාගයේ සිටය. විචිත්‍ර වෙස් ඇදුමෙන් සැරසුණු වත්මන් වෙස් නැ‍ට්ටුවා උඩරට නර්තනයේ ප්‍රතිමූර්තියක් බදුය.

නෛඅඩි නැටුම[සංස්කරණය]

නෛඅඩි නර්තනය රග දක්වනු ලබන්නේ කොහොඹා කංකාරි‍ය සදහා සූදානම් වන අතරතුර එනම් පහන් දැල්වීමේදී හා යකුන්, පිශාචයන් උදෙසා පිදේනි පුදන අතරතුරදීය. නැට්ටුවා තම ඇදුම් කට්ටලය වශයෙන් සුදු රෙද්දක්, අත් පළදනා, ජටාව, ජටා පටිය, ශිඛා බන්ධනය, දෙවුර මාලා, ශිලම්බු (පා සළඹ) සහ ගෙජ්ජි යනාදියෙන් සැරසෙයි. මෙය මහා විෂ්නු සහ කතරගම දේවාල භූමියන්හි විශේෂ උත්සව අවශ්යතාවන් සදහා ද ඉදිරිපත් කෙරෙන ඉතා සුන්දර නර්තනාංගයකි.

උඩැක්කි නැටුම[සංස්කරණය]

උඩැක්කි නර්තනය යනු ඉතා ප්‍රසිද්ධ නර්තන විශේෂයකි. දෙවියන් විසින් දෙන ලදැයි සැලකෙන මෙම උඩැක්කිය අගල් 7 1/2 පමන දිගින් යුතු ඔප දැමූ බෙරයක හැඩැති වාද්ය භාණ්ඩයකි. පුරාණ විශ්වාසයන්ට අනුව මෙහි බෙර සම් ඊශ්වර දෙවියන්ගේද, නාදය විෂ්නු දෙවියන්ගේද දායාදයන් වන අතර එය වාදනය කළ යුත්තේ ශක්‍ර දෙවියන්ගේ උපදෙස් වලට අනුකූලව දෙවියන්ගේ දේව සභාවේදීය. මෙය වාදනය කිරීමට අසීරු වාද්‍ය භාණ්ඩයකි.නැට්ටුවා විසින්ම ගායනයද සිදු කෙරෙන අතර බෙර පටි තද කරමින් හඩෙහි උස් පහත් වීම් වලට අනුව උඩැක්කිය වාදනය කළ යුතුය.

පන්තේරු නැටුම[සංස්කරණය]

පන්තේරුව පත්තිනි දේව මෑණියන් හට වෙන් කෙරුණු වාද්‍ය භාණ්ඩයකි. එය හැඩයෙන් බෙර සම් රහිත රබානකට සමාන වන අතර පරිධිය වටා කුඩා අත්තාලම් සවි කර ඇත. දෙවියන් මෙය යුධ ජයග්‍රහණ සැමරීමේදී වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර පැරණි සිංහල රජවරුන් යුද්ධ භූමියන්හි ජයග්‍රහණ සැමරීම සදහා පන්තේරු නැට්ටුවන් යොදා ගෙන ඇත. පන්තේරු නැට්ටුවාගේ ඇදුම් කට්ටලය උඩැක්කි නැට්ටුවාගේ ඇදුම් කට්ටලයට බොහෝ සෙයින් සමාන වන නමුත් පබළු උරමාලයක් ඊට අඩංගු නොවේ.

වන්නම්[සංස්කරණය]

ආරම්භයේදී වන්නම් යනු ගායනා විශේෂයකි. බොහෝ විට වන්නම් වලින් විස්තර කෙරෙන්නේ ඇතා, වදුරා, සාවා, මොණරා, කුකුළා, සර්පයා වැනි සත්ව විශේෂයන්හි හැසිරීම් රටාවයි. පසු කාලීනව නැට්ටුවන් විසින් වන්නම් සිය නර්තනයන්හි පසුබිම් ගායනා ලෙස යොදා ගන්නා ලදී. උඩරට නැටුම් ක්‍රමයෙහි වන්නම් 18ක් පමණ ඇත. සාම්ප්‍රදායානුකූලව වෙස් නැටුම් කට්ටලය පැළැදීමට පෙර උඩරට නැටටුවකු විසින් මේ සියලුම වන්නම් ප්‍රගුණ කළ යුතුය. මේවා අතුරින් වඩාත් ප්‍රසිදධ වන්නම් ලෙස හනුමා වන්නම (වදුරා), උකුසා වන්නම (උකුස්සා), ගජභා වන්නම (ඇතා) ගත හැක.

වන්නම් යන වචනය සෑදී ඇත්තේ වර්ණනා (සවිස්තරාත්මක වර්ණනාව) යන සිංහල වචනයෙනි. පුරාණ සිංහල ග්‍රන්ථයන්හි සැලකියයුතු වන්නම් ප්‍රමාණයක් දැකිය හැකි වුවද, පසු‍ව ඒවා යම් නිශ්චිත අදහසක් ප්‍රකාශ කෙරෙන ඒකල නර්තනයන් සදහා සුදුසු ගායනා ලෙස අනුවර්තනය විය. ඉතිහාසයේ දැක්වෙන පරිදි ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු විසින් නර්තනයට හා සංගීතයට විශාල අනුබලයක් ලබා දී ඇත.

මෙ‍ම වන්නම් 18 පුරාණ ඉසිවරයෙකු වූ ගනිතාලංකාර විසින් මහනුවර පන්සලක විසූ බෞද්ධ හිමි නමකගේ සහය ඇතිව රචනා කරන ලදැයි සැලකේ. ස්වභාවධර්මය, ඉතිහාසය, පුරාවෘත්ත, ගැමි ආගම් ඇදහිලි ක්‍රම, ජන කලා පදනම් කරගෙන රචිත මෙම වන්නම් සෑම එකකින්ම කියම් වූ මනෝ භාවයක් ඉදිරිපත් කෙරේ. උඩරට නැටුම් ක්‍රමයේ එන වන්නම් 18 වන්නේ ගජභා, තුරගා, මයුරා, ගාහක, උරගා, මුසලඩි, උකුසා, වෛරඩි, හනුමා, සැවුලා, සිංහරාජ, නාග, කිරලා, ඊරඩි, සුරපති, ගණපති, උදාර (රජුගේ තේජස් භාවය හා ශ්‍රී විභූතිය) සහ අසදෘස වන්නම්ය. වර්ථමානයේදී මේවාට සමනළ, මහ බෝ සහ හංසා යන වන්නම් ඇතුලත් වී ඇත. වන්නම් එක් නර්තනාංගයක් කොටස් 7කින් සමන්විත වේ.

ඇදුම් පැළදුම්[සංස්කරණය]

උඩරට නැට්ටුවා ශීර්ෂාභරණයද ඇතුළුව විචිත්‍රවත් ඇදුම් කට්ටලයකින් සැරසෙයි. නැට්ටුවාගේ පපු පෙදෙස ආවරණය කෙරෙන්නා වූ අලංකාර පබළු ආභරනයකි. මෙම ඇදුම් කට්ටලය වෙස් ඇදුම් කට්ටලය ලෙස හැදින්වේ. ශීර්ෂාභරනය ලෝහ වලින් නිර්මිත නළල් පටියකින් යුතුව නැට්ටුවා වඩාත් උසට පෙනෙන පරිදි නිර්මාණය කර ඇත. පුරාණ ඇදුම් කට්ටලයට කිංකිනි හඩ නංවන ගෙජ්ජි ද ඇතුලත් වේ. සියළු උපාංග ඇතුළත් සම්පූර්ණ ඇදුම් කට්ටලයකින් සැරසිය හැක්කේ පිරිමි නැට්ටුවන්ට පමණක් වන අතර ඒ සදහා අවසර ලැබෙන්නේ වෙස් මංගල්‍යය නම් වූ සුවිශේෂී සංස්කෘතික උත්සව අවස්ථා වලදීය.

===වෙස් ඇඳුම=අඳින ආකාරය ==

නෛයඩි ඇඳුම[සංස්කරණය]

උඩැක්කි ඇඳුම හෙවත් රබන් ඇඳුම[සංස්කරණය]

පන්තේරු ඇඳුම[සංස්කරණය]

හේවිසි ඇඳුම[සංස්කරණය]

සංගීතය[සංස්කරණය]

ගැටබෙරය උඩරට නැට්ටුමේ මූලික සංගීත උපකරණයයි. තවත් වාද්‍ය භාණ්ඩයක් වූ තාලම්පට කුඩා අත්තාලම් යුගලකින් සමන්විත වන අතර එය නැට්ටුවන්ගෙ‍් රිද්මය නිසිලෙස පවත්වාගෙන යෑමට උපකාරී වේ. මෙම වාද්‍ය භාණ්ඩද උපයෝගී කරගනිමින් නැට්ටුවාගේ චලනයන්ට සහ තනුවට අනුව ගායනා කරනු ලබන වන්නම් උඩරට නර්තනයට චමත්කාරජනක බවක් එක් කරයි.

ශාත්තිකර්ම[සංස්කරණය]

උඩරට නර්තනයේ වත්මන් තත්වය[සංස්කරණය]

කාන්තා උඩරට නැටුම්[සංස්කරණය]

පිරිමින්ට පමණක් පුහුණු වීමට අවසර තිබූ උඩරට නැටුම් සම්ප්‍රදාය පදනම් කරගත් කාන්තා උඩරට නැටුම් 20 වන සියවසේදී බිහිවිය. ඒ සදහාම විශේෂයෙන් ආරම්භ කරන ලද අධ්‍යනායතන කිහිපයක්ද ශ්‍රී ලංකාව තුල ව්‍යප්තව පවතී. නමුත් ගැහැණු නැට්ටුවන් උදෙසාම වෙන් වූ වෙස් ඇදුම් කට්ටලයක් නොමැති අතර පිරිමි නැට්ටුවන්ගේ ඇදුම් කට්ටලය ගැහැණු නැට්ටුවෙකුට ගැළපෙන ලෙස වෙනස් කර භාවිතා කිරීමට ගැහැණු නැට්ටුවන්ට සිදු වේ. සෙංකඩගල පෙරහැර මංගල්‍යය සදහා කාන්තා උඩරට නැටුම් යොදාගනු නොලැබේ.

සමාජයීය, ආර්ථික සහ දේශපාලනික හේතූන් මත වර්ථමානය වන විටදී රග දක්වනු ලබන්නේ කොහොඹා කංකාරියෙන් කොටසක් පමණි. සෑම වර්ෂයකම පවත්වනු ලබන නුවර දළදා පෙරහැරේදී අපට තවමත් සාම්ප්‍රදායික උඩරට නැටුම් දැක බලා ගත හැක.

නවීන උඩරට නැටුම්[සංස්කරණය]

1970 දී චිත්‍රසේන ඩයස් මහතා විසින් වේදිකාවට ගැලපෙන පරිදි උඩරට නැටුම් සම්ප්‍රදාය සකස් කරනු ලැබූ අතර, උඩරට නැටුම් සම්ප්‍රදායෙහි එන චලන සහ ගතිලක්ෂන යොදාගෙන ඔහු මුද්‍රා නාට්‍ය පිටපත් කිහිපයක්ද රචනා කොට ඇත. එලෙසම නර්තනය වටා පැවති කුල භේදය අවම කිරීම සහ වත්මන් නාගරික ප්‍රේක්ෂකයන්ට ගැලපෙන පරිදි රසවත් නාට්‍ය උඩරට නර්තන සම්ප්‍ර‍දාය ඇසුරු කරගෙන නිරමාණය කිරීම ඔහුගේ ජනප්‍රියත්වයට යම් තාක් දුරට හේතු විය. මේ වන විට ඔහු විසින් චිත්‍රසේන රංගායතනය නමින් විශාල රංගායතනයක් උඩරට නැටුම් ඉගැන්වීම සදහා පිහිටුවා ඇත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ආශ්‍රිත සැබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උඩරට_නැටුම්&oldid=410615" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි