සිල්ලාහි සොන්දොක් රැජින

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සිල්ලාහි සොන්දොක් රැජින
සිල්ලාහි රැජින
Queen Seondeok of Silla 01.jpg
රාජ්‍ය සමය 632 - 647 (වර්ෂ 15)
අභිෂේකය 632
පූර්වප්‍රාප්තිකයා සිල්ලාහි ජින්ප්යොං රජු
අනුප්‍රාප්තිකයා සිල්ලාහි ජින්දොක් රැජින
මරණය 647 පෙබරවාරි 17
සිල්ලා
පියා සිල්ලාහි ජින්ප්යොං
මව සිල්ලාහි මායා අගබිසව
සිල්ලාහි සොන්දොක් රැජින
හංගුල් 선덕여왕, එලෙසම 선덕왕
හංජා 善德女王, එලෙසම 善德王
සංශෝධිත රොමානුකරණය Seondeok yeowang, එලෙසම Seondeok wang
මෙකන්–රයිෂවර් Sŏndŏk yŏwang, එලෙසම Sŏndŏk wang
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමට පෙර)
  1. හ්යොක්ගොසේ ක්‍රි.පූ. 57 – ක්‍රි.ව. 4
  2. නම්හේ 4–24
  3. යුරි 24–57
  4. තල්හේ 57–80
  5. පාසා 80–112
  6. ජිමා 112–134
  7. ඉල්සොං 134–154
  8. අදල්ලා 154–184
  9. බොල්හ්යු 184–196
  10. නේහේ 196–230
  11. ජොබුන් 230–247
  12. චොම්හේ 247–261
  13. මිචු 262–284
  14. යුර්යේ 284–298
  15. ගිරිම් 298–310
  16. හ්‍යුල්හේ 310–356
  17. නේමුල් 356–402
  18. සිල්සොං 402–417
  19. නුල්ජි 417–458
  20. ජබි 458–479
  21. සෝජි 479–500
  22. ජිජ්‍යුං 500–514
  23. බොප්හ්‍යුං 514–540
  24. ජින්හ්‍යුං 540–576
  25. ජින්ජි 576–579
  26. ජින්ප්යොං 579–632
  27. සොන්දොක් 632–647
  28. ජින්දොක් 647–654
  29. මුයොල් 654–661

සිල්ලාහි සොන්දොක් රැජින (කොරියානු උච්චාරණය: sʰʌndʌk jʌwaŋ;? - 647 පෙබරවාරි 17) යනු කොරියාවේ තුන් රාජධානිවලින් එකක් වූ සිල්ලා දේශයේ රාජ්‍යාධිකාරී රැජිනකි. ඇය 632 සිට 647 දක්වා රාජ්‍යය පාලනය කළා ය.[1] ඇය සිල්ලාවේ විසි හත්වන පාලකයා මෙන්ම එහි බිහි වූ ප්‍රථම රජ කරන රැජින ද වේ. එසේම ඇය නැගෙනහිර ආසියානු ඉතිහාසයේ දෙවන රාජ්‍ය පාලිකාව ද වේ. ඇය සිල්ලාවේ චින්තනය, සාහිත්‍යය, සහ කලාව යන අංශයන්හි පුනරුදයක් සඳහා හේතු වූවා ය.[2]

අනුප්‍රාප්තිකාව ලෙස තේරීපත් වීම[සංස්කරණය]

රැජින බවට පත්වීමට ප්‍රථම ඇය දියොක්මාන් කුමරිය (හන්ජා: 德曼) ලෙස හැඳින්විණි. සම්ගුක් සගි අනුව, ඇය සිල්ලාහි ජින්ප්යොං රජුගේ පළමු දියණිය වෙයි. නමුත් වෙනත් ඓතිහාසික වාර්තා අනුව, ඇය ජින්ප්යොං රජුගේ දියණියන් අතුරින් දෙවැන්නායි. ඇය ඇගේ වැඩිමහල් සොයුරිය වූ චොන්මියොං කුමරියට වඩා බෙහෙවින් බාල ය. ඇයගේ බෑනා සහ චොන්මියොං කුමරියගේ පුත්‍රයා පසුකලෙක සිල්ලාහි මුයොල් රජු ලෙස රාජ්‍යත්වයට පත් විය. සොන්දොක්ගේ අනෙක් සොයුරිය වූ සොන්හ්වා කුමරිය පසුකලෙක බෙක්ජේහි මු සමග විවාහ වී බෙක්ජේහි උයිජාගේ මව බවට පත් වූවා ය. නමුත් සොන්හ්වාගේ පැවැත්ම මතභේදාත්මක ය. එයට හේතුව 2009දී හමු වූ සාක්ෂියකට අනුව ‍උයිජා රජුගේ මව ඓතිහාසික වාර්තාවල සඳහන් පරිදි සොන්හ්වා කුමරිය නොව සාතෙක් රැජින බව සඳහන් වේ.

ජින්ප්යොං රජුට පුතුන් නොසිටි බැවින් සොන්දොක්ව සිය උරුමකරු ලෙස තෝරාගන්නා ලදී. මෙය පෙරනොවූ විරූ අත්දැකීමක් වුවද, එමගින් සිල්ලාවේ ජනයා එතරම් පුදුමයට පත් නොවී ය. එයට හේතුව එම යුගයේ මව්බිසොව්රුන් සහ රාජ්‍යාධිකාරිණියන් වැනි කාන්තාවන් උපදේශකවරියන් ලෙස කටයුතු කර තිබීම නිසායි. - මීට අමතරව ජින්ප්යොං සිහසුනට පැමිණියේ ද මීෂිල් බිසව විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් මගිනි. මෙකල රාජධානිය පුරා කාන්තාවන් පවුල්වල ප්‍රධානීන් වූ අතර පීතෘවංශීය මෙන්ම මාතෘවංශීය ප්‍රවේණි කුම ද පැවතිණි. සිල්ලාව තුළ, කාන්තාවන්ගේ තත්ත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතිණි. නමුත් ස්ත්‍රී හැසිරීම් සහ චර්යාවන් පිළිබඳ ඔවුනට ද සීමා පැවතිණි. කාන්තානොවන ක්‍රියාවල නියැලීමෙන් ඔවුන්ව අධෛර්යයට පත්කරන ලදී. සොන්දොක්ගේ සාර්ථක රාජ්‍ය සමය සිල්ලාවේ තවත් රාජ්‍යාධිකාරී රැජිනියන් දෙදෙනකු සඳහා පූර්වාදර්ශයක් විය.[3]

රාජ්‍ය සමය[සංස්කරණය]

632දී සොන්දොක් මුළු සිල්ලාවේම පාලිකාව බවට පත්වූවා ය. ඇය 647 තෙක් එය පාලනය කළා ය. ඇය සිල්ලා රාජධානියෙහි සිටි රාජ්‍ය පාලිකාවන් තිදෙනා අතුරින් පළමුවැන්නිය වූවා ය. (අනෙක් දෙදෙනා වූයේ සිල්ලාහි ජින්දොක් රැජින සහ සිල්ලාහි ජින්සොං රැජිනියන් ය) ඇගේ මරණින් පසු ක්ෂණිකව ඇගේ නෑනණ්ඩිය වූ ජින්දොක් පාලනය භාරගෙන 654 තෙක් රාජ්‍යය පාලනය කළා ය.

සොන්දොක්ගේ සමය ආරම්භ වූයේ කැරලි සහ අසල්වැසි රාජ්‍යයක් වූ බෙක්ජේ සමග සටන් පැවති කාලසීමාවක් මධ්‍යයේ ය. සිල්ලාවේ රැජින ලෙස වසර දාහතරක රාජ්‍ය සමය තුළ ඇය සිය ඥානය මෙහෙයවා පාලනය ගෙන ගියා ය. බෙක්ජේ ආක්‍රමණ එළැඹි විට ඇය ගොගුර්යෝ දේශය සමග සන්ධානයකට එළැඹියා ය. එසේම ගොගුර්යෝ දේශය සිල්ලාවට එරෙහි වූ වි‍ට, ඇය ටෑං චීනය සමග සිය සබඳතා වැඩිදියුණු කරගත්තා ය.[4] සිය රාජ්‍යය එක්සත් කළ ඇය චීනය වෙත විද්වතුන් සහ රාජ දූතයන් පිටත් කරහැරියා ය. එසේම ඇය කොරියානු රාජකීය නීති පද්ධතිය නිමවීමට මුලපිරූ අතර සටන් කලාව පුහුණු කරවීම සඳහා තරුණ කොරියානුවන් චීනය වෙත පිටත් කර හැරියා ය.[5]

ටෑං රාජවංශයේ වු සේටියෑන් අධිරාජිනිය සහ සිය පියා මෙන් ඇය ද බුදු දහම වෙත ඇදී ගිය අතර ඇය බෞද්ධ සිද්ධස්ථාන සම්පූර්ණ කිරීම සඳහා මූලිකත්වය ගත්තා ය. ඇය විසින් ඉදි කළ බෞද්ධ සිද්ධස්ථාන අතර හ්වැංන්යොංගුසාහි මහල් නවයේ දැව ස්තූපය ප්‍රධාන වේ. මීටර 80ක් උස මෙම ගොඩනැගිල්ලෙහි සෑම මහලකම සිල්ලාව විසින් යටත් කර ගනු ලැබූ අසල්වැසියන් පිළිබඳ කැටයම් කර තිබිණි.[6] බුන්හ්වංසා සහ යොංම්යෝසා ද නිමැවුණේ ඇගේ අනුග්‍රහය යටතේ ය.

එසේම ඇය විසින් ඉදිකළ "තාරකා-නිරීක්ෂණ කුළුණ" හෙවත් චොම්සොංදේ ඈත පෙරදිග ඉදි වූ ප්‍රථම නිරීක්ෂණාගාරය ලෙස සැලකේ. මෙ කුළුණ අදටත් පැරණි සිල්ලා අගනුවර වූ දකුණු කොරියාවේ ග්යොංජුහි විරාජමානව නැගී සිටියි. එසේම ඇය දුගී ජනයාගේ යහපත උදෙසා ක්‍රියා කළා ය.

647 පළමු චන්ද්‍ර මාසයේ දී, බිදාම් නැමැත්තා විසින් “කාන්තාවන්ට රාජ්‍ය පාලනය කළ නොහැකි ය” (女主不能善理) යන සටන් පාඨය රැගත් කැරැල්ලක් දියත් කරන ලදී.[7] සම්ගුක් සගි මූලාශ්‍රය අනුව බිදාම්ගේ ඉස්මතු වීමත් සමග තරුවක් 'කඩාවැටිණි'. එය රැජිනියගේ රාජ්‍ය සමයේ අවසානය බව පවසමින් මෙම අවස්ථාව බිදාම් සිය අනුගාමිකයන් දිරිමත් කිරීමට උපයෝගී කර ගත්තේ ය. අනෙක් පසින් 'තරුව නැවත මුල් ස්ථානයට ගමන් කරයි' යන්න නිරූපණය කිරීම සඳහා දැල්වූ සරුංගලයක් දියත් කරන ලෙස කිම් යුෂින් රැජිනියට උපදෙස් දුන්නේ ය. ඉන් අනතුරුව කිම් යුෂින්ගේ හමුදාව විසින් බිදාම්ගේ කැරලිකාර පාර්ශ්වය පරාජය කරන ලදී. බිදාම්ගේ කැරැල්ලෙන් දින 30කට පසු,පෙබරවාරි 26වන දින බිදාම් සහ ඔහුගේ මිනිසුන් 30 දෙනකුහට සිල්ලාහි ජින්දොක් රැජින විසින් දඬුවම් පමුණුවන ලදී. (පෙබරවාරි 17 දින සොන්දොක් රැජින මියගියා ය. අනතුරුව ජින්දොක් සිල්ලාවේ රැජින ලෙස රාජ්‍යත්වයට පත්වූවා ය)

පුරාවෘත්ත[සංස්කරණය]

සොන්දොක් කුමරියකව සිටි සමයේ ඇය විසින් පිළිබිඹු කළ දස්කම් සහ ඇගේ පරිණත බුද්ධිය, ඇගේ පියාව ඇයව සිය අනුප්‍රාප්තිකයා ලෙස පත්කිරීමට හේතු වන්නට ඇත. එක් කථාන්තරයකට අනුව (සම්ගුක් සගි සහ සම්ගුක් යුසා යන දෙකෙහිම සඳහන්) ඇගේ පියාට පියොනි ශාක බීජවලින් සමන්විත පෙට්ටියක් ටෑංහි ටයිෂොං අධිරාජයා විසින් එවන ලද අතර එය සමග එම පුෂ්ප පවතින අයුරු නිරූපිත සිතුවමක් ද විය. සිතුවම දෙස බලා, ලාබාල සොන්දොක් පැවසූයේ එම පුෂ්ප අලංකෘත වුවත් එය සුවඳින් තොර බවයි. "එසේ තිබුණේ නම් එම සිතුවමෙහි පුෂ්ප වටා සමනලුන් සහ මීමැස්සන් සිටිය යුතු" බව ඇය පැවසුවේලු.පියොනි ශාකයේ සුවඳ රහිත බව පිළිබඳ ඇගේ නිරීක්ෂණය සත්‍ය විය — මෙය රාජ්‍ය පාලනයට ඇය දැක් වූ දක්ෂතාව සහ ධාරණ ශක්තිය පිළිබඳ උදාහරණයකි.

යමක් සිදුවීඹට පෙර එම අවස්ථාව තේරුම් ගැනීමට සොන්දොක් දැක් වූ අසාමාන්‍ය හැකියාව පිළිබඳ සඳහන් තවත් වාර්තා දෙකක් පවතී. පළමුවැන්නේ සඳහන් වන්නේ වරක් සොන්දොක් සිසිර සෘතුවේ දී ජේඩ් ද්වාර පොකුණ අසල සිටි ගෙඹි රැලක් හඬනගනු ඇසුණු බවයි. මෙය වයඹදිග සිල්ලාවේ (තාරකාවිද්‍යාවේ දී සුදු පැහැය බටහිර දිශාව නිරූපණයට යොදා ගැනිණි) ස්‍ත්‍රීන්ගේ නිම්නය (ජේඩ් ද්වාරය ස්ත්‍රීන් හා සම්බන්ධ ය) වෙත එල්ලවන බෙක්ජේ ආක්‍රමණයක් (හඬලන මැඬියන් කෝපාවිෂ්ඨ සෙබලුන් ලෙස දකින ලදී) පිළිබඳ පෙරනිමිත්තක් බව ඇය නිගමනය කළා ය. ඇය ස්ත්‍රීන්ගේ නිම්න‍ය වෙත සිය සෙන්පතීන් පිටත් කර හැරි විට ඇයට බෙක්ජේ සෙබලුන් දෙදහසක් හසුකර ගත හැකි වූ බව පැවසේ. දෙවන වාර්තාව ඇගේ මරණය පිළිබඳව වේ. ඇගේ මරණයට දින කිහිපයකට පෙර, සොන්දොක් සිය නිලධාරීන් කැඳවා "මා මියගිය පසු, මාව දොරි චොන් (忉利天, "ශෝකයට පත්වූවන්ගේ දෙව්ලොව") අසල භූමදානය කරන්න" යනුවෙන් පැවසූ බව එහි සඳහන් ය. ඇගේ මරණයෙන් දශකයකට පසු, තිස්වන රජු වූ සිල්ලාහි මුන්මු විසින් ඇගේ සොහොනෙහි සචොන්වං-සා (四天王寺 "සිව් දිව්‍යමය රජුන්ගේ දේවස්ථානය") ඉදිකරන ලදී. අනතුරුව වංශවතුන් විසින් බුදුන් වහන්සේගේ කියමනක් වූ "දොරි-චොන් පිහිටියේ සචොන්වං-චොන්ට ඉහළින් ය" යන මතය රැජින විසින් ඉටුකරන ලදී.

මාධ්‍ය‍‍[සංස්කරණය]

2009 MBC නාළිකාව මගින් විකාශය වූ ක්වීන් සොන්දොක් කතාමාලාව තුළ ඇගේ චරිතය ලී යො-වොන් සහ නම් ජි-හ්යුන් විසින් නිරූපණය කරන ලදී. 2012-2013 වර්ෂ තුළ KBS1 නාළිකාව මගින් විකාශය වූ ද කිං’ස් ඩ්‍රීම් (හෙවත් ඩ්‍රීම් ඔෆ් ද එම්පරර්) තුළ ඇගේ චරිතය පාක් ජූ-මි සහ හොං ඉයුන්-හී විසින් නිරූපණය කරන ලදී.

පවුල[සංස්කරණය]

  1. චොන්මියොං කුමරිය (天明公主 천명공주, දින නොදනී),[9] පළමු හෝ 2වන දියණිය
  2. සොන්හ්වා කුමරිය (善化/花公主 선화공주, දින නොදනී),[10][11] 3වන දියණිය[12][13] (ඇගේ අනන්‍යතාව පිළිබඳ නොයෙකුත් වාද විවාද පවතී.)
  • මස්සිනාවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
  1. කිම් යොංසු (金龍樹 김용수) 578-647,[14] චොන්මියොං කුමරියගේ සැමියායි.[තහවුරු කරන්න][15] 13th Pungwolju.
    1. කිම් චුන්-චු (金春秋 김춘추 604-661), එකම පුත්‍රයායි[තහවුරු කරන්න], 18වන පුංවොල්ජුවරයායි; පසුව රජ (තේජොං) මුයොල් (太宗武烈王 태종무열왕) බවට පත් විය.
  • නෑනණ්ඩිය: කිම් ස්‍යුං-මන් (金勝曼 김승만), ගුක්බන් (國飯 국반)[16][17] සහ පාක් පෙළපතේ වොල්ම්යොං ආර්යාවගේ (月明夫人朴氏 월명부인 박씨) එකම දියණියයි.[18] පසුව ජින්දොක් රැජින (眞德女王 진덕여왕) ලෙස රාජ්‍යත්වයට පත්වූවා ය.
  • සැමියා: ගල්මුන්වං ඉයුම් (飮葛文王 음갈문왕), මෙය සඳහන් වන්නේ සම්ගුක් යුසා (삼국유사) මූලාශ්‍රයේ පමණි.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Il-yeon: Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, translated by Tae-Hung Ha and Grafton K. Mintz. Book One, page 57. Silk Pagoda (2006). ISBN 1-59654-348-5
  2. Silla Korea and the Silk Road by Koreasociety
  3. Lee 2008, p. 137
  4. Lee 2008, p. 139
  5. Wollock 2011, p. 254
  6. Lee 2008, p. 140
  7. * (7. Silla and Wa) - Bidam වේබැක් මැශින් මගින් Archived ඔක්තෝබර් 5, 2011
  8. ඇගේ රාජකීය නාමය ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ මවගේ නම ඇසුරෙන් යොදන ලද්දකි.
  9. ඇගේ මරණාපර නාමය මුන්ජොං මව් අධිරාජිනිය (文貞太后 문정태후) යන්නයි.
  10. (කොරියානු) Princess Seonhwa at Doosan Encyclopedia
  11. තුන් රාජධානි සිහිකැඳවුම අනුව, ඇය බෙක්ජේහි මු රජුගේ බිරිඳ සහ උයිජාගේ මවයි.
  12. කෙසේනමුත්, තුන් රාජධානිවල ඉතිහාසය පාදක කරගත් මතවාද අනුව ඇය දොංසොං රජුගේ බිසව බව පැවසුණ ද, සමහරුන්ගේ මතය වන්නේ ඇය කුමරියක නොවූ බවත් ඇය ධනවත් වංශාධිපතියකුගේ දියණිය බවත් ය.
  13. (කොරියානු) Princess Seonhwa at The Academy of Korean Studies
  14. මරණාපර නාමය මහරජ මුන්හ්‍යුං (文興大王 문흥대왕) යන්නයි.
  15. චොන්මියොං කුමරිය කිම් යොං-චුන්‍ගේ පළමු බිරිඳ වූවා ය. ඔහුට තවත් බිරියන් තිදෙනකු වූහ. (එයින් දෙදෙනෙකු වූයේ සොන්දොක් රැජින ලෙස රජවීමට ප්‍රථම දියොක්මාන් කුමරිය, සහ සොන්හ්වා කුමරියයි); එසේම පෙම්වතියන් තිදෙනකු ද විය.
  16. ගුක්ගියෑන් ‍(國其安 국기안) ලෙස ද හඳුන්වයි; ජින්ප්යොං රජුගේ බාලම සොයුරායි.
  17. ජින්ප්යොංගේ පළමු වර්ෂයේ දී (579), ගල්මුන්වං (葛文王 갈문왕) යන නාමය ලබා දිණි. ඔහුව ගල්මුන්වං ජින්’අන් (眞安葛文王 진안갈문왕) ලෙස ද හඳුන්වයි.
  18. අනි ආර්යාව (阿尼夫人 아니부인) ලෙස ද හඳුන්වයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  • Lee, Bae-yong (2008). Women in Korean History. Ewha Womans University Press. 
  • Wollock, Jennifer G. (2011). Rethinking Chivalry and Courtly Love. Praeger. 

බාහිර සබැඳි[සංස්කරණය]

සිල්ලාහි සොන්දොක් රැජින
 මරණය: 647
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
ජින්ප්යොං
සිල්ලාහි රැජින
632–647
අනුප්‍රාප්තික වූයේ
ජින්දොක්