සිල්ලාහි හ්යොක්ගොසේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
හ්යොක්ගොසේ
කොරියාවේ රජ
නිල කාලය ක්‍රි.පූ. 57 - ක්‍රි.ව. 4
පූර්වප්‍රාප්තිකයා නැත
අනුප්‍රාප්තිකයා නම්හේ
උපත ක්‍රි.පූ. 69
මරණය ක්‍රි.ව. 4 (73 වියැති)
භූමදානය සර්යුං
අල්යොං ආර්යාව
දරුවන් සිල්ලාහි නම්හේ
සම්පූර්ණ නාමය
බක් හ්යොක්ගොසේ
යුග නාමය සහදින
තුන් රාජධානි: ක්‍රි.පූ. 57 - ක්‍රි.ව. 668
රාජවංශය සිල්ලා රාජවංශය
සිල්ලාහි හ්යොක්ගොසේ
හංගුල් 박혁거세 거서간
හංජා 西
සංශෝධිත රොමානුකරණය බක් හ්යොක්ගොසේ ගොසොගන්
මෙකන්–රයිෂවර් පක් හ්යෝක්කෝසේ කෝසෝගන්
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමට පෙර)
  1. හ්යොක්ගොසේ ක්‍රි.පූ. 57 – ක්‍රි.ව. 4
  2. නම්හේ 4–24
  3. යුරි 24–57
  4. තල්හේ 57–80
  5. පාසා 80–112
  6. ජිමා 112–134
  7. ඉල්සොං 134–154
  8. අදල්ලා 154–184
  9. බොල්හ්යු 184–196
  10. නේහේ 196–230
  11. ජොබුන් 230–247
  12. චොම්හේ 247–261
  13. මිචු 262–284
  14. යුර්යේ 284–298
  15. ගිරිම් 298–310
  16. හ්‍යුල්හේ 310–356
  17. නේමුල් 356–402
  18. සිල්සොං 402–417
  19. නුල්ජි 417–458
  20. ජබි 458–479
  21. සෝජි 479–500
  22. ජිජ්‍යුං 500–514
  23. බොප්හ්‍යුං 514–540
  24. ජින්හ්‍යුං 540–576
  25. ජින්ජි 576–579
  26. ජින්ප්යොං 579–632
  27. සොන්දොක් 632–647
  28. ජින්දොක් 647–654
  29. මුයොල් 654–661

සිල්ලාහි හ්යොක්ගොසේ (ක්‍රි.පූ.69 - ක්‍රි.ව. 4, රාජ්‍ය. ක්‍රි.පූ. 57 - ක්‍රි.ව. 4) හෙවත් බක් (පාක්, පක්) හ්යෝක්ගොසේ යන සම්පූර්ණ පෞද්ගලික නාමයෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානිවලින් එකක් වූ සිල්ලාවේ ආරම්භක පාලකයායි.[1] ඔහු කොරියාවේ සියලු බක් (පාක්) වංශවල ආදිකර්තෘ ලෙස ද සැලකෙයි.

නාමය[සංස්කරණය]

ඔහුගේ පදවි නාමය වූ ගෝසෝගන් (거서간, 居西干) හෙවත් ගෝස්‍යුල්හන් (거슬한, 居瑟邯) යන්න ජින්හන් සංයුක්ත රාජ්‍යයේ භාෂාවෙන් "රජු" ලෙස අර්ථ දැක් වේ. මෙම ජින්හන් සංයුක්තය කොරියානු අර්ධද්වීපයේ අග්නිදිග පෙදෙසේ ප්‍රධාන බලවත් මධ්‍යස්ථානයක් ලෙස සැලකිණි.

"හ්යොක්ගෝසේ" යන්න පෞද්ගලික නාමයක් නොවේ. නමුත් එය හන්ජාවලින් ඔහුගේ ගෞරව නාමය ලෙස සැලකේ. මෙය පෞරාණික කොරියානු බසින් "බුල්ග්‍යුනේ" (弗矩内 불그내) ලෙස උච්චාරණය කෙරෙන අතර, එහි අර්ථය "දීප්තිමත් ලෝකය" යන්නයි. එහි දී 赫 හ්යෝක් නැමැති චීන අක්ෂරය මගින් "දීප්තිමත්, තේජස්, උත්කර්ෂවත්" (මෙය 赤 ජොක් "රතු" යන අක්ෂරය ද්විත්ව කොට නිර්මාණය කෙරිණි) යන්න අදහස් වන අතර එය කොරියානු නාම විශේෂණ ප්‍රකෘතියක් වන 븕 බයිල්ග්- > 붉 බුල්ග්- "රතු" (< "රතු; දීප්තිමත් වර්ණ ගැන් වූ; දීප්තිමත්" යන්න සඳහා භාවිත වූ පුරාතන කොරියානු වදනකි) යන්න පිටපත් කිරීමට භාවිතා විය. 居 ගෝ නැමැති චීන අක්ෂරය මගින් "දිවිය, විසීම, පදිංචිය, හිඳීම," වැනි අරුතක් හැඟවෙන අතර එය කොරියාවු පූර්ව නාම විශේෂණ ප්‍රත්‍යයක් වන ㄴ -න් ~ 은 -යුන් "~ එය (දීප්තිමත්/රතු), ~ මෙය (දීප්තිමත්/රතු)" යන අරුත සඳහා යොදාගැනිණි. 世 සේ නැමැති "පරම්පරාව; ලෝකය; යුගය" යන අරුතැති චීන අක්ෂරය යල් පිනූ කොරියානු වදනක් වන 뉘 නුයි ~ 누리 නුරි "ලෝකය" යන කොරියානු වදන පරිවර්තනයට භාවිතා වේ.[2]

පදනම් පුරාවෘත්තය[සංස්කරණය]

සම්ගුක් සගි සහ සම්ගුක් යුසා යන මූලාශ්‍රවල හ්යොක්ගෝසේ විසින් සිල්ලාව පිහිටුවූ ආකාරය විස්තර වේ.

ගෝජොසොන් රාජ්‍යයේ අවතැන් වූවෝ වර්තමාන දකුණු කොරියාවේ ග්යොංසං-දෝ නිම්නයේ ගම්මාන සයක පදිංචි වූහ. මෙම ගම්මාන සය යංසන් (양산촌, 楊山村), ගොහෝ (고허촌, 高墟村), ජින්ජි (진지촌, 珍支村), දේසු (대수촌, 大樹村), ගරි (가리촌, 加利村), සහ ගෝයා (고야촌, 高耶村) නම් විය.[3]

ක්‍රි.පූ. 69දී ගම්මාන සයෙහි නායකයින් රාජධානියක් පිහිටුවා එයට රජකු පත්කිරීමට සාකච්ඡා කරන්නට විය. මේ අතර යංසන්හි නාජොං නැමැති වනාන්තරයක‍් වෙත අහසෙන් අද්භූත එළියක් වැටුණු අතර සුදු අශ්වයකු දණගසා සිටියේ ය. ගොහෝහි නායක සො‍බෝල්ගොං එතැන තිබී විශාල බිත්තරයක් සොයගත්තේ ය. එම බිත්තරයෙන් පිටතට පිරිමි දරුවකු පැමිණි අතර, ඔහුව ස්නානය කරවූ විට ඔහුගේ සිරුර දිදුළන්නට විය. පක්ෂීන් සහ වන සතුන් රඟදෙන්නට වූහ.

සොබෝල්ගොං විසින් ඔහුව හදාවඩා ගත් අතර, ප්‍රධානීන් සයදෙනා ඔහුට ගෞරව කළහ. දරුවාට වයස 13 සපිරෙන විට ප්‍රධානීන් සයදෙනා ඔහුව සිය රජු බවට පත්කළහ. එම රාජ්‍යය සෝරබෝල් ලෙස නම්කරන ලදී.

රජ බවට පත්වීමෙන් පසු ඔහු අල්යොං ආර්යාව (알영, 閼英) සමග විවාහ විය. අල්යොං ආර්යාව උඵත ලැබූයේ මකරකුගේ පර්ශුවලින් යැයි පැවසේ.

ඓතිහාසික සටහන්[සංස්කරණය]

මෙම පුරාවෘත්තය මගින් පැවසෙන්නේ නාගරික රාජ්‍යයේ වර්ධනය පිළිබඳවයි. ප්‍රධානීන් සයදෙනා ගෝජොසොන් රාජ්‍යයේ අවතැන්වූවන් යැයි පැවසේ. මෙම කථාව මගින් ස්වදේශික ජනයාට වඩා බක් වංශයේ ඉස්මතු වීම නිරූපණය වන අතර, ඇතැම් විට ඔවුන් සූර්යයා සහ අශ්වයා වන්දනාමාන කරන්නට ඇති බව පෙනේ.

මෙම රාජ්‍යයේ ස්ථාපිත දිනය මතභේදයට තුඩු දී ඇත. එයට හේතුව සම්ගුක් සගි ග්‍රන්ථය ලියැවී ඇත්තේ සිල්ලාවේ දෘෂ්ටිකෝණයෙන් වීමයිත එහිදී ගොගුර්යෝ සහ බෙක්ජේ රාජ්‍යවලට වඩා සිල්ලාවේ පුරාණභාවය සහ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කොට ඇත. මෙම සම්ප්‍රදායික දර්ශනය අනුව, මුලින්ම සිල්ලා රාජ්‍යයත්, අනතරුවු පිළිවෙලින් ගොගුර්යෝ සහ බෙක්ජේ රාජ්‍යයනුත් බිහිවූ බවත් සිතියට හැක. නමුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් අපට ලබාදෙන්නේ වෙනස්ම චිත්‍රයකි. එහිදී තුන් රාජධානි අතුරින් පැරණිතම රාජ්‍යය ගොගුර්යෝව ලෙසත්, සිල්ලාව බෙක්ජේ රාජ්‍යයට සමකාලීනව හෝ ඉන්පසුව වර්ධනය වූවක් ලෙසත් සැලකෙයි.

රාජ්‍ය සමය[සංස්කරණය]

සම්ගුක් සගි ග්‍රන්ථය අනුව, හ්යොක්ගෝසේ සහ ඔහුගේ රැජින ක්‍රි.පූ. 41දී රාජ්‍යයේ සැරිසරමින් ජනතාවට සිය වගාවන් වැඩිදියුණු කරගැනීමට උපකාර කොට තිබේ. ජනතාව ඔවුන්ව ශාන්තුවරයින් දෙපළ එසේත් නැතිනම් ශුද්ධවන්තයින් දෙපළ (이성, 二聖) යනුවෙන් හඳුන්වමින් අගය කොට ඇත.

ක්‍රි.පූ. 37දී හ්යොක්ගෝසේ විසින් අගනුවර (වර්තමාන ග්යොංජු) තුළ ග්‍යුම්සොං (금성, 金城) ඉදිකළ අතර, ක්‍රි.පූ. 32දී එය ඇතුළත රාජ මාලිගයක් තනවන ලදී.

ක්‍රි.පූ. 28දී චීන ලෙලෑං ආඥාහමුදාව ආක්‍රමණයක් දියත් කරන ලදී. නමුත් ධාන්‍යවලින් සපිරි ජනයා රාත්‍රියේ සිය නිවෙස් අගුළු නොදමන බව දැක පසුබට වූ ඔවුන් පවසා ඇත්තේ සිල්ලාව යනු සදාචාරාත්මක රාජ්‍යයක් බවයි.

ක්‍රි.පූ. 20දී මහන් සංයුක්ත රාජ්‍යයේ රජු සිල්ලාවෙන් කප්පම් ඉල්ලා සිටියේ ය. ඒ වෙනුවට සිල්ලාවේ රජු අමාත්‍ය හෝගොංව පිටත් කොට හැරියේ ය. සිල්ලාවෙන් කප්පම් වෙනුවට හෝගොංව එවීඹ පිළිබඳ රජු ‍කෝපයට පත් විය. ධෛර්යයයෙන් යුතුව හෝගොං මහන් රජුගේ අවිනීතභාවය පිළිබඳ විවේචනය කළේ ය. කෝපයට පත් රජු ඔහුව මරාදැමීමට තැත්කළත්, යාබද නිලධාරීන් රජුව වළක්වා ඔහුට නැවත සිල්ලාව වෙත යාමට අවසර දෙන ලදී.

ක්‍රි.පූ. 19දී මහන් රජු මියයාමත් සමග ක්‍රි.පූ. 20දී හ්යොක්ගෝසේ දූතයන් පිටත් කර යැවී ය. ක්‍රි.පූ. 5දී නැගෙනහිර ඔක්ජෝ (උතුරින් පිහිටි කුඩා රාජ්‍යයකි; පසුව ගොගුර්යෝව විසින් ආක්‍රමණය කරන ලදී) රාජ්‍යයෙන් සිල්ලාව වෙත දූතයන් එවූ අතර, හ්යොක්ගොසේ ඔවුනට අශ්වයන් 20 දෙනකු ත්‍යාග කළේ ය.

මරණය සහ අනුප්‍රාප්තිය[සංස්කරණය]

වසර 60ක් පමණ රාජ්‍ය පාලනය කළ හ්යොක්ගෝසේ විසින් බිහිකළ රාජධානිය පසුකලෙක, එනම් ක්‍රි.ව. 668දී කොරියානු අර්ධද්වීපයේ වැඩි ප්‍රදේශයක් එක්සත් කිරීමට සමත් විය.[4]

සිල්ලාව පාලනය කළ පාක් වංශික පාලකයන් කිහිප දෙනාගෙන් පළමුවැන්නා ද හ්යොක්ගෝසේ වේ. 73වන වියේ දී මියගිය ඔහුගේ දේහය උතුරු දමොම්සා (නම්චොන්හි දකුණු පෙදෙස) ප්‍රදේශයේ සාර්යුංහි භූමදානය කරන ලදී. හ්යොක්ගෝසේගෙන් පසු ඔහුගේ වැඩිමහල් පුත් නම්හේ සහිසුනට පත් විය.

උරුමය[සංස්කරණය]

හ්යොක්ගෝසේ පිළිබඳ එතැම් තොරතුරු අනාවරණය වී නොමැති වුවත්, ඔහුගේ දායාදයන් සහ පැවතෙන්නන් වර්තමානයේ ද දක්නට ලැබේ. ඔහුගෙන් පැවතෙන්නේ යැයි සැලකෙන කොරියාවේ පාක් වංශය පොදු අවසන් නාමයක් සහිත තෙවන විශාලතම ජන කොට්ඨාසය ලෙස සැලකෙයි. සිල්ලාවේ බලය ක්‍රමයෙන් ඔහුගේ වංශිකයන්ට අහිමි වුවත්, සිල්ලාවේ ආදිකර්තෘ වශයෙන් ඔහු සැමදෙනාගේම ගෞරවාදරයට පාත්‍ර විය.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

සිල්ලාහි හ්යොක්ගොසේ
උපත: ක්‍රි.පූ. 69 මරණය: ක්‍රි.ව. 4
රාජ පදවි නාමයන්
නව නිමැවුම සිල්ලාහි පාලක
ක්‍රි.පූ. 57 – ක්‍රි.ව. 4
අනුප්‍රාප්තික වූයේ
නම්හේ
"https://si.wikipedia.org/w/index.php?title=සිල්ලාහි_හ්යොක්ගොසේ&oldid=387384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි