වජ්‍රායුධය ( වජ්‍රය )

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
හින්දු දෙවි ඉන්ද්‍ර හෙවත් සක්‍ර වජ්‍රය රැගෙන අයිරාවත හස්තියා මත ගමන් කරයි. මෙම ආයුධය හින්දු පුරාවෘත්තයට අනුව මහර්ෂි දධිචිගේ ඇටකටු වලින් සාදා ඇත.

වජ්‍රය හෙවත් වජ්‍රායුධය දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්ගේ ආයුධයයි. වජ්‍ර යන සංස්කෘත වචනය දියමන්ති සහ අකුණ යන අර්ථ දෙකම දරයි . [1] සක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය සංකේතවත් කරමින් ඈත අතීතයේ පටන් වජ්‍ර නිපදවීම සිදුකෙරේ.

වජ්‍රය යනු මූලික වශයෙන් දාර හතරක් හෝ අටකින් යුක්ත හිස් දෙකක් දෙපසින් ඇති මධ්‍යයෙන් තරමක ගෝලාකාර හැඩයක් ඇති මුගුරකි . දෙපස දාර අගින් එක්වී හාවී තිබෙන ඒවාද, දාර එක් නොවී වෙන් වෙනම උල් හැඩති ඒවාද ඇත. වජ්‍රායුධය ඉන්දීය වෛදික වැසි හා අකුණු දෙවියන් වන ඉන්ද්ර ගේ අවියයි. එමෙන්ම බුදු දහම, ජෛන ආගම හා හින්දු ඉගැන්වීම් වල ආත්මය හා ආත්මික බලය, ශක්තිමත් භාවයට නියෝජනය කිරීමට බොහෝ විට යොදා ඇත. ඉන්දියානු පුරාවෘත්තයට අනුව, වජ්රය විශ්වයේ බලවත්ම ආයුධයක් ලෙස සැලකේ. [2] සංකේතාත්මක හා චාරිත්‍රානුකූල මෙවලමක් ලෙස වජ්ර භාවිතය හින්දු ආගමේ සිට ඉන්දියාවේ සහ ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත විය. ලංකාව තුල වජ්‍ර භාවිතය ආරම්භ වුයේ ඉතාම මෑතකාලීනව ( 2013 - 2020 ) වුවද ඉන්දියාව ටිබේටය චීනය තායිලන්තය වැනි රටවල ඉතා ඈත කාලයේ පටන් වජ්‍ර නිර්මාණය හා භාවිතය සිදුකෙරේ.

ඉන්දියානු පුරාවෘත්තයට අනුව, වජ්‍ර විශ්වයේ බලවත්ම ආයුධයක් ලෙස සැලකේ. [2] සංකේතාත්මක හා චාරිත්‍රානුකූල මෙවලමක් ලෙස වජ්‍රය භාවිතා කිරීම හින්දු ආගමේ සිට ඉන්දියාවේ සහ ආසියාවේ වෙනත් ප්‍රදේශවල ව්‍යාප්ත විය.

ටිබෙට් වජ්රයක්
වජ්‍ර ආයුධය අල්ලාගෙන සිටින මහාකාල
භූතානයේ සංකේතයේ විශ්වවජ්ර හෙවත් “ද්විත්ව වජ්ර” දර්ශණය වේ.

ශබ්ද නිරුක්තිය[සංස්කරණය]

Asko Parpola ට අනුව , සංස්කෘත බසින් vajra හා Avestan බසින් vazra දෙකම දේව ආයුධයකි , එමෙන්ම එම පද දෙකම * weg' යන ප්‍රාග්-ඉන්දු-යුරෝපීය ප්‍රභවයක් දරයි. ඉන් අදහස් වන්නේ " බලවත් භාවය උදාකරන " යන්නයි. එය ප්‍රාග්- Finno - Uralic භාෂා වල * vaśara, (මිටියක්, පොරොව) යන අර්ථය දරයි. නමුත්, සංස්කෘත හා Finno-Ugric ව්යුත්පන්න දෙකම ප්‍රාග් ආර්ය හෝ ප්‍රාග් ඉන්දු ආර්ය යෙදුම් මිස ප්‍රාග් -ඉරාන යෙදුමක් විය නොහැකි බව Parpola හා Carpelan පවසන්නේ එහි පලස්තීකෘත සිබිලන්ට් වින්‍යාසයක් ඇති බැවිනි. [3] [4] [5]

ආදී මූලාශ්‍ර[සංස්කරණය]

රිජ්වේදය[සංස්කරණය]

වජ්‍රය පිළිබඳව ආදිතම සටහන ඇත්තේ චතුර්වේද යෙන් කොටසක් වන ඍජ්වේදය තුලයි. එය දෙවිවරුන් අතර ප්‍රධානියා වන ඉන්ද්‍ර ගේ ආයුධය ලෙස විස්තර කෙරේ. ඉන්ද්‍ර පිලිබඳ විස්තර කරනුයේ පව්කාරයන් සහ මිලේච්ඡ පුද්ගලයන් නැසීමට වජ්‍රය භාවිත කල බවයි. [6] දිව්‍ය උපකරණ නිපදවන ත්වාස්ට විසින් මෙම ආයුධය ඉන්ද්ර වෙනුවෙන් සාදන ලද බව රිග්වේදයේ සඳහන් වේ. ඊට සම්බන්ධ කතාව විස්තර කරන්නේ ඉන්ද්‍ර සර්පයෙකුගේ ස්වරූපය ගත් වෘත නම් අසුරයාව මරා දැමීමට තම අතේ තබාගෙන සිටි වජ්‍රය භාවිතා කිරීමයි. [7]

වජ්‍ර භාවිතා කිරීමේ ඔහුගේ දක්ෂතාවය හේතුවෙන්, රිජ්වේදයෙහි ඉන්ද්‍ර සඳහා භාවිතා කරන ලද සමහර පද නම්, වජ්‍රභ්‍රිත් (වජ්‍රය දරාගෙන), වජ්‍රිවට් හෝ වජ්‍රින් (වජ්‍ර වලින් සන්නද්ධව), වජ්‍රදක්ෂිනා (වජ්‍රායුධය දකුණු අතේ තබාගෙන), සහ වජ්‍රබාහු හෝ වජ්‍රහස්ත (වජ්ර අතේ තබාගෙන). ඉන්ද්‍ර සමඟ වජ්‍ර ඇසුර පසුකාලීන පුරාණ සාහිත්‍යයේ හා බෞද්ධ කෘතිවල යම් යම් වෙනස් කිරීම් සමඟ අඛණ්ඩව සිදු විය. 5 වන සියවසේ දී ථෙරවාද බුදු දහමේ ප්‍රධාන භික්ෂුවක් වන බුද්ධඝෝෂ, වජ්‍රපානි බෝධිසත්ත්වයෝ හා ඉන්ද්‍ර යන දෙදෙනාම එකම අයෙකු ලෙස සැලකූහ. [8]

පුරාණ[සංස්කරණය]

තායිලන්තයේ වජිරාවුද් රජුගේ පෞද්ගලික මුද්‍රාව ලෙස ඉන්ද්‍රගේ වජ්‍රය

බොහෝ පසුකාලින පුරාණ ග්‍රන්ථ වලදී රිජ්වේදයේ සඳහන් වජ්‍රය පිළිබඳ කතා පුවත විවිද වෙනස්කම් සහිතව දක්වා තිබේ. එක් ප්‍රධාන එකතු කිරීමක් වන්නේ දධිචි නම් ඍෂිවරයා ගේ භූමිකාවයි. එක් පුවතකට අනුව වෘත නම් අසුරයා විසින් ඉන්ද්‍ර දෙවියන් දෙව්ලොවින් පලවාහරින ලදී. මෙම අසුරයා එතෙක් ලොව තිබු කිසිදු ආයුධයකින් මරණයට පත්කළ නොහැකි ලෙසත්, කිසිදු දැවමය හෝ ලෝහමය ආයුධයකින් මරණයට පත්කළ නොහැකි ලෙසත් වරයක් ලබා සිටියේය.

තම රාජධානිය නැවත ලබා ගැනීමේ බලාපොරොත්තුව නැති කරගත් ඉන්ද්‍රා, ඔහුට උදව් කළ හැකි ශිව වෙත ළඟා වූ බව කියනු ලැබේ. ශිව හා බ්‍රහ්ම සමඟ ඉන්ද්ර විෂ්ණුගේ උපකාරය පතා ගියේය. විෂ්ණු ඉන්ද්‍රට හෙළි කළේ දඩිචිගේ ඇටකටු වලින් සාදන ලද ආයුධයක් පමණක් වෘතාසුර පරාජය කරන බවයි. එබැවින් ඉන්ද්‍ර සහ අනෙක් දෙවිවරු දධිචි ඍෂි වෙත ගොස් වෘත පරාජය කිරීමට ඔහුගේ උදව් ඉල්ලා සිටියේය. දෙවියන්ගේ ඉල්ලීමට දධිචි එකඟ වූ නමුත් ඔහු කියා සිටියේ සියළුම ශුද්ධ ගංගාවලට වන්දනා ගමනක් යාමට අවශ්‍ය බවයි. ඉන්ද්‍ර දෙවි සියළු ශුද්ධ ගංගාවල සියලු ජලය නයිමිෂ නම් වනාන්තරයට ගෙන රැස් කරන ලදී . එමඟින් ඍෂිවරයාට තවත් කාලය අහිමි නොවී තම පැතුම ඉටු කර ගැනීමට ඉඩ ලබා දුන්නේය. පසුව දධිචි යෝග මගින් තම ජීවිතය අත්හැරියේය . ඉන්පසු දෙවිවරු ඔහුගේ කොඳු ඇට පෙළේ අස්ථි ගෙන වජ්‍රායුධය නිර්මාණය කළහ. මෙම ආයුධය පසුව වෘත අසුර පරාජය කිරීම සඳහා යොදා ගත් අතර ඉන්ද්‍ර දෙවියන් ට දේවලෝක රජු ලෙස තම ස්ථානය නැවත ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේය.

තවත් කතා පුවතක ඇතිලෙස, වරක් දෙවිවරු අසුරයන් විසින් තම ආයුධ ලබාගැනීමට සිදුකරන ගුප්ත මායාවන් මැඩලීමට නොහැකිව තම ආයුධ ආරක්ෂා කරදෙන ලෙස දධිචිගෙන් ඉල්ලා සිටියහ. දධිචි ඉතා දීර්ඝ කාලයක් එම කාර්යයේ නිරතව සිටි අතර අවසානයේ වෙහෙසට පත්ව ඔහු පානය කළ පූජනීය ජලයේ ආයුධ විසුරුවා හැර ඇති බව කියනු ලැබේ. දෙවියන් බොහෝ කලකට පසු ආපසු පැමිණ, වෘතගේ නායකත්වයෙන් යුත් අසුර පරාජය කිරීම සඳහා ආයුධ නැවත ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. කෙසේවෙතත්, තමන් කළ දේ ගැන දඩිචි ඔවුන්ට පැවසූ අතර ඔවුන්ගේ ආයුධ දැන් ඔහුගේ ඇටකටු වල කොටසක් බව ඔවුන්ට දන්වා සිටියේය. දෙවියන්ට අසුර පරාජය කළ හැකි එකම ක්‍රමය තම අස්ථි බව වටහා ගත් දධිචි, තම මායා බලයෙන් මැවූ අද්භූත ගිනිදැල් වළක තම ජීවිතය පූජා කළේය. බ්‍රහ්මයා දධිචි ඍෂි වරයාගේ ඇටකටු වලින් වජ්‍රායුධය ඇතුළු ආයුධ විශාල ප්‍රමාණයක් නිර්මාණය කළ බව කියනු ලැබේ. දෙවියන් විසින් මෙලෙස නිර්මාණය කරන ලද ආයුධ භාවිතා කරමින් අසුර පරාජය කළ බව කියනු ලැබේ.

රාමායණය[සංස්කරණය]

හනුමාන් සිය ළමා කාලය තුළ සූර්ය දෙවියන් ගිලීමට උත්සාහ කරන විට ඉන්ද්‍ර තම වජ්‍රායුධයෙන් හනුමන් හට අකුණු සර එල්ලකළ බව රාමායනයේ දැක්වේ. කෙසේ වෙතත්, ඔහු එයින් කිසිදු බලපෑමකට ලක් නොවීය.

වජ්‍රයාන බුද්ධාගම[සංස්කරණය]

බුද්ධාගමේ වජ්ර යනු බුද්ධාගමේ ප්‍රධාන නිකායන් තුනෙන් එකක් වන වජ්‍රයානයේ සංකේතයයි. වජ්‍රයානය “අකුණු මග” [9] හෝ “ දියමන්ති මාර්ගය ” ලෙස අර්ථ දක්වා ඇත. [10]

තාන්ත්‍රික බුදු දහම ( වජ්‍රයානය ) දී ලාමාවරුන් විසින් vajra හා tribu (සීනුව) [11] බොහෝ චාරිත්ර තුළ භාවිතා වේ. වජ්‍රය පුරුෂත්වයේ සංකේතයයි. එය උපාය (දක්ෂ බව) නියෝජනය කරයි. එහි සහචර මෙවලම වන සීනුව කාන්තා සංකේතයක් වන අතර ප්‍රඥාව නියෝජනය කරයි. දයානුකම්පාව හා ප්‍රඥාව යන බලවේගයන්ගේ එකමුතුව සංකේතවත් කරමින් සමහර දෙවිවරුන්ගේ පිළිම වජ්‍රය හා සීනුව අත දරා සිටින ලෙස නිර්මාණය කර තිබේ.

වජ්‍රසත්ව වජරය ඔහුගේ දකුණු අතේ ද සීනුව වම් අතේ ද තබාගෙන සිටී.

බුද්ධාගමේ තාන්ත්‍රික සම්ප්‍රදායන් තුළ, වජ්ර යනු යථාර්ථයේ ස්වභාවය හෝ ශුන්‍යත්වයේ සංකේතයකි. එය නිමක් නැති නිර්මාණශීලිත්වය, විභවය සහ දක්ෂ ක්‍රියාකාරකම් පෙන්නුම් කරයි. මෙම පදය තාන්ත්‍රික සාහිත්‍යයෙහි බහුලව භාවිතා වේ: අධ්‍යාත්මික ගුරුවරයා හඳුන්වන යෙදුම වජ්‍රචාර්යා ය. ධ්‍යානි බුදුන් පස්දෙනා අතුරින් එක් අයෙකු වජ්‍රසත්ත්ව නම් වේ.

වජ්‍රය විවිද ලෝහ වලින් සංකේතයක් ලෙස තාන්ත්‍රික චාරිත්‍ර වාරිත්‍ර සඳහා පුළුල් ලෙස භාවිතා කරයි. එය ගෝලාකාර කේන්ද්‍රීය කොටසකින් සමන්විත වන අතර, දෙපස සමමිතික කට්ටල දෙකකින් යුක්ත වේ. එය ගෝලාකාරයේ දෙපස නෙළුම් මලෙන් පිටතට විහිදෙන අතර කේන්ද්‍රයේ සිට සමාන ලක්ෂ්‍ය දෙකක මධ්‍යයට පැමිණේ. එමඟින් එය “දියමන්ති සෙංකෝලය”ක හැඩය නිරුපණය කරයි.

තාන්ත්‍රික නිරූපණයේ විවිධ චරිත වජ්‍රය දරාසිටින ලෙස නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ. මේවායින් වඩාත් ප්‍රචලිත වන්නේ වජ්‍රසත්ත, [2] වජ්‍රපානි සහ පද්මසම්බව ය . වජ්‍රසත්ව වජ්‍රාව ඔහුගේ දකුණු අතේ හදවතට ලඟින් අල්ලාගෙන සිටී. තේජාන්විත වජ්‍රපානිගේ රූපය වජ්‍රාව ඔහුගේ දකුණු අතේ හිසට ඉහළින් දරා සිටියි. පද්මසම්බව ඔහුගේ දකුණු දණහිසට ඉහළින් වජ්රා තබාගෙන සිටී.

වජ්‍රය හා සීනුව[සංස්කරණය]

Itsukushima ජපන් දිවයිනේ Vajrayana චාරිත්ර සඳහා භාවිත කළ වස්තූන් පහක් : දැති පහක කෙටි වජ්‍රය (五鈷杵gokosho), දැති එකක් පමණක් සහිත වජ්‍රය (独鈷杵tokkosho) , වජ්‍ර හා සීනුව තබන වේදිකාව (金剛盤kongōban), දැති තුනක වජ්‍රය (三鈷杵sankosho), සහ දැති පහක සීනුව (五鈷鈴gokorei)

වජ්‍ර සෑම විටම පාහේ චාරිත්රානුකූල සීනුව සමඟ යුගලනය වේ. බෞද්ධ ආගමික වත්පිළිවෙත් වල භාවිතා වන චාරිත්‍රානුකූල සීනුව සඳහා ටිබෙට් යෙදුම ට්‍රිබු ය. පූජකවරු සහ බැතිමතුන් චාරිත්‍ර වාරිත්‍ර අතරතුර සීනුව නාද කරති. මෙම චාරිත්රානුකූල මෙවලම් දෙකම එකවර භාවිත කිරීම තුලින් ප්රබුද්ධ මනස තුළ ප්‍රඥාව සහ කරුණාව වෙන් කළ නොහැකි බව නිරූපණය කරයි.

වජ්‍රය හා සීනුව
වජ්‍රය හා සීනුව

සීනුව භාවිතය[සංස්කරණය]

තාන්ත්‍රික බෞද්ධ චාරිත්‍රයේ සියලුම සංගීත භාණ්ඩ අතර සීනුව බහුලව භාවිතා වේ. සීනුව නාද කරන ශබ්දය ඉතා සුබදායක ලෙස සලකනු ලබන අතර චාරිත්‍රය සිදුකරන ස්ථානයෙන් නපුරු ආත්මයන් දුරු කරනු ඇතැයි විශ්වාස කෙරේ. සීනුව වජ්‍රය සමඟ භාවිතා කරන විට එහි භාවිතය චාරිත්‍රය හෝ මන්ත්‍ර ගායනා කිරීම අනුව වෙනස් වේ. භාවනාවේදී සීනුව නාද කරමින් බුදුන් වහන්සේ ධර්මය සජ්ජායනා කිරීම ප්‍රඥාව අත් කර ගැනීම සහ හිස්බව පිළිබඳ අවබෝධය සංකේතවත් කරයි. මන්ත්‍ර ගායනා කරන විට පිරිමි සහ ගැහැණු මූලධර්මවල එකමුතුව නියෝජනය කිරීම සඳහා බෙල් සහ ඩෝර්ජ් (වජ්‍ර) විවිධාකාර චාරිත්‍රානුකූල ක්‍රම භාවිතා කරයි. [12] [13]

සංකේතමය අර්ථනිරූපණය[සංස්කරණය]

වජ්‍රය[සංස්කරණය]

වජ්‍රය කොටස් කිහිපයකින් සෑදී ඇත. මධ්‍යයේ ශුන්‍යත්වය නිරූපණය කරන ගෝලයක් ඇත, [10] එය විශ්වයේ මූලික ස්වභාවය, සියල්ලේ ඒකාත්මික බව නිරුපණය කරයි. ගෝලයෙන් දෙපසට මතුවන්නේ පෙති අටක නෙළුම් මල් දෙකකි. [14] එකක් ලෞකික ලෝකය නියෝජනය කරයි (බෞද්ධ අර්ථයෙන් සංසාරය ), අනෙක ලෝකෝත්තර ලෝකය ( නිර්වාණය ) නියෝජනය කරයි. වජ්‍රයේ මෙම භෞතික ප්රකාශනය dorje (ඩොර්ජ්) ලෙසද හැඳින්වේ .

නෙළුම් මලෙන් එය වටා මකරුන් දෙදෙනෙක් හෝ හතර දෙනෙක් හෝ අට දෙනෙක් පැනනගියි. මොවුන් අර්ධ මාළු, අර්ධ කිඹුලන් ලෙසද නිරුපණය කෙරේ [2] . මකරුන්ගේ මුවින් පිටතට නෙරා එන දිව මැද එක් ලක්ශ්‍යයකට එකතු වේ.

දැති පහකින් යුත් වජ්ර (මකරුන් හතරක් සහ මධ්‍ය උලක් සහිත) බහුලව දක්නට ලැබෙන වජ්‍ර ආකාරයයි. වජ්‍රයේ ලෞකික හා ලෝකෝත්තර පැති අතර සමානතාව වජ්‍රායාන සංකල්ප වලින්ද මනාව විග්‍රහ කෙරේ. එක් වැදගත් ගැලපීමක් වන්නේ ඥාණයන් පහ හා “විෂ” පහ අතර සම්බන්ධතාවයයි. විෂ පහ යනු පුද්ගලයෙකුගේ මනසෙහි මුල් සංශුද්ධතාවය අපැහැදිලි කරන මානසික තත්වයන් වන අතර ඥාණයන් පහ යනු බුද්ධිමත් මනසෙහි වැදගත්ම අංග පහයි.

ජනප්රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

ඉන්දියාවේ ඉහළම යුධ හමුදා ලාංචනය වන පරම් වීර් චක්‍ර තුල වජ්‍රයක් සංකේත කර තිබෙන්නේ වජ්‍රය නිර්මාණය සඳහා ජීවිතය පරිත්‍යාග කල දධිචි ඍෂි හට ගෞරව කිරීමක් ලෙසිනි.

තායිලන්තයේ ස්වයම්භූනාත් පන්සල තුල විශාල වජ්‍රයක් නිර්මාණය කර ඇති බව දක්නට ලැබේ

ස්වයම්භුනාත් පන්සලෙහි විශාල වජ්‍රය
ස්වයම්භුනාත් පන්සලෙහි විශාල වජ්‍රය

මුලාශ්‍ර[සංස්කරණය]

 

  1. Vajra or Dorje
  2. 2.0 2.1 2.2 2.3 Ritual Implements in Tibetan Buddhism: A Symbolic Appraisal
  3. Parpola & Carpelan 2005.
  4. Asko Parpola 2015.
  5. Douglas Q. Adams (1997). Encyclopedia of Indo-European Culture. Routledge. p. 112. ISBN 978-1-884964-98-5.
  6. Rigveda 2.12
  7. Rigveda 1.32, translated by Ralph T. H. Griffith
  8. DeCaroli, Haunting the Buddha, p. 182
  9. Vajrayana
  10. 10.0 10.1 Vajra at Encyclopædia Britannica
  11. https://www.yowangdu.com/tibetan-buddhism/hand-mudras.html
  12. Beer, Robert (1999). The Encyclopedia of Tibetan Symbols and Motifs, Shambhala, Boston. ISBN 978-1570624162.
  13. Vessantara (2001). The vajra and bell, Birmingham. ISBN 978-1899579419.
  14. Vajra - Dorje - Benzar - Thunderbolt - Firespade - Keraunos

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වජ්‍රායුධය_(_වජ්‍රය_)&oldid=477160" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි