ලංකා දිවයිනේ මිරිදිය මාළුවෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ලංකාව පුරා පැතිරී ඇති ගංගා,ඇල දොල,වැව්-පොකුණු ආදි පරිසර පද්ධති ආශ්‍රිතව මිරිදිය මසුන් ව්‍යාප්තව පවති.වර්තමානය වන විට මිරිදිය මත්ස්‍ය විශේෂ 104 ක් පමණ ලංකාවෙන් සොයා ගෙන ඇත.එය 35.1% ක් පමණ වේ.විවිධ හේතුමත ලංකාවට හදුන්වා දුන් මසුන් හැර ,දේශීය මසුන් ගැන පමණක් සළකා බැලුවහොත් මෙම සංඛ්‍යාව 44.6% ක් වැනි ඉතා ඉහළ අගයක් ගනී.මේ අනුව පැහැදිළි වන්නේ ලංකාවට ඉතා පොහොසත් මත්ස්‍ය සම්පතක් පවතින බවය.එනමුදු වර්තමානයේ විවිධ හේතු මත ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇත.ඇතැම් මත්ස්‍ය විශේෂ වඳවීයාමේ තර්ජනයටද ලක් වී ඇත.ලංකාවට ආවේනික මත්ස්‍යයකු වඳවීයාම තවත් අතකින් එම මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම තුරන්වීමකි.

ශ්‍රි ලංකාවේ මිරිදිය මසුන් අපට ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන්කළ හැකිය.

01)දේශීය විශේෂ (Indigenous)

02) හදුන්වාදෙන ලද විශේෂ (Introduce)


දේශීය විශේෂ ගොනුව:තල් කොස්සා.jpg

  • ශ්‍රිලංකාවේ මිරිදිය පරිසරයේ ජීවත් වේ.
  • ස්වභාව්කව ජීවත් වෙමින් තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගනී.
  • ලංකාවේ ආවේණික මිරිදිය මසුන් මෙම ගණයට අයත් වේ.
  • වසර ගණනක් හුදකලාවීමේ ප්‍රතිඵලයක් ලෙස මොවුන් පරිණාමණයවී ඇත.


හදුන්වාදෙන ලද විශේෂ

  • මැලේරියා මර්දන ව්‍යාපාරය යටතේ මදුරැ කීටයන් ගිල දැමීමට හදුන්වා දුන් මසුන් ද මීට අයත් වේ.

උදා:- ගප්පි (pocecilia reticulata)

  • ජලජ ජීවී වගාව සඳහා ප්‍රෝටීනමය අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් හදුන්වා දුන් මසුන් වි‍‍ශේෂ වේ.

උදා:-අප්‍රිකාණු තිලාපියන් ඉන්දියාණු කාපයන්

  • විසිතුරු මත්සයන් ඇති කරන්නන් විසින් මිරිදිය ජලාශ වල‍ට මුදා හරිනු ලැබූ මත්ස්‍ය විශේෂ වේ.

උදා:-මන්නයා(Notopterus chitala)

වර්තමානයේ ලංකාවේ දේශීය මිරිදිය මසුන් විශේෂ 74 ක් හදුනාගෙන ඇති අතර ඉන් 33 ක් ලංකාවට ආවේණික වේ. ඔවුන් ගෝත්‍ර 8 කට හා කුල 19 කට අයත් වේ. මින් කුල දෙකක මසුන් 100% ලංකාවට ආවේනික වේ.ලංකාවට හදුන්වා දෙන මසුන් ගෝත්‍ර 6 කට හා කුල 9 කට අයත් වේ. ශ්‍රී ලංකා‍වේ මිරිදිය මසුන්ගේ සංයුතිය


ශ්‍රී ලංකා‍වේ ප්‍රධාන මත්ස්‍ය විද්‍යාත්මක කලාප[සංස්කරණය]

01)නිරිත දිග කලාපය (South Western Province) (අත්තනගලු ඔය දෝණියේ සිට නිල්වලා ගංගා දෝණිය දක්වා තෙත් කලාපීය ප්‍රදේශ)

02)මහවැලි කලාපය (Mahaweli Province) (මහවැලි ගංගා දෝණිය ඇතුලත් ප්‍රදේශය)

03)වියළි කලාපය (Dry Zone Province) (ඉහත ප්‍රදේශ හැර ඉතිරි වියළි කලාපීය ප්‍රදේශ)

  • මීට අමතරව 1 හා 2 කලාප අතර සංක්‍රමණ කලාපයක් ද හදුනාගෙන ඇත.


ලංකාවට පමණක් ආවේණික මිරිදිය මසුන් කීපයක්[සංස්කරණය]

  1. පොට්ට අාඳා (Family-Synbranchidae)
  2. වැලිගොව්වන් (Family-Gobiidae)
  3. පෙතියන් (Family-cyprinidae)
  4. දණ්ඩීන් (Family-cyprinidae)
  5. කදුකර අහිරාවුන් (Family-Balitoridae)
  6. මගුරන් (Family-Clariidae)
  7. හඳයන් (Family-Aplocheilidue)
  8. තල් කොස්සා හා පුළුට්ටන් (Family-Belontidae)
  9. කාපයන් (Family-cyprinidae)
  10. අහිරාවුන් (Family-cobitidae)
  11. කනයන් (Family-Channidae)
  12. බුලත් හපයා (Family-black Ruby Harb)

ආවේණික මසුන්ට අභියෝග[සංස්කරණය]

ශ්‍රී ලංකා‍වේ මිරිදිය මසුන්ගේ විවිධත්වය කලාපයේ අනිකුත් රට වලට වඩා ඉහල අගයක් ගත්තද, දිනෙන් දිනම මෙම විවිධත්වය අඩුවන බව පෙනේ. ශ්‍රී ලංකා‍වේ ආවේණික මසුන් ඇතුළු සියළු මිරිදිය මසුන්ට මෙම අභාග්‍යසම්පන්න ඉරණම උදා වී ඇත. මිනිසුන්ගේ ක්‍රියාකාරකම හේතුවෙන් වන ජීවීන් විනාශයට ලක්වීම ආවේණික මසුන්ගේ පැවැත්මට ද ඉතා අහිත කර ලෙස බලපානු ලබයි. ඒ ඔවුන්ගේ සීමා සහිත ව්‍යාප්තියට පාරිසරික වෙනස්වීම් අධි සංවේදි වන නිසාය. ආවේණික ජීවියකු ඔවුන්ගේ සීමා සහිත වාසස්ථානයෙන් වඳවී යාම ඔවුන් මුළු මිහිතලයෙන්ම වඳවීයාමකි.


ආවේණික මසුන්ට ඇති තර්ජන[සංස්කරණය]

01)වනාන්තර විනාශය

විශේෂයෙන්ම විවිධ වැවිළි භෝග වගාවන් හේතුවෙන් කදුකර වනාන්තර හා තෙත් කලාපීය වනාන්තර විශාල වශයෙන් විනාශ විය. වන ආවරණය ඉවත්වීම දිය පහර වියළීයාමට හේතු විය. ලංකාවේ ආවේණික මසුන්ට සෙවන ඉතා වැදගත් සාධකයක් වේ.

උදා:මල් පුළුට්ටා (Malpulutta Kretseri)

පතිරණ සාලයා (Danio pathirana)


02)කෟෂි රසායන භාවිතය ඉහළයාම

ආර්ථික භෝග වගාව හේතුවෙන් සෝදා පාළුව උග්‍රවිය. මේ නිසාවෙන් රසායන පොහොර භාවිතය එන්න එන්නම වැඩි විය. සෝදා පාළුව හේතුවෙන් රසායන පොහොර හා පළිබෝධනාශක ආදිය පහත් බිම් වල දිය පහර වලට එක්විය. මෙම තත්වය මිරිදිය මසුන්ට ඉතා අහිතකර ලෙස බලපානු ලබයි.


03)වගුරු බිම් විනාශය

නාගරීකරනයත් සමඟ වැඩිවන ජනගහනයේ ඉඩම් අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වගුරු බිම් රාශියක් ගොඩකිරීම වර්තමානයේ ඉතා සුලබව දක්නට ලැ‍බේ. මෙම තත්වය වගුරු බිම් ආශ්‍රිතව ජීවත්වු මිරිදිය මසුන්ගේ ජීවන රටාවත්, පැතිරීමටත් ප්‍රබල තර්ජනයක් විය.

උදා: පොට්ට ආඳා

දෙපුල්ලියා


04)මැණික් ගැරීම

බොහොමයක් ආවේණික මසුන් ජීවත් වන්නේ පැහැදිලි පිරිසිදු දියපාර වලය. මැණික් ගැරීම නිසා රොන් මඩට හසුවන දියපාර බොර වේ. එය සංවේදී මසුන්ගේ ජලක්ලෝම අවහිරවීමෙන් ශ්වසන අපහසුතා ඇතිවී මිරිදිය මසුන‍ට මාරාන්තික තත්වයක් උද්ගතවීම බොහෝ විට දක්නට ලැබේ. එසමන්ම බිත්තර මත රොන් මඩ තැන්පත්වීම ද අහිතකර වේ.


05)අපනයනය ආශ්‍රිත ක්‍රියාකාරකම්(ආර්ථික ක්‍රියාකාරකම්)

ලංකාවේ බොහොමයක් ආවේණික මිරිදිය මසුන් විවිධ වර්ණයන්ගෙන් යුක්ත වු අලංකාර මසුන් වේ. මේ නිසාවෙන් සුරතල් මසුන් වශයෙන් මොවුන්ට ඇති ඉල්ලුම දිනෙන් දිනම තීව්‍ර වේ. සුරතල් මසුන් අපනයනය සඳහා ස්වභාවික පරිසරයෙන් ඉවත් කිරීම; සීමිත ව්‍යාප්තියක් පෙන්වන මිරිදිය මසුන්ගේ ව්‍යාප්තියට අහිතකර තත්වයක් පෙන්නුම් කෙරේ.

උදා: බුලත් හපයා

ලේ තිත්යා

දෙපුල්ලියා

දැනට සොයාගෙන ඇති දත්ත අනුව ආවේණික මසුන්ගෙන් 70%ක්ම අපනයනය කරන බවයි. ඇමරිකාව හා සිංගප්පූරුව ප්‍රධානතම ගැනුම්කරුවන් බවට පත්වී ඇත.

ආවේණික මසුන් සංරක්ෂණය[සංස්කරණය]

01)කළු ගඟ හා කැළණි ගඟ ආශ්‍රිතව විශාල මිරිදිය මත්ස්‍ය ගහනයක් වේ. නමුත් මේ ආශ්‍රිතව සිදුවන නොයෙක් සංවර්ධන ව්‍යාපෘති මිරිදිය මසුන්ට හානිකර තත්වයක් උද්ගතකොට ඇත. මෙම තත්වය වලකාලීවට අනිකුත් ජලාශ්‍රිත ප්‍රදේශ වලට මෙම මත්සයින් බෝ කිරීම අතිශය වැදගත් වේ. මෙසේ තර්ජනයට ලක්වු මසුන් කීපදෙනෙක් නිදසුන් වශයෙන් දැක්විය හැකිය. උදා: බන්දුල පෝතය පතිරණ සාලයා මල් පෙතියා

02)මසුන් සඳහා ආරක්ෂිත කලාප නම් කිරීමද වැදගත් වේ. මේ මගින් තර්ජනයට ලක්වු මසුන්ගේ පැවැත්ම තහවුරු කළ හැකිය.ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 12.2%ක් පමණ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබේ. මින් තෙත් කලාපයේ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රමාණයෙන් 3.6% පමණ වේ. ඉතා සීමිත ව්‍යාප්තියක් දක්වන මිරිදිය මසුන් ඇති ප්‍රදේශ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීම මෙහිදී වැදගත් ‍වේ.

03)මිරිදිය මසුන් පිළිබඳව මහජනතාව දැනුවත් කොට මසුන් සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට අවබෝධ කරවීම ද වැදගත් වේ. මිරිදිය මත්ස්‍ය සංරක්ෂණයෙන් පරිසරයට, රටට,මිනිසාට ඇතිවන ප්‍රතිලාභ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරවිය යුතුය.

04)මිරිදිය මසුන් සුරැකීමෙන් මිනිසාට ඇත්වන ආර්ථික ප්‍රතිලාභ කෙරේ මහජනතාවගේ අවධානය යොමු කරවිය යුතුය. පාරිසරික සංචාරක කර්මාන්තය යටතේ අත්කර ගතහැකි ප්‍රතිලාභ වේ. දුර්ලභ හා අලංකාරවු මසුන් දෙස්-විදෙස් සංචාරකයින්ට ප්‍රදර්ශනය කිරීමෙන් පාරිසරික සංචාරක කර්මාන්තය ගොඩනැංවිය හැකිය.


ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මත්ස්‍යයෝ - ඉන්ද්‍රජිත් එන්.ගලප්පත්ති

සිරිලක ආවේණික මිරිදිය මසුන් - එච්.ජී.සුජාන් මදුරංග