මීතිරිගල ධම්මාවාස මහ තෙරුන් වහන්සේ

විකිපීඩියා වෙතින්

තරුණ කාලය[සංස්කරණය]

මීතිරිගල ධම්මාවාස මහ තෙරුන් වහන්සේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ තෙවන නායක හිමිපාණන් විය. අපවත් වන විට උන්වහන්සේ මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ පැරණිම ජීවමාන සිසුවෙකු වූ අතර, පුරා අවුරුදු හතළිහක් නිස්සරණ වනය තුළම ගත කර තිබිණි..

1931 දී උපත ලද ධම්මාවාස හිමියන්, ළමා කාලයේ පටන්ම නිවන් අවබෝධ කිරීමට දැඩි ආශාවක් දැක්වූ අයෙකු වූ බව, පසු කලෙක උන්වහන්සේ විසින් ප්‍රකාශ කොට ඇත. වයසින් මුහුකුරා ගිය පසුව, නියම භික්ෂුවක් බවට පත්වීම සඳහා කළයුතු දේ ඉගැන්විය හැකි ගුරුවරයෙකු සොයා, ඔහු ගමනක් ආරම්භ කළේය. එහෙත්, ගිය කොතැනකදීවත් නියම ගුරුවරයෙකු ඔහුට හමු වූයේ. ගිය ගිය සෑම තැනකදීම ඔහු බලාපොරොත්තු සුන් කර ගත්තේය.

වයස තිස් ගණන් පමණ වන විට ඔහු මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ දී පැවිදි වීමට ස්ථිර අධිෂ්ඨානයක් තබා ගත්තේය. ඔහුගේ අභිප්‍රායය වූයේ සියලුම ලෞකික ආශාවන් අත්හැරීමයි. ගත වූ දිනයක් දිනයක් පාසා, අත්හැරීමේ සිතුවිල්ල ඔහුගේ මනස තුළ බලවත් විය. විමුක්තිය සඳහා වූ මෙම උද්යෝගය, ඔහු මීතිරිගල නිස්සරණ වනයට පැමිණීමෙන් අනතුරුව ඉතා ප්‍රබල විය.

ගුරුවරයා හමුවීම[සංස්කරණය]

තම ගුරුවරයා හමුවූ මොහොත සිහිපත් කළ ධම්මාවාස හිමියන්, උන්වහන්සේගේගේ ජීවිතයේ උතුම්ම මොහොත ලෙසින් එම මොහොත හඳුන්වයි. ඔහු නිස්සරණ වනයට පැමිණි පළමු අවස්ථාවේ දී, අට සිල් සමාදන් වී ලොකු හිමියන්ගේ කුටිය දෙසට ගොස් තිබේ. ලොකු ස්වාමින් වහන්සේ දුටු පසුව වන්දනා කර, උන්වහන්සේගේ ඇඳ අසල වාඩි වී සිට ඇත. එම අවස්ථාවේදී මාතර ලොකු ස්වාමින් වහන්සේ සිය ඇඳ මත වාඩිවී සිට ඇත්තේ, පිටත චාරිකාවකට සූදානම් වෙමින් බඩු බාහිරාදිය මල්ලකට අසුරමිනි.

ගුරු ස්වාමින් වහන්සේ මෙම තරුණ උපාසකයාගේ පැමිණීම දුටු නමුත් වචන කිසිවක් කථා නොකළ අතර, ඔවුන් විනාඩි කිහිපයක් නිශ්ශබ්දව සිට ඇත. පසුව ඇස් කොණකින් බැලූ , මාතර ලොකු ස්වාමින් වහන්සේ ඔහු පැමිණියේ මන්දැයි විමසා ඇත.  " ස්වාමින් වහන්ස, මට මහණ වෙන්න ඕන. ඒත් උදවු කරන්න කවුරුත් නෑ. මම හුඟ දෙනෙක් හම්බ වෙලා තියෙනවා. ඒ වුණාට හරි ගුරුවරයෙක් හොයාගන්න බැරි වුණා­­­­­­. " යනුවෙන් තරුණ උපාසකයා පවසා ඇත. මෙම මෘදු ආයාචනය ඇසූ මාතර ලොකු ස්වාමින් වහන්සේ “ඒකට තමයි අපි ඉන්නේ. අපි සංසාරෙ ඇවිත් තියෙන්නේ එකට. " යනුවෙන් පිළිතුරු දී ඇත.

එදා පටන්, මාතර ඥානාරාම ලොකු ස්වාමින් වහන්සේ ඔහුගේ ගුරුවරයා බවට පත්විය. සුදුසු උපදේශකයකු සමඟම භාවනා පුහුණුවට සුදුසු ස්ථානයක් ද ඔහුට එකවර ලැබිණි. නොබෝ දිනකින්ම 1971 දී, ඔහු මීතිරිගල ධම්මාවාස නමින් මීතිරිගල නිස්සරණ වනයේදී පැවිදි විය.

විර්යයේ ප්‍රතිඵල[සංස්කරණය]

ධම්මාවාස හිමියන් ඉතා උද්යෝගිමත් සිසුවෙකු විය.  අධික ප්‍රයත්නය, කැපවීම හා අධිෂ්ඨානය නිසා, ආහාර ගැනීම අඩු කිරීමෙන් හා නින්ද සීමාකිරීමෙන් ඔහු අතිවිශාල දුෂ්කරතාවලට මුහුණ දුන්නේය. කායික වෙහෙස නිසා උන් වහන්සේ අසනීප වූ අවස්ථාද විය.

සිය භාවනා ජීවිතයේ අතිශය වැදගත් මොහොතක් පිළිබඳව වරෙක උන්වහන්සේ සිහිපත් කළේ ; “බුදුරජාණන් වහන්සේ විසින් කළ වැඩක් මමත් කළා නේද කියල මතක් වෙනකොට, මට පුදුම සතුටක් ඇතිවෙන්නෙ.” යනුවෙනි.

හදිසි උදර පිළිකාවක් නිසා 2015 ජනවාරි මාසයේදී අපවත් වන විට, මීතිරිගල ධම්මාවාස මහ නාහිමියන්, පැවිදි වී පුරා වසර හතළිහක් මීතිරිගල නිස්සරණ වනයෙහි තනිව ජීවත් වී තිබිණි.