මගධීරා

විකිපීඩියා වෙතින්
මගධීරා
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයඑස්. එස්. රාජමෞලි
රචනයඑම්. රත්නම්
තිර රචනයඑස්. එස්. රාජමෞලි
කතාවස්තුවකේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද්
නිශ්පාදනය
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයකේ. කේ. සෙන්තිල් කුමාර්
සංස්කරණයකෝටගිරි වෙන්කටේස්වරා රාඕ
සංගීතයඑම්. එම්. කීරවානි
Production
company
බෙදාහැරීමගීතා ආට්ස්
නිකුත්වූ දිනය
  • 31 ජූලි 2009 (2009-07-31)
තිර කාලය
මිනිත්තු 166
රටඉන්දියාව
භාෂාවතෙලිඟු
පිරිවැයINR350 මිලියන (2016 දී INR620 මිලියන හෝ US$9.6 මිලියන ට සමාන ය)[1]
ආදායමINR1.5 බිලියන (2016 දී INR2.6 බිලියන හෝ US$41 මිලියන ට සමාන ය)[2]

මගධීරා (සිංහල: මහා රණශූරයා) යනු කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් විසින් රචනා කරන ලද සහ එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2009 ඉන්දියානු තෙලිඟු-භාෂා ප්‍රේම වෘත්තාන්ත-ක්‍රියාදාම චිත්‍රපටයකි. පුනරුත්පත්තිය තේමා කරග්ත මෙම චිත්‍රපට නිෂ්පාදනය කරන ලද්දේ ගීතා ආට්ස්හි අල්ලු අරවින්ද් විසිනි. රාම් චරන් සහ කාජල් අගර්වාල් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, දේව් ගිල් සහ ශ්‍රීහරි ද සෙසු ප්‍රමුඛ චරිත නිරූපණය කරති. මෙහි කතාව දිවෙන්නේ ප්‍රධාන පුද්ගලයන් හතර දෙනකු වටායි: කුමරියකගේ ආරක්ෂාව භාරව සිටින නිර්භීත සෙබලෙක්, ඔහුට පෙම් කරන එම කුමරිය, ඇය කෙරෙහි ආශාවෙන් සිටින ඇගේ ඥාති සොහොයුරා සහ ඔවුන්ගේ රාජධානිය යටත් කරගන්නට අවැසිව සිටින අධිරාජයකු එම චරිත හතර වේ. තම බලපොරොත්තු සඵල කරගැනීමට පෙර මේ සියලුදෙනාම මියයන අතර, වසර 400කට පසු ඔවුහු නැවත උපත ලබති. එහි දී නැවත උපන් අධිරාජයාගේ සහාය ඇතිව කුමන්ත්‍රණකාරී ඥාති සොහොයුරා මරාදමන සෙබලා කුමරිය සමග යළි එක්වේ.

INR මිලියන 350ක පිරිවැයක් දරා නිපදවූ මෙහි නිෂ්පාදන කටයුතු 2008 මැයි 2 දින ආරම්භ විය. ප්‍රධාන ඡායාරූපකරණය 2008 මාර්තු 19 දින ඇරඹිණි. මෙහි සිනෙමාරූපණය කේ. කේ. සෙන්තිල් කුමාර් විසින් ද, සංස්කරණය කෝටගිරි වෙන්කටේස්වරා රාඕ විසින් ද සිදුකරන ලදී. නිෂ්පාදන සැලසුම ආර්. රවීන්දර් විසින් සිදුකළ අතර, ක්‍රියාදාම ජවනිකා අධ්‍යක්ෂණය කරන ලද්දේ පීටර් හෙයින් සහ රාම්—ලක්ෂ්මණ් දෙපළ විසිනි. දෘශ්‍ය ප්‍රයෝග ආර්. සී. කමලකන්නන් විසින් සැලසුම් කරන ලද්දේ ඇඩෙල් ඇඩිලි සහ පීට් ඩ්‍රේපර්ගේ සහාය ඇතිවයි. නාමවලිය තුළ "දෘශ්‍ය ප්‍රයෝග නිෂ්පාදක" පිළිබඳ සඳහන් කෙරෙන පළමු තෙලිඟු චිත්‍රපටය ද මෙයයි. එම්. එම්. කීරවානි විසින් මෙහි ධ්වනිපථය නිමැවූ අතර, පසුබිම් ස්කෝරය නිර්මාණය සඳහා ඔහුට කල්‍යාණි මලික්ගේ සහාය ද හිමි විය.

මගධීරා චිත්‍රපටය 2009 ජූලි 31 දින ලොවපුරා තිර 1250ක දී මුදාහැරිණි. විචාරක පැසසුම් ලත් මෙය INR මිලියන 731ක බෙදාහැරීමේ කොටස් හිමි කරග්තතේ ය. ලොවපුරා INR බිලියන 1.5ක ආදායමක් උපයාගත් මෙම චිත්‍රපටය වසර පහක් පුරා ඉහළම ආදායම ලබන තෙලිඟු චිත්‍රපටය යන වාර්තාව තමන් සතු කරගැනීමට සමත් විය. පසුව 2013දී අත්තරින්ටිකි දාරෙදි චිත්‍රපටය විසින් මෙය අභිබවා යන ලදී. මෙහි දින 1000ක සිනමාහල් ධාවන කාලසීමාව වැඩිම කාලයක් ධාවනය වූ දකුණු ඉන්දියානු චිත්‍රපටය ලෙස චන්ද්‍රමුඛී (2005) තබා තිබූ වාර්තාව අභිබවා ගියේ ය. එසේම බ්ලූ-රේ ගෘහස්ථ මාධ්‍ය නිකුතුවක් ලද ප්‍රථම තෙලිඟු චිත්‍රපටය ද මෙයයි. 57වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී මෙම චිත්‍රපටය හොඳම නර්තන රචනය සහ වි‍ශේෂ ප්‍රයෝග සඳහා ජාතික සම්මාන දිනාගත් අතර, ෆිල්ම්ෆෙයාර් සම්මාන හයක්, නන්දි සම්මාන නවයක් සහ සිනෙMAA සම්මාන දහයක් ද හිමි කරගත්තේ ය. චිත්‍රපටය ලද සාර්ථකත්වය හේතුවෙන් මෙහි ප්‍රධාන නළු නිළියන් තරු ලෙස ප්‍රකට විය.

මෙම චිත්‍රපටය දෙමළෙන් මාවීරන් ලෙසත්, මලයාලම් බසින් ධීරා: ද වොරියර් ලෙසත් හඬකවා 2011 මැයි 27 මුදාහැරුණේ පිළිවෙලින් තිර 100ක සහ 50කට අධික සංඛ්‍යාවක ය. මෙම ප්‍රභේද දෙකම ආර්ථික වශයෙන් සාර්ථක විය. 2014දී, රාජ් චක්‍රබෝර්ති විසින් මෙම චිත්‍රපටය බෙංගාලි බසින් ප්‍රතිනිර්මාණය කළේ යොද්ධා: ද වොරියර් ලෙසයි. ඒ සඳහා දේව් සහ මිමී චක්‍රබෝර්ති ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූහ.

කථාපුවත[සංස්කරණය]

ඩර්ට්-බයික් ධාවකයකු වන හර්ෂා වර්ෂාව මධ්‍යයේ ගුවන් තොටුපළ වෙත යාමට ඔටෝ රික්ෂෝවක් කුලියට ගනියි. එහි දී ඔහුට කුලී රියන් නවත්වා ගැනීමට අතවනන තරුණියකගේ ඡායාවක් දිස්වේ. එහි දී ඔහු ද අතවනන අතර ඔහුගේ ඇඟිල්ල ඇගේ ඇඟිල්ලෙහි ගැටෙන්නේ අහඹු අයුරිනි. එවිටම හර්ෂාට සියුම් අතීතාවර්ජනයක් සිහිවන්නේ එම තරුණිය දෛවයේ තමන්ට උරුම වූ තැනැත්තියයි යන හැඟීමත් සමගිනි. ඒ අනුව ඔහු එම තරුණිය පිළිබඳ අසල සිටි ඉන්දිරා (හෙවත් "ඉන්දු") නම් කාන්තාවගෙන් විමසන්නේ සැබැවින්ම එම තරුණිය ඇයම බව නොදැන ය. තමන්ට සරදම් කරන්නේ යැයි සිතන ඉන්දු ඔහුව නොමඟ යවයි. මේ අතර ඇය සහ ඇගේ මිතුරියන් ඔහුගෙන් වාසි ලබාගන්නේ සිය මුදල් අවශ්‍යතා ඔහු ලවා සපුරා ගැනීමෙනි. ‍මේ අතර ඉන්දුගේ දුරස්ථ ඥාති සොහොයුරකු වන රඝුවීර් ඉන්දු කෙරෙහි ආශාවෙන් පසුවෙයි. ඔහු ඉන්දුව සහ ඇගේ පියාව මුළාකොට විශ්වාසය දිනාගනියි. ඉන්දු නිදාසිටින විට ඔහු ඉන්දුව ස්පර්ශ කරන අතර, එහි දී ඔහුට සිය ගෙල සෙබලකු විසින් වෙන්කර දැමූ අයුරු මැවී පෙනේ. රඝුවීර් ඝෝරා නම් තන්ත්‍රික මන්ත්‍රාචාර්යවරයකු මුණගැසෙන අතර, එහි දී ඔහු අනාවරණය කරන්නේ රඝුවීර් පෙර ආත්මයේ ද කුමරකුව ඉපිද ඉන්දුට ආශාවෙන් හිඳ ඇගේ පෙම්වතා අතින් මියගිය බවයි. තමන්ව පෙර භවයේ මරාදැමූ සෙබලාගේ වර්තමාන උපත සොයාගැනීමට රඝුවීර් තීරණය කරයි. මේ අතර ඉන්දු සහ ඇගේ මිතුරියන් තමාව මුළාකොට ඇති බව වටහා ගන්නා හර්ෂා ඇය කෙරෙහි ප්‍රේමයෙන් බ‍ඳෙයි.

එම සෙබලාගේ වර්තමාන උපත හර්ෂා බව රඝුවීර් සොයාගනියි. ඉන්දුගේ පියාව මරාදමන ඔහු එයට හර්ෂාව හසුකරන්නේ ඉන්දුව ඔහු කෙරෙහි විරසක කරවීමටයි. රඝුවීර් සහ ඉන්දු හෙලිකොප්ටරයේ නැගී ගමන් කරන විට, හර්ෂා ඔවුන්ව අල්ලාගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වේ. එහි දී ඔහු විලක් තුළට ඇදවැටෙන අතර මරණාසන්න අත්දැකීමකින් පසුව, ඔහුට 1609 සිය පෙර ආත්මය පිළිබද සිහිපත් වේ. එම වර්ෂයේ ෂේර් ඛාන් අධිරාජයා උදයිඝාර් රාජධානිය ආක්‍රමණය කිරීමට උත්සාහ දරයි. එහි දී ඔහුට උදයිඝාඩ් හමුදාවේ සෙන්පති කාල භෛරවා (හර්ෂා) පිළිබඳ අසන්නට ලැබේ. වික්‍රම් සිං රජුගේ දියණිය වන මිත්‍රවින්දා දේවී (ඉන්දු) භෛරවාට පෙම්කරයි. නමුත් ඔහු ඒ බවක් නොපෙන්වයි. ඇගේ ඥාති සොහොයුරා වන රණදේව් බිල්ලා (රඝුවීර්) ද මිත්‍රා කෙරෙහි ආශාවෙන් පසුවෙයි. ඔහු ඇයව දිනාගැනීමේ අරමුණින් භෛරවා සමග තරගයක් පවත්වයි. ජයග්‍රහාකයාට ඇයව හිමිවන අතර, පරාජිතයා උදයිඝාඩ්වලින් නෙරපා හැරේ. භෛරවා ඉන් ජය ලැබීමත් සමග රණදේව් පිටුවහල් කෙරේ. කෙසේනමුත්, වික්‍රම් සිං රහසිගතව භෛරවාගෙන් ඉල්ලා සිටින්නේ සිය දියණියව විවාහ කරනොගන්නා ලෙසයි. භෛරවා සටනේ දී මියයාමට අධික සම්භාවිතාවක් ඇති නිසා ඔහුට මිත්‍රා වැන්දඹුවක වනු දැකීමට අවැසි නොවීම එයට හේතුවයි. කම්පනයෙන් වුව ද, භෛරවා රජුගේ ඉල්ලීම පිළිගෙන තමන් මිත්‍රා සමග විවාහ නොවන බව ප්‍රසිද්ධ කරයි. මෙය මිත්‍රාගේ සිත් තැවුලට හේතුවේ.

අනතුරුව භෛරවා මිත්‍රා, සිය සෙබලුන් සහ ආරක්ෂකයන් සමග භෛරවකෝණා කන්ද වෙත යන්නේ දේව පූජාවක් පැවැත්වීමටයි. සිය ප්‍රේම පිළිගන්නා ලෙස මිත්‍රා භෛරවාගෙන් ඉල්ලා සිටියි. එයට ඔහු ප්‍රතිචාර නොදැක්වූ විට, පූජාව සඳහා රැගෙන ආ පූජා භාණ්ඩ අවුල් කරදමන ඇය ඇගේම රැධිරයෙන් ‍අසල වූ ගල් කුළෙහි භෛරවාගේ සිතුවමක් අඳියි. මේ අතර තුවාල ලත් සෙබලකු පැමිණ පවසන්නේ රණදේව් සහ ෂේර් ඛාන්ගේ හමුදාව විසින් වික්‍රම් සිංව මරාදමා ඔවුන් සිටින ස්ථානය වෙත පැමිණෙන බවයි. මඳ වේලාවකින් ඔවුන් පැමිණෙන අතර, ෂේර් ඛාන් සිය සෙබලුන් සමග සටන් වදින ලෙස භෛරවාට අභියෝග කරයි. එය පිළිගන්නා භෛරවා ඹේර් ඛාන්ගේ සෙබලුන් සියදෙනකුව මරා දමයි. එහි දී ඔහුට ද දැඩිව තුවාල සිදුවේ. භෛරවාගේ නිර්භීත බව දැක සතුටු වන ෂේර් ඛාන් සිය අදහස වෙනස් කරගනියි. කෙසේනමුත්, රණදේව් ඔහුට පහර දෙන අතර, ඔහු මිත්‍රාට මරණීය තුවාල සිදුකරයි. නමුත් භෛරවා විසින් රණදේව්ව මරාදමයි. මියයමින් සිටින මිත්‍රා සිය ප්‍රේමය පාපොච්චාරණය කරන මෙන් භෛරවාගෙන් ඉල්ලා සිටියි. ‍නමුත් භෛරවා එයට පිළිතුරු දීමට පෙර ඇව ගිරි කුළෙන් පහළට ඇදවැටෙයි. ශෝඛයෙන් යුතු භෛරවා ද ගිරිකුළෙන් පහළට පැන මරණය‍ට පත්වේ.

සිය අතීතය සිහිපත් වන හර්ෂාව විලෙහි ගිලීමෙන් බේරාගන්නේ සොලමන් (ෂේර් ඛාන්ගේ නැවත උපතයි) නම් ධීවරයකු විසිනි. සොලමන්ගේ සහාය ඇතිව ඔහු උදයිඝාඩ් වෙත පැමිණෙයි. ඔහු රඝුවීර්ගේ ස්ථානය වෙත ඇතුළු වේ. එහි දී ඔහුට ඝෝරා රඝුවීර්ට දෙන උපදෙසක් ඇසෙයි. ඉන් කියවුණේ එම දවස ඇතුළත ඉන්දුට ඇගේ පෙරභවය සිහිපත් නොවුවහොත්, ඇය සදහටම රඝුවීර්ට හිමිවනු ඇති බවයි. ඉන්දුව පැහැරගන්නා භෛරවා ඇයව භෛරවකෝණා වෙත රැගෙන යයි. රඝුවීර්ගේ අත්වැරදීමකින් ඝෝරා මියයයි. එතැනට හෙලිකොප්ටරයෙන් පැමිණෙන රඝුවීර් තමන් සමග පැමිණෙන මෙන් ඉන්දුගෙන් ඉල්ලා සිටියි. කෙසේනමුත්, ගිරිකුළ මත මිත්‍රා ඇඳි සිතුවම දකින ඉන්දුට සිය පෙරභවය පිළිබඳ සිහි වේ. ඇය හර්ෂා සමග එක්වේ. හර්ෂා රඝුවීර් සමග සටන් වදින අතර, සොලමන්ගේ සහාය ඇතිව ඔහු රඝුවීර්ව මරාදමයි.

චරිත නිරූපණය[සංස්කරණය]

  • රාම් චරන්, කාල භෛරවා සහ හර්ෂා ලෙස; ‍කාල භෛරවා යනු උදයිඝාඩ්හි හමුදාවේ අණදෙන ප්‍රධානියා වන අතර, 1609දී සටක දී මොහු මියයයි. ඔහුගේ නැවත උපත වන හර්ෂා ඩර්ට්-බයික් ධාවකයෙක් වන අතර, ඉන්දු කෙරෙහි ප්‍රේමයෙන් බැ‍ඳෙයි. හර්ෂා සිය පෙර භවය පිළිබඳ දැන ගැනීමෙන් පසු ඔහු ඉන්දුව ඇගේ පියාව මරාදැමූ ඇගේ ඥාති‍ සොහොයුරු රඝුවීර්ගෙන් මුදවා ගනියි.
  • කාජල් අගර්වාල්, මිත්‍රවින්දා දේවී සහ ඉන්දු ලෙස; මිත්‍රවින්දා දේවී යනු උදයිඝාඩ්හි කිරුළහිමි කුමරිය වන අතර, ඇය භෛරවාට පෙම්කරයි. ඇය 1609දී මියයයි. 2009දී ඇගේ නැවත උපත වන ඉන්දිරා (හෙවත් ඉන්දු) නිදහස් ගති පැවතුම් ඇති ශිෂ්‍යාවකි. ඇය හර්ෂාට පෙම්කරන නමුත්, රඝුවීර්ගේ පෙළඹවීම මත සිය පියාගේ ඝාතකයා හර්ෂා යැයි විශ්වාස කරයි. සිය පෙර භවය සිහිපත් වීමෙන් පසු ඇය හර්ෂා සමග එක්වෙයි.
  • දේව් ගිල්, රණදේව් බිල්ලා සහ රඝුවීර් ලෙස; රණදේව් බිල්ලා යනු මිත්‍රවින්දාගේ ඥාති සොහොයුරායි. ඔහු ඇය කෙරෙහි ආශාවෙන් පසුවෙයි. ඔහු භෛරවාට ඊර්ෂ්‍යා කරයි. මිත්‍රවින්දාව මරාදමන මොහුගේ මරණය සිදුවන්නේ භෛරවා අතිනි. ඔහු නැවත ඉන්දුගේ ඥාති සොහොයුරා වන රඝුවීර් ලෙස උපත ලබන අතර, ඉන්දුට ආශාවෙන් පුසවෙයි. සිය පෙරභවය සිහිපත් කරගන්නා පළමු තැනැත්තා ද මොහුයි. එම භවයන් දෙකේම ඉන්දුගේ පියාව ඝාතනය කරන්නේ මොහුයි. අවසානයේ හර්ෂා විසින් මොහුව මරාදමයි.
  • ශ්‍රීහරි, ෂේර් ඛාන් සහ සොලමන් ලෙස; ෂේර් ඛාන් යනු උදයිඝාඩ් ආක්‍රමණය කරන මුස්ලිම් අධිරාජයෙකි. මරණයට පෙර භෛරවාගේ නිර්භීතභාවය මොහු වටහාගන්නා නමුත්, භෛරවාව බේරාගැනීමට මොහු අපොහොසත් වේ. මොහු ශ්‍රීකාකුලම්හි ධීවරයකු ලෙස සොලමන් නමින් නැවත උපත ලබයි. මොහු හර්ෂා සහ ඉන්දු නැවත මුණගැස්වීමට උපකාර කරන අතර, රඝුවීර්ගේ මරණයට ද දායක වේ.
  • රාඕ රමේෂ්, ඝෝරා ලෙස; රඝුවීර්ට උපදෙස් දෙන කුදු මහලු තන්ත්‍රික පූජකවරයායි. රඝුවීර්ට සිය අතීතය සිහිපත් කරගැනීමට මොහු උපකාර කරයි. රඝුවීර් සමග මොහුගේ සංවාදය හර්ෂාට ඉන්දුගේ පෙර භවය සිහිපත් කරලීමට ද උපකාර වේ. රඝුවීර්ගේ අත්වැරදීමකින් ඝෝරා මියයයි.
  • සරත් බාබු, වික්‍රම් සිං ලෙස; උදයිඝාඩ්හි රජුයි. මිත්‍රවින්දාගේ පියායි. ඔහු භෛරවාගේ නිර්භීතකමට ගෞරව කරන නමුත්, ඔහු සටනේ දී මියයනු ඇතැයි සිතයි. මේ නිසා මිත්‍රාට ඇති ප්‍රේමය සඟවා ගන්නා ලෙස ඔහු භෛරවාට පවසයි. ෂේර් ඛාන් රාජධානිය ආක්‍රමණය කරන විට රණදේව් විසින් වික්‍රම්ව මරාදමයි.
  • සූර්යා, භපති වර්මා ලෙස; ඉන්දුගේ පියායි. ඉන්දු කරා ළඟවීමට රඝුවීර් මොහුව රවටන අතර, ඉන්දුව විවාහ කරගන්නට හර්ෂා කරන යෝජනාව පිළිගැනීමට පෙර රඝුවීර් මොහුව මරා දමයි.
  • සුනිල්, හර්ෂාගේ රැවටෙනසුලු මිතුරා ලෙස; ඔහුට බොහෝ දෑ සඳහා උපාකර කරන මොහු හර්ෂාට නිතරම ඉන්දුගේ කපටි ක්‍රියා කලාපය පිළිඳ අනතුරු හඟවයි.
  • සමීර්, මාන් සිං ලෙස; භෛරවාගේ ශක්තීන් පිළිබඳ ෂේර් ඛාන්ට දැනුම් දෙන ෂේර් ඛාන්ගෙේහමුදාවේ අණදෙන නිලධාරියායි.
පසුබිම් නිරූපණ

සංගීතය[සංස්කරණය]

එම්. එම්. කීරවානි මෙම චිත්‍රපටයේ ධ්වනිපථය නිර්මාණය කළේ ය. ගීත හයකින් සමන්විත එහි ඝරානා මොගුඩු චිත්‍රපටය සඳහා ඔහු නිර්මාණය කළ "බංගාරු කෝඩිපෙට්ට" ගීතයේ ප්‍රතිමිශ්‍රිත ප්‍රභේදයක් ද ඇතුළත් ය. මෙහි දෙමළ හඬකැවූ ප්‍රභේදය වන මාවීරන්හි ධ්වනිපථය අමතර පථ තුනකින් සමන්විත ය. තෙලිඟු ධ්වනිපථය දියත් කරන ලද්දේ 2009 ජූනි 28 දින හයිදරාබාදයේ ශිල්පකලා වේදිකාහි දී ය.[3] දෙමළ ප්‍රභේදය 2011 අප්‍රේල් 25 දින චෙන්නායිහි දී මුදාහැරිණි.[4]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

මෙම චිත්‍රපටය 57වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම නර්තන රචනය සහ හොඳම විශේෂ ප්‍රයෝග සඳහා ජාතික සම්මාන හිමි කරග්තතේ ය.[5] මෙම චිත්‍රපටය ෆිල්ම්ෆෙයාර් සම්මාන හයක්,[6] නන්දි සම්මාන නවයක්,[7] සහ CineMAA සම්මාන දහයක් දිනා ඇත.[8]

ප්‍රතිනිර්මාණ[සංස්කරණය]

රාම් චරන් මගධීරාහි හින්දි ප්‍රතිනිර්මාණයෙන් සිය බොලිවුඩ් මංගලාවතරණය කිරීමට තීරණය නොකළේ එම චිත්‍රපටය හොඳින් ප්‍රතිනිර්මාණය නොවනු ඇතැයි යන විශ්වාසය නිසායි. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමග සම්මුඛ සාකච්ඡාවක දී, චරන් පැවසූයේ, "මඳ කලකට පසුව මට අනිල් කපූර් මුණගැසුණු පසු ඔහු පැවසූයේ ඔබව යොදා මගධීරා හින්දියෙන් නිර්මාණය කරන්නට මම බොනී කපූර්ගෙන් විමසන්නම්. නමුත් මම පැවසුවේ එම ප්‍රතිනිර්මාණය සිදු කිරීමට මට අවශ්‍යදැයි මා නොදන්නා බවයි. ප්‍රේමනීය චිත්‍රපටයක් වන මගධීරා යළි ප්‍රතිනිර්මාණය කළ නොහැකියි."[9] 2014දී මෙම චිත්‍රපටය බෙංගාලි බසින් ප්‍රතිනිර්මාණය වූයේ යොද්ධා: ද වොරියර් යන නාමයෙනි. රාජ් චක්‍රබෝර්ති විසින් අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ දේව් සහ මිමී චක්‍රබෝර්ති විසිනි.[10] අධ්‍යක්ෂක ආර්. චන්දෘ අනුව 2014 කන්නඩ චිත්‍රපටයක් වන බ්‍රහ්මා නිර්මාණය කිරීමට පෙළඹුණේ මගධීරා අනුව නමුත් එය එහි ප්‍රතිනිර්මාණයක් නොවේ.[11]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Magadheera grosses Rs 20 cr in first week". Oneindia Entertainment. 7 August 2009. 9 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 November 2014.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; MGD Final නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "Magadheera — A grand audio launch". Sify. 29 June 2009. 7 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 November 2014.
  4. "Maveeran audio launched by Kamal & Mani". Sify. 26 April 2011. 7 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 November 2014.
  5. "`Magadheera' bags best spl effects, choreography awards'". The Times of India. 15 September 2010. 12 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 November 2014.
  6. "Magadhera wins 6 Filmfare awards". Sify. 9 August 2010. 12 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 November 2014.
  7. "'Magadheera' Sweeps Nandi Awards". IndiaGlitz. 7 October 2010. 12 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 November 2014.
  8. "Cine'Maa' Awards'10: 'Magadheera' grabs it all". IndiaGlitz. 18 August 2010. 12 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 November 2014.
  9. "Why Ram Charan didn't debut with Magadheera remake?". The Times of India. 30 April 2012. 14 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 November 2014.
  10. Ganguly, Ruman (27 October 2014). "Shopping mall or railway station, Dev gets mobbed everywhere: Raj Chakrabarty". The Times of India. 12 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 November 2014.
  11. "Chandru-Uppi team up for Brahma". The New Indian Express. 7 May 2013. 12 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 November 2014.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සම්මාන
පූර්වප්‍රාප්තිකයා
ගම්‍යම්
ෆිල්ම්ෆෙයාර් හොඳම චිත්‍රපටය සම්මානය (තෙලිඟු)
2009
අනුප්‍රාප්තික
වේදම්

සැකිල්ල:Nandi Award for Best Popular Feature Film

"https://si.wikipedia.org/w/index.php?title=මගධීරා&oldid=410004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි