බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අග්ග මහා පණ්ඩිත
බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි
බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි.jpg
ආගම බුද්ධාගම
පාසල ථෙරවාද
Lineage අමරපුර නිකාය
Ven. Balangdoda Ananda Maitreya Thero
Personal
ජාතිකත්වය ශ්‍රී ලාංකික
උපත අගෝස්තු 23, 1896(1896-08-23)
බලංගොඩ
මරණය ජූලි 18 1998 (වයස 101)
කොළඹ
Senior posting
පදවියන් උප කුලපති, විද්‍යෝදය විශ්වවිද්‍යාලය
මහාචාර්ය (බුදුදහම)
අභිධර්ම මහාරට්ඨගුරු
අග්ග මහා පණ්ඩිත
ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ප්‍රවචන විශාරද
සාහිත්‍යශූරී
සාහිත්‍ය චක්‍රවර්තී

අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය.[1][2] උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් අයෙකි. .[3][4] නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉ‍ටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති. [1]

චරිතාපදානය[සංස්කරණය]

1896 අගෝස්තු 23 බලන්ගොඩ කිරිදිගල දී උපත ලදහ. උන්වහන්සේ ගේ පියා එන්. ඒ මැතිස් අප්පුහාමි වු අතර මව බී. හීන් මැණිකේ වුවාය. [4] උන්වහන්සේ ගිහිකල පුංචි මහත්තයා සහා විලියම් යන නම්වලින් හැදින්වු එතුමන්ට වයස අවුරුදු 14 දී සිය මව අහිමි විය. එයින් පසු ඔහු සිය පියාගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ හැදී වැඩෙමින් බලංගොඩ කුමාර විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය ලැබුවේය. පුංචි මහත්තයා වයස අවුරුදු 15 දි පැවිදි වීමට තීරණය කළ අතර බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේ දී 1911 මාර්තු 02 දා සාමණේර පැවිද්ද ලැබූවේය. [4] උන්වහන්සේ ගේ ආචාර්යවරයන්වහන්සේ වුයේ දහමාහාන ධම්මානන්ද තෙරුණුවන්ය. උපාධ්‍යයන්වහන්සේ වුයේ දෙනියායේ ශීලානන්ද තෙරණුවන්ය. විසිවස් සපුරා සිටිහෙයින් උන්වහන්සේ 1916 ජූලි මස 14 වන දින බලංගොඩ උළුගංතොට උදකුඛේප සීමාමාලකයේ දී උපසම්පදාව ලදහ. [3]

උන්වහන්සේ පැවිදි බිමට ඇතුලු වීමෙන් අනතුරුවද අධ්‍යාපන කටයුතු ඉදිරියටම පවත්වාගෙන් ගිය අතර පසුවකාලීනව උන්වහන්සේ බුදු දහම හා භාෂා ශාස්ත්‍රයේ විශාරදයන් වහන්සේ කෙනෙකු බවට පත්විය .වසර 1919 දී උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලුව අධ්‍යාපනය ලැබු අතර පසුව 1922 දී එහිම බුදුදහම පිළිබදව ආචාර්යවරයා බවට පත්විය [3] . උන්වහන්සේ විවිධ සමයන් හා දර්ශනයන් පිළිබදව ගැඹුරු අධ්‍යයනයන්හි නියුතු වු අතර මහායානය හා තන්ත්‍රයානය පිළිබදවද විශාරද විය. එතුමා හිමාලීය යෝගීන් හා පරම විඥ්ඥානාර්ථ සමා‍ගමේ සාමාජිකයන් ද ඇසුරු කළහ. ඉන්දීය දාර්ශනිකයෙකු වූ ක්‍රිෂ්ණමූර්ති ද උන්වහන්සේ ඇසුරුකළ චින්තකයෙකි.

ආනන්ද මෛත්‍රෙය හිමිපාණෝ , 1925 ආරම්භ කරන ලද කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රථම ධර්මාචාර්යයන් වහන්සේ වූහ. එම විද්යාලයේ ආදර්ශ පාඨය වන "අපදාන සෝභිනි පඤ්ඤා" යන්න උන්නාවහන්සේ ගේ තේරීමකි. පසුකලෙක විද්‍යොදය විශ්වවිද්‍යාලය බිහි වූ විට උන්වහන්සේ එහි මහායාන බුදු දහම විෂය පිළිබද මහාචාර්යවරයා ලෙස කටයුතු කරන ලදී. 1963 දී විද්‍යොදය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති දූරයට පත්වු අතර එතුමා 1966දී එම සරසවියේ උපකුලපති දූරයට ද පත්වූහ. [3]

වසර 1926 ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සංචාරය උන්වහන්සේ ගේ ප්‍රථම විදේශ ධර්ම දුත මෙහෙවර වීය. 1930 දී උන්වහන්සේ ශ්‍රී ධම්මානන්ද පිරිවෙන ආරම්භ කළහ . 1954 ජනවාරි 18 වන දින උන්වහන්සේ සබරගමුව සද්ධම්මවංශ නිකායේ මහානායක ධුරයට පත්වූහ. එම වසරේම බුරුමයේ සයවන ත්‍රිපිටක සංගායනාව පැවැත්වු අතර උන්වහන්සේ එහි මුලසුන දැරූහ . 1969 සැප්තැම්බර් 02 වන දින උන්වහන්සේ සමස්ථ ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති ධූරයට පත්වුහ.

ශ්‍රී ලාංකීය භික්ෂූන් අතර ආනන්ද මෛත්‍රෙය නාහිමියන් වඩාත් ප්‍රචලිත වුයේ භාවනායෝගී භික්ෂුවක් ලෙස හා එයින් ප්‍රතිඵල නෙලාගත් කෙනෙකු ලෙසය. ඒ නිසාම බෞද්ධයින් විශාල වශයෙන් උන්වහන්සේ සොයා පැමිණියහ. එම විෂයට අදාල ලිපි සහා පොත් පත් රැසක් ම උන්වහන්සේ විසින් රචනා කර තිබේ.ලොව තිබෙන සෑමහෝ භාවනා සම්ප්‍රදායක් පිළිබදව පාහේ උන්වහන්ස්‍සේ ට දැනුමක් තිබු අතර එය බුදු රජුන්ගේ භාවනා මාර්ගය සමග සම විෂම වන ආකාරය පැහැදිලි කිරීමේ පරිනත බවක් ද උන්වහන්සේ වෙත වීය. එමෙන්ම එම ක්‍රමවල උපයෝගිතාව පිළිබදව උන්වහන්සේට අවබෝධය තිබිණි. උන්වහන්සේ ගේ දිනපොත් වල තමන්වහන්සේ භාවනාවේදී කුමන අත්දැකීම් ලැබුවේ ද යන්න පැහැදිලි වන ආකාරයෙන් සටහන් තබා තිබේ.

ආනන්ද මෛත්‍රෙය නාහිමියන් පාලි ත්‍රිපිඨකය සිංහලයට නැගීම ආරම්භ කරන ලද්දේ ගෙවුන සියවසේ තෙවන දශකයේ දීය. පස්වන දශකයේ දි රජය විසින් මෙම භාරදුර කාර්යයේ වගකීම බාරගත් අතර උන්වහන්සේ ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ සභාපති දුරයට පත්වුහ. ත්‍රිපිටක සාහිත්‍යයට අමතරව පාලි, සංස්කෘත හා ඉංග්‍රිසි යන භාෂාවන් සදහා ව්‍යාකරණ පොත් කීපයක්ම උන්වහන්සේ සංස්කරණය කළහ.

ආනන්ද මෛත්‍රෙය හිමියන් එතුමන් විසූ යුගයේදී අනගාරික ධර්මපාලතුමා සමඟ එක්ව කරන ලද කාර්යයන් සහ කැපකිරීම් ශ්‍රී ලංකාවේ බුදු දහම නගා සි‍ටුවීමේදී වැදගත්වූ බලවේගයන්ගෙන් එකක් විය. එතුමන් ලෝකයේ විවිධට රටවල් වල බුදු දහම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සංචාරය කළේය. අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය තෙරණුවෝ එකසිය එක් වසක් ආයු වළඳා 1998 ජූලි 18 වනදා අභාවප්‍රාප්ත වූහ.

අභිධාන සහ උපාධි[සංස්කරණය]

1955 දී මියන්මාර (බුරුම) රජය සයවන බෞද්ධ සම්ම්මේලනයේදී බුදු දහම වෙනුවෙන් එතුමන් කළ අද්විතීය සේවාව වෙනුවෙන් ගෞරවය පුද කිරීමක් ලෙස "අග්ග මහා පණ්ඩිත" යන අභිධානය මහානායක හිමියන්ට පිරිනමන ලදී. [5] එමෙන්ම මියන්මාරය එතුමාට එහි ඉහළතම සංඝ අභිධානය වන "අභිධර්ම මාහාරට්ඨගුරු" (ශ්‍රී ලංකාවේදී සංඝරාජ පදවියට සමාන වන) යන්නද පිරිනමන ලදී. [5] ආනන්ද මෛත්‍රෙය තෙරණුවන් ශ්‍රී ලංකා රජය විසින් "ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ප්‍රවචන විශාරද" ගෞරව උපාධියද ඊට අමතරව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍යසූරී" සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍ය චක්‍රවර්තී" යන ගෞරව අභිධානයන්ගෙන්ද පිදුම් ලබන ලදී.

මහානායක හිමියන්ගේ නිහතමානීත්වය පැහැදිලිව ප්‍රකාශ වූයේ එතුමා කිසිම අයුරක සම්මාන හෝ අභිධාන කෙරෙහි කැමැත්තක් නොදක්වන බව ප්‍රසිද්ධියේ පැවසීමෙනි. එතුමා හුදෙක් ප්‍රදානය කරන්නන් සතු‍ටු කිරීම සඳහා එම සම්මාන පිළිගත්තේය. එතුමන් බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ සංයුක්ත නිකායේ ගෞරව සම්මාන, තනතුරු පදවි යනාදියට දැඩි ලෙස ආශා කිරීමේ ඇති නොවැදගත් බව වදාළ අයුරු නිතරම සිහිපත් කරන කරුණක් ලෙස දේශනා කරන ලදී.

රචනා[සංස්කරණය]

ආනන්ද මෛත්‍රෙය හිමියන් විසින් සූත්‍ර, විනය, අභිධර්මය සහ පාලි හා සංස්කෘත ව්‍යාකරණ පිළිබඳ ග්‍රන්ථ 50 කට ආසන්න ගණනාවක් රචනා කර තිබේ. උන්වහන්සේ විසින් රචිත පොත් අතර ශාක්‍යමුනීන්ද්‍රවාවදානය හෙවත් බුද්ධ චරිතය පාසැල් පෙළ පොතක් ලෙසද පිළිගෙන ඇත. උන්වහන්සේ හෙළ බසින් මෙන්ම ඉංග්‍රිසි බසින්ද පොත් රචනා කරන ලදී. ආනාපන සති භාවනාව, ඉංග්‍රිසිය සරල මග, භාවනා දීපනිය, සම්බෝධි ප්‍රාර්ථනා , ඉංග්‍රිසි අත් පොත, දහම් සභාව, සතර පරමාර්ථය , බුද්ධ ධර්මය , විදර්ශනා භාවනාව. කම්මා වාචා සහ උදානය යන ග්‍රන්ථ උන්වනසේ ලේඛන කාර්යයන් සඳහා උදාහරණ වේ. ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ "ධම්මපදය" යන කෘතිය ජාත්‍යන්තරවද ප්‍රකාශනය කරන ලදී. ( The Dhammapada: The Path of Truth: Softcover, Wisdom Pubns, ISBN 0-932156-04-5 ) [5]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Ven. Balangoda Ananda Maitreya: A Personal Appreciation. Ven. Bhikkhu Bodhi. 2009. Archived from the original on 29 April 2010. සම්ප්‍රවේශය 2010-05-30. 
  2. Famous People and the impact of the Theosophical Society. Katinka Hesselink. Archived from the original on 25 April 2010. සම්ප්‍රවේශය 28 March 2010. 
  3. 3.0 3.1 3.2 3.3 Wijenayake, Walter (17 July 2010). Most Ven. Balangoda Ananda Maithreya thera. Sri Lanka Guardian. Archived from the original on 16 August 2010. සම්ප්‍රවේශය 2010-08-19. 
  4. 4.0 4.1 4.2 Fernando, Thilak (1994-09-24). "Face to face with late Ven. Aggamaha Panditha Balangoda Ananda Maitreya Thero". The Island - Saturday Magazine. සම්ප්‍රවේශය 2010-05-04. 
  5. 5.0 5.1 5.2 Yodhasinghe, Lionel (1998-07-20). "State Funeral for Ven. Ananda Maitreya" (in Sinhala). Daily News. සම්ප්‍රවේශය 2008-09-06. 

වැඩිදුර කියවන්න[සංස්කරණය]

  • පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි. බුදු බව පතන බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි , ශ්‍රී දේවි (පුද්ගලික) සමාගම (1992), ISBN 955-95328-1-2

බාහිර සබැඳි[සංස්කරණය]