Jump to content

අමරපුර නිකාය

විකිපීඩියා වෙතින්

අමරපුර මහ නිකාය ශ්‍රී ලංකාව පාදක කරගත් ප්‍රධාන භික්‍ෂු නිකායන් 3න් එකකි. ක්‍රි.ව. 1803 දී අමරපුර නිකාය ආරම්භ විය.ආරම්භයේදී අමරපුර සමාගම නමින් සංඝ සංස්ථාවක් වශයෙන් පැවතුණද පසු කාලීනව ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විවිධ වූ උප පාර්ශවයන් 21 ක් දක්වා විකේන්ද්‍රගත විය. ඒම උප නිකායන් නිකාය යන වදන භාවිතාකිරීම හේතුකොටගෙන මවු නිකාය වර්තමානයේදී ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය ලෙස හැඳින්වේ. එම නිකායේ උපසම්පදාව පිහිටුවීමට මුල් වු බුරුමයේ පැරණි අගනගරය වන අමරපුර නගරය හේතුවෙන් එම නම යෙදී තිබේ. අමරපුර නිකායේ භික්ෂුන් අනුගමනය කරන්නේ ථේරවාදී බුදුදහමයි.වර්තමානයේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාය පදවිය උසුලන්නේ කහපොල සුගතරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය .

අයත් පාර්ශව[සංස්කරණය]

මේ වන විට අමරපුර මහ නිකාය පාර්ශව 21 කින් සමන්විතවේ. මෙම සෑම නිකාය පාර්ශවයක්ම මහ නායක පදවියකින් , අනුනායක පදවියකින්, මහා ලේඛකාධිකාරී පදවියක්, නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවියකින්, ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියකින් සහ විංශත්වාර්ගික කාරක මහා සංඝ සභාවකින් ප්‍රතිසංවිධානගතව ඇත.

  1. මූලවංශික පාර්ශවය
  2. උඩරට අමරපුර සාමග්‍රි
  3. ඌව උඩුකිඳ පාර්ශවය
  4. ඌව අමරපුර පාර්ශවය
  5. සිරි සද්ධම්මවංශ පාර්ශවය
  6. එක්නැළිගොඩ පාර්ශවය
  7. ඉද්දමල්ගොඩ පාර්ශවය
  8. රාස්සගල පාර්ශවය
  9. අමරපුර මූලවංශික පාර්ශවය
  10. අමරපුර පාර්ශවය
  11. අඹගහපිටිය පාර්ශවය
  12. ශ්‍රී ධර්මරක්‍ෂිත පාර්ශවය
  13. සද්ධම්මයුත්තික පාර්ශවය
  14. වජිරවංශ පාර්ශවය
  15. සිරි සුමන පාර්ශවය
  16. ස්වේජින් පාර්ශවය
  17. භ්‍රම්මවංශාභිධජ පාර්ශවය
  18. චූලගණ්ඨි පාර්ශවය
  19. උඩරට අමරපුර නිකාය
  20. සම්බුද්ධ සාසනෝදය සංඝ සභාව
  21. කළ්‍යාණිවංශ පාර්ශවය

අතීතය[සංස්කරණය]

18 වන සියවසේ මැද භාගය වන විට ලක්දිව උපසම්පදාව නැති වී ගොස් තිබුණි. ශ්‍රී ලංකාවේ බුදු සසුන තෙවරක්ම පිරිහුණු අතර එය නැවත ඇති කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. එමනිසා කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ (1747 - 1782) වැලිවිට සරණංකර මාහිමිපානන්ගේ ආරාධනාවෙන් උපාලි නම් තෙරණුවන් වහන්සේ නමක් 1753දී මහනුවරට වැඩම කර උපසම්පදාව නැවත පිහිට වු අතර, එය සියම් නිකාය නම්වේ. එයට හේතුව උපසම්පදාව රැගෙන ආවේ සියම් දේශයෙන් වීමයි.

බුදු දහම නැවත ස්ථාපිත කර දශකයක් පමණ ගතවීමෙන් පසු 1764 දී එම නිකායට අයත් භික්ෂුන්වහන්සේලා කණ්ඩායමක් එක්ව එම නිකායේ උපසම්පදාව ලැබීමට ගොවිගම කුලයට අයත් විය යුතු බවට නීතියක් පැනවීය. මෙම සමයේදී බුදුරජාණන් වහන්සේ විනය නොසලකා හැර තිබුණු අතර, සමහර භික්ෂුන් වහන්සේලා වතුපිටි අයත් කරගෙන අඹුදරුවන් සමඟ පුද්ගලික නිවාස වල ජීවත් වුහ. ඔවුන් තන්නාසි නමින් හැඳින්වේ. මෙම සම‍යේදී ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශය ලන්දේසී ආක්‍රමණ වලට ලක්වෙමින් පැවතුණි.

සියම් නිකායේ මෙම ගොවිගම කුල භේදයට විරෝධය පල කෙරමින් වෙනත් කුල වලට අයත් භික්ෂුන් වහන්සේලා රජුගේ අනුග්‍රහය නොලබමින් උපසම්පදා උත්සව 2 ක් 1772 දී තොටගමුව විහාරයේදී ද, 1796 දී තංගල්ලේදී ද පැවැත්විය. නමුත් සියම් නිකාය මෙය විනය නීති කැඩීමක් බව පවසා ඒවාට අනුමැතිය ලබා නොදුන්හ.

ආරම්භය[සංස්කරණය]

ගොවිගම කුලවාදයත්, ක්‍රි .ව 1762 ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් පැනවූ කතිකාවතත් කරණකොටගෙන වෙරළබඩ පළාත් වල විසු භික්ෂුන් වහන්සේලාට උපසම්පදා භාවය ලබාගත නොහැකි විය. මෙම තත්ත්වය වෙනස් කිරීමට සිතූ 1779 දී අඹගහපිටියේ ඤාණවිමලතිස්ස නම් භික්ෂුන් වහන්සේ නමක් තවත් සාමණේර හිමිවරුන් කණ්ඩායමක් සමඟ පහතරට ධනවත් දානපතියෙකුගේ අනුග්‍රහය සහිතව උපසම්පදාව ලබා ගැනීම සඳහා බුරුමය වෙත පිටත්වුහ. 1800 දී බුරුමයේ සංඝරාජ මාහිමියන් අතින් ඔවුන් උපසම්පදාව ලැබීය. මෙම කණ්ඩායම 1803 දී ශ්‍රී ලංකාවට පැමිණියහ. එහිදී ඔවුන් සමඟ පැමිණි ජ්‍යෙෂ්ඨ මියන්මාර් භික්ෂුන් අතින් බලපිටිය මාදු ගඟේ තනවන ලද විශේෂ සීමා මාලකයක වෙසක් පුන් පොහොය දිනයේදී උපසම්පදා උළෙලක් පැවැත්විණි. ඒ සමගින්මෙ පරම පූජ්‍යතර මහා ධම්ම රාජාධි රාජගුරු ගණාචරිය ශ්‍රී විභූෂණ අඹගහපිටියේ ශ්‍රී ඤාණවිමලතිස්සාභිධාන මහා නාහිමිපාණන් වහන්සේගේ ආදිකර්තෘත්වයෙන් වැලිතර අඹගහපිටියේ ශ්‍රී අම්බරුක්ඛාරාම මූල මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් අමරපුර සමාගම නම් වූ නවනිකායක් ඇරඹි අතර ආරම්භයේ දීම පහතරටට පමණක් සීමා නොවී උඩරට ඇතුළු සමස්ත සිරිලක සිසාරා පූජ්‍යතර බෝගහපිටියේ ශ්‍රී ධම්මජ්ජෝති, පූජ්‍යතර කපුගම ශ්‍රී ධම්මක්ඛන්ධ, පූජ්‍යතර කතළුවේ ශ්‍රී ගුණරතන, පූජ්‍යතර අත්තුඩාවේ ශ්‍රී ධම්මරක්ඛිත යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උත්සාහයේ ප්‍රතිඵල වශයෙන් මහා නිකායක් වශයෙන් ව්‍යාප්ත කෙරිණ.

නිල පිලිගැනීම[සංස්කරණය]

කරාව හා දුරාව කුල වලට අයත් භික්ෂුන්වහන්සේලාද බුරුමය වෙත ගොස් උපසම්පදාව ලබාගත් අතර, 1810 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව අමරපුර නිකායේ උපසම්පදාව පිළිගන්නා බවට නිවේදනයක් නිකුත් කළේය. නමුත් සියම් නිකාය විසින් බුදුදහමට පටහැනිව සිදුකල මෙම ක්‍රියාව හේතුවෙන් කුල වශයෙන් බෙදීමට ලක්විය.

වැදගත්කම[සංස්කරණය]

අමරපුර නිකායේ ආරම්භය ශ්‍රී ලාංකික බුදුදහමේ හා සමාජයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පළමුවරට රාජ්‍ය අනුග්‍රහය රහිතව බුදුදහම වෙනුවෙන් කැපවුනු ගිහි දානපතියන් මුල් වීමෙන් නව නිකායන් බිහිවිය. එම හේතුවෙන් වෙනත් නිකායන් මෙන් නොව අමරපුර නිකාය රාජ්‍ය බලය හා රජතුමාගෙන් නිදහස් විය. ඒ වෙනුවට මධ්‍යම පාන්තික දායකයන් සමඟ වඩාත් සමීපව කටයුතු කලහ. මේ හේතුවෙන් 19 හා 18 වන සියවස් වල මධ්‍යම පංතියේ බලය වැඩි විය. එසේම කුලවාදයට එරෙහි භික්ෂු පරපුරක් මෙතුළින් බිහිවූ අතර මෑත භාගයේදී අමරපුර මහා සංඝ සභාව රාමඤ්ඤ මහා නිකාය හා එක්ව එක් සාමග්‍රී ධර්ම සංඝ සභාවක් ලෙස ස්ථාපිත විය.එය ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

ආශ්‍රිත වෙනත් ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අමරපුර_නිකාය&oldid=652936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි