නීල් ආම්ස්ට්‍රෝන්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
නීල් ආම්ස්ට්‍රෝන්
Neil Armstrong
Neil Armstrong pose.jpg
උපත5 අගෝස්තු 1930(1930-08-05)
වැපකොනේටා, ඔහියෝ,ඇමෙරිකා එක්සත් ජනපදය
තත්ත්වයවිශාමික
ජාතිකත්වයඇමෙරිකානු
රැකියාවපරීක්ෂණ ගුවන් නියමු
Space career
Neil Armstrong Signature.svg
එක්සත් ජනපද අභ්‍යවකාශගාමී
සඳමත පා තැබු ප්‍රථම මිනිසා
අභ්‍යවකාශගත කාලය
දින 8 , පැය 14 , මිනිත්තු 12 සහ තත්පර 31
තෝරාගැනීම1957 අභ්‍යවකාශගාමී තේරීම් ලැයිස්තුව MISS කණ්ඩායම, 1960 අභ්‍යවකාශගාමී තේරීම් ලැයිස්තුව Dyna-Soar කණ්ඩායම, 1962 නාසා අභ්‍යවකාශගාමී කණ්ඩායම 2
Total EVAs
1
මෙහෙයුම්ජෙමිනි 8, ඇපලෝ 11
මෙහෙයුම් ලාංචනය
Ge08Patch orig.png Apollo 11 insignia.png

නීල් ඇල්ඩෙන් ආම්ස්ට්‍රෝන් (1930 අගොස්තු 05 - 2012 අගෝස්තු 25) යනු හිටපු ඇමරිකානු ගඟනගාමියෙකු, පර්යේෂණ ගුවන් නියමුවකු, විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු සහ ඇමෙරිකානු එක්සත් ජනපද නාවික ගුවන් නියමුවකු ද වෙයි. ඔහු සඳ මත පා තැබු ප්‍රථම පුද්ගලයාය. ඔහුගේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සිදු කරනු ලැබුයේ 1966 දී ජෙමිනි 8 යානයෙන් වන අතර ඔහු එහි අණදෙන නියමුවා විය. මෙම මෙහෙයුමේ දී ගුවන් නියමු ඩේවිඩ් ස්කොට් සමග එකතුව ඔහු විසින් මුල්ම පිරිස් බලයක් ඇතිව අභ්‍යවකාශ යානා දෙකක් තටාක ගත කරන ලදී. ආම්ස්ට්‍රෝන්ගේ දෙවන සහ අවසාන අභ්‍යවකාශ ගමන සිදු කරන ලද්දේ 1969 ජුලි 20 වන දා ය. ඒ ප්‍රථම වරට සඳ මත පා තැබීමේ මෙහෙයුමත් සමගය. ඔහු මෙම මෙහෙයුමෙහි ඇපලෝ 11 යානයෙහි අණදෙන නිළධාරියා විය. මෙකී සුප්‍රසිද්ධ මානව වර්ගයාගේ ඉදිරි ගමනට තැබු යෝධ පියවරත් සමගින් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් මුල්ම වරට චන්ද්‍රයාගේ පෘෂ්ඨය මතට පා තබා පැය 2 ½ ක කාලයක් මුළුල්ලේ සඳ ගවේෂණය කළහ. ඔවුන් මෙලෙස ගවේෂණය සිදු කරන අවස්ථාවන්හි දි ඔවුනට සහය දක්වමින් මයිකල් කොලින්ස් චන්ද්‍ර පෘෂ්ඨයට ඉහළින් කක්ෂගත විය. ආම්ස්ට්‍රෝන් හට Congressional Space Medal of Honor නම් සම්මානය මේ සඳහා හිමි වුණි.

ගඟනගාමියෙකු වීමට ප්‍රථම ආම්ස්ට්‍රෝන් එක්සත් ජනපද නාවික හමුදාවෙහි සේවය කළ අතර කොරියානු යුධ සමයේදී ක්‍රියාකාරී සමාජිකයෙකු විය. මෙකී යුධ සමයෙන් පසු ඔහු අධිවේගී ගුවන් මධ්‍යස්ථානයක් වන National Advisory Committee for Aeronautics (NACA) හි පර්යේෂණ ගුවන් නියමුවකු ලෙස සේවය කළ අතර එහි දී ඔහු විවිධ වර්ගයේ ගුවන් යානා වලින් ගුවන් ගමන් 900 කටත් වඩා සිදු කර තිබුණි. මෙම මධ්‍යස්ථානය දැනට හඳුන්වනු ලබන්නේ Dryden Flight Research Center නමිනි. පර්යේෂණ ගුවන් නියමුවකු ලෙස ඔහු F – 100 Super Sabre A සහ C ගුවන් යානයෙහි, F – 101 Voodoo සහ Lockheed F – 104 A Starfighter යන යානා වල සේවය කර ඇත. මීට අමතරව Bell X – 1B, Bell X – 5, North American X – 15, F – 105 Thunderchief, F – 106 Delta Dart, B – 47 Stratojet, KC – 135 Stratotanker සහ Paresecv යන යානාවල ද පියාසර කර ඇත. ඔහු Purdue සරසවියෙන් උපාධි ලැබුවෙකි.

පුද්ගලික ජීවිතය[සංස්කරණය]

1930 අගෝස්තු 5 වැනිදා, ඔහියෝ ප්‍රාන්තයෙහි වැපකොනේටා නගරයේ දී[1] වයෝලා ලුවීස් ට සහ ස්ටීවන් කෙනෙග් ට දාව ආම්ස්ට්‍රෝන් උපත ලැබීය. ඔහුට ජූන් නම් බාල සොහොයුරියක් ද ඩීන් නම් බාල සහෝදරයෙකු ද විය. ඔහුගේ පියා ඔහියෝ ප්‍රාන්ත රාජ්‍යයේ විගණකයෙකු විය.[2] එම නිසා ඊළග වසර 14 තුළ ඔහුගේ පවුල ට ප්‍රාන්තය පුරා නගර 16 කට පදිංචිය මාරු කිරීමට සිදුවිය.[3] ආම්ස්ට්‍රෝන්ට ගුවන් යානා ගැන උනන්දුව ඇති වූයේ වයස අවුරුදු දෙකේදී පමණ ය. එකල ඔහුගේ පියා ඔහුව ක්ලීව්ලන්ඩ් හි තිබූ ගුවන් තරඟ නැරඹීමට රැගෙන ගොස් ඇත. වයස පහේදී හෝ හයේදී ඔහුට පළමු ගුවන් ගමන් අත්දැකීම ලැබුණි.[4][5]

1944 දී ඔහුගේ පවුල අවසාන වරට නැවතත් වැපකොනේටා නගරයට පැමිණියහ. එහිදී ආම්ස්ට්‍රෝන්ග් බ්ලූම් උසස් පාඨශාලාවට ඇතුල් විය. ඔහු වැපකොනේටා ගුවන්තොටේදී ගුවන් යානා නියමු පුහුණුවක් ලැබීය.[1] තම 16 වැනි උපන්දිනය දා ශිෂ්‍ය ගුවන් සහතිකයක් ලබාගත් ඔහු අගෝස්තු මාසයේදි සිය ප්‍රථම ගුවන් ගමන තනිවම සිදු කළේය. ඒ රියදුරු බලපත්‍රයවත් ලබා ගැනීමට පෙරයි.[6] ආම්ස්ට්‍රෝන්ග් ක්‍රියාකාරි බාලදක්ෂයෙකු වූ අතර ඇමරිකානු බාලදක්ෂ වැඩසටහනේ ඉහළම තනතුර වූ 'Eagle Scout' තනතුර ලබාගත්තේය. ආම්ස්ට්‍රෝන් හට බාලදක්ෂ ව්‍යාපාරය විසින් Distinguished Eagle Scout සම්මානය සහ Silver Buffalo සම්මානය ප්‍රදානය කෙරුනි.[7][8] 1969 ජුලි 18 වැනිදා චන්ද්‍රයා වෙත පියාසැරිය කරන අතරතුර ආම්ස්ට්‍රෝන් ඉඩාහෝ ප්‍රාන්තයේ පැවති ජාතික බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වූ බාලදක්ෂයන් හට සිය ශුභාශිංසන යැවීය.[9] ආම්ස්ට්‍රෝන් චන්ද්‍රයා වෙත ගෙන ගොස් නැවත රැගෙන ආ පෞද්ගලික අයිතම කිහිපය අතර ලෝක බාලදක්ෂ ලාංඡනයක් ද විය.[10]

1947 දී, වයස 17 ක් වූ ආම්ස්ට්‍රෝන් පර්ඩූ විශ්වවිද්‍යාලයේදී ගගනයාත්‍රා ඉංජිනේරු විද්‍යාව හැදෑරුවේය.[11]

නාවික හමුදා සේවය[සංස්කරණය]

නාවික හමුදා ගුවන් නියමු නීල් ආම්ස්ට්‍රෝන්, 1952 මැයි 23

1949 ජනවාරි 26 දා ආම්ස්ට්‍රෝන්ව නාවික හමුදා සේවයට කැඳවන ලදී. වෛද්‍ය පරීක්ෂනවලින් පසු 1949 පෙබරවාරි 24 දා මිඩ්ෂිප්මන් තනතුරට පත්විය.[12] 1949 සැප්තැම්බර් 9 වැනිදා ඔහු පියාසැරි පුහුණුව සඳහා වූ T-6 ටෙක්සන් ගුවන් යානයක් තනිවම පියාසර කළේය.[13] 1950 මාර්තු 2 වැනිදා ඔහු ගුවන් යානා ගෙනයනා නෞකාවක් වූ USS Cabot මතට ගුවන්‍ යානයක් ගොඩබෑවේය.[13] 1950 අගෝස්තු 16 වැනිදා නාවුක හමුදාව ඔහුට දන්වා සිටියේ ඔහු නාවික ගුවන්නියමුවෙක් ලෙස සම්පූර්ණ සුදුසුකම් ලබා ඇති බවයි.

1950 නොවැම්බර් 27 වැනිදා ආම්ස්ට්‍රෝන්ග්ව VF-51 නම් ජෙට් කණ්ඩායමේ නියමුවෙක් ලෙස පත් කරන ලදී. එහි ලාබාලතම නිළධාරියා වූ ඔහු 1951 ජනවාරි 5 වැනිදා පළමු වතාවට ජෙට් ගුවන් යානයක් පියාසර කළේය. ඒ ග්‍රමන් F9F පැන්තර් යානයකි. 1951 ජුනි 5 වැනිදා ආම්ස්ට්‍රෝන්ග්ව Ensign තනතුරට උසස් කරන ලද අතර ඊට දින දෙකකට පසුව ඔහු පළමුවරට ජෙට් යානයක් ගුවන්යානා වාහක නෞකාවක් මතට ගොඩබෑවේය. ඒ USS Essex මතටයි. 1951 ජුනි 28 වැනිදා, Essex කොරියාව බලා යාත්‍රා කිරීම ඇරඹූ අතර VF-51 එහි පොළොවේ ඉලක්ක වලට පහර දෙන (ground-attack) ගුවන්යානය ලෙස ක්‍රියා කළේය.[14]

1951 අගෝස්තු 29 දා ආම්ස්ට්‍රෝන් පළමු වරට කොරියානු යුද්ධයට සහභාගී වූයේ ය. ඒ සොන්ග්ජින් හි ගුවන් ඡායාරූප ලබාගැනීමේ මෙහෙයුමකදීය.[15] ඉන් දින පහකට පසු ඔහු සන්නද්ධ විහිදුම් මෙහෙයුමක් සඳහා සහභාගි විය. ඒ මාජොන්-නි නම් ගම්මානයට දකුණින් ඇති ප්‍රමුඛ ප්‍රවාහන සහ ගබඩා පහසුකම් ඇති ප්‍රදේශයක් මතිනුයි. ආම්ස්ට්‍රෝන්ග්ට අනුව ඔහු පොළොවට බෝම්බ හෙලීම සඳහා පහළ උන්නතාංශයක පැ.කි.මී. 560 ක පමණ වේගයකින් පියාසර කරමින් සිට ඇති අතර කඳු අතර උගුලක් ලෙස ඇද තිබූ කේබලයක ඔහුගේ යානය ගැටී ඇත. පොළොවට මීටර් 150 ක් පමණ උසින් ගමන් ගද්දී සිදුවූ මෙම අනතුරින් යානයේ එක් තටුවක අඩි 6ක ප්‍රමාණයක් විනාශ විය. එම ප්‍රදේශය තුලදී බරපතළ ලෙස ගුවන්යානා-මර්ධන-අවි වලින් වෙඩි ප්‍රහාර එල්ල වුවද ඒවා ආර්ම්ස්ට්‍රෝන්ගේ යානයේ නොවැදුනි.[16] නමුත් USS Essex නෞකාවේ අණ දෙන නිළදාරියාට මුලින් ලැබුණු වාර්තාවේ සඳහන් වූයේ ආම්ස්ට්‍රොන්ගේ F9F පැන්තර් යානය ගුවන්යානා-නාශක අවි වලින් එල්ල වූ ප්‍රහාර වලට හසුවූ බවටයි.

Two dark-blue-painted single-seat military jets flying from left to right in echelon. They wear the mark of the U.S. military on the nose, and a number. The nearer plane is 107 and the further is 116. On the fin is the letter 'S' and just in front the word NAVY. The planes have wingtip drop tanks and bubble canopies.
F9F-2 පැන්තර් ගුවන්යානා දෙකක්.වම් පස යානායේ නියමුවා ආම්ස්ට්‍රෝන්ග් ය.

යානයට දරුණු ලෙස හානි වුවද එය නැවත සතුරු කලාපයෙන් පිටතට ගෙන ඒමට ආම්ස්ට්‍රෝන්ග් සමත්විය. පාර්ශවික සමබරතාවය පාලනය කිරීම සඳහා තිබූ ගුවන් යානා තටු විනාශ වී තිබූ නිසා යානය නැවත ආරක්ෂිතව ගොඩබසීමට නොහැකි විය. ආම්ස්ට්‍රෝන්ට තිබූ එකම බලාපොරොත්තුව වූයේ යානයෙන් පිටතට පැනීමේ ක්‍රියාවලියයි (ejection). එමගින් ආසනයත් සමගම නියමුවාව යානයෙන් වෙන් කෙරෙන අතර ආසනයේ ඇති පැරෂූටයක් මගින් ඔහුව ආරක්ෂිතව පොළොවට පතිත කළ හැක. ආම්ස්ට්‍රෝන් ඉලක්ක කළේ මුහුද මතදි යානයෙන් ඉවත් වී ජලයට පතිත වී, ඉන් පසු ගලවාගැනීමේ හෙලිකොප්ටර යානයක් පැමිණෙන තෙක් බලා සිටීමටයි. නමුත් සුළඟට අසුවූ පැරැෂූටය නැවත ගොඩබිම් පෙදෙසට ගසා ගෙන ගියේය. ගොඩබිමට පතිත වූ ඔහුව මිතුරෙකු විසින් ජීප් රථයකින් රැගෙන යන ලදි. ඔහුගේ ගුවන්යානය වූ F9F BuNo 125122 හි සුන්බුන් සොයාගත නොහැකි විය.[17]

ආම්ස්ට්‍රෝන් කොරියාවේදී පැය 121 ක ගුවන් කාලයක් තුල මෙහෙයුම් 78 කට සහභාගි විය. කොරියානු යුද්ධයේදී මියගිය එක්සත් ජනපද නාවික හමුදා භටයින් 492 න් 27 දෙනෙක් USS Essex හි සේවය කළ අය විය. මෙහෙයුම් 20 ක් සඳහා ආම්ස්ට්‍රෝන්ග් හට Air Medal නොහොත් ගුවන් පදක්කම ද, තවත් මෙහෙයුම් 40 ක් සඳහා Gold Star දෙකක්ද, Korean Service Medal, Engagement Star, National Defense Service Medal සහ United Nations Korea Medal ද හිමි විය.[18]

පරීක්ෂන නියමු[සංස්කරණය]

පරීක්ෂණ නියමු නීල් ආම්ස්ට්‍රෝන් (වයස 26)

පර්ඩූ සරසවියෙන් ඉවත් වීමෙන් පසු ආම්ස්ට්‍රෝන් පර්‍යේෂක පරීක්ෂණ ගුවන් නියමුවෙකු ලෙස සේවය කළේය. ඔහු එඩ්වර්ඩ්ස් ගුවන්හමුදා මූලස්ථානයේ ඇති අධිවේගී ගුවන් මධ්‍යස්ථානයක් වන National Advisory Committee for Aeronautics (NACA) හි රැකියාවක් සඳහා ඉල්ලුම් කෙරුවේය.[19] නමුත් එහි ඇබෑර්තුවක් නොතිබූ නිසා ඔහුගේ අයදුම්පත ක්ලීව්ලන්ඩ් හි ඇති ලුවිස් ගුවන් ප්‍රචාලන විද්‍යාගාරයට හරවා යවන ලදී. 1955 මාර්තු 1 වැනිදා ආම්ස්ට්‍රෝන් එහිදී පළමු වරට පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු කළේය.[19] ඔහු ක්ලීව්ලන්ඩ් හි සේවය කළේ සුලු කාලයක් පමණි. 1955 ජුලි 11 දින ඔහු NACA අධිවේගී ගුවන් මධ්‍යස්ථානයේ සේවයට වාර්ථා කරන ලදි.[20]

අභ්‍යාවකාශගාමී වෘත්තිය[සංස්කරණය]

1958 ජුනි මාසයේ ආම්ස්ට්‍රෝන්ව එක්සත් ජනපද ගුවන් හමුදාවේ Man In Space Soonest වැඩසටහනට තෝරගත් නමුත් උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය එම වැඩසටහනට ප්‍රතිපාදන සැපයීම නවත්වන ලදී. ඒ වෙනුවට පසුව ඉදිරිපත්වුනේ නාසා ආයතනයේ මර්කරි ව්‍යාපෘතියයි. නමුත් එහි අභ්‍යාවකාශගාමියෙකු ලෙස ඉදිරිපත් වීමට හැකිවූයේ හමුදා පරීක්ෂන නියමවුනට පමණක් වූ අතර ආම්ස්ට්‍රෝන් සිවිල් පරීක්ෂන නියමුවෙක් වූ නිසා එයට සහභාගි විය නොහැකි විය.[21][22] 1960 නොවැම්බර් මස ඔහුව X-20 ඩයින-සෝර් නම් හමුදා ගුවන් යානයට නියමු උපදේශකයෙකු ලෙස තෝරාගන්නා ලදි. ඉන් වසර දෙකකට පසු 1962 මාර්තු 15 දා, ආම්ස්ට්‍රෝන් X-20 නම් ගුවන් යානය සඳහා තෝරාගත් නියමු-ඉංජිනේරුවන් හත්දෙනා අතරට ඇතුළත් විය.[23][24]

ආම්ස්ට්‍රෝන්, ජෙමිනි ව්‍යාපෘතියේ මුල් කාලයේ භාවිත කළ අභ්‍යාවකාශ ඇඳුමක් සමග

1962 අප්‍රේල් මස නාසා ආයතනය නිවේදනය කළේ ජෙමිනි ව්‍යාපෘතිය සඳහා දෙවන ගගනගාමීන් කණ්ඩායමක් බඳවා ගන්නා බවත් මෙවර සිවිල් පරීක්ෂන නියමුවන්ට ද ඉල්ලුම් කළ හැකි බවයි.[25] 1962 මැයි මස සියැටල් වර්ල්ඩ්'ස් ෆෙයාර් වෙත ගිය ආම්ස්ට්‍රෝන් එහි තිබූ අභ්‍යාවකාශ ගවේශනය ගැන වූ සමුළුවකට සහභාගි විය. සියැටල් සිට නැවත පැමිණි ඔහු අභ්‍යවකාශගාමියෙකු වීමට ඉල්ලුම් කළේය. ඔහුගේ ඉල්ලුම් පත්‍රය එහි ළඟාවුනේ ඉල්ලුම් පත් යැවිය හැකි අවසාන දිනය වූ 1962 ජුනි 1 වැනිදාට සතියකටත් පසුවයි. කෙසේ නමුත් එඩ්වර්ඩ්ස් හමුදා මූලස්ථානයේ ආම්ස්ට්‍රෝන් සමග සේවය කළ ඩික් ඩේ නම් ගුවන් විඩම්බක විශේෂඥයා හට ඔහුගේ ඉල්ලුම් පත්‍රය හමුවී ඇති අතර ඔහු කිසිවෙකුට නොදැනෙන ලෙස එය ඉල්ලුම් පත්‍ර ගොඩට දමා ඇත.[26] ජුනි මස අවසානයේ බෲක්ස් ගුවන් හමුදා කඳවුරේදි ආම්ස්ට්‍රෝන් වෛද්‍ය පරීක්ෂනයකට ලක් වූවේය. මෙම පරීක්ෂනය වේදනාකාරි සහ තේරුමක් නැති එකක් බවට අයදුම්කරුවන් විස්තර කර ඇත.[27]

නාසා හි පියාසැරි කාර්ය මණ්ඩල මෙහෙයුම් අධ්‍යක්ෂක, ඩිකී ස්ලේටන්, 1962 සැප්තැම්බර් 13 ආම්ස්ට්‍රෝන් අමතා ඔහු නාසා අභ්‍යවකාශගාමී බලකායට එකතු වීමට කැමැතිදයි විමසීය. පැකිළීමකින් තොරව ඔහු එයට කැමති විය. දින තුනක් යනතෙක් එම තෝරාගැනීම් රහසිගතව පැවතුනද එම වර්ෂයේ මුල සිටම මාධ්‍ය වාර්තා කලේ ආම්ස්ට්‍රෝන් "පළමු සිවිල් අභ්‍යාවකාශගාමියා" ලෙස තෝරාගනු ඇති බවයි.[28] මෙම කණ්ඩායමට තෝරාගෙන තිබුණේ සිවිල් නියමුවන් දෙදෙනෙකු පමණි.[29] ඒ ආම්ස්ට්‍රෝන් සහ එලියට් සී ඒ දෙදෙනායි.[30] 1962 සැප්තැම්බර් 17 තිබූ මාධ්‍ය හමුවකදී නාසා ආයතනය ව්සින් දෙවැනි ගගනගාමීන් කණ්ඩායම ප්‍රසිද්ධියට පත් කරන ලදී. මර්කරි 7 ගගනගාමී කණ්ඩායමට වඩා මොවුන් වයසින් බාල සහ අධ්‍යයන සුදුසුකම් වලින් ඉහළ විය. මයිකල් කොලින්ස් පැවසුවේ අභ්‍යවකාශගාමී බලකායේ සිටි වැඩිම පළපුරුද්දක් තිබූ පරීක්ෂණ නියමුවා ආම්ස්ට්‍රෝන් බවයි.[31]

ජෙමිනි වැඩසටහන[සංස්කරණය]

ජෙමිනි 5[සංස්කරණය]

1965 පෙබරවාරි 8 වැනිදා, ආම්ස්ට්‍රෝන් සහ එලියට් සී ජෙමිනි 5 මෙහෙයුමේ උපස්ථ කණ්ඩායම ලෙස පත් කරන ලදී. (උපස්ථ කණ්ඩායම යනු මෙහෙයුමේ ප්‍රධාන කණ්ඩායමට යම් කිසි හේතුවක් නිසා මෙහෙයුමට සහභාගී වීමට නොහැකි වුවහොත් ඒ වෙනුවට සහභාගී වන කණ්ඩායම ය.) ඔවුන්ගේ කාර්‍ය වූයේ මෙහෙයුමේ ප්‍රධාන කන්ඩායම වූ ගෝඩන් කූපර් සහ පීට් කොන්රාඩ් ට සහය වීමයි.[32] මෙහෙයුමේ මූලික අරමුණු වූයේ අභ්‍යාවකාශයේදී යානා දෙකක් මුනගැහෙන ආකාරය පුහුණු වීම සහ දින 7ක පමණ අභ්‍යාවකාශ ගමනකට අවශ්‍ය ක්‍රියා පටිපාටි සහ උපකරණ පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටයි. චන්ද්‍රයා වෙත යන ගමනක් සඳහා ඒවා අත්‍යාවශ්‍ය විය. අගෝස්තු 21 වැනිදා ප්‍රධාන කන්ඩායම සමග මෙහෙයුම දියත් විය.[33] ආම්ස්ට්‍රෝන් සහ සී කෙනඩි තුඩුවේ සිට සාර්ථක දියත් කිරීම නැරඹූහ.[34] යානා හමුව වැළැක්වීමට හේතුවූ ඉන්ධන කෝෂවල කුඩා ගැටලුවක් හැරෙන්නට මෙහෙයුම යම්තාක් දුරට සාර්ථකව නිමවිය.

ජෙමිනි 8[සංස්කරණය]

ආම්ස්ට්‍රෝන් (වයස 35) ජෙමිනි 8 සඳහා අභ්‍යාවකාශ ඇඳුම පළඳිමින් (1966 මාර්තු)

ජෙමිනි 8 මෙහෙයුම සඳහා නියම කෙරුණු කණ්ඩායම 1965 සැප්තැම්බර් 20 වැනිදා නිවේදනය කරන ලදී. ඒ අනුව ඩේවිඩ් ස්කොට් ප්‍රධාන නියමුවා ලෙසත් ආම්ස්ට්‍රෝන් අණ දෙන නිළදාරියා ලෙසත් පත් කරන ලදී.[35][36] මීට අමතරව පීට් කොන්රාඩ් සහ රිචඩ් ගෝඩන් උපස්ථ කණ්ඩායම ලෙස පත් කරන ලදී.[35][36] ආම්ස්ට්‍රෝන් ගේ ප්‍රථම අභ්‍යාවකාශ ගමන වන ජෙමිනි 8 විය. එමගින් ඔහු අභ්‍යාවකාශයට ගිය පළමු එක්සත් ජනපද සිවිල් වැසියා බවට පත් විය. (සෝවියට් සංගමයේ ගගනගාමී වැලන්ටිනා තෙරෙශ්කෝවා 1963 ජුනි 16 වැනිදා අභ්‍යාවකාශයට ගිය පළමු සිවිල් වැසියා බවට පත් විය.[37]))

ජෙමිනි 8, 1966 මාර්තු 16 වැනිදා දියත් විය. එතෙක් සිදු වූ සංකීර්ණම මෙහෙයුමක් වූ මෙහිදී වෙනත් (නියමුවන් රහිත) යානයක් සමග හමුවී එයට සම්බන්ධ වීමත්, ඩේවිඩ් ස්කොට් විසින් දෙවැනි ඇමරිකානු අභ්‍යාවකාශ ඇවිදීම සිදු කිරීමත් ප්‍රධාන ඉලක්ක විය. මෙහෙයුම සැලසුම් කරන ලද්දේ පැය 75 ක් (එනම් පරිභ්‍රමණ 55 ක්) තුල සිදු කිරීමට යි. අභ්‍යාවකාශයේදී සම්බන්ධ වීමට සඳහා යොදාගන්නා ඇජීනා නම් නියමු-රහිත යානය නැගෙනහිර සම්මත වේලාවෙන් 10:00:00 ටසැකිල්ල:හැකර් දියත් කරන ලද අතර 11:41:02 ට ආම්ස්ට්‍රෝන් රැගත් ටටිටන් II රොකට්ටුව දියත් විය.[38] ඔවුන් විසින් ඉතිහාසයේ ප්‍රථම වරට අභ්‍යාවකාශයේදී යානා දෙකක් තටාකගත කරන ලදී.[39] කණ්ඩායමට පොළොව සමග තිබූ රේඩියෝ සමබන්ධය කඩින් කඩ විසන්ධි වීමට හේතුව වූයේ පොළොවේ ප්‍රමාණවත් තරම් පණිවුඩ ලබාගැනීමේ මධ්‍යස්ථාන නොතිබූ නිසයි. මෙසේ සම්බන්ධය විසන්ධි වී තිබූ අවස්ථාවක එක් වරම ඇජීනා යානය භ්‍රමණය වීමකට ලක් විය. ආම්ස්ට්‍රෝන් මෙය නිවැරදි කිරීම සඳහා ජෙමිනි යානයේ තිබූ කක්ෂීය ඉරියවු සහ උපමාරු පද්ධතිය (OAMS) භාවිත කළේය. මෙහෙයුම් පාලන අංශයෙන් පෙර ලැබුණු උපදෙස් වලට අනුව ඔවුන් ඇජීනා යානයෙන් ජෙමිනි යානය ඉවත් කර ගැනීමට කටයුතු කළෝය. කෙසේ නමුත් භ්‍රමණය නොනැවතුණු අතර එය වඩා වේගවත් විය. මෙයින් පෙනී ගියේ ජෙමිනි යානයේ ඉරියවු පාලනයේ ගැටලුවක් ඇති බවයි. මේ අනුව ක්‍රියාත්මක වූ ආම්ස්ට්‍රෝන් නැවත-ඇතුල්-වීම පාලනය සඳහා වූ පද්ධතිය (RCS) ක්‍රියාත්මක කර OAMS පද්ධතිය ක්‍රියා විරහිත කළේය. මෙහෙයුම් නීති වලට අනුව RCS පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු, ලැබෙන මුල්ම අවස්ථාවේදීම පොළොවට නැවත ඒමේ ක්‍රියාවලිය ඇරඹිය යුතු විය. ref>Merritt, Larry (March 2006). "The abbreviated flight of Gemini 8". Boeing. Archived from the original on August 12, 2011. Retrieved May 14, 2011.</ref>

බටහිර ශාන්තිකර සාගරයට පතිත වූ ජෙමිනි 8 යානයේ කණ්ඩායම ගළවා ගැනීම

වෝල්ටර් කනින්හැම් ඇතුලු අභ්‍යාවකාශගාමී කාර්‍යාලයේ සිටි කිහිපදෙනෙකුට දැනුනේ ආම්ස්ට්‍රෝන් සහ ස්කොට්ගේ නොසැකිල්ල නිසා මෙහෙයුම නිසි ලෙස සාර්ථක කරගත හැකි නොවූ බවයි.[40] ආම්ස්ට්‍රෝන් එක් RCS මුදුවක් පමණක් ක්‍රියාත්මක කළේ නම් මෙහෙයුම නියම පරිදි සාර්ථක කරගත හැකිවීමට ඉඩ තිබුනේ යැයිද මතයක් තිබුනි. නමුත් මේ විවේචන පදනම් විරහිත වූ අතර, RCS මුදු එකක් පමණක් ක්‍රියාත්මක කිරීම කළ නොහැකි දෙයක් විය.[41] මෙයට අදහස් දක්වමින් ජීන් ක්‍රාන්ස් පැවසුවේ "කණ්ඩායම ක්‍රියාකළේ ඔවුන් පුහුණු කර තිබූ ආකාරයට යි. ඔවුන් වැරදි ලෙස ක්‍රියා කළේ අපි ඔවුන්ට එසේ කිරීමට පුහුණු කර තිබූ නිසයි" යනුවෙනි. යානා දෙකක් තටාගත කළ පසු ඒ දෙකම එක් යානයක් ලෙස සැළකිය යුතු බව මෙහෙයුමේ සැළසුම්කරුවන්ට සහ පාලකයන්ට වැටහී නොතිබුණි. එනිසා ක්‍රාන්ස් මෙම මෙහෙයුම සැලකුවේ වැදගත් පාඩමක් ලෙසයි.[42] මෙහෙයුම මගින් නැවතීමට සිදුවීම නිසා ස්කොට් සිදු කිරීමට තිබූ අභ්‍යාවකාශ ඇවිදීම ඇතුලුව මෙහෙයුමේ වැදගත් ඉලක්කයන් බොහොමයක් අවලංගු කිරීමට සිදු විය. අත් හැර දැමුනු ඇජීනා යානය ජෙමිනි 10 දී නැවත භාවිතයට ගැනුනි.[43] ආම්ස්ට්‍රෝන් ට සහ ස්කොට් ට නාසාහි Exceptional Service Medal හිමි වූ අතර[44][45] ස්කොට් හට ගුවන් හමුදාවෙන් Distinguished Flying Cross හිමි විය.[46] ස්කොට් ලුතිනන් කර්නල් ධුරයට උසස් කරන ලද අතර ආම්ස්ට්‍රෝන්ගේ වැටුප එ.ජ. $ 678 කින් වැඩි කරන ලදි. එනම් වසරකට ඔහුගේ වැටුප එ.ජ. $21,653 ක් විය (2020 වටිනාකම $172,713 කි). එමගින් එකල සිටි නාසා හි වැඩිම වැටුපක් ලබන අභ්‍යාවකාශගාමියා ආම්ස්ට්‍රෝන් බවට පත් විය.[47]

ජෙමිනි 11[සංස්කරණය]

ජෙමිනි වැඩසටහනෙහි ආම්ස්ට්‍රෝන්ග්ට ලැබුණු අවසාන තනතුර වූයේ ජෙමිනි 11 හි උපස්ථ අණ දෙන නිළධාරී තනතුර යි. ඒ වනවිට පියාසැරි දෙකක් සඳහා පුහුණුව සිටි බැවින් ආම්ස්ට්‍රෝන්ග් හට යානයේ පද්ධති ගැන සැළකිය යුතු දැනුමක් තිබුනි. මේ නිසා ඔහු ආධුනිකයෙක් වූ මෙහෙයුමේ උපස්ථ නියමු විලියම් ඇන්ඩර්ස් ගේ ගුරුවරයා බවට පත් වුණි.[48] 1966 සැප්තැම්බර් 12 පීට් කොන්රාඩ් සහ රිචඩ් ගෝඩන් සමග ජෙමිනි 11 දියත් විය.[49] ඔවුන් මෙහෙයුම සාර්ථකව නිම කළ අතර, නීල් ආම්ස්ට්‍රෝන් මෙහෙයුමේ කැප්සියුල සන්නිවේදක ලෙස ක්‍රියා කළේය.[50]

ඇපලෝ වැඩසටහන[සංස්කරණය]

1967 ජනවාරි 27 වෙනිදා ඇපලෝ 1 කණ්ඩායම පෙරපුහුණුවකට සහභාගී වී තිබූ අතර ඒ අතර යානයේ හටගත් ගින්නක් හේතුවෙන් ඔවුන් මරණයට පත් වූහ. ආම්ස්ට්‍රෝන් ගෝඩන්, කූපර්, ලොවෙල් සහ ස්කොට් කාපෙන්ටර් සමග මෙදින වොෂින්ගටනයට ගොස් තිබුණේ එක්සත් ජාතීන්ගේ අභ්‍යාවකාශ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට යි. එහිදී ඔවුන්ට සිය සගයින් වූ ගස් ග්‍රිසම්, එඩ් වයිට් සහ රොජර් චැෆී මියගිය බවට දුරකථන මගින් දැනගන්නට ලැබුණි.[51]

1967 අප්‍රේල් 5 වැනිදා, ඇපලෝ 1 ගින්න සම්බන්ධ විමර්ශනයේ අවසන් වාර්තාව නිකුත් වූ අතර, එදිනම ආම්ස්ට්‍රෝන් සහ තවත් අභ්‍යාවකාශගාමීන් 17 දෙනෙක් ඩික් ස්ලේටන් සමග රැස්වීමකට සහභාගී වූහ. එහිදී ස්ලේටන් පළමුවැනියටම ප්‍රකාශ කළේ "හඳ බලා යන පළමු මිනිසුන් වනු ඇත්තේ මේ කාමරයේ සිටින අය" බවයි.[52] ජීන් සර්නන් ට අනුව මෙම ප්‍රකාශයට කිසිම ප්‍රතිචාරයයක් නොදැක්වූයේ ආම්ස්ට්‍රෝන් පමණි. ආම්ස්ට්‍රෝන්ට අනුව එහි පුදුම වීමට දෙයක් නොතිබුණේ, එම කාමර‍යේ සිටි සියලු දෙනා ජෙමිනි ව්‍යාපෘති‍යට සහභාගී වූ ප්‍රවීණයන් බැවිනි. චන්ද්‍රයා වෙත යන මෙහෙයුමකට සහභාගී වීමට සුදුසුකම් තිබුනේ ඔවුන්ට පමණි. සැළසුම් කර තිබූ මෙහෙයුම් ගැන කතා කළ ස්ලේටන් ආම්ස්ට්‍රෝන් ව ඇපලෝ 9 හි උපස්ථ කණ්ඩායමට පත් කළේය.[53]

චන්ද්‍ර ගොඩබෑමේ පර්‍යේෂණ යානා අංක 1 කඩා වැටී විනාශ වීමට පෙර එයින් ඉවත් වූ ආම්ස්ට්‍රෝන් පැරෂූටය ආධාරයෙන් පොළොවට පැමිණෙන අයුරු
චන්ද්‍ර ගොඩබෑමේ පර්‍යේෂණ යානා අංක 1 කඩා වැටී විනාශ වීමට පෙර එයින් ඉවත් වූ ආම්ස්ට්‍රෝන් පැරෂූටය ආධාරයෙන් පොළොවට පැමිණෙන අයුරු

1967 නොවැම්බර් 20 වැනිදා මෙහෙයුම් සඳහා පත් කරන ලද කණ්ඩායම් නිළ වශයෙන් නිවේදනය කරන ලදි.[54] ඒ අනුව ආම්ස්ට්‍රෝන්ගේ කණ්ඩායමට ඕල්ඩ්‍රින් සහ ලොවෙල් පත් කරන ලදි.[53] නමුත් ඇපලෝ 8 කණ්ඩායමේ සිටි කොලින්ස් හට කශේරුවේ ආබාධයක් ඇති වූ අතර එයට සැත්කමක් අවශ්‍ය විය.[55] මේ නිසා ලොවෙල් ඇපලෝ 8 හි කොලින්ස් ගේ තැන ගත්තේය. සැත්කමෙන් පසුව කොලින්ස් ආම්ස්ට්‍රෝන්ගේ කණ්ඩායමට එක් වුනි.[56]

අභ්‍යාවකාශගාමින්ට චන්ද්‍ර මොඩියුලය පියාසර කිරීමට පුහුණු කිරීම සඳහා නාසා ආයතනය විසින් බෙල් එයාක්‍රාෆ්ට් ආයතනය ලවා "චන්ද්‍ර ගොඩබෑමේ පර්‍යේෂණ යානා" දෙකක් නිර්මාණය කරවන ලදී. 1968 මැයි 6 වැනිදා ආම්ස්ට්‍රෝන් පොළොවෙන් මීටර් 30 ක් උසින් මෙම යානයක් පදවමින් සිටි අතර ක්‍රමයෙන් ඔහුට පාලනය ගිලිහී ගොස් යානය භ්‍රමණය වීමට පටන් ගෙන ඇත.[57] යානය පොළොවට කඩා වැටී ගිනි ගෙන විනාශ වීමට පෙර එයින් ඉවත් වී ආරක්ෂිතව පොළොවට ළඟා වීමට ආම්ස්ට්‍රෝන්ට හැකිවිය. පසුව කළ විශ්ලේෂණයන්ට අනුව ඔහු යානයෙන් ඉවත්වීමට තවත් තත්පර භාගයක් වත් ප්‍රමාද වූයේනම් ඔහුට පැරෂූටය විවෘත කිරීමට කාලය මද වනු ඇත. මෙම අනතුරින් පර්‍යේෂණ යානය සම්පූර්ණයෙන් විනාශ විය.[58] මේ යානය නිසා ආම්ස්ට්‍රෝන් මරණයට පත් වීමට බොහෝ ඉඩ තිබුණත්, ඔහු පසුව නිශ්චිතව පැවසුවේ චන්ද්‍ර ගොඩබෑම් සාර්ථක වීමට එම පර්‍යේෂණ යානාවලින් ලද පුහුණුව ඉවහල් වූ බව ය.[59]

ඇපලෝ 11[සංස්කරණය]

ඇපලෝ 11 කණ්ඩායම: ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රින්
ඇපලෝ 11 කණ්ඩායම: ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රින්

ආම්ස්ට්‍රෝන් ඇපලෝ 8 හි උපස්ථ අණදෙන නිළදාරී ලෙස කටයුතු කිරිමෙන් පසු, 1968 දෙසැම්බර් 23 දා ස්ලේටන් ඔහුට ඇපලෝ 11 හි ප්‍රධාන අණදෙන නිළදාරි ධුරය ප්‍රදානය කළේය.[60] 2005 ලියැවුණු ආම්ස්ට්‍රෝන්ගේ චරිතාපදානයට අනුව, ඇපලෝ 11 සැලසුම් කර තිබුනේ ආම්ස්ට්‍රෝන් අණ දෙන නිළධාරී ලෙසත්, මයිකල් කොලින්ස් අණදෙන මොඩියුලයේ නියමුවා ලෙසත්, එඩ්වින් ඕල්ඩ්‍රින් චන්ද්‍ර මොඩියුලයේ නියමුවා ලෙසත් ය. නමුත් අවශ්‍ය නම් ඕල්ඩ්‍රින් වෙනුවට ජිම් ලොවෙල් ලබා දීමට හැකි බවට ස්ලේටන් පවසා ඇත. දිනයක් පමණ ඒ ගැන කල්පනා කිරීමෙන් පසුව ආම්ස්ට්‍රෝන් තීරණය කළේ එසේ කිරීම අවශ්‍ය නොවන බවයි. ඒ ඔහුට ඕල්ඩ්‍රින් සමග වැඩ කිරීම ගැටලුවක් නොවූ නිසාත්, ජිම් ලොවෙල් හට ඔහුගේම වෙනම මෙහෙයුමක් ලැබීමට සුදුසු යැයි සිතූ නිසාය. චන්ද්‍ර මොඩියුලයේ නියමුවා යනු (නොනිළ වශයෙන්) කණ්ඩායමේ පහළම තනතුර වූ බැවින්, ජෙමිනි 12 හි අණ දෙන නිළදාරියා ලෙස සේවය කළ ජිම් ලොවෙල් හට එම තනතුර දීම නුසුදුසු යැයි ආම්ස්ට්‍රෝන් විශ්වාස කළේ ය.[61] අවසානයේ 1969 ජනවාරි 9 වැනිදා ඇපලෝ 11 කණ්ඩායම නිළ වශයෙන් ප්‍රකාශයට පත් විය. ඒ ආම්ස්ට්‍රෝන්, කොලින්ස් සහ ඕල්ඩ්‍රින් ප්‍රධාන කණ්ඩායම ලෙසත්, ලොවෙල්, ඇන්ඩර්ස් සහ ෆ්‍රෙඩ් හේස් උපස්ථ කණ්ඩායම ලෙසත් ය.[62]

ක්‍රිස් ක්‍රාෆ්ට් ට අනුව, 1969 මාර්තු වල පැවති රැස්වීමකදී ස්ලේටන්, ක්‍රාෆ්ට්, ජෝර්ජ් ලෝ සහ බොබ් ගිල්රූත් තීරණය කළේ සඳ මත පා තබන පළමු මිනිසා ආම්ස්ට්‍රෝන් වන බවයි. එයට ප්‍රධාන හේතුව වූයේ, නාසා කළමණාකරීත්වය විසින් ආම්ස්ට්‍රෝන් වැඩි අහංකාරයකින් තොර පුද්ගලයෙකු ලෙස සැළකීම යි. නමුත්, 1969 අප්‍රේල් 14 වැනිදා පැවත්වූ මාධ්‍ය සාකච්චාවකදී මෙයට හේතුව ලෙස දැක්වූයේ චන්ද්‍ර මොඩියුලය නිර්මාණය කර තිබූ ආකාරය යි; එහි දොර විවර වූයේ දකුණු පසට, ඇතුල් පැත්තට නිසා දකුණු පස සිටින ඕල්ඩ්‍රින්ට මුලින්ම එලියට යාම අපහසු ය. ඇත්තෙන්ම මෙම අපහසුතාවය මඟ හරවා ගැනීමට ක්‍රම තිබුණත්, ස්ලේටන් පසුව ප්‍රකාශ කළේ නියමිත පටිපාටියට අනුව වුවද මුලින්ම පිටතට යා යුත්තේ අණ දෙන නිළධාරියා බව ය.[63]

සඳ වෙත ගමන[සංස්කරණය]

1969 ජුලි 16 වැනිදා, UTC 13:32:00 ට, ඇපලෝ 11 කණ්ඩායම රැගත් සැටර්න්-V රොකට්ටුව කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ 39A දියත් කිරීම් සංකීර්ණයෙන් දියත් විය.[64] ආම්ස්ට්‍රෝන්ගේ බිරිඳ ජැනට් සහ පුතුන් දෙදෙනා බනානා නදියෙහි නවත්වා තිබූ යාත්‍රාවක සිට දියත් කිරීම නැරඹූහ.[65] දියත් කිරීම අතරතුරදී ආම්ස්ට්‍රෝන්ගේ හෘද ස්පන්ධන වේගය මිනිත්තුවට 110 ක් දක්වා ඉහළ ගියේය.[66] ජෙමිනි 8 සඳහා යොදාගත් ටයිටන් II රොකට්ටුවට වඩා සැටර්න්-V හි පළමු අධියර ඝෝෂාකාරි විය. නමුත් ඇපලෝ අණ දෙන මොඩියුලයේ ජෙමිනි යානයට වඩා ඉඩ පහසුකම් තිබුණි. පෙර ඇපලෝ සාමාජිකයින් කිහිපදෙනෙකුටම ඇතිවූ "අභ්‍යාවකාශ අසනීප තත්වය" (space sickness) ඇපලෝ 11 කණ්ඩායමේ තිදෙනාට ඇති වූයේ නැත.

ඇපලෝ 11 හි අරමුණ වූයේ සඳ මත කොහේ හෝ ආරක්ෂාකාරීව ගොඩබැසීම මිස නිශ්චිත ස්ථානයකටම ගොඩබැසීම නොවේ. සඳ මතට අවරෝහණය වීම ආරම්භ කර මිනිත්තු තුනකට පමණ පසු හඳේ ඇති ආවාට හඳුනාගත් ආම්ස්ට්‍රෝන්ට වැටහුණේ ඔවුන් සැළසුම් කළ ගොඩබැසීමේ ස්ථානයෙන් කිලෝමීටර් ගණනාවක් ඈතට යන බවය.[67] ඊගල් චන්ද්‍ර මොඩියුලයේ රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් පසු, පරිගණකයේ දෝෂ සංඥා කිහිපයක්ම නිකුත් වන්නට විය. මුලින්ම ලැබුණු දෝශ සංඥාව වූයේ 1202 කේතය යි. කොතරම් පළපුරුද්දක් හා පුහුණුවක් ලබා තිබුනද, 1202 දෝෂ කේතයෙන් කියවුනේ කුමක්දැයි ආම්ස්ට්‍රෝන් හෝ ඕල්ඩ්‍රින් දැන සිටියේ නැත. කෙසේ නමුත්, මෙහෙයුම් පාලන මැදිරියේ සිටි කැප්සියුල සන්නිවේදක (CAPCOM) චාල්ස් ඩූක් ඔවුන් අමතා පැවසූයේ 1202 සහ 1201 දෝෂයන් නොසළකා හැරිය හැකි ඒවා බවයි. චන්ද්‍ර මොඩියුලය සහ අණදෙන මොඩියුලය තටාකගත කිරීම සඳහා ආධාර ලෙස තිබූ රේඩාර් පද්ධතිය, අවරෝහණය වීමේදි ක්‍රියා විරහිත කළ යුතුව තිබුණි. නමුත් එසේ නොකිරීම නිසා පරිගණකයට අමතර අනවශ්‍ය රේඩාර් දත්ත සැකසීමට සිදුවිය. දෝෂ පණිවුඩ ලැබීමට හේතුව එය බව ඕල්ඩ්‍රින් 2007 දී පැවසුවේය. ඔහු රේඩාරය ක්‍රියාත්මක කොට තැබුවේ, හදිසියේ මෙහෙයුම අවලංගු කිරීමට සිදුවුවහොත් නැවත අණ දෙන මොඩියුලය සමග සම්බන්ධ වීම සඳහාය.[68]

යානයේ පරිගණකය ගොඩබැසීම සඳහා තෝරාගෙන තිබුණේ අනාරක්ෂිත ප්‍රදේශයක් බව දුටු ආම්ස්ට්‍රෝන් යානයේ පාලනය තමා අතට ගෙන එය වඩා ආරක්ෂිත ප්‍රදේශයක් සොයමින් යොමු කළේය. පෙරපුහුණුවලදී මෙන් නොව මේ සඳහා ඔහු අපේක්ෂා කළාට වැඩි කාලයක් ගතවුණි.[69] මේ අතර මෙහෙයුම් පාලන මැදිරිය කලබලයට පත් වූයේ චන්ද්‍ර මොඩියුලයේ ඉන්ධන අවසන් වෙමින් පැවති නිසාය.[70] අවසානයේ ගොඩබැසීම සිදු කරද්දී ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් විශ්වාස කළේ ඔවුන් හට තත්පර 40 කට ප්‍රමාණවත් ඉන්ධන ඇති බවයි. (හදිසි පිටව යාමකදී භාවිත කිරීමට තිබූ තත්පර 20 කට ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමානයද ඇතුලත්ව).[71] පුහුණු වීම් අතරදී ආම්ස්ට්‍රෝන් තත්පර 15 කට ප්‍රමාණවත් ඉන්ධන සමග වුවද යානය ගොඩබස්වා තිබූ බැවින් මෙය විශාල ගැටලුවක් නොවුණි. එමෙන්ම චන්ද්‍ර මොඩියුලය මීටර් 15 ක පමණ උසකින් චන්ද්‍රයා මතට කඩා වැටුණත් එය නිරුපද්‍රිතව තිබෙණු ඇතැයි ආම්ස්ට්‍රෝන් දැඩිව විශ්වාස කළේය. කෙසේ නමුත් මෙහෙයුමට පසුව සිදුකළ විශ්ලේෂනයන්ට අනුව චන්ද්‍රයා මත යානය ගොඩබසින මොහොතේදී, එහි තත්පර 45 ත් 50ත් අතර කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තිබූ බව හෙළිවිය.[72]

1969 ජුලි 20 වැනිදා UTC 20:17:40 ට පමණ ඊගල් යානය චන්ද්‍රයා මත ගොඩබසින ලදී.[73] එහි පාදවල රඳවා තිබූ ප්‍රෝබයන් තුනෙන් එකක් චන්ද්‍රයාගේ මතුපිට ස්පර්ශ වූ අතර ඒත් සමගම චන්ද්‍ර මොඩියුලයේ පාලන පුවරුවෙහි ඇති බල්බයක් දැල්වුණි. ඕල්ඩ්‍රින් ඒ බව සඳහන් කළ පසු ආම්ස්ට්‍රෝන් ප්‍රධාන එන්ජිම ක්‍රියා විරහිත කළේය. එන්ජිම ක්‍රියා විරහිත වූ බවට ඕල්ඩ්‍රින් තහවුරු කළ පසු ඔවුන් පශ්චාත්-ගොඩබැසීම් පිරික්සුම් කිහිපයක් සිදු කළහ. තත්පර දහයකට පමණ පසු, කැප්සියුල් සන්නිවේදක ඩූක්, "අපට ඔබව ඇහුණා, ඊගල්." යනුවෙන් පැවසුවේය. ඉන් පසු ආම්ස්ට්‍රෝන්, "හූස්ටන්, මේ ට්‍රැන්ක්විලිටී කඳවුර යි. ඊගල් ගොඩබැස ඇත." යනුවෙන් පවසන ලදී. ගොඩබැසීම සාර්ථකව සිදු වූ බව එයින් ඇඟවුණි. "ට්‍රැන්ක්විලිටි කඳවුර" යනු චන්ද්‍රයා මත ඔවුන් ගොඩබැසූ ප්‍රදේශය හැඳින්වීමට ඔවුන් යොදාගත් නමයි. "ට්‍රැන්ක්විලිටි මුහුද" (Sea of Tranquility) නමින් හැඳින්වූ චන්ද්‍ර තැනිතලාවේ නිරිත කෙළවරට වන්නට එය පිහිටා තිබුණි. අතට අත දීමෙන් සහ මිත්‍රශීලි ලෙස පිටට තට්ටු කිරීමෙන්, ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රීන් සාර්ථක ගොඩබැසීම සැමරූහ. නමුත් ඉක්මනින්ම ඔවුන් නැවතත් යානයේ විවිධ පිරික්සීම් සිදු කරන්නට වූයේ හදිසියේ මෙහෙයුම අත්හැර නැවත යාමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා කටයුතු සූදානම් කිරීමට ය.[74][75][76]

පණිවුඩය ලැබුණු බව සඳහන් කරමින් ඩූක්, "තේරුණා, ට්‍රැන්ක්විලිටි. පොළොවේ අපිට ඔබව ඇහුණා. මෙතන ඉන්න අය නිල් පැහැයට හැරීමට ආසන්නයි. අපි දැන් නැවතත් හුස්ම ගන්නවා. බොහොම ස්තූතියි!" යනුවෙන් පැවසුවේය.[71] ගොඩබැසීම අතරතුර මෙහෙයුම් පාලන මැදිරියෙහි තිබූ තත්වය එම පණිවුඩයෙන් විදහා දැක්වුණි. ගොඩබැසීමේ අවසාන අධියරේදී ආම්ස්ට්‍රෝන්ගේ හෘද ස්පන්ධනය මිනිත්තුවට 100 ත් 150 අතර විය.[77]

සඳ මත ඇවිදීම[සංස්කරණය]
යළි පොළොවට පැමිණීම[සංස්කරණය]

ඇපලෝ මෙහෙයුමට පසු ජීවිතය[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 හැන්සන් 2005, pp. 49–50.
  2. "Neil Armstrong grants rare interview to accountants organization". CBC News. May 24, 2012. Archived from the original on January 7, 2018. Retrieved April 8, 2018.
  3. හැන්සන් 2005, p. 29.
  4. "Project Apollo: Astronaut Biographies". NASA. Archived from the original on April 28, 2011. Retrieved May 12, 2011.
  5. හැන්සන් 2005, p. 45.
  6. Koestler-Grack 2010, p. 14.
  7. Airgood, Glenn (February 16, 1973). "1st Man on the Moon Gets National Eagle Award". The Morning Call. Allentown, Pennsylvania. p. 5 – via Newspapers.com.
  8. "Silver Buffalo Award Winners 1979–1970". Boy Scouts of America. Retrieved September 2, 2018.
  9. "Apollo 11 – Day 3, part 2: Entering Eagle – Transcript". NASA. April 11, 2010. Archived from the original on January 4, 2011. Retrieved February 10, 2011. I'd like to say hello to all my fellow Scouts and Scouters at Farragut State Park in Idaho having a National Jamboree there this week; and Apollo 11 would like to send them best wishes". Capsule communicator Charles Duke replied: "Thank you, Apollo 11. I'm sure that, if they didn't hear that, they'll get the word through the news. Certainly appreciate that.
  10. "World Scouting salutes Neil Armstrong". World Organization of the Scout Movement. Archived from the original on September 4, 2015. Retrieved July 27, 2015.
  11. හැන්සන් 2005, pp. 55–56.
  12. හැන්සන් 2005, pp. 68–69.
  13. 13.0 13.1 හැන්සන් 2005, p. 71.
  14. හැන්සන් 2005, pp. 79–85.
  15. හැන්සන් 2005, p. 90.
  16. හැන්සන් 2005, p. 94.
  17. හැන්සන් 2005, pp. 95–96.
  18. හැන්සන් 2005, p. 112.
  19. 19.0 19.1 හැන්සන් 2005, pp. 119–120.
  20. හැන්සන් 2005, p. 130.
  21. බර්ජස් 2013, pp. 17–18.
  22. Reichhardt, Tony (August–September 2000). "First Up?". Air & Space. Retrieved February 28, 2018.
  23. හැන්සන් 2005, pp. 171–173.
  24. බර්ජස් 2013, pp. 19–21.
  25. බර්ජස් 2013, pp. 4–6.
  26. හැන්සන් 2005, pp. 193–195.
  27. බර්ජස් 2013, pp. 29–30.
  28. හැන්සන් 2005, pp. 201–202.
  29. බර්ජස් 2013, pp. 64–66.
  30. "Elliot M. See, Jr". NASA. Archived from the original on May 13, 2011. Retrieved May 19, 2011.
  31. කොලින්ස් 2001, pp. 314.
  32. Reichl 2016, p. 78.
  33. හැකර් & ග්‍රිම්වුඩ් 2010, pp. 255–256.
  34. හැන්සන් 2005, p. 239.
  35. 35.0 35.1 හැන්සන් 2005, p. 240.
  36. 36.0 36.1 හැකර් & ග්‍රිම්වුඩ් 2010, pp. 523–529.
  37. "Valentina Vladimirovna Tereshkova (Born March 6, 1937)". Yaroslavl Regional Government. Archived from the original on September 4, 2015. Retrieved July 27, 2015.
  38. හැකර් & ග්‍රිම්වුඩ් 2010, p. 526.
  39. "March 16, 1966: Gemini's First Docking of Two Spacecraft in Earth Orbit". NASA. March 16, 2016. Retrieved April 30, 2018.
  40. කනින්හැම් 2010, pp. 111–112.
  41. හැන්සන් 2005, pp. 270–271.
  42. ක්‍රාන්ස් 2000, p. 174.
  43. හැකර් & ග්‍රිම්වුඩ් 2010, pp. 321–322.
  44. Agency Awards Historical Recipient List, NASA, https://searchpub.nssc.nasa.gov/servlet/sm.web.Fetch/Agency_Awards_Historical_Recipient_List.pdf?rhid=1000&did=2120817&type=released, ප්‍රතිෂ්ඨාපනය February 28, 2018 
  45. "Serious Problem in Space". The Times Recorder. Zanesville, Ohio. UPI. March 27, 1966. p. 8 – via Newspapers.com.
  46. "Valor awards for David Randolph Scott". Military Times Hall of Valor. Archived from the original on March 1, 2018. Retrieved February 28, 2018.
  47. හැන්සන් 2005, p. 274.
  48. හැන්සන් 2005, pp. 292–293.
  49. "Gemini-XI". NASA (Kennedy Space Center). August 25, 2000. Archived from the original on February 1, 2012. Retrieved July 24, 2010.
  50. හැන්සන් 2005, pp. 294–296.
  51. ලොවෙල් & ක්ලූගර් 2000, pp. 24–25.
  52. සර්නන් & ඩේවිස් 1999, p. 165.
  53. 53.0 53.1 හැන්සන් 2005, pp. 312–313.
  54. Brooks et al. 2009, p. 374.
  55. කොලින්ස් 2001, pp. 288–289.
  56. කනින්හැම් 2010, p. 109.
  57. හැන්සන් 2005, p. 330.
  58. ක්‍රාෆ්ට් 2001, p. 312.
  59. හැන්සන් 2005, p. 334.
  60. නෙල්සන් 2009, p. 17.
  61. හැන්සන් 2005, p. 338.
  62. කොලින්ස් 2001, pp. 312–313.
  63. කෝට්රයිට් 1975, p. 160.
  64. ඕර්ලොෆ් 2000, p. 92.
  65. හැන්සන් 2005, p. 2.
  66. හැන්සන් 2005, p. 410.
  67. ස්මිත් 2005, p. 11.
  68. හැන්සන් 2005, pp. 459–465.
  69. චයිකින් 1994, p. 199.
  70. චයිකින් 1994, p. 198.
  71. 71.0 71.1 චයිකින් 1994, p. 200.
  72. Manned Spacecraft Center 1969, pp. 9-23–9-24.
  73. Jones, Eric M. "The First Lunar Landing, time 109:45:40". Apollo 11 Surface Journal. NASA. Archived from the original on December 25, 2017. Retrieved March 4, 2018. That was the time of probe contact; the exact time of landing is difficult to determine, because Armstrong said the landing was "very gentle" and "It was hard to tell when we were on."
  74. Jones, Eric M. (September 15, 2017). "The First Lunar Landing, time 1:02:45". Apollo 11 Surface Journal. NASA. Archived from the original on December 25, 2017. Retrieved November 30, 2007.
  75. Jones, Eric M. "Mission Transcripts, Apollo 11 AS11 PA0.pdf" (PDF). Apollo 11 Surface Journal. NASA. Archived from the original (PDF) on September 17, 2008. Retrieved November 30, 2007.
  76. Jones, Eric M. "Apollo 11 Mission Commentary 7-20-69 CDT 15:15 – GET 102:43 – TAPE 307/1". Apollo 11 Surface Journal. NASA. Archived from the original on November 8, 2017.
  77. Manned Spacecraft Center 1969, p. 12-1.

මූලාශ්‍ර[සංස්කරණය]

  • Reichl, Eugen (2016). ප්‍රොජෙක්ට් ජෙමිනි. ඇට්ග්ලෙන්, පෙනිසිල්වේනියා: Schiffer. ISBN 978-0-7643-5070-2.
  • කෝට්රයිට්, එඩ්ගාර් එම්. (1975). ඇපලෝ එක්ස්පෙඩිෂන්ස් ටු ද මූන්. Bibcode:1975NASSP.350.....C. OCLC 251694818. NASA SP 350.
  • ස්මිත්, ඇන්ඩෲ (2005). මූන්ඩස්ට්: ඉන් ද සර්ච් ඔෆ් ද මෙන් වූ ෆෙල් ටු අර්ත්. ලන්ඩන්: බ්ලූම්ස්බරි. ISBN 978-0-7475-6368-6. OCLC 728066122.
"https://si.wikipedia.org/w/index.php?title=නීල්_ආම්ස්ට්‍රෝන්&oldid=490841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි