බාලදක්ෂ ව්‍යාපාරය

විකිපීඩියා වෙතින්
(fleur-de-lis)ලෝක බාලදක්ෂ ලාංඡනය

බාලදක්ෂ ව්‍යාපාරය යනු තරුණ තරුණියනියන්ගේ මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක පුද්ගල වර්ධනයට අතදීම ආරම්භක අරමුණ සේ පවත්වාගනිමින් ඇරඹුනු ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි.

බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල් විසින් 1907 වසරේදී එංගලන්තයේ බ්‍රවුන්සී දූපතේදී පලමු බාලදක්ෂ කදවුර පැවැත්වීමත් සමඟ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය. බාලදක්ෂ ව්‍යාපාරය සඳහා මූලධර්ම ඇතුලත් කොට බේඩින් පවෙල් විසින් රචිත ‘පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ’ (Scouting for Boys) (එංගලන්තය , 1908) කෘතියට ඔහු විසින් පෙර රචිත හමුදාමය ග්‍රන්ථ වල ආභාෂය ලැබුනි. විසිවන සියවසේ මුල් භාගයේදී මෙම ව්‍යාපාරය පිරිමි ළමුන් සඳහා වයස් කාණ්ඩ තුනක් (පෝතක බාලදක්ෂ, බාලදක්ෂ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ) යටතේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූ අතර 1910 වසරේදී බාලදක්ෂිකා සංගමය ලෙසින් නව සංගමයක් ගැහැනු ළමුන් (කනිෂ්ඨ බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා) උදෙසා ආරම්භ විය.

බාලදක්ෂ ව්‍යාපාරය සඳහා යොදා ගනුයේ අවිධිමත් අධ්‍යාපනය මූලික කරගත්, කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රීඩා, පාගමන් සහ ක්‍රීඩා වැනි එලිමහන් ප්‍රයෝගික ක්‍රියාකාරකම් සහිත රීතියකින් යුත් වැඩසටහනකි. පුළුල් ලෙස මෙම ව්‍යාපාරය හදුනාගන්නා ලක්ෂණයක් වනුයේ එය සතු නිල ඇඳුමයි. කරපටියක් සහ කදවුරු හිස් වැසුමකින් සමන්විත නිල ඇඳුමේ අභිප්‍රාය වනුයේ රටවල් තුල පවත්නා සාමාජීය විෂමතා බැහැර කර සමානාත්මතාවය වර්ධනය කරලීමයි. ‍fleur-de-lis සහ ත්‍රිපත් ලාංඡනය මගින් නිල ඇදුම විශේෂ වන අතර දක්ෂතා පදක්කම් එයට වැඩි අරුතක් ලබාදෙයි.

2011 වසර වන විට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් සංඛ්‍යයාව මිලියන 41 ඉක්මවා සිටිති. මොවුන් සියල්ලටම සෙවන සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය (World Organization of the Scout Movement-(WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts- WAGGGS) හැදින්විය හැකිය. ලොව පුරා වෙසෙන සාමාජිකයන් විසින් 2007 වසරේදී බාලදක්ෂ ශත සංවත්සරය උත්කර්ශවත්ව සමරන ලදී.

ඉතිහාසය[සංස්කරණය]

මූලාරම්භය[සංස්කරණය]

පලමු බාලදක්ෂ කදවුර සිහිපත් කිරීමට බ්‍රවුන්සී දූපතේ ඇති සිහිවටන ශිලා පුවරුව

1880- 1890 වකවානුවේදී බේඩින් පවෙල් ඉන්දියාවේ සහ අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවල හමුදා නිලධාරියෙකු ලෙස රාජකාරි කටයුතු කලේය. ඔහු තම තරුණ කාලයේ සිටම වනවිද්‍යාව සහ හමුදාමය ඔත්තු බැලීම් කටයුතු සදහා වැඩි කැමැත්තක් දැක්වීය. ඔහු තම සොල්දාදුවන්ට හමුදා පුහුනුවේ කොටසක් ලෙස ජන ශුන්‍ය පෙදෙසක ජීවත්වීමට හුරු කරවන ලදී. එමගින් ඔවුනට තම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ නියෝග අන්ධව අනුගමනය කිරීම වෙනුවට තම ස්වාධීනත්වය වැඩිදියුනු කරගනිමින් කටයුතු කිරීමට උපකාරී වනබව ඔහු අවබෝධ කරගන්නා ලදී.

හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ තනතුරේ සිටි බේඩින් පවෙල් 1896 වසරේදී ජෙනරාල් තනතුරට උසස්වීමක් ලැබ දකුණු රොඩේසියාවේ (දැන් සිම්බාබ්වේ) මටබෙලෙලෑන්ඩ් (Matabeleland) ප්‍රන්තයට පත්විය. මෙහිදී හමුවූ ෆෙඩ්රික් රසල් බර්න්හම් නම් වූ ඇමරිකා ජාතික බ්‍රිතාන්‍ය හමුදාවේ ඔත්තුකරුවන්ගේ ප්‍රධානියා සමඟ යුධ සමයේදී ගොඩ නැගුනු සදාකාලික මිත්‍රත්වය ඔහුගේ හමුදා දිවියට මෙන්ම පසුකාලීනව බාලදක්ෂ ව්‍යාපාරය සදහා මූලබීජය හට ගැනීමටද ඉවහල් විය. පැරනි බටහිර ඇමරිකානු සහ ස්වදේශීය ඇමරිකා ජාතින් විසින් භාවිතා කරන ලද වනවිද්‍යාව බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ පවෙල්ට නුහුරු වුවත්, ඇමරිකානු ජාතික ඔත්තුකරුවකු වන බර්න්හම් එය මැනවින් ප්‍රගුන කර තිබුනි. බර්න්හම්ගෙන් බේඩින් පවෙල් උගත් වනවිද්‍යාව පසුකාලීනව බාලදක්ෂ කලාවේ මූලිකාංග ලෙස වැඩිදියුනු විය. අප්‍රිකාවේ එකල පවති යුද්ධය සීග්‍රයෙන් වෙනස් වන බවත් එයට අනුකූලව බ්‍රිතාන්‍ය හමුදා හැඩගැස්විය යුතුබවත් මෙවුන් දෙදෙනා විසින්ම මැනවින් වටහා ගන්නා ලදී. ඒ සදහා තරුණ සොල්දාදුවන් පුහුනු කිරීමේදී හමුදාමය අභ්‍යාසවලට අමතරව ගවේශනය, මං සලකුණු අනුව ගමන් කිරීම, සහ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරි‍මේ සංකල්පය වඩා වැදගත් වනබව බේඩින් පවෙල් සහ බර්න්හම් විසින් සාකච්ඡා කරන ලදී. මේ කාල සීමාවේදී මටොබො කදුවැටියේ දී බේඩින් පවෙල් විසින් තම අනන්‍යතා කදවුරු හිස්වැසුම පැලදීම ආරම්භ කරන ලදී. එය බර්න්හම් විසින් භාවිතා කල හිස් වැසුමට සමාන විය. එසේම මුව පවුලට අයත් සතෙකුගේ අඟ හමුදා උපකරනයක් ලෙස යොදා ගැනීමද ආරම්භ කරන ලදී. පසුකාලීනව බේඩින් පවෙල් විසින් බ්‍රවුන්සී දූපතේ දී පැවැත්වු පලමු බාලදක්ෂ කදවුරේදී, බාලදක්ෂයන් උදෑසන පුහුණු සැසි සදහා කැදවීමට භාවිතා කලේය.

වසර තුනකට පසු, දකුණු අප්‍රිකාවේ පැවති දෙවන බො’ර් (Boer) යුධ සමයේදි බේඩින් පවෙල් විසින් මෆෙකින් නම් නගරයක් වටලන ලදී(Siege of Mafeking). මෆෙකින් ආධුනික සේනාංක, යුද්ධ භටයන් සදහා පණිවිඩ රුගෙන යමින් සහය දක්වන තරුණ කණ්ඩායමකින් සමන්විත විය. ආධුනික සේනාංක වල සිටි තරුණ පිරිමි ළමුන් අවස්ථානෝචිතව තම කාර්යය මැනවින් ඉටු කරමින් නගරයේ ආරක්ෂාව තහවුරු කිරීමට දායක විය (1899-1900). බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට බේඩින් පවෙල් පෙලඹවීමට මෙය එක් මූලික සාධකයක් විය. එහි වූ සියළුම සාමාජිකයන්ට මාලිමා කටුවක් සහ හෙල්ලයකින් සමන්විත පදක්කමක් ප්‍රදානය විය. පසුකාලීනව බාලදක්ෂ ව්‍යාපාරයේ අන්තර්ජාතික සංකේතය වූ fleur-de-lis මෙම පදක්කමේ සලකුනට බොහෝ සෙයින් සමාන විය.

‍මෆෙකින් අත්පත් කරගැනීමේ මෙහෙයුමේදී බේඩින් පවෙල් විසින් කරනු ලැබූ පරිශ්‍රමය පුවත්පත් මගින් මහා බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය ජනතාව දැන ගැනීමත් සමග ඔහු ජාතික වීරයෙක් බවට පත්විය. ඒ සමඟම ඔහු විසින් රචිත හමුදාමය ඔත්තු බැලීම පිලිබඳ කුඩා උපදේශන පොතක් වන ‘ඒඩ්ස් ෆෝ ස්කවුටින්’ (Aids to Scouting) පොතෙහි කීර්තිය මෙන්ම විකුණුම් ද වැඩි විය.

ඔහු නැවත එංගලන්තයට පැමිණීමත් සමඟම පිරිමි ළමුන් මෙ‍ම පොත පිලිබද දැක්වූ උනන්දුවද ගුරුවරු සහ තරුණ සංගම් එහි සංකල්ප භාවිතා කරනු දක්නට ලැබුණි. එකල විශාල තරුණ ව්‍යපාරයක් ලෙස හමුදාමය නිවරදිතාවය සහිතව පැවති බොයිස් බ්‍රිගේඩ් නොහොත් පිරිමි ළමුන්ගේ සේනාංකය පරීක්ෂාවෙන් පසුව නැවත ‍එම පොත පිරිමි ළමුන් උදෙසාම, වඩා වැඩි ආකර්ශනීය පරාසයක් ආවරනය කරමින් රචනා කිරීමට බේඩින් පවෙල් තීරණය කරන ලදී.

1906 වසරේදී එර්නස්ට් තොම්සන් සේටන් විසින් ද බර්ච්බාක් රෝල් ඔෆ් ද වුඩ්ක්‍රාෆ්ට් ඉන්දියන්ස් කෘතියේ පිටපතක් බේඩින් පවෙල් වෙත එවීය. එම වසරේදී ඔවුන් දෙදෙනා හමුවී පුහුණු වැඩසටහන් පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලදී. 1907 දී බේඩින් පවෙල් විසින් බෝයි පෙට්‍රෝල්ස් (Boy Patrols) නම් ලියවිල්ල රචනා කරන ලදී. එම වසරේදීම ඔහු තම අදහස් පරීක්ෂා කරනුවස්, විවිධ සමාජ පසුතලයන්ගෙන් යුත් පිරිමි ළමුන් 21 දෙනෙකු සහභාගි කරවාගෙන, අගෝස්තු මාසයේ සතියක් පුරා එංගලන්තයේ පූල් වරායේ බ්‍රවුන්සී දූපතේදී කදවුරක් පැවැත්වීය. එම ළමුන් කුඩා කණ්ඩායම් ලෙස ඔවුන් අතරින්ම තෝරා ගත් නායකයකු යටතේ සංවිධානය කරලීම බාලදක්ෂ පුහුණුවේ ප්‍රධාන අංගයක් විය.

1907 සරත් සමයේදී බේඩින් පවෙල් විසින්, ඉදිරියේ නිතුත් වීමට නියමිත 'පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ ව්‍යාපාරය' නම් පොතේ ප්‍රවර්ධන කටයුතු සදහා, තම ප්‍රකාශකයා වන ආතර් පියර්සන් සංවිධානය කල පුළුල් කතිකාමය සාකච්ඡා සංචාර වලට සහභාගි විය. මෙ‍ම පොත ඒඩ්ස් ෆෝ ස්කවුටින් හි සරල නැවත රචනයකින් ඔබ්බට ගොස්, හමුදාමය නොවන ලක්ෂණ සහිතව, නිර්මාණාත්මක අධ්‍යාපන මූලධර්ම විස්තීර්ණ කරමින් පුද්ගල මානසික අධ්‍යාපනයෙන් සමන්විත විය.

'පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ ව්‍යාපාරය' පළමු වරට එංගන්තයේදී 1908 ජනවාරි මාසයේ දී දෙසතියකට වරක් සය වාරයක් තුල නිකුත් වූ අතර 1908 අග භාගයේදී පොතක් වශයෙන් මෙය එලි දැක්විණි. හතරවන හොඳම ආදායම් වාර්තාවට හිමිකම් කියන අතර බාලදක්ෂ පළමු අත්‍ පොත ලෙසටද මෙය සැලකේ.

ක්‍රමයෙන් බාලදක්ෂ ව්‍යාපාරය වර්ධනය වීමත් සමඟම ගුවන් බාලදක්ෂ, මුහුදු බාලදක්ෂ ආදී ක්ෂේත්‍රයන් ද එක්වන්නට විය.

වර්ධනය[සංස්කරණය]

බාලදක්ෂිකා සංගමයේ පුරෝගාමී ඔලිව් බේඩින් පවෙල්

'පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ ව්‍යාපාරය' පොතේ ප්‍රකාශනයත් සමඟ බාලදක්ෂ ව්‍යාපාරය වේගයෙන් බ්‍රිතාන්‍ය යටත්විජිත රටවල ව්‍යාප්ත විය. එලෙස ව්‍යාප්ත වූ පලමු විදේශීය ඒකකය ලෙස සැලකෙන්නේ Gibraltar සහ ඉන්පසුව Malta වයි. පලමු බාලදක්ෂ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවසරලත් බ්‍රිතාන්‍ය යටත්විජිත රාජ්‍යය ලෙස සැලකෙන්නේ කැනඩාවයි. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත විය. චිලී රාජ්‍යය බ්‍රිතාන්‍ය යටත්විජිත නොවන බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වූ පලමු රට ලෙස ඉතිහාසයට එකතු වේ. 1909 වසරේදී ලන්ඩනයේ ක්‍රිස්ටල් මාලිගයේදී පලමු බාලදක්ෂ රැලිය සදහා පිරිමි ළමුන් 10000 සමග ගැහැනු ළමුන් ද සහභාගි විය. 1910 වසර වනවිට බාලදක්ෂ ව්‍යාපාරය ආජන්ටිනාව, ඩෙන්මාකය, ෆින්ලන්තය, ප්‍රංශය, නෝර්වේ, රුසියාව, ස්වීඩනය සහ එක්සත් ජනපදය යන රටවල ව්‍යාප්ත විය.

එකල වයස අවුරුදු 11-18 අතර පිරිමි ළමුන් ඉලක්ක කොට ආරම්භ කෙරුනද කල්යත්ම ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාරයේ වර්ධනය සමඟ එම වයස් මට්ටමෙන් එපිට පිරිමි සහ ගැහැනු ළමුන් සදහා නායකත්ව පුහුනු වැඩසටහන් දියත් කරලීමේ අවශ්‍යතාවය මතුවිය. මේ අනුව පෝතක බා ලදක්ෂ හා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ වැඩසටහන් 1910 යේ අගභාගයේදී ඇරඹුණි. පෝතක බාලදක්ෂ හා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ වුවත් ඒවා අදාල රාජ්‍යයන්ගේ බාලදක්ෂ සංගමයන්ගෙන් නිල අවසරය ලැබෙන තෙක් ස්වාධීන ව ක්‍රියාත්මක විය. එක්සත් ජනපදයේ පෝතක බාලදක්ෂ වැඩසටහන 1911 වසරේදී ආරම්භ වුවත්, නිල වශයෙන් පිලිගනු ලැබුවේ 1930 වසරේදී ය.

බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භයත් සමඟම ගැහැනු ළමුන්ටද එහි සාමාජිකයන් වීමට අවශ්‍යතාවය මතුවිය. එමනිසා 1910 වසරේදී බේඩින් පවෙල්ගේ නැගණිය වන ඇග්නස් බේඩින් පවෙල් විසින් ගැහැනු ළමුන් උදෙසා බාලදක්ෂ ව්‍යාපාරයට සමගාමීව බාලදක්ෂිකා ව්‍යාපාරය හදුන්වා දෙන ලදී. ක්‍රිස්ටල් මාලිගායේ පැවති පලමු බාලදක්ෂ රැලියට සහභාගි වූ ගැහැනු ළමුන්ගේ ආයාචනය මත ඇරඹුණු බාලදක්ෂිකා ව්‍යාපාරයේ පලමු සභාපතිනිය ලෙස ඇග්නස් බේඩින් පවෙල් 1910 දී පත්විය. 1914 දී රෝස්බඩ්ස් යන නමින් ආරමිභව පසුව බ්‍රවුනීස් ලෙස නම වෙනස් විය. 1920 වසරේදී සභාපතිනි ධූරයෙන් ඉවත් වූ ඇග්නස් බේඩින් පවෙල් එම තනතුර බේඩින් පවෙල් ආර්යාව වන ඔලීව් බේඩින් පවෙල් වෙත ප්‍රදානය කරවීය. ඇය 1918 දී එංගලන්තයේ ප්‍රධාන බාලදක්ෂිකාව ලෙසද 1930 දී ලෝක ප්‍රධාන බාලදක්ෂිකාව ලෙසද පත්විය. එම කාලවකවානුවේදී සමාජීය සම්මුතීන් නිසා පිරිමි ළමුන් ගැහැණු ළමුන්ගෙන් වෙන් කර තැබුවද විශය සමගාමී කටයුතු වලදී එකට එකතුව කටයුතු කරන ලදී.1990 වනවිට බාලදක්ෂ සංගම් 2/3 ක අයිතිය ලෝක බාලදක්ෂ සංගමය සතු වූ අතර එය විශය සමගාමී වැඩසටහනක් බවට පත්විය.

බේඩින් පවෙල්ට තනිවම සියළු කණ්ඩායම් වලට සහය දීමට නොමැති විය. මුල්ම බාලදක්ෂ නායකයන් පුහුණු කිරීමේ කදවුරක් 1910 දී ලංඩනයේ දී සහ 1911 දී යෝක්ශියර් හිදී පැවැත්විය. මෙම කදවුරු හැකිතාක් දුරට ප්‍රයෝගිකව පැවැත්වීමට බේඩින් පවෙල්ට අවශ්‍ය වූයේ වැඩිහිටියන්ට නායකත්ව පුහුණුව ඇති කිරීමට අනුබල දීමටය. වැඩිහිටි නායකත්ව පුහුණු වැඩසටහන හසුනා ගනුවස් වුඩ් බැජ් නම් පාඨමාලාව හදුන්වා දෙන ලදී. පලමු ලෝක යුද්ධ සමයේදී වුඩ් බැජ් පාඨමාලාව අතපසු වීමකට ලක්වී 1919 වන තෙක් නැවත ආරම්භ කිරීමට නොහැකි විය. මෙය බොහෝ රටවල් විසින් බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගම් සදහා යොදා ගනී. බාලදක්ෂ කදවුරු පැවැත්වීම සදහා කදවුරු භූමියක් ලෙස 1919 දී ලන්ඩනය අසල ගිල්වෙල් උද්‍යානය බාලදක්ෂ සංගමය විසින් මිලදී ගන්නා ලදී. බේඩින් පවෙල් විසින් බාලදක්ෂ නායකයින් පුහුණු කිරීම සදහා Aids to Scoutmastership නමින් සහ පෝතක බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන් සදහාද අත්පොත් නිකුත් කරන ලදී. තවද ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් සදහා Rovering to Success නමින් අත්පොතක් 1922 දී නිකුත් කරන ලදී.

ආභාශය[සංස්කරණය]

ඇමරිකා ජනපදයේ ජනාධිපති Calvin Coolidge 1927 දී වාර්ෂික පාගමනට සහභාගී වන බාලදක්ෂයන්ට දෙනාට සුභපතමින්

බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන විට බේඩින් පවෙල් හමුදාවෙන් විශ්‍රම ගිය වයස 50ක ජෙනරාල් වරයෙක් විය. ඔහුගේ අධ්‍යාපනික හා හමුදාමය අත්දැකීම් මේ සදහා ඉවහල් විය. මෙම විප්ලවකාරී අදහස් දහස් ගණන් තරුණ ප්‍රජාව ඇද ගැනීමට හැකිවිය. එවකට පැවති බාලදක්ෂ ව්‍යාපාරය හා සමාන ඉංග්‍රිසි කතාකරන රටවල් තුල පැවති Boys' Brigade නම් සංවිධාන බාලදක්ෂ ව්‍යාපාරයේ උන්නතිය සදහා ඉවහල් නොවීය. බාලදක්ෂ දර්ශනය බොහෝ සෙයින් හමුදාමය ගතිලක්ෂණ ඇති බවට විවේචන එල්ල විය. එකල බාලදක්ෂ ව්‍යාපාරය සතු වූ තනතුරු පදක්කම්, නිල ඇදුම, ධජයන්, උත්සව, පිත්තල පටි හමුදාමය ගති ලක්ෂණ ඉසිලුවද එය එකල සාමාන්‍ය සමාජයීය ක්‍රමය විය.

දේශීය අදහස් බොහෝ සෙයින් උකහා ගැනීම මෙය විවිධාකාර සංස්කෘති තුල පුළුල් ප්‍රචලිත වීමට හේතුවිය. ඉන්දියාවේදී බේඩින් පවෙල් මුහුණ දුන් අත්දැකීම් හා රඩ්යාඩ් කිප්ලින්ගේ The Jungle Book කෘතිය පෝතක බාලදක්ෂයන් ආරම්භ කිරීම සදහා මූලිකව ඉවහල් විය. ඇමරිකා ජනපදයේ බාලදක්ෂයන් විසින් ඇමරිකා දේශසීමා අත්දැකීම් පාදක කරගත් රුපසටහන් භාවිතයට ගනු ලැබිණි. පෝතක බාලදක්ෂයන් භාවිතයට ගන්නා සත්ව සලකුණු පදක්කම් භාවිතයට ගැනීම ඇමරිකානු ස්වදේශීය ජනතාව සතුව පැවති ස්වභාවධර්මය හා තිබූ දැඩි සබැදියාව පෙන්වයි.

විවිධ රටවල් සදහා විවිධ මූලධර්ම යොදා ගත්තද Duty to God බාලදක්ෂ ව්‍යාපාරයේ මූලධර්මය ලෙස යොදා ගැනින. මේ සදහා විවිධ මතවාද පැන නැගීමත් සමගම තම රාජ්‍යයන්ටඅනුකූල වන සේ එය යොදා ගැනීමට පෙලඹුණි.

බාලදක්ෂ ව්‍යාපාරයේ ලක්ෂණ[සංස්කරණය]

රොබට් බේඩින් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ

බාලදක්ෂ ක්‍රමය උපයෝගි කරගනිමින් උගන්වනු ලබන මෙය එළිමහන්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත අවිධිමත් අධ්‍යාපනය මූලික කරගෙන ක්‍රියාත්මක වේ. බාලදක්ෂ වැඩසටහන් වයස 6-25 දක්වා වයස් සීමාවන්ට යෝග්‍ය වන සේ සකසා තිබේ.


බාලදක්ෂ ක්‍රමය[සංස්කරණය]

බාලදක්ෂ ක්‍රමය යනු බාලදක්ෂ ව්‍යාපාරයේ භාවිතා වන මූලික ක්‍රමයයි. එනම් පිරිමි හා ගැහැණු ළමුන් විසින් තම කණ්ඩායම් පවත්වාගෙන යාමයි.

බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අරමුණ වන්නේ තරුණ ප්‍රජාව තුල ශාරීරික, මානසික, බුද්ධිමය, සාමාජීය හා අධ්‍යාත්මිකව තනිවම නැගී සිටීමේ හැකියාව වර්ධනය කරලමින් වගකීම් සහගත පුරවැසියන් ලෙස ප්‍රදේශීයව, දේශීයව හා ජාත්‍යන්තරව නැගී සිටීමයි. බාලදක්ෂ ක්‍රමය ප්‍රගතිශීලි ක්‍රමයක් වන අතර අරමුණු 7ක් සම්පූර්ණ කර ගැනීම අභිපාය වී ඇත. එනම් නීති, පොරොන්දුව, ප්‍රායෝගිකව ඉගෙනීම, කණ්ඩායම් හැකියාව, සංකේතාත්මක රාමුව, පුද්ගල සංවර්ධනය, ස්වභාවධර්මය සහ වැඩිහිටි සහයෝගයයි. සමාජ මෙහෙවර බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාරයේ ප්‍රධානතම අංගයකි.

1907 සිට බාලදක්ෂ ආදර්ශ පාඨය ලෙස සූදානම් ව සිටින්න (Be Prepared) මිලි‍යන ගණන් භාෂාවලින් භාවිත කරයි.

ක්‍රියාකාරකම්[සංස්කරණය]

බාලදක්ෂිකාවන් පෝලන්තයේ කතෝලික පල්ලියක් ඉදිරිපිටදී

බාලදක්ෂ ක්‍රමය පොදු වශයෙන් ගොඩ නැගීමේදී බාලදක්ෂයන් කුඩා කණ්ඩායම් වශයෙන් එකට එකතු වී තම තමන්ගේ අත්දැකීම්, ආගම් සහ ක්‍රියාකාරකම් බෙදාහදා ගැනීම මගින්, යහපත් පුරවැසියන් බිහි කිරීමත්, නිවරදි තීරණ ගත හැකි පුද්ගලයන් බවට පත් කරලීමත් අපේක්ෂා කෙරේ.

ප්‍රධාන අංගයක් ලෙස ආදරය බෙදාහැරීම, එළිමහන් ක්‍රියාකාරකම් කිරීම සැලකිය හැකිය. ප්‍රධාන ක්‍රියාකාරකම් අතර කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රිඩා, පාගමන් සහ ක්‍රීඩා සමන්ව්ත වේ. කදවුරු බැදීම කාණ්ඩ වශයෙන් බොහෝවිට සංවිධානය වුවද සමාසික හා ජම්බෝරි ලෙසද සංවිධනය කෙරේ. කදවුරු බැදීම වසරකට කිහිප වතාවක් සති අන්තයේදී ප්‍රාදේශීය කාණ්ඩ හෝ කලාපීය කාණ්ඩ කිහිපයක් එකට එකතු වී පවත්වනු ලබයි. මේවා සදහා ආවේනික තේමාවන් සාමාන්‍යයෙන් පවතී. ලෝක බාලදක්ෂ සාකච්ඡා සභාව ආරම්භයේ දී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් වෙනුවෙන් ආරම්භ වුවද ප්‍රධානතම ඉලක්කගත ප්‍රජාව වූයේ බාලදක්ෂ නායකවරුන්ය. ජම්බෝරි යනු දේශීය හෝ විදේශීය බාලදක්ෂයන් විශාල සංඛ්‍යාවක් එකතුව සෑම වසර 4ක‍ට වරක් සතියක් හෝ දෙකක් පුරා එකට එකතුව කදවුරු බැදීමයි. මෙවැනි උත්සව වලදී එහි යොදා ගන්නා තේමාවට අනුකූලව නොයෙකුත් ක්‍රියාකාරකම් රාශියක් බාලදක්ෂයින් අතර පවත්වයි.

සමහර රටවල් වල බාලදක්ෂයන් සදහා වර්ෂය ඉස්මතු කරනු වස් ග්‍රීෂ්ම ඍතුවේ අවම වශයෙන් සතියක කාලයක් එලිමහන් ක්‍රියාකාරකම් සදහා නියැලීම සිදුකරයි. එලිමහන් ක්‍රියාකාරකම් ලෙස කදවුරු බැදීම, පාගමන්, යාත්‍රා කිරීම් හෝ තම කණ්ඩායම සමඟ වෙනත් චාරිකාවක යෙදීම හෝ පුළුල් සහභාගීත්වයක් සහිත ග්‍රීෂ්ම ඍතු කදවුරු බැදීමක් විය හැකිය. ග්‍රීෂ්ම ඍතු කදවුරු බැදීමට සහාභාගී වන බාලදක්ෂයන් කුසලතා පදක්කම්, ප්‍රගතිය හා නිවරදි බාලදක්ෂ නිපුනතා වර්ධනය කරගනී. ග්‍රීෂ්ම ඍතු කදවුරු වැඩිහිටි බාලදක්ෂයන් වෙනුවෙන් යාත්‍රා කිරීම, කදු නැගීම, මාළු බෑම වැනි ක්‍රියාකාරකම් සිදුකරමින් පවත්වාගෙන යා හැකිය.

අන්තර්ජාතික එකමුතුව හා සාමය වර්ධනය කරලීම, බාලදක්ෂ ව්‍යාපාරය මගින් තම භූමිකාවක් ලෙස ඉටු කරයි. වඩා පුළුල් ප්‍රජාවකට වඩාවැඩි වාසියක් උදාවන අයුරින් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, පක්ෂපාතීත්වය අභියෝගයට ලක් කිරීම, විවිධත්වය දරා ගැනීමට ධෛර්ය්‍ය දීම තුලින් මෙම අරමුණ ඉටු කර ගැනීමට දැනටමත් මුල් පුරා ඇත. එවැනි වැඩසටහන් අතර විවිධ රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අත්වැල් බැද ගැනීම සදහන් කල හැකිය.

නිල ඇදුම සහ පදක්කම්[සංස්කරණය]

බාලදක්ෂ නිල ඇදුම යනු ප්‍රධාන වශයෙන් බාලදක්ෂයකු හදුනා ගත හැකි ලක්ෂණයයි. බේඩින් පවෙල් සාමිතුමාගේ වචන වලට අනුව එය රටක සියළුම සමාජ තත්වයන්හි වෙනස්කම් වසා සමානාත්මතා වර්ධනය කරයි. එමෙන්ම එය රාජ්‍යය, වංශය, ඇදහිලි ආදිය පසෙක ලා සියළුම සාමාජිකයන්ට සහෝදරත්වයෙන් සලකයි. කාකි කමීසය, කොට කලිසම සහ කදවුරු හිස් වැසුමකින් සමන්විත ප්‍රථම නිල ඇදුම මගින් එකල බාලදක්ෂයා හදුනාගන්නා ලදී.

බාලදක්ෂයකු ලෙස ඇදීම මගින් වැඩිහිටියන් සහ තරුණයන් අතර පවතින වයස් පරතරය අඩුවන බැවු විශ්වාස කල බේඩින් පවෙල් සාමිතුමා කොට කලිසමකින් සැරසී සිටියේය. වර්ථමාන නිල ඇදුම නිල්, තැඹිලි, රතු හෝ කොල පැහැයක් ගන්නා අතර කොට කලිසම වෙනුවට දිග කලිසම වසර පුරාම හෝ ශීත ඍතුවේදී පමණක් හෝ භාවිතා කරයි.

සමානාත්මතාවය, පෞරුෂය පමණක් නොව ප්‍රායෝගිකත්වයද වැඩිදියුණු වන සේ බාලදක්ෂ නිල ඇදුම නිර්මාණය කර තිබේ. කමීසය සාම්ප්‍රදායිකව ඝන වාටියකින් සමන්විත වූයේ හදිසි අවස්ථාවකදී භාවිතයට ගත හැකි අයුරෙනි. එසේම තම කරප‍ටිය ත්‍රිකෝණාකාර වෙළුම් පටියක් ලෙසද තම මේස් ප‍ටිය හදිසියකදී තදින් බැදීම‍ට රැහැනක් සේ භාවිතා කිරීමටද යොමු කරවන ලදී.

බාලදක්ෂ නිල ඇදුමට විවිධ පදක්කම්ද ඇතුලත් වේ. ඒ අතර වුඩ් බැජ්, ලෝක සාමාජික පදක්කම කැපී පෙනේ. බාලදක්ෂයන් සතුව ජාත්‍යන්තරව හදුනා ගන්නා සංකේත 2ක් ඇත. එනමි ලෝක බාලදක්ෂිකා සංගමයේ සාමාජිකාවන් භාවිතා කරන ත්‍රිපත් ලාංඡනය සහ ලෝක බාලදක්ෂ සංගමයේ සාමාජිකයන් භාවිතා කරන fleur-de-lis ලාංඡනයයි. බ්‍රිතාන්‍ය බාලදක්ෂයන් විසින් ස්වස්තිකය තම ලාංඡනය ලෙස මුල් කාලයේදී භාවිතා විය.

වයස් කාණ්ඩ සහ ඒකක[සංස්කරණය]

හොංකොං පෝතක බාලදක්ෂයන් පිරිසක්

බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාරය සාමාන්‍යයෙන් ළමුන්ගේ වයස හෝ පාසලේ ඉගෙනගන්නා වසර අනුව කාණ්ඩයන් වලට බෙදනු ලැබේ. මෙම කාණ්ඩයන් සදහා ක්‍රියාකාරකම් ඔවුනගේ වයසට සරිලන සේ නිර්මාණය කර ඇත. කාලයත් සමග මෙම කාණ්ඩයන් දේශීය සංස්කෘතියට සහ අදාළ පරිසරයට යෝග්‍ය අයුරින් වෙනස් වීම් වලට භාජනය විය. බාලදක්ෂ ව්‍යාපාරය වයස 11-17 අතර යෞවනයන් සදහා මුලින් ආරම්භ විය. වයස අවුරුදු 6-10 සහ අවුරුදු 18-25 අතර වයස් කාණ්ඩ සදහා කණිෂ්ට හා ජ්‍යෙෂ්ට ලෙස පසුකාලීනව බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගයමන් කාණ්ඩ බෙදුනි.

1920-1940 අතර කාලයේදී පැවති සාම්ප්‍රදායික වයස් සීමාවන්:
වයස් සීමාව බාලදක්ෂ කාණ්ඩය බාලදක්ෂිකා කාණ්ඩය
8 to 10 පෝතක බාලදක්ෂ කණිෂ්ට බාලදක්ෂිකා
11 to 17 බාලදක්ෂ බාලදක්ෂිකා
18 සහ ඉහල ජ්‍යෙෂ්ට බාලදක්ෂ ජ්‍යෙෂ්ට බාලදක්ෂිකා

කුඩා ළමුන් සදහා වන වැඩසටහන් මෙන්ම වැඩිහිටි ළමුන් සදහා වන වැඩසටහන් විවිධ නම් වලින් හැදින්වේ. එසේම විශේෂ අවශ්‍යතා ඇති ළමුන් වෙනුවෙන් මෙන්ම ගුවන් බාලදක්ෂ, සාගර බාලදක්ෂ වැනි විශේෂිත පරාස පුරා බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්තව ඇත.

වැඩිහිටියන් සහ නායකත්වය[සංස්කරණය]

පෝලන්ත බාලදක්ෂිකාවන් පිරිසක්

හිටපු බාලදක්ෂයන් බාලදක්ෂිකාවන් ඇතුළු වැඩිහිටියන් බාලදක්ෂ ව්‍යාපාරය කෙරෙහි කැමැත්තක් දක්වා ජාත්‍යන්තර බාලදක්ෂ හා බාලදක්ෂිකා මිත්‍රත්ව සංගම් වල සාමාජිකත්වය දරති. ඇමරිකාව පිලිපීනය වැනි රටවල විශ්ව විද්‍යාල සිසුන් තම උපාධියෙන් පසුව පවා මෙවැනි මිත්‍රත්ව සංගම් වලට ඇතුලත් වෙයි.

බාලදක්ෂ කණ්ඩායම් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ ස්වේච්චා වැඩිහිටියෙකු මගිනි. බාලදක්ෂ නායකත්ව පදවිය නිල ඇදුමෙන් සහ එසේ නොවන ලෙස කොටස් 2කින් යුතුයි. නිල ඇදුමෙන් යුතු නායකයින් විධිමත් පුහුණුවකින් සහ සංගමය තුල ඉහල පෙල සහතිකයකින් සමන්විත යුතුය. එක් එක් රටවල් තුල ජාතික වශයෙන් සංවිධානය වී ඇති ආකාරය අනුව නිල ඇදුමෙන් යුත් පදවි ලෙස ප්‍රාදේශීය, දිස්ත්‍රික්, රටේ ප්‍රධාන කොමසාරිස්වරුන් සැලකේ.

ලෝකය පුරා බාලදක්ෂයෝ[සංස්කරණය]

මහා බ්‍රිත්‍යානයෙන් ඇරඹි අඩිපාරේ යමින් බාලදක්ෂ ව්‍යාපාරය ලෝකය පුරා ව්‍යාප්ත විය. 1909 මැයි 21 දා බ්‍රිත්‍යානය ආධිපත්‍යයෙන් පිටත ව්‍යාප්ත වූ පලමු රට ලෙස චිලී රට නම් වේ. මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් පුරා අවම තරමින් එක් බාලදක්ෂ කණ්ඩායමක් හෝ පැතිර පවතී. මේවා එකින්එකට ස්වායත්ත වුවත් අන්තර්ජාතිකව එකට සම්බන්ධව පවතී. 1922 දී බාලදක්ෂ කණ්ඩායම් පාලනය කිරීමට අදාල ප්‍රතිපත්ති මාලාවක් සමග ලෝක බාලදක්ෂ සංගමය ආරම්භ විය. ඊට අමතරව සෑම වසර 4කට වරක් ලෝක බාලදක්ෂ ජමිබෝරිය සංවිධානය කිරීමේ වගකීමත් ඔවුන් සතුව පවතී.

1928 දී ලෝක බාලදක්ෂ සංගමය වලට සමගාමීව බාලදක්ෂිකා සංගම් වෙනුවෙන් ලෝක බාලදක්ෂිකා සංගමය ඇරඹීය. එය ජාත්‍යන්තර මධ්‍යස්ථාන වන මෙක්සිකෝවේ අවර් කබානා, ස්විස්ටර්ලන්තයේ අවර් චාලට්, මහා බ්‍රිතාන්‍යයේ පැක්ස්ලොජ්, ඉන්දියාවේ සංගම් යන ස්ථාන වල වගකීමද මොවුන් සතුය.

සාමාජිකත්වය[සංස්කරණය]

2008 වසර වන විට ලොව පුරා රටවල් 216 ක් පුරා ලියාපදිංචි බාලදක්ෂයන් මිලියන 31 ඉක්මවා ඇති අතර ලියාපදිංචි බාලදක්ෂිකාවන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි.

බාලදක්ෂ හා බාලදක්ෂිකාවන් සංඛ්‍යාව සැලකීමේදී ලොව පලමු ස්ථාන 20 හිමිකර ගන්නා රටවල් පහත දැක්වේ.
රට සාමාජිකත්වය බාලදක්ෂ හදුන්වාදුන් වසර බාලදක්ෂිකා හදුන්වාදුන් වසර
ඉන්දුනීසියාව 17,100,000  1912 1912
ඇමරිකාව 7,500,000  1910 1912
ඉන්දියාව 4,150,000  1909 1911
පිලිපීනය 2,150,000  1910 1918
තායිලන්තය 1,300,000  1911 1957
බංගලාදේශය 1,050,000  1920 1928
එංගලන්තය 1,000,000  1907 1909
පාකිස්ථානය 575,000  1909 1911
කෙන්යාව 480,000  1910 1920
කොරියාව 270,000  1922 1946
ජර්මනිය 250,000  1910 1912
උගන්ඩාව 230,000  1915 1914
ඉතාලිය 220,000  1910 1912
කැනඩාව 220,000  1908 1910
ජපානය 200,000  1913 1919
ප්‍රංශය 200,000  1910 1911
බෙල්ජියම 170,000  1911 1915
පෝලන්තය 160,000  1910 1910
නයිජීරියාව 160,000  1915 1919
හොංකොං 160,000  1914 1916

මතභේද සහ ගැටුම්[සංස්කරණය]

R. Tait McKenzie නම් වූ නියමිත නිල ඇදුමින් සැරසුනු බාලදක්ෂයෙකුගේ ප්‍රතිමාව

1900 දී බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වූ කාලයේ සිටම විවිධ සමාජීය මතවාදයන්ට මුහුණ දීමට සිදුවිය. ඒ අතර දකුණු ඇමරිකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ අරගල සහ ඉන්දියා‍‍වේ දේශාභිමාන කණ්ඩායම් වල ප්‍රතිරෝධය සැලකිය හැකිය. අප්‍රිකාවට බාලදක්ෂ ව්‍යාපාරය, බ්‍රිතාන්‍යය නිලධාරීන් විසින් තම පාලනය ශක්තිමත් කිරිමට හදුන්වා දුන්නද, බාලදක්ෂ නීතිවල එන බාලදක්ෂයා අන් සෑම බාලදක්ෂයකුගේම සහෝදරයකි යන්න භාවිතා කරමින් ස්වාධීන රාජ්‍යයක් සදහා ඉල්ලීම් කරන්නට විය.

බාලදක්ෂ ව්‍යාපාරය සතු අධිකාරිමය නොවන සහ පුද්ගල සාරධර්ම වර්ධනය කිරීමේ ස්වභාවය නිසා ආඥාදායක පාලන ක්‍රමයන් විසින් රාජ්‍ය පාලනය යටතට ගැනීම හෝ තහනමි සංවිධානයක් ලෙස නම් කල අවස්ථා දැකිය හැකිය.

කලාව තුලදී බාලදක්ෂයෝ[සංස්කරණය]

බාලදක්ෂ ව්‍යාපාරය 20 වන සියවසේදී විවිධාකාර කලා නිර්මාණ වලට වස්තු බීජය විය. විශේෂයෙන් එක්සත් ජනපදයේ මෙය බොහෝ ව්‍යාප්ත විය. නිදසුනක් ලෙස Indiana Jones and the Last Crusade චිත්‍රපටියේ ඉන්දියානා ජොන්ස් නැමති බාලදක්ෂයා විසින් තම ජීවන මෙහෙවර ලෙස සලකා සොයාගත් කොරොනාඩෝ කුරුසය හැදින්විය හැකිය.

Norman Rockwell, Pierre Joubert සහ Joseph Csatari වැනි පින්තාරුකරුවන්ගේ නිර්මාණ මෙන්ම 1966 තිරගත වූ Follow Me, Boys! චිත්‍රපටියද ප්‍රධාන වේ. හාස්‍යජනක බාලදක්ෂ ජීවිතය අළලා නිර්මාණය වූ Troop Beverly Hills (1989), Down and Derby (2005), Scout Camp වැනි චිත්‍රපටි සැලකිය හැක.

බොහෝ චිත්‍රපටි හා ආලේඛන සදහා ඇමරිකානු ජාතික බාලදක්ෂයන්ගේ නිල ඇදුම සහ පදක්කම් යොදා ගැනීම දැකිය හැකිය. නිදසුන් ලෙස Order of the Straight Arrow, Indian Guides, Man of the House සැලකිය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=බාලදක්ෂ_ව්‍යාපාරය&oldid=568548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි