කොරියන් යුද්ධය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොරියානු අර්ධද්වීපය

හැඳින්වීම[සංස්කරණය]

කොරියාව දෙකට බෙදීමෙන් අනතුරුව උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර හටගත් ව්‍යාකූල දේශපාලන තත්වය වඩාත් ම ප්‍රකට වූ අවස්ථාවක් වූයේ කොරියන් යුද්ධය යි. මෙම අර්බුදයට සෝවියට් දේශය, චීනය සහ ඇමරිකාව ද සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපයේ හටගත් තුෂ්ණි යුදමය තත්වය ආසියාවට පැතිරුණු අවස්ථාවක් වශයෙන් ද කොරියන් යුද්ධය සැලකේ.


අර්බුදයේ පසුබිම[සංස්කරණය]

1910 දී ජපානය විසින් කොරියාව ඈඳා ගැනීමත් සමග කොරියානු ජාතිකවාදය ආරම්භ වේ. කොරියානු නිදහස් සටනේ නායකයෝ 1919 න් පසු ඇමරිකාව දෙසට යොමු වන්නට වූහ. නමුත්, කොරියානු අර්බුදය ඇමරිකාවට වැදගත් ගැටලුවක් බවට පත් වූයේ ජපානය විසින් පර්ල් වරායට පහර දීමෙන් අනතුරුව ය. 1943 දෙසැම්බර් මස ඇමරිකාව විසින් ඉදිරිපත් කළ කයිරෝ ප්‍රකාශනය මගින් කොරියාව නිදහස් රටක් විය යුතු බව අවධාරණය කෙරුණි. නමුත්, 1945 පෙබරවාරි මාසයේ දී රූස්වෙල්ට්, චර්චිල් සහ ස්ටාලින් ගේ සහභාගිත්වයෙන් පැවති යාල්ටා සමුළුවේ දී 38 වන සමාන්තරය ඔස්සේ කොරියාව දෙකට බෙදීමට තීරණය විය. ඒ අනුව, කොරියාවේ උතුරු කොටස සෝවියට් රුසියාව විසිනුත් එහි දකුණු කොටස ඇමරිකාව විසිනුත් පාලනය කිරීමට එකඟතාවක් ඇති විය. 1945 පෙබරවාරි මස පැවති මොස්කව් සමුළුවේ දී බ්‍රිතාන්‍ය, ඇමරිකාව සහ සෝවියට් දේශය කොරියාව සඳහා සෝවියට් - ඇමරිකානු ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීමට තීරණය කළහ. දෙපාර්ශ්වය අතර වූ මතවාදීමය වෙනස්කම් මත මෙම කොමිසම අසාර්ථක වූ අතර 1947 සැප්තැම්බර් මාසයේ දී ඇමරිකාව කොරියානු ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගෙන ගියේ ය.


ඒ අනුව, මහා මණ්ඩලය විසින් පිළිගත් යෝජනා සම්මතයක් වූයේ කොරියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසමක අධීක්‍ෂණය යටතේ ජාතික සභාවක් පිහිටුවීම සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු බව සහ අනතුරුව එහි පදිංචි වී සිටින සියලු ම සේනා වහා ඉවත් විය යුතු බවයි. නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම යෝජනාවන්ට සෝවියට් රුසියාවෙහි සහය නොලැබුණි. 1948 මැයි 10 වන දින දකුණු කොරියාව තුළ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසමේ නිරීක්‍ෂණය යටතේ මැතිවරණය පැවැත්වූ අතර එහිදී කොරියානු සමූහාණ්ඩුවේ ප්‍රථම ජනාධිපති වශයෙන් සින්ග්මන් රී තේරී පත් විය. ඉන් අනතුරුව, සෝවියට් දේශය සහ ඇමරිකාව කොරියාවෙන් තම හමුදා ඉවත් කර ගත්හ. නමුත්, 1948 සිට 1950 දක්වා ම උතුරු - දකුණු සබඳතා තව දුරටත් අයහපත් අතට හැරුණි. 1949 දී දකුණු කොරියාව දිගින් දිගටම දේශ සීමා පහරදීම් පිළිබඳ පැමිණිලි කරමින් ඇමරිකානු යුද ආධාර ඉල්ලා සිටියහ.


උතුරු කොරියානු ආක්‍රමණය[සංස්කරණය]

මෙවැනි පසුබිමක් තුළ 1950 ජුනි 25 වන දින උතුරු කොරියානු හමුදා දකුණු කොරියාවට එරෙහිව සැලසුම් සහගත යුද්ධයක් දියත් කළහ. සෝවියට් රුසියාවෙහි නිෂ්පාදිත යුද ටැංකි සහිතව උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරය ඔස්සේ ගමන් කළහ. දින 4ක් තුළ දී ඔවුහු දකුණු කොරියානු අගනුවර වන සෝල් නගරය අල්ලා ගත්හ. ඇමරිකානු ජනාධිපති ටෲමන් ඒ වන විට ජපානයේ රඳවා සිටි භට පිරිස් දකුණු කොරියාවට එවන ලද නමුත් ඉන් ආක්‍රමණය මැඬලිය නොහැකි විය. අනතුරුව ජනාධිපතිවරයා දකුණු කොරියාවට සහය දීම සඳහා ඉදිරිපත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආක්‍රමණිකයන් පළවා හැරීමට ඇමරිකාව සමග තවත් ජාතීහු 15 ක් එකතු වූහ. මෙලෙස සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට නායකත්වය සැපයුවේ ඩග්ලස් මැක් ආතර් නම් ඇමරිකානු ජෙනරාල් වරයා ය. මේ වන විට ඇමරිකානු යුද, ගුවන් සහ නාවික බලකායන් දකුණු කොරියාවේ ස්ථානගතව සිටි අතර බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවලින් එක්සත් ජාතීන්ගේ හමුදාවන් පැමිණීමත් සමග ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹුණි. මේ වන විට ඇමරිකානු සහ කොරියානු හමුදා දකුණු කොරියාවේ ඊසාන දිග පිහිටි පූසාන් නම් වරායේ කුඩා ප්‍රදේශයකට කොටු කරනු ලැබ සිටියහ. සැප්තැම්බර් 15 වන දින එක්සත් ජාතීන්ගේ හමුදා ඉන්චන් වෙත ගොඩ බසිමින් දකුණේ සිටි උතුරු කොරියානු හමුදාවන් විනාශ කළහ. සැප්තැම්බර් මස අවසානය වන විට උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරයෙන් ඉහළට පළවා හැරීමට එක්සත් ජාතීන්ගේ හමුදාව සමත් විය.

මීළඟට ගැටළුව වූයේ උතුරු කොරියාව අල්ලා ගෙන මුළු රට ම එක්සත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා ද යන්නයි. ඒ අනුව, 1950 ඔක්තෝබර් 07 වන දා 38 වන සමාන්තරය ඉක්මවා ගොස් කොරියාව එකමුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේය. නමුත්, මැක් ආතර්ගේ අදහස වූයේ කොරියාව එක්සත් කිරීමට අමතරව යාලු නදිය දක්වා හමුදා මෙහෙයවමින් චීනය දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ය. යාලු නදියේ සීමාව දක්වා හමුදා මෙහෙයවන නමුත් චීන හෝ සෝවියට් බලපෑමක් ඇති වුවහොත් වහා ම පසු බසින ලෙසට මැක් ආතර්ට උපදෙස් ලැබුණි. ඒ අනුව, ඔක්තෝබර් 19 වන දින එක්සත් ජාතීන්ගේ හමුදා උතුරු කොරියානු අගනුවර වන පියොන්ජියැන්ග් අල්ලා ගත්හ. නමුත්, එම හමුදා චීන දේශ සීමාවේ පිහිටි යාලු නදිය වෙත ළඟා වීමත් සමග දෙපාර්ශ්වය අතර නව ගැටුමක් ඇති විය.

චීන හමුදාව 1950 නොවැම්බර් 26 වන දින මහා පරිමාණ ප්‍රහාරයක් මෙහෙයවූහ. දෙසැම්බර් මාසය වන විට උතුරු කොරියාව නිදහස් කර ගත් චීන හමුදාව සෝල් නගරය ද තමන් යටතට ගත්හ. එහෙත් 1951 ජනවාරි වන විට ඇමරිකානු හමුදාවන් විසින් චීන හමුදා මැඬලමින් ක්‍රමයෙන් උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරයෙන් ඔබ්බට පළවා හරිනු ලැබ දේශ සීමාව අසල දකුණු කොරියානු තත්වය ස්ථාවර කර ගත්හ. මේ අතර තුර මහා මණ්ඩලය විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සටන් විරාමයක් ඇති කිරීමටත්, ඔවු'නොවුන්ගේ හමුදා ආපසු කැඳවා ගැනීමටත් නිර්දේශ කළ ද එම යෝජනා චීනය ප්‍රතික්‍ෂේප කළේ ය. මේ තත්වය යටතේ 1951 පෙබරවාරි මස මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් මගින් චීනය "කොරියානු ආක්‍රමණිකයා" ලෙස හඳුන්වනු ලැබීය.

සටන් විරාම සාකච්ඡා[සංස්කරණය]

සටන් විරාමයක් සඳහා ඇමරිකානු සහ උතුරු කොරියානු නියෝජිතයන් අතර සාකච්ඡා 1951 ජුලි මස 10 වන දින ඇරඹුණ ද, එය අසාර්ථක වීම හේතුවෙන් ඔවුහු නැවත ඔක්තෝබර් 25 වන දින රැස් වූහ.මෙකී පාර්ශ්වකරුවන් අතර සාකච්ඡා තවත් වසර දෙකක කාලයක් දක්වා දික් ගැසුණි. යුද සිරකරුවන් හුවමාරු කිරීම පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට නොහැකි වීම ඒ සඳහා විශේෂයෙන් හේතු විය. 1953 මාර්තු වන විට දෙපාර්ශ්වය අතර වරින් වර කෙරුණු සටන් නතර වූ හෙයින් ගිවිසුමක් අත්සන් කරනු ලැබූ අතර යුද විනිර්මුක්ත කලාපය ද හඳුනා ගනු ලැබූහ. යුද සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය 1952 වසර පුරා ම නොවිසඳුණු එකක් විය. යුද සිරකරුවන් තම තමන්ගේ රට වලට යැවිය යුතු බව කොම්යුනිස්ට්වාදී කණ්ඩායම කියා සිටි අතර ඔවුන්ට තමන් කැමති රටක් තෝරා ගැනීමට ඉඩ දිය යුතු බව එක්සත් ජාතීන්ගේ කණ්ඩායම ප්‍රකාශ කළහ. කෙසේ වුවත් 1953 ජනවාරි මාසය වන විට ඇමරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂය බලයට ඒමෙන් සහ මාර්තු මාසයේ ස්ටාලින් මිය යාමෙන් කොරියන් යුද්ධය කෙළවර කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනසක් සහිත පසුබිමක් සකස් විය. ඒ අනුව යුද සිරකරුවන් සම්බන්ධයෙන් ඒ තාක් නොවිසඳුණු මැදිහත් ජාතීන්ගේ අධීක්‍ෂණ සහ ඒකාබද්ධ යුද සබඳතා කොමිසමක් යටතේ යුද සිරකරුවන්ගේ තත්වය තීරණය කිරීමට දෙපාර්ශ්වය ම එකඟ වූහ. 1953 ජුලි 27 වන දින යුද සමාදාන ගිවිසුම අත්සන් කිරීම එහි ප්‍රතිඵලයක් විය.


කොරියාව එක්සත් කිරීමේ ප්‍රයත්න[සංස්කරණය]

කොරියාව පිළිබඳ දේශපාලන විසඳුමකට ඒමේ අරමුණෙන් යුතුව 1954 අප්‍රේල් මස රටවල් 19ක සහභාගිත්වයෙන් පැවති ජිනීවා සමුළුවේ දී එක්සත් කොරියාවක් බිහි කිරීම පිළිබඳ දෙපාර්ශ්වයන් දැඩි ස්ථාවරත්වයක් දැක්වූහ. බටහිර රටවල් දැරූ මතය වූයේ එක්සත් සහ නිදහස් කොරියාවක් බිහි කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ නිදහස් මැතිවරණයක් පවත්වා මුළු කොරියාවම නියෝජනය වන මණ්ඩලයක් තෝරා ගත යුතු බවයි. නමුත්, චීනය සහ උතුරු කොරියාව දැරූ මතය වූයේ එක්සත් කොරියාවක් බිහි කිරීමට ගත යුතු පළමු පියවර නම් සියලුම විදේශ හමුදා ආපසු කැඳවිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ හමුදා කුමන අයුරකින් හෝ කොරියානු ප්‍රශ්නයට සම්බන්ධ නොවිය යුතු බවත්ය. මෙම දැඩි ස්ථාවරය නිසා ජුනි මාසය මැද වන විට ජිනීවා සාකච්ඡා කෙළවර වූයේ උතුරු සහ දකුණු කොරියාව වශයෙන් රටවල් දෙකක පැවැත්ම පිළිබඳ විසඳුම පිළිගැනීමට සිදු කරමිනි.


යුද්ධයෙන් මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව[සංස්කරණය]

ඇමරිකානු ප්‍රහාරයක්
Tanknightfire2.jpg


රට මිය ගිය සංඛ්‍යාව තුවාල ලැබූ සංඛ්‍යාව
දකුණු කොරියාව 227800 717100
එක්සත් ජනපදය 54229 103248
එක්සත් රාජධානිය 710 2278
තුර්කිය 717 2246
ඕස්ට්‍රේලියාව 291 1240
කැනඩාව 309 1055
ප්‍රංශය 288 818
තායිලන්තය 114 794
ග්‍රීසිය 169 543
ඕලන්දය 111 589
කොළොම්බියාව 140 452
ඉතියෝපියාව 120 536
පිලිපීනය 92 299
බෙල්ජියම 97 350
නවසීලන්තය 34 80
දකුණු අප්‍රිකාව 20
චීනය 132000 238400
උතුරු කොරියාව 215000 303000
සෝවියට් රුසියාව 315

පින්තූර ගැලරිය[සංස්කරණය]



ආශ්‍රිත ග්‍රන්ථ

ජාත්‍යන්තර අර්බුද : මහාචාර්ය ‍ඩබ්ලිව්. එම්. කරුණාදාස

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

කොරියන් අර්බුදය

"https://si.wikipedia.org/w/index.php?title=කොරියන්_යුද්ධය&oldid=212847" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි