ධර්මාශෝක විද්‍යාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඛණ්ඩාංක: 6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917

ධර්මාශෝක විද්‍යාලය
Emblem of Dharmasoka College
ආදර්ශ පාඨය
විද්‍යා දදාති විනයං
(සංස්කෘත ශ්ලෝකයක[1] පාඨයකි..
අර්ථය: "ඉගෙනීමෙන් හික්මීම ලැබේ")
පිහිටුවන ලද්දේ1913
වර්ගයජාතික පාසලකි
ආගමික අනුබද්ධ කිරීමබෞද්ධ
විද්‍යාලයාධිපතිහසිත කේසර වෙත්තිමුණි මහතා
පිහිටීමඅම්බලන්ගොඩ, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
වර්ණනිල් සහ රීදිමය අලු         
වෙබ් පිටුවhttp://www.dharmasoka.sch.lk
ධර්මාශෝක විද්‍යාලයීය බුදුමැදුර

ධර්මාශෝක විද්‍යාලය, ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ නගරයේ පිහිටා ඇති කීර්තිමත් මිශ්‍ර පාසලකි. වර්ෂ 1913 දී ආරම්භ කරන ලද මෙම පාසල සියවසකට ආසන්න කාලයක් මුළුල්ලේ විවිධ ‍ක්ෂේත්‍රයන්හි විශිෂ්ටතමයින් බිහි කරමින් දකුණු ලක අධ්‍යාපන අඹරෙහි පහන් තරුව ලෙස බැබලෙයි. සිංහල, බෞද්ධ රජයේ විද්‍යාලයක් වන මෙහි ප්‍රාථමික හා ජ්‍යේෂ්ඨ වශයෙන් වෙන් වෙන් ව ආසන්නයේ පවතින අංශ ද්විත්වයක් වේ. මෙහි වර්තමානයේ සිසු සිසුවියන් 6000 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ගුරු මණ්ඩලය හා කාර්ය මණ්ඩලය 250 කින් පමණ සමන්විත වේ.

1913 ට පෙර[සංස්කරණය]

20 වන සියවස ආරම්භයේ දී අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවතියේ වෙස්ලියන් මිෂනාරී සමාගමේ අයිතිය යටතේ රන්දොඹේ පැරණි වෙස්ලියන් මීසමට අයත් ක‍තෝලික පල්ලිය ආශ්‍රිත ව පවත්වා ගෙන ‍ගිය පාසලකි. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුධාවලිය ලත් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ එම පාසලෙන් ය. එම පාසල හරහා බෞද්ධාගමිකයින් අන්‍යාගමීකරණය වන බව වටහා ගැනීම නිසා ප්‍රදේශයේ ප්‍රභූ පිරිසක් එක්ව 1887 ජනවාරි මස 19 දින පිහිටුවා ගත් සුගත ශාසනෝදය සමාගම මගින්, විද්‍යාලංකාර බෞද්ධ පිරිමි පාසල නමින් සිංහල පාසලක් ද, 1894 දී Buddhist English School නමින් ඉංග්‍රීසි පාසලක් ද ආරම්භ කර ඇත.

එස්. තෝමස් ද සිල්වා මැතිතුමා[සංස්කරණය]

වෙස්ලියන් මීසමට අයත් ඉංග්‍රීසි පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසු ව ගාල්ල රිච්මන්ඩ් හා කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ සන්තියාගු තෝමස් ද සිල්වා මහතා වෘත්තියෙන් භාෂා පරිවර්තකයෙකි. ඔහු විවාහ වී සිටියේ කොළඹ විශාඛා විද්‍යාලයේ නිර්මාතෘවරයා වූ පානදුර ජේරමියෙස් ඩයස් මැතිඳුන්ගේ දියණියක සමග ය. එබැවින් ඔහුගේ ද සිත පාසල් අධ්‍යාපනය නගා සිටුවීම කෙරෙහි නැඹුරු වන්නට ඇත. ධර්මාශෝක විද්‍යාලයේ ආදි කර්තෘවරයා වන ඔහු පාසලේ උන්නතිය වෙනුවෙන් සිය පෞද්ගලික ධනය වැය කළ අතර පසු කාලයේ දී ඒ වෙනුවෙන් තම රබර් වතු විකුණූ බව ත්, හිතවතුන්ගෙන් මුදල් ණයට ගත් බව ත් සඳහන් වේ. හෙතෙම 1910 පමණ කාලයේ දී රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචියට පැමි‍ණීම ත් සමග ධර්මාශෝක විද්‍යාලය ආරම්භ වීමේ මූලික පසුබිම සකස් විය.

ආරම්භය[සංස්කරණය]

1913 වර්ෂයේ දී අම්බලන්ගොඩ දුම්රියපල අසල නිවසක සිසුන් 15 දෙනෙකුගෙන් නව ඉංග්‍රීසි පාසලක් ඇරඹීමට තෝමස් ද සිල්වා මහතා කටයුතු කළේ ය. සසුන්ගත ව සිටි එතුමාගේ සොහොයුරෙකු වූ විලේගොඩ ධීරක්ඛන්ධ හිමියන් විසින් එම පාසල ධර්මාශෝක විද්‍යාලය නමින් නම් කරන ලද බව සඳහන් වේ. ප්‍රදේශයේ ධනවතකු මෙන් ම ජනප්‍රිය ප්‍රභූවරයකු ද වූ නිසා ‍තෝමස් ද සිල්වා මහතාගේ පාසල ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත.

ආරම්භයේ දී පිරිමි පාලසක් වූ මෙය සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා එන සිසුන් සඳහා වූවකි. සිසුන්ගෙන් පාසලට මුදල් අය කර ඇති බව සඳහන් වේ.

බුඩිස්ට් ඉංග්ලිෂ් ස්කූල් හා තරගකාරී ව පවත්වා ගෙන යන ලද ධර්මාශෝක විද්‍යාලයට වෙනත් පාසල්වල ඉගෙනුම ලැබූ සිසුහු ද එක් වන්නට වූහ. ඉන් අනතුරු ව, එකල ලියනගේ වලව්වට අයත් ව තිබූ සොහොන් භූමියක් ව පැවති, නව ගාලු පාර සහ විද්‍යාල මාවත අසල වර්තමානයේ පාසල පිහිටා ඇති භූමියට ධර්මාශෝක විද්‍යාලය ගෙන එන ලදී. මෙම නව පාසල රජයේ ලියාපදිංචි කර ගැනීමට නොහැකි වීම ත්, ප්‍රදේශයේ තරගකාරී ව පාසල් දෙකක් පවත්වාගෙන යාමෙන් කිසිවකුට අර්ථයක් සිදු නොවන බවට පාසල් පරීක්ෂකවරයෙකු උපදෙසක් ලබා දීමත්, නව භූමිභාගයට ගෙන ආ ධර්මාශෝක විද්‍යාලයට පාසල් දෙක අතර තරගයෙන් වැඩි වාසි හිමි වීමත් නිසා 1914 පෙබරවාරි මස 2 දින පාසල් දෙක ඒකාබද්ධ කොට ධර්මාශෝක විද්‍යාලය නමින් ම ක්‍රියාත්මක කිරීම අරඹා ඇත.

පාසලේ පරිපාලනය[සංස්කරණය]

ආරම්භයේ දී ධර්මාශෝක විද්‍යාලයේ අයිතිකරු, කළමනාකරු සහ විදුහල්පති වශයෙන් තෝමස් ද සිල්වා මහතා කටයුතු කර ඇත. බුඩිස්ටි ඉංග්ලිෂ් ස්කූල් හි ප්‍රධානාචාර්යවරයා වූ එන්. බී. වික්‍රමසූරිය මහතා ධර්මාශෝක විද්‍යාලයේ ද ප්‍රධානාචාර්යවරයා ලෙස පත් කර ඇත. නමුත් පාසලේ පරිපාලනය භාරව පැවතී ඇත්තේ විදුහල්පතිවරයා වූ තෝමස් ද සිල්වා මහතාට ය. එන්. බී. වික්‍රමසූරිය මහතාගේ නම පාසලේ විදුහල්පතිවරයකු ලෙස සඳහන් නොවන්නේ එහෙයිනි. 1917 දී වික්‍රමසූරිය මහතා පාසලෙන් ඉවත් ව යාමෙන් පසු ව තෝමස් ද සිල්වා මහතා ද විදුහල්පති ධුරයෙන් ඉවත් ව මිය යන තෙක් ම අයිතිකරු සහ කළමනාකරු ලෙස පමණක් කටයුතු කර ඇත. එම කාලයේ දී විටින් විට පත් වී ආ පුද්ගලයින් පාසලේ විදුහල්පති ධූරය දරා ඇත. (විද්‍යාලයාධිපතිවරු බලන්න)

තෝමස් ද සිල්වා මහතාගේ අභාවයෙන් පසු ව පාසලේ අයිතිය අම්බලන්ගොඩ සුගත ශාසනෝදය සමිතිය යටතට පත් වූ අතර පාසලේ පරිපාලනය කළමණාකරුවකු යටතේ සිදු විය. 1961 දී ධර්මාශෝක විද්‍යාලය සිය කැමැත්තෙන් ම රජයට පවරා දෙන තෙක් කළමනාකරුවන් 6 දෙනෙකු විසින් පාසල පාලනය කරනු ලැබ ඇත.

මුල් කාලයේ කළමනාකාරවරු[සංස්කරණය]

කළමනාකරු වැදගත් තොරතුරු
1 මුදලිඳු එස්. තෝමස් ද සිල්වා මහතා 1913 සිට 1929 අප්‍රේල් 10 දින වන තුරු කළමනාකරු ලෙස කටයුතු කළේය.
2 ඩබ්. ජේ. ප්‍රනාන්දු මහතා
3 ජේ. පී. එස්. ද සිල්වා මහතා වෘත්තීයෙන් නීතී‍ඥයෙකි
4 ජී. සී. ටී. ඒ. ද සිල්වා මහතා නීතීඥයෙකි. පසුකලෙක ලංකාවේ අධිකරණ අමාත්‍ය ධූරය හෙබවූ‍වේ ය.
5 පී. ද. එස්. කුලරත්න මහතා කළමණාකාර ධුරයට පත් වීමට පෙර කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ ය. පසු කලක අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට ද තේරී පත් විය.
6 එම්. එච්. සද්ධාසේන මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. පසු කලක අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට ද තේරී පත් විය.
7 එල්. සී. ද සිල්වා මහතා වතු හිමියකු හා ව්‍යාපාරිකයකු විය. පසු කලක බලපිටිය හා අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට ද තේරී පත් විය.

පාසලේ ප්‍රාථමික අංශය මුල් කාලයේ දී පවත්වා ඇත්තේ ජ්‍යේෂ්ඨ අංශය සමග එක ම ස්ථානයක ය. ඩී. ටී. විජේරත්න විදුහල්පතිතුමාගේ කාලයේ එය වෙන ම අංශයක් බවට බෙදා වෙන් තරන ලදී. 1972 වසර වන විට 8 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන කණිෂ්ඨ විද්‍යාලයක් බවට ප්‍රාථමික විද්‍යාලය පත් විය. 1975 දී නැවත පාසල් දෙක ඒකාබද්ධ කොට විදුහල්පතිවරයා යටතට පත් කෙරිණ. 1982 දී ක්‍රියාත්මක වූ ප්‍රාථමික අංශය අහෝසි කිරීමේ වැඩ පිළිවෙළ යටතේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටවූ අතර ඒ අනුව 1987 වන විට ප්‍රාථමික අංශය වැසී ගියේ ය. 1990 දී එක ශ්‍රේණියකට පන්ති තුනක් වශයෙන් යළි එය ආරම්භ වූ අතර 1996 දී අය පන්ති 6 දක්වා වැඩි කරන ලදී. වර්තමානය වන විට 1 සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති ප්‍රාථමික අංශයේ පැවැත්වේ. එය පාසලේ සහකාර විදුහල්පතිවරයකු විසින් පාලනය කරනු ලබයි.

විද්‍යාලයාධිපතිවරු[සංස්කරණය]

විද්‍යාලයාධිපති කාලය වැදගත් තොරතුරු
1 මුදළිඳු එස්. තෝමස් ද සිල්වා මහතා 1913 - 1917
2 අබේසීල ගිනිගේ මහතා 1917 - 1921 පසු කාලයේ දී පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරුවේ ය. අනතුරු ව විශ්වවිද්‍යාල කොලීජියේ භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු විය.
3 ජේ. ආර්. නැතෑනියෙල්ස් මහතා 1921 - 1923 ඉන්දියානු ජාතික ද්‍රවිඩ විදුහල්පතිවරයෙකි. ධර්මාශෝක විදුහල් ඉතිහාසයේ විදුහල්පති ධූරය දැරූ එකම විජාතිකයා මොහු ය.
4 ජී. එම්. ද සිල්වා මහතා 1923 - 1927 නීතීඥයකු සහ මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කර පසු ව නීති විද්‍යාලයේ විදුහල්පති ධූරය හොබවා ඇත.
5 ඊ. ඒ. විජේසූරිය මහතා 1928 - 1933
6 එෆ්. ආර්. ජයසූරිය මහතා 1934 - 1936 පසු කාලයේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ධුරයක් දැරූ මහාචාර්යවරයෙකි.
7 ඩී. ටී. විජේරත්න මහතා 1936 - 1947 පාසලේ දෙවරක් විදුහල්පති ධුරය හෙබවූ එක ම විදුහල්පතිවරයා ය.
8 පී. ද එස්. ජසෙන්තුලියන මහතා 1948 - 1953 පාසලේ විදුහල්පති ධූරය ‍හෙබවූ ප්‍රථම ආදිශිෂ්‍යයා ය. විදුහල්පති ධූරයට පත් වීමට පෙර ධර්මාශෝක විද්‍යාලයේ ම ගුරුවරයෙක් ලෙස කටයුතු කළේ ය. ඒ අනුව පාසලේ ගුරුවරයෙකු විදුහල්පති තතතුරට පත් වූ ප්‍රථම අවස්ථාව ද මෙය යි.
9 ඩී. ටී. විජේරත්න මහතා 1954 - 1960 දෙවන වර පත්වීම. මුල් ධුර කාලයෙන් පසු කොළඹ සහිරා විද්‍යාලයේ උප විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කර ඇත.
10 කේ. කේ. වී. එස්. ද සිල්වා මහතා 1961 - 1965 පාසලේ ආදි ශිෂ්‍යයෙකි. විදුහල්පති ධුරය හෙබවූ ප්‍රථම විද්‍යා උපාධිධරයා ය. අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු ලෙස විශ්‍රාම ගත්තේ ය.
11 එම්. ඩී. විමලසූරිය මහතා 1965 - 1975 පාසලේ ආදි ශිෂ්‍යයෙකි. විදුහල්පති ධූරයට පත් වීමට පෙර ධර්මාශෝක විද්‍යාලයේ ම ගුරුවරයෙකු ලෙස ත්, උප විදුහල්පතිවරයකු ලෙස ත්, ඉන් පසු ව බටපොල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ත් සෙවය කළේ ය. තේරීම් ශ්‍රේණියේ විදුහල්පතිවරයකු ලෙස උසස්වීමක් ලබා පසු ව විශ්‍රාම ගියේ ය. එම්. ඩී. විමලසුරිය යුගය විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ .
12 එන්. ඊ. ප්‍රනාන්දු මහතා 1976 - 1980 විදුහල්පති ධුරය දැරීමට පෙර බලපිටිය ගුරු විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළේ ය. විදේශ රැකියාවක් සඳහා විදුහලෙන් ඉවත් වී ගිය ඔහු පසු ව පස්දුන්රට විද්‍යා පීඨයෙහි උප විදුහල්පතිලෙසට කටයුතු කරමින් සිටිය දී අභාවප්‍රාප්ත වූවේ ය.
13 ජී. ඩබ්. විල්ෆ්‍රඩ් ද සිල්වා මහතා 1980 - 1982 පාසලේ ආදි ශිෂ්‍යයෙකි. ධර්මාශෝක විදුහලේ ගුරුවරයෙක් ලෙස ද අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස ද කටයුතු කොට ඇත. පසු ව ප්‍රධාන අධ්‍යාපන නිලධාරියකු ලෙස විශ්‍රාම ගියේ ය.
14 බී. එච්. එච්. විමලදාස මහතා 1982 - 1984 විදුහල්පති ධූරයෙන් පසු ව අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස විශ්‍රාම යන තෙක් සේවය කළේ ය.
15 එච්. එස්. එන්. කේ. ප්‍රනාන්දු මහතා 1984 - 1986 පාසලේ ආදි ශිෂ්‍යයෙකි. පසු ව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ලෙස පත් වූ අතර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය ‍කළේ ය.
16 ඒ. ජී. අයි. ද සිල්වා මහතා 1987 - 1998 පාසලේ ආදි ශිෂ්‍යයෙකි. දෙවරක් ම විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කර ඇත. පසු ව මාණ්ඩලික අධ්‍යාපන නිලධාරියකු ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ත් බටපොල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස ත් සේවය කර ඇත.
17 එම්. ප්‍රේමසීල ද සිල්වා මහතා 1999 - 2001 විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ධර්මාශෝකයේ ම ගුරුවරයකු හා නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස සේවය කර ඇත. විදුහල්පති ධූරයට පැමිණීමට පෙර හික්කඩුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කර ඇත. 2001 දී අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස පත් වූවේ ය.
18 ඩී. එම්. ජී. ඒ. ජයලත් ද සිල්වා මහතා 2002 - 2004 පාසලේ ආදි ශීෂ්‍යයෙකි. බලපිටිය ගුරු විදුහලේ උප විදුහල්පතිවරයකු ලෙස සේවය කර ඇත.
18 කේ. එම්. ජී. බී. ජයසූරිය මහතා 2004 - 2006
19 එස්. ජේ. පී. විජේසිංහ මහතා 2006 - 2010 ධර්මාශෝකයට විදුහල්පතිවරයා වශයෙන් පැමිණීමට පෙර මොරටුව වේල්ස් කුමර විදුහලේ විදුහල්පති ධුරය දැරුවේය.
20 එම්. ජී. ඕ. පී. පණ්ඩිතරත්න මහතා 2010 - 2013 ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරීමෙන් අනතුරුව කොළඹ ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් පත්වීමක් ලැබුවේය.
21 සුමිත් පරාක්‍රමවංස මහතා 2013 - 2016 පාසලේ ආදි ශීෂ්‍යයෙකි. ධර්මාශෝකයේම ගුරුවරයකු ලෙස සේවය කර පසුව දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර දැරුවේය. ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරීමෙන් අනතුරුව දකුණු පලාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වශයෙන් පත්මවීමක් ලැබුවේය.
22 හසිත කේසර වෙත්තිමුණි මහතා 2016 - වර්තමාන

මීට අමතර ව එක් විදුහල්පතිවරයකු ඉවත් වී ගොස් නැවත විදුහල්පතිවරයකු පාසලට පත් වී එන අතර කාලය තුළ පාසල පාලනය කළ වැඩ බලන විදුහල්පතිවරු කිහිපදෙනෙකුද ධර්මාශෝක ඉතිහාසයේ හමුවේ.

  1. ඕ. එන්. පියසේන මහතා - 1953 දී
  2. වික්ටර් ඉලේපෙරුම මහතා - 1982 දී
  3. ඩබ්. වී. ජිනපාල මහතා - 1998 දී
  4. ඩබ්. ටී. ලීලාරත්න මහතා - 2000 දී

අධ්‍යයන කටයුතු[සංස්කරණය]

පාසල ආරම්භ කළ මුල් කාලයේ දී එය පිරිමි පාසලක් වශයෙන් ක්‍රියාත්මක වී ඇත. පසු ව ඉහළ පන්ති සඳහා ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු ඇතුලත් කර ගෙන ඇති අතර ප්‍රාථමික අංශයේ ශිෂ්‍යාවන්ට 6 වන ශ්‍රේණියෙන් පසු ජ්‍යේෂ්ඨ අංශයට ඇතුලත් වීමේ අවස්ථාව ලබා දී නොමැත. 1953න් පසු ව ප්‍රාථමික අංශයේ සියලු ම ශිෂ්‍යාවන් ජ්‍යේෂ්ඨ අංශයට ඇතුලත් කර ගත්තද 1954 දක්වා ශිෂයාවන්ගේ පන්ති වෙනම පවත්වා ඇත. පසු ව ඒවා ද ශිෂ්‍යයනගේ පන්ති සමග සම්මිශ්‍රණය කර ඇති බව සඳහන් වේ. නමුත් 1981 දී යළිත් ශිෂ්‍යාවන් වෙන ම පන්තිවලට ඇතුලත් කිරීම අරඹා ඇත. 1983න් පසු ව යළි ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් එකම පන්තිවලට යෙදීමට තීරණය කර ඇත.

1 සිට 5 ශ්‍රේණිය දක්වා පන්තිවල 1 ශ්‍රේණියකට A,B,C,D,E,F වශයෙන් පන්ති 6 ක් ඇත. ප්‍රදේශයේ පහ ‍වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන සිසුන්ගේ ප්‍රමුඛ ඉල්ලීම ධර්මාශෝක විද්‍යාලය වන බැවින් 6 ශ්‍රේණිය සඳහා වැඩි ශිෂ්‍ය ප්‍රමාණයක් ඇතුලත් කර ගනු ලබයි. ඒ අනුව 6 සිට 11 ශ්‍රේණි දක්වා A සිට K වශයෙන් (I හැර) පන්ති 10 ක් ඇත. උසස්පෙළ අංශය විද්‍යා, ගණිත, වාණිජ සහ කලා අංශවලින් ක්‍රියාත්මක වේ. වර්තමානය වන විට 12, 13 ‍ශ්‍රේණිවල එක් ශ්‍රේණියක් සඳහා A සිට M දක්වා පන්ති පැවැත්වේ. උසස්පෙළ ගණිත සහ විද්‍යා අංශවලට වෙනත් පාසල්වලින් පැමිණෙන සිසුන් ඇතුලත් කර නොගන්නා නමුත් වාණිජ සහ කලා අංශවලට සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සිසුන් ඇතුලත් කර ගනී.

මානව සම්පත්[සංස්කරණය]

විදුහලේ ආරම්භක අවස්ථාවේ දී සිසුන් 15 ක් පමණ අධ්‍යාපනය ලැබූ බව සැලකේ. 1914 දී බුඩිස්ට් ඉංග්ලිෂ් ස්කූල් හා ඒකාබද්ධ කිරීමෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වන්නට ඇත. වර්තමානය වන විට සිසු සිසුවියෝ 6000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබති. ආරම්භක ගුරු මණ්ඩලය ගුරුවරු දෙතුන් දෙනෙකුගෙන් සමන්විත වන්නට ඇතැයි සැලකේ. අද වන විට 200කට ආසන්න අධ්‍යයන කාර්ය මණ්ඩලයක් ධර්මාශෝක විද්‍යාලයීය දුවාදරුවන්ගේ නැණස පෑදීමට දායක වෙයි.

මීට අමතර ව විද්‍යාලය අනධ්‍යයන කාර්ය මණ්ඩලයක සේවය ද ලබයි. එය පාසලේ ආරම්භ කාලයේ සිට ම පැවතෙන්නට ඇතැයි සිතිය හැක. මේ වන විට පුස්තකාලයාධිපතිවරු, ලිපිකරුවන්, යතුරුලියන්නන්, විද්‍යාගාර සේවකයන්, කම්කරුවන් ආදීන්ගෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සමන්විත වේ. 1996 දක්වා පාසල මුර කිරීම සඳහා මුරකරුවන් දෙදෙනෙකු යොදවා තිබූ අතර වර්තමානය වන විට එම කාර්යය ආරක්ෂක සේවාවකට භාර දී ඇත.

පාසලේ කටයුතුවලදී විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉටු කරන මෙහෙය අතිමහත් ය. එය පිහිටුවා ඇත්තේ ඩී. ටී. විජේරත්න විදුහල්පතිවරයාගේ සමයේ ය. 1976 වසරේ දී ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව ආරම්භ කර ඇත. 1984 වසරේ දී තරුණ ආදි ශිෂ්‍යයන්ගේ සක්‍රීය දායකත්වය පාසල වෙනුවෙන් ලබා ගැනීමේ අරමුණින් කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීය. මේ වන විට ආදි ශිෂ්‍ය සංගමය අනුබද්ධ සංවිධාන කිහිපයක් ද පිහිටුවා ඇත. ආදි ක්‍රිකට් එකතුව, ආදි දම්සෝ මළල ක්‍රීඩා සංගමය, ආදි දම්සෝ ශිෂ්‍යභට සාමූහිකය, දම්සෝ ආදී ශිෂ්‍ය නායක එකමුතුව එවැනි සංවිධානයන් ය.

මුල් කාලයේ දී ගුරු දෙගුරු සමිතිය වශයෙන් හැඳින්වූ දෙමාපිය සංවිධානය වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ පාසල් සංවර්ධන සමිතිය ලෙස ය. එය අමාත්‍යාංශ වක්‍රලේඛයක් යටතේ පාලනය වන අතර, පාසලට අවශ්‍ය විදුලිය, දුරකතන, තැපැල් සේවාව වැනි සේවාවන් සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීම සහ පාසලේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය අවස්ථාවල දී මූල්‍යමය දායකත්වයන් දැක්වීම එමගින් සිදු කෙරේ.

භෞතික සම්පත්[සංස්කරණය]

එස්. තෝමස් ද සිල්වා සිහිවටන ගොඩනැගිල්ල

ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට සාපේක්ෂ ව වඩා වැඩි භෞතික සම්පත් ප්‍රමාණයක් පරිහරණය කිරීමේ අවස්ථාව ධර්මාශෝක විද්‍යාලයේ සිසු සිසුවියන්ට හිමි ව ඇත. එය, පාසලේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට හේතුවක් වන බව ද සඳහන් කළ යුතු ය. 2010 වසරේ දී වැඩ නිම කරන ලද බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය ධර්මාශෝක විද්‍යාලයට එක් වූ අලුත් ම ගොඩනැගිල්ලයි. එමෙන්ම 2008 වසරේ දී වැඩ නිමවන ලද මුදළිඳු එස්. තෝමස් ද සිල්වා ශ්‍රවණාගාරය, ධර්මාශෝක විද්‍යාලයට එතෙක් අඩුවක් ව පැවති ශ්‍රවණාගාරයක අවශ්‍යතාව සම්පූර්ණ කළා පමණක් නොව, වර්තමානය වන විට ප්‍රදේශයේ බොහෝ වැදගත් අවස්ථාවල දී, කලා කටයුතුවල දී, උත්සව කටයුතුවල දී ප්‍රයෝජනයට ගන්නා සම්පතක් ද වන්නේ ය. එසේ ම 2003 වසරේ දී විවෘත කරන ලද විද්‍යාලයීය පිහිණුම් තටාකය බොහෝ පිහිණුම් තරගාවලිවල දී මෙන් ම පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා ද නිරතුරු ව භාවිත කරනු ලබයි.

විද්‍යාලයේ කණිෂ්ඨ අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය සතුව වර්තමානය වන විට ගොඩනැගිලි 25 ක් පමණ තිබේ. ඉහතින් සඳහන් කළ ගොඩනැගිලිවලට අමතර ව අධ්‍යයන කටයුතු සඳහා යොදා ගන්නා එස්. තෝමස් ද සිල්වා සිහිවටනය, සද්ධාසේන සෙවන, එල්. සී. ද සිල්වා සෙවන, වී. එම්. විල්සන් සිහිවටනය, පී. ද. එස් කුලරත්න සෙවණ, ජසෙන්තුලියන සෙවන, ඇස්. සී. ද සිල්වා සෙවන, අ. ම. කරුණාරත්න සෙවන, විද්‍යාගාර ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි පාසල සතු ගොඩනැගිලි අතුරින් කිහිපයකි. මිට අමතර ව විද්‍යාල‍යේ ආදි ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ල ද, මේස පන්දු ක්‍රීඩාගාරය ද පාසල් භූමියේ ම පිහිටා ඇත. විද්‍යාල භූමියේ ම සකස් කොට ඇති පැසිපන්දු පිටියක් මෙන්ම පාසලෙන් පිටත ඇති පැසිපන්දු පිටියක් ද විද්‍යාලය සතු වේ.

නවීන උපකරණවලින් සමන්විත පරිගණක ඒකකයක්, පුස්තකාල පහසුකම්, විද්‍යාගාර පහසුකම් මෙන් ම සෞන්දර්ය කටයුතු, ක්‍රීඩා සහ තූර්ය වාදන කණ්ඩායම්වලට අවශ්‍ය සියලු උපකරණ සහ පහසුකම් විද්‍යාලය සතු වේ. එමෙන් ම 2009 වසරේ දී ධර්මා‍ශෝක විද්‍යාලයේ අවශ්‍යතා සඳහා පරිහරණය කිරීමට බස් රථයක් ලබා ගන්නා ලදී.

පාසැල් ලාංඡනය සහ විද්‍යාලයීය ගීතය[සංස්කරණය]

පාසැල් ලාංඡනය

පාසලේ ලාංඡනයක් භාවිත කළ බවට මුල්ම සඳහන සැපයෙන්නේ ඊ. ඒ. විජේසූරිය විදුහල්පතිවරයාගේ සමයෙනි. එම ලාංඡනය වෙනස් කර ඩී. ටී. විජේරත්න විදුහල්පතිවරයා හඳුන්වාදෙන ලද ලාංඡනය වර්තමානයේ ද භාවිත වේ.

විදුහලේ වර්ණ සහ ධජය ද එම විදුහල්පතිවරයා විසින්ම හඳුන්වා දෙන ලද බව සැලකේ. විදුහලේ වර්ණ වන නිල් සහ රිදීමය අලු යන වර්ණ සහිත තිරස් තීරු දෙකක් ඇති ධජයක් විද්‍යාලයීය ධජය ලෙස භාවිත වේ. ධජය මධ්‍යයේ විද්‍යාලයීය ලාංඡනය අන්තර්ගත වේ.

විද්‍යාලයීය ගීතය ගරු ආනන්ද සමරකෝන් මහතා විසින් රචනය කරන ලද්දකි. මෙය ඩී. ටී. විජේරත්න විදුහල්පතිවරයාගේ සමයේ හඳුන්වාදෙන ලද්දකි. ජනප්‍රිය ග්‍රැමෆෝන් ගීතයක් වන "ඇසේ මධුර ජීවනයේ ගීතා" යන ගීතය, විද්‍යාලයීය ගීතයේ තනුව අනුව ගැයේ.

විදුහල අප මව් ධර්මාශෝකා
සිරිලක සුදිලේවා...//
කීර්තිය පා... දින දින වැජඹේවා
බෝ කල් සව්සිරිනී...//
සැමකල් සුදිලේවා...//

ගයම් ගයම් ඔබ ගුණ කඳ මහිමේ
වැඩේ වැඩේ අප හද තුළ ප්‍රේමේ...//
සව් මුරු කැළ නිරතුරු ඔබ රකිවා...//
ආසිරි ලැබ බෝවා...//

විදුහල අප මව් ධර්මාශෝකා
සිරිලක සුදිලේවා...//

හිඳ ඔබ සෙවනේ සිසු අප බැතිනේ...//
සනසමු සිරිලක ලබමින ඥානේ
සැමකල් විද්‍යා දදාති විනයං ...//
සඳ සේ සුදිලේවා...//

විදුහල අප මව් ධර්මාශෝකා
සිරිලක සුදිලේවා...//

සියවස සැමරුම[සංස්කරණය]

1913 වර්ෂයේ දී ඇරඹි ධර්මාශෝක විද්‍යාලයට 2013 වසරේ දී වසර සියයක් සපිරුණි. සියවස සැමරීම වෙනුවෙන් පාසල් ප්‍රජාව විසින් විවිධ සැමරුම් සංවිධානය කරනු ලැබූහ.[2]


  • පිරිත සහ දානමය පින්කම

2012 මැයි 11 සහ 12 දෙදින පැවැත්වුණු පිරිත් සහ දානමය පින්කම දම්සෝ සියවස් සැමරුමේ ප්‍රථම අංගය විය.


  • දම්සෝ පා ගමන - Damso Walk

සියවෙනි වසර පිළිගැනීම වෙනුවෙන් ධර්මශෝක පාසැල් ප්‍රජාව අම්බලන්ගොඩ නගරය හරහා ගමන් කළ දම්සෝ පා ගමන සියවස් සැමරුමේ විශේෂිත අංගයක් විය. එය 2012 වසරේ සැප්තැම්බර් මස 8වෙනි දින පැවැත්විණි. ඒ සඳහා දම්සෝ සිසු සිසුවියෝ, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදි සිසු සිසුවියෝ, ආදි විදුහල්පතිවරු සහ ගුරුවරු ඇතුළු බොහෝ පිරිසක් එක් වි සිටිහය.


  • සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන

2012 වසරේ ජූලි 11 දින සිට නොවැම්බර් 3 දින දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ද ඔක්තෝබර් 12 දින ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් ද සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කෙරුණි.


  • දම්සෝ ක්‍රීඩා සැණකෙලිය [3]

2013 පෙබරවාරි 09 සිට 24 දින දක්වා ක්‍රීඩා සැණකෙළිය පැවැත්විණ. එය මේස පන්දු, කි‍්‍රකට්, දැල් පන්දු, මුහුදු පිහිනුම්, මලල කී‍්‍රඩා, පැසිපන්දු, පාපන්දු, චෙස්, බැඞ්මින්ටන් සහ ශිෂ්‍ය භට තූර්යවාදක කණ්ඩායම් තරගාවලින් සමන්විත විය.


  • දම්සෝ මේලා අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ සැණකෙළිය

2013 මාර්තු 23 සිට 30 දක්වා පැවැත්වුණු අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ සැණකෙළිය දම්සෝ සියවස සැමරුමේ ප්‍රධානතම අංගය විය. මෙම ප්‍රදර්ශනයට පෙර අවසන් වරට පාසලේ ප්‍රජාව එක්වී ප්‍රදර්ශනයක් සංවිධානය කරනු ලැබුවේ දම්සෝ 90 සංවත්සරය වෙනුවෙනි.

ක්‍රීඩා කටයුතු[සංස්කරණය]

ධර්මාශෝක විද්‍යාලය ඉතා කීර්තිමත් ක්‍රීඩා කෞෂල්‍යෙන් පිරි ක්‍රීඩකයන් රැසක් බිහිකළ පාසලකි. (ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආදි සිසුන් බලන්න) අධ්‍යයන කටයුතුවලට මෙන්ම ක්‍රීඩා සඳහාද ධර්මාශෝක විදුහල චිරප්‍රසිද්ධ වන අතර ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවේ නියලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකර ඇත. මීට අමතරව පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම සමස්ත ලංකා තරඟ වලදී විශිෂ්ඨ දස්කම් පෙන්වා ඇත. වර්තමානය වන විට පාසලේ ක්‍රියාත්මක වන ක්‍රීඩා පහත පරිදි වේ.

සුනිල සංග්‍රාමය සහ අම්බලන්ගොඩ සැතපුම් දෙකේ මුහුදු පිහිණුම් තරගය පාසල සම්බන්ධ වන, වාර්ෂික ව සංවිධානය කරනු ලබන ප්‍රධාන ක්‍රීඩා අවස්ථා දෙකකි. ධර්මාශෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රිකට් තරගය අම්බලන්ගොඩ නිල් මහ සටන හෙවත් සුනිල සංග්‍රාමය ලෙස හැදින්වේ. මෙය අම්බලන්ගොඩ නගර සභා පිටියේ දී පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගයකි. ධර්මාශෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විවෘත සැතපුම් 2 මුහුදු පිහිනුම් උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි . අම්බලන්ගොඩ මුහුදු වෙරළ තීරයේ පවත්වනු ලබන මෙහි පිරිමි හා කාන්තා තරඟ කනිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ අංශ දෙකෙන්ම පවත්වනු ලබයි.

2011 වසරේ සිට ආදි දම්සෝ චෙස් සංගමය විසින් “දම්සෝ අන්තර්ජාතික චෙස් තරගාවලිය“ නමින් වාර්ෂික ව අන්තර්ජාතික චෙස් උළෙලක් සංවිධානය කරනු ලබයි. එය දකුණු පලාතේ පාසලක් විසින් අන්තර්ජාතික චෙස් තරගාවලියක් සංවිධානය කරන ප්‍රථම අවස්ථාව වූ අතර අන්තර්ජාතික චෙස් තරගාවලි සංවිධාන කරන ශ්‍රී ලංකාවේ පාසල් ඇත්තේ අතලොස්සකි.

ශිෂ්‍ය සංගම් සහ විවිධ කණ්ඩායම්[සංස්කරණය]

  • ආර්ථික විද්‍යා සංගමය
  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
  • ගුවන් ශිෂ්‍යභට බලකාය (බාලක/බාලිකා)
  • නව නිපැයුම්කරුවන්ගේ සංගමය
  • නාට්‍ය ඒකකය
  • තාරකා විද්‍යා සංගමය
  • තොරතුරු තාක්ෂණ සංගමය
  • තූර්ය වාදන කණ්ඩායම්

  • දැනුම් මිනුම කණ්ඩායම්
  • නාවික ශිෂ්‍යභට බලකාය (බාලක/බාලිකා)
  • බාලදක්ෂිකා කණ්ඩායම්
  • බෞද්ධ ශිෂ්‍ය සංගමය
  • රසික පර්ෂදය
  • රිය නියාමක සංගමය
  • වාණිජ සංගමය

  • වෙස් නැටුම් කණ්ඩායම
  • විද්‍යා ශිෂ්‍ය සංගමය
  • සිංහල මාධ්‍ය ඒකකය
  • සිංහල සාහිත්‍ය සංගමය (කණිෂ්ඨ)
  • සිංහල සාහිතය සංගමය (ජ්‍යේෂ්ඨ)
  • සොබාදහම් සිසු හවුල
  • සෞඛ්‍ය දාන සංගමය
  • ශිෂ්‍යභට බලකාය (බාලක/බාලිකා)
  • ගුවන් බාලදක්ෂ කණ්ඩායම

ආදි සිසුන්[සංස්කරණය]

පූජ්‍ය[සංස්කරණය]

  • ගරුතර අම්බලන්ගොඩ වජිරවංස හිමිපාණන් (වර්තමානයේ තායිලන්තයේ වැඩවසයි)

අධ්‍යාපන[සංස්කරණය]

  • එල්. එච්. සුමනදාස මහතා - මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති
  • චන්ද්‍ර පටුවතවිතාන මහතා - මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති
  • ජී. ටී. එස් ද සිල්වා මහතා - උපකුලපති
  • එල්. එල්. කේ. ගුණතුංග මහතා - හිටපු විභාග කොමසාරිස්
  • කේ. ටී. ඩබ්. සුමනසූරිය මහතා - හිටපු විභාග කොමසාරිස්
  • එල්. එම්. මෙත්තානන්ද මහතා - කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති
  • එම්. ඩබ්. කරුණානන්ද මහතා - කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති
  • එස්. කේ. මෙත්තානන්ද මහතා - කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති
  • ජේ. ඊ. ජයසූරිය මහතා
  • ජෝර්ජ් නම්බයියා පිල්ලේ මහතා
  • සභාරත්න කුලසූරිය මහතා
  • ඩබ්. ඒ. එස්. ද සිල්වා මහතා
  • ඒ. ජේ. ගුණවර්ධන මහතා
  • ඒ. ඩී. වී. ද එස් ඉන්ද්‍රරත්න මහතා
  • ජී. බී. ගුණවර්ධන මහතා
  • උපාලි ජයසේකර මහතා
  • ඉන්ද්‍රජිත් අමරසිංහ මහතා
  • ප්‍රේමලතා කුඩලිගම මිය
  • රාජා ද අල්විස් මහතා
  • ජීවාන්ති ද සිල්වා මිය
  • එම්. ඩී. විමලසූරිය මහතා
  • කේ. ජී. කුලසේන මහතා

දේශපාලන[සංස්කරණය]

  • සරත් ෆොන්සේකා මහතා - පාර්ලිමේන්තු මන්ත්‍රී හා අමාත්‍ය, හිටපු හමුදාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු ජනරාල්, ශ්‍රී ලංකාවේ හිටපු ආරත්ෂත මණ්ඩල ප්‍රධානි, ශ්‍රී ලංකාවේ 2010 ජනාධිපතිවරණයෙහි විපක්ෂ පොදු අපේක්ෂක
  • සී. පී. ද සිල්වා මහතා - හිටපු කැබිනට් අමාත්‍ය
  • සුනිල් හඳුන්නෙත්ති මහතා - පාර්ලිමේන්තු මන්ත්‍රී
  • අනගාරික රයිටර් තිලකසේකර - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • බුද්ධික කුරුකුලරත්න මහතා- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • ආර්. ලක්මන් ද සිල්වා මහතා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • ආර්. ජී. සමරනායක මතා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • ආරියපාල වල්පිටගම මහතා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වරාය සහ නාවික කටයුතු පිළිබඳ හිටපු ලේකම්
  • ජේ. එල්. සිරි‍සේන (ජසෙන්තුලියන සිරිසේන) මහතා- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සමාජ සේවා පිළිබඳ කැබිනට් අමාත්‍ය
  • නන්දිමිත්‍ර ජී. ද සොයිසා මහතා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය
  • කීර්ති මාවැල්ලගේ මහතා
  • ෂාන් විජයලාල් ද සිල්වා මහතා - දකුණු පලාත් ප්‍රධාන අමාත්‍ය
  • රෝහණ විජේවීර මහතා - ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක
  • සුමිත් ද සොයිසා - බස්නාහිර පළාත් සභා මන්ත්‍රී

අධිකරණ[සංස්කරණය]

  • ගරු සිසිර ද ආබ්‍රෘ මහතා - අභියාචනාධිකරණ විනිසුරු
  • ගරු කේ. ටී. චිත්‍රසිරි මහතා - අභියාචනාධිකරණ විනිසුරු
  • ගරු සී. පී. කීර්තිසිංහ මතා - මහාධිකරණ විනිසුරු
  • ගරු ඩඩ්ලි කුලරත්න මහතා - මහාධිකරණ විනිසුරු (විශ්‍රාමික) සහ අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ඇති වැඩිහිටි සමථ මණ්ඩලයේ සභාපති
  • ගරු කුමාර් ඒකරත්න මහතා - මහාධිකරණ විනිසුරු (විශ්‍රාමික) සහ අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්
  • ගරු සරත් කරුණාරත්න මහතා- දිස්ත්‍රික් විනිසුරු (විශ්‍රාමික)
  • ගරු ඒ. එම්. ඒ. වසන්ත කුමාර මහතා - දිස්ත්‍රික් විනිසුරු
  • ගරු එස්. එස්. කේ. විතාන මහතා - දිස්ත්‍රික් විනිසුරු
  • ගරු කේ. ඩී. එල්. සමන් කුමාර මහතා - දිස්ත්‍රික් විනිසුරු
  • ටී. එස්. ද සිල්වා මහතා - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
  • ජී. ඩී. ද සිල්වා මහතා - සොලිසිටර් ජනරාල්

රාජ්‍ය පාලන[සංස්කරණය]

  • ඩබ්. එම්. මහින්ද දේශප්‍රිය මහතා - මැතිවරණ කොමසාරිස්
  • ආචාර්ය නීලා ගුණසේකර
  • එම්. එස්. ද සිල්වා මහතා - විගණකාධිපති
  • ආචාර්ය දමිත ද සොයිසා - ධීවර අමාත්‍යාංශ ලේකම්
  • උපුලි ගුණසේකර මිය - බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (අතිරේක)
  • චන්දන තිලකරත්න ඕපාතවිතාන මහතා - අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්
  • කලා විභූෂණ පද්මසීල ද සිල්වා මහතා, BA;SLAS - හිටපු, කුඩා කර්මාන්ත අධ්‍යක්ෂ , කම්කරු අමාත්‍යාංශ ලේකම්
  • ආචාර්ය කේ. ජී. උදය කුමාර ඉන්ද්‍රරත්න මහතා - ඩුබායි රජයේ සංචාරක සහ වාණීජ්‍ය අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ විධායක අධ්‍යක්ෂ :ප්‍රතිපත්ති සහ මූලෝපාය
  • ඒ. ආර්. සී. පෙරේරා මහතා - බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ඩොමිනිකා ජනරජයේ ඇටර්නි ජනරාල් සහ ශ්‍රී ලංකාවේ හිටපු සහකාර සොලිසිටර් ජනරාල්
  • පැට්‍රික් ද අල්විස් මහතා -(Attorney-at-Law), ශ්‍රී ලංකා ප්‍රවෘත්ති මණ්ඩලයේ හිටපු සභාපති
  • වසන්ත දේශප්‍රිය - ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේද තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක
  • කුෂාණි රෝහණධීර - පාර්ලිමේන්තු සහකාර මහලේකම්[4]
  • ජයන්ත කොඩිකාර - හිටපු අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල්

හමුදා සහ පොලිසිය[සංස්කරණය]

  • සරත් ෆොන්සේකා මහතා - හිටපු හමුදාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු ජනරාල්, ශ්‍රී ලංකාවේ හිටපු ආරත්ෂත මණ්ඩල ප්‍රධානි
  • එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි - හිටපු ගුවන්හමුදාපති
  • ඔස්මන්ඩ් ද සිල්වා මහතා - හිටපු පොලිස්පති
  • ඉන්ද්‍රා ද සිල්වා මහතා - හිටපු පොලිස්පති
  • මේජර් ජනරාල් එම්. ඩී. ප්‍රනාන්දු මහතා
  • තිලක් පොන්නම්පෙරුම මහතා
  • නාවික කොමදෝරු සොලමන් ප්‍රනාන්දු මහතා
  • මේජර් ජනරාල් කපිල හේවාවිතාරණ මහතා
  • මේජර් ජනරාල් සුනිල් ද සිල්වා මහතා
  • මේජර් ජනරාල් සනත් කරුණාරත්න මහතා
  • මේජර් ජනරාල් රංජිත් පී. විතාන මහතා
  • ඉන්ද්‍රදාස ගොඩහේවා මහතා - ජාතික බුද්ධි කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ
  • ටී. එන්. ද සිල්වා මහතා - හිටපු නියෝජ්‍ය පොලිස්පති
  • එන්. ධනසිංහ මහතා - බන්ධනාගාර කොමසාරිස්

වෛද්‍ය[සංස්කරණය]

  • මහාචාර්ය ඩබ්. අයි. අබේසිංහ, FCOG(Sri Lanka), FRCOG(Gt. Brit.) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති , ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මහාචාර්ය
  • ආචාර්ය අමල් හර්ෂ ද සිල්වා මහතා - බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
  • ආචාර්ය පින්නදූවගේ ආරියරත්න ද සිල්වා මහතා, වෛද්‍ය සේවය සඳහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිළධාරී , FRCP(London), FRCS(Edin), FRCS(Glas), FRCOG (Gt.Brit.), FCOG(Sri Lanka), ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (
  • ශ්‍රී ලාල් ද සිල්වා මහතා - ළමා රෝග විශේෂඥ
  • ආචාර්ය සුමනසීල ද සිල්වා මහතා - ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය , සහකාර මහාචාර්ය, ශාන්ත ජෝර්ජ් වෛද්‍ය විද්‍යාලය, ග්‍රැනඩා, ඇ.එ.ජ.
  • සුනිල් ද සිල්වා මහතා - මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය
  • මුදිත ජයතිලක මහතා - සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
  • මහාචාර්ය සරත් ලේකම්වසම් - වෛද්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය
  • ආචාර්ය කේ. ඩී. මහින්ද - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලය
  • ආචාර්ය ජානක ලෙනෝරා - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලය
  • ආචාර්ය ශාන්ති පරණවිතාන - සහකාර මහාචාර්ය, හැම්ප්ටන් විශ්වවිද්‍යාලය, ඇ.එ.ජ.
  • පී. වරුෂවිතාන මහතා - නිර්වින්දන විශේෂඥ වෛද්‍ය
  • ඊ. එල්. චන්ද්‍රකාන්ත මහතා - ළමා රෝග විශේෂඥ වෛද්‍ය
  • සේනක රාජපක්ෂ මහතා, MBBS,MD,FRCP - කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අංශයේ අංශ ප්‍රධාන
  • රුවන් ප්‍රනාන්දු මහතා - ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ඉංජිනේරු[සංස්කරණය]

  • මහාචාර්ය සිසිල් කුමාරවඩු මහතා - ඉංජිනේරු පර්යේෂන අංශයේ අධ්‍යක්ෂ, මොරටුව විශ්වවිද්‍යාලය
  • ටී. සුදත් ප්‍රියන්ත ද සිල්වා මහතා - ශ්‍රී ලංකාවේ මහජන උපයෝගීතා කොමිසමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක
  • ආචාර්ය කසුන් ද සොයිසා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය

ගෘහ නිර්මාණ[සංස්කරණය]

  • එම්. ඩබ්. ජිනේන්ද්‍රලාල් මහතා
  • දිල්රුක් දයාරත්න මහතා
  • සුරින් දිලූප හල්විටිගල මහතා

කලාව[සංස්කරණය]

  • සංගීතවේදී ගුණදාස කපුගේ
  • බර්නාඩ් ‍ලොකුගේ
  • ජයසිරි සේමගේ
  • සී. ද. එස්. කුලතිලක
  • ජයශ්‍රී චන්ද්‍රජිත්
  • බන්දුල විතානගේ
  • අනුලා ද සිල්වා
  • සුනන්ද දේශප්‍රිය
  • ඉමාන් පෙරේරා
  • චන්ද්‍රසෝම බින්දුහේවා
  • ජයමිණී ද සිල්වා
  • සුදර්ශන බණ්ඩාර

ක්‍රීඩාව[සංස්කරණය]

  • උපුල් තරංග - ජාතික ක්‍රිකට් ක්‍රීඩක
  • දිනේෂ් චන්දිමාල් ජාතික ක්‍රිකට් ක්‍රීඩක
  • සමන් ජයන්ත - ජාතික ක්‍රිකට් ක්‍රීඩක
  • අජිත් ද සිල්වා - ජාතික ක්‍රිකට් ක්‍රීඩක
  • කේ. පී. එන්. පත්මදේව - පිහිනුම් ක්‍රීඩක
  • නිලූක කරුණාරත්න - ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩක
  • ටී. ජී. කැමරන් කුමාර ද සිල්වා - හිටපු ජාතික පිහිනුම් ක්‍රීඩක
  • නාමල් ගුණසේකර -මේස පන්දු ක්‍රීඩිකා
  • දිල්හානි ද සිල්වා - බැඩ්මින්ටන් ක්‍රීඩිකා
  • ලක්ෂි නි‍රෝෂනී ද සිල්වා - බැඩ්මින්ටන් ර්‍කීඩිකා
  • ජී. ඩබ්. චන්ද්‍රසේන - හිටපු ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩක
  • කාංචන රාජපක්ෂ - හිටපු ජාතික පිහිනුම් ක්‍රීඩක

ජාත්‍යන්තර සංවිධාන[සංස්කරණය]

  • නිපුල් ගුණසේකර මහතා - එක්සත් ජාතීන්ගේ සාමාරක්ෂක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව
  • ජගත් පෙත්තාවඩු මහතා - ආසියානු සංවර්ධන බැංකුව

පරිශීලන[සංස්කරණය]

  1. දම්සෝ විදුදරයින්ගේ තාක්ෂණික සංසදය මගින් එළිදක්වන ලද සත්සර පුවත්පතෙහි, 2003 අගෝස්තු - සැප්තැම්බර් කලාපයේ, ධර්මාශෝක විද්‍යාලයීය 90 වන සංවත්සරය වෙනුවෙන් පලකෙරුණු විදුහල අප මව් ධර්මාශෝකා.. ඉතිහාසයෙන් බිඳක් යන ලිපියෙහි ඇති කරුණු ඇසුරෙන් සකස් කරන ලදී. එම ලිපිය ධර්මාශෝක විද්‍යාලයීය හිටපු විදුහල්පති ඒ. ජී. අයි. ද සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද්දකි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://blog.practicalsanskrit.com/2009/07/knowledge-leads-to-happiness.html
  2. "සියවස සැමරුම". සම්ප්‍රවේශය 21 පෙබරවාරි 2014. 
  3. "දම්සෝ ක්‍රීඩා සැණකෙළිය".  Text "urlhttp://www.lankadeepa.lk/index.php/articles/96895 " ignored (help);
  4. "දම්සෝ දියණියක මැති සබේ ලොකු පුටුවකට". සම්ප්‍රවේශය 8 අගෝස්තු 2012‎.  Check date values in: |access-date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ධර්මාශෝක_විද්‍යාලය&oldid=428748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි