දක්ෂිණ සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(දකුණු ඇ.එ.ජ.හි සාහිත්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

දක්ෂිණ සාහිත්‍යය (ඇමරිකානු දකුණේ සාහිත්‍යය ලෙසින්ද සමහරවිට හැඳින්වේ) යන්න අර්ථදැක්වෙන්නේ දක්ෂිණ එක්සත් ජනපද පිළිබඳ හෝ එම ප්‍රදේශයන්ගෙන් එන ලේඛකයන් විසින් හෝ රචිත ඇමරිකානු සාහිත්‍යය ලෙසිනි. දක්ෂිණ සාහිත්‍යයෙහි ගුණාංග අතර පොදු දක්ෂිණ ඉතිහාසයක්, පවුල යන්නෙහි වැදගත්කම, ප්‍රජාව සහ එය තුල යමෙකුගේ භූමිකාව පිළිබඳ හැඟීමක්, යුක්තිය පිළිබඳ හැඟීමක්, ප්‍රදේශයෙහි ප්‍රමුඛ ආගම (ක්‍රිස්තියානි ධර්මයප්‍රොතෙස්තන්තවාදය බලන්න) සහ ආගම විසින් බොහෝවිට ගෙනඑන කරදර/ශුභඵල, වාර්ගික ආතතිය හා බැඳි ප්‍රශ්න, භූමිය හා එය රැගෙන එන පොරොන්දු, සමාජ පංතිය හා තත්ත්වය පිළිබඳ හැඟීමක්, සහ දක්ෂිණ උපභාෂාව භාවිතය පිළිබඳ අවධානය යොමුකිරීම්ද අඩංගු වෙති.[1]

නූතන අර්ථදැක්වීම තද රතු පැහැයෙන් දැක්වෙන ජනපදයන් දක්ෂිණ එක්සත් ජනපදය යන්නෙහි නූතන අර්ථදැක්වීමට සැමවිටම පාහේ අඩංගු වන අතර, මද රතු පැහැති ජනපද සාමාන්‍ය ලෙසින් අඩංගු වෙති. ඉරි සහිත ජනපද සමහරවිට /කලාතුරකින් දක්ෂිණ ලෙසින් සැලකෙති [2][3]

දක්ෂිණ සාහිත්‍යයෙහි සමාලෝචනය[සංස්කරණය]

එහි සරලතම පැවැත්ම අනුව, දක්ෂිණ සාහිත්‍යය සමන්විත වන්නේ ඇමරිකානු දකුණ පිළිබඳ ලියැවීම් වලින් වෙති —ඓතිහාසික මෙන්ම භූගෝලීය හේතූන් නිසාවෙන්, දකුණ ලෙසින් අර්ථ දැක්වෙන්නේ, දකුණු කැරොලයිනා, ජෝර්ජියා, ෆ්ලොරිඩා, ඇලබාමා, උතුරු කැරොලයිනා, වර්ජිනියා, ටෙනසී, මිසිසිපි, ලූසියෑනා, ටෙක්සාස්, ඔක්ලහෝමා, කෙන්ටාකි, බටහිර වර්ජිනියා සහ ආකැන්සාස් යන ජනපද වෙති.[4] දකුණ පිළිබඳ සිවිල් යුද්ධයට-පූර්ව අර්ථදැක්වීම් වලට මිසූරි, මෙරිලන්ඩ්, සහ ඩෙලවෙයා යන ජනපදයන්ද ඇතුළු වූහ.

දක්ෂිණ සාහිත්‍යයෙහි භූගෝලීය සංඝටකයට අමතරව, සමහරක් තේමාවන් පැනනැගී ඇත්තේ වහල්භාවය, ඇමරිකානු සිවිල් යුද්ධය, සහ යළිගොඩනැඟීම යන්න පිළිබඳව දකුණු ජනපද අතර පැවැති සමාන ඉතිහාසයන් නිසාවෙනි. දකුණෙහි ගතානුගතික සංස්කෘතිය හේතුවෙන්, දක්ෂිණ සාහිත්‍යය තුල, පෞද්ගලික සහ සමාජීය ජීවිතය තුල පවුල, ආගම, ප්‍රජාව යන්නෙහි වැදගත් බව, දක්ෂිණ උපභාෂාව භාවිතය,[1] සහ "ස්ථානය" පිළිබඳ මහත් හැඟීමක්ද ජනිතවී තිබුණි.[5]වර්ගවාදී ගැටළු හා බැඳි දකුනේ ඉතිහාසයද එහි සාහිත්‍යය තුල දිගින් දිගටම එළිදැක්විණි.[6]

මෙවන් පොදු තේමා පැවතුනද, ලේඛකයන් හා ඔවුන්ගේ සාහිත්‍යය "දක්ෂිණ" කරනුයේ කුමක්දැයි වාද විවාද පවතියි. නිදසුනක් ලෙසින්, දක්ෂිණ සාහිත්‍යයෙහි පියා යැයි තර්ක කල හැකි [ඇයි?], මාක් ට්වේන් විසින්, ඔහුගේ ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හකල්බරි ෆින් යන නවකතාව වෙතින්, බොහෝ දෙනා දක්ෂිණ ලේඛනය හා සමග දකින බොහෝ ගුණාංග අර්ථදැක්වීය. තමා "දක්ෂිණ ලේඛකයෙක්" ලෙසින් පවා හේ හැඳින්වීය [උපහරණ ඇවැසිය]. මෙයට අමතර ලෙසින්, බොහෝ ජනප්‍රිය දක්ෂිණ ලේඛකයින් උතුරු එ.ජ. වෙත සංක්‍රමණය වන්නේ එසේ කිරීමට ඔවුන්ට හැකි තරම් වයස්ගතවූ සැනිණි. එබැවින් භූගෝලීය කරුණු හේතු වශයෙන් සැලකිය හැකි වුවද, ලේඛකයෙකුගේ භූගෝලීය උපත පමණක් දක්ෂිණ ලේඛක ඌරුව අර්ථදක්වන හේතුව නොවෙයි.

දක්ෂිණ සාහිත්‍යයෙහි ඉතිහාසය[සංස්කරණය]

ආදිතම සහ යුදට-පෙර සාහිත්‍යය[සංස්කරණය]

17වන සහ 18වන සියවස්හිදී, ඇමරිකානු ජනාවාසයන්හී දක්ෂිණ කොටසෙහිවූ ඉංග්‍රීසි ජනපදිකයෝ, සැලකිය යුතු තරම් ඉහළ තත්ත්වයකවූ කෘතින් කිහිපයක් එලිදැක්වූහ. මේවා අතුරින් වඩාත් ජනප්‍රිය කෘතීන් දෙක වන්නේ වර්ජීනියා පිළිබඳ මුල් මතක සටහන් වන: 1610 ගණන් හා 1620 ගණන් වලදී ජේම්ස්ටවුන් ඇරඹීම පිළිබඳ කපිතාන් ජේම්ස් ස්මිත්ගේ විස්තරය, සහ 18වන සියවසෙහි මුල් භාගයෙහිදී දෙවන විලියම් බර්ඩ්ගේ රහසේ තැබූ වතු දින සටහන් වෙති. ආදි දක්ෂිණ ඉතිහාසයෙහි වැදගත් කෘතීන් ලෙසට මෙම ස්මරණ සටහන් දෙකම සැලකෙති.

ඇමරිකානු නිදහසෙන් අනතුරුව, 19වන සියවසෙහිදී මුල් භාගයේදී, කපු වගාව සහ වහල් සේවය ව්‍යාප්තවීමත් සමගම, තුරුණු ජනරජයෙහි අනෙක් කොටස් වලින් නිසැක වශයෙන් වෙනස් බවක් දක්ෂිණ සමාජය සහ සංස්කෘතිය ප්‍රදක්ෂිණා කිරීමට පටන් ගති. මෙම යුදට-පෙර යුගයෙහිදී, දකුණු කැරොලයිනා, සහ විශේෂිත වශයෙන් චාර්ල්ස්ටන් නගරය විසින් සාක්ෂරතාව සහිත ප්‍රජාවක් යන්න අරභයා වර්ජිනියා වෙත තරගකාරීත්වයක් සපයමින් සමහරවිට එය පසු කර ගිය බවක් පෙනී යයි. චාර්ල්ස්ටන්හී ලේඛන කලාව විමසුවොත්, නීතිඥ හා නිබන්ධක හියු ස්වින්ටන් ලෙගාර්, කිවිවරුන්වූ පෝල් හැමිල්ටන් හේනි සහ හෙන්රි ටිම්රොඩ්, සහ නවකතාකරු විලියම් ගිල්මෝර් සිම්ස් විසින් යුදට-පෙර දක්ෂිණ සාහිත්‍යයේ අති වැදගත් කෘතීන් සම්පාදනය කල බව පෙනී යයි.

සිම්ස් විශේෂයෙන් බෙහෙවින් වැදගත් පුද්ගලයෙක් වූ අතර, සමහරවිට ඇමරිකානු සිවිල් යුද්ධයට පෙර බිහිවූ අතිශයින් වැදගත් දක්ෂිණ ගත්කතුවරයා විය. යුද බිමෙහි සීමාවෙහි ජීවිතය හා ඇමරිකානු විප්ලවය පිළිබඳ ඔහුගේ නවකතා දකුණු කැරොලයිනාහී ඉතිහාසය විචිත්‍රවත්ව සටහන් කලේය. ජේම්ස් ෆෙනිමෝර් කූපර් මෙන්ම, සිම්ස්ද වෝල්ටර් ස්කොට් වෙතින් ඉමහත් ආභාෂයක් ලද අතර, ඔහුගේ කෘතීන් වෙත ස්කොට්ගේ වීර අද්භූතවාදයෙහි මුද්‍රාව පැවතිණි. ද යෙමසේ, ද කින්ස්මන්, සහ අන්කල් ටොම්ස් කැබින්-විරෝධි නවකතාවවූ ද ස්වෝර්ඩ් ඇන්ඩ් ද ඩිස්ටාෆ්හී , සිම්ස් විසින් වහල් සේවය හා දක්ෂිණ ජීවිතය පිළිබඳ පරමාදර්ශිකෘත සිත්තමක් ගෙනහැරපෑවේය. දකුණු කැරොලයිනාහී ජනප්‍රිය හා ඉමහත් ගෞරවයට පාත්‍රවූ නමුදු—හා එඩ්ගා ඇලන් පෝ වැනි විවේචකයන් විසින් මහත් ලෙස වර්ණනාකෙරුනද-- ඉමහත් ජාතික ප්‍රේක්ෂක ගණයෙහි හරසර ලැබීමට සිම්ස් කිසිලෙසින් සමත් නොවිය.

සමහරක් විවේචකයන් විසින් පෝ සැලකෙන්නේද දක්ෂිණ ගත්කතුවරයෙක් ලෙසය— රිච්මන්ඩ්හී ඇතිදැඩිවූ ඔහු, වර්ජීනියා විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය ලද අතර, 1835 සිට 1837 දක්වා සදර්න් ලිටරරි මෙසෙන්ජර් සංස්කරණය කලේය. එහෙත් ඔහුගේ කාව්‍යයන් හා ප්‍රබන්ධයන් විසින් සුවිශේෂිවූ දක්ෂිණ තේමාවන් හෝ විෂයයන් වස්තු බීජ කරගත්තේ විරල ලෙසිනි; "දක්ෂිණ" ලේඛකයෙක් ලෙසින් ඔහුගේ තරාතිරම නොපැහැදිලි බවක් දක්වයි.

මේ අතර, චෙසපීක් ප්‍රදේශය වෙතින් සැලකිය යුතු උනන්දුවක් අප වෙත ඇති කරන යුදට-පෙර ගත්කතුවරු අතර, ඔහුගේ ෂැලෝ බාන් නවකථාව අනුසාරයෙන් වර්ජිනියා වතු ජීවිතය පිළිබඳව විචිත්‍ර විස්තරයක් ඉස්මතු කල ජෝන් පෙන්ඩල්ටව් කෙනඩි; සහ වර්ජීනියාව තුල ෆෙඩරල් හා බෙදුම්වාදී පාර්ශව අතර ගරිල්ලා යුද්ධයක් සංකල්පනය කරමින් රචිත ඔහුගේ 1836 කෘතියවූ ද පාර්ටිසන් ලීඩර් වෙතින් දක්ෂිණ ජනපද වෙන්වීයෑම පිළිබඳ අනාවැකි පල කල නැතෑනියල් බෙවර්ලි ටකර් වෙති.

මෙම යුගයේ සැලකියයුතු දක්ෂිණ ගත්කතුවරු සියළුදෙනා සුදු ජාතිකයෝ නොවූහ. යුදට-පෙර දකුණෙහි කළු වහල් සේවය පිළිබඳ මහත් ජනප්‍රිය ස්වයං-රචිත විස්තරය වූයේ ෆ්‍රෙඩ්රික් ඩග්ලස්ගේ ආඛ්‍යානය වෙයි. මේ අතර, හැරියට් ජේකබ්ස්, උතුරු කැරොලිනාවේ ඇය දාසභාවය ගෙවමින් ගත කල දිවියෙහි අත්දැකීම් ඉන්සිඩන්ට්ස් ඉන් ද ලයිෆ් ඔෆ් අ ස්ලේව් ගර්ල් හි යළි විස්තර කලාය. තවත් දකුණේ -උපන් පූර්ව-වහලෙකුවූ, විලියම් වෙල්ස් බ්‍රවුන් විසින්, ක්ලොටෙල්; ඕ, ද ප්‍රසිඩන්ට්ස් ඩෝටර් ලියන ලදි -- අප්‍රිකානු-ඇමරිකානුවෙකු විසින් ප්‍රකාශයට පත් කරන ලද පළමු නවකථාව මෙය බවට පුළුල් පිළිගැනුමක් පවතියි. තෝමස් ජෙෆර්සන් ට දාව ඔහුගේ කළු අනියම් භාර්යාවට උපන් දියණියක වන එහි මාතෘකා චරිතයෙහි ජීවිතය මෙම ග්‍රන්ථය විසින් විස්තර කෙරෙන අතර වහල් සේවය තුල ඇය අත්විඳින අපහසුතාද විස්තර කෙරේ.

"වැරදුනු තැත" දුක විඳි කාලය[සංස්කරණය]

19වන සියවසෙහි දෙවන අඩෙහිදී, දකුණ සිවිල් යුද්ධයෙන් පැරදී ගත කල දුක් බර කාලය බොහෝ සුදු ජාතික දක්ෂිණ ජනපදිකයක් හැඳින්වූයේ කටුක අධිවාසයක් ( යළිගොඩනැඟීම ලෙස හැඳින්වුණි) ලෙසිනි. ටොම්-විරෝධි සාහිත්‍යය වෙනුවට "සන්ධානයෙහි වැරදුනු තැත" පිළිබඳ කාව්‍යයන් හා නවකථා එළිදැක්විණි. යුද්ධය අවසන්වූ වහාම පාහේ මෙම කාංක්ෂා සහගත සාහිත්‍යය එළිදැක්වීම ඇරඹිණි; ද කොන්කර්ඩ් බැනර් 1865 ජූනි 24 දින ප්‍රකාශයට පත් කෙරිණි. ලේඛකයන් විසින් පරමාදර්ශීකෘත කෙරුණේ පරාජයට පත් දකුණ හා එහි නෂ්ටවූ සංස්කෘතියයි. මෙම දෘෂ්ටි කෝණය සහිත ප්‍රමුඛ ලේඛකයන් අතර, හෙන්රි ටිම්රොඩ්, ඩැනියෙල් බී. ලූකස්, ඒබ්රම් ජෝසප් රයාන්, සහ සිඩ්නි ලේනියර් යන කවියෝ සහ තෝමස් නෙල්සන් පේජ් යන ප්‍රබන්ධ ලේඛකයා වූහ. අප්‍රිකානු ඇමරිකානු ලේඛක චාල්ස් ඩබ්. චෙස්නට් වැනි අනෙකුන්, මෙම කාංසාව බැහැර කරමින් වර්ගවාදය සහ මෙම කාල සීමාව තුලදී දකුණේ කළු ජාතිකයන් සූරාකෑම වෙත අවධානය යොමු කලහ.

19වන සියවසෙහි වඩාත් වැදගත් දක්ෂිණ නවකථාව යැයි කර්ක කල හැකි, ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හකල්බරි ෆින් 1884දී මාක් ට්වේන් විසින් ප්‍රකාශයට පත් කෙරිණි . මෙම නවකථාව ගැන අර්නස්ට් හෙමිංවේ කියා සිටියේ "මාක් ට්වේන්ගේ හකල්බරි ෆින් නම් එක් ග්‍රන්ථයක් තුලින් සියළු නූතන ඇමරිකානු සාහික්‍යය ගලා එයි" යනුවෙනි. මෙම ප්‍රකාශය දක්ෂිණ සාහිත්‍යය වෙත ගැඹුරු ලෙසින් අදාල වන්නේ මෙම නවකතාව විසින් වර්ගය හා ප්‍රචණ්ඩත්වය යන දේ හසුරුවා ඇති අවංක ආකාරය නිසාය.

කේට් චොපින් යනු පශ්චාත්-සිවිල් යුද්ධ සමයෙහි දක්ෂිණ සාහිත්‍යයෙහි තවත් කේන්ද්‍රිය තැනැත්තියකි. ලූසියෑනාහී අකාඩියාන්/කේජන් ප්‍රජාවන් පිළිබඳ ඇයගේ ලේඛන අවධානය යොමු කල ඇය, බායු ෆෝක් (1894) සහ අ නයිට් ඉන් ඇකඩී (1897) යන කෙටිකතා සංග්‍රහයන්ගෙන් ඇයගේ සාහිත්‍යමය කීර්තියට පදනම් දැමුවාය. මෙම කතා වෙතින් විශේෂිත දක්ෂිණ සංස්කෘතිය විචිත්‍රවත් ලෙසින් හුවා දැක්වීමට අමතරව අනන්‍ය ලෙසින් වැදගත් සහ සංකීර්ණ ආඛ්‍යාන රීතියක් දක්වා ඇමරිකානු කෙටිකතාවෙහි උරුමය වැඩිදියුණු කිරීම සිදුවිය. එසේ වුවද, කිසියම් වෙනස් ආකාරයක අපකීර්තියක් ඇය විසින් අත්පත් කර ගත්තේ ඇයගේ දෙවන හා අවසන් නවකතාවවූ දි අවේකනින් (1899) යන්න ප්‍රකාශයට පත්වීම හා සමගමය. මෙම නවකතාව විසින් ස්ත්‍රී ලිංගිකත්වය හා මනෝවිද්‍යාව පිළිබඳ ව අව්‍යාජ හා භාවාත්මක නොවන නිරූපණයක් කරමින් ශ්‍රාවක ජනයා කම්පනයට පත් කල අතරම (බල්සක්ගෙන් පසුව බටහිර නවකතාව අභිභවනය කල යථාර්ථවාදය පදනම් කර ගත්) බාරදූර ප්‍රභේදයක් සහ එහි චරිතයන්හී සංකීර්ණ සහ අපිරිසුදු භාවාත්මක දිවිපෙවෙත් නිරාකරණය කරගත්තක් වෙත දක්ෂිණ නවකතාව පමුණුවාගැනුමට හේතු පාදක විය. ඇමරිකානු සාහිත්‍යයේ ඉතාම වැදගත් කාන්තා ලේඛිකාවක් බවට වර්තමානයේ ඇය සැලකෙනවාට අමතරව, ප්‍රාග්-සිවිල් යුද්ධ දකුණෙහි ඉතා වැදගත් වාර්තාකරුවන් අතුරින් එක් අයෙකු ලෙසින් හා කාන්තා අත්දැකීම්හී සංකීර්ණත්වය එලෙසින්ම හා අවමන්කිරීමකින් තොරව සැලකූ පළමු ලේඛකයන් කිහිප දෙනාගෙන් කෙනෙකු ලෙසින් සැලකෙයි.

20වන සියවෙසහි පළමු භාගෙයහිදී, නීතිඥවරයෙකු, දේශපාලනඥවරයෙකු, දේවගැතිවරයෙකු, කථිකයෙකු, නළුවෙකු, සහ ගත්කතුවරයෙකු වූ තෝමස් ඩික්සන්, කණි. අතින් බොහෝ නවකතා, නාට්‍ය, දේශනා, සහ ප්‍රබන්ධ -නොවන කෘති සම්පාදනය වූ අතර මේවා ඇඑජ පුරා පොදු ජනතාව අතර බොහෝ ලෙසින් ජනප්‍රිය විය. යළිගොඩනැගීම පිළිබඳ නවකතා ග්‍රන්ථත්‍රිකයන් ලිවීම සම්බන්ධයෙන් ඩික්සන් වර්තමානයෙහි සිහිපත් කෙරෙන අතර, ද ක්ලැන්ස්මන් (1905) යන නම් ලද එයින් එකක්වූ ග්‍රන්ථයක්, ඩී.ඩබ්.ග්‍රිෆිත්ගේ අපකීර්තිමත් 1915 චිත්‍රපටය ද බර්ත් ඔෆ් අ නේෂන් නිර්මාණයට ඉවහල් වූවා යැයි සැලකෙයි. සමස්තයක් වශයෙන් ගත් කල ඔහුගේ ජීවිත කාලය තුලදී ඩික්සක් විසින් නවකතා 22ක්, බොහෝ නාට්‍ය සහ චිත්‍රපට අත්පිටපත්, ක්‍රිස්තියානි දේශන, සහ ප්‍රබන්ධ-නොවන කෘති කිහිපයක් රචනා කෙරිණි.

දක්ෂිණ පුනරුදය[සංස්කරණය]

1920 ගණන් සහ 1930 ගණන් වලදී, අනෙකුන් අතර, විලියම් ෆෝක්නර්, කැත්රින් ඈන් පෝටර්, කැරොලයින් ගෝර්ඩ්න්, ඇලන් ටේට්, තෝමස් වුල්ෆ්, රොබර්ට් පෙන් වොරන්, සහ ටෙනසි විලියම්ස් වැනි ලේඛකයන් ඉස්මතු වීම නිසාවෙන් දක්ෂිණ සාහිත්‍යයෙහි පුනරුදයක් ඇරඹිණි. දක්ෂිණ පුනරුදයට දායකත්වය සැපයූ ලේඛකයන් විසින් ඇමරිකානු සිවිල් යුද්ධය සහ වහල් සේවය වෙතින් පවත්වාගත් පරතරය හේතුවෙන්, ඔවුන් බොහෝදුරට දකුණු ගැන තම ලියවීම්හී විෂය මූලික වූහ. 1920 ගණන් වලදී, දක්ෂිණ කාව්‍ය ශාස්ත්‍රය වැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයේ "ෆියුජිටිව්ස් " නිසාවෙන් පෝෂණය විය. ප්‍රබන්ධ-නොවන කෘතීන් අරභයා, එච්.එල්. මෙන්කෙන්ගේ ජනප්‍රියත්වය ජාතියපුරා ඉහළ නැගියේ, සංස්කෘතික අගයයක් ඇති කිසිවක් බිහිකිරීමට දකුණ අසමත්වී ඇතැයි දක්වමින් ඔහුගේ උපහාසාත්මක ලේඛන ශෛලීයය තුලින් පාඨකයින් කම්පනයට හා ආකූලත්වයට පත් කෙරුණු නිසාය. මෙන්කෙන්ගේ "ද සහාරා ඔෆ් ද බෝසාට්" රචනයට ප්‍රතිචාර දක්වමින් , සදර්න් ඇග්රේරියන්ස් (මොවුන්ද බොහෝ ලෙසින් වැන්ඩබිල්ට් ආශ්‍රිතව පදනම්ව සිටියහ) නමැති කණ්ඩායම විසින් දක්ෂිණ කාර්මිකතාවය හා නාගරීකරණය පිළිබඳ සංවේගයට පත්වෙමින් දකුණේ ගොවිජන ඉතිහාසයට යළි අවතීර්ණ විය යුතු බව කියා සිටියහ. නිර්මාණශීලතාව සහ කාර්මිකතාවය නොගැලපුනු බව පලකල සිටි ඔවුහූ දකුණෙහි වැසියාගේ විශ්‍රාන්ති සුව පැවැත්මට ඉඩ සැලසිය හැකි දිවිමගක් කරා යළි අවතීර්ණ විය යුතු බව (ඇග්රේරියන්ස්වරු සිතුවේ නිර්මාණශීලත්වය සඳහා මෙම ගුණාංගය සහෝපකාරී වන බවක්ය) උදක්ම දක්වා සිටියහ. 1949දී සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය දිනූ 1949 ෆෝක්නර් වැනි ලේඛකයින් විසින් ඔවුන්ගේ ලේඛනයන් වෙත, සවිඥානකතා ප්‍රවාහය වැනි නව ශිල්පක්‍රම සහ සංකීර්ණ ආඛායාන ශිල්පක්‍රමද භාවිතා කලහ. නිදසුනක් ලෙසින්, ඔහුගේ ඈස් අයි ලේ ඩයිං නවකතාව පැවසෙන්නේ අභාවප්‍රාප්ත ඇඩී සිට ඇයගේ බාල පුතා දක්වා වෙනස්වන ආඛ්‍යායිකයන් (පොතේ ගුරුන්) මාලාවක් භාවිතා කරමිනි.

1930 ගණන් වල අගභාගය තුල දක්නට ලැබුණේ දක්ෂිණ නවකතා අතුරින් අති ජනප්‍රිය ඒවා අතුරින් එකක් වන මාග්‍රට් මිචල්ගේ ගෝන් විත් ද වින්ඩ් ප්‍රකාශයට පත්වීමය. 1936දී ප්‍රකාශයට පත්කෙරුණු නවකතාව, විගසින් අතිශයින් අලෙවි වූ පොතක් විය. 1937දී එය පලිට්සර් ත්‍යාගය දිනාගත් අතර, 1939දී එය ඇසුරෙන් තැනුනු හා එලෙසින්ම ජනප්‍රියවූ චිත්‍රපටයෙහි මංගල දර්ශනය පැවැත්විණි. විවිධ ප්‍රභේදයන් ඔස්සේ දක්ෂිණ සාහිත්‍යය ජනප්‍රියත්වය ලඟාකර ගති; එල්වීරා ගාර්නර් වැනි ලේඛකයින්/සන්නිදර්ශකයින් විසින් කෙරුණු , 1937දී ප්‍රකාශයට පත් කෙරුණු ඉසිකීල් වැනි ළමුන් සඳහාවූ ග්‍රන්ථ, දකුණෙන් පිටත ප්‍රේක්ෂක ගණයාද පිනවූහ.

ප්‍රාග් දෙවන ලෝක යුද්ධ දක්ෂිණ සාහිත්‍යය[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව දක්ෂිණ සාහිත්‍යය තේමානුගත ලෙසින් දියුණුවට පත්වූයේ එය විසින් ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය නිසාවෙන් දකුණේ ඇතිවූ සමාජීය හා සංස්කෘතික වෙනස් කම් වැලඳගත් නිසාය. මෙයට අමතරව, සෝරා නීල් හර්ස්ටන් සහ ස්ටර්ලින් ඇලන් බ්‍රවුන් වැනි අප්‍රිකානු ඇමරිකානුවන් සහ වෙනත් ඇත්තියන් අතර ඉඩෝරා වෙල්ටී, ෆ්ලැනරි ඔකොනර්, ඇලන් ග්ලාස්ගෝ, කාර්ස්න් මැක්කකලර්ස්, කැත්රින් ඈන් පෝටර්, සහ ෂර්ලි ඈන් ග්‍රවු වැනි කාන්තාවන් යන්නාවූ, කාන්තා සහ අප්‍රිකානු ඇමරිකානු ලේඛකයන් බොහෝ ප්‍රමාණයක් දක්ෂිණ සාහිත්‍යයේ කොටස් කරුවන් ලෙස පිළිගැනුම ඇරඹිණි. මෙම කාලසීමාවෙහි අනෙකුත් ප්‍රසිද්ධ දක්ෂිණ ලේඛකයන් අතර රේනොල්ඩ්ස් ප්‍රයිස්, ජේම්ස් ඩිකී, විලියම් ප්‍රයිස් ෆොක්ස්, ඩේවිස් ග්‍රබ්, වෝකර් පර්සි, සහ විලියම් ස්ටයිරන් වූහ. බොහෝ ලෙසින් වර්ණනාවට පත් 20වන සියවසෙහි දක්ෂිණ නවකතා අතුරින් එකක් වන, හාර්පර් ලී විසින් රචිත ටු කිල් අ මොකිංබර්ඩ් යන්න 1960දී ප්‍රකාශයට පත්වීමත් සමගම , පලිට්සර් ත්‍යාගය දිනාගති. නිව් ඕර්ලන්ස්හී ජන්මලාභය ලද හා හාපර් ලී ගේ මිතුරු, ටෲමන් කපෝටේ පවා 20වන සියවසෙහි මැද භාගයෙහිදී මහත් සඵලත්වයක් ලද්දේ බ්‍රෙක්ෆස්ට් ඇට් ටිෆනි සහ පසුව ඉන් කෝල්ඩ් බ්ලඩ් අනුසාරයෙනි. 1960 ගණන් වල තවද ජනප්‍රිය නවකතාවක් වූයේ, නිව් ඕර්ලන්ස් වාසී ජෝන් කෙනඩිටූල් විසින් 1960 ගණන් වලදී ලියන ලද නමුත් 1980 වන තුරු ප්‍රකාශයට පත් නොකෙරුණු අ කන්ෆෙඩරසි ඔෆ් ඩන්සර්ස් වෙයි. එය විසින් 1981 දී පලිට්සර් ත්‍යාගය දිනා ගත් අතර ඉන් අනතුරුව ශ්‍රද්ධාපන සම්භාව්‍ය කෘතියක් බවට පත් විය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 පැට්‍රීෂියා ඉවන්ස්."සදර්න් ලිට්‍රිචර්: විමෙන් රයිටර්ස්". සම්ප්‍රවේශය පෙබ. 4, 2007.
  2. ඩේවිඩ් විලියම්සන්. "UNC-CH සර්වේස් රිවීල් වෙයා ද 'රියල්' සවුත් ලයිස්". Retrieved 22 පෙබ 2007. Check date values in: |accessdate= (help)
  3. http://www.pfly.net/misc/GeographicMorphology.jpg
  4. ජෝසප් එම්. ෆ්ලෝරා සහ ලුසින්ඩා එච්. මැක්කේතන් (සංස්.) ද කම්පෑනියන් ටු සදර්න් ලිට්‍රිචර්: තීම්ස්, ජන්රෙස්, ප්ලේසස්, පීප්ල්, මූව්මන්ට්ස්, ඇන්ඩ් මෝටිෆ්, ලූසියානා ජනපද විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2001. මෙම ජනපද මෙම අධ්‍යයනයෙහි ලැයිස්තුගත කෙරුණු ඒවාය.
  5. කේට් කෙච්රාන්. රිවිව් ඔෆ් රොබට් බ්‍රින්ක්මෙයර්, කණි., රිමැපිං සදන් ලිට්‍රිචර්: කන්ටෙම්පරරි සදන් රයිටර්ස් ඇන්ඩ් ස වෙස්ට්, ජෝර්ජියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2000.
  6. ෆ්‍රෙඩ් හොබ්සන්. ඉට් නව් අයි සී: ද වයිට් සදන් රේෂල් කන්වර්ෂන් නැරෙටිව්, ලූසියානා ජනපද විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයය, 1999.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දක්ෂිණ_සාහිත්‍යය&oldid=222326" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි