ත්‍රිදේව් රෝයි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

රාජා ත්‍රිදිව් රෝයි (උර්දු: راجہ تری دیو راۓ) හෙවත් ඇතැම්විට ත්‍රිදේව් රෝයි, (14 මැයි 1933 – 17 සැප්තැම්බර් 2012)[1] යනුවෙන් හැඳින්වෙන්නේ චක්මා ගෝත්‍රයේ 50වන රජු ය. මෙම ගෝත්‍රය වර්තමාන බංගලාදේශයේ චිතගොං කඳු කලාපයට අයත් ප්‍රදේශයේ ජීවත්ව සිටියහ. ඔහු විසින් 1953 මැයි 2 දින සිට, බංගලාදේශ විමුක්ති යුද්ධයෙන් පසුව 1971දී සිහසුන අත්හරින තෙක්ම එම පදවිය හොබවන ලදී.[2][3] 1971දී බංගලාදේශය නිදහස හිමි කරගැනීමත් සමග තවදුරටත් පාකිස්ථාන ජාතිකයකුව සිටීමට ඔහු තීරණය කළේ ය.[4] ඔහු පාකිස්ථානයේ ලේඛකයකු, විද්වතකු, බෞද්ධ ආගමික නායකයකු සහ දේශපාලනඥයකු ලෙස සැලකේ.[2] 1981 සහ 1995 අතර කාලයේ, ඔහු ආර්ජන්ටිනාවේ පාකිස්ථාන තානාපතිවරයා ලෙස කටයුතු කළේ ය. අනතුරුව ඔහු චිලී, උරුගුවේ, පේරු සහ ඉක්වදෝරය සඳහා ද තානාපතිවරයකු ලෙස කටයුතු කළේ ය.[5] මීට අමතරව ඔහු පාකිස්ථාන රජය තුළ ජීවිතාන්තය දක්වා වන අමාත්‍ය ධුරය ද ඉසිලී ය.[6] Tridev Roy died in September 2012.[6][7]

චරිතාපදානය[සංස්කරණය]

රෝයි උපත ලැබූයේ 1933දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ චිතගොං කඳු ප්‍රදේශයේ රංගමතීහි රාජ්බරි දිස්ත්‍රික්කයේ ය.[6] ඔහු රාජා නලීනාක්ෂ රෝයිගේ පුත්‍රයා ය.[3]

1953 මැයි 2 දින ඔහු පාරම්පරික චක්මා කවයේ රජු හෙවත් 50වන රාජා ලෙස පත්කෙරිණි.[3][6] 1971දී බංගලාදේශ විමුක්ති යුද්ධයේ දී සිය පුත්‍රයා වූ රාජා දේවාසිශ් රෝයි හට සිහසුන පවරා සිහසුනෙන් ඉවත් විය. දේවාසිශ් රෝයි වර්තමාන චක්මා ජනයාගේ පාලකයා ලෙස සැලකේ.[3][6] රෝයි සිය ජීවිත කාලය පුරාම චක්මා ජනයාගේ අතිප්‍රමුඛ විශ්වාසය වූ බුදු දහම අනුගමනය කරමින් බෞද්ධයකු ලෙස කටයුතු කළේ ය.[6]

1947 ඉන්දියාව බෙදීමේ දී මුස්ලිම්-නොවන අති බහුතරයක් ජනයා විසූ චිතගොං කඳුකර ප්‍රදේශ බ්‍රිතාන්‍යවරුන් විසින් පාකිස්ථානය (විශේෂයෙන් නැගෙනහිර පාකිස්ථානය) වෙත ලබාදෙන ලදී.[6] කඳුකර පෙදෙස්වල වූ චක්මාවරුන් ඇතුළු වෙනත් ජනයා ප්‍රියකළේ පාකිස්ථානය හා එක්වීමට වඩා ඉන්දියාව සමග ඒකාබද්ධව සිටීමටයි.[6] මූලිකව ලබා දුන් ස්වයංපාලන තත්ත්වය නිසා, 1950 දශකයේ පාකිස්ථානු රජය විසින් මෙම ප්‍රදේශයේ ස්වදේශික නොවූ මුස්ලිම් බෙංගාලි ජනයාව විශාල වශයෙන් පදිංචි කරවන ලදී.[6] 1960 දශකයේ මුල් කාලයේ පාකිස්ථාන රජය විසින් ජල-විදුලි වේල්ලක් ඉදිකළ අතර, මේ නිසා ඇති වූ ජලගැපීම් හේතුවෙන් චක්මාවරුන්ගේ ගොවිතැනට යෝග්‍ය බිම්වලින් 40%ක් පමණම විනාශ විය.[6] කෙසේනමුත්, ත්‍රිදේව් රෝයි යටතේ චක්මාවරු 1960 සහ 1970 දශකවල මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. මෙකල පාකිස්ථාන හමුදාව සහ බංගලාදේශ නිදහස සඳහා වූ මුක්ති බාහිනි අතර සම්බන්ධතා පැවතිණි.[6]

1970, අවාමි ලීගයේ ප්‍රධානියා මෙන්ම අනාගත බංගලාදේශයේ ආදිකර්තෘ ද වූ ෂෙයික් මුජිබර් රහ්මාන් රෝයි හට අවාමි ලීගයේ සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන මෙන් ආරාධනා කළේ ය.[6] නමුත් රහ්මාන්ගේ ආරාධනය ප්‍රතික්ෂේප කළ රෝයි 1970 මහමැතිවරණයට ඉදිරිපත් වූයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසයි.[6] රෝයි ස්වාධීන අපේක්ෂකයකු ලෙස චිතගොං කඳුකර ප්‍රදේශ කොට්ඨාසයෙන් ජයග්‍රහණය කළේ ය.[6]

1971 බංගලාදේශ විමුක්ති යුද්ධයේ දී, රෝයි පාකිස්ථානය හා පක්ෂ විය. මෙකල බංගලාදේශයට නිදහස හිමි විය.[8] යුද්ධයෙන් පසුව බංගලාදේශය නිදහස දිනාගත් අතර, රෝයි පැරණි නැගෙනහිර පාකිස්ථානයේ සිට බටහිර පාකිස්ථානය වෙත ගමන් කිරීමට තීරණය කළේ ය. ඔහු සිය දිවියේ සෙසු කාලය ගතකළේ එහි ය.[9] තමන් බංගලාදේශයේ රැඳුණහොත්, නිදහසින් පසු දේශපාලන පළිගැනීම්වලට ලක්විය හැකිය යන්න ඔහු පාකිස්ථානය කරා සංක්‍රමණය වීමට හේතු විය.[6] නව බංගලාදේශ රජය චිතගොං කඳුකර ප්‍රදේශයේ ස්වයංපාලන තත්ත්වය පිළිබඳ තවදුරටත් සහතික වේ ද යන්න පිළිබඳ ඔහුට විශ්වාසයක් ද නොවිණි.[6] 1971දී චක්මාවරුන්ගේ රජ පදවිය අත්හළ ඔහු සිය පුත්‍රයා වූ රාජා දේබාශිෂ් රෝයිට සිහසුන පවරා, දේශයෙන් පිට විය.[6] යුධ සමයේ රෝයි ඉස්ලාමාබාදයේ රජයට දැක්වූ පක්ෂපාතීත්වය හේතුවෙන් පාකිස්ථාන රජය විසින් රෝයි හට ජීවිතාන්තය දක්වා ෆෙඩරල් අමාත්‍ය ධුරයක් පිරිනමන ලදී.[7]

එක්සත් ජාතීන්ට සම්බන්ධ වීමට බංගලාදේශය කළ ඉල්ලීමට රෝයි ඇතුළු පිරිස පාකිස්ථානයේ සිට විරෝධය පල කළහ.[7] බංගලාදේශ රජය විසින්, ෂෙයික් මුජිබර් රහ්මාන් යටතේ නිව් යෝක් වෙත සිය අයැදුම ඉදරිපත් කළේ ත්‍රිදේව් රෝයිගේ මව වූ රාජමාතා බෙනිටා රෝයි විසින් මූලිකත්වය දරන ලද දූත කණ්ඩායමක් ඔස්සේයි.[7]

1970 දශකයේ රෝයි සුල්ෆිකාර් අපි භූතෝගේ රජය සමග සම්බන්ධ විය.[6] භූතෝ පාකිස්ථානයේ අගමැති පදවියට පත්වූ පසු ඔහු රෝයි හට පාකිස්ථානයේ ජනාධිපති පරිනැමී ය.[6] නමුත්, රෝයි විසින් එය ප්‍රතික්ෂේප කළේ 1973 නව පාකිස්ථානයේ ව්‍යවස්ථාව අනුව එරට ජනපති විය හැකිවූයේ මුස්ලිම්වරයකුට පමණක් බැවිනි.[6] ජනපති ධුරය "රන් ආලේපිත කූඩුවක්" යැයි පැවසූ රෝයි එම පදවිය භාර ගැනීමට බුදු දහම අත්හැර ඉස්ලාමය වැළඳ ගැනීම ප්‍රතික්ෂේප කළේ ය.[6] පසුව 1977දී මුහම්මද් සියා-උල්-හක් නැමැති ජනරාල්වරයා විසින් භූතෝව ධුරයෙන් නෙරපන ලදී.

1981දී, සියාගේ රජය විසින් රෝයිව ආර්ජන්ටිනාවේ පාකිස්ථාන තානාපති ලෙස පත්කළේ ඔහුව පාකිස්ථාන එදිනෙදා දේශපාලනයෙන් ඉවත් කර තැබීම පිණිසයි.[6] මීට සමගාමීව ඔහු චිලී, ඉක්වදෝරය, පේරු සහ උරුගුවේ රාජ්‍යවල තානාපති ලෙස කටයුතු කළ අතර, 1995 තෙක් එම පදවි උසුලන ලදී. පසුව ඔහු ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ලෙස ද කටයුතු කළේ ය.[7] 1996 යළි ඉස්ලාමාබාද් වෙත පැමිණෙන තෙක්ම ඔහු විවිධ දුරබැහැර රටවල කටයුතු කරමින් සිටියේ ය.[6] ‍මීට අමතරව රෝයි විසින් ජීවිතාන්තය තෙක් ඉසිලිය හැකි පාකිස්ථාන රජයේ ෆෙඩරල් අමාත්‍ය ධුරයක් ද හෙබවී ය.[6]

පාකිස්ථානයේ බෞද්ධ ප්‍රජාවගේ නායකයකු වූ රෝයි 1996 සිට 2012 ඔහුගේ මරණය තෙක්ම පාකිස්ථාන බෞද්ධ සංගමයේ නායකයා ලෙස කටයුතු කළේ ය.[6] 2005දී, ශ්‍රී ලංකා, ජනාධිපති වෙනුවෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජනරාල් ශ්‍රීලාල් වීරසූරිය විසින් ත්‍රිදේව් රෝයි හට ශ්‍රී ලංකා රංජන ජාතික සම්මානය පිරිනමන ලද්දේ, පාකිස්ථාන බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ඔහු ඉටුකළ අනූපමේය මෙහෙය උදෙසායි.[7]

2012 සැප්තැම්බර් මස ඉස්ලාමාබාද්හි සිය නිවසේ දී හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත්වන විට රෝයිගේ වයස අවුරුදු 79කි.[7] මියයන විට, ඔහුගේ බිරිය වූ ආරති රෝයි හට පුතුන් තිදෙනකු සහ දියණියන් දෙපළක විය.[3]

උරුමය[සංස්කරණය]

ඔහුගේ මරණින් පසු දිනයේ Express Tribune පුවත්පත සිය කතුවැකිය ලෙස සටහන් කළේ "සිය රාජධානිය අත්හළ රාජා" යනු තේමාව ඔස්සේ ය. මෙහි ඔහුගේ දේශපාලන වෘත්තිය ආදිය පිළිබඳ උපුටාගත් වැකි කිහිපයක් පහත දැක්වේ:[6]

ජීවිතාන්තය දක්වා අමාත්‍යවරයකු වූ, හිටපු රාජ්‍ය උපදේශක, රාජ්‍ය දූත සහ චක්මා ගෝත්‍රයේ ප්‍රධානියා වූ රාජා ත්‍රිදීව් රෝයි සඳුදා ඉස්ලාමාබාද්හි දී මරණයට පත් විය. ඔහුගේ වයස 79කි. රාජා රෝයි පසුකාලීනව වඩාත් අවුල් සහගත තත්ත්වයන්හි දී පාකිස්ථානය සමග සිටීමට සිය රාජධානිය අත්හළ පුද්ගලයකු ලෙස සිහිපත් කෙරෙනු ඇත...

බෞද්ධාගමිකයකු වූ ත්‍රිදේව්‍ රෝයි නැගෙනහිර පාකිස්ථානය අත්හැර හැත්තෑව දශකයේ පාකිස්ථානයේ එකල ජනපති වූ සුලිෆිකාර් අලි භූතෝගේ රජය හා එක් විය. එ‍සේ වුව ද, ඔහු 1971 මැතිවරණයෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජයග්‍රහණය කිරීමට ඔහුට හැකි විය. රෝයි කෙතරම් සුවිශේෂී පුද්ගලයකු වී ද කියතොත් අගමැති ධුරයට පත් සුල්ෆිකාර් අලි භූතෝ විසින් වරක් ඔහුට පාකිස්ථානයේ ජනාධිපති පදවිය පවා පිරිනැමී ය...

1977දී භූතෝ බලයෙන් පහ කිරීමත් සමග, 1981දී රාජා ත්‍රිදේව් රෝයි දුරබැහැර ආර්ජන්ටිනාවේ තානාපති ලෙස පත් කොට යවන ලදී. 1996දී ඔහු යළි ඉස්ලාමාබාදයට පැමිණියේ ය. අනතුරුව ඔහු විසින් පාකිස්ථාන බෞද්ධ සංගමයේ නායකත්වය දරන ලදී.

ග්‍රන්ථ[සංස්කරණය]

සිය ග්‍රන්ථ අතර ත්‍රිදේව් රෝයි සිය මතකයන් අලලා රචිත "The Departed Melody" (නික්මගිය තාලය) යන ග්‍රන්ථය වැදගත්‍ වේ. මෙම ග්‍රන්ථය ඇරඹෙන්නේ චිතගොං කඳු ප්‍රදේශයේ ජනයාගේ සංස්කෘතිය සහ චක්මා රාජාවරුන්ගේ ඉතිහාසය ඇසුරෙනි. ඔහුගේ සෙසු ග්‍රන්ථ සහ ප්‍රකාශන අතරට උර්දු බසට පරිවර්තනය වූ "Collection of Short Stories" (කෙටි කථා සංග්‍රහය) සහ "South American Diary" (දකුණු ඇමරිකානු දිනපොත) යන ග්‍රන්ථ ප්‍රධාන වේ.[7]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. CHAKMA (Kingdom) Retrieved 28 January 2011
  2. 2.0 2.1 Hindus Contribution Towards Making Of Pakistan Retrieved 28 January 2011
  3. 3.0 3.1 3.2 3.3 3.4 "Tridiv Roy passes away". The Daily Star (Bangladesh). 18 September 2012. සම්ප්‍රවේශය 2012-10-19. 
  4. Genesis of Indigenous Chakma Buddhists and Their Pulverization Worldwide. Gyan Publishing House. 2010. පිටු 110–. ISBN 978-81-7835-758-4. https://books.google.com/books?id=RGHfVGV5A5wC&pg=PA110&dq=pakistan+chakma&hl=en&sa=X&ved=0ahUKEwiqh86GnonRAhWnL8AKHQwODZIQ6AEIIDAB#v=onepage&q=pakistan%20chakma&f=false. 
  5. Hyatt, Ishrat (18 September 2012). "Eulogy for a friend". The News International. සම්ප්‍රවේශය 30 October 2012. 
  6. 6.00 6.01 6.02 6.03 6.04 6.05 6.06 6.07 6.08 6.09 6.10 6.11 6.12 6.13 6.14 6.15 6.16 6.17 6.18 6.19 6.20 6.21 6.22 6.23 6.24 6.25 "The Raja who gave away his kingdom". The Express Tribune. 18 September 2012. සම්ප්‍රවේශය 2012-10-18. 
  7. 7.0 7.1 7.2 7.3 7.4 7.5 7.6 7.7 "Raja Tridiv Roy dies". Dawn. 18 September 2012. සම්ප්‍රවේශය 2012-10-19. 
  8. Indigenous peoples and ethnic ... – Google Books. Books.google.com. https://books.google.com/books?id=HNyJS9YfbyoC&pg=RA1-PA34&lpg=RA1-PA34&dq=raja+tridiv+roy&source=web&ots=kbiJCqIvai&sig=xDAg8CY-1lPOhyNTr2T1L7Hq3Bg. Retrieved 2010-01-20. 
  9. "Books". Mshel.com. සම්ප්‍රවේශය 2010-01-20. 

සැකිල්ල:Socialism in Pakistan සැකිල්ල:Government of Prime minister Zulfikar Ali Bhutto

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිදේව්_රෝයි&oldid=413384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි