Jump to content

කුමාරි ජයවර්ධන

විකිපීඩියා වෙතින්
Kumari Jayawardena at home in Colombo, 2018.

කුමාරි ජයවර්ධන යනු ප්‍රමුඛ ලාංකික ස්ත්‍රීවාදිනියක් සහ දේශපාලන විද්‍යාඥවරියක වශයෙන් ශාස්ත්‍රීය අධ්‍යයන රැසක් කර ඇති පුරෝගාමී චරිතයකි. ඇයගේ කෘති තෙවන ලෝකයේ ස්ත්‍රීවාදය පිළිබද වූ රචනා අතර මුල් තැනක් උසුලයි. හුදෙක් බටහිර ස්ත්‍රීවාදයන්හි පරාවර්තනයන් නොවුණු බටහිර නොවන සමාජවල බිහිවුණු සහ ඒවාට අනන්‍ය වූ ස්ත්‍රීවාදී මතවාද තෙවන ලෝකයේ ස්ත්‍රීවාදය යනුවෙන් හැදින් වේ.

කෘති රැසක් ලියා තිබෙන කුමාරි ජයවර්ධනගේ Feminism and Nationalism in the Third World කෘතිය එක්සත් රාජධානියේ ෆෙමිනිස්ට් ෆෝට්නයිට් සම්මානය සදහා ඇය ව තෝරාගැනීමට හේතු වූ අතර Ms. Magazine සගරාව විසින් 1992 දී “1970-1990 දශකයන්හි ස්ත්‍රීවාදය පිළිබද ලියැවුණු අගනා ම පොත් විස්ස” අතරින් එකක් ලෙස ද නම් කළේ ය.[1] මෙම කෘතිය ලොව පුරා කාන්තා අධ්‍යයන පාඨමාලාවන්හි භාවිතා වන අතර වර්තමාන තත්වයන් තුළ ද අදාලත්වය නොනැසී පවතී.

Feminism and Nationalism in the Third World කෘතියේ, ජයවර්ධන 19 වන සියවසේ සිට 1980 ගණන් දක්වා ආසියාවේ සහ මැදපෙරදිග රටවල ඇති වූ කාන්තා අයිතීන් ව්‍යාපාරයන්හි ඉතිහාසය දෙස නෙත් යොමු කරයි. ඊජිප්තුව, තුර්කිය, ඉරානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය, කොරියාව සහ පිලිපීනය යන රටවල ස්ත්‍රී ව්‍යාපාර දෙස අවධානය යොමුකරමින් කරන මේ අධ්‍යයනයේ දී ඇය පෙන්වා දෙන්නේ තුන්වන ලෝකයේ රටවල පැන නැගි ස්ත්‍රීවාදය බටහිරින් ආනයනය කරනු ලැබූවක් නොවන බවත් ආසියාවේ සහ මැදපෙරදිග දේශීය වාතාවරණයන් තුළ පැවති පවුල සහ සමාජය තුළ කාන්තාව යටපත් කිරීමට එරෙහි ව ස්ත්‍රීන් විසින් ගෙනගිය සමානාත්මතා අරගලයේ ඵලයක් ලෙස ගොඩනැගුණු ස්වතන්ත්‍ර කතිකාවක් බවත් ය.[2]

ශාස්ත්‍රීය පසුබිම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ උපත ලබා එහි ම ද්විතීයික අධ්‍යාපනය ලැබූ ජයවර්ධන 1952 දී London School of Economics වෙත ඇතුළත් වීමට තීරණය කළා ය. 1955 දී දේශපාලන විද්‍යා උපාධියක් ලබාගන්නා ඇය 1958 දී ලන්ඩනයේ ලින්කන්ස් ඉන් වෙතින් බැරිස්ටර්වරියක වීම සදහා සුදුසුකම් ලබා ගත්තා ය. 1956 දී පැරිස් හි Institut d'etudes politiques de Paris වෙතින් Certificat d'Etudes Politiquesද ලබාගත්තා ය. 1964 දී ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ගැන ඉදිරිපත් කළ නිබන්ධනයකට ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වෙතින් ආචාර්ය උපාධිය ලබාගත්තා ය.

1969 සිට 1985 දක්වා කාලය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව ඉගැන්වූ ඇය විශ්‍රාම ලැබුවේ සහකාර මහාචාර්යවරියක ලෙසිනි. 1980 සිට 1982 දක්වා නෙදර්ලන්තයේ හේග් නුවර Institute of Social Studies හි කාන්තාව සහ සංවර්ධනය පිළිබද ශාස්ත්‍රපති පාඨමාලාව සදහා උගැන්වීමේ ද යෙදුණු ඇය 1987 සිට 1988 දක්වා කාලය තුළ රැඩ්ක්ලිෆ් කොලේජ්හි Bunting Institute හි ඇතුළත් කරගත් සාමාජිකයකු (affiliated fellow) වශයෙන් ද කටයුතු කළා ය. ඇය දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා අධ්‍යයන පිළිබද ශාස්ත්‍රපති පාඨමාලාව සදහා උගැන්වීමේ යෙදෙන අතර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ද වෙයි.

කාන්තාව ආශ්‍රිත පර්යේෂණ සිදුකරන සංවිධාන සහ ශ්‍රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර තුළ ඉතා සක්‍රීය චරිතයක් වන කුමාරි ජයවර්ධන ශ්‍රී ලංකා සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ලේකම් ධූරය ද හොබවයි. ජනවාර්ගිකත්වය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, කුලය වැනි කාරණා පිළිබද කටයුතු කරන විද්වත් හවුලක් වන සමාජ විද්‍යාඥයන්ගේ සංගමය පිහිටුවීම සදහා ද 1970ගණන් වල දී තවත් විද්වතුන් සහ පර්යේෂකයන් සමග කටයුතු කළ අය අතර ඇය ද මුල්විය.[3] 86 වියැති ව සිටියත් ඇය තවමත් ශාස්ත්‍රීය ලෝකය සහ සිවිල් සමාජය සමගත්, ශ්‍රී ලංකාවේ විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් සහ දකුණු ආසියාවේ සහ ලෝකයේ ස්ත්‍රීවාදීන් සමගත් සබදතා පවත්වයි.[4]

කෘති[සංස්කරණය]

පසුකලෙක Feminism and Nationalism in the Third World කෘතිය උපත බවට පත්වූයේ 1980 ගණන්වල දී ඇය එවක ඉගැන් වූ හේග් නුවර සිට පදිංචි ව සිටි බ්‍රසල්ස් කරා ගිය සංචාරවල දී තැබූ දේශන සටහන් පෙළකි. සිය දේශන සටහන් යොදාගනිමින් කාන්තාව සහ සංවර්ධනය පිළිබද පාඨමාලාවක් සදහා ඇය සකස්කර ගනිමින් සිටි එම මූලාශ්‍ර පසුකලෙක ස්ත්‍රීවාදී ව්‍යාපාරය පිළිබද ලියැවුණු ලෝක ප්‍රකට කෘතියක් බවට පත්විය. 1982 මුල්වරට පළ කෙරුණු එය Feminism and Nationalism in the Third World යනුවෙන් නම් කරමින් පසු කලෙක නැවත පළ කෙරුණේ රාෆියා සකාරියාගේ පෙරවදනක් ද සමගිනි.[5] ආසියාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාර දෙස අභ්‍යයන්තර බැල්මක් හෙලන ජයවර්ධන අධිරාජ්‍යවාදයට එරෙහි ව සටන් කළ කාන්තාවන් පිළිබද විශේෂ අවධානයක් යොමු කරයි. චීනයේ සහ කොරියාවේ යුධබිමේ සටන් කළ කාන්තාවන් ගැන කථාන්දර මෙන් ම කාන්තාවන්ගේ ජීවිත කෙරෙහි තිබූ සීමාවන් ප්‍රශ්න කළ ඉබ්න් රුෂ්ද් සහ ලී රුෂෙන් වැනි පිරිමි චරිත පිළිබද ව ද ඇය ඇසුරු කරයි.[4] ඇයට අවශ්‍ය වූයේ ලෝකය පිළිබද ඇගේ කාර්යභාරය සම්බන්ධව තිබූ අඩුව හදුනාගැනීම බවත් ඒ සදහා කාන්තාව පිළිබද අප මෙතෙක් කල් ලබාගත් දැනුම සහ ඇයගේ වත්මන් තත්ත්වය හැදෑරීම අවශ්‍ය වූ බවත් ඔවුන් ලබාගත් ජයග්‍රහණ සහ ලබාගත්තේ කෙසේද යන්න දැනගැනීම අතිශය වැදගත් වූ බවත් ඇය පවසයි.[6]

මෙම කෘතිය රචනා කිරීමේ අරමුණු දෙකක් විය. එකක් වූයේ පෙරදිග ලෝකයේ සාම්ප්‍රදායික මතධාරීන් විසින් කාන්තාවන්ගේ අරගල ප්‍රතික්ෂේප කිරීමට සහ හෙලා දැකීමට යොදාගත් තර්කයක් වූ ස්ත්‍රීවාදී මතවාදය බටහිර නිර්මිතයක් සහ එලෙස බටහිරින් ආනයනය කරන ලද විදේශීය සංකල්පයක් ය යන මතයට අභියෝග කිරීමයි. ජයවර්ධන පෙන්වා දෙන පරිදි ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල ස්ත්‍රීවාදයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. දෙවන අරමුණ වූයේ අධ්‍යාපන ප්‍රස්තා සහ වෘත්තීය ගමන්මග සහ නිදහස හිමි වී ඇති බැවින් දැන් කාන්තාවන් සිය විමුක්තිය දිනාගෙන අවසන් ය විශ්වාසයට අභියෝග කිරීමයි. නිදසුන් ලෙස තවමත් කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික නිදහස මුළුමනින් ම සැපිරී නැත. ජයවර්ධන පවසන්නේ නායකත්වයට පත් වූ කාන්තාවන් සිටීම විසින් පීතෘමූලිකත්වය අවසන් වී ඇති බවක් හෝ එම තත්ත්වයන් තුළ සිටින කාන්තාවන් පීඩනයට ලක් නොවන බවක් අදහස් නොවන බව යි.

ජයවර්ධන සිය කෘතියේ දී ජාතිකවාදය සහ කාන්තාව යන විෂයන් සම්මුඛ වීම පිළිබදව ද සාකච්ඡා කරයි. ඇයට අනුව ජාතිකවාදය යනු අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහි ව සටන් කිරීම වන අතර ජාතික විමුක්ති සටන සදහා සහභාගී වූ කාන්තාවෝ ද ඒ අනුව ජාතිකවාදීහු වෙති. ලොව පුරා කාන්තාවෝ, විශේෂයෙන් ම තෙවැනි ලෝකයේ රටවල කාන්තාවන් ජාතිකවාදී ව්‍යාපාර තුළින් බලගැන්විණි. ඒ ඔවුන්ට යටත්විජිත බලවේග වෙතින් නිදහස ලබාගැනීමට උපකාර කරමිනි.[4] නමුත් මෙම ව්‍යාපාර පසුව කාන්තාවන් දෙවන පංතියක් ලෙස සලකා බැහැර කළ අන්දමත් ඔවුන්ගේ ශ්‍රමයෙන් හෝ දායකත්වයන්ගෙන් වාසි ලබන අතර ඔවුන් ව මේ දක්වා ම යටපත් කරමින් පවතින අන්දමත් ඇය පෙන්වා දෙයි.[7]

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. "Kumari Jayawardena: Biographical Information". Center for Digital Discourse and Culture @ Virginia Tech. සම්ප්‍රවේශය 8 January 2011.
  2. Padmini Swaminathan (20 May 2008). "Book Review: Reinventing feminism". The Hindu. 8 November 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 January 2011.
  3. Associated Press (17 October 2000). "Marriage, widowhood often lead women to power in South Asia". Philippine Daily Inquirer. සම්ප්‍රවේශය 8 January 2011.
  4. 4.0 4.1 4.2 Rowbotham, Sheila (2017-08-09). "Feminism and Nationalism in the Third World by Kumari Jayawardena – review". The Guardian (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). ISSN 0261-3077. සම්ප්‍රවේශය 2019-03-15.
  5. Rowbotham, Sheila (2017-08-09). "Feminism and Nationalism in the Third World by Kumari Jayawardena – review". The Guardian (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). ISSN 0261-3077. සම්ප්‍රවේශය 2019-03-15.
  6. Srinivasan, Meera (2017-01-01). "'There was a gap about our part of the world'". The Hindu (Indian English බසින්). ISSN 0971-751X. සම්ප්‍රවේශය 2019-03-15.
  7. Srinivasan, Meera (2017-01-01). "'There was a gap about our part of the world'". The Hindu (Indian English බසින්). ISSN 0971-751X. සම්ප්‍රවේශය 2019-03-15.
"https://si.wikipedia.org/w/index.php?title=කුමාරි_ජයවර්ධන&oldid=594775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි