අවුෂ්විට්ස් සිර කඳවුර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ඔස්ච්විට්ස් සංකේන්ද්‍රණ කඳවුර වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
අවුෂ්විට්ස්
සිර කඳවුර
අවුෂ්විට්ස්-බර්කනෝ සමූලනාශක කඳවුරෙහි ප්‍රධාන දොරටුව
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/පෝලන්තය" does not exist.
ඛණ්ඩාංක50°02′09″N 19°10′42″E / 50.03583°N 19.17833°E / 50.03583; 19.17833ඛණ්ඩාංක: 50°02′09″N 19°10′42″E / 50.03583°N 19.17833°E / 50.03583; 19.17833
වෙනත් නම්බර්කනෝ
පිහිටීමඔෂ්වියෙන්ෂිම්, නාසි ජර්මනිය විසින් ඈඳා ගන්නා ලද පෝලන්ත පෙදෙස්
පවත්වාගෙන යන ලද්දේජර්මානු ෂුට්ස්ටෆෙල් (SS), NKVD (දෙවන ලෝක යුද්ධයට පසු)
මුල් භාවිතයහමුදා බැරැක්ක
ක්‍රියාත්මක බවමැයි 1940 – ජනවාරි 1945
නිවැසියන්ප්‍රධාන වශයෙන් යුදෙව්වන්, පොලන්ත ජාතිකයන්, රුමේනියානුවන්, සෝවියට් සොල්දාදුවන්
මරණ ලද1.1 මිලියන(ඇස්මේන්තුගත)
නිදහස් කරගන්නා ලදසෝවියට් සංගමය, ජනවාරි 27, 1945
ඥාත නිවැසියන්වික්ටර් ෆ්‍රැන්කල්, ප්‍රිමෝ ලෙවි, විටෝල්ඩ් පිලෙක්කි, රුඩෝල්ෆ් වර්බා, එලී වීසල්, මැක්සිමිලියන් කෝල්බේ
ඥාත ග්‍රන්ථඉෆ් දිස් ඊස් අ මෑන්, නයිට්, මෑන්ස් සර්ච් ෆෝ මීනින්
වෙබ්අඩවියඅවුෂ්විට්ස්-බර්කනෝ රාජ්‍ය කෞතුකාගාරය

අවුෂ්විට්ස් සිර කඳවුර (ජර්මානු: Konzentrationslager Auschwitz [ˈaʊʃvɪts]  ( සවන්දෙන්න)) යනු දෙවන ලෝක යුද්ධ සමයෙහිදී නාසි ජර්මනිය විසින් ඈඳා ගන්නා ලද පෝලන්ත පෙදෙස් තුල තෙවන ජර්මන් රාජ්‍යය විසින් තනවා ක්‍රියාත්මක කරවූ සිර සහ සමූලනාශක කඳවුරු ජාලයකි.


Introduction

අවුෂ්විට්ස් යනු දකුණු පෝලන්තයේ පිහිටි, දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මන් පාලකයන්ගේ එක් ප්‍රධානතම සිර කඳවුරක්. මෙය අවුෂ්විට්ස් 1, අවුෂ්විට්ස් 2 (බිර්කෙනාවු) හා අවුෂ්විට්ස් 3 (මොනොවිට්ස්) යන ප්‍රධාන කඳවුරු තුනකින් සමන්විත වූ අතර යුදෙව්වන් මිලියන 1.1 කට පමණ මරු කැඳවූ අමානුෂික ඝාතකාගාරයක් වුනා. මෙම තනි කඳවුරක් නොව උප කඳවුරු 45 කින් සමන්විත කඳවුරු පද්ධතියක්. යුදෙව්වන්ට අමතරව සමලිංගිකයන්, අහිකුණ්ටිකයන්, නාසි පාලනයට විරුද්ධ වූවන්, මානසික රෝගීන් මෙන්ම, වැඩ කල නොහැකි වයස් ගතවූ පුද්ගලයන්ද ඝාතනයට ලක්වූවන් අතර සිටියා.

අවුෂ්විට්ස් 1, 1940 මැයි මසදී මුලින්ම ඉදිකල ප්‍රධානම කඳවුර වූ අතර එය ඉදි කලේ මූලිකවම පෝලන්ත ජාතික දේශපාලන සිරකරුවන් සිරගත කිරීමටයි. 1941 සැප්තැම්බර් මසදී මුල්ම කණ්ඩායම් ඝාතනය සිදුවූ අතර අවුෂ්විට්ස් 2 “යුදෙව් ගැටලුවට අවසාන විසඳුම” ක්‍රියාත්මක කිරීමේ මූලික ස්ථානයක් වුනා.

1942 මුල් කාලයේ සිට 1945 අවසන් භාගය තෙක් කඳවුර ක්‍රියාත්මක වූ කාලය තුල දුම්රියන් මගින්, නාසි ජර්මන් පාලනය යටතේ තිබූ යුරෝපයෙන් දහස් ගණනක යුදෙව්වන් මෙහි ගෙන ආ අතර ඔවුන්ගෙන් බහුතරයක් Zyklon B නම් විෂ වායුව යොදා ගනිමින් ගෑස් කාමර තුලදී ඝාතනයට ලක්වුනා. ඇස්තමේන්තු කරන ලද ආකාරයට මිලියන 1.3 ක සිරකරුවන් පිරිසක් මෙහි ගෙන ආ අතර ඔවුන්ගෙන් මිලියන 1.1 ක්ම ගෑස් කාමර තුලදී මරු දුටුවා. මේ අතරින් 90%ක් ම යුදෙව්වන් වූ අතර අවුෂ්විට්ස් හිදී ඝාතනයට ලක්වූ සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙක්ම යුදෙව්වෙක්. යුදෙව්වන්ට අමතරව 150,000 ක පෝලන්ත ජාතිකයන්, අහිකුණ්ටිකයන් 23,000ක්, සෝවියට් යුධ සිරකරුවන් 15,000ක්, යොහෝවාගේ සාක්ෂි කරුවන් 400ක්, දහස් ගණනක අනෙකුත් ජාතික සිරකරුවන් හා අප්‍රකට ගණනක සමලිංගිකයන් සිටියා. ගෑස් කාමර තුල ඝාතනය නොවූ බොහෝ දෙනෙක් හාමත් වීමෙන්ද, අධිකව ශ්‍රමය වැය කිරීමෙන්ද, බෝවන රෝග වලින්ද,  වෙඩි තැබීම් මගින් හා වෛද්‍ය අත්හදා බැලීම් වලින්ද මියගියා.

දෙවන ලෝක යුධ සමයේ 7000ක් පමණ වූ නාසි SS හමුදා භටයින් විසින් මෙම කඳවුර පාලනය කලා. මේ අතරින් 12%ක් පමන යුද්ධයෙන් පසුව යුද අපරාධ වලට වැරදිකරුවන් වීම නිසා මරා දැමුනා. කඳවුරේ අණදෙන නිලධාරියා වූ රුඩොල්ෆ් හුස් එයින් එක් අයෙක්. කඳවුර ක්‍රියාත්මක වූ 1940-1945 ජනවාරි අතර කාලයේ සිරකරුවන් 144 දෙනෙක් පමණක් මෙයින් පලායාමට සමත්වුණා. 1944 ඔක්තෝබර් 7 වන දින සොන්ඩර්කොමාන්ඩෝ නම් ගෑස් කාමර වල සේවයේ යොදවා සිටි විශේෂ සිරකරුවන්ගේ අසාර්ථක කැරැල්ල විශේෂ සිදුවීමක්.

සෝවියට් භට කණ්ඩායම් අවුෂ්විට්ස් වෙත පැමිණියේ 1945 ජනවාරි මාසයේ අන්තිම සතියේ. ඒ වනවිටත් ජීවත් වෙලා හිටිය සිරකරුවන් නාසි SS භටයන් යටතේ, “Death March” නමින් හැඳින්වෙන බටහිර බලා යන ගමන පටන් අරගෙන. කඳවුරේ ඉතිරිව සිටි සිරකරුවන් ඉන් මුදාගත්තේ 1945 ජනවාරි 27 වනදා. අදටත් සෑම වසරකම ජනවාරි 27 වන දින හඳුන්වන්නේ “International Holocaust Remembrance Day” ලෙසයි. ඉන් පසුව ගතවූ දශක කීපයේදී අවුෂ්විට්ස් කඳවුරෙන් දිවි ගලවාගත් කිහිප දෙනෙක් ඔවුන්ගේ අත්දැකීම් පොත් කිහිපයකට රචනා කලා මෙන්ම අවුෂ්විට්ස් කියන්නේ සමූලඝාතනයන්ගේ ප්‍රධාන සංකේතයක් බවට පත් උනා. 1947 වසරේදී අවුෂ්විට්ස් බිර්කෙනාවු කෞතුකාගාරය, අවුෂ්විට්ස් 1 හා 2 පිහිටි භූමියේ ආරම්භ කලා. 1979 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස මේ කෞතුකාගාරය නම් කෙරුනා.

අවුෂ්විට්ස් 1

අවුෂ්විට්ස් පිහිටා ඇති ප්‍රදේශය හැඳින්වෙන්නේ Oświęcim (ඔස්විඒචිම්) නමින්. කලින් ලිපියේ කී පරිදිම මුලින්ම මෙය ඝාතකාගාරයක් ලෙස නොව පෝලන්තයේ දේශපාලන සිරකරුවන් සඳහා වූ කඳවුරක්. දෙවන ලෝක යුද්ධයට පෙර ඔස්ට්‍රියානු හා පෝලන්ත හමුදා බැරැක්ක ලෙස භාවිතා වූ තනි තට්ටුවේ ගොඩනැගිලි 16ක් පිහිටා තිබීම, ප්‍රවාහනයට පහසු ස්ථානයක් වීම මෙන්ම ගම්බද පෙදෙසක් නිසා අවධානය අඩු වීමද මෙම ප්‍රදේශය තෝරා ගැනීමට විශේෂ හේතුවක් වුනා. SS අනුඛණ්ඩයේ ප්‍රධානී “හෙන්රිච් හිම්ලර්” 1940 අප්‍රේල් මස භූමිය පරීක්ෂා කර අනුමැතිය ලබා දීමෙන් අනතුරුව “රුඩොල්ෆ් හුස්” යටතේ අවුෂ්විට්ස් 1 ආරම්භ කලා. ආරම්භයේ සිටම අවුෂ්විට්ස් 1 යනු කඳවුරු සංකීර්ණයේ පරිපාලන මධ්‍යස්ථානය උනා. බැරැක්ක අවට ජීවත් වූ 1200ක ජනතාව ඉවත්කර Oświęcim අවටම ජීවත් වූ 300ක පමණ යුදෙව්වන් මෙහි ගෙන ආවේ කඳවුර ඉදිකිරීමේ ශ්‍රමය ලබා ගැනීමට. 1940-1941 කාලසීමාව අතරතුර Oświęcim අවට ජීවත් වූ 17,000 ක වැසියන් ඉවත් කලේ කඳවුර පුළුල් කිරීමේ ඉඩ ලබා ගැනීමට. 1943 ඔක්තෝබර් මසදී පැමිණි 6,000ක පමණ නාසි භටයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්නේ භාවිතයට නාසින් විසින් පාසැල්, ක්‍රීඩා පිටි ඇතුලු නේවාසික ප්‍රදේශයක්ද ඉදිකලා. මුල්ම සිරකරුවන් උනේ ජර්මනියේ සිර කඳවුරකින් මෙහි එවූ 30 දෙනෙකුගෙන් සමන්විත ජර්මානු අපරාධකරුවන් පිරිසක්. ඒ 1940 මැයි මසදී. පළමුවෙන්ම 1940 ජූනි 14 දිනදී දුම්රිය මගින් මෙහි ගෙන ආ සිරකරුවන් විශාල කණ්ඩායමට කතෝලිකයන්, නාසි විරෝධී පෝලන්ත ජාතිකයන් හා යුදෙව්වන් 20 ඇතුලත් උනා. 1941 මාර්තු වන විට 10,900 ක් දක්වා සිරකරුවන් සංඛ්‍යාව වර්ධනය වී තිබුණා. 1940 අවසන වන විට නාසි හමුදා කඳවුර පුලුල් කිරීමට ඒ අවටින්ම වර්ග කිලෝමීටර් 40ක ප්‍රදේශයක් තෝරාගෙන තිබුණා. අවුෂ්විට්ස් 1 ප්‍රධාන ගේට්ටුවේ “Arbeit macht frei” යනුවෙන් සඳහන් වී තිබෙනවා. මෙහි තේරුම “වැඩකිරීම (ඔබව) නිදහස් කරයි” යන්නයි.

අවුෂ්විට්ස් 2 (බිර්කෙනාවු)

1941 ගිම්හානයේ සෝවියට් හමුදාවට විරුද්ධව නාසින් ජයගත් “බාර්බරෝසා මෙහෙයුම” නාසි ජර්මනියේ යුදෙව්වන් කෙරෙහි තිබූ දැක්ම වෙනස් කිරීමට සමත් වුනා. එම මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ සොවියට් භටයන් විශාල පිරිසක් නාසි හමුදාවේ යුද සිරකරුවන් බවට පත්වුනා. නාසි පාලක “ඇඩොල්ෆ් හිට්ලර්” බලයට පත්වීමේදී ලබා දුන් ජන්ද පොරොන්දුවක් වූ යුදෙව්වන් යුරෝපයෙන් පලවා හැරීමේ ක්‍රියාවලියේදී යුදෙව්වන් සහ සෝවියට් යුද සිරකරුවන් ගාල් කර තැබීමේ ගැටලුවට පිළියමක් ලෙස අවුෂ්විට්ස් කඳවුර විශාල කිරීමට යෝජනා වුනා. SS ප්‍රධානී “හයින්රිච් හිම්ලර්” නියෝග කළේ සිරකරුවන් 50,000 කට සෑහෙන ලෙස අවුෂ්විට්ස් විශාල කිරීමටයි. නමුත් පැවති වාතාවරනය හමුවේ එම අගය 150,000 දක්වාත්, ඉන් පසු 200,000 දක්වාත් ඉහල නැගුනා. 1941 ඔක්තෝබර් මසදී අවුෂ්විට්ස් 1 සිරකඳවුර වෙත ගෙන ආ 10,000 ක් වූ සෝවියට් යුද සිර කරුවන්ගෙන් 1942 මාර්තු වන විට ඉතිරිව සිටියේ 945 දෙනෙකු පමණයි. මේ සියලු දෙනා අවුෂ්විට්ස් 2 නොහොත් බිර්කෙනාවු වෙත මාරු කර යැවුනා. මොවුන්ගෙන් බහුතරයක් හාමත් වීමෙන් හා බෝවෙන රෝගයන්ගෙන් පීඩා විඳ මැයි මස වනවිට මිය ගියා. මේ වනවිට හිට්ලර් යුදෙව් සංහාරයට තීරණය කර තිබුණු නිසා බිර්කෙනාවු කඳවුර ශ්‍රම හා ඝාතන කඳවුරක් බවට වෙනස්කම් සිදු කෙරුනා. අවුෂ්විට්ස් - බිර්කෙනාවු අනුස්මරණ කෞතුකාගාරයේ ඇස්තමේන්තු වලට අනුව ලක්ෂ 13 ක් හෙවත් මිලියන් 1.3 ක පිරිසක් බිර්කෙනාවු ක්‍රියාත්මකව තිබූ කාලයේ එහි යවා ඇති අතර මොවුන්ගෙන් මිලියන 1.1 ක් ම යුදෙව්වන්.

ඉදිකිරීමේ ප්‍රධානී “කාල් බිස්චොෆ්” යටතේ ආදාහනාගාර 4 ක්, පිළිගැනීමේ (ඇතුල්වීමේ) ගොඩනැගිල්ලක් හා සිය ගණනක අනෙකුත් ගොඩනැගිලි සැලසුම් කර ඉදිකෙරුනා. ඔහුගේ සැලසුම් අනුව එක් බැරැක්කයක් සිරකරුවන් 550ක් සඳහා වූ අතර එය පසුව ඔහු විසින්ම 744 ක් සඳහා වෙනස් කෙරුනා. නමුත් SS හමුදාව මගින් මෙහි සිරකරුවන් ගාල් කිරීම සඳහා ඉඩ වෙන් කිරීමට නොවෙහෙසුනේ සිරකරුවන් රඳවා තබා ගැනීමට නොව ඔවුන්ව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ නිසාවෙන්.

පළමු ගෑස් කාමරය “රතු නිවාසය”යනුවෙන් හැඳින්වූ අතර SS භටයන් එය හැඳින්වූයේ “1 බංකරය” නමින්. එය ගඩොලින් නිමකල පැරණි ගොඩනැගිල්ලක් වූ අතර අභ්‍යයන්තරයේ වූ සියල්ල ඉවත් කර හා ජනේල ගඩොලින් වසා දමා ගෑස් කාමරයකට පරිවර්තනය කෙරුනා. රතු නිවාසය 1942 මාර්තු මස පටන් ක්‍රියාත්මක කෙරුනු අතර දෙවෙනි ගෑස් කාමරය “සුදු නිවාසය” හෝ “2 බංකරය” ද ඉන් සති කිහිපයකින් පසුව ගොඩනැංවුනා. හිම්ලර් අවුෂ්විට්ස් කඳවුරු සංකීර්ණය පරික්ෂා කිරීමට 1942 ජූලි 17 හා 18 දිනයන්හිදී පැමිනි අතර ගෑස් කාමරවල ක්‍රියාකාරිත්වය පෙන්වීමට සුදු නිවාසයට භාවිතා කෙරුනේ සිරකරුවන් පිරිසක් සමගින්. මෑත ඉතිහාසයේ සිදුවූ මිලේච්ජ ඝාතනයන් කොපමනක්දැයි වටහා ගැනීම ඉහත කරුණින්ම ඔබට හැකිවේවි. සිරකරුවන් පිරිසකට ගෑස් කාමර තුලදී ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුනේ එක් නාසි හමුදා ප්‍රධානියෙක්ට එහි ක්‍රියාකාරිත්වය පෙන්වීමට පමණයි. මේ සංචාරයේදී ඉදිකිරීමට නියමිතව තිබූ අවුෂ්විට්ස් 3 හෙවත් “මොනොවිට්ස්” කඳවුරු භූමියද හිම්ලර් පරික්ෂාවට ලක් කලේ එය ඝාතකාගාරයක් නොව ශ්‍රම කඳවුරක් ලෙස ප්‍රයෝජනයට ගැනීමට කර තිබූ වැදගත් සැලසුහම් නිසාවෙන්. මොනොවිට්ස් සංකීර්ණය “අයි. ජී. ෆා(ර්)බන්” (IG Farben) නම්වූ කම්හල ඉදිකිරීමට යොදා ගනු ලැබුවේ අසලින්ම පිහිටි බිර්කෙනාවු හා අවුෂ්විට්ස් 1 කඳවුරු වලින් අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් සපයා ගත හැකි වූ හෙයින්. කම්හලේ හිමිකරුවන් වැටුප් ගෙව්වේ කම්කරුවන්ට නොව නාසි හමුදාවටයි. එම මුදලද සාමාන්‍ය ගෙවිය යුතු වැටුපට සාපේක්ෂව සොච්චම් මුදලක්. නමුත් මෙහි ශ්‍රම හමුදාව වූ අවුෂ්විට්ස් සිරකරුවන්ට ලැබුනේ දිනකට එක් වතාවක කෑම වේලක් පමණයි (ජල පහසුව තිබූ නමුත් ඒවා බීමට තරම් පිරිසිදු නොවූ විෂ සහිත ජලය වූ බව සඳහන්). මේ ලිපි පෙලේ ඉදිරියේදී කඳවුරේ ජීවිතය ගෙවුනු හැටි හා ගෑස් කාමර ගැන විස්තර කරන්නම්.

“අංක 2 ආදාහනාගාරය” ඉදිකරීමට පටන් ගැනුනේ 1943 මුල් මාස කිහිපයේදී ගෑස් කාමරවල ධාරිතාව (එක් වර ඝාතනය කල හැකි ප්‍රමාණය) වැඩි කිරීමට ගත් තීරණයත් සමගයි. මේ ආදාහනාගාරයට සම්බන්ධව පොලොව යට පවා කොටස් ඉදි වුනා. විශේෂයෙන්ම මේ හා සම්බන්ධ ගෑස් කාමර වායුව ගලා යා නොහැකිව සීල් වන දොරවල් සවිකෙරුනා. ජනේල කිසිවක් නොතිබූ මේ ගොඩනැගිලි වල එක් වායු ප්‍රතිරෝධී (gas-tight) දොරට අමතරව වහලයේ ඉහල කුඩා වායු ප්‍රතිරෝධී සිදුරු කිහිපයක් තිබුනේ මාරාන්තික “දියරමය සයනයිඩ්” අඩංගු ගෑස් බඳුන් ඇතුලට විසි කිරීමටයි. මේවා දියරමය සයනයිඩ් ලෙස හැඳින්වුවත් එය ටින් තුල තිබුනේ පව්ඩර් ආකාරයෙන්. බඳුන් විවෘත කිරීම නිසා වාතයට නිරාවරණය වීම නිසා මේවා දුම් (ගෑස්) පිට කරීම ආරම්භ කලේ ද්‍රව බවට පත්වෙමින් බවයි සඳහන්. අදටත් අවුෂ්විට්ස් කෞතුකාගාරයේ මේ ගෑස් ටින් දහස් ගනනක් ප්‍රදර්ශනයට තබා ඇත්තේ මෙහි සිදුවූ අමානුෂික ඝාතනයන් ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට පහසු වන ලෙසයි. අංක 2 ආදාහනාගාරයට අමතරව අංක 3,4 හා 5 නමින් තවත් ආදාහනාගාර 3ක් ගොඩ නැගුනේ ගෑස් කාමර වල ඝාතනය කෙරෙන සිරකරුවන් පුළුස්සා දැමීමටයි. 1943 ජූනි වන විට ආදාහනාගාර 4ක් ක්‍රියාත්මක වූ බවයි සඳහන් වෙන්නේ.

ජිප්සි කඳවුර

1942 දෙසැම්බර් 10 වන දින සියලුම රොමානි (රොමේනියානුවන් නොවේ) හෝ ජිප්සි හෙවත් අහිගුන්ඨිකයන් ඝාතක කඳවුරු වලට යැවීමට නියෝග කලේ හිම්ලර්. ඒ අනුව ඉක්මනින්ම අවුෂ්විට්ස් 2 - බිර්කෙනාවු කඳවුර තුලම මොවුන් සඳහා උප කඳවුරක් ඉදි කිරීමට පියවර ගත්තා. එය හැඳින්වුනේ Zigeunerfamilienlager (Gypsy Family Camp) නමින්. මුලින්ම ජිප්සීන් මෙහි ගෙන ආවේ ජර්මනියෙන් 1943 පෙබරවාරි 26 වනදා අවුෂ්විට්ස් 2 B-IIe අංශයට. ඉන් අනතුරුව 1944 වන විට ගෙනවිත් තිබූ 23,000ක් වූ ජිප්සින්ගෙන් 20,000 ක්ම ඝාතනය වුනා. එක් වරක් දුම්රියෙන් ගෙන ආ ගමන් 1,700 ක කණ්ඩායමක් කෙලින්ම ගෑස් කාමර වලට යැව්වේ දුම්රියේ බෝවන උන රෝගීන් ඇතැයි සැක කරමින්.

ජිප්සී සිරකරැවන් සියල්ලම වගේ ඉදිකිරීම් වැඩ සඳහා යොදාගැනුනා. දහස් ගනනක් මිය ගියේ අධිකව ගාල් කිරීම නිසා වැලඳුනු රෝගවලින්, නුසුදුසු තත්වයේ සනීපාරාක්ෂාව, හා මන්දපෝෂණයෙන්. නමුත් මොවුන් තොග ගනනින් මරා දමන්න පටන් ගන්න කලින් 1,400 ත් 3,000 ත් අතර පිරිසක වෙනත් කඳවුරු වලට යවා තිබෙනවා.

මොවුන්ගේ බැරැක්ක අසල බැරැක්ක වල ගාල් කර සිටි අයගේ සාක්ෂි අනුව, 1944 අගෝස්තු 2 වනදා ජිප්සීන් ගෑස් කාමර වලට ප්‍රවාහනයට ට්‍රක් වලට පටවද්දී ඔවුන් රහසේ හදාගත් ආයුධ වලින් නාසි හමුදාව සමග අසාථක දිවි බේරාගැනීමේ සටනක යෙදිලා තිබෙනවා.

අවුෂ්විට්ස් 3

IG Farben නිෂ්පාදනායතනයේ කම්කරුවන් පහසුවෙන් සපයා ගැනීම සඳහා අවුෂ්විට්ස් 2 අසලම කර්මාන්තශාලාවක් ඉදිවුනා. “බුනා” නම් සිනතරික් රබර් වර්ගය මගින් රසායන ද්‍රව්‍ය තමයි මෙහි නිපදවූයේ. විශේෂම කරුණක් වන්නේ අවුෂ්විට්ස් ගෑස් කාමර තුල භාවිතා කළ Zyklon B නම් විෂ වායුව නිපදවීමට පේටන්ට් බලපත්‍රයේ හිමිකාරිත්වයත් මේ ආයතනයම සතු වීමයි.

1941 මාර්තු හිම්ලර්ගේ අණ වූයේ නව කඳවුර සිරකරුවන් 30,000 කට සෑහිය යුතු බවයි. ඉන් මාස 6කට පසුව ඉදිකිරීම් ආරම්භ උනා. IG Farben කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ඇරඹුනේ අප්‍රේල් මාසයේදී අවුෂ්විට්ස් 1 කඳවුරේ සිරකරුවන් 1,000 ක ශ්‍රමයෙන්. 1943 වන විට මේ ගණන 7,000 කටත් 1944 වන විට 11,000 ක් දක්වාත් මෙය වැඩිවුනා. මුලු ඉදිකිරීම් කාලය තුලම 35,000 කට අධික ගණනක් ශ්‍රමය සපයා තිබුනත් ඉන් 25,000 ක්ම මිය ගියේ මන්ද පෝෂනය, අධික වෙහෙස හා රෝගාබාධ වලින්. දෙවන ලෝක යුද සමයේ මුලු යුරෝපයේම වහල් සේවයේ යෙදවූවන්ගෙන් තුනෙන් එකක්ම මෙහි ඉදිකිරීම්වලට යොදාගැනුනා. මුලින්ම අවුෂ්විට්ස් 1 කඳවුරේ සිට කිලෝමීටත් 7 ක පාගමනකින් පාන්දර 3 ට අධික සීතලේ මොනොවිට්ස් හෙවත් අවුෂ්විට්ස් 3 කඳවුරට පැමිණිමට සිරකරුවන්ට සිදුවුනා. නමුත් Farben කළමනාකාරිත්වය මෙම පිලිවෙලෙන් සිරකරුවන්ගේ සම්පූර්ණ ශ්‍රමය ලබා ගත නොහැකි හෙයින් 1942 ඔක්තෝබර් 2 වන දින සිට සිරකරුවන් මොනොවිට්ස් කඳවුරේ නැවැත්වූයේ පෞද්ගලික අංශය මගින් ඉදිකල පළමු වහල් කඳවුර ලෙසින්. පළපුරුදු සිරකරුවෙක්ගේ සේවයට නාසි හමුදාවට පැයකට රයිෂ්මාක් 4 බැගින් හා පළපුරුදු නැති සිරකරුවෙකුගේ සේවයට පැයකට 3 බැගිනුත් ගෙවලා ඕන තරම් ශ්‍රමය සපයා ගන්න පහසුව ලැබුනා. සාමාන්‍ය මිනිසෙකුගේ වැඩකිරීමේ හැකියාවෙන්  සියයට 75ක වැඩ මේ සිරකරුවෙන් බලාපොරොත්තු වුනත් 20% - 50% ක් සපයා ගතහැකි වුනේ “වැඩ නොකලොත් අවුෂ්විට්ස් 2 ගෑස් කාමරවලට යවනබවට” තර්ජනය කරමින්. 1943 දී නිෂ්පාදනය ආරම්භ කිරීමට සැලසුම් කළත් එය ප්‍රමාද වුනා. ඒත් 1945 සෝවියට් හමුදාව අවුෂ්විට්ස් නිදහස් කරගන්නා විට Farben කර්මාන්තශාලාව සම්පූර්ණයෙන් නිම කර නිෂ්පාදනය ආරම්භ කිරීමට ආසන්නව සිටියේ.

උප කඳවුරු

Krupp හා Siemens-Schuckert ඇතුලු තවත් ආයතන විශාල ගනනක් මේ ක්‍රමය ලාබ බව දැක්ක නිසා තවත් උප කඳවුරු 45 ක්ම ඉදිවුනා. ඒ අතරින් 28 ක්ම, යුද්ධයට ඍජුව සම්බන්ධ නිෂ්පාදනයන් කරන කර්මාන්තශාලා. මින් අමතරව රසායන කර්මාන්තශාලා ලෝහ කර්මාන්තශාලා හා වෙනත් කර්මානශාලා මෙන්ම ගොවිතැනද ක්‍රියාත්මක වුනා.

ඉවත් කිරීම, මරණයේ පාගමන (Death March) හා සොවියට් ගලවා ගැනීම

1944 අවසන් කාලසීමාවේ යුද්ධයේ අවසානය ළඟා වත්ම අවුෂ්විට්ස් කඳවුරේ සිරගතව සිටි 130,000 ක් පමණ සිර කරුවන්ගෙන් අඩක්ම වෙනත් ඝාතක කඳවුරු වලට මාරු කර යැවීම ආරම්භ වුනා. නොවැම්බර් මස වන විට සෝවියට් රතු හමුදාව පෝලන්තය නිදහස් කර ගනිමින් ඉදිරියට පැමිණිම හේතුවෙන් හිම්ලර් ගේ අණ පරිදි ගෑස් කාමර වල ක්‍රියාකාරිත්වය නවතා දැමුවා. අංක 4 වන ආදාහනාගාරය (හා එයට සම්බන්ධ ගෑස් කාමරය) කඩා දැමුනේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. “සොන්ඩර්කොමාන්ඩෝ” නම් ගෑස් කාමර වල සේවයේ යොදවා සිටි විශේෂ සිරකරුවන්ට නියෝග ලැබුනේ ගෑස් කාමර හා ඝාතනයන් සම්බන්ධ සියලුම සාක්ෂි (සමූහ මිනී වලවල් ඇතුලුව - ගෑස් කාමර වල පුළුස්සා දැමීමට නොහැකි තරම් ඝාතනයන් සිදුවූ නිසා) විනාශ කර දමන ලෙසයි. සියළු ලිපිගොනු පුළුස්සා විනාශ කර දැමුවේත් සමහර ගොඩනැගිලි කඩා විනාශ කර දැමුවේත් නාසි සොල්දාදුවන් විසින් කඳවුර නිදහස් කර ගැනීමට සතියකට පෙරයි. ‘කැනඩා’ නමින් හැඳින්වූ සිරකරුවන්ගෙන් අයත් කරගත් ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලෙන් වටිනා දේ ජර්මනියට ගෙන ගියා. ජනවාරි 20 වන දින ගබඩා කාමර හා ගෑස් කාමර සමගින් අංක 2 හා 3 වන ආදාහනාගාර පුපුරුවා හැරියේ සාක්ෂි වසන් කිරීමටයි. එම ගින්න දින කිහිපයක් පුරා පැතිරි බවයි සඳහන් වෙන්නේ. 1945 ජනවාරි 26 වන දින එනම් සෝවියට් හමුදාව අවුෂ්විට්ස් නිදහස් කර ගැනීමට එක් දිනයකට පෙර, අංක 5 ආදාහනාගාරය පුපුරවා හැරියේ ඉතිරිව තිබූ අවසාන ආදාහනාගාරය ලෙසින්.

නාසි හමුදාව යටතේ තිබූ ඝාතන හා සිරකඳවුරු සියල්ලෙහිම අණදෙන නිලධාරින්ට හිම්ලර් ගෙන් ලැබුන උපදෙස වූයේ එකදු සිරකරුවෙක් වත් සතුරු හමුදාව යටතට පත් වීමට ඉඩ නොතබන ලෙසයි. ජනවාරි 17 වනදා අවුෂ්විට්ස් කඳවුරේ සිටි මුලු සිරකරුවන් 56,000 – 58,000 (මොවුන්ගෙන් තුනෙන් එකක්ම යුදෙව්වන්) නාසි හමුදා නියෝග අනුව කඳවුරෙන් පිටත්වීම ආරම්භ කරනවා. බොහෝ දෙනෙක්ට පයින්ම ගමන් කිරීමට සිදුවුනේ නාසි හමුදාව සතුව තිබූ දුම්රිය හා අනෙකුත් වාහන සිරකරුවන් සියල්ලන්ටම සෑහෙන ලෙස නොතිබූ බැවින්. සීත ඍතුවේ මේ ආකාරයේ පාගමක් දුර්වල සිරකරුවන්ගෙන් බොහෝ දෙනෙක් අතරමගදී මිය යාමට හේතු උනා. පෝලන්තයේ සීත ඍතුවේදී උෂ්ණත්වය ඍන 20ක් දක්වා පහත වැටීම සාමාන්‍ය දෙයක්. ගමන් කිරීමට නොහැකිව අතරමග ඇද වැටෙන සිරකරුවන්ට නාසි සෙබලුන් වෙඩි තබා මරා දැමුවේ හිම්ලර්ගේ අණ පරිදි එකදු සිරකරුවෙක්වත් සතුරු හමුදාවන්ට පත්වීම වැළැක්වීම සඳහා. මේ තත්වයන් යටතේ ආරම්භ කළ පාගමන පණ පිටින් අවසන් කිරීමට හැකි වුනේ මුලු සිරකරුවන්ගෙන් හතරෙන් තුනකට පමණයි. පසුව සිරකරුවන් ළඟා වුනේ ග්‍රොස්-රොසෙන් සිර කඳවුරටයි. එනමුත් එහි සිරගතකරව සිටි සිරකරුවන්ට අමතරව මෙහි ගෙන ආ සිරකරුවන් රඳවා තැබීමට ඉඩ ප්‍රමාණවත්වුනේ නෑ. එබැවින් 44,000ක් වූ සියලුම සිරකරුවන්ට බටහිර බලා නැවතත් ගමන් ඇරඹීමට නාසි හමුදාව බල කලා. අණ නොපිළිපදින සිරකරුවන් කිසිදු සමාවක් නොමැතිව ඒ මොහොතේම වෙඩි තබා මරා දමන බව දන්නා සිරකරුවන්ට ගමන් ඇරඹීම හැර වෙන කිසිදු විකල්පයක් තිබුනේ නැත.ගමන ඇරඹූ 44,000ක් වූ සිරකරුවන්ගෙන් අතර මගදී මිය ගිය ප්‍රමාණය අදටත් අභිරහසක්. නැවතත් 1945 මාර්තු මසදී කිසිදු සිරකරුවෙක් නොමැරිය යුතු බවට හිම්ලර් විසින්ම නියෝග කලේ මිත්‍ර හමුදා සමග සාම සාකච්ජා මගින් විසඳුමක පැමිණිය හැකි බව ඔහු විශ්වාස කළ බැවින්. ආසන්නව 20,000ක පමණ සිරකරුවන් ජර්මනියේ බර්ගන්-බෙල්සන් සිරකඳවුරට පැමිණි අතර 1945 අප්‍රේල් මසදී බ්‍රිතාන්‍ය හමුදා මගින් ඔවුන්ව මුදා ගත්තා.

1945 ජනවාරි 26 හා 27 වන දිනවලදී සෝවියට් රතු හමුදාවේ 322 වන රයිෆල් බලඇණිය විසින් අවුෂ්විට්ස් මුදවාගන්නාවිට 7,500ක සිරකරුවන් හා 600 ක පමණ මළමිනී සොයාගත්තා. මෙහිදී මුදවා ගත් භාණ්ඩ අතරින් 377,000 ක සොවියට් හමුදා නිළ ඇඳුම්ද, 877,000 ක කාන්තා ඇඳුම් හා ටොන් 7.7 ක එනම් කිලෝග්‍රෑම් 7,700 ක් බර මනුශ්‍ය කොණ්ඩ හමුවුනා. කඳවුරට ඇතුලත් සියලුම සිරකරුවන්ගේ කොණ්ඩ කපා දැමුවේ ඒවා කිලෝ ගනනට විවිධ කර්මාන්තශාලාවලට විකිණීමටයි. කඳවුර මුචවා ගත් අවස්ථාවේ මාධ්‍ය මගින් ලබා දුන්නේ සුලු අවධානයක්. ඒ කලින් මේ ආකාරයේම ඝාතක කඳවුරක් වූ ‘මයිඩනෙක්’ කඳවුර මුදවා ගැනීම නිසා මෙය යම් දුරකට සාමාන්‍ය සිදුවීමක් බවට පත්වීම, තවමත් ක්‍රියාත්මක වන නාසි හමුදාව විසින් සත්‍ය වසන් කරමින් තවමත් ඔවුන් ජයග්‍රහණය කරමින් සිටින ආකාරටයේ ප්‍රවෘත්ති ව්‍යාප්ත වීම හා වැදගත්ම හේතුව වූ යුදෙව්වන් මර්දනය ගැන ප්‍රචාරය නිසා තවමත් ජීවත්වන යුදෙව්වන්ගේ මානසික පීඩනය අවම කිරීමට රතු හමුදාවේ තීරණය නිසයි. කඳවුරේ විශාලත්වය නිසා අඩුම තරමින් බළඇණි 4ක් මුදවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධවුනා. ඒ සෝවියට් රතු හමුදාවේ 100 වන රයිෆල් බළඇණිය, 322 වන රයිෆල් බළඇණිය, 286 වන රයිෆල් බළඇණිය හා 107 වන මෝටාර් රයිෆල් බළඇණියයි.

යුද්ධයෙන් පසුව

අවුෂ්විට්ස් 2 බිර්කෙනාවු කඳවුර සෝවියට් හමුදාව විසින් 1945 ජනවාරි 27 වන දින සවස 3.30 ට පමණත් ඉන් පැය දෙකකට පසුව අවුෂ්විට්ස් 1 ප්‍රධාන කඳවුරත් මුදවා ගත්තා. පාන් පුරවා ගත් හමුදා රථ පැමිණියේ ඉන් පසු දිනයේ. ගතවූ සතිය තුල ස්වේච්ජාවෙන් සේවය සපයන්නන් මුදාගත් කඳවුරට පැමිණියේ ප්‍රථමාධාර හා සහය ලබා දීමට. පෙබරවාරි ආරම්භයත් සමගම පෝලන්ත රතු කුරුසය මගින්, අවුෂ්විට්ස් 1 හි 14, 21 හා 22 කොටස් තුල රෝහල් පිහිටවූයේ පෝලන්තයේ ක්‍රාකොව් නුවරින් පැමිණි දොස්තර ජෝසප් බෙල(ර්)ට් ගේ නායකත්වය යටතේ තවත් 30 ක ස්වේච්ජා දොස්තරවරුන් හා හෙද හෙදියන් සමගින්. මොවුන්ගේ සහයට අවුෂ්විට්ස් කඳවුරේ සිරගතව සිටි සිරකරුවන් 90 ක ගේ සහයෝගයත් නොමදව ලැබුනා. බරපතල තත්වයේ සිටි කීප දහසක් වූ බිර්කෙනාවු සිරකරුවන්, අවුෂ්විට්ස් 1 හි පිහිටවන ලද මෙම නව රෝහල් කරා ගෙන ආවා. අනාථව සිටි ළමුන් සමහරක් හදා ගැනීමට ඔස්විඒචිම් ප්‍රදේශයේම (කඳවුර අවටම) පවුල් කිහිපයක් ඉදිරිපත් වීම විශේෂ සිදුවීමක්. අනෙකුත් දරුවන් හා(ර්)බුටෝවිස් ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකට යැවුණා.

4,500 කට අධික පිරිසකට මේ රෝහල් විසින් ප්‍රථිකාර කළා. මොවුන්ගෙන් බහුතරයක් විවිධ රටවල් 20කින් අවුෂ්විට්ස් වෙත ගෙන ආ යුදෙව්වන්. නමුත් මේ අතරින් 500ක් පමණ ප්‍රථිකාර අතරතුරදීම මියගියා. මේ බොහෝ දෙනෙක් මන්ද පෝෂණය හා විවිධ රෝගාබාධ වලින් පෙලුන අයයි. කඳවුර අවට පදිංචි කරුවන්ගෙන් ස්වේච්ජාවෙන්ම නොමද සහයක් ලැබුනේ ආහාර, ආහාර සඳහා මුදල්, රෝහල් කාමර පවිත්‍ර කිරීම්, ජලය සපයාදීම, රෝගීන්ව නැහැවීම, ආහාර පිසීම, මළසිරුරු වළදැමීම හා රෝගීන් ප්‍රවාහනය ආදයට. දහස් ගනනක් වූ මුදවාගත් සිරකරුවන්ට ආහාර සැපයීම විශාල අභියෝගයක් වුනා. රෝහල් අධ්‍යක්ෂතුමාද පා ගමනින්ම ගමින් ගමට ගොස් කිරි එකතු කිරීමේ කටයුතු වලද නිරත වූ බව සඳහන්.

1945 ජූනි මසදී සොවියට් හමුදාව විසින් අවුෂ්විට්ස් 1 කඳවුර පවරා ගත්තේ ජර්මානු යුධ සිරකරුවන් සඳහා. කඳවුර තුල පිහිට තිබූ රෝහල් සියල්ල පාලන ගොඩනැගිලි සීමාවෙන් පිටතට ගෙනයාමට සිදුවුණා. ජර්මානුවන් සඳහා වූ අවුෂ්විට්ස් 1 කඳවුර 1945 ඔක්තෝබර් වන තෙක් ක්‍රියාත්මක වූ බවයි සඳහන් වෙන්නේ.

අවුෂ්විට්ස් 2 බිර්කෙනාවු කඳවුරේ බැරැක්ක කිහිපයක් කඩා එ්වායේ භාවිතා වූ ලෑලි ආදිය යුද්ධයෙන් විනාශ වූ තම නිවාස ගොඩනැගීමට ගම් වැසියන් කිහිප දෙනෙක් රැගෙන ගිය බව සඳහන්. ඊට අමතරව ඉතා දුප්පත් ගම්වාසීන් ආදාහනාගාර තිබූ තැන්වල අලු අවුස්සමින් සෙව්වේ රත්රන් හෝ වෙනත් වටිනා දේ හමුවේ යැයි බලාපොරොත්තුවෙන්. මොවන් පලවා හැරීම අපහසු වූ අතර අවවාදාත්මක අහසට වෙඩි තැබීම්ද අවශ්‍ය උනා. යුද්ධය අවසානයෙන් වසර දෙකක් වන විට මොනොවිට්ස් (අවුෂ්විට්ස් 3) හි පිහිටා තිබූ කම්හල් බොහොමයක් සෝවියට් සංගමයේ රටවල්වලට ගෙන ගියා. මේ කාලය අතරතුරදී පෝලන්ත හා සෝවියට් විශේෂඥයන් යුද අපරාධ සම්බන්ධ ලිපිගොනු සොයාගැනිම් දිගින් දිගටම සිදු කලා.

1947 දී අවුෂ්විට්ස් 1 හා 2 කඳවුරු කෞතුකාගාරයක් බවට පත් කළා. නමුත් තවත් දශකයකට වැඩි කාලයක් ගතවන තුරු මිනී ගොඩගැනීම් කටයුතු සිදුවුනා. ඇන්තනි ඩොබ්රෝවොල්ස්කි 2012 වයස අවුරුදු 108 දී මියයන විට අවුෂ්විට්ස් දිවිගලවාගත් අයගෙන් වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුනා.

"https://si.wikipedia.org/w/index.php?title=අවුෂ්විට්ස්_සිර_කඳවුර&oldid=430921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි