ආර්ය අෂ්ඨාංගික මාර්ගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Dharma Wheel.svg ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක.පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබාදෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම
ධර්ම චක්‍රය

බුදුරජාණන් වහන්සේ
අට විසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය


මධ්‍යම ප්‍රතිපදාවේ අංග අට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස විස්තර කෙරේ. දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව නම් සිවු චන ආර්ය සත්‍යය යි. මෙය ප්‍රධාන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු වැඩ පිළිවෙලකි. මෙහි ප්‍රධාන වන්නේ ප්‍රඥාව වේ, පහත දැක්වෙන ලෙස සම්මා දිට්ඨි, සඞ්කප්ප අයත් වන්නේ ප්‍රඥාව යටතටයි.ඉන් පසු පිළිවලින් ශිල , සමාධි ලෙස දැක්වේ. සිධ්ධාර්ථයන් බුද්ධත්වයට උපකාරී වුයේ ප්‍රඥාව මුල්කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම තුලිනි

  1. සම්මා දිට්ඨි
  2. සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා)
  3. සම්මා වාචා
  4. සම්මා කම්මන්ත
  5. සම්මා ආජීව
  6. සම්මා වායාම
  7. සම්මා සති
  8. සම්මා සමාධි

ශීල[සංස්කරණය]

සම්මා වාචා[සංස්කරණය]

දීඝ නිකායේ සතිපට්ඨාන සුත්‍රයේ සම්මා වාචා මාර්ග අංගය සතර ආකාරයකින් සඳහන් කර ඇත. “කතමාච භික්ඛවේ සම්මා වාචා? මුසාවාදා වේරමණී, පිසුනාය වාචා වේරමණී , ඵරුසාය වාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී, අයං වුච්චති භික්ඛවේ සම්මා වාචා.”
“මහණෙනි, සම්‍යක් (යහපත්) වචනය යනු කවරේද? බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකිම, හිස් වචන කීමෙන් වැළකීම යන මේවාට යහපත් වචන යැයි කියනු ලැබේ.

සම්මා කම්මන්ත[සංස්කරණය]

"කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තා" මොනවද මහණෙනි යහපත් කර්මාන්ත කියන්නෙ? "පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචරියා වේරමණී (නැතිනම් කාමේසු මිච්ඡාචාරා වේරමණි) සතුන් මැරීමෙන් වැළකිම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීම මෙන් ම සුරා පානයෙන් වැළකීම ආදී කයින් කෙරෙන අකුසල්වලින් වැළකී යහපත් ජීවිතයක් ගත කිරීම සම්මා කම්මන්ත යනුවෙන් හැඳින්වේ. නිවන් දැකීමට බලාපොරොත්තු වන අය සම්මා කම්මන්ත ආරක්ෂා කළ යුතු ය.

සම්මා ආජීව[සංස්කරණය]

යහපත් නිවැරැදි දිවි පැවැත්ම යි. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මාංස වෙළඳාම, මත් පැන් වෙළඳාම, වස විෂ වෙළඳාාම යන පස් වැදැරුම් වෘත්තීන් වැරැදි දිවි පැවතුම් ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයෙහි ගමන් කරන අය සම්මා ආජීවය රැකිය යුතුව ඇත. මෙ පමණක් නොව හොරට කිරීම් මැනීම්, වංචා කිරීම්, වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම්, පොදු දේපොළ අයථා පරිහරණය, අල්ලස් ගැනීම්, අනාථාධාර සහනාධාර ආදිය ගසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්වීම් ගණයට වැටේ. මිච්ඡා ආජීවය ද නිවන් මඟට බාධාවකි.

සමාධි[සංස්කරණය]

සම්මා වායාම[සංස්කරණය]

සම්මා වායාම යනු යහපත් උත්සාහය යි. එම උත්සාහ ගත යුතු කරුණු ගැන, සතර සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සුත්‍රවල බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත. "කතමෝච භික්ඛවේ සම්මා වායාම? ඉධ භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති, විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති, උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති" නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු යි. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු යි. නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු යි. ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු යි. සත් තිස් බෝධි පාක්ෂික ධර්ම; එනම් සතර සතිපට්ඨාන ධර්ම, සතර සම්ම ප්‍රධාන විර්යය (සම්මා වායාම යනු මෙයම යි.) සතර ඉද්ධිපාද, (ඡන්ද, චිත්ත, විරිය, වීමංසා) පංචෙන්ද්‍රිය, පංච බල, (ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පහ ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම ලෙස සැලකේ. ) සප්ත බොජ්ඣඬ්ග (සති, ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යනු සප්ත බොජ්ඣඬ්ග යි.) යනාදිය නූපන් කුසල ධර්ම යි.

සම්මා සති[සංස්කරණය]

සම්මා සතිය යනු යහපත් සිහිය යි. බුදු රජාණන් වහන්සේ බොහෝ තැන්වල සම්මා සතිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "ඉධ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේසු චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සි විහරති...." කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන කරුණු හතර සම්මා සතිය ලෙස හැඳින්වේ. සතර සතිපට්ඨානය නම් වු මේ කරුණු හතර දියුණු කර ගැනිම යි සම්මා සතිය. සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමේ දී කයේ සම්මා සතියේ පිහිටිය යුතු යි; වේදනාවේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සිතිවිලි ධර්ම පිළිබඳව සම්මා සතියේ පිහිටිය යුතු යි. නිවන් දැකීම සඳහා සතිය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. දිනකට අඩු වශයෙන් විනාඩි 10- 15 ක් වත් සිහියෙන් වැඩ කිරීම සතිය දියුණු කර ගැනීමට හේතු වේ.

සම්මා සමාධි[සංස්කරණය]

සිතේ එකඟ භාවයක් තිබිම යි. සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි නම්, සිත විසිරෙනවා නම්, නොයෙක් අරමුණු කරා දිව යනවා නම් ඔහුට නිවන් දැකිමට නොහැකි වනු ඇත. "නත්ථි ඣානං අපඤ්ඤස්ස, පඤ්ඤා නත්ථි අඣායතෝ" යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. සිතේ එකඟ භාවයක් නැති තැනැත්තාට ප්‍රඥාවක් ඇති නොවේ. ‛උපතින් ප්‍රඥාව නැති තැනැත්තාට සිතේ එකඟ භාවයක් ලබා ගත නොහැකි ය.’ යන්න එහි අදහස යි.
සිත සමාධි ගත කර ගත් තැනැත්තාට ප්‍රථම දෙවන තෙවන සිවු වන යන කාමාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. රූපාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන මාර්ග ඵල ලැබිය හැකි ය. සම්මා සමාධිය ඇති කර ගැනීමට නම් පළමුවෙන් සම්මා සතිය ඇති කර ගත යුතු යි. අනතුරු ව භාවනා මාර්ගයේ ගමන් කිරීමෙන් සමාධිය ඇති කර ගෙන නිවනට පත් විය හැකි ය.

ප්‍රඥා[සංස්කරණය]

සම්මා දිට්ඨි[සංස්කරණය]

සම්මා දිට්ඨිය යනු අන්තගාමී නොවන (ඇත යන හෝ නැත යන ) අන්තයන්ට නොගොස් මද්‍යයේ සිට දැක්ම(කච්ඡායන ගොත්ත සූත්‍රය). සතර සතිපට්ඨාන සූත්‍රය සම්මා දිට්ඨිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි" යනුවෙන් බුදු රජාණන් වහන්සේ එය විස්තර කර ඇත. "කිමෙක්ද, මහණෙනි සම්මා දිට්ඨිය කියන්නෙ? දුක පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ඥානයක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වේ. සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනීම බව මෙයින් පැහැදිලි වේ. සම්මා දිට්ඨිය පිළිබඳ ව බුදු රජාණන් වහන්සේ විවිධාකාර යෙන් විවිධ සූත්‍රවල දේශනා කර ඇත. සම්මා දිට්ඨි සූත්‍රය 16 ආකාරයකින් එය විස්තර කර ඇත. චත්තාරීසික සම්මාදිට්ඨි සූත්‍රය 40 ආකාරයකින් සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වන ආකාරය දක්වා ඇත. මහා කච්ඡායන සූත්‍රය‍වල ද සම්මා දිට්ඨිය විවිධාකාරයෙන් දක්වා ඇත.

සම්මා සඞ්කප්ප[සංස්කරණය]

සම්මා සංකප්ප යනු යහපත් සංකල්පනා ය. යහපත් සංකල්පනා යනුවෙන් අදහස් කරන්නේ වැරැදි සංකල්පනාවලින් ඈත් ව නිවැරැදි සංකල්පනා ඇති කර ගැනීම යි. මේ නිවැරැදි සංකල්පනා කොටස් තුනකි.

1. නෙක්ඛම්ම සංකල්පනා
2. අව්‍යාපාද සංකල්පනා
3. අවිහිංසා සංකල්පනා

නෙක්ඛම්ම සංකල්පනා[සංස්කරණය]

“නෙක්ඛම්ම” යනු නික්මීම යි. මෙයින් අදහස් කරන්නේ ගිහි ගෙය හැර දැමීම නොව ගෘහ ජීවිතවලට සම්බන්ධ කාම සංකල්පනාවලින් ඉවත්වීම යි. “මේ සංසාර දුකින් මිදෙන්නට ඕනෑ ය; මේක මහා භයානක දෙයක් ය; ඒ නිසා නිවන අවබෝධ කර ගන්නට ඕනෑ ය; ලෞකික දේවල ම පැටලී සිටින එක ඥානවන්තකමක් නොවෙයි.” ආදී වශයෙන් සංසාර දුකින් මිදෙන්නට අවශ්‍ය සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා ලෙස හැඳින්වෙයි. නිවන් දකින්නට බලාපොරොත්තු වෙන තැනැත්තා දූ දරු මා පිය සහෝදර ඥාති මිත්‍ර ආදී ගෘහ ජීවිතවලට සම්බන්ධ බැඳීම්වලින් සිත ඈත් කර ගත යුතු යි. ඒ සම්බන්ධ සිතිවිලි ගලා එන විට මෙනෙහි කර වළක්වා ගත යුතු යි. යම් කිසි කෙනෙකුට සංසාරයේ රැඳී සිටීම දුකක් කියා අවබෝධයක් නැත්නම්, ඒ දුක නැති කිරීමේ කල්පනාවක් ඇති නොවේ. භාවනා කිරිමට, විදර්ශනා ඥාන ඇති කර ගැනීමට, සෝවාන් ආදී මාර්ග ඵල ලැබීමට, සංසාර විමුක්තිය ලැබීමට සිතෙන්නේ නෙක්ඛම්ම සංකල්පනා උපදවා ගත් කෙනෙකුට යි. එසේ නොසිතන කෙනා කිසිවක් නොකරයි. ඒ නිසා සසර දුකින් මිදීමට සම්මා සංකල්පනාව අත්‍යවශ්‍ය ම දෙයකි.

අව්‍යාපාද සංකල්පනා[සංස්කරණය]

ව්‍යාපාද සංකල්පනාවට ප්‍රතිවිරුද්ධ සංකල්පනාව අවත්‍ාපාද සංකල්පනාව යි. “ව්‍යාපාදතෝ නිස්සඨොති අව්‍යාපාද සංකප්පෝ” යනුවෙන් බුදු රජාණන් වහන්සේ අව්‍යාපාද සංකල්පනා හඳුන්වා ඇත. ව්‍යාපාදය යනුවෙන් හඳුන්වන්නේ තරහව, නොමනාපය, නොසතුට ආදිය සම්බන්ධ සිතිවිලි යි. තරහවට විරුද්ධ සිතිවිලි අව්‍යාපාද සිතිවිලි යි. නිවන් දැකීමට බලාපොරොත්තු වන පුද්ගලයා නිරන්තරයෙන් කෝප වී කටයුතු කිරීම තම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට බාධාවකි.
විවිධාකාර හේතු නිසා ව්‍යාපාදය යට ගනී. තමා කැමති ආකාරයට අන් අය නොහැසිරීම, තමාට හෝ තමා ගේ හිතවත් අයටත්, ඒ අය ගේ දේපොළ වස්තුව ආදියටත් වෙනත් අය විසින් කරදර පීඩා කරනු ලැබීම, තමාට වුවමනා ආකාරයට අන් අය නොහැසිරීම, අව් වැසි සුළං ආදී ස්වභාව ධර්මයට සම්බන්ධ සිදුවිම්, මැසි මදුරු උවදුරු, ශාරීරික වේදනා ආදිය පමණක් නොව භාවනා කරන විට යම් කෙනෙකු විසින් බාධා කරනු ලැබීම වැනි සිදුවීම් නිසා ද ව්‍යාපාදය ඇති විය හැකි ය. එවැනි අවස්ථාවල දී “තරහවක් තරහවක්, නොසතුටක් නොසතුටක්”ආදී වශයෙන් මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදය නැති කර ගත හැකි ය. දිනපතා ටික වේලාවක් හෝ සියලු සත්වයන් අරමුණු කරමින් මෛත්‍රී භාවනාවෙහි යෙදීමෙන් ව්‍යාපාද සංකල්පනා ඇති වීම අඩු කර ගත හැකි ය.

අවිහිංසා සංකල්පනා[සංස්කරණය]

හිංසා සහගත සිතිවිලිවලට විරුද්ධ සිතිවිලි අවිහිංසා සංකල්පනා ලෙස හැඳින්වේ. එ පමණක් නොව කරුණා සහගත සිතිවිලි සිත තුළ ඇති කර ගත යුතු යි. ඒ සඳහා කරුණා භාවනාව කිරීම ඉතාම සුදුසු යි. කරුණා භාවනාව කෙරෙනුයේ "දුකට පත් සත්වයෝ දුකින් මිදෙත්වා!" යනුවෙන් මෙනෙහි කිරීමෙනි. මේ ලෝකයේ යම් තාක් සත්වයෝ සිටිත් නම් ඒ හැම සත්වයෙක් ම දුකට පත් වී සිටිති. මෙහි දී දුක යනුවෙන් අදහස් කෙරෙන්නේ කායික පිඩා, මානසික පීඩා ආදිය පමණක් නොවේ. මේ පංචස්කන්ධයේ පැවැත්ම ඒකාන්ත වශයෙන් ම දුකකි. ජාති දුක්, ජරා දුක්, මරණ දුක් ආදියත්, ඊට අමතරව ක්ලේශයන් නිසා ඇති වන දුක්, නැවත නැවත ඉපදීමේ දුක් ආදියත් ඇත. රහත් නොවූ කිසිවකු මේ දුක්වලින් මිදි නැත. බුදු, පසේ බුදු, රහත් වැනි උත්තමයන් ද දුකින් මිදෙන්නේ පිරිනිවන් පෑවාට පසුව යි. ඊට පෙර කය තිබෙන තාක් කායික දුක් ඇත.

ආර්ය දසාංගික මාර්ගය[සංස්කරණය]

  • 1. සරල සම්මා දිට්ඨිය
  • 2. සරල සම්මා සඞ්කප්පය
  • 3. සම්මා වාචා
  • 4. සම්මා කම්මන්ත
  • 5. සම්මා ආජීව
  • 6. සම්මා වායාම
  • 7. සම්මා සති
  • 8. සම්මා සමාධි
  • 9. සම්මා විමුක්ති
  • 10. සම්මා ඥාන දස්සන

ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව[සංස්කරණය]

වෙබ් අඩවිය - [1]

අරි අටගි මග වැඩීමෙන්ම ආර්ය ධ්‍යාන සහ මාර්ග ඵල, නිර්වාණය ලැබේ...

ආර්ය සමාධිය ආර්ය සමාධිය යයි කියනු ලැබේ. ආර්ය සමාධිය යනු කවරේ ද? සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති යන මේ සතඟින් චිත්තයාගේ යම් එකාග්‍ර බවක් පරිවාර බවක් වේ ද, මහණෙනි, මේ ආර්ය සම්මා සමාධිය සප්‍රත්ය‍ යි ද සපරිවාර යි ද කියනු ලබන බව මහා චත්තාරීසක සූත්‍රෙය් සදහන් වේ.

සමාධියක් ආර්ය සමාධියක් වීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව භාවනා වැඩිය යුතු බවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනුයේ විදර්ශනා භාවනාවෙන් නිසා විපස්සනාවම ආර්ය ධ්‍යානයන් ලැබීමේ මග බව බුද්ධ වචනට අනුව පැහැදිළි වේ.

විදසුන් වැඩීමෙන්ම සම්මා සමාධිය ලැබේ. සම්මා සමාධිය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් ලබන ආර්ය ධ්‍යාන සතරම බව ධම්මචක්ක, සච්ච විභංග, මහා චත්තාරීසක වැනි සූත්‍ර රාශියකම ස‍දහන් වේ. ආර්ය සමාධියෙන් (සම්මා සමාධියෙන්) තොරව මාර්ග ඵල ආදී සම්මා ඥානයන් නොලැබෙන බව ද ධර්මයේ ස‍දහන් වේ.

විදර්ශනාවෙන් ලැබෙන ආර්ය ධ්‍යානයන්...

තථාගතයන් වහන්සේ වදාළ ආකාරයට වෙනස් ආකාරයට සම්මා දිට්ඨි ආදී මාර්ගාංග දේශනා කරයි නම් ඔවුන් ගැරහිය යුතු පුද්ගලයින් බව මහා චත්තාරීසක සූත්ර්යේ සදහන් වේ. ඒ බව නොපිලිගන්න සමහර මිසදිටුවන් සම්මා සමාධියෙන් තොරව මගඵල ලැබීමක් ගැන කථා කරති. එනම් අවම වශයෙන් ප්‍රථම ධ්‍යානයන් හෝ නොලබා මාර්ග ඵල ලැබිය හැකි යයි කියයි. ඒ ස‍දහා ඔවුන් ඉදිරිපත් කරන්නේ, බුද්ධ කාලයේ මගලග ලැබූ යසකුල පුත්‍රයා, ලිච්ඡවී කුමාරවරැ වැනි කාම භෝගීව ජීවත් වූවන්ගේ කතන්දර ය. ඔවුන් ද මගඵල ලැබුවේ සූත්‍ර ධර්මයකට කන් යොමා එය අවබෝධ වන විට කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් කර ආර්ය ධ්යාලන උපදවා ගැනීමෙනි.

විදර්ශනාවෙන් ධ්‍යාන මාර්ගඵල නොලැබේ යයි මුළා කිරීම...

තථාගතයන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් යනු කමටහනකි. ශ්‍රද්ධාවෙන් පිළිගෙන එය වඩන්නහුගේ කාමච්චන්දාදී නීවරණයෝ යටපත් වෙති. විතක්ක විචාර ආදී ධ්‍යානාංගයෝ පහළ වෙති. ඒ සදහා පෙර සමථ භාවනාවක් වඩා තිබීම අත්‍යාවශ්‍ය නොවේ. මේ බව නොදත් මන්ද බුද්ධිකයෝ විදර්ශනාවෙන් ධ්‍යාන ලැබිය නොහැකිය, සමථ භාවනාවන්ගෙන් වුවද ධ්‍යානයන් ලැබිය හැක්කේ දහසකින් එක් අයෙකුට පමනක්ය යනුවෙන් බොරැ බණ කියමින් නූගත් බෞද්ධයින් නොමය යවති. තථාගතයන් වහන්සේ වදාළ ගාථාවක් වුව ද අවබෝධයෙන් මෙනෙහි කරන්නවුනට වුවද ධ්‍යාන ලැබිය හැකිය. එසේ ධ්යා නයක් නෙලැබෙනවා නම් නොලැබෙන්නේ ධර්මයේ වරද නිසා නොවේ. තම තමන්ගේ දුෂ්ශීල බව නිසාය.

විදර්ශනාවෙන් ධ්‍යානයන් නොලැබිය හැකි යයි මතයක් ඇති කරන ලද්දේ එක්තරා පණ්ඩිතයෙක් විසින් සුසීම සූත්‍රයේ ධ්‍යාන නැති ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා කොටසක් සදහන්වේ යයි කියමින් වැරදි පරිවර්තනයක් දීම නිසාය. ත්‍රිපිටකය නොකියවා අති පණ්ඩිතයින් ලියූ පොත් කියවන්නවුනට වැඩියෙන් කියවන්නට ලැබෙනේනේ බොරැ බණම ය. ධ්‍යානයක් නැති රහතන් වහන්සේලා පිළිබදව තුන් පිටකටයේ කොතැනකවත් සදහන් වෙන්නේ නැත. ධයානයක් ලැබූ පමණින් පරසිත් දැනීම වැනි අභිඥාවන් ලැබෙන්නේ ද නැත.

ප්‍රඥා විමුක්ත සහ උභතෝභාග විමුක්ත රහතන් වහන්සේලා පිළීබදව ත්‍රිපිටකටයේ සදහන් වේ. උභතෝභාග විමුක්ත රහතන් වහන්සේලා යනු අරෑපාවචර ධ්‍යානයන් සහිත රහතන් වහන්සේලා බවත්, ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා යනු අරෑපාවචර ධ්‍යාන නැති නමුත් රෑපාවචර ධ්‍යාන සහිත රහතන් වහන්සේලා බව ධර්මයේ සදහන් වේ. ධ්‍යාන නැති රහතන් වහන්සේලා සිටියා කීම තුන් පිිටකයට අනුව බොරැවක් බව මින් ඔප්පු වේ.

විදර්ශනාවෙන් ධ්‍යාන නොලැබේ යයි බොරැ බණ කියන්නවුන් සමහරෙක්, ධ්‍යානයන්ගෙන් තොරව (සම්මා සමාධියෙන්) මගඵල නොලැබෙන නිසා, ශුෂ්ක විදර්ශනාව වඩන විට ධ්‍යාන නොලැබුණේ නමුත් මගඵල ලබන අවස්ථාවේ හෝ ධ්‍යානයකට පත් වී මගඵලය ලැබෙන බව කියති. එසේ නම් ඒ ධ්‍යානයට පත් වූයේ විදර්ශනාවේම අනුහසින් ය. එසේ නම් විදර්ශනාවෙන් ධ්‍යාන ලැබෙන්නේ නැති බව කියන්නේ කෙසේ ද?

සූත්‍ර පිටකය යනු බුදුන් වදාළ කමටහන් පෙළකි...

අනුරාධපුර යුගය වන විට රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් වැඩ සිටි අතර පසු කලක දී සූත්‍ර, අභිධර්ම පිටකයන් භාවිතයෙන් ඈත් වී හින්දු භාවනා පැමිණීමත් සමගම මාර්ග ඵල ලාභීන් අඩු වන්නට විය. ධ්‍යාන ලබනවා යනු මහා අමාරැ දෙයක් වශයෙන්, විශුද්ධි මාර්ගය සහ එය ගුරැ කොට ලියවුනු පොත් වල සදහන් කර ඇත. විශුද්ධි මාර්ගය ලියූ පසු සූත්‍ර, අභිධර්ම පිටකයන් භාවිතයෙන් ඉවත් කර දමන ලද අතර විශුද්ධි මාර්ගය කමටහන් අත් පොත හැටියට ගත් කමටහන් ගුරැන් විසින් මාර්ග ඵල තහනම් වචනය කරන ලදී. මාර්ග පල ලාභීන් හීන වන්නට විය. බුදුන් සරණ නොයා විශුද්ධිමාර්ගය සරණ යන්නවුන් හින්දු කසින භාවනා, උදර භාවනා ආදී භාවනාවන් බුදු දහමට ඈදා ගත් අතර සූත්‍ර පිටකය බෙහෙත් සීට්ටු ගොඩක් යයි හෑල්ලුවට ලක් කරන ලදී.

සත්වයෙකුට ඇත්තේ ලෝභ ද්වේෂ මෝහ යන ලෙඩ තුනය. ලෙඩ ලක්ෂ ගණනක් නැත. තථාගතයන් වහන්සේ වදාළ එක් සූත්‍රයක් අසා කෝටි ගණක් දෙනා මගඵල ලැබූ අවස්ථා ද ධර්මයේ සදහන් වේ. අකාලික බව යනු ධර්මයේ ගුණයකි. එය කල් ගත වන විට ප්‍රතිපල නොලැබී යන කාලික දෙයක් නොවේ. ධර්මය නිවැරදිව භාවිතා කරන්නේ නම් අද ද මගඵල ලැබිය හැකිය. එසේ නම් බුද්ධ දේශනාවට බෙහෙත් සීට්ටු යයි නිගා කරන්නේ කෙසේ ද?

විදර්ශනාවෙන් අරෑපාවචර ධ්‍යාන පවා ලබන හැටි...

විදර්ශනාවෙන් අරෑප ධ්‍යාන පවා ලබන හැටි ආනෙඤ්ජ සප්පාය, චූල සුඤ්ඤත, ඣාණ නිස්සය වැනි සූත්‍ර වල වදාරා ඇත වේ. රෑප වේදනා ආදී ස්කන්ධයන් මමය මගේය නොවේ යයි අවබෝධ කරන්නාට සත්වන ධ්‍යානයට පවා යා හැකි බව ආනෙඤ්ජ සප්පාය සූත්‍රෙය් වදාරා ඇත. මෝඩයෙකුට කෙසේ වෙතත්, තථාගතයන් වහන්සේ සරණ යන බෞද්ධයෙකුට නම් විදර්ශනාවක් වඩා ධර්මාවබෝධය සහිතව ලබන ආර්ය ධ්‍යානයක් උපදවා ගැනීමට මේ එක සූත්‍ර‍යක් වුවද ප්‍රමාණවත් ය.

ඒ සදහා ඔබට මෙම භාවනාවන් උපකාරි වනු ඇත. (Click the link to download meditation...)

ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ භාවනාව [2]

සතර ආහාර සහ දුක්ඛය සහ භාවනාව [3]

කරණීය මෙත්ත සූත්‍රය සහ භාවනාව [4]

ඕඝ භාවනාව [5]

දුක්ඛ පටිපදා දන්ධාභිඥාව [6]

වම්මික සූත්‍රය සහ භාවනාව [7]

චූල සුඤ්ඤාත සූත්‍රය සහ භාවනාව [8]

"https://si.wikipedia.org/w/index.php?title=ආර්ය_අෂ්ඨාංගික_මාර්ගය&oldid=397000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි