සතර සතිපට්ඨාන සූත්‍රයෙහි
සතිපට්ඨාන සූත්‍රය
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්දහිමි
“සති” යනු සිහියට නමකි. පට්ඨාන යන්නෙන් පිහිටීම පිහිටුවීම ගම්‍යවේ. නිවන් මගෙහි නිවැරැදි සිහිය හඳුන්වා දෙනු ලබන සූත්‍ර දේශනාව සතිපට්ඨාන සූත්‍රයයි. මජ්ක්‍ධිම නිකායට අයත් මෙම දේශනාව සතර සතිපට්ඨාන ය. එනම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මැනවින් විස්තර කරනු ලබන අවස්ථාවකි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මතාවයන් ගේ පළමු කරුණු හතර වනුයේද මෙම සතර සතිපට්ඨානයයි. මෙම දේශනාව ආරම්භයේදීම මෙහි ඇති වැදගත්කම පිළිබඳ බුදුරදුන් තම ශ්‍රී මුඛයෙන් මෙසේ වදාළහ. “ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තා නං විසුද්ධියා...” “සත්වයන්ගේ පිරිසුදු බව පිණිස දුක් දොම්නස් දුරුවීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස ඒකායන මාර්ගයක් වේ එය සතර සතිපට්ඨානයයි”
ඉහත අරුතින් ගත්කළ සතර සතිපට්ඨානය නිවන සඳහා කෙරෙන අනුබලය කෙතරම්ද යන්න අවබෝධ කරගැනීම පහසුය. රූපය නිත්‍ය සුබ නොවෙනස් දෙයක් ලෙස නොසලකා ආශ්වාස ප්‍රශ්වාසාදී ලෙස අනිත්‍යාකාරයෙන් බැලීම ඒ සඳහා ඇතිවන ප්‍රඥාව කායානුපස්සනා සතිපට්ඨානයයි. විටින්විට ඇතිවන්නා වූ වේදනා නිත්‍ය සුඛ නොවෙනස් දෙයක් ලෙස නොදැක එය අනිත්‍යාදී වශයෙන් ග්‍රහණය කරගැනීම වේදනානුපස්සනා සතිපට්ඨානය වේ. පහළවන සිතිවිලි ආත්මය ලෙස වරදවා තේරුම් නොගෙන වෙනස් වන අරමුණු ලෙස දැකීම චිත්තානු පස්සනාවයි. පංච නීවරණ ධර්ම ආත්ම වශයෙන් නොගෙන කැඩෙන බිඳෙන වෙනස්වන සුළු ස්වභාවයෙන් ප්‍රඥාව මූලිකකොට දැකීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි.
කායානුපස්සනා සතිපට්ඨානය
හුස්ම ගැනීම පහත හෙළීම, දීර්ඝ හුස්ම කෙටි හුස්ම යමෙකු සිහියෙන් දනීද ඒ මත හික්මීම ඇති කර ගනී. “කය ආත්මකොට නොසලකයි. හුස්ම පිළිබඳ සිහිය පිහිටුවා ඒ මත කය සන්හිඳුවයිද? කය පිළිබඳ යථාවත් අවබෝධය ලබයිද? අනෙකා පිළිබඳවද එම ඥානය ලබාගනී. ඒ තුළ රූපාදී කිසිවක් ආත්ම වශයෙන් බලන තෘෂ්ණා දැකීම සන්සිඳේ. එය කායානුපස්සනා සතිපට්ඨානයයි. කයෙහි චලනය ක්‍රියාකාරිත්වය දැනගැනීම එය අනෙකාටද පොදු වූවක් බව හඳුනාගැනීම මෙන්ම හටගැනීම , විනාශය දැනගැනීම නුවණින් සිදුවෙයි. ඒ තුළ මමය, මගේය ලෙස නොගනී. කෙස්, දත්, නිය ආදී සියලු දෑ එලෙස දකීද එහි ක්‍රියාකාරිත්වය යථාර්ථවත් හඳුනාගනීද ශරීර කෘත්‍යයේ සිට කෑම්.බීම් ඉදුම් හිටුම්, නිදාගැනීම පිබිදීම දැන ගනීද එය කායානුපස්සනාවයි.
කායානුපස්සනාව පැහැදිළි කිරීම සඳහා සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත. එනම් මුව බැඳ ඇති මල්ලක් ලිහන බුද්ධිමත් පුද්ගලයා එහි ඇති මුං’, මෑ, තල, සහල් යන දෑ වෙන වෙනම නිවැරැදිව හඳුනගන්නා සේ දෙතිස් කුණුප මනාව හඳුනාගෙන කටයුතු කිරීම කය පිළිබඳ සිහියයි. එමෙන්ම තමාගේ මෙන්ම අනෙකාගේ කයෙහි ධාතුකොටස් එකතුව මනාව හැඳිනගැනීමත් සත්වයා යනු , පඨවි, ආපෝ, තේජෝ වායෝ යන්නෙහි එකතුවක් බව දැනීම කායානුපස්සනා සතිපට්ඨානයයි.
මියයාමෙන් දවස දෙකගත වීමේදී ශරීරයේ ස්වභාවය වෙනස්වීම දනීද? සතුන් විසින් කා දමන මිණිය, මස් නැති ඇටසැකිල්ල හදුනාගනීද? විසුරුණු අස්ථී කොටස් දනීද? සෑම කෙනෙකුගේම ශරීරය මේසා බව හැදින නුවණින් දැනගැනීම කය පිළිබඳ මනා සිහියයි. වෙනස්වන කයෙහි ස්වභාවය තමාටද පොදු වූවක්ය. එය ලෝකයෙහි යථාර්ථය බව හඳුනාගැනීම ඒ මත සිහිය පිහිටුවීම කායානුපස්සනාසති පට්ඨානයයි.
වේදනානුපස්සනා සතිපට්ඨානය
සැප දුක හෝ අතරමැදි ස්වභාවයේ වේදනාවන් හෙවත් දැනීම නුවණින් දැන ගැනීම ඒ මත ප්‍රඥාව ඇතිවීම වේදනානුපස්සනා සතිපට්ඨානයයි. ආමිස සාමිස දුක, ප්‍රඥාවෙන් හැඳිනීම අතරමැදි ස්වභාවයේ තත්වයන් යථාර්ථස්වභාවයෙන් දැනගත යුතුය.
සත්වයා මෙම වේදනාවන් විඳීම සඳහා බොහෝ පාපකර්ම සිදුකරති. එය ඥානාන්විත නොවේ. වේදනාව වේදනාවක් මිස පුද්ගලයෙක් හෝ ආත්මයක් ලෙස නොසැලකිය යුතුය. වේදනාව යනු? හේතූන්ගේ සම්භවයකි. එයට ස්ථීර පදනමක් නැත. ඇති වූ වහ වහා බිදීයයි. පැවතීමට ශක්තියක් නැත. වේදනාව හුදු වේදනාවක්ම පමණක් බව දැනීම, එය අනිත්‍යය ස්වභාවකොට ඇති බව හැඳින ගැනීම වේදනානුපස්සනාවයි.
මෙසේ අනුන් පිළිබඳව සොයා අවබෝධ කරගැනීමේ හැකියාව ඇතිකරගත යුතුය. වේදනාවන්ගේ හටගැනීම පැවතීම විනාශය හඳුනාගනිමින් ඒ මත සිහිය පිහිටුවා ගත යුතුය. මමය මාගේය, ලෙස ගැනීමේ තෘෂ්ණාධික භවෙන් ඉවත්ව කිසිවක් නිත්‍ය නොමැති තැන වේදනාවද එසේම බව සිතීම වැදගත්ය. එවිට තම සිත තම නුවණින් බැලීම වන්නේය.
චිත්තානුපස්සනා සතිපට්ඨානය
රාග සහිත සිත රාග සහිත ලෙසද මෝහ සහිත සිත මෝහ සහිත සිත ලෙසද මෝහ රහිත සිත එසේ දනීද? අනෙක් ක්ලේෂයන් සිතිවිලිද එසේම අවබෝධ වීම මනා සිහියයි. පඤ්චනීවරණ ධර්මයන්ගෙන් යුතු සිත එහි බලපෑම නුවණින් දැනීම ප්‍රඥාවෙන් බැලීම එයින් මිදුන ස්වභාවය අවබෝධ වීම සිතිවිලිවල යථාස්වභාවය නුවණින් දැනීම චිත්තානුපස්සනා සතිපට්ඨානයයි.
ධම්මානුපස්සනා සතිපට්ඨානය
පඤ්චනීවරතා ධර්ම නුවණින් බලා වාසය කරන ස්වභාවය ධම්මානුපස්සනාවයි. තමා තුළ පවතින කාමච්ඡන්ද ආදි ධර්ම “ඇත” හෝ “නැත” යන බව ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා ස්වභාවය නිවන්මග සඳහා අත්‍යවශ්‍යය. අනෙක් නීවරණතා ධර්මයන්ගේ ස්වභාවයද ඒ හා සමානය. ව්‍යාපාදය ඉපදේද, එය ප්‍රහාණයවන්නේද ප්‍රහාණය වු ව්‍යාපාදය නැවත මතු නොවන්නේද එම ස්වභාවය නුවණින් දනීද? එය යහපත්ය.
පඤ්ච උපාදානස්කන්ධය යමෙකු නුවණින් දනීද? යහපත් සිහියයි. රූපය මෙසේය . එහි ස්වභාවය මෙසේය වේදනාව මෙසේය සඤ්ඤා, සංඛාර යන මෙවැනි ස්වරූපයෙන් යුතුය. හටගැන්ම පැවැතීම පිළිබඳ ඇති අවබෝධය ඇත්තේද තමා මෙන්ම අනෙකාටද මෙය පොදු වූවේද යනු බව නුවණින් දැනීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි. ආධ්‍යාත්මික ෂඩායතන මෙන්ම බාහිර ෂඩායතන පිළිබඳ දැනීමද එසේමය. සප්ත බොජ්ඣංග ධර්මතාවයන් පිළිබඳ නුවණින් දැනීම මනා සිහියයි. මෙලෙස තමා තුළ පවතින සියලු ධර්මතාවයන් පිළිබඳ ඇතිවන නිරවුල් අවබෝධය ඒ මත සිහිය පිහිටුවා ප්‍රඥාව ඇති කරගැනීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි. කෙටියෙන් ම පවසන්නේ නම් චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ධර්මානුපස්සී වීමද අයත් වන්නේ ඉහත ගුණයටය.
වේදනාව පිළිබඳ වැරදි හැඟීම් දුරුවීමෙන් වේදනානු- පස්සනා සතිපට්ඨානය ඇතිවේ. චිත්තය සම්බන්ධ වැරැදි හැඟීම් දුරුවීම තුළ චිත්තානුපස්සනා සතිපට්ඨානය ඇතිවේ. අනෙක් කාරණාවෝද එසේමය. බුදු සසුන බොහෝ කාලයක් පැවැතීමට හේතු ලෙසද බුදුරදුන් සතිපට්ඨානය දක්වනුයේද මෙම ගුණ ලොකෝත්තර සුඛය සඳහා හේතුවන බැවිනි. එහෙයින් තම විමුක්තිය මෙන්ම සමාජ සුබසිද්ධි විෂයෙහි සතිපට්ඨානය වැඩීම යහපත්ය.
සූත්‍රයෙහි අවසානයේදි පවා මෙහි වටිනාකම අවධාරණය වී ඇත. එනම් යමෙකු සත් දවසේ සිට වසර හතක් දක්වා කාලයක් මෙය වඩන්නේ නම් ක්‍රමිකව සංයෝජන නැති කරගනිමින් ඊළඟ භවයකදී නිවන ලද හැකි බවයි. සත්වයන්ගේ පිරිසුදු බව සඳහා දුක් දෝමනස්සයන් ගෙන් අත්මිදීම පිණිස නිවැරැදි මග ආර්යමාර්ගයේ අවබෝධය සඳහා මෙන්ම නිවන් ලැබීම පිණිස ඒකායන මාර්ගය සතිපට්ඨානයයි. මෙය මෙසේ වඩන්න යැයි බුදුරදුන් දේශනා කර ඇත්තේ නිවන සඳහා නොවරදින මග නිසා බව තමන් වහන්සේ දැක පසක් කොට ඇති බැවින් බව උන්වහන්සේ දේශනා කළහ. සසර උපදන වාරගණන අඩු කරමින් භව නිරෝධය ලැබීමට සත්වයා මෙම කරුණු හතර එක්කර ගැනීම දෙලොව සැපතට මහඟු පිටිවහලකි.