ට්‍රයිටන් (නෙප්චූන්ගේ චන්ද්‍රයා)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ට්‍රයිටන්
Triton moon mosaic Voyager 2 (large).jpg
වොයේජර් 2 යානය සටහන් කරගත් ට්‍රයිටන් ග්‍රහලොවේ ඡායා රුවක්
සොයාගැනීම
‍සොයාගත් තැනැත්තා විලියම් ලැසල්
සොයාගත් දිනය ඔක්තෝබර් 10, 1846
නාමකරණය
වෙනත් නම් නෙප්චූන් I
උප ප්‍රධාන අක්ෂය 354,759 km
විකේන්ද්‍රිකතාවය 0.000016
පරිභ්‍රමණ කාලය −5.876854 d
(මව් ග්‍රහයාට ප්‍රතිවිරුද්ධ දිශාවට)
ආනතිය 129.812° (කක්ෂ තලයට)
156.885° (සූර්යාගේ ක්‍රාන්ති වලයට)
129.608° (නෙප්චූන්ගේ කක්ෂයට)
මවු ග්‍රහ වස්තුව නෙප්චූන්
භෞතික ලක්ෂණ
මාධ්‍ය අරය 1,353.4±0.9 km(0.2122 පෘතුවිය වරක්)
පෘෂ්ඨික වර්ගපලය 23,018,000 km2
පරිමාව 10,384,000,000 km3
ස්කන්ධය 2.14×1022 kg (0.00359 පෘතුවිය වරක්)
මාධ්‍ය ඝනත්වය 2.061 g/cm3
සමකාසන්න ගුරුත්වය 0.779 m/s2 (0.0794 g) (0.48 චන්ද්‍රයා මෙන්)<
භ්‍රමණ කාලය සමමුහුර්ථකව
අක්ෂිය ඇලය 0
ඇල්බිඩෝ අගය 0.76
උෂ්ණත්වය 38 K
වායුගෝලය
පෘෂ්ඨික පීඩනය 1.4–1.9 Pa
(1/70,000 පෘතුවි වායුගෝලීයපීඩනය)
වායුගෝලයේ සංයුතිය නයිට්‍රජන්.මීතේන් සහ විවිධ අංශුන්

ට්‍රයිටන් නෙප්චුන් ග්‍රහයාගේ විශාලතම උප ග්‍රහයා වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1846 ක් වූ ඔක්තෝබර් මස 10 වෙනි දින සොයා ගන්න ලද්දේ ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ විලියම් ලැසල් විසිනි. එය සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටි මව් ග්‍රහයාගේ භ්‍රරමණ දිශාවට ප්‍රතිගාමී චලිතයක් දක්වන විශාලතම උප ග්‍රහයා ය. විශ්කම්භයෙන් කිලෝමීටර් 2700 ක විශාලත්වයක් දක්වන ට්‍රයිටන් උප ග්‍රහයා විශාලත්වය අතින් සැලකීමේදී සෞරග්‍රහ මණ්ඩලයේ සත් වැන්නට විශාලතම උප ග්‍රහයා වේ. ට්‍රයිටන් ග්‍රහයාගේ ප්‍රතිගාමී චලිත රටාව සහ ග්‍රහයාගේ මූලද්‍රව්‍ය සංයුතිය පිළිබද සැලකීමෙන් පසු තාරකාවිද්‍යාඥයින් අනුමානය වන්නේ ට්‍රයිටන් ග්‍රහලොව කූපර් පටිය තුල පැවතෙන්නට ඇති බවත් පසු කාලීනව ගුරුත්වාකර්ෂණ ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස නෙප්චූන් ග්‍රහයාගේ උප ග්‍රහයෙක් බවට පත් වන්නට ඇති බවත් ය. ට්‍රයිටන්ගේ පෘෂ්ඨය මූලිකවම ඝණ නයිට්‍රජන් සහ අයිස් මිශ්‍රණයකින් වැසී පවතින අතර ඊට අමතරව ලෝහ සහ පාෂාණ වැස්මකින්ද සමන්විත වේ. එය ග්‍රහලොවේ මුළු ස්කන්ධයෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් දක්වා අගයක් ගනී. ට්‍රයිටන් ග්‍රහයාගේ මධ්‍යනය ඝනත්වය 2.061 g/cm3 පමණ වන අතර ග්‍රහ ලොවේ ස්කන්ධයෙන් 15–35% දක්වා ප්‍රමාණයක් ජලය ද්‍රව අයිස් ලෙස පවතී.

ට්‍රයිටන් යනු සෞරග්‍රහ මණ්ඩලය තුල භූ විද්‍යාත්මක ලෙස සැලකු විට සක්‍රීයව පවතින උපග්‍රහයන් කිහිපය අතුරින් එක් උපග්‍රහයෙක් වන අතර අනෙකුත් ග්‍රහලෝක වලට සාපේක්ෂව තරුණ ග්‍රහලොවක් වන මෙහි මතුපිට පෘෂ්ටය එම නිසා මෙතෙක් අවබෝධ කර නොගත් භූ විෂමතා කලාප, පැහැදිලි හේතුවක් පැවසිය නොහැකි නිතර පෘෂ්ටය මත සිදු වන භූචලන වලින් පිරි පවතී. ග්‍රහලෝවෙන් කොටසක මතුපිට පෘෂ්ටය මත විසිරී පවතින උණුදිය උල්පත් නිතරම අධික උෂ්ණත්වයකට ලක්වෙමින් උතුරා යන ලක්ෂණ පෙන්වයි.ට්‍රයිටන් මතුපිට වායුගෝලය මත පවතින නයිට්‍රජන් වායුව පෘතුවියේ මෙන් 1/70,000 ක් පමණ තුනී ස්තරයක් ලෙස විසිරී පවතී.

සොයා ගැනීම හා නාමකරණය[සංස්කරණය]

ට්‍රයිටන් ග්‍රහ ලොව සොයාගත් විලියම් ලැසල්

ට්‍රයිටන් උප ග්‍රහයා වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1846 ක් වූ ඔක්තෝබර් මස 10 වෙනි දින සොයා ගන්න ලද්දේ ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ විලියම් ලැසල් විසිනි. එවිට නෙප්චූන් ග්‍රහයා සොයාගෙන දින 17 ක් පමණක් ගතවී තිබුණි.

වෘත්තීයෙන් බීර පෙරන්නකු වූ ලැසල් සිය ආධුනික තාරකා විද්‍යා දුරේක්ෂයට අවශ්‍ය දර්පණ සකසමින් සිටින විට තාරකා විද්‍යාඥයෙකු විලියම් හර්ෂල්ගේ පුතනුවන් වූ ජෝන් හර්ෂල් විසින් විසින් නෙප්චූන් ග්‍රහලොවේ සොයාගැනීම පිලිබඳ දැනුම් දුන් අතර ලිපියෙන් තවදුරටත් සඳහන් කර සිටියේ උපග්‍රහයන් පිලිබඳ සොයා බැලීමක් සිදු කිරීම සුදුසු බවත්ය. ලැසල් ඒ අනුව එයට දින අටකට පසුව ට්‍රයිටන් උපග්‍රහයා සොයා ගන්නා ලදී. ලැසල් විසින් නෙප්චූන් වටා පවතින වළලුද සොයා ගත් බව එකල පවසා තිබෙන නමුත් පසුකාලීනව නිරීක්ෂණය කරන ලද ආකාරයට ඒවා ඉතා තුනී සහ අඳුරු බවින් යුක්ත වීම නිසා ඔහු සදහන් කර තිබු ප්‍රකාශය තරමක් විවාදාත්මකය.

ග්‍රීක සයුරු දෙවඟන වූ ප්‍රොසයිදන්ගේ පුත්‍රයා වූ ට්‍රයිටන්ට පසුව මෙම උපග්‍රහයාට නම් තැබීම යෝජනා කරන ලද්දේ 1880 දී කැමිල් ෆ්ලැමරියන් විසින් සිය කෘතියක් වූ Astronomie Populaire තුලිනි. එනමුත් ඊට දශක ගණනාවක් යන තෙක්ම මෙම නාමය භාවිතා නොවුණු අතර 1949 දී නෙප්චූන්ගේ දෙවැනි උපග්‍රහයා වූ නීරීඩ් ග්‍රහයා සොයා ගන්නා තෙක්ම ට්‍රයිටන් ග්‍රහලොව නෙප්චූන්ගේ එකම උපග්‍රහයා ලෙස සලකන ලදී. ලැසල් සිය සොයාගැනීම නාමකරණයට ලක් නොකළ නමුත් වසර කීපයකට පසුව නාමයන් යෝජනා කල අතර ඔහු 1851 දී සොයාගත් සෙනසුරු ග්‍රහයාගේ අට වන උපග්‍රහයා වන හයිපීරියන් සහ යුරේනස් ග්‍රහයාගේ තෙවැනි සහ සිව් වැනි උපග්‍රහයින් වන ඒරියල් සහ උම්රියම් නාමකරණයට ලක් කලේ ඔහුගේ සමකාලින මිතුරෙකු වූ ජෝන් හර්ෂල් විසිනි.


කක්ෂය සහ පරිභ්‍රමණය[සංස්කරණය]

ට්‍රයිටන්ගේ කක්ෂය හා පරිභ්‍රමණය සැලකීමේදී ඊට අනන්‍ය වූ ලක්ෂණ රාශියකට මෙමෙ උපග්‍රහයා හිමිකම් කියයි. විශාලත්වයෙන් වැඩි උපග්‍රහයින් සැලකීමේදී ට්‍රයිටන් ග්‍රහලොව අනෙකුත් උපග්‍රහයන්ට වඩා සුවිශේෂී වන්නේ සිය මව් ග්‍රහයාගේ භ්‍ර්‍රමණ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට සිය චලිතය පවත්වා තබා ගැනීමයි. බ්‍රහස්පති ග්‍රහයාගේ, යුරේනස් ග්‍රහයාගේ සහ සෙනසුරු ග්‍රහයාගේ ඈතින් කක්ෂ ගතව තිබෙන උපග්‍රහයින්ද මෙලෙස ප්‍රතිවිරුද්ධ දිශාවට සිය භ්‍ර්‍රමණය පවත්වා ගෙන යන නමුත් ට්‍රයිටන්ට අදාල සුවිශේෂී කරුණ වන්නේ එහි විශාලත්වයයි. මෙම චලිතය දක්වන අනෙකුත් උපග්‍රහයන් අතරින් විශාලතම උපග්‍රහයා වන ෆෝයිබ් ග්‍රහයා ට්‍රයිටන් ග්‍රහලොව මෙන් 8% ක විෂ්කම්භයක්ද ට්‍රයිටන්ගේ ස්කන්ධය මෙන් 0.03% ක අගයක්ද දැක්වීමෙන් ට්‍රයිටන්ගේ මෙම සුවිශේෂී භ්‍රමණ රටාව මනාව පිළිබිඹු වේ.

ට්‍රයිටන්ගේ කක්ෂය ප්‍රධාන ඇලවීම් දෙකකට බඳුන්වී පවතින අතර නෙප්චුන්ගේ කක්ෂයට සාපේක්ෂව 30° කින් සහ නෙප්චූන්ගේ කක්ෂයට සාපේක්ෂව 157° ක් ලෙස අගයන් දක්වන අතර, මෙම අගයන් අතුරින් 157° ආනතියක් දැක්වීම ප්‍රතිවිරුද්ධ චලිත දිශාවක් පැවතීමට අදාල හේතුව ලෙස දැක්විය හැක(ආනතිය අංශක 90 ට වැඩි සෑම අවස්ථාවකම මෙම ලක්ෂණය පෙන්නුම් කරයි). ට්‍රයිටන්ගේ නෙප්චූන් ග්‍රහයා වටා සාපේක්ෂ අක්ෂභ්‍රමණය පෘතුවි වසර 678ක ආවර්තිතා කාලයක් ගනී. මෙම හේතුව නිසා නෙප්චූන්ට සාපේක්ෂව ට්‍රයිටන්ගේ ආංශික ඇලවීම 127° ත් 173° අතර අගයක පවතී. මෙහි වර්තමාන අගය 130° ක් වන අතර එය දැනට වාර්තා වී ඇති නෙප්චූන් හා ලක් වී ඇති විශාලතම ඒකතලතාවයේ ඇති වෙනස් වීමයි.

ට්‍රයිටන්, නෙප්චූන් සමඟ සමමුහුර්ථක භ්‍රමණයක් සිදු කරන අතර ඒ හේතුව නිසා ග්‍රහලොවට දිශානත මුහුණත සැම විටම එකම වේ. තවද එහි සමකය කාක්ෂීය තලය සමඟ සම්පූර්ණයෙන්ම සම තලයක පිහිටයි.වර්තමානය වන විට ට්‍රයිටන්ගේ භ්‍රමණය අක්ෂය නෙප්චූන් සමඟ 40° අගයක් දක්වන අතර තවද නෙප්චූන්ගේ වසරක් තුල ට්‍රයිටන්ගේ ධ්‍රැව ද්විත්වය සූර්යයාට ආසන්න වන්නේ යුරේනස්ගේ ධ්‍රැව ද්විත්වය දක්වන ලක්ෂණ එලෙසින්ම දක්වමිනි. මෙය මෑත කාලීනව සොයා ගැනීම බඳුන් වූ කරුණක් වන අතර මේ හේතුව නිසා ඍතු වෙනස්වීම එක් ධ්‍රැවයක් තුල සිදුවූ පසුව අනෙක් ධ්‍රැවය තුල ආවර්තිය ආකාරයට සිදුවේ.

ග්‍රහණය[සංස්කරණය]

කොළ පැහැයෙන් දැක්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් පිහිටි ට්‍රයිටන් ග්‍රහයා සම්භූත වූ කූපර් පටියට අදාළ ප්‍රදේශයයි.

මව් ග්‍රහලෝවෙන් ප්‍රතිගාමී දිශාවට සිය චලිත දිශාව දක්වන උපග්‍රහයන් සිය මව් ග්‍රහයා අසල ප්‍රදේශයක හටගත් බව නොසලකන අතර වෙනත් ප්‍රදේශයක තිබී ගුරුත්වාකර්ෂණ බලය යටතේ වර්තමාන කක්ෂයට හසුකරගන්නට ඇති බව සලකයි. ඒ අනුව ට්‍රයිටන් ග්‍රහයාද හටගන්නට ඇත්තේ කූපර් පටිය තුල බව සලකයි. කූපර් පටිය යනු සූර්යාගේ සිට නක්ෂත්‍ර ඒකක 50ක දුරින් සහ නෙප්චූන්ගේ කක්ෂයට තරමක් ඇතුලතින් කක්ෂය පිහිටා තිබෙන කුඩා අයිස් වලින් සැදී වස්තු වලින් සමන්විත වළල්ලක හැඩයට පැතිර පවතින ප්‍රදේශයකි. පෘතුවියේ සිට නිරීක්ෂණය කරන බොහෝ උල්කා වල මූලොත්පත්තිය සිදුවන්නේ මෙම වළල්ල තුල වන අතර ග්‍රහලොවක් ලෙස සැලකූ ප්ලුටෝ සහ තවත් එවැනි විශාල ග්‍රහලෝකයක හැඩය ගත් බොහෝ වස්තු වලින් මෙය සමන්විත වී පවතී. තවද දැනට හඳුනා ගෙන ඇති ආකාරයට මෙහි ඇති බොහෝ වස්තුන් නෙප්චූන්ට සම කාක්ෂීය ගමන් මාර්ගයක් දක්වයි. ට්‍රයිටන් ප්ලුටෝට වඩා ස්වල්ප වශයෙන් විශාල වන අතර සෑදී ඇති මූලද්‍රව්‍ය සැලකීමේදී බොහෝ සමානතා දක්වයි. මෙම කරුණු නිසා බොහෝ විට උපකල්පනය කරන්නේ ප්ලුටෝගේ සහ ට්‍රයිටන් ග්‍රහයාගේ මුලොත්පත්තිය එකම ප්‍රදේශයක් තුල සිදුවන්නට ඇති බවයි.

ට්‍රයිටන් ග්‍රහයාගේ ප්‍රස්තුත හසුකර ගැනීම නෙප්චූනියානු පද්ධතියේ විශේෂ ගති ලක්ෂණ කීපයකට හේතු වන්නට ඇති බව සලකයි. ප්‍රධාන වශයෙන් නෙප්චූන්ගේ උපග්‍රහයෙකු වන නීරීඩ් ග්‍රහයාගේ අතිශයින් ඉහල අගයක් ගන්නා විකෙන්ද්‍රීයථාවත්, අනෙකුත් විශාල ග්‍රහලෝකයන්ට සාපේක්ෂව නෙප්චූන්ගේ උපග්‍රහයින් ගණන අවම වීමට කරුණුද මේ හේතුව නිසා සිදුවන්නට ඇති බව අනුමාන කරයි. ට්‍රයිටන් ග්‍රහලොවේ විකීන්ද්‍රීය නොවූ කක්ෂය සමඟ අනෙකුත් අක්‍රමවත් ලෙස පිහිටි උපග්‍රහයන්ගේ කක්ෂයන් සමඟ අන්තර්ජේදිත වීම නිසාත්, ගුරුත්වාකර්ෂණ අපකිරණයට ලක්වීමත් මෙසේ උපග්‍රහයන් ගණන අවම වීමට හේතු වන්නට ඇති බව සලකයි.

ට්‍රයිටන්ගේ විකේන්ද්‍රිකතාවය එහි අභ්‍යන්තරයේ පසුකාලීනව උදම් රළ නිසා ඇතිවූ තාපනනයට බලපාන්නට ඇති බවත්, එමගින් ට්‍රයිටන් ග්‍රහයා වසර බිලියන ගණනක් යන තුරු ද්‍රව තත්වයේ පැවතීමටත් හේතු වන්නට ඇති බව අනුමානය කරයි. මෙම කරුණ තහවුරු කිරීමට ට්‍රයිටන් ග්‍රහයාගේ අභ්‍යන්තරයේ පවතින වෙනස්වීම් සාධක ලෙස දැක්විය හැක.

ට්‍රයිටන් ග්‍රහණයට අදාලව දැනට යාන්ත්‍රණ ද්විත්වයක් ඉදිරිපත් වී ඇත. යම්කිසි වස්තුවක් ග්‍රහලොවක ගුරුත්වාකර්ෂණයට හසු කර ගැනීමට එම වස්තුව විසින් ග්‍රහලොවේ ගුරුත්වාකර්ෂණ බලය ඉක්මවා යෑමට තරම් පවතින ශක්ති ප්‍රමාණය එයින් විධාරණය කල යුතු අතර චලන වේගයද ඊට සාපේක්ෂව පහළ අගයක් දක්වා අවම කරගත යුතුය. මුල් කාලීනව ට්‍රයිටන්ගේ ග්‍රහණය හා සම්බන්ධව ඉදිරිපත් වූ සිද්ධාන්ත කරුණක් වුයේ තවත් ආකාශ වස්තුවක් සමඟ හෝ නෙප්චූන්ගේ චන්ද්‍රයෙක් සමඟ නෙප්චූන් අසලදී ඇතිවන්නට ඇතැයි සලකන ඝට්ටනයයි. වර්තමානයේදී උපකල්පනය කරන්නේ ට්‍රයිටන් ග්‍රහයාට ප්ලුටෝගේ උපග්‍රහයා වන චාරෝන් ආකාරයට ට්‍රයිටන් ග්‍රහයා ආකාරයටම ද්වීයංගී ලෙස නිර්මිත සහචර ග්‍රහලොවක් පවතින්නට ඇති බවයි. මෙම ග්‍රහලෝක ද්විත්වය නෙප්චූන් ග්‍රහයා මුණ ගැසීමෙන් පසුව ට්‍රයිටන් ග්‍රහයා තුල අභ්‍යන්තර ශක්තිය එහි සහචර ග්‍රහලොව තුලට හුවමාරුවන්නට ඇතිබවත් ලබාගත් ශක්තිය වැයකරමින් නෙප්චූන්ගේ ගුරුත්වාකර්ෂණය ඉක්මවා යන්නට ඇති බව සලකයි. ඒ අනුව ට්‍රයිටන්, නෙප්චූන්ගේ උපග්‍රහයෙකු බවට පත් වන්නට ඇති අතර මෙම සිද්ධාන්තය තවත් කරුණු කීපයක් මඟින් තහවුරු කරයි. කූපර් පටිය තුල මෙම ද්වියාංගී තාරකා සුලබ ලෙස පවතින කරුණ මේ අතරින් මූලික වේ. මෙම සිදුවීම ලුහුඬු ලෙස සිදු වුවත් සාපේක්ෂව සුමට ඝට්ටනයක් සිදුවන්නට ඇතැයි සලකන අතර එමඟින් ප්‍රතිවිධාරණය අවම වන්නට ඇතැයි සලකයි.

භෞතීය ලක්ෂණ[සංස්කරණය]

ඉහතින් දැක්වෙන්නේ නෙප්චූනියානු උපග්‍රහයන්ගේ ස්කන්ධ ඓක්‍ය හා ට්‍රයිටන්ගේ ස්කන්ධය අතර දැක්වෙන භින්න අගයයි.අනෙකුත් සියලු උපග්‍රහයන්ගේ ස්කන්ධය ට්‍රයිටන්ගේ ස්කන්ධය මෙන් සියයට එකකින් තුනෙන් ඒකක අගයක් ගනී. මෙම ස්කන්ධයේ පවතින විසංතුලනය නෙප්චූන්ගේ අනෙකුත් තිබෙන්නට ඇතැයි අනුමාන කරන උපග්‍රහයන්ගේ ඉවත්වී යාමට හෝ විනාශ වී යෑමට කරුණ ලෙස දැක්විය හැක.
ට්‍රයිටන් (පහතින් වමේ) පෘතුවි චන්ද්‍රයා (ඉහළ වමේ ) සහ පෘතුවිය (දකුණේ), සාපේක්ෂ ප්‍රමාණයන්.

ට්‍රයිටන් සෞරග්‍රහ මණ්ඩලයේ සත්වැන්නට විශාලතම උපග්‍රහයා සහ දහසය වැන්නට වන්නට විශාලතම වස්තුව වන අතර ප්ලුටෝ සහ ඊරිස් ග්‍රහලෝක වලට වඩා තරමක් විශාලය. එය නෙප්චූනියානු කක්ෂයේ මුළු ස්කන්ධයෙන් 99.5% ක් වන අතර එයට නෙප්චූන්ගේ වළලු වල ස්කන්ධය සහ එය වට පවතින දැනට හඳුනාගෙන ඇති උපග්‍රහයින් දහතුනක ස්කන්ධයන් ඇතුලත්ය. තවද සෞරග්‍රහ මණ්ඩලයේ ට්‍රයිටන්ට කුඩා සියලු උපග්‍රහයින්ගේ සංයුක්ත ස්කන්ධ අගයට වඩා වැඩිය. එහි අරය, ඝනත්වය (2.061|g/cm3), උෂ්ණත්වය සහ රසායනික සංයුතිය ප්ලුටෝගේ එම අගයන් වලට සමානකමක් දක්වයි.

ප්ලුටෝ මෙන්ම ට්‍රයිටන් මතුපිට 55% ක ප්‍රමාණයක් ආවරණය වන්නේ ඝනීභවිත නයිට්‍රජන් වයුවෙනි. තවද 15%-35% ත් අතර ප්‍රමාණයක් අයිස් වලින්ද ඉතිරි 10%-15% ත් අතර ප්‍රමාණයක් ඝණීභවිත කාබන් ඩයොක්සයිඩ් වලින්ද සමන්විත වේ. තව දුරටත් සලකන ආකාරයට ශිලාගෝලය තුල ඇමෝනියාද පවතින බව විද්‍යාත්මකව සොයාගෙන ඇත. ට්‍රයිටන්ගේ ඝනත්වය සලකන විට අනුමාන වශයෙන් 30%-45% ත් අතර ප්‍රමාණයක් ජලය අඩංගු බවත් ඉතිරිය පාෂාණ කොටස් වලින් සමන්විත බවත් සලකයි. ට්‍රයිටන්ගේ පෘෂ්ටික වර්ගඵලය 23 මිලියන km2 වන අතර එය පෘතුවියට සාපේක්ෂව 4.5% ක් වන අතර පෘතුවියේ ගොඩබිම් ප්‍රමාණයෙන් 15.5% ක් පමණ වේ. ට්‍රයිටන්ගේ ඇල්බිඩෝ අගය සැලකිය යුතු මට්ටමින් ඉහල අගයක් වන අතර ග්‍රහලොව වෙතට පැමිණෙන සූර්ය කිරණ අතුරින් 60% ත් 95%ත් අතර ප්‍රමාණයක් පරාවර්තනයට ලක්වීමට බඳුන් වේ. සඳුගේ මෙම අගය 11%ක් වේ. ට්‍රයිටන්ගේ මඳක් රතු පැහැයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික විකිරණ ප්‍රමාණයකට භාජනය වීම නිසා මෙතෙන් අයිස් තොලීන් බවට පත්වීමයි. සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ ග්‍රහයන් මෙන් ට්‍රයිටන් මතුපිටද ඝණ පාෂාණ කොටස් අඩංගු වන අතර විකිරණශීලතා සංවහනයට ප්‍රමාණවත් වන තරම් අභ්‍යන්තර පාෂණ කොටස් පවතින අතර මෙම උෂ්ණත්වය මතුපිට පෘෂ්ටයට යටින් යුරෝපා උපග්‍රහයාගේ මෙන් අභ්‍යන්තර ලෙස පවතින සමුද්‍රයන්ට හේතුවක් බව සලකන අතර මෙම හේතුව නිසා ට්‍රයිටන් මත ජීවයක් පැවතිය හැකි බවට මෙම ද්‍රවමය පෘෂ්ටය සාධක සපයයි.

වායුගෝලීය තත්වය[සංස්කරණය]

ට්‍රයිටන් සිත්තරෙකුගේ ඇසින්, සියුම් වායුගෝලයද මෙහි දක්වා ඇත.

ට්‍රයිටන් මත ප්ලුටෝගේ මෙන් සියුම් නයිට්‍රජන් වායුගෝලයක් පවතින අතර අංශුමාත්‍ර වූ කාබන්මොනොක්සයිඩ් ප්‍රමාණයක් සහ මෙතේන් ස්වල්ප ප්‍රමාණයක්ද මතුපිටට ආසන්නයෙන් පවතින බව සලකයි. මෙම වායුගෝලීය නයිට්‍රජන් සඳහා හේතුව ලෙස මතුපිට තිබී වාශ්පීභවිත නයිට්‍රජන් හේතු වන්නට ඇති බව සලකයි. තවද පෘෂ්ටය මතුපිට උෂ්ණත්වය අවම වශයෙන් 35.6 K (−237.6 °C) අගයක් ගන්නා අතර මෙම සාපේක්ෂව අධික උෂ්ණත්වයට හේතුව ලෙස ට්‍රයිටන්ගේ පවතින ද්‍රව නයිට්‍රජන් උෂ්ණත්වයෙන් අධික, ස්ඵටිකීකරණයට ලක්ව පවතින අවස්ථාවක පවතින නිසාත්, ස්ඵටික තුල අභ්‍යන්තර ප්‍රතික්‍රියා පැවතීමත් කරුණු ලෙස දක්වයි. තවද ට්‍රයිටන්ගේ මතුපිට වායුගෝලීය පීඩනය 1.4–1.9 පැස්කල් (0.014–0.019 මිලි බාර්) වේ.

වොයේජර් 2 යානය හසු කරගත් ට්‍රයිටන්ගේ පවතින වලාකුළු වල ඡායාරුවක්.

ට්‍රයිටන් මතුපිට පෘෂ්ටයේ පවතින කැළඹීම් ස්වභාවය නිසා වායුගෝලයේ පහලම ස්තරය ("කාලගුණික ස්තරයක්") උන්නතාංශය 8km පමණ වේ. ට්‍රයිටන් මතුපිට පෘෂ්ටයේ පවතින උණුදිය උල්පත් වලින් ඇතිවූ සලකුණු නිසා ඍතුමය වශයෙන් ඇතිවන සුළං ධාරා වලට මයික්‍රොමීටර් ප්‍රමාණයේ අංශු චලනය කිරීමේ හැකියාවක් පවතින බව සොයාගෙන ඇත. අනෙක් වයුගෝලයන් සැලකීමේදී ට්‍රයිටන්ගේ අපවර්තීය වායුගෝලය වායු වලින් හිඟ වන අතර එනමුත් තාප ගෝලය 8 සිට 950 km දක්වා උසට පවතී. තවද ට්‍රයිටන්ගේ මතුපිට සිට 1 සහ 3 km ප්‍රමාණයක් දක්වා ඝනීභුත නයිට්‍රජන් විසිරී පවතී.

වසර 1997 දී පෘතුවියේ සිට ට්‍රයිටන්ගේ පෘෂ්ටය පිලිබඳ කරුණු අධ්‍යනයකින් පසු අනාවරණය වුයේ වොයේජර් 2 යානය මඟින් සපයන ලද දත්ත තුලින් නිගමනය කරන ලද වායු ගෝලීය සංයුතියට වඩා සත්‍ය වායු ගෝලීය ඝනත්වය විශාල බවයි. තව දුරටත් අනාවරණය වූ කරුණු අතර දැක්වෙන්නේ 1989 සිට 1998 දක්වා කාල පරාසය තුල ග්‍රහලොව මත උෂ්ණත්වය 5% ක අගයකින් වැඩිවී ඇති බවයි. මේ කරුණු වලින් ලබා ගත් දත්ත අනුව එළඹ ඇති නිගමනය වන්නේ ට්‍රයිටන් මේ වන විට වසර සිය ගණනකට පසුව අධික ග්‍රීෂ්ම ඍතුවක් කරා එළඹ ඇති බවයි. මේ සඳහා හේතු වූ තවත් කරුණු ලෙස ට්‍රයිටන් මතුපිට පවතින තුෂාර ස්ථරයේ වෙනස්වීම් සහ අයිස් ස්තරය වැඩි තාප ප්‍රමාණයක් උරා ගැනීම දක්වා ඇත. තවත් මතුව ඇති විවාදාත්මක කරුණක් වන්නේ මෙම උෂ්ණත්ව වෙනස් වීමට හේතු වන්නට ඇත්තේ අඳුරු සහ රත් පැහැ අංශුන් භූ විද්‍යාත්මක තත්වයන් නිසා පෘෂ්ටය මතුපිට තැන්පත් වීම බවයි.

පෘෂ්ටීය ලක්ෂණ[සංස්කරණය]

දැනට ට්‍රයිටන් පිලිබඳ අනාවරණය කරගත් සියලු කරුණු 1989 දී වොයේජර් 2 යානය වරක් මෙම ග්‍රහලොව ආසන්නයෙන් ගමන් කිරීම තුලින් ලබාගෙන ඇති අතර යානය ලබා දුන් ඡායාරූප වලින් දැක්වෙන කරුණු අනුව ට්‍රයිටන්ගේ මතුපිට ප්‍රදීශයෙන් 40% ක් පමණ පාෂණ කොටස්, කඳු වැටි, නිම්න, රැළිති නිම්න, සානු, අයිස් තැනිතලා සහ ගිනි කඳු විවර වලින් වැසී පවතී. ට්‍රයිටන් සාපේක්ෂ වශයෙන් තැනිතලා ග්‍රහලොවක් වන අතර එහි ඇති භූ අස්තරයේ පවතින නෙරුම් කිලෝමීටරයක ප්‍රමාණයක් දක්වා පමණක් විවිධත්වයෙන් යුක්ත වේ. මතුපිට පවතින ගිනිකඳු විවර සංඛ්‍යාව අවම වීමෙන් දැක්වෙන්නේ මෙම ග්‍රහ ලොව තවමත් තරුණ අවදියේ පවතින ග්‍රහ ලෝකයක් බවත් වසර මිලියන 50 ක පමණ ආයු කාලයක් ගෙවා ඇති බවත් ය.

හිමායනිත ගිනිකඳු[සංස්කරණය]

ට්‍රයිටන්ගේ දක්ෂිණ අර්ධගෝලයේ පවතින අඳුරු රේඛා නයිට්‍රජන් විදාරණය වීමක් තුලින් ශේෂ වූ දුහුවිලි අංශු ලෙස සලකයි.

ට්‍රයිටන් භූ විද්‍යාත්මක වශයෙන් සක්‍රීය වන අතර එහි පෘෂ්ටය මත පවතින ගිනිකඳු විවර ප්‍රමාණය අවම වීමත් පෘෂ්ටය සැලකියයුතු ලෙස තරුණ අවදියක පවතින බවත් දැක්විය හැක. ට්‍රයිටන් ඝණ ලෙස පවතින අයිස් වර්ග වලින් යුක්ත වන නමුත් එහි මතුපිට පෘතුවියේ මෙන්ම ගිනිකඳු තුල සහ විවිධ පැළුම් ස්ථාන තුලින් ද්‍රවිත වූ ජලය සහ ඇමෝනියා වායු විධාරණය වීමක් සිදු කරයි. එය ලාවා විධාරණ ක්‍රියාවලියට සපුරා වෙනස් වන අතර ට්‍රයිටන් මතුපිට අතිශය සංකීර්ණ වූ හැඩයන්ගෙන් යුතු නිම්න සහ කඳු ශිඛර ව්‍යාප්තව පවතී. මෙම ලක්ෂණ සඳහා බොහෝවිට හේතු වන්නට ඇත්තේ බාහිරින් සිදුවන උල්කා ගැටීම් වැනි කරුණු නොව අභ්‍යන්තර භූ ගර්භය තුල සිදුවන්නට ඇතැයි සැලකෙන භූ චලන සහ රසායනික ප්‍රතික්‍රියා වැනි කරුණුය.

දැනට හඳුනා ගෙන ඇති සියලුම උණු දිය උල්පත් 50° සහ 57° අතර ප්‍රදේශය තුල විසිරී පවතින අතර මෙමඟින් සූර්යාගේ සිට අධික දුරකින් පිහිටා තිබුණද, සූර්ය ශක්තිය ග්‍රහයාගේ පැවැත්ම සම්බන්ධව අතිශය තීරණාත්මක සාධකයක් වන බවට නිදසුන් සපයයි. සූර්ය කිරණ අයිස් පෘෂ්ටය තුලින් ගමන් කර පවතින ඝණ නයිට්‍රජන්, ද්‍රව බවටත් ඉන්පසුව වායු බවටත් පත් කිරීමෙන් අනතුරුව පෘෂ්ටය මතුපිටට පැමිණීමට වායු අංශු වලට අවශ්‍ය ශක්තිය ලබා දීම සිදු කරයි.

මෙම සෑම විධාරණයක්ම වසර ගණනාවක් පැවතිය හැකි අතර එම කාලය තුල කියුබික් මීටර් මිලියන 100 ක ප්‍රමාණයක ඝණ අයිස් ඌර්ධවපාතන ක්‍රියාවලියට භාජනය කරයි. වොයෙජර් යානය සපයන ලද ට්‍රයිටන්ගේ දකුණු අර්ධගෝලයේ ඡායාරූප වලට අනුව එහි පවතින අඳුරු පැල්ලම් පැහැදිලිව දැක ගැනීමට හැකියාව පවතින අතර 1977 සහ යානය ඒ අසලින් ගමන් ගත් 1989 කාලය තුල ග්‍රහලොවේ පැහැය කෙමෙන් අඳුරු පැහැයක සිට රක්ත වර්ණයට පත්වූ අතර එය ප්ලුටෝ ග්‍රහලොවේ පැහැයට ආසන්න වර්ණයක් බවට පත් විය.

ධ්‍රැව වැස්ම, කඳුවැටි සහ තැනිතලා[සංස්කරණය]

ට්‍රයිටන්ගේ දක්ෂිණ අර්ධගෝලයේ Cantaloupe භූමි පෙදෙසට ඉහලින් දැක්වෙන ඡායාරූපයක්.

ට්‍රයිටන්ගේ දක්ෂිණ අර්ධ ගෝල කොටස ඉතා දීප්තිමත් ඝණ අයිස් සහ ඊතෙන් මිශ්‍රණයකින් වැසී පවතින අතර ගිනිකඳු ශිකර තුලින් මේවා විධාරණයට ලක්වෙමින් පවතී. ට්‍රයිටන්ගේ උත්තරාර්ධගෝලය පිලිබඳ අතිශය ස්වල්ප ලෙස කරුණු දැක්වෙන්නේ වොයේජර් 2 යානය ග්‍රහ ලොව අසලින් ගමන් කරන විට එම අර්ධගෝලයට රාත්‍රී කාලය උදා වී තිබීම නිසා වන අතර දක්ෂිණාර්ධගෝලයේ මෙන්ම උත්තරාර්ධගෝලය තුලද මෙම ක්‍රියාවලීන් එලෙසම සිදුවන බව නිගමනය කරයි.

ට්‍රයිටන්ගේ බටහිර අර්ධගෝලයට වන්නට ඉතා උස් තැනිතලා ප්‍රදේශ බොහොමයක් පවතී. ඒ නියත වශයෙන්ම බොහෝ කාලයකට පෙර අයිස් ලාවා වලින් එකල පවතී භූ විෂමතාවයන් වැසි යාමේ ප්‍රතිඵලයක් බව නිගමනය කර ඇත. මෙම තැනිතලා මතුපිට පවතින ආවාට මෙම ලාවා පැනනැඟී ස්ථාන ලෙස සලකන අතර මෙම ලාවා වල සංයුතිය තවමත් අභිරහසක් වන අතර විද්‍යාඥයින් සලකන්නේ මේවා ඇමෝනියා සහ ජලයේ මිශ්‍රණයක් ලෙස සලකයි.

ට්‍රයිටන් මත ගෝලාකාර හැඩැතී ස්වභාවික ප්‍රකාර සතරක් හඳුනාගෙන ඇති අතර දැනට සලකන ආකාරයට ට්‍රයිටන් මත පිහිටා ඇති අතිශය සමතල ප්‍රදේශ අතරට මේවා සලකනු ලබයි. ඒවායේ උන්නතාංශ වෙනස් වීම 200 m අතර පවතින අතර ලාවා විධාරණයක ප්‍රතිඵලයක් ලෙස මේවා හට ගන්නට ඇතැයි සැලකේ. තවද ට්‍රයිටන්ගේ බටහිර ප්‍රදේශය මත අඳුරු පැහැ ලප පවතින අතර මෙම සෑම අඳුරු ලපයක්ම වට වන අයුරින් ශ්වේත වර්ණ අංශුවලින් සැදුම් ලත් වලල්ලාකර ප්‍රදේශයක් පිහිටයි. මේ සියලු ප්‍රදේශයක්ම විශ්කම්භයෙන් 20 සහ 30 km අතර විශාලත්වයකින් යුතු අතර ග්‍රීෂ්ම ඍතුවේදී මෙම ප්‍රදේශ විශාලත්වයෙන් තරමක් අපගමනය වේ.

ට්‍රයිටන් මතුපිට පවතින ඉතා සංකීර්ණ වූ හැඩයන්ගෙන් යුතු ශීර්ෂ හා නිම්න පෘෂ්ටය මත හිම දියවීම් වල ප්‍රතිඵලයක් විය හැකි බව සලකන අතර භූ චලන ඇතිවීම මඟින් ගොඩ බිම් ප්‍රදේශය විස්තාරණය වන්නට ඇති බව සලකයි. මෙම ප්‍රදේශ බොහොමයක් නිරක්ෂයට ආසන්නයේ විසිර පවතින අතර ට්‍රයිටන්ගේ පෘෂ්ටය මතුපිට ආයු කාලය සලකන විට මෙම බොහෝ ක්‍රියාදාමයන් එකවර අවස්ථා ගණනකදී සිදුවන්නට ඇතැයි සලකයි.

Cantaloupe භූමි පෙදෙස[සංස්කරණය]

වොයේජර් 2 යානය ට්‍රයිටන් ග්‍රහලොව සිට 130,000 km අතින් සිට ඡායාරුවට නැඟූ Cantaloupe තැනිතලා ප්‍රදේශය. මෙහි යුරෝපා ග්‍රහලොවේ මෙන් කඳුවැටි ද්විත්වයක් එකිනෙක අන්තර්ඡේදනය වන අතර Slidr Sulci (තිරස්) and Tano Sulci (සිරස්) ලෙස ඒවා නම්කර ඇත.

ට්‍රයිටන්ගේ බටහිර අර්ධගෝලය අභිරහස් ශීර්ෂ සහ තැනිතලා ප්‍රදේශයකින් යුක්ත වන අතර එය "Cantaloupe භූමි ප්‍රදේශය" ලෙස හඳුන්වන අතර එම ප්‍රදේශය කොමඩු ගෙඩියක අභ්‍යන්තර හරස්කඩක් ආකාරයෙන් විසිරී ඇති නිසා එලෙස හඳුන්වයි. මෙය දැනට හඳුනා ගෙන ඇති ට්‍රයිටන් මත ඇති පැරණිම භූමි ප්‍රදේශය වන අතර එය ට්‍රයිටන්ගේ බටහිර අර්ධගොලයෙන් වැඩි වපසරියක් පුරා පවතී.

Cantaloupe භූමි පෙදෙස අපවිත්‍ර ජලය සහ අයිස් වල සම්මිශ්‍රණයක් වන අතර එවැනි භූ ලක්ෂණයක් පවතින එකම ග්‍රහලොව ලෙස ට්‍රයිටන් සලකයි. එහි විෂ්කම්භය 30–40 km ප්‍රමාණයේ නිම්න ප්‍රදේශ පවතින අතර ඒවා ගිනිකඳු විවර ලෙස අනුමාන නොකරන්නේ ඒවා සියල්ලම සම ප්‍රමාණ වලින් යුක්ත වීමත්, මතුපිට සුමට වීමත් යන කරුණු සැලකීමෙන් අනතුරුවය. ඒවායේ නිර්මාණය පිලිබඳ පවතින උපකල්පන අතර ඉදිරියෙන්ම පවතින්නේ භූමි අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වයෙන් යුතු ලාවා මතුපිට පෘෂ්ටයට පැමිණීමෙන් අනතුරුව සිදුවූ ක්ෂණික උෂ්ණත්වපාතනයට ලක්වීම නිසා මෙසේ ඝනීභවනය වන්නට ඇති බවයි.

ගිනිකඳු විවර[සංස්කරණය]

Tuonela Planitia (වම) and Ruach Planitia (මැද) යනු ට්‍රයිටන්ගේ පවතින අතිශය තිරස් වූ තැනිතලා ප්‍රදේශ ද්විත්වයකි. ගිනිකඳු විවරයන්ගේ ඇති අල්පත්වය මෙම ග්‍රහලොව විශාල ලෙස භූ-විද්‍යාත්මකව සක්‍රීය ලක්ෂණ පෙන්වන බවට ඇති උදාහරණයි.

අධික ලෙස සක්‍රීයතාවයක් දක්වන මතුපිටක් ට්‍රයිටන් මත පවතින නිසා එහි මතුපිට පවතින ගිනිකඳු විවර සංඛ්‍යාව ඉතා අල්පයකි. වොයේජර් 2 යානය ඡායාරූපයට නැඟූ ආකාරයට නිසැකවම ගිනිකඳු ශිඛර ලෙස ස්ථාන 179 ක් හඳුනාගත් අතර එය ට්‍රයිටන්ගේ පෘෂ්ටීය වර්ගඵලය මෙන් 3% ට පමණක් වන යුරේනස්ගේ උපග්‍රහයෙක් වන මිරැන්ඩා උපග්‍රහයා මතුපිට ඇති ගිනිශිඛර 835 ක ප්‍රමාණය සමඟ සැසඳීමේදී අතිශය ස්වල්ප ප්‍රමාණයකි. තවද ට්‍රයිටන් මතුපිට ඇති විශාලතම ගිනිකඳු ශිඛරය ලෙස හඳුනා ගෙන ඇති Mazomba හි ශිඛර විෂ්කම්භය 27 km වේ.

කෙසේ නමුත් 30° සහ 70° දේශාංශ අතර ප්‍රදේශයේ මෙමෙ ගිනිකඳු විසිරී පවතින අතර ට්‍රයිටන්ගේ එක් මුහුණතක් සැමවිටම නෙප්චූන් දෙසට යොමුවී පවතින නිසා තාරකා විද්‍යාඥයන් අනුමාන කරන්නේ අනෙක් මුහුණත මත පවතින ගිනිකඳු ශිඛර ගණන මීටත් වඩා අවම සංඛ්‍යාවක් විය හැකි බවයි. කෙසේ නමුත් වොයේජර් 2 යානය ඡායාරූපයට නඟා ඇත්තේ ට්‍රයිටන් මතුපිට ප්‍රදේශයෙන් 40% ක ප්‍රමාණයක් පමණක් නිසා ඉතිරි 60% ක මතුපිට ප්‍රදේශය කෙසේ වේද යන්න තවමත් විවාදාත්මකය.

නිරීක්ෂණය සහ ගවේෂණය[සංස්කරණය]

නෙප්චූන් (ඉහලින්) ට්‍රයිටන් (පහලින්) දැක්වෙන මෙම ඡායාරුව වොයෙජර් 2 යානය අසලින් ගමන් කිරීමෙන් දින තුනකට පසු ලබාගන්නා ලදී.

ට්‍රයිටන්ගේ කාක්ෂීය ලක්ෂණ ඉතා නිරවද්‍යතාවයෙන් යුතුව 19 වෙනි සියවස වන විට ගණනය කළ අතර එයට ප්‍රතිගාමී දිශාවට පවතින පරිභ්‍රමණ රටාවක් දක්වන අතර, ඉතා විශාල කෝණීය අගයකින් නෙප්චූන්ගේ කක්ෂයට වඩා වෙනස් භ්‍රමණ අක්ෂයක් තිබෙන මෙම උපග්‍රහයා පිලිබඳ මුල්ම නිරීක්ෂණයන් වසර 1930 දී පමණ සිදු කල නමුත් මේ පිළිබඳව වොයෙජර් 2 යානය ඒ අසලින් ගමන් කිරීමෙන් අනතුරුව පෘතුවිය වෙත දත්ත ලබාදෙන තෙක් දැනසිටි තොරතුරු ප්‍රමාණය ඉතා අල්ප විය.

වොයෙජර් 2 යානය දත්ත ලබාදෙන තෙක් තාරකාවිද්‍යාඥයින් අනුමාන කරන ලද්දේ ට්‍රයිටන් මතුපිට ද්‍රව නයිට්‍රජන් සාගර සහ නයිට්‍රජන්/මීතේන් වල මිශ්‍රණයක් වශයෙන් ඝනත්වයෙන් පෘතුවි වායුගෝලයෙන් 30% ක් පමණ වූ වායුගෝලයක් එය මත පවතින බවයි. අඟහරු මත වයුගෝලිය ඝනත්වයද අධිතක්සේරුවට ලක් කල ආකාරයටම ට්‍රයිටන් පිළිබඳවද කළ ගණනයන් අසත්‍ය වූ අතර උපකල්පිත අගයන් ට්‍රයිටන් මත ඊට බොහෝ කාලයකට පෙර පැවතෙන්නට ඇතිබව අනුමාන කරයි.

ට්‍රයිටන්ගේ විෂ්කම්භය පිළිබඳ ප්‍රථම වරට ගණනය කිරීමට තැත් කළේ 1954 දී ජෙරල්ඩ් කූපර් විසිනි. ඔහුට 3,800 km අගයක් ඒ සඳහා ලැබුණු අතර සමකාලින අගයන් ගණනයන් තුලින් 2,500 සිට 6,000 km දක්වා වූ අගයන් ලැබුණු අතර අපගේ සඳුට වඩා තරමක් කුඩා සහ පෘථිවියේ විශ්කම්භයෙන් හරි අඩක් පමණ වන අගයන් අතර දෝලනය වන අගයන් ඒ අතර වේ. වොයෙජර් 2 යානය 1989 අගෝස්තු මස 25 වන දින ඒ අසලින් ගමන් කරන අතරතුර ලබාදුන් දත්ත සලකා බලා අවසානයේ ට්‍රයිටන්ගේ විෂ්කම්භය සැබැවින්ම 2,706 km බව ගණනය කරන ලදී.

1990 දශකයේදී පෘතුවියේ සිට ට්‍රයිටන්ගේ විවිධ ග්‍රහයන්ට සිදුවන අන්තර්ධාන පිලිබඳ සැලකීමෙන් අනතුරුව සිදුකරන ලද නිගමන වලින් ට්‍රයිටන් මතුපිට වායුගෝලයක් පවතින බවත්, එහි ඝණත්වය වොයෙජර් 2 යානය සපයන ලද දත්ත වලින් සැලකූ ඝණත්වයට වඩා වැඩි බවත් නිරීක්ෂණය කරන ලදී.

2010 දී නෙප්චූන්ගේ කක්ෂය වෙත අජටාකාශ යානාවක් ගමන් කරවීමට NASA ආයතනය අවස්ථා ගණනකදී සැලසුම් සකස් කරන ලද අතර මූලික වශයෙන් ට්‍රයිටන් මතට යානාවක් ගොඩ බැස්වීමට පිඹුරුපත් සැකසූ නමුත් අද දක්වාම නෙප්චූන් සහ ට්‍රයිටන් දක්වා අභ්‍යවකාශ ගමනක් සඳහා සූදානමක් නොපවතී. කෙසේ නමුත් මේ වන විට NASA ආයතනය බ්‍රහස්පති සහ සෙනසුරු වෙත අභ්‍යවකාශ යානා යැවීම පිලිබඳ අවධානය යොමුකර සිටියි.

තව දුරටත්[සංස්කරණය]


සෞරග්‍රහ_මණ්ඩලය සෞරග්‍රහ_මණ්ඩලය_නිර්මාණය_වීම_හා_පරිණාමය