Jump to content

ස්පුට්නික්-1

විකිපීඩියා වෙතින්
ස්පුට්නික්-1 චන්ද්‍රිකාව

ස්පුට්නික්-1 (රුසියානු බසින්: "Спутник-1") වූ කලී ප්‍රථම කෘත්‍රිම පෘථිවි උපග්‍රහයා යි. වර්ෂ 1957 ඔක්තෝබර් 4 දා සෝවියට් සංගමය විසින් මෙය පෘථිවිය වටා කක්ෂගත කිරීමත් සමඟ මනුෂ්‍ය ඉතිහාසයේ අභ්‍යවකාශ යුගය ලෙස හැඳින්වෙන නව අවධියක උදාව සනිටුහන් විය.

R-7 නමැති වාහක රොකට්ටුවක ආධාරයෙන් ගුවන් ගත කරන ලද මෙම කෘත්‍රිම උපග්‍රහයා (චන්ද්‍රිකාව) මාස තුනක පමණ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි අතර මුල් දින 22 දී ලොව පුරා රමක රේඩියෝ ක්‍රියාකරුවන්ට පවා ග්‍රහණය කරගත හැකි වූ අනවරත රේඩියෝ සංඥාවක් නිකුත් කළේ ය. එමෙන්ම ඉතා ඉහළ වායුගෝලයේ ඝනත්වය, උෂ්ණත්වය සහ උල්කා දූලි පිළිබඳ විද්‍යාත්මක කරුණු රැසක් අනාවරණය කරගැනීමට එය දායක විය.

ස්පුට්නික්-1 ගුවන්ගත කෙරුණේ වර්තමාන කසක්ස්තානයේ එකල ත්‍යුරතම් මිසයිල විහිදුම් යාය හෙවත් මෙකල බයිකොනූර් අභ්‍යවකාශ තොට යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙනි. පෘථිවි කක්ෂයට ඇතුළු වීමට එය පැයට කිලෝමීටර් 29,000 ක වේගයකින් ගමන් ගත් අතර මිනිස් අතින් තැනූ යමක් එතරම් ඉහළ වේගයකින් ගමන්ගත් ප්‍රථම අවස්ථාව එය විය. ස්පුට්නික්-1 හි අනපේක්ෂිත සාර්ථකත්වය අමෙරිකානු එක්සත් ජනපද රජය මවිතයට පත් කරමින් එරට දේශපාලනය ස්පුට්නික් අර්බුදය නමින් හැඳින්වුණු අවුලට ඇද දැම්මා පමණක් නොව අමෙරිකාව සහ රුසියාව අතර අභ්‍යවකාශ තරඟයක් ද ඇවිලවී ය.

“ස්පුට්නික්” යන්නෙහි අරුත පෘථිවියේ අනුචරයා යන්න යි. ස්පුට්නික් ච්‍යාපෘතිය නමින් හැඳින්වුණු වන්ද්‍රිකා පෙළක පළමුවැන්න වූයේ ස්පුට්නික්-1 යි.

නිමැවුම

[සංස්කරණය]

බාහිර හැඩය

[සංස්කරණය]

ස්පුට්නික්-1 චන්ද්‍රිකාව හැඩයෙන් ගෝලාකාර වූවකි. එහි විෂ්කම්භය මිලිමීටර් 585 ක් වූ අතර බර කිලෝග්රෑම් 83.6 ක් විය. චන්ද්‍රිකාවේ කබොල්ල වායුරෝධිත ලෙස සංමුද්‍රිත මිලිමීටර් 2 ක් ඝනකමැති ඇලුමිනියම් අර්ධගෝල දෙකක් එකලස් කිරීමෙන් තැනුවක් විය. ඒවායෙහි පිට පැත්ත මිලිමීටර් 1 ක් ඝනකමැති AMG6T නමින් හැඳින්වෙන ඇලුමිනියම්-මැග්නීසියම්-ටයිටේනියම් මිශ්‍රලෝහ තට්ටුවකින් ආවරණය කර තිබුණු අතර එය හොඳින් ඔප දමා තිබුණි. ඒ අභ්‍යවකාශයෙහි පවතින දැඩි හිරු රශ්මිය පරාවර්තනය කිරීම පිණිස ය. එමඟින් චන්ද්‍රිකාවේ අභ්‍යන්තර උපකරණ ආරක්ෂා විණි. තවද, වියළි නයිට්‍රජන් වායුවෙන් චන්ද්‍රිකා කබොල්ල පුරවා තිබිණ.

පසු අතට විහිදුණු රිටි ආකාර ඈසි (ගුවන් කම්බි) යුගල දෙකක් චන්ද්‍රිකාවට සවිකර තිබූ අතර ඉන් එක යුගලක ඈසියක් දිගින් මීටර් 29 ක් ද අනෙකේ එය මීටර් 24 ක් ද දිගු විය. මෙම ඈසි හතර චන්ද්‍රිකාවේ අන්වායාම අක්ෂයට 35° ක් ආනතව පිහිටා තිබුණි. මේවායේ සම්ප්‍රේෂණ රටාව ගෝලාකාර වූ නිසා ඒවායින් නිකුත් වූ සංඥා චන්ද්‍රිකාවේ භ්‍රමණයෙන් ස්වායත්තව ග්‍රහණය කර ගැනීමට හැකිවිණි.

ජව සැපයුම

[සංස්කරණය]

චන්ද්‍රිකාවේ විද්‍යුත් උපකරණ බල ගැන්වුණේ කිලෝග්රෑම් 51 ක් බරැති සිල්වර්-ඔක්සයිඩ් බැටරි තුනකිනි. ඉන් දෙකක් රේඩියෝ සම්ප්‍රේෂකය සඳහාත් අනෙක චන්ද්‍රිකාවේ උෂ්ණත්ව යාමකය සඳහාත් යෙදැවිණි. මේ බැටරි තුන එකට සම්බන්ධකර තිබුණේ අෂ්ටාශ්‍රාකාර මුරිච්චියක හැඩයකට ය. එම කුහරය තුළ රේඩියෝ සම්ප්‍රේෂකය රඳවා තිබිණ.

පෘථිවි කක්ෂයට ඇතුළු වූ පසු, චන්ද්‍රිකාව දෙවන පියවර රොකටයෙන් වෙන් වීමත් සමඟ ම ස්වයංක්‍රීයව විදුලි සැපයුම ඇරඹිණි. මෙම බැටරිවල බලය සති දෙකක් පමණක් පවතිනු ඇතැයි අපේක්ෂා කළත් ඒවා දින 22 ක් පුරා සක්‍රියව පැවතිණ.

රේඩියෝ සම්ප්‍රේෂකය

[සංස්කරණය]

මෙය කිලෝග්රෑම් 35 ක් බරැති වොට් 1 ක බලයකින් යුත් කෙටි තරංග සම්ප්‍රේෂකයක් විය. එයින් නිකුත් වූයේ 20.005 MHz සහ 40.002 MHz යන සංඛ්‍යාතවලින් යුක්ත වාහක තරංග දෙකකි. මින් පළමුවැන්නෙන් විසුරුවා හැරුණු සංඥා, චන්ද්‍රිකාව තුළ සාමාන්‍ය උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ තත්පර 0.3 ක ප්‍රවර්තන කාලයකින් යුත් ස්පන්දන වූ අතර ස්පන්දන දෙකක් අතර විරාමය පිරැවුණේ අනෙක් සංඛ්‍යාතයෙන් විසුරුවා හැරුණු ස්පන්දනවලිනි. මේ රේඩියෝ සංඥාවලට චන්ද්‍රිකාව තුළ එය පුරවා තිබූ නයිට්‍රජන් වායුවේ පීඩනය සහ එතුළ උෂ්ණත්වය පිළිබඳ දත්ත කේතනය කොට තිබුණි. මීට අමතරව, අජටාකාශයේ සිට පොළොව කරා එන රේඩියෝ තරංග ඉතා ඉහළ වායුගෝලයේ විසිරෙන ආකාරය මෙන්ම අයනගෝලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට එම සංඥා විශ්ලේෂණයට භාජනය කිරීමෙන් හැකිවිය.

උෂ්ණත්ව යාමනය

[සංස්කරණය]

චන්ද්‍රිකාවේ උෂ්ණත්ව යාමන පද්ධතිය පංකාවකින්, ද්විත්ව තාපජ ස්විච්චියකින් සහ පාලන තාපජ ස්විච්චියකින් සමන්විත විය. චන්ද්‍රිකාව තුළ උෂ්ණත්වය 36° C ට වඩා වැඩි වන අවස්ථාවලදී පංකාව ක්‍රියාත්මක කරවීමටත් 20° C ට වඩා අඩුවන අවස්ථාවලදී එය නතර කරවීමටත් ද්විත්ව තාපජ ස්විච්චිය යොදා ගැනිණ. එසේම, එතුළ උෂ්ණත්වය 50° C ට වැඩි වුවහොත් හෝ 0° C ට අඩු වුවහොත් හෝ පාලන තාපජ ස්විච්චිය ක්‍රියාකාරි වී චන්ද්‍රිකාවෙන් නිකුත් වූ රේඩියෝ සංඥා ස්පන්දනයේ ප්‍රවර්තන කාලය වෙනස් කළේ ය.

වායු පීඩනමානය

[සංස්කරණය]

යට විස්තර කළ පරිදි ස්පුට්නික්-1 චන්ද්‍රිකාවේ කබොල්ල වායුගෝල 1.3 ක පීඩනයක් යටතේ වියළි නයිට්‍රජන් වායුවෙන් පුරවා තිබිණ. මෙම පීඩනය නිරීක්ෂණය කිරීම සඳහා වායුපීඩන ස්විච්චියක් සවිකර තිබුණි. යම් හෙයකින් උල්කාවක් චන්ද්‍රිකාව හා ගැටීම හේතුවෙන් එය සිදුරු වී වායුව කාන්දු වූවා නම් කබොල්ල තුළ පීඩනය වායුගෝල 0.34 ක ට වඩා අඩුවන අවස්ථාවේදී මෙම ස්විච්චිය සක්‍රිය තත්ත්වයට පත්වී රේඩියෝ සංඥා ස්පන්දනයේ ප්‍රවර්තන කාලය වෙනස් කිරීමට සැලසුම් කර තිබුණි.


කක්ෂය

[සංස්කරණය]
ස්පුට්නික්-1කේ කක්ෂය පෙන්වන සෝවියට් තැපැල් මුද්දරයක්

ස්පුට්නික්-1 හි කක්ෂය පිහිටියේ ක්‍රාන්තිවලීය තලයට 65.1° ක් ආනතව ය. එහි භූසමීපකය කි.මී. 215 ක උසකින් ද භූදුරකය කි.මී. 939 ක උසකින් ද විය. කක්ෂීය ආවර්ත කාලය විනාඩි 96 යි තත්පර 10.2 ක් විය.

චන්ද්‍රිකාවේ කක්ෂය විකේන්ද්‍රිකතාවෙන් එතරම් ඉහළ අගයක් ගත්තේ කරුණු දෙකක් නිසා ය.

  • එකල රොකට් මෙහෙයුම් තාක්ෂණය ළදරු අවස්ථාවක පැවතීම නිසා අභ්‍යවකාශ ගන්වන ලද චන්ද්‍රිකාව වෘත්තාකාර කක්ෂයකට ගෙන ඒමට අපහසු කාර්යයක්ව තිබිණ.
  • ඉහළ වායුගෝලය පිළිබඳ තොරතුරු එකල විද්‍යාඥයෝ දැන සිටියේ ඉතා මඳ වශයෙනි. එබැවින් පෘථිවි තලයෙන් ඉහළ විශාල උන්නතාංශ පරාසයක ගවේෂණ කටයුතු කිරීමට ඔවුනට අවශ්‍ය වී තිබිණ.

ඉහළ වායුගෝලයේ වායු අණු සමඟ නිරන්තර ගැටීම නිසා චන්ද්‍රිකාවේ වේගය ක්‍රමයෙන් හීන වී දින 92 ක ට පසු, එනම් 1958 ජනවාරි 4 වන දා එය පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමෙන් දැවී ගියේ ය. ඒ වන විට ස්පුට්නික්-1 පෘථිවිය වටා පරිභ්‍රමණ වාර 1440 ක් පූර්ණය කොට තිබුණි. එමෙන්ම එය ගමන් කොට තිබූ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් හය කෝටියක් පමණ විය.


ඉතිහාසය

[සංස්කරණය]

ස්පුට්නික්-1 හි ඉතිහාසය වර්ෂ 1947 තරම් දුරට දිව යයි. ඒ වසරේදී සෝවියට් සංගමයේ රොකට් ප්‍රචාලන විද්‍යා පුරෝගාමියකු වූ මිහයිල් ක්ලව්ඩ්‍යේවිච් පෘථිවි උපග්‍රහයෙක් අභ්‍යවකාශ ගැන්වීමේ ශක්‍යතාව පිළිබඳව සොයා බැලීම සඳහා පර්යේෂකයන් කණ්ඩායමක් පත් කළේ ය. ඔවුන් විසින් කරන ලද අධ්‍යයන වට රාශියකින් පසු කෘත්‍රිම පෘථිවි උපග්‍රහයෙක් අභ්‍යවකාශ ගැන්වීම බහු-අවස්ථා රොකටයක් මඟින් සිදු කිරීම යෝග්‍ය යැයි තීරණය විය.

1954 දී මෙම ශක්‍යතා අධ්‍යයනයේ වාර්තාව සෝවියට් සංගමයේ ප්‍රමුඛ පෙළේ රොකට් ප්‍රචාලන ඉංජිනේරුවකු වූ සෙර්ගෙයි කොරොල්‍යොව් හට ඉදිරිපත් කරන ලදුව ඒ සඳහා ඔහුගේ අනුමැතිය ලැබී ඒ වසරේ මැයි 27 වන දා සෝවියට් රජය වෙත පිළිගන්වන ලදි.

මේ අතරතුර 1957 ජූලි 1 වන දා සිට 1958 දෙසැම්බර් 31 දා තෙක් මාස 18 ක කාලය අන්තර්ජාතික භූභෞතික විද්‍යා වර්ෂය ලෙස නම් කර තිබුණි. මෙම වැඩ සටහනේ කොටසක් ලෙස අභ්‍යවකාශය අද්දර වායුගෝලීය තත්ත්වයන් - විශේෂයෙන් ම අන්තරීක්ෂ කිරණ, ඉහළ අයන ගෝලය හා පෘථිවි චුම්බක ක්ෂේත්‍රය - පිළිබඳ කරුණු හැදෑරීමට සැලසුම් කොට තිබුණි. මේ කාර්යය ඉෂ්ට කරගැනීම සඳහා කෘත්‍රිම උපග්‍රහයෙක් ගුවන් ගැන්වීම අනිවාර්ය බව පැහැදිලි කරුණක් විය. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව 1955 ජූලි 29 දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අන්තර්ජාතික භූභෞතික විද්‍යා වර්ෂය තුළ උපග්‍රහයෙක් අභ්‍යවකාශ ගන්වන බව යි.

සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ද 1955 අගෝස්තු 8 වන දා කෘත්‍රිම චන්ද්‍රිකාවක් තැනීමේ කර්තව්‍යයට අනුමැතිය දුන්නේ ය. එය අභ්‍යවකාශ ගැන්වීම සඳහා ඒ වන විට වැඩිදියුණු කරමින් පැවති R-7 නම් මිසයිලය සුදුසු යැයි තීරණය විය. 1956 ජනවාරි 30 වන දා “D වස්තුව” නමින් හඳුන්වනු ලැබූ චන්ද්‍රිකාවක සැලැස්මට සෝවියට් රජයේ අනුමැතිය ලැබිණ. මේ සැලැස්මට අනුව උපග්‍රහයා තනා නිම වූ විට එහි ස්කන්ධය කිලෝග්රෑම් 1000 ත් 1400 ත් අතර අගයක පැවතීම අපේක්ෂා කෙරිණ. රැගෙන යාමට නියමිත වූ විද්‍යා උපකරණවල ස්කන්ධය කිලෝග්රෑම් 200 – 300 විය. එසේම, “D වස්තුව” 1957 වර්ෂය තුළ ගුවන් ගැන්වීමට සැලසුම් කොට තිබුණි.

කෙසේ වෙතත්, “D වස්තුව” එකලස් කිරීම සහ ටොන් 1 ½ ක චන්ද්‍රිකාවක් ගුවන් ගැන්වීම පිණිස වාහක රොකටයේ එන්ජින්වල කාර්යක්ෂමතාව වැඩි කිරීම යන කටයුතු ඉංජිනේරුවන් අපේක්ෂා කළාට වඩා සංකීර්ණ කාර්යයෝ වූහ. එහෙයින් සැලසුම් කළ කාලසටහනට අනුව “D වස්තුව” අභ්‍යවකාශ ගැන්වීම නොකළ හැක්කක් බව කොරොල්‍යොව් හට ක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ විය. මේ අතර, 1956 සැප්තැම්බර් 20 වන දා අමෙරිකා එක්සත් ජනපද යුද්ධ හමුදාව ජුපිටර්-C නම් රොකට්ටුවක් කිලෝමීටර් 5300 ක පරාසයකින් යුක්ත ප්‍රක්ෂේප පථයක සාර්ථකව ගුවන් ගැන්වී ය. කොරොල්‍යොව් මෙය දුටුවේ එක්සත් ජනපදයේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගැන්වීමේ අසාර්ථක, රහස්‍ය උත්සාහයක් ලෙස ය. තම දේශය ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගැන්විය යුතු යයි තරයේ විශ්වාස කළ ඔහු 1956 නොවැම්බර් මාසයේදී “D වස්තුව” තැනීමේ කටයුතුවලට සමගාමීව, හැකි ඉක්මනින් සරල උපග්‍රහයෙක් ගුවන් ගැන්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කළේ ය.

ඒ අනුව 1957 ජනවාරි 5 වන දා කොරොල්‍යොව් සෝවියට් රජයට ලිපියක් යොමු කරමින් කුඩා චන්ද්‍රිකා දෙකක් නිර්මාණය කිරීමට අනුමැතිය ඉල්ලා සිටියේ ය. තවද, එකක් කිලෝග්රෑම් 100 ක පමණ ස්කන්ධයකින් යුක්ත මේවා ජාත්‍යන්තර භූභෞතික විද්‍යා වර්ෂය නිල වශයෙන් ආරම්භ වීමට පෙර ගුවන් ගැන්වීමට අදහස් කරන බැව් ද හෙතෙම දන්වා සිටියේ ය. ඉතා ඉක්මනින් ඒ සඳහා අනුමැතිය ලැබුණු අතර යෝජිත “ප්‍රාථමික චන්ද්‍රිකා” (රුසියානු බසින්: Простейший Спутник [Prosteyshyy Sputnik හෙවත් PS]) ද්වය PS-1 හා PS-2 ලෙස නම් කෙරිණි. ස්පුට්නික්-1 වශයෙන් අභ්‍යවකාශ ගැන්වුණේ PS-1 චන්ද්‍රිකාව යි. ඒ වන විට නිර්මාණය වෙමින් පැවති “D වස්තුව” පසුව, එනම් 1958 මැයි 15 වන දා, ස්පුට්නික්-3 වශයෙන් අභ්‍යවකාශ ගැන්විණි.


වැඩිදුර කියවීම සඳහා

[සංස්කරණය]
  • Cosmonautics: A Colorful History, Edited by Dr. Wayne R. Matson, Cosmos Books, Washington, D.C., USA, 1994 (ISBN 978-1-885609-01-4

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ස්පුට්නික්-1&oldid=347631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි