ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

තේ නිෂ්පාදනය, ශ්‍රී ලංකාවට(අතීතයේ සිලෝන් නමින් හැඳින් වූ) විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන ම මූලාශ්‍රයක් වන අතර, 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇ.ඩො. බිලියන 1.5 කට අධික ප්‍රමාණයක් සපයමින් දළ දේශීය නිෂ්පාදනය 2% කින් වර්ධනය කිරීමට දායක වී තිබේ. එමඟින් මිලියනයකට අධික පිරිසකට සෘජු හා වක්‍ර රැකියා සපයා දී ඇති අතර, 1995 වන විට තේ වගා බිම් සහ වතුවල සෘජු රැකියා 215,338ක් උත්පාදනය කර තිබුණි. එයට අමතර ව කුඩා වතු හිමියන් යටතේ කෙරෙන තේ වගාව දහස් ගණනකට රැකියා අවස්ථා සපයන අතර ම පවුල් දස දහසකට අධික පිරිසකගේ ප්‍රධාන ම ජීවන වෘත්තිය බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වන විශාලත ම තේ නිෂ්පාදකයා වේ. 1995 දී ලංකාව ලෝක නිෂ්පාදනයෙන් 23%ක් හිමි කර ගනිමින් ලොව ප්‍රමුඛත ම තේ අපනයනකරුවා (නිෂ්පාදකයාට වඩා) බවට පත් වූ අතර වර්තමානයේ එම තැන හිමිකරගෙන සිටිනුයේ කෙන්යාව යි. 2013 වසරේ දී කිලෝ ග්‍රෑම් මිලියන 340ක ඉහළ ම නිෂ්පාදනය වාර්තා වූ අතර, 2014 දී එය කිලෝ ග්‍රෑම් මිලියන 338ක් දක්වා සුළු අඩුවීමකට ලක් ව තිබේ.   

ලංකාවේ මධ්‍යම කඳුකරයේ පවත්නා ආර්ද්‍රතාව, සිසිල් උෂ්ණත්වය, සහ වර්ෂාපතනය උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනයට අවශ්‍ය හිතකර දේශගුණය සපයයි. අනෙක් අතට, මාතර, ගාල්ල, රත්නපුර වැනි ප්‍රදේශවල පවතින ඉහළ උෂ්ණත්වය සහ ඉහළ වර්ෂාපතනය යටතේ නිෂ්පාදනය කෙරෙන තේවල ඉහළ කහට රසයක් පවතී. පහළ උන්නතාංශ ප්‍රදේශවල තේ ශාකය, තමන් විසින් ම නිෂ්පාදනය කර ගන්නා ජෛව ස්කන්ධ ප්‍රමාණය සාපේක්ෂ ව වැඩි ය. එවැනි තේ මැද පෙරදිග රට

ලූල්කන්දර වතුයාය

වල වඩාත් ජනප්‍රිය ය. 1852 ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තේ වැවිලිකරුවකු වන ජේම්ස් ටේලර් විසින් 1867 දී ශ්‍රී ලංකාවට තේ කර්මාන්තය හඳුන්වා දෙන ලදී. 1970 සිට කුඩා වතු හිමියන් යටතේ තේ වගා කිරීම ජනප්‍රිය වී තිබේ.

වාණිජ නිෂ්පාදනයක් ලෙස වර්ධනය වීම සහ එහි ඉතිහාසය.[සංස්කරණය]

1880 වන විට ලංකාවේ තේ නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර 1888 වන විට කෝපි වගා කර තිබූ බිම් ප්‍රමාණය අබිබවමින් 1899 වන විට ආසන්න වශයෙන් අක්කර 400,000(ව.කි.මී.1,619)ක තේ වගා කර තිබුණි. චාල්ස් හෙන්රි ද සොයිසා, මුල් කාලයේ තේ නිෂ්පාදනය සඳහා යොමු වූ එක ම ලාංකිකයා බවට පත් විය. එකල කෝපි වගාවේ කේන්ද්‍රස්ථානය ලෙස පැවති නුවරට ආසන්න පොයිස්ටන් (Poyston) වැනි වතු යායන් 1880 දී මෙරටට පැමිණි හෙන්රි රැන්ඩොල්ෆ් ට්‍රැෆෝර්ඩ්

වැනි පුද්ගලයන් විසින් මිලට ගන්නා ලදී. ලංකාවේ තේ වගාවේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ඔහුට කෝපි වගාව ගැන පැවතියේ සුළු දැනුමක් වුව ද තේ වගාව ගැන සැලකිය යුතු දැනුමක් පැවතුණි.  1883 වන විට ඔහු ඒ වන විට තේ වගාවට මාරු වෙමින් පැවති බෙහෝ වතුවල නේවාසික කළමණාකරු බවට පත් විය. 1880 අග භාගය වන විට ලංකාවේ පැවති කෝපි වතු සියල්ල ම පාහේ තේ වගා බිම් බවට පරිවර්තනය වී තිබුණි. ඒ හා සමාන ම වේගයකින්, පැවති ඉල්ලුම හමුවේ කෝපි ගබඩා තේ කර්මාන්තශාලා බවට පත් විය. 1877 සැමුවෙල් ක්ලේලන්ඩ් ඩේවිඩ්සන්ගේ 'සිරොක්කෝ'(Sirocco)නමැති තේ වියළනය, 1880 ජෝන් වෝල්කර් සහ සමාගම මගින් නිෂ්පාදනය කළ තේ රෝල් කිරීමේ යන්ත්‍රය වැනි වාණිජ තේ වගාව යථාර්ථයක් බවට පත් කළ අත්‍යවශ්‍ය මෙවලම් හේතුවෙන් 1880 වන විට තේ නිෂ්පාදන තාක්ෂණය ශීඝ්‍ර ලෙස වර්ධනය වන්නට විය. මෙම වාණිජ නිෂ්පාදන යථාර්ථය, 1884 දී නුවරඑළිය ෆෙයරිලන්ඩ් වතුයායේ( Pedro)මධ්‍යම තේ කර්මාන්තශාලාව ඉදි කිරීමත් සමඟ තවදුරටත් තහවුරු විය. ලංකාවේ තේ නිෂ්පාදනය වර්ධනය වීමත් සමඟ එංගලන්තය විසින් නව කර්මාන්තශාලා ඉදි කිරීමත් යාන්ත්‍රික නවෝත්පාදන ක්‍රම හඳුන්වාදීමත් සිදු කෙරිණි. ලින්ක්ෂයර්හි ගෙන්ස්බර්ග් ප්‍රදේශයේ මාෂල්, පුත්‍රයෝ සහ සමාගම, බර්මිංහැම්හි ටැංගීස් යන්ත්‍ර සමාගම සහ බෙල්ෆාස්ට්හි ඩේවිඩ්සන් සහ සමාගම වැනි සමාගම් එදා සිට අද දක්වා කර්මාන්තශාලාවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සැපයීම සිදු කරති.

වගාව සහ සැකසීම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් දළ වශයෙන් 4%ක් පමණ, එනම් හෙක්ටයාර 188,175 (වර්ග සැතපුම් 727) කට වඩා ප්‍රමාණයක් පුරා තේ වගාව පැතිර පවතී. මීටර 2100 (අඩි 6, 890)ට වැඩි උන්නතාංශ ප්‍රදේශවල බෝගය සරුවට වැඩෙන අතර ශාකවලට වසරකට සෙ.මී. 100-125 (අඟල් 39-40)ත් අතර වර්ෂාපතනයක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තේ පඳුරු රෝපණය කිරීම සිදු කරනුයේ සමෝච්ඡ රේඛා සමායෝජනය කරමින් "සමෝච්ඡ රෝපණ" ක්‍රමයට අනුකූලව ය. වාණිජ නිෂ්පාදනයන් සඳහා තේ පඳුරුවල කඳෙහි සහ පැති අතුවල හටගන්නා දළු සහ ළපටි කොළ ‍යොදා ගනී. සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ අපේක්ෂිත රසය සහ සුවඳ ඇති අග්‍රස්ථ කොළ දෙක සහ ඉහළ අංකුරය නෙළා ගනු ලැබීම යි. ශ්‍රී ලංකාව, තේ දළු නෙළීමට යාන්ත්‍රික තාක්ෂණයට වඩා මිනිස් ශ්‍රමය යොදාගන්නා රටවල් කිහිපයෙන් එකකි. යන්ත්‍ර භාවිතා කළේ නම් සැලකිය යුතු ප්‍රමාණයෙන් මේරූ කොළ  සහ අතු රිකිලි මිශ්‍රවීම නිසා තේවල රසයට වඩා ප්‍රමාණය ඉහළ දැමීමක් පමණක් සිදු වනු ඇත. අත්දැකීමත් සමඟ ම දළු නෙළන්නියන් විසින් වේගයෙන් දළු නෙළීමේ හැකියාව වර්ධනය කරගන්නා අතර, කිලෝ 15-20 (රාත්තල් 33-44)ත් අතර දෛනික ඉලක්කය සපුරා බර කිරා මැනීමෙන් අනතුරු ව ළඟ ම පිහිටි තේ කර්මාන්තශාලාව වෙත ඒවා රැගෙන යනු ලැබේ. ශ්‍රී ලංකාවේ තේ වගාව සඳහා නිරන්තර පෝෂණය සහ අවධානය අත්‍යවශ්‍ය වේ. එසේ ම ක්‍රමානුකූල ව පොහොර යෙදීම මගින් පස සරුවට තබාගැනීම තේ සැකසුම් ක්‍රියාවලියේ වැදගත් ම අංගයකි. පාර්ශ්වික වර්ධනය දිරිගැන්වීම උදෙසා නොමේරූ පැළෑටි විශේෂ පිහියක ආධාරයෙන් බිම් මට්ටමේ සිට සෙ.මී. 10-15 අතර උසකින් නිරන්තර කප්පාදුවකට ලක් කරනු ලබයි. නිෂ්පාදිත තේවල ගුණාත්මකභාවය සහ වටිනාකම උ‍දෙසා ශ්‍රී ලංකාවේ තේ වතුවල පවත්නා තේ කර්මාන්තශාලා තීරණාත්මක සාධකයක් ලෙස බලපායි. තේ දළු නෙළා ගැනීමෙන් අනතුරුව,ඉහළ අධීක්ෂණය යටතේ බර මැනීම සඳහා එකතු කිරීමේ මඩු වෙත ඉතා ඉක්මනින් ගෙන ගොස් ඉන් පසු කර්මාන්තශාලාව වෙත ගෙන යනු ලබයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලාවක් යනු තේ දළු නෙළීම සහ සැකසීම අතර පිරිවැය අවම කිරීමේ අරමුණින් තේ වතු යායේ ම ගොඩ නගන ලද බහු ගබඩා ගොඩනැගිල්ලකි.  තේ දළු, කර්මාන්තශාලාවේ ඉහළ මහළට ගෙන ‍ගොස් ද්‍රෝණියක් වැනි තැනක අතුරන අතර දළුවල අමතර බර ඉවත් කිරිමට වියළීම නැමැති ක්‍රියාවලියට යොමු කරයි. වරක් වියළන ලද දළු පෙරළීමට, ඇඹරීමට සහ වෙන් කිරීමට ලක් කරන අතර මෙය විශේෂ‍යෙන් ම කළු තේ නිෂ්පාදනය සඳහා, කොළවල ඇති එන්සයිම, වාතයේ පවත්නා ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමට උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.

තේ දළු නෙලන කාන්තාවන්

තේ දළු පිත්තල හෝ ලී අල්ලු ස‍වි කළ කවාකාර මේස මත පෙරළීමට ලක් කර ඊට ඉහළින් ඇති විවෘත සිලින්ඩරයකට දමනු ලබයි. පෙරළීම අවසන් කළ පසු හාත්පස පැතිරුණු උණුසුම සහ ආර්ද්‍රතාව සමඟ ඔක්සීකරණය ආරම්භ කිරීමට තේ දළු කොටස් මේසයක් මත අතුරණු ලැබේ. අවසන් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය සහ ඔක්සීකරණය කෙරෙන කාල සීමාව ආදිය වෙත යොමු කෙරෙන  ඉතා දැඩි අවධානය සහ අත්‍යන්ත සොයා බැලීම සමඟ බැඳී පවතී. ඔක්සීකරණය අවසන්වීමත් සමඟ කොළ පැහැයෙන් පැවති තේ දළුවල පැහැය දිලිසෙන තඹ පැහැයකට හැරේ. වරක් ඔක්සීකරණය කළ දළු අතුරු රසායනික ප්‍රතික්‍රියා වළක්වා ගැනීමේ අරමුණින් එන්සයිමවල ස්වභාවික ලක්ෂණ වෙනස් කිරීමට, තැවීමට ලක් වූ දළු රත් වූ කුටීරයකට ඇතුළු කරනු ලබයි. මෙම රත් කිරීමේ ක්‍රියාවලිය තේ දළුවල රසයට ද බලපායි. නැවතත් උෂ්ණත්වය පාලනය කිරීම අවසන් ගුණාත්මකභාවය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන අතර ම අවසානයේ දී තේ දළු දැඩි බවකින් සහ අඳුරු පැහැයකින් දිස්වේ.


තේ දළු වර්ග කිරීම ( ශ්‍රී ලංකාවේ නම් ප්‍රමාණය අනුව) දැලක් ආධාරයෙන් හැලීමට ලක් කර හැඩය සහ ප්‍රමාණය අනුව විවිධ කාණ්ඩවලට වෙන් කිරීම මගින් සිදු කරයි. නිෂ්පාදන ක්‍රියාවලියේ කිසිදු අවස්ථාවක කෘත්‍රිම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එක් නොකරන අතර, සම්මත ගුණාත්මකභාවයට අනුකූල නොවන සියලු ම තත්ත්වවල තේ, එහි ප්‍රමාණය සහ වටිනාකම නොසලකා ප්‍රතික්ෂේප කරනු ලැබේ. අවසාන වශයෙන් බර කිරන ලද තේ, තේ ගෝනි සහ කඩදාසි මලුවලට අසුරා සියුම් පරීක්ෂාවකට ලක් කරනු ලබයි. ඉන් අනතුරු ව දේශීය වෙළඳපොළට සහ තේ තැරැව්කාර සමාගම්වලට ප්‍රවාහනය කරනු ලබයි. අපනයන අවධියේ දී ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් සෑම නැව් තොගයක ම සාම්පල පරීක්ෂාවකට ලක් කර අවසානයේ නැව් මගින් ලොව පුරා බෙදා හරිනු ලබයි.

වගා ප්‍රදේශ[සංස්කරණය]

ප්‍රධාන තේ වගා ප්‍රදේශ ලෙස, මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය, ඌව පළාතේ බදුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ, දකුණු පළාතේ ගාල්ල, මාතර, මුල්කිරිගල සහ සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශ හඳුනාගත හැකි ය.

නිෂ්පාදන[සංස්කරණය]

ලංකා කළු තේ

ලංකා කළු තේ යනු ශ්‍රී ලංකාවට ම විශේෂිත වූ තේ වර්ගයන්ගෙන් එකකි. එහි ඇත්තේ පැඟිරි රසය සිහි ගන්වන ප්‍රසන්න සුවඳකි. මෙය කලවම් කර හෝ නොකර භාවිතා කරන අතර උන්නතාංශය සහ රසය අනුව වෙනස් වන වතු රාශියක වගා කරනු ලබයි.

ලංකා හරිත තේ

ලංකා හරිත තේ ප්‍රධාන වශයෙන් ම නිෂ්පාදනය කරනුයේ ඇසමීස් (Assamese)තේ ගබඩාවේ ය. ඌව පළාතේ ඉදල්ගස්හින්න ප්‍රදේශයේ මේවා වගා කරනු ලැබේ. ලංකා හරිත තේ සම්පූර්ණ දලුව ලෙසින් ම පවතින අතර ඇසමීස් බීජ ගබඩාවේ නිපදවන මේවා තියුණු කහට රසයකින්, මෝල්ටීයතාවයෙන් සහ පෝෂ්‍යදායී ගුණයෙන් යුක්ත ය.

ලංකා සුදු තේ

'රිදී ඉඟි' නමින් ද හඳුන්වන ලංකා සුදු තේ මිල අධික වන අතර කිලෝ ග්‍රෑමයක මිල අනෙකුත් තේ වර්ගවලට සාපේක්ෂ ව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ අගයක් ගනී. ශ්‍රීපාද කන්ද අසබඩ, මීටර 2,200- 2,500(අඩි 7,218- 8,202) අතර නුවරඑළිය ප්‍රදේශයේ මේවා පළමුව වගා කෙරුණි. තේ වගා කිරීම, අස්වැන්න නෙළීම, පෙරළීම මිනිස් ශ්‍රමය භාවිතයෙන් ම සිදු වන අතර හිරු එළියෙන් වියළීම සිදු කරයි. එහි ඉතා රසවත් පයින් සහ මීපැණි සාරය පිරි සියුම් දියරයක් සහ රන්වන් හා තඹ පැහැය මුසු ශ්‍රාවයක් පවතී. පිරිසුදු සුදු තේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ලට ආසන්න හඳුනුගොඩ වතු යායේ ද වගා කෙරේ.

ශ්‍රී ලංකාවේ පැරණි තේ ඇසුරුමක්


අන්තර්ජාතික වෙළඳපොළ සහ මිල[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය 2000 දශකය දක්වා අඛණ්ඩ සාර්ථකත්වයක් අත් කර ගත්තේ ය. 2001 වසරේ තේ අපනයනයේ යෙදෙන සෑම ප්‍රධාන රටක ම තේ මිල පහළ වැටුණ ද ශ්‍රී ලංකාවට, 2000 වසරේ කිලෝ ග්‍රෑම් මිලියන 288 (රාත්තල් මිලියන 634.93) සමඟ සසඳන විට 2001 දී  කිලෝ ග්‍රෑම් මිලියන 294 (රාත්තල් මිලියන 648.16)ක වාර්තාගත ආදායමක් ලබා ගනිමින් තවදුරටත් ලෝක අපනයනයේ ප්‍රමුඛයා ලෙස රැඳී සිටීමට හැකි විය. 2001 වසරේ ලෝක තේ නිෂ්පාදනය ටොන් මිලියන 3.022( ටොන් මිලියන 3.331 අඩු)දක්වා වර්ධනය වූ නමුත් ශ්‍රී ලංකාවේ පෙර වසරේ පැවති ඩොලර් මිලියන 595ක අපනයනය ඩොලර් මිලියන 658 දක්වා වර්ධනය වී තිබේ. කෙසේ වෙතත් වර්තමානය වන විට ශ්‍රී ලංකාව ලෝකයේ විශාල ම අපනයනකරුවා ලෙස රැඳී සිටිය ද සමස්ත නිෂ්පාදනයෙන් ඉන්දියාව සහ චීනයට වඩා පසු පසින් සිටී.