බදගිරිය රජ මහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බදගිරිය රජ මහා විහාරය
පැරණි වෙහෙර.jpg
පැරණි ස්ථූපය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම

බදගිරිය රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බදගිරිය ග්‍රාමයේ පිහිටා තිබේ.

චතුරි අනූකා දොඩම්පෙ

ඉතිහාසය[සංස්කරණය]

මහා වංශයෙහි දැක්වෙන රුහුණේ රාජ්‍යය කළ කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද බධගල් දොර විහාරය යනු බදගිරිය යැයි විවිධ මතවාද පවතී. එහෙත් මහානාග යුවරජු දවස ලියන ලද ශිලා ලේඛන සාක්ෂ්‍ය සපයන්නේ මෙම පුද බිම එකී රාජ්‍යය කාලයට අයත් බවටය. ශ්‍රී ලංකාවේ ‍පෞරාණික ග්‍රාම නාම පිළිබඳ විස්තර වන "නම් පොත" නමැති ග්‍රන්ථයේ 'බුජස් ලෙන' ලෙස දැක්වෙන්නේ බදගිරිය පුරාණ රජමහා විහාරය යැයි අනුමාන කළ හැකිය. එමෙන්ම එහි 'යාන් ලෙන' පිළිබඳව සඳහන් වී තිබීමෙන් මේ මතය ස්ඵුට වේ. (යහංගල පුරාණ රජමහා විහාරය පිහිටා ඇත්තේ බදගිරිය පුරාණ රජමහා විහාරයට ආසන්නයේ බැවිනි.) සීගිරි කාශ්‍යප රජතුමා විසින් ඉදි කරවන ලද සීගිරි බලකොටුවෙහි පිහිටි සීගිරි කැටපත් පවුරෙහි 'බඳගිරි හා බඩගිරි' යන නම්වලින් හඳුන්වා ඇත්තේ බදගිරිය යැයි සිතිය හැකිය. සීගිරිය හැරුණු වි‍ට ගල් පර්වතයක් මත සියලු ඉදිකිරීම් කරන ලද එකම ස්ථානය ද බදගිරිය වෙයි.

වසර දෙදහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බදගිරිය, ශතක ගණනාවක් පුරා මහ ගන වනයේ අණසකට නතුව තිබී යළි නිරාවරණය වන්නේ 1950 දශකයේදී බදගිරිය ජනපදය පිහිටුවීමත් සමඟය.

විහාරය[සංස්කරණය]

අක්කර 102ක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති බදගිරිය පූජා භූමියෙහි අක්කර 20ක් පමණ වසා පැතිරී පවත්නේ කාල වර්ණ ශෛලමය පර්වතයයි. එය අඩි 300 ගණනකින් යුතු වූවකි. එකිනෙක බද්ධ වූ විහාර ගල සහ වෙහෙර ගල හැරුණු විට 'පිරිත් ගල' නම් වූ ගල් තලාවක් ද ඒ අසල වෙයි. විහාරස්ථානයට අයත් වූ අක්කර 10-15ක පමණ කෙත් යායක් යල මහ දෙකන්නයේ අස්වැද්දෙයි. ලෙන්, පොකුණු, සෙල් ලිපි, සඳකඩ පහණ, පියගැට පෙළ, පුරාණ විහාර මන්දිරය, දාගැබ් සහ වැව යන පුරාවිද්‍යාත්මක අගයෙන් අනූන ස්ථාන කිහිපයක් ගල් පර්වතය ආශ්‍රයෙන් හමු වේ.

බඳගිරිය විහාර භූමියෙහි පිහිටි විශාල ගල් පර්වතය නිර්මාණය වී ඇත්තේ පර්වත යුගලයක බද්ධ වීමෙනි. එකී ගල් පර්වත ද්වය විහාර ගල සහ වෙහෙර ගල යනුවෙන් ‍හැඳින්වේ. මෙම පර්වතයන්ගේ බද්ධ වීම හේතුවෙන් බද්ධ වූ ගිරි බදගිරි ලෙස පරිණාමය වී එයම ග්‍රාම නාමය ලෙස ද ව්‍යවහාරයට පැමිණ ඇතැයි මුඛ පරම්පරාවෙන් කියැවේ. ඓතිහාසික රුහුණු පුද බිම් අතුරෙන් අද්විතීය ස්ථානයක් ගන්නා බදගිරිය පිළිබඳ ලියැවුණු, 13 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කාලයට අයත් ශිලා ලේඛන, බදගිරි ගල් පර්වතයෙහි වෙයි.

ලෙන්[සංස්කරණය]

ප්‍රාග් බෞද්ධ යුගයේ දී මානව වාසස්ථාන ලෙස යොදා ගන්නා ලද ස්වාභාවික ගල් ලෙන්, මහින්දාගමනයෙන් පසු භික්ෂු වාසස්ථාන සඳහා පූජා කරන ලදී. මෙවැනි ගල් ලෙන් 4ක් හා කුඩා ලෙන් 6ක් ද බදගිරිය ගල් පව්වෙන් හමුවේ. මෙම ලෙන් අතුරෙන් දැනට හඳුනාගෙන ඇත්තේ දීඝ නිකායේ අටුවාවේ එන රුහුණේ මිත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටියේ යැයි සැලකෙන 'කස්සක ලෙන'යි. ගල් පව්වේ සෙල් ලිපියක එන 'මිත්‍ය ලෙන' , මෙම කස්සක ලෙන යැයි පුරාවිද්‍යා ‍දෙපාර්තමේන්තුවේ මතයයි.

පොකුණු[සංස්කරණය]

භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස සෑම ආරාමයකම පොකුණු ඉදි කොට ඇති අතර එම පොකුණු සඳහා යොදා ගෙන ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් වලවල්ය. එවැනි පොකුණු වර්ග 5ක් දැනට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හඳුනා‍ගෙන ඇති අතර එම පොකුණු වර්ග පහම එකම ස්ථානයක දක්නට ලැබෙන්නේ බදගිරිය ගල් පර්වතයෙහි පමණි. එම පොකුණු ‍වර්ග පහ නම්, මල් පොකුණ, පා පොකුණ, පියන් පොකුණ, ඇස් පොකුණ හා කුට්‍ටම් පොකුණ යි.

  • මල් පොකුණ

මල්වලින් ගැවසීගත් හෙයින් මෙය මල් පොකුණ ලෙස හඳුන්වා ඇත. පරිධියෙන් ඉතා විශාල වූ මෙහි දිග අඩි 33ක්ද පළල අඩි 14ක්ද ගැඹුර අඩි 4ක්ද වේ. වර්තමානයේදී ද මෙම පොකුණ ඕලු, නෙළුම් ආදී පුෂ්පයන්ගෙන් පිරී පවතී.

  • පා පොකුණ

පර්වත මස්තකයෙහි පිහිටි චෛත්‍යය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් පා දෝවනය පිණිස ජලය ලබා ගෙන ඇත්තේ මෙම පොකුණෙනි. මෙහි දිග අඩි 11ක්ද පළල අඩි 7ක්ද ගැඹුර අඩි 4ක්ද වේ.

පියන් පොකුණ
  • පියන් පොකුණ

භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස නිර්මාණය කර ඇති මෙය විශාල ගල් පියනකින් වැසී ඇති අතර ජලය ලබා ගැනීමට පහසු ආකාරයෙන් එක් පසෙකින් විවෘත වී ඇත. ගල් පියනකින් ආවරණය වී ඇති නිසා මෙය පියන් පොකුණ ලෙස ව්‍යවහාරයට පැමිණ ඇත. වර්තමානයේදී ද පිරිසිදු ජලය ඇති මෙය අතීතයේ දී පානීය ජලය ලබා ගැනීමට භාවිත කළේ යැයි සිතිය හැකිය. දිගින් අඩි 10ක් හා පළලින් අඩි 5ක් වන මෙහි ජලය නියඟ කාලවලදී පවා නොසිඳෙයි.

ඇස් පොතුණ
  • ඇස් පොකුණ

මිනිස් ඇසක ස්වභාවය ගන්නා බැවින් ඇස් පොකුණ ලෙස හඳුන්වා ඇත. පැන් කෙණ්ඩියක් දැමීම‍ට තරම් කුඩා ප්‍රමාණයට අතීතයේදී පැවති මෙහි විවරය දැන් විශාලවී ඇත. මෙහි ගැඹුර අඩි 6කට වඩා වැඩි නොවුවද ගල් සහ මඩ රැඳී ඇති හෙයින් ගැඹුරක් නිශ්චය කළ නො හැකිය. ගල් සහ මඩ තෙක් ඇති ගැඹුර අඩි 5ක් පමණ වන අතර දිග අඩි 2ක්ද පළල අඩි 1/2ද වේ.

  • කුට්ටම් පොකුණ

එකම බැම්මෙන් වෙන් වී එකම ස්ථානයක පිහිටා ඇති පොකුණු යුගලක් කුට්ටම් පොකුණ ලෙස හැඳින්වේ. ලංකාවේ ඉතා ප්‍රසිද්ධ කුට්ටම් පොකුණ හමු වන්නේ අනුරාධ පුරයෙනි. නමුත් එය කෘතීම කුට්ටම් පොකුණකි. නමුත් විශ්මයාවහ ලෙස නිර්මාණය වී ඇති බදගිරිය කුට්ටම් පොකුණ ලංකාවේ ඇති එකම ස්වාභාවික කුට්ටම් පොකුණ වීම සුවිශේෂත්වයකි. ගැඹුරින් අඩි 15ක් ද දිගින් අඩි 10ක් ද පළලින් අඩි 8ක් ක වන මෙහි ජලය වර්තමාන‍යේ ද භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනයට ගනු ලැබේ.

සෙල් ලිපි[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් සෙල් ලිපි 3ක් හා තවත් සෙල් ලිපිවල කොටස්ද මෙම පර්වතයෙහි දක්නට ලැබේ. බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන ලද සෙල් ලිපි හා මධ්‍යතන යුගයට අයත් අක්ෂරවලින් ලියන ලද ශිලා ලේඛන ද ඒ අතර වෙයි. ඒවායෙන් 3ක් ක්‍රි:ව: 3-4 සියවස්වලට ද 2ක් ක්‍රි:ව: 6-7 සියවස්වලට ද අයත් යැයි සැලකේ. ඒවා අතුරෙන් සෙල් ලිපි දෙකක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂිත වැටවල් යොදා සුරක්ෂිත කොට ඇත. ක්‍රි: ව: 3-4 සියවස්වලට අයත් ශිලා ලේඛනයක මෙම විහාරය හඳුන්වා ඇත්තේ 'මහගමිය වෙහෙර' ලෙසය. (මෙය මහා ගාම හෙවත් මාගම ‍යැයි විශ්වාස කෙරේ.) එකල ලංකාවේ පැවති 'අරියවංස ධර්ම දේශනය ' පිළිබඳව ද, ධර්ම කථික භික්ෂූන්ට පූජා කරන ලද ඉඩ කඩම් පිළිබඳවද එහි සඳහන් වන අතර බදගි‍රිය ද එසේ පූජා කරන ලද ස්ථානයක් බව එහි එන 'අරියවස කොටු' යන පාඨයෙන් ‍පැහැදිලි වේ.

සඳකඩ පහණ[සංස්කරණය]

කැටයම් රහිත සඳකඩ පහණක්.jpg

සිංහල කැටයම් කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වන සඳකඩ පහණ, බෞද්ධ සිද්ධස්ථානයකට ඇතුළු වන පියගැට පෙළ පාමුල ඇති අර්ධ කවාකාර ගල් පඩියකි. මෙවන් සඳකඩ පහණක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහි සිදු කරන ලද කැණීම්වලින් අනාවරණය කරගෙන ඇත. කැටයම් කිසිවක් නොමැති මෙය සමාන්තරව සකසන ලද ගලින් නිමවා ඇත. අනුරාධපුර පසු යුගයේ හා ‍පොළොන්නරුව යුගයේ සඳකඩ පහණ සත්ත්ව රූප හා ලියවැල් ආදී කැටයමින් අලංකාර වුවද අනුරාධපුර මුල් යුගයෙහි සඳකඩ පහණෙහි කැටයම් නොවූ බව විචාරක මතයයි. එහෙයින් මෙම සඳකඩ පහණ අනුරාධපුර මුල් භාගයට අයත් යැයි සිතිය හැකිය. පියගැට පාමුල ඇති සඳකඩ පහණ හැර පර්වතය මත විහාර මළුවේ ද සඳකඩ පහණක සලකුණු හමුවේ.

සඳකඩ පහණ හා පියගැට පෙළ.jpg

පියගැට පෙළ[සංස්කරණය]

ගල් පව්ව මතට නැඟීමට හැකි වන පරිදි සකස් කොට ඇති මෙහි දර්ශනීය ලෙස ගල් පඩි මට්‍ටම් කොට ඇති ආකාරය හා ඒවා සමාන්තරව පිහිටුවා ඇති ආකාරය වැදගත්ය. පඩි 93කින් යුත් එහි දිග අඩි 100ක් පමණ වේ. මෙහි මුල් කොටසෙහි කරන ලද කැණීම්වලින් එකල තිබූ ආකාරයෙන්ම ‍ග‍ඩොල් හා පඩි මතු වී ඇත.

පුරාණ විහාර මන්දිරය[සංස්කරණය]

නටබුන්.jpg

බදගිරි විහාරයෙහි පිහිටි පර්වත යුගලයෙන් එකක් වන විහාර ගල මත විහාර මන්දිරයක් පිහිටා තිබූ බවට ශේෂ වී ඇති එකම සාධකය විහාර මන්දිර දොරටුව අසළ ඇති සඳකඩ පහණ හා විහාර මන්දිරයේ මායිම් ලෙස සැලකිය හැකි ඒ අවට තිබූ ගල් කණු කිහිපයක් ද පමණි.

ඓතිහාසික දාගැබ[සංස්කරණය]

එකම මලුව මත චෛත්‍ය දෙකක් ඉදි කර තිබීම මෙහි විශේෂත්වයයි. මෙයින් එක් වෙහෙරක් ඝටාකාර වර්ගයට අයත් වන අතර අනෙක් වෙහෙර කුමන වර්ගයේදැයි අවිනිශ්චිතය. දකුණු ආසියාවේ ඇති දුර්ලභම ඝටාකාර වෙහෙර මෙය වෙයි. මෙහි නටබුන් අතරින් ඡත්‍ර දෙකක් ද ගල් පුවරු හා ගල් කුළුණු දැනට සොයා ගෙන ඇත. පර්වතය මත ගඩොලින් තැනූ ආසනයක කළයක් මුනින් අත‍ට නැවූ පරිද්දෙන් නිර්මාණය කොට ඇති ඝටාකාර වෙහෙරෙහි පරිධිය අඩි 78ක් ද අනෙක් වෙහෙරෙහි පරිධිය අඩි 96ක් ද වේ. ආසනය අඩි100ක් දිගින් ද, අඩි 65ක් පළලින් ද, අඩි 3 1/2ක් උසින් ද යුතුවේ.

චතුරි

"https://si.wikipedia.org/w/index.php?title=බදගිරිය_රජ_මහා_විහාරය&oldid=437219" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි