Jump to content

බඳගිරිය

විකිපීඩියා වෙතින්
(බදගිරිය වෙතින් යළි-යොමු කරන ලදි)

චතුරි අනූකා දොඩම්පෙ

බදගිරිය රජ මහා විහාරයට අයත් ලෙනක්

බදගිරිය ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙහි හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ගම්මානයකි. ව‍ර්තමානයේදී යහංගල නැගෙනහිර, යහංගල බටහිර, බඳගිරිය, ජූල්ගමුව සහ තම්මැන්නාව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස පහකින් සමන්විත ජනපදයකි.

චතුරි අනූකා දොඩම්පෙ

පිවිසීම

[සංස්කරණය]

කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයෙහි හම්බන්තොට නගරයේ සිට තිස්සමහාරාම දෙසට කිලෝ මීටර් 11ක් ගමන් කළ විට හමු වන පල්ලෙමලල මංසන්ධිය බදගිරිය ග්‍රාමයට ප්‍රවිෂ්ට වන ප්‍රධාන පිවිසුම් මාර්ගය වෙයි. පල්ලෙමලල සිට කිලෝ මීටර් කිහිපයක් ගමන් කළ විට බඳගිරිය හමුවේ.

ඉතිහාසය

[සංස්කරණය]

බදගිරියෙහි ඉතිහාසය ක්‍රි:පූ: 2වන සියවස (මහානාග යුව රජුගේ යුගය) දක්වා දිවයයි. මෙය අතීතයේ ගෝත්‍රික ජනයාගේ වාස භූමියක්ව පැවති බව ජනප්‍රවාදයෙහි එන මතයකි. එම ඉතිහාසය රුහුණේ රජ කළ දසබෑ රජුන්ගේ යුගය දක්වා දිව යයි. සියවස් ගණනක් වනයට යටවී තිබූ මෙය 1956දී ගොවි පවුල් 100ක් පදිංචි කරවීමෙන් නව ජනපදයක් ලෙස ආරම්භ කරන ලදුව වර්තමානයේ දී ඉතා සශ්‍රීක ගොවි ජනපදයක් බවට පත්ව ඇත.

සංචාරක ආකර්ෂණ

[සංස්කරණය]
  • බදගිරිය රජ මහා විහාරය - බඳගිරිය ජනපදයෙහි ‍ඓතිහාසික අගය රැඳී පවතිනුයේ මෙම විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙනය. විහාරස්ථානය උපස්ථම්භකව ස්ථාපිත වූ ලෙන්, පොකුණු, ශිලා ලේඛන, සඳකඩ පහණ, පියගැට පෙළ, පුරාණ විහාර මන්දිරය, ඓතිහාසික දාගැබ් ද්වය සහ බඳගිරිය මහ වැව යන සංස්කෘතිකාංග ගම්මානයෙහි ඓතිහාසික ප්‍රෞඪත්වයට සාක්ෂ්‍ය සපයයි.
  • බදගිරිය මහ වැව - සමනළ අඩවියේ සිට ගලා එන "මලල ආර" හරස් කොට තනන ලද බදගිරිය වැවෙහි ජල ප්‍රමාණය වර්ග සැතපුම් 12ක පමණ ප්‍රදේශයක පැතිරී ඇත. බදගිරි ගල් පව්ව ස්වාභාවික ඉවුරක් කොට ගෙන නිර්මාණය වී ඇති මෙහි කණ්ඩියේ දිග සැතපුමක් පමණ වේ. කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කොට ගත් ජනපදවාසීන් සිය වගා ක‍ටයුතු සඳහා ජලය ලබා ගන්නේ මෙම වැවෙනි. මෙහි ජල ධාරිතාව අක්කර අඩි 9050ක් වන අතර ඉන් ‍පෝෂණය වන වගා ප්‍රදේශය අක්කර 2100ක් පමණ වේ. කුඹුරු ගොවිතැන් මෙන්ම හේන් ගොවිතැන් සඳහා ද මෙම වැවෙන් ජලය ලබා ගනී.

බදගිරිය හා ආශ්‍රිත ගම්වල ඓතිහාසික අගය

[සංස්කරණය]

බදගිරිය විහාරස්ථානය කේන්ද්‍ර කොට ගත් පෞරාණික වටිනාකමකින් යුතු ගම්මාන කිහිපයක්වේ. ඒවා නම් බදගිරිය, යහංගල, කෑළියවැලෑන, මලලආර හා ගොන්නොරුව යි.

යහංගල

[සංස්කරණය]

යහන් සඳහා භාවිත කරන ලද ගල් තලාවක් මෙහි වූ බැවින් මෙම නම යෙදී ඇති අතර මෙම ගල් තලාව ඇසුරේ නිර්මාණය වූ ‍යහංගල පුරාණ රජමහා විහාරය, පල්ලෙමලල මංසන්ධියේ සිට බදගිරිය දක්වා වන මාර්ග‍‍යේ අතර මඟදී හමුවේ. මෙම විහාරසථානය කේන්ද්‍ර කොට ගෙන බිහි වූ යහංගල ගම්මානය, බදගිරිය ජනපදය යටතේ පවතින තවත් ගම් ඒකකයක් බවට පත්වී ඇත.‍

කෑළියවැලෑන

[සංස්කරණය]

කෑළියවැල්+ආන යන පද එක් වීමෙන් මෙම නම සෑදී ඇත. කෑළිය වැල් යනු ගවයන්ගේ ප්‍රියතම තෘණ වර්ගයක් වන අතර ආන යන්න කැලය සඳහා ව්‍යවහාර වී ඇති නමකි. මෙහි ජනතාව වර්තමානයේදී මෙන්ම අතීතයේදී ද කෘෂි කර්මාන්තයෙන් හා ගව පාලනයෙන් ජීවනෝපාය සකසා ගත් බවට එම සාක්ෂය්‍ය ප්‍රමාණවත්ය.

මලලආර

[සංස්කරණය]

අතීතයේදී බදගිරි විහාරය අසලින් ගලා ගිය ආර (දිය පහර), ‍මල්වලින් ‍ගැවසී ගත් නිසා එය මල් ආර හෙවත් මලල ආර ලෙස හඳුන්වා ඇත. මෙම ආර ආශ්‍රිතව නිවාස තනා ගත් ජානපදිකයන්විසින් ‍‍‍‍‍‍‍ගොඩනඟා ගන්නා ලද නව ජනපදය මල් ආර ලෙස හඳුන්වා ඇත.

ගොන්නොරුව

[සංස්කරණය]

ගෝනුන් සැඟවී සිටි කැළයක් වූ බැවින් ද, ‍ගොනෙකුගේ රුවක් ගලක කොටා තිබූ බැවින් ද මෙය මෙනමින් ව්‍යවහාර කොට ඇත. බදගිරි විහාරයෙන් ඔබ්බට විහිදී ගිය ගන කැළෑවක් ලෙස පැවති මෙය අතීතයේදී අලි ඇතුන්, ගෝනුන්, මුවන්, දිවියන්, වලසුන් වැනි සතුන්ගේ වාස භූමියක්ව පැවතී ඇත.

මේවාද බලන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බඳගිරිය&oldid=491904" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි