පිළිකුත්තුව රජ මහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පිළිකුත්තුව රජ මහා විහාරය
Pilikuththuwa Raja Maha Vihara
Pilikutthuwa temple.jpg
මූලික තොරතුරු
පිහිටීමපිළිකුත්තුව, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°03′50.2″N 80°03′01.1″E / 7.063944°N 80.050306°E / 7.063944; 80.050306ඛණ්ඩාංක: 07°03′50.2″N 80°03′01.1″E / 7.063944°N 80.050306°E / 7.063944; 80.050306
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයගම්පහ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1] (22 නොවැම්බර් 2002)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියලෙන් විහාරය

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ මහර ප්‍රා.ලේ. කොට්ඨාසයට අයත් ඌරුවල් පේරුවෙහි පිහිටා තිබෙන ප්‍රාග් ඓතිහාසික පුදබිමකි මෙම පිළිකුත්තුව රජ මහා විහාරය. මෙම විහාරය මෙරට ලෙන් විහාර සම්ප‍්‍රදාය තුල ඉතා වැදගත් කමක් උසුලන, ඓතිහාසික බෞද්ධ පුදබිමක් වෙයි.

අඩි 400-450ක් පමණ උස කඳුගැටයක් පුරා අක්කර 250ක් තරම් භූමි භාගයක පැතිරී තිබෙන මෙම විහාරයට අයත් භූමියෙන්, අක්කර 52ක පමණ ප්‍රමාණයක් රජමහා විහාරය සතුවද , ඉතිරි භූමි ප්‍රමාණයේ ඇති ස්මාරක පමණක්ද විහාරයට අයත්ව පවතියි. මෙරට වැඩිම ලෙන් සංඛාවක් සහිත විහාරස්ථාන අතරට අයත් තවත් විහාරස්ථානයක් ලෙසටද, බස්නාහිර පලාතේ පිහිටි වැඩිම ලෙන් සහිත රජමහා විහාරය ලෙසටද, මෙම භූමිය හැඳින්වෙයි.[2]

කොළඹ නුවර මහා මාර්ගයෙහි මිරිස්වත්ත හන්දියෙන්, වතුරුගම මාර්ගයේ කිලෝ මීටර 4ක් පමණ දුරින් වූ, පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී කිලෝ මීටර 1ක් පමණ ගමන් කල විට පිළිකුත්තුව රජ මහා විහාරය වෙත ලඟාවිය හැක. ගම්පහ - කිරිඳිවැල බස් මාර්ගයේ යක්කල හන්දියේ කිලෝ මීටර් තුනක් පමණ ගිය විටද, මෙම විහාරයට ලඟාවිය හැක. විහාරස්ථානයට උතුරින් යොන්ගම්මුල්ල ග්‍රාමය හා වාරණ විහාරය සහිත කඳු වැටියත්, දකුණින් වලගම්බා රජමහා විහාරයත්, නැගෙනහිරින් මාලිගාතැන්න ඓතිහාසික පුදබිමත් පිහිටා ඇත.

මිනිසා ගල්ලෙන් සිය වාසස්ථාන කොට ජිවත් වුයේ කුමන කාලයක සිටද එවැනි ප්‍රාග් බෞද්ධ යුගයකින් මෙම ස්ථානය ආරම්භ වු බවට සදහන් කල හැකිය. මෙම පුදබිම මුල් කාලීන ආදී මානව ජනාවාසයක්ව පැවති බවට කරන ලද කැණිම් සාධක සපයයි. මහින්දාගමනයෙන් පසුව සිදු වු දියුණුවත් සමගම එතෙක් පැවති ගල්ගුහා වැස්සෙන් ආරක්ෂා වීමට හැකි පරිදි කටාරම් කොටවා සඟරුවනට පිදු බව ‍සෙල් ලිපි සාක්කි පෙන්වයි. එම කාලය දේවානම් පියතිස්ස රජ දවස බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වෙයි.

නාම නිරුක්තිය[සංස්කරණය]

ක්‍රි.පූ 1 සියවසේදි මේ භුමිය හා අවට වන පියස් තුල වලගම්බා රජු සැගවි සිට සේනාව එකරාශි කොට නැවතත් අනුරපුර රාජධානියේ රජවු බවට ජනප්‍රවාදවල සදහන් වෙයි. සැගවි සිටි රාජකීයන්ගේ රාජාභරණ සැඟවු නිසා පිළිකුත්තුව නාමය ව්‍යවහාර වු බවට එක මතයකුත් සැගවි සිටි රාජකීයන්ට ඇදුම් පිළි සැපයු ගම පිළිකුත්තුව වුවායැයිද තවත් මතයකි.

ඉතිහාසය[සංස්කරණය]

පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමියෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3වන සියවස පමණ තෙක් අතීතයට දිවෙන බව පැවසෙයි. ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ දී මේ වන අරණ බෞද්ධ භික්ෂූන්ට භාවනානුයෝගීව සිටීමට සුදුසු වන පරිදි වැඩි දියුණු කොට තිබූ බව පැරණි පුරාවිද්‍යා ලේඛනවල සඳහන් වේ.[3] ක්‍රිස්තු පූර්ව 3 වන හා ක්‍රිස්තු වර්ෂ 1 සියවසට පමණ අයත් ලෙන් ලිපි 4 එයට නිදසුන් දක්වයි. 1 වන ලෙන් ලිපියෙන් කියවෙන්නේ අශ්වාරෝහක ප්‍රධානියාගේ සොහොයුරු අගිබුති විසින් මෙම පුදබිම සඟ සතු කරවා පූජා කෙරු බවයි. පිළිකුත්තුව විහාරස්ථානයෙහි ගල්ලෙන් 99 ක් පමණ තිබෙන අතර එයින් කිහිපයක් කටාරම් රහිත ලෙන් ලෙසටද කටාරම් කෙටු ලෙන් රාශියක් ලෙසටද දැකිය හැකිය. ඉන් කටාරම් රහිත ලෙන් තුල ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇති බව ඉතිහාසඥයෝ ප‍්‍රකාශ කරති.

මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජ සමයේ ආරණ්‍යයක් ලෙස පැවැති බවත්, එසේම වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් බවත් පැවසෙයි. අනුරාධපුර යුගයේදී භික්ෂූන් වහන්සේලා මෙහි පැවැති ලෙන් කුටි තුල, භාවනායෝගිව වැඩ සිටි බවටද සාධක පවතියි.[4] මේවන විට කර ඇති කැණිම් තුලින් හමුවු සාධක මතද මෙම පුදබිමේ ඓතිහාසික බව කියාපායි. ඉපැරණි පොශිල, රක්ත වර්ණ වලං කැබලි, පබළු වර්ග, ගල් ආයුධ හා පොළොන්නරු දඹදෙණි යුගවලට අයත් කාසි වර්ගද ඒ අතරින් ප්‍රධාන වෙයි. අද පවතින තත්ත්වයට විහාරය සංවර්ධනය වි ඇත්තේ මහනුවර යුගයේදි හා ඊට පසු කාලයේදීය.

විහාරය[සංස්කරණය]

පිළිකුත්තුව රජ මහා විහාරයේ ප‍්‍රධානතම ගොඩනැගිල්ල ලෙස ලෙන් විහාරය හඳුනා ගැනේ. මෙහි සැතපෙන පිළිමයක්, හිටි පිළිමයක් සහ සමාධි පිළිමයක්ද, නුවර යුගයට අයත් සිතුවම් රැසක්ද පවතියි. විහාරයේ වූ නා පෙණ හැඩැති ගල් ලෙන යට ඉදි කොට තිබෙන ස්තූපය, නුවර යුගයට අයත් වෙයි. ඊට ඉදිරිපසින් බෝධීන් වහන්සේලා දෙනමක් රෝපිත අතර, ඉන් එකක් ‘කුමර බෝධිය’ ලෙසත්, අනෙක ‘කුමරි බෝධිය’ ලෙසත් හැඳින්වේ.[4] පිළිකුත්තුව රජමහා විහාර කන්දෙහි ආවේණිකවු නාමයන්ගෙන් සුසැදි ගල්තලාවන්ද රාශියක් වන අතර එයින් බැළුම්ගල යන ස්ථානය අතීතයේ ඔත්තු බැලු ස්ථානයක් ලෙසට පුරාවිද්‍යාඥයන් නම්කරයි. තවද දිග්ගල, තොප්පිගල, පිලිහුඩුවාගල, ගල පිටගල ආදිය ප්‍රධාන තැනක් ගනියි. නුවර යුගයට අයත් ලෙන් ආවාසත් ඕලන්ද කාලයට අයත් ලෙන් ආවාසයත් ඉංග්‍රීසි කාලයට අයත් සංඝාවාසයත් යන ආවාස ගෘහයන් 3ක්ද මෙම පුදබිම තුල දක්නට ලැබෙන්නේද ඒ ඒ කාලවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මනාව පෙන්නුම් කරමිනි.

බුද්ධ මන්දිරය[සංස්කරණය]

ඉපැරණි කටාරම් කොටන ලද ගල්ලෙනක් තුල මහනුවර යුගයේදි පිළිකුත්තුවේ බුදුමැදුර, ලෙන් විහාර සම්ප්‍රදායට අනුව කරවා ඇත. මෙම බුදුමැදුර ඇතුලත හා පිටත වශයෙන් මාල දෙකකින් යුක්ත වන අතර ඇතුලත මාලයේ ප්‍රතිමා හා චිත්‍ර මහනුවර යුගයට අයත්ය. සැතපෙන පිළිමය, හිටි පිළිමය හා සමාධි පිළිමයද දේව ප්‍රතිමා ලෙසට විෂ්ණු හා නාථ දෙවිවරුන්වද අඹා ඇත්තේ මැටියෙනි . බිත්ති මත නුවර චිත්‍ර සම්ප්‍රදාය මානා කොට දක්වමින් රහතන් වහන්සේලාව අපුර්වත්වයකින් සිත්තම් කර ඇති අතර වහලය සේ තිබෙන කළුගල මත වියනක් සේ දහසක් සියපත්ද සිත්තම් කරවා ඇත. බුදුමැදුරක් තුල භික්ෂූනින් වහන්සේලා නිරුපිත ලංකාවේ ඇති එකම බුදුමැදුර පිළිකුත්තුවේ පිහිටි ලෙන් විහාරයේ ඇති රහත් නොරහත් භික්ෂූනි සිත්තම්ය. අතීතයේ පටන්ම විහාර මන්දිරය තුල කාන්තාවන්ව කිසිම අයුරකින් සිත්තම් නොකිරිනි. එහෙත් පිළිකුත්තුවේදි එම ක්‍රමය වෙනස් වු බවට ලෙන් විහාරය තුල සිත්තම් කර ඇති භික්ෂූනි සිත්තම් සාක්ෂි දරන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

බුදුමැදුරේ පිටත මාලය තුල ඇති ච්ත්‍ර සම්ප්‍රදායන්ද පිළිකුත්තුවටම ආවේණික වු බව විද්වත් මතයයි. ද්වාර පාලක රූප ලෙසට මෙහි සිත්තම් කර ඇත්තේ පෘතුග්‍රීසි සෙබළු දෙදෙනකි. එම සිත්තම්ද දුර්ලභ ගණයේ සිතුවම් ලෙසට දැක්වෙන්නේ බෞද්ධ පුදබිමක එවැනි ආකාරයේ සිතුවම් දක්නට නොමැති හෙයිනි. පිටත මාලයේ බිත්ති මත ජාතක කතා ගනනාවක් සිත්තමට නගා ඇත. එම සිත්තම්ද සුවිශේෂී චිත්‍ර කලාවක් ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නම් කරයි. නිරුපිත ජාතක කතා සියල්ලම සිත්තම් කර ඇත්තේ ලන්දේසි ආභාෂයෙනි. ජාතක කතාවල සිටිනා සියල්ලන්ම ඕලන්ද ජාතිකයන් ලෙසට චිත්‍රයට නගා ඇත. තවත් සමහරෙක් එ චිත්‍ර කලාව පහතරට චිත්‍ර සම්ප්‍රදාය යැයිද හදුන්වනු ලබයි. එවැනි චිත්‍ර කලාවක් දක්නට ලැබෙන්නේ මෙම පුදබිම තුල පමණක් විමද තවත් විශේෂිතය.

පිළිකුත්තුවේ ලෙන් විහාරයේ ඕලන්ද ආභාෂයෙන් සිත්තම් කර ඇති ජාතක කතා තුලින් සමකාලීන ලක්දිව පැවතුණු දේශපාලනික, සාමාජික, ආගමික ස්තරයන් පිලිබඳව මනාව පෙන්නුම් කරන වග චිත්‍ර විශ්ලේෂකයන්ගේ මතයක්ද වෙයි. පිටත මාලයේ වහලය මත ලග්න 12 ද සිත්තමට නගා ඇත. එම සිත්තම්ද සිත් ඇද බැද ගන්නා අයුරින් මනා කොට අලංකාරව සිත්තම් කර ඇත්තේ චිත්‍රවල අගය තවත් තිව්‍ර වන අන්දමයි.

බෝධිය[සංස්කරණය]

ඓතිහාසික බෝධින් වහන්සේලා දෙනමක්ද පුදබිම තුල දක්නට ලැබෙයි. එම බෝධින් වහන්සේලා දෙනම ගැන පවතින මතයන්ද ගනනාවකි. කුමර කුමරි යන නාමයන්ගෙන් එම ඇසතු වෘක්ෂයන්ව එදා පටන්ම හදුන්වා ඇත. දරුපල අපේක්ෂාවෙන් පුද පූජා බාර හාර සිදු කරන්නවුන් අතර පිළිකුත්තුවේ ඇසතු වෘක්ෂයන් දෙනම සුප්‍රසිද්ධ වන්නේ ඓතිහාසිකත්වය හා අනුහසින් සපිරුණු නිසාමය.

සෙල්ලිපි[සංස්කරණය]

ප්‍රධාන සෙල්ලිපි 4

  • 1 වන සෙල්ලිපිය , ක්‍රි.පු 3-1 කාලයට අයත් පු.බ්‍රා.අක්ෂර වලින් ලියුවකි - අනිකටස බතුනො අගිබුතිනො දානෙ අගත අනගත චතුදිස සගස
  • 2 වන සෙල්ලිපිය , ක්‍රි.පු 3-1 කාලයට අයත් පු.බ්‍රා.අක්ෂර වලින් ලියුවකි - මනොරමෙ
  • 3 වන සෙල්ලිපිය , ක්‍රි.පු 3-1 කාලයට අයත් පු.බ්‍රා.අක්ෂර වලින් ලියුවකි - දඛිණි ලෙනෙ
  • 4 වන සෙල්ලිපිය , ක්‍රි.පු 3-1 කාලයට අයත් පු.බ්‍රා.අක්ෂර වලින් ලියුවකි - පරුමක පුරණ පුත දතශච බත මිතශච ලෙණෙ..
  • සටහන .... රජමහා විහාරය , පිළිකුත්තුව , අතුරුවැල්ලේ ධම්මානන්ද හිමි

විහාරයේ ඉපැරණි කෞතුක වස්තූන්[සංස්කරණය]

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් පරිහරණය කළ දෝලාවක් මෙම විහාරයේදී දැකගත හැකිවේ. සුමංගල හිමියන් විසින් වරක් ධර්ම දේශනයක් සඳහා මෙහි දෝලාවෙන් වැඩම කර ඇති අතර සවස් කාලයේදි මහා වැස්සක් නිසා දෝලාවෙන් ගමන යාම අපහසු නිසාත් පිළිකුත්තුව පුදබිමේ තිබුනු තිරික්කලයෙන් වැඩියහ. එම දෝලාව මේ විහාරයේ අදටද දක්නට ඇත. එය අද වනවිට ප්‍රතිසංස්කරණය කරවා ඇත.ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ලීයෙන් කරවා ඇති දෙවන දැවමුවා පාලමද දක්නට ලැබෙන්නේ පිළිකුත්තුව රජමහා විහාරයේදීය. එය මහනුවර යුගයේදි කරවා ඇති බව පුරාවිද්‍යා මතයයි.

පුරාවිද්‍යා සංකීර්ණය[සංස්කරණය]

පිළිකුත්තුව රජ මහා විහාරය සතුව තිබෙන පෞරාණික වටිනාකම නිසා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය පුරාවිද්‍යා ගල්ලෙන් සංකීර්ණයක් ලෙසට ප්‍රකාශයට පත් කොට තිබෙයි. එසේම දුලබ ගණයේ ගස් වැල් රාශියකින් සපිරි හෙයින් වෘක්ෂ අභය භූමියක් වශයෙන්ද පිළිකුත්තුව විහාර කන්ද නම් කර ඇත.[3]

වෘක්ෂ අභය භූමිය[සංස්කරණය]

පිළිකුත්තුව රජමහා විහාරයට අයත් වන වණ අරණ, ජෛව විවිධත්වය අතින් අනූන වීම සහ එහි වූ පාරිසරික හා ඓතිහාසික වැදගත්කම නිසා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිසර කළමනාකරණ ව්‍යාපෘතිය අනුග්‍රයෙන්, 2003 නොවැම්බර් 3 වන දිනදී මෙම වනය වෘක්ෂ අභය භූමියක් ලෙස නම් කරන ලදී.[2] ආසියාවේ පැරණිතම පුස් නම් වැල පිහිටන්නේද ඓතිහාසික මෙම රජමහා විහාර භුමියේය. විහාරය අවට වූ නේකතුරුලතාවන් අතරින්, වැඩී තිබෙන යෝධ පුස්වැල් මෙහි පැමිණෙන සියළු දෙනාගේම විශේෂ අවධානයකට ලක්වෙයි.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Protercted Monument List 2012-12-12" (PDF). Department of Archaeology. 12 December 2012. සම්ප්‍රවේශය 27 March 2016. 
  2. 2.0 2.1 "ලෙන් 86ක් සහිත පිළිකුත්තුව රජ මහා විහාර භූමිය". ලක්බිම. 2014. සම්ප්‍රවේශය 24 මැයි 2014. 
  3. 3.0 3.1 "පිළිකුත්තුව රජ මහා විහාරය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කෙරේ". දිනමිණ. 2010 සැප්තැම්බර් 9. සම්ප්‍රවේශය 24 මැයි 2014.  Check date values in: |date= (help)
  4. 4.0 4.1 "ඉපැරණි කුමර කුමරි බෝධීන් පිහිටි පිළිකුත්තුව රජ මහා වෙහෙර". ලංකාදීප. 2011 ඔක්තෝම්බර් 9. සම්ප්‍රවේශය 24 මැයි 2014.  Check date values in: |date= (help)

බාහිර සබැදි[සංස්කරණය]