මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය
මාලිගාතැන්න (18).JPG
විහාර ගෙය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම

මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේපිහිටි ආරණ්‍ය සේනාසනයක් වේ. එය මිරිස්වත්ත - වතුරුගම අතර මාලිගාතැන්න ප‍්‍රදේශයේ පිහිටා ඇත.

ඉතිහාසය[සංස්කරණය]

මාලිගාතැන්න බුද්ධ වර්ෂ 903 දී පූජනීය බවට පත් වූයේ අමිත්තාහව නම් තෙරුන් වහන්සේ, මෙහි මුදුනේ වැඩ සිටි මෝවිටේදී සක්මන් කරද්දී රහත් වීමෙන් පසුවය. අරාග වී සරාගයනට පහර දුන් උන් වහන්සේ හත් වර්ෂයක් මෙහි වාසය කළ සේක. මුලූ රට අග රජු වූ ධාතුසේන රජුගේ විෂ්කම්භනයෙන් බියට පත් මුගලන් කුමරු මෙහි සැඟවී සිට දඹදිවට ගියේය. වළගම් අබා රජුටද මෙය රැුකවරණ වූයේ වාරණ සටන කාලයේදීය. අති පැරණි කාලයේ සිට මේ ස්ථානය ගරු කන්ද නමින් ප‍්‍රසිද්ධ විය. ඉන්පසු දඹදිව තෙරෙව් බමුණෙක් මෙහි පැමිණ විශ්ණු අවතාරය මවා ගැනිීම සඳහා පටිභාරයක් සාදා ගෙන දිට්ඨ විශුද්ධිය ඇත් කර ගෙන මන්ත‍්‍ර ජප කරන්නට විය. එතැන පහල වූ ජප මාලය නිසා ඒ ලෙනට හැකර ලෙන යැයි කියන ලදී. එය දැනට පහල මාලයේ ගල් උළුවස්ස ඇති තැනය.

දාඨා ලූ හැම තැනම ‘මාලිගා’ නම ඇති විය. දළදා වැඩම වූ රහස් තැනක් නමුත් මෙතැනටද කල් යාමෙන් මාලිගාතැන්න යයි නම් විය. කීර්ති නිශ්ශංක රජු දවසේ ඒ නම ඇති විය. එකල මෙහි ගමක් තිබුණේ ඌරුවල පමණි. තිහාරිය කෑරගල අතරේ අත්තනගල්ල සහ ඌරුවල හරහා මාවතක් විය. අංගි රටේ සර්වඥ ධාතු සඟවා තිබුණේ මේ මාලිගා තැන්න පොකුණේ යයි සම්මත ස්ථානයේ පොළව යටය. එය හාරා ධාතුන් වහන්සේ සඟවා තබා එතැනින් පිටතට ගනු ලැබුවේ සති දෙකකට පසුය. මේ පොකුණ සාරන ලද්දේ 18 වන ශතවර්ෂයේදීය. මින් පෙර වගීෂ්වර තෙරුන්ද මෙහි පහල මාලයේ මහ ගල් ලෙනේ වෙසෙමින් උන්වහන්සේගේ සිවුරු අතරතුර ආරක්‍ෂා කරගත් දළදා වහන්සේ සති තුනක් මේ පෙදෙසේ වැඩ සිටි සේක.

මුදුනේ සිට බැලූ කල වයඹේ සිට උරුව මහා පර්වතය පනවා ගල් කුලක් කරන ලද්දේ මුගලන් කුමරු විසිනි. එතුමා එහි සැඟ වී සිටි කාලයේදී කාශ්‍යප කුමරු සීගිරිය සාදන්නට ආරම්භ කර තිබුණි. පැරකුම්බා කුමරු ස්වකීය සුළු පියාගෙන් පලා වුත් උරුවල නවාතැන් ගත්තේය. ඒ කාලයේ උරුවෙල සිටි ‘ජගරත් රාළ’ නම් කෙනෙක් සියයක් දෙනා එතුමා වෙත යෝධයින් හැටියට දිවුරවා සභාවක් රැුස් කරනු තැනම එකට බත් අනුභව කරන ලද්දේය. එතැන සභාව නමින් ප‍්‍රසිද්ධ වන්නට විය. එපමණක් නොව ඔහු ඌරු මස් සමඟ කරන ලද මේ සංග‍්‍රහය සිහිවීම පිණිස මේ පේරුවට ඌරුවල් පේරුව යයි නම් කොට ජගරත් රාළට නින්දගමක් කොට භාරදෙන ලද්ද්ය.”

ඉහත දැක්වූ ලියවිල්ල මාලිගාතැන්න විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු අධ්‍යයනය කිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරන සුනිල් ඒකනායක නම් මහත්මයෙකු සතු වූවක් අතර මෙහි සඳහන් කරුණු 100% සනාථ කර ගෙන නොමැත. එනමුත් එහි සඳහන් ඇතැම් ස්ථාන විස්තරයන් වර්තමානයේ ඇති ස්ථාන හා සම වෙයි. උදාහරණ ලෙස

  • වළගම්බා රජු වාරණ සටන කාලයේදී මෙහි සැඟවී සිටි බව ලියවිල්ල දක්වන අතර මාලිගාතැන්න විහාරස්ථායට කිලෝ මීටර පහක් පමණ දුරින් වාරණ ප‍්‍රදේශය පිහිටා ඇති අතර වාරණ කන්දේ පිහිටා ඇති විහාරස්ථානය වළගම්බා රජු විසින් තනවන ලද රජ මහා විහාරයක් සැලකේ.
  • මෙහි ‘හැකර ලෙන’ යැයි දක්වන ස්ථානයේ ඇති ගල් උළුවස්ස අද ද දක්නට ලැබේ.
  • දන්ත ධාතුව සඟවා තිබුණේ යැයි පවසන පොකුණක් මාලිගාතැන්න උඩ කන්දේ ඇති අතර ඒ අසලම උමගක් ඇති බව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් දැන ගන්නට ලැබුණි.
  • ජගරත් රාළ සියයක් දෙනා යෝධයින් ලෙසට දිවුරුවා ගත් සභාව නම් ස්ථානයේ අද විහාරස්ථානයක් ඇති අතර එය හඳුන්වනු ලබන්නේ ‘සභාවේ පන්සල’ යන නමිනි.
  • එලෙසම ඒ අවට තවමත් හඳුන්වනු ලබන්නේ ‘ඌරුවල් පේරුව’ යන නමිනි.

මේ අනුව බලන කල මාලිගාතැන්න විහාරස්ථානය, විහාරස්ථානයක් ලෙසින් ගොඩනැගෙන්නේ 1924 තරම් මෑත කාලයේ වූවද ඊට වඩා දිගු ඉතිහාසයක් ඇති බව පෙනීයයි.

මාලිගාතැන්න විහාරස්ථානය 18 වන සියවසේ සිට පැවති ස්ථානයක් වූවද එය සුප‍්‍රසිද්ධ විහාරස්ථානයක් බවට පත් වන්නේ අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේගේ පැමිණීමෙන් අණතුරුවය. ඒ 1924 වර්ෂයේදීය. ඒ වන විට මෙහි විහාරස්ථානයක් සම්බන්ධ කිසිදු ගොඩනැගිල්ලක් නොවූ අතර දැනට බණ මඩුව හා බුදු මැදුර පිහිටා ඇති මහ ගල් ලෙනේ හා ඒ අසල ඇති තවත් ගල් ලෙනක ‘තුමා කට්ට`ඩි’ හා ඔහුගේ සොහොයුරා ස්වකීය අඹුදරුවන් සමඟ වාසය කර ඇත. ඊට අමතරව ගල් උළුවස්ස ඇති ලෙනද, ඒ අසලින් නිදන් ගලක් යැයි සැලකෙන ගලක්ද උඩ මළුවේ බෝධීන් වහන්සේද විය. එකල එම බෝධීන් වහන්සේ අනුහස් ඇති තැනක් යැයි සැලකූ ගම්වාසීන් ඊට වන්දනා මාන කිරීම පුරුද්දක් කරගෙන තිබුණි. ඔවුන් බොහෝමයක් දෙනා මේ බෝධීන් වහන්සේ අසලින් දේවතා එළි ගමන් කරනු දැක තිබීම මේ භක්තියාදරයට හේතු වී ඇත.

අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ[සංස්කරණය]

මෙම ස්ථානයට පැමිණි පළමු දිනම මහා වර්ෂාවකට මුහුණ දෙන්නට සිදු වූ අතර උන් වහස්නේ නැවතී ඇත්තේ ගල් උළුවස්ස ඇති ලෙනෙහිය. ඇද හැලූණු වර්ෂාව සුභ ලකුණක් සේ සැළකූ උන්වහන්සේ මුලින්ම වාසය කළේ ගම්වැසියන් එකතුව කන්ද පාමුල සාදා දුන් කුඩා කුටියේය. ඉන් අණතුරුව පර්වතය මුදුනේ බෝධීන් වහන්සේ සමීපයෙන් කුටියක් තනවා ගත් උන්වහන්සේ එහි සිට බණ භාවනා කටයුතු සිදු කර ඇති අතර දිනපතා පිණ්ඩපාතය පිණිස පහල ගම් කරා ද පැමිණියහ. කල්යත්ම උන්වහන්සේගේ ක‍්‍රියාකලාපය නිසා පැහැදුණු ගම්වැසියන් ධර්ම ශ‍්‍රවණය උදෙසා මාලිගාතැන්න පර්වතය මුදුනට පැමිණි අතර වතාවත් කටයුතු සඳහා එහි ඉඩකඩ මද වූයෙන් වඩා ඉඩකඩ ඇති තැනක විහාරස්ථානයක් ඉදි කිරීමේ අවශ්‍යතාව ඇති විය. මේ පිළිබඳ සැල වූ එවකට මෙම භූමියේ අයිතිකරු වූ ගොරෙක්ගහදෙණියේ රාළහාමි භූමියෙන් කොටසක් මෙම විහාරස්ථානයට වෙන් කරදී විහාරස්ථානය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළේ විහාරස්ථානයේ ප‍්‍රධාන දායකකමද භාර ගනිමිනි. එදා විහාරස්ථානයේ භූමි සීමා ලෙසින් දැක්වූ ඉර හඳ බලූ කපුටු රූප අද ද විහාරස්ථානයේ සීමා අසල ඇති ගලෙහි කැටයම් කර ඇති අයුරු දැකිය හැකිය.

මෙහි මුලින් මුලින්ම තනවා ඇත්තේ කාමර තුනකින් යුත් ලී මහලක් සහිත දෙමහල් ගොඩනැගිල්ලකි. ඒ මෙහි සුළං කපොල්ල පිහිටා ඇති ස්ථායනයේය. අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ බොහෝ කලක් භාවනානුයෝගීව වැඩ වාසය කර ඇත්තේ මෙම ගොඩනැල්ලේ යැයි සැලකෙන නමුදු අද වන විට එහි සලකුණකුදු හෝ දැක ගන්නට නොමැති අතර ඇත්තේ ඒ පිළිබඳව විහාරවාසී භික්‍ෂූන් වහන්සේලාගේ හා ගම්වාසීන්ගේ මතකය පමණි. මෙහි වාසය කරන කාලයේ පැන් පහසුව සපයා ගන්නා ලද්දේ ඒ අසලම ඇති පොකුණකින් වන අතර කිසිදු නියං සමයකදී මෙම පොකුණ නොසිඳෙන බව ගම්වාසීන්ගේ මතයයි.

අනතුරුව වර්තමානයේ දක්නට ලැබෙන විහාරස්ථානය ඉදි වූ අතර ඒ සඳහා ඒ වන විටත් ගල් ලෙන් වල පදිංචිව සිටි ‘තුමා කට්ට`ඩි’ හා ඔහුගේ සොහොයුරා ඇතුළු අයට පහල ගමෙන් ඉඩකඩම් ලබා දෙන ලදී.

මෙම විහාරස්ථානය ගල් පර්වත ඇති භූමියක පිහිටා ඇති නමුදු එය ‘මාලිගාතැන්න’ යයි නම් කිරීමට අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කළහ. ඊට හේතු සඳහන් කළ උන්වහන්සේ පවසා ඇත්තේ දළදාව සැඟ වූ සෑම ස්ථානයක්ම ‘මාලිගා’ යන නම දරන හෙයින් ඒ නමද, දළදාව සැඟ වූ තැන හෝ දළදා මලිගාවක් තැනවූ තැන තැනිතලාවක් වන හෙයින් ‘තැන්න’ යන කොටසද එකතු කර මෙය ‘මාලිගා තැන්න’ යැයි නම් කරන ලද බවයි. අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ

අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ ගිහි කල යටිනුවර වීරසේකර වලව්වෙ සිටි පිරිමි දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ අතර උන්වහන්සේගේ ගිහි පෙළපත් නාමය වූයේ ‘කටුදුන් වීරසේකර මුදියන්සේලාගේ’ යන්න වේ. මේ නිසාම මල්වතු පාර්ශවයේ මහානායකකම උරුමයෙන්ම ලද්දෙකු වූවද මැණික්දිවෙල යටිගම්මන විහාරස්ථානයේදී පැවිදි භාවය ලැබීමෙන් අණතුරුව භාවනානුයෝගීව විසීමට උන්වහන්සේ වැඩි කැමැත්තක් දැක්වූහ. කන්ද උඩරටින් නික්ම සියනෑ කෝරළයට වැඩම කළ උන්වහ්සේ පල්ලෙවෙල, වල්බෝලාන වික‍්‍රමශීලා පිරිවෙනින් අධ්‍යාපනය ලද අතර උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් වූයේ කුකුල්නාපේ ශ‍්‍රී දේවරක්ඛිත ස්වාමීන් වහන්සේය. විවිධ භාවනා ක‍්‍රම, ත‍්‍රිපිටකය ආදිය ගැඹුරින්ම උගත් උන්වහන්සේ ස්වකීය භාවනානුයෝගී දිවිය ආරම්භ කරනු ලැබූවේ වාරණ විහාරස්ථානයෙන්ය. නමුත් පිණ්ඩපාතය වැඞීම, ආරණ්‍ය සිවුරු ඇඳීම ආදිය අනුගමනය කිරීම නිසා වාරණ පන්සලේ එතෙක් පැවති සම්ප‍්‍රදාය වෙනස් වීමට යාමෙන් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වෙනත් ගැටලූ මතුවන්නට වූ නිසා වාරණ පන්සලේ දායකයෙකු වූ ’බෝනෑගල අකෝලිස් උපාසක තැන’ගේ ආධාර උපකාර ඇතිව මාලිගාතැන්න විවේක සේ්නාසනය පිහිටි ස්ථානය සොයා ගත් අතර අණතුරුව ස්වකීය බණ භාවනා කටයුතු උදෙසා මෙතැනට වැඩම කළහ.

මාලිගාතැන්න විවේක සේනාසනයේ සියලූ කටයුතු සිදු කෙරුණේ ආරණ්‍යවාසී පිළිවෙලටය. පසු කාලයේ දී ‘වතුරවිල ඥාණානන්ද ස්වාමීන් වහන්සේ’ හා එක්ව තල්ගල, කළුගල ආදී සියලූ ආරණ්‍ය එක් කොට ආරණ්‍යවාසී සංඝ සභාවක් පිහිටුවීමටද මූලික වූහ. මෙම සංඝ සභාවේ අනුශාසක තණතුර දැරූ අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ මෙහි මහානායකකම පැවරුවේ වතුරවිල ඥාණානන්ද ස්වාමින් වහන්සේටය.

විහාර සැළැස්ම[සංස්කරණය]

විහාරස්ථානය උඩ මළුව හා පහළ මළුව යන කොටස් දෙකකින් සමන්විත වෙයි. පහළ මළුවේ බුද්ධ මන්දිරය, බෝධීන් වහන්සේ, චෛත්‍යය, බණ මඩුව, ආවාස කුටි යන විහාරස්ථානයේ සියලූම ප‍්‍රධාන අංගයන්ගෙන් සමන්විත වන අතර උඩ මළුවේ ඇත්තේ චෛත්‍යයක්, බෝධියක් යන අංගයන්ය.

විහාර ගොඩනැගිලි[සංස්කරණය]

දාගැබ[සංස්කරණය]

මාලිගැතැන්න විහාරස්ථානයේ චෛත්‍ය දෙකක් ඇත. එක් චෛත්‍යයක් පහල මළුවේ ඇති අතර අනෙක ඇත්තේ ඉහල මළුවේය. පහල මළුවේ ඇති චෛත්‍යය ආකාස චෛත්‍යය යනුවෙන් හඳුන්වනු ලැබේ.

පහල මළුවේ දාගැබ[සංස්කරණය]

මාලිගාතැන්න (21).JPG

සමතලා නොවූ භූමියක විහාරස්ථානය පිහිටුවා ඇති බැවින් මෙම විහාරස්ථානේ පහල මාලයේ දැගැබ පිහිටා ඇත්තේ බුද්ධ මන්දිරය, බණ මඩුව ආදී ගොඩනැගිලි පිහිටි භූමියට වඩා තරමක් ඉහලිනි. එබැවින් එය ආකාස චෛත්‍යය යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම ආකාස චෛත්‍යය වන්දනා කිරීමට උදෙසා ගල් පඩි කිහිපයකින් යුත් පියගැටපෙළක් යුතු වන අතර එහි දෙපස ගඩොල් හා බදාමයෙන් කළ වැටක් වේ. මේ ගරාදිවැට අවසන් වන්නේ කනු දෙකක් මත ඉදි කරන ලද පුන් කලස් දෙකකිනි. මෙම දා ගැබ බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත වූවකි. සලපතල මළුව මත ඉදිකරන ලද අටපට්ටම් හැඩැති පාදනමේ මල් ආසන මතින් දා ගැබ නිර්මාණය කර ඇත. මෙකී අංග ලක්‍ෂණ ඇතුළත් වන්නේ අනුරාධපුරයේ අගභාගයේ ගොඩනැගුණු දා ගැබ් කලාව හා සම වෙයි. ඊ ළඟට ඇත්තේ පෙසා වළළු තුනයි. පේසා වළළු වලට ඉහලින් පද්මාසනය ඇති අතර එතැනින් ධාතු ගර්භය ආරම්භ වේ. මහළ මළුවේ ඇති මේ චෛත්‍යයේ දා ගැබ දිය බුබුලක හැඩය ගන්නා බැවින් එය බුබ්බුලාකාර චෛත්‍යයක් ලෙසින් හඳුනාගත හැකිය. ධාතු ගර්භයේ ඉහල කෙළවර හතරැුස් කොටුවට පහතින් බෝ පත‍්‍ර හතරක් සිව් දිනාවෙන් නෙලා ඇත. ඉන් අණතුරුව හතරැුස් කොටුව ගොඩනගා ඇති අතර එහි සිව් දිසාවේ ඉර හඳ සංකේත දක්නට ලැබේ. හතරැස් කොටුව මත ක‍්‍රමයෙන් කුඩා වන චක‍්‍රාවලියක් නිරූපණය කරමින් වළලූ රැසකින් හෙබි කොත් කැරැල්ල වේ. කොත් කැරැුල්ලේ මුදුනින්ම ලෝහයෙන් තනවන ලද කොතක් පළඳා ඇත.

මේ දා ගැබේ සඳහා මලසුන් පනවා ඇත්තේ දෙකක් පමණි. ඒ චෛත්‍යයේ දෙපසිනි. මේ මලසුන් ඉතා සියුම් කැටයමින් යුත් ගොඩනැගිලි නොවේ. ඉතා සරල අයුරින් ඒවා නිර්මාණය කර තිබෙනු දැකිය හැකි වේ.

උඩ මළුවේ දාගැබ[සංස්කරණය]

පර්වතය මුදුනේ පිහිටු ඇති නිසා මෙම චෛත්‍යය හඳුන්වනු ලබන්නේ උඩ මළුවේ චෛත්‍යය යන නමිනි. මෙම විහාරස්ථානයේ නිර්මාතෘ ස්වමීන් වහන්සේ ලෙසින් ගෞරවාදරයට පත් වූ අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ මුල් කාලයේ බණ භාවනා කටයුතු සිදු කළ පර්වත මුදුනේ මෙම චෛත්‍යය ගොඩනංවා ඇත. ප‍්‍රදේශ වාසීන්ගෙන් දැනගත් තොරතුරු වලට අනුව විහාර භූමියේ ඇති චෛත්‍ය දෙකෙන් මුලින්ම වැඩ අරඹන ලද්දේ මෙම උඩ මළුවේ චෛත්‍යයේ වුවද මුලින්ම වැඩ අවසන් කර ඇත්තේ පහළ මාලයේ චෛත්‍යයේය. කල්යත්ම සැදැහැතියන්ගේ පැමිණීම වැඩිවීමත් සමඟ පර්වතයේ මුදුනේ ඉඩකඩ මද වීමෙන් අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ පහළ විහාරස්ථානය පිහිටා ඇති කොටසට වැඩම කිරීම හා චෛත්‍යය ගොඩනැංවීම උදෙසා අමුද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේ පහසුව මත පහල මාලයේ චෛත්‍යය ඉදි කිරීමේ කටයුතු වඩා පහසු වීම මෙයට හේතු වන්නට ඇත.

උඩ මළුවේ චෛත්‍යය ඝණ්ටාකාර හැඩයෙන් යුක්ත වෙයි. එහි පද්මාසනයක් නොවන අතර ඇත්තේ පේසා වළළු දෙකක් පමණි. දෙවන පේසාවට ඉහලින් ලියවැල් මොස්තරයක් කැටයම් කර ඇත. ඊට අමතරව මෙම චෛත්‍යය මාලිගාතැන්න සෙනසුනේ පහළ මාලයේ ඇති චෛත්‍යයේ අංග ලක්‍ෂණ ඒ ආකාරයෙන්ම දරා සිටියි. මෙම චෛත්‍යයේද මලසුන් ඇත්තේද දෙකක් පමණි. ඒ චෛත්‍යයේ දෙපසිනි. පහළ මාලයේ චෛත්‍ය දෙපස ඇති මලසුන් තරමින්වත් කැටයන් මෙහි නොවේ. මලසුනේ වහලය මත කුඩා චෛත්‍ය අනුරූ ඉදි කර ඇති. ඒවා විශේෂ වන්නේ කොත් කැල්ලෙනි. මෙම අනුරූ චෛත්‍ය වල කොත් කැරැල්ල නිර්මාණය කර ඇත්තේ සාංචි ස්ථූපයේ කොත් කැරැල්ලේ ඇති චත‍්‍ර අනුකරණය කරමිනි.

පිළිම ගෙය[සංස්කරණය]

මෙම විහාරස්ථානයේ පිළිම ගෙය පිහිටා ඇත්තේ ගල් ලෙනක් තුළය. පිළිම ගෙය හා බණ මඩුව ඇත්තේ එකින්නෙකට සම්බන්ධවය. ඒ එකී ගොඩනැගිලි දෙකම එකම ගල් ලෙනක පිහිටා ඇති බැවිනි. විහාර භූමියේ පිහිටා ඇති විශාලම ගල් ලෙන වන මෙහි එක් අන්තයක පිළිම ගෙය ගොඩනගා ඇත. පිළිමගෙයි එක් බිත්තියක් ලෙසින් පිහිටි ගල යොදා ගෙන ඇති අතර අනෙක් තුන් පස උදෙසා සිමෙන්ති බදාමයෙන් තනන ලද බිත්ති වේ. පිලිමගෙයි වහලය තනවා ඇත්තේද එක් පසෙකට පමණක් වන අතර අනෙක් පස වහලය ලෙස යොදා ගෙන ඇත්තේ පිහිටි ගල වේ.

මෙම පිළිමගෙයට ඇතුළු වීම සඳහා ඇත්තේ කළු ගලින් නිම කරවන ලද උළුවස්සකින් සහ ලී දොරකින් යුත් දොරටුවකිනි. මෙම ප‍්‍රතිමා ගෘහයට ඇතුළු වීම සඳහා මෙම ප‍්‍රධාන දොරටුවට අමතරව දෙපසින් තවත්් දොරටු දෙකක්ද වේ. ඉන් එකක් විවෘත වන්නේ බණ මඩුවටය. අනෙක් දොරටුවෙන් බුද්ධ මන්දිරයෙන් පිටතට පැමිණිය හැකිය. බුද්ධ මන්දිරයේ වහලය හා බිත්ති චිත‍්‍ර වලින් සරසා ඇත. මේ චිත‍්‍ර අතර විහාරස්ථානයේ ආදී කතෘ අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේගේ සිතුවමක්ද වන අතර දස පාරමිතා ආදිය නිරූපණය වන චිත‍්‍ර වේ. එසේම බුද්ධ මන්දියේ වහලයද මල් මෝස්තර සිතුවමකින් අලංකාර කර ඇත. මේ සියලූ සිතුවම් මෑත කාලයේ අඳින ලද ඒවා වේ.

හිඳි පිළිම ගණයට අයත් වන බුද්ධ ප‍්‍රතිමාවක් මෙම බුද්ධ මන්දිරය තුළ තැන්පත් කර ඇත. මෙම ප‍්‍රතිමාවෙන් භූමි ස්පර්ෂ මුද්‍රාව නිරූපණය වේ. බුද්ධ ප‍්‍රතිමාව දෙපසින් සැරියුත් මුගලන් අග‍්‍ර ශ‍්‍රාවක හිමිවරුන්ගේ රුව නෙලා ඇත. එකී ප‍්‍රතිමා සකස් කර ඇත්තේ උන්වහන්සේලා බුදු හිමිටවන්දනා කරන අයුරිනි .

බෝධිඝරය[සංස්කරණය]

මාලිගාතැන්න විවේක සේනාසනයේ බෝධිඝර දෙකක් දැකිය හැකිය. එක් බෝධිඝරයක් විහාරස්ථානයේ පහළ මළුවේ පිහිටා ඇති අතර අනෙක පිහිටා ඇත්තේ ඉහල මළුවේය.

පහල මළුවේ බෝධිඝරය[සංස්කරණය]

මේ බෝධිඝරය අටපට්ටම් හැඩයෙන් නිමවා ඇත. මීට අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන ඇත්තේ ගඩොල් හා සිමෙන්ති බදාම ය. මෙම බෝධිඝරය ආවරණ දෙකක් ලෙසින් නිමකර ඇත. එක් ආවරණය බැම්මක් බෝධීන් වහන්සේ සමීපයෙන්ම තනවා ඇති අතර පැන් වත් කිරීම සඳහා බෝධීන් වහන්සේ අසලටම යා හැකි අයුරින් යකඩ ගේට්ටුවක් සවි කර ඇත. බෝධි වන්දනය උදෙසා මලසුන පනවා ඇත්තේ මෙහිය. මෙහි දෙවන ආවරණය හෙවත් පිටත බැම්ම තනවා ඇත්තේ ඇතුළු බැම්මේ සිට අඩි පහක් පමණ දුරිනි. බා් මළුව ඇත්තේ මේ ප‍්‍රකාර දෙක අතර ඇති මේ පටු ඉඩෙහිය. විහාරය පිහිට ඇති භූමියේ භූගෝලීය පිහිටීම මීට හේතුවී ඇත.

ඉහල මළුවේ බෝධිඝරය[සංස්කරණය]

මෙම බෝධිඝරයද අටපට්ටම් ආකාර වන අතර එහි අට්පට්ටම් පාදම මත බෝධිය රෝපණය කර ඇත. මේ ගොඩනැගීම උදෙසා අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන ඇත්තේ කළුගල් හා සිමෙන්ති බදාම ය. මෙහි සිව් පසම මල් ආසන වේ. පැන් වත්කිරීම සඳහා බෝධිය අසලට යා හැකි වන පරිදි පියගැට පෙළක් තනා ඇත.

බණ මඩුව[සංස්කරණය]

මෙහි බණ මඩුව තනා ඇත්තේ විහාරස්ථාන භූමියේ ඇති විශාලම ගල් ලෙන තුළය. මේ ලෙනෙහි එක් කොටසක් ප‍්‍රතිමා ගෘහය වෙනුවෙන් වෙන් කර ඇත. මෙහි වහලය ලෙස සම්පූර්ණයෙන්ම පාහේ යොදා ගෙන ඇත්තේ ගල් ලෙනේ වහලය වන අතර දෙපස හා ඉදිරිපස බිත්තිය පමණක් ගඩොල් බිත්තියෙන් තනවා ඇත. බණ මඩුවේ ඉදිරිපස දොරටුවට ආසන්න කොටසේ වැඩිහිටියෙකුට කෙලින් වී ගමන් කළ නොහැකි තරමටම ගල් වහලය පහත් එකක් වේ. නමුත් ලෙනේ අභ්‍යන්තරයට යත්ම එය උස් එකක් වන්නට පටන් ගනියි. මෙහි බිත්ති පිහිටි ගල හා සම්බන්ධ නොවන අයුරින් තනා ඇත. නොඑසේ නම් කළු ගල හා ගඩොල් බිත්තිය අතර හිස් අවකාශයක් වේ. එලෙස තනා ඇත්තේ අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේගේ සමයේදී බණ මඩුව ඇති ගල් ලෙනේ අනිත් කොටසේ ඇති බුද්ධ මන්දිරය භික්‍ෂූන්ගේ පොහොය කර්මය උදෙසා භාවිත කළ බැවිනි. එලෙස පොහාය කර්මය කළ පොහොය ගෙයි සීමා දැක්වීමට යොදා ගත් ශිලා පුවරු හයක් බුද්ධ මන්දිරය වටා එහි සීමා දක්වමින් අදද දක්නට ලැබෙයි.

ආවාස කුටි[සංස්කරණය]

මෙම විහාරස්ථානය භික්‍ෂූන් වහන්සේලාට බණ භාවනානුයෝගීව වැඩ විසීමට හෝ විවේක සුවයෙන් වැඩ විසීම උදෙසා සකස් කරන ලද විවේක සේනාසනයක වන බැවින් එක් ආවාස ගෙයක් නොව ආවස කුටි රාශියකින් සමන්විත වෙයි. ඒවායින් බොහෝමයක් තනා ඇත්තේ විහාර භූමිය තුළ පිහිටා ඇති ස්වභාවික ගල් ලෙන් ආධාර කර ගනිමිනි. එක් එක් භික්‍ෂුවට වෙන වෙනම සිට ස්වකීය භාවනා කටයුතු කිරීමට හැකි වන අයුරින් වෙන් වෙන් වශයෙන් මෙම ආවාස කුටි නිමවා ඇත. විහාරස්ථානයේ පහල මළුවෙන් තරමක් දුරට වන්නට ඊට පහලින් ඇති භූමි ප‍්‍රදේශයක මෙම ආවාස කුටි ඉදි කර ඇත.

සක්මන් ගෙය[සංස්කරණය]

මාලිගාතැන්න විවේක සෙනසුනේ ඇති සක්මන් ගෙය කළුගලින් තැනූ දිග ශාලාවත් බඳු ගොඩනැගිල්ලකි. සක්මන් ගෙය පිහිටා ඇත්තේ ආවාස කුටි වෙත පැමිණිය හැකි පියගැට පෙළේ පහලින් වම් පසිනි. මෙම සක්මන් ගෙයි ඇතුළත සිට සක්මන් භාවනාවේ යෙදිය හැකි සේම පිටත සිටද සක්මන් භාවනාවේ යෙදිය හැකිය.

ඇටසැකිල්ල සහිත භාවනා කුටිය[සංස්කරණය]

මාලිගාතැන්න (4).JPG

මෙය පිහිටා ඇත්තේ බුද්ධ මන්දිරයේ පිටුපසය. බුද්ධ මන්දිරය හා බණ මඩුව පිහිටි ප‍්‍රධාන ගල් ලෙනේ පිටුපස කොටස මෙම භාවනා කුටියේද වහලය වෙයි. එක් පසෙක බිත්තිය වශයෙන් යොදා ගෙන ඇත්තේ බුද්ධ මන්දිරයේ පිටුපස බිත්තියයි. අනෙක් තුන් පසම පරිසරයට විවෘත වන අයුරින් මෙම භාවනා කුටිය නිර්මාණයව ඇත. භික්‍ෂූන් වහන්සේලාට අනිත්‍ය භාවනාවේ යෙදිය හැකි අයුරින් මෙම භාවනා කුටියේ මිනිස් ඇට සැකිල්ලක් තබා ඇත. මෙම ස්ථානය ඇට සැකිල්ල සහිත භාවනා කුටිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ එහෙයිනි.

දාන ශාලාව[සංස්කරණය]

දාන ශාලාව පිහිටා ඇත්තේ ආවාස කුටි අතර සක්මන් ශාලාවට වම් පසිනි. දාන ශාලාවේ මුළුතැන්ගෙය කොටස තනා ඇත්තේ ගල් ලෙනක් තුළ වීම විශේෂත්වයකි. ඊට සම්බන්ධ කර දිග ශාලාවක් අයුරින් දන් ගෙය නොහොත් දාන ශාලාව ගොඩනගා ඇත.

පැරණි දේවාලය[සංස්කරණය]

මාලිගාතැන්න විවේක සේනාසනය පිළිබඳ ඇති පුරාවෘත්තය සනාත කරනු පිණිස වළගම්බා රජු සැඟව සිටි ස්ථානයකැයි දැක්වීම සඳහා ඇති සාධක අතුරින් එකකි. මෙම ස්ථායේ දැනට ඉතිරිව ඇත්තේ ගල් උළුවස්සක් හා මැටි බිත්ති හතරකි. කාලයාගේ ඇවෑමෙන් මැටි බිත්ති විනාශ වීම අනිවාර්ය දෙයක් බැවින් මෙහි දක්නට ඇති මැටි බිත්ති පසු කාලයක තැනූ ඒවා විය හැකිය. නමුත් මෙහි ඇති ගල් උළුවස්ස පරීක්‍ෂා කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසව ඇත්තේ මෙහි කැටයම් කර ඇති පලා පෙති මෝස්තරය අනුරාධපුර සමයට අයත් වන බවයි. මෙම කුටිය දේවාලයක් ලෙසින් හඳුන්වනු ලබන්නේ මුල් කාලයේදී මෙහි බිත්ති මත රතු වර්ණයෙන් සටහන් කරන ලද දේවතා රූප තිබූ නිසා යැයි මතයක් පවතියි.

නා හිමි පිළිරුව ඇති කුටිය[සංස්කරණය]

මාලිගාතැන්න විවේක සේනාසනයේ ආදී කතෘ අති පූජ්‍ය මැණික්දිවෙල ශ‍්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ප‍්‍රතිමාව තැන්පත් කර ඇති කුටිය වේ. මෙය බුද්ධ මන්දිරය ඉදිරිපස තනා ඇත.

ලෙන්[සංස්කරණය]

මෙම විහාස්ථානය පුරාම ගල් ලෙන් දැකිය හැකිය. තරමක් විශාල ලෙන් බිත්ති බැඳ ආවරණය කර භාවිතයට ගෙන ඇති අතර ඇතැම් ලෙන් පවත්නා ආකරයෙන්ම පැවතීමට ඉඩ හැර ඇත.

පිංතූර ගැලරිය[සංස්කරණය]

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

1. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව 2005 දහම් පාසල් අවසාන සහතික පත‍්‍ර විභාගය. බෞද්ධ සංස්කෘතිය පිටකෝට්ටේ: රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව
2. http://teamtraveler.info/maligathenna-template/