පිළිකුත්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිළිකුත්තුව නම් ග්‍රාමවරයෙහි පිහිටි ප්‍රාග් බෞද්ධ යුගයට නෑකම් කියන ඓතිහාසික පුදබිමකි පිළිකුත්තුව රජමහා විහාරය.

ඉපැරණි මානව ජනාවාසයක්ව පැවතවිත් අනුරපුර යුගයේ මුල් කාලයේම බෞද්ධ සිද්ධස්ථානයක් වු පුදබිමකි පිළිකුත්තුව ඓතිහාසික පුදබිම. දේවානම් පියතිස්ස , වලගම්බා යන රජ දවස් දක්වා මෙම පුදබිමෙ ඉතිහාසය ඈතට දිවයයි. ක්‍රි.පු 3-1 කාලයට අයත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර ලෙන් ලිපි 4 එයට නිදසුන් දක්වයි.1 වන සෙල් ලිපියෙන් කියවෙන්නේ අශ්වාරෝහක ප්‍රධානියාගේ සොහොයුරු විසින් මෙම ලෙන් සංකීර්ණය කරවා සඟ සතු වශයෙන් පූජා කෙරු බවයි.

ක්‍රි.පු 1සියවසේදි මේ භුමිය හා අවට වන පියස් තුල වලගම්බාවන් සැගවි සිට සේනාව එකරාශි කොට නැවතත් අනුරපුර රාජධානියේ රජවු බවට ජනප්‍රවාදවල සදහන් වෙයි. සැගවි සිටි රාජකීයන්ගේ රාජාභරණ සැඟවු නිසා පිළිකුත්තුව නාමය ව්‍යවහාර වු බවට එක මතයකුත් සැගවි සිටි රාජකීයන්ට ඇදුම් පිළි සැපයු ගම පිළිකුත්තුව වුවායැයිද තවත් මතයකි.

පිළිකුත්තුව ඓතිහාසික ගල්ලෙන් රජමහා විහාරය යනු බස්නාහිර පලාතේ පිහිටි ඓතිහාසිකම හා විශාලම ලෙන් සංකීර්ණයයි. පිළිකුත්තුව රජමහා විහාරයට අයත් ලෙන් ගනන 99 ක් වන අතර ප්‍රාග් බෞද්ධ යුගයට අයත් කටාරම් රහිත ලෙන් කිහිපයකින් හා ක්‍රි.පු 3-1 කාලයට අයත් ලෙන් රාශියකින් යුතු අක්කර 200 ක පමණ භුමියක පිහිටි ලෙන් සංකීර්ණයකි.

මෙවන විට කර ඇති කැණිම් තුලින් හමුවු සාධක මතද මෙම පුදබිමේ ඓතිහාසික බව කියාපායි. ඉපැරණි පොශිල , රක්ත වර්ණ වලං කැබලි , පබළු වර්ග , ගල් ආයුධ හා පොළොන්නරු දඹදෙණි යුගවලට අයත් කාසි වර්ගද ඒ අතරින් ප්‍රධාන වෙයි.

අනුරපුර යුගයේදි මෙම ලෙන් සංකීර්ණය තුල මහරහතන් වහන්සේලා වැඩසිටින්නට ඇතැයි යන විශ්වාසයයක්ද වෙයි.යුගයෙන් යුගයට විත් අද පවතින තත්ත්වයට සංවර්ධනය වි ඇත්තේ මහනුවර යුගයේදිය.

ඉපැරණි කටාරම් කොටන ලද ගල්ලෙනක් තුල මහනුවර යුගයේදි පිළිකුත්තුවේ බුදුමැදුර ලෙන් විහාර සම්ප්‍රදායට අනුව කරවා ඇත. මෙම බුදුමැදුර ඇතුලත හා පිටත වශයෙන් මාල දෙකකින් යුක්ත වන අතර ඇතුලත මාලයේ ප්‍රතිමා හා චිත්‍ර මහනුවර යුගයට අයත්ය. සැතපෙන පිළිමය , හිටි පිළිමය හා සමාධි පිළිමයද දේව ප්‍රතිමා ලෙසට විෂ්ණු හා නාථ දෙවිවරුන්වද අඹා ඇත්තේ මැටියෙනි . බිත්ති මත නුවර චිත්‍ර සම්ප්‍රදාය මානා කොට දක්වමින් රහතන් වහන්සේලාව අපුර්වත්වයකින් සිත්තම් කර ඇති අතර වහලය සේ තිබෙන කළුගල මත වියනක් සේ දහසක් සියපත්ද සිත්තම් කරවා ඇත. බුදුමැදුරක් තුල භික්ෂූනින් වහන්සේලා නිරුපිත ලංකාවේ ඇති එකම බුදුමැදුර පිළිකුත්තුවේ පිහිටි ලෙන් විහාරයේ ඇති රහත් නොරහත් භික්ෂූනි සිත්තම්ය. අතීතයේ පටන්ම විහාර මන්දිරය තුල කාන්තාවන්ව කිසිම අයුරකින් සිත්තම් නොකිරිනි එහෙත් පිළිකුත්තුවේදි එ ක්‍රමය වෙනස් වු බවට ලෙන් විහාරය තුල සිත්තම් කර ඇති භික්ෂූනි සිත්තම් සාක්ෂි දරන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

බුදුමැදුරේ පිටත මාලය තුල ඇති ච්ත්‍ර සම්ප්‍රදායන්ද පිළිකුත්තුවටම ආවේණික වු බව විද්වත් මතයයි. ද්වාර පාලක රූප ලෙසට මෙහි සිත්තම් කර ඇත්තේ පෘතුග්‍රීසි සෙබළු දෙදෙනකි. එම සිත්තම්ද දුර්ලභ ගණයේ සිතුවම් ලෙසට දැක්වෙන්නේ බෞද්ධ පුදබිමක එවැනි ආකාරයේ සිතුවම් දක්නට නොමැති හෙයිනි . පිටත මාලයේ බිත්ති මත ජාතක කතා ගනනාවක් සිත්තමට නගා ඇත. එම සිත්තම්ද සුවිශේෂී චිත්‍ර කලාවක් ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නම් කරයි. නිරුපිත ජාතක කතා සියල්ලම සිත්තම් කර ඇත්තේ ලන්දේසි ආභාෂයෙනි. ජාතක කතාවල සිටිනා සියල්ලන්ම ඕලන්ද ජාතිකයන් ලෙසට චිත්‍රයට නගා ඇත. තවත් සමහරෙක් එ චිත්‍ර කලාව පහතරට චිත්‍ර සම්ප්‍රදාය යැයිද හදුන්වනු ලබයි. එවැනි චිත්‍ර කලාවක් දක්නට ලැබෙන්නේ මෙම පුදබිම තුල පමණක් විමද තවත් විශේෂිතය.

පිළිකුත්තුවේ ලෙන් විහාරයේ ඕලන්ද ආභාෂයෙන් සිත්තම් කර ඇති ජාතක කතා තුලින් සමකාලීන ලක්දිව පැවතුණු දේශපාලනික,සාමාජික,ආගමික ස්තරයන් පිලිබඳව මනාව පෙන්නුම් කරන වග චිත්‍ර විශ්ලේෂකයන්ගේ මතයක්ද වෙයි. පිටත මාලයේ වහලය මත ලග්න 12 ද සිත්තමට නගා ඇත. එම සිත්තම්ද සිත් ඇද බැද ගන්නා අයුරින් මනා කොට අලංකාරව සිත්තම් කර ඇත්තේ චිත්‍රවල අගය තවත් තිව්‍ර වන අන්දමයි. (චිත්‍රවලට නම් දරණ කැළණිය , දඹුල්ල , දෙගල්දොරුව යන ස්ථානවල දක්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික මහනුවර යුගයේ චිත්‍ර ශෛලියයි. එහෙත් නුවර යුගයටම අයත් ලෙන් විහාරයකි පිළිකුත්තුවේ බුදුමැදුරත් නමුත් එකි සාම්ප්‍රදායික නුවර යුගයේ චිත්‍ර ශෛලියට වඩා වෙනස් ආරක් පිළිකුත්තුව තුලින් දැකිය හැකි බව විද්වත් මතයයි. එතෙක් පැවති සාම්ප්‍රදායික චිත්‍ර ශෛලිය වෙනස් මගකට ගමන් ගත් බවට දැකිය හැකි වටිනා බිතුසිතුවම් පිළිකුත්තුවේ ලෙන් විහාරයෙන් ප්‍රකට කරවන බව සමහරෙක්ගෙ ප්‍රබල මතයක්ද වෙයි) ......

ඓතිහාසික බෝධින් වහන්සේලා දෙනමක්ද පුදබිම තුල දක්නට ලැබෙයි. එම බෝධින් වහන්සේලා දෙනම ගැන පවතින මතයන්ද ගනනාවකි. කුමර කුමරි යන නාමයන්ගෙන් එම ඇසතු වෘක්ෂයන්ව එදා පටන්ම හදුන්වා ඇත.

පිළිකුත්තුව රජමහා විහාර කන්දෙහි ආවේණිකවු නාමයන්ගෙන් සුසැදි ගල්තලාවන්ද රාශියක් වන අතර එයින් බැළුම්ගල යන ස්ථානය අතීතයේ ඔත්තු බැලු ස්ථානයක් ලෙසට පුරාවිද්‍යාඥයන් නම්කරයි. තවද දිග්ගල ,තොප්පිගල , පිලිහුඩුවාගල , ගල පිටගල ආදිය ප්‍රධාන තැනක් ගනියි.

ආසියාවේ පැරණිතම පුස් නම් වැල පිහිටන්නේද ඓතිහාසික මෙම රජමහා විහාර භුමියේය. තවද දුර්ලභ ගණයේ බෙහෙත් පැළැටි රාශියකින්ද මෙම භුමිය පිරි ඇත්තේ ඖෂධ උයනක් සේමය.

නුවර යුගයට අයත් ලෙන් ආවාසත් ඕලන්ද කාලයට අයත් ලෙන් ආවාසයත් ඉංග්‍රීසි කාලයට අයත් සංඝාවාසයත් යන ආවාස ගෘහයන් 3ක්ද මෙම පුදබිම තුල දක්නට ලැබෙන්නේද ඒ ඒ කාලවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මනාව පෙන්නුම් කරමිනි.

නුවර යුගයට අයත් පැරණි ලී පාලම ලංකාවේ පිහිටි දෙවන ලී පාලමද වෙයි. සිප්කඩුවේ සිරි සුමගුල් නාහිමියන්ගේ දෝලාවද පිළිකුත්තුව පුදබිමේ කෞතුක උරුමය තීව්‍ර කරන දුර්ලභ උරුමයන් වශයෙන්ද දැක්වෙයි.

ශෛලමය ධර්ම ශාලාවද ගල් කුලක් මත අලංකාරව ඉදිකර ඇති ඝාණ්ඨාර කුළුණද පොකුණු, වැව් ආදියෙන්ද යුතු උමං ජල මාර්ග වලින් යුතු භුමියක් වන අතර වටිනා උරුමයන් රාශියකින් යුතු අතීත හෙළයාගේ ශ්‍රි විභුතිය ප්‍රකට කරවන ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික උරුමයකි මෙම රජමහා විහාරය…

ප්‍රධාන සෙල්ලිපි 4

  1. 1 වන සෙල්ලිපිය , ක්‍රි.පු 3-1 කාලයට අයත් පු.බ්‍රා.අක්ෂර වලින් ලියුවකි === අනිකටස බතුනො අගිබුතිනො දානෙ අගත අනගත චතුදිස සගස


  1. 2 වන සෙල්ලිපිය , ක්‍රි.පු 3-1 කාලයට අයත් පු.බ්‍රා.අක්ෂර වලින් ලියුවකි === මනොරමෙ


  1. 3 වන සෙල්ලිපිය , ක්‍රි.පු 3-1 කාලයට අයත් පු.බ්‍රා.අක්ෂර වලින් ලියුවකි === දඛිණි ලෙනෙ


  1. 4 වන සෙල්ලිපිය , ක්‍රි.පු 3-1 කාලයට අයත් පු.බ්‍රා.අක්ෂර වලින් ලියුවකි === පරුමක පුරණ පුත දතශච බත මිතශච ලෙණෙ

සැක = රජමහා විහාරය , පිළිකුත්තුව ,බුත්පිටිය

"https://si.wikipedia.org/w/index.php?title=පිළිකුත්තුව&oldid=395879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි