ශාන්ත ජුසේ වාස් තුමා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ජුසේ වාස් පියතුමා වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ශාන්ත ජුසේ වාස් පියතුමා, C.O.
ලංකාවේ අපෝස්තුළුවරයා
පූජාප්‍රසාදි වහන්සේ සහ ධර්මදූතයාණන් වහන්සේ
උපතක්‍රි.ව.21 අප්‍රේල් 1651(1651-04-21)
බෙනාලින්, ගෝව, පෘතුගීසි ඉන්දියාව, පෘතුගීසි අධිරාජ්‍යය
මරණය16 January 1711(1711-01-16) (වයස 59)
සෙංකඩගල, සිංහලේ
ගරු කරනු ලබනුයේකතෝලික සභාව
(ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ඔරතෝරියානු නිකාය)
භාග්‍යවත් භාවයට එසවූයේ21 ජනවාරි 1995, කොළඹ, ශ්‍රී ලංකාව, දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථානබෙන්ට්වල්, කර්නාටකා, ඉන්දියාව
මහ ගල්ගමුව ශ්‍රී ලංකා
මංගල්‍යය දින16 ජනවාරි
අනුග්‍රාහකත්වයලංකාව (ශ්‍රී ලංකාව)

වර්තමානයේ සාන්තුවර භාවය ලබාදී ඇති ශාන්ත ජුසේ වාස් මුනිතුමා ජීවතුන් අතර සිටියදී ජුසේ වාස් නම් පියතුමෙකි. CO, (කොංකනී: භොක්තිවොන්ත් ජුසේ වාස්), යනු ගෝවේ ඔරතෝරියානු පූජාප්‍රසාදි වහන්සේ වරයෙකු සහ ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) ධර්මදූතයාණන් වහන්සේ වරයෙකු විය.

වාස් පියතුමා ලක්දිව පැමිණියේ එම දිවයිනේ කොටසක ලන්දේසි යටත්විජිතයක් තිබූ යුගයේදී වන අතර, එම කාලය තුලදී කැල්වින්වාදය යටත් විජිතයේ නිල ආගම ලෙසින් ප්‍රකාශයට පත් කර තිබුණි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහ සක්‍රමේන්තුද රැගෙන යමින් සෙයිලාන් ලන්දේසි යටත්විජිතයේ රහසිගතව සිටි කතෝලිකයන් සමූහ වෙත එතුමා ගමන් කලේය. එතුමාගේ ධර්මදූත මෙහෙයයෙහිදී පසුකාලීනව මහනුවර රාජධානියෙහි වාසස්ථානය ලැබීමට එතුමාට හැකිවූ අතර, නිදහස් ලෙස කටයුතු කිරීමට එතුමාට එහිදී හැකි විය. එතුමාගේ මරණය සිදු වන විට, දිවයිනෙහි කතෝලික සභාව ප්‍රතිසංස්කරණය කිරීමට වාස් පියතුමාට හැකිව තිබුණි.

අධික මහන්සියෙන් එතුමා විසින් කල මෙම සේවය නිසා, ලංකාවේ අපෝස්තුළුවරයා ලෙසින් වාස් පියතුමා හැඳින්වෙයි. 1995 ජනවාරි 21 දිනදී, දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් කොළඹදී එතුමා භාග්‍යවන්ත ධූරයට ඔසවන ලදි.

2015 වසරේ ජනවාරි 14 දින ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ශ්‍රී ලංකාවේදී එතුමා ශුද්ධවරභාවයට ඔසවනු ලැබීය.

මුල් කාලය[සංස්කරණය]

දරුවන් හයදෙනෙකුගෙන් යුතු පවුලක තුන්වන දරුවා ලෙස 1651 අප්‍රේල් 21 දින ඉන්දියවේ බෙනුවාලීම් නැමැති ගමේ ක්‍රිස්ටෝපර් වාස් සහ මරිය මිරැන්ඩා යන බ්‍රාහ්මණ පවුලට දාව ජෝශප් නයික් වාස් නමින් මෙතුමා උපත ලැබීය. එතුමා පවුලේ තෙවන දරුවා වුයේය. [1] උපතින් දින 8කට පසුව බෙනවෙලුම්හි ස්නාවක ජුවාම් තුමන්ගේ දෙව්මැදුරේදි ජසින්කෝ පෙරෙයිරා පියතුමන් අතින් බව්තීස්ම කරන ලදි. එතුමාගේ ළදරු අවධිය පිළිබද දත් තොරතුරු එතුමාගේ දක්ෂතා හා මහත් වූ භක්තිය හෙළි කරයි. එතුමාගේ සම වයසේ දරුවන් කෙළිදොලන් කාලය ගත කරද්දී එතුමා වඩාත් ප්‍රිය කළේ නිසල ස්ථානයකට වී යාච්ඤා කරන්නටය. දිනපතා දේව මෙහෙයට සහභාගි වූ එතුමා, පූජාප්‍රසාදිතුමා දිව්‍ය සත්ප්‍රසාදීන් වහන්සේ රෝගීන් වෙත ගෙන යන අවස්ථාවලටද සහභාගි විය. එසේම මළවුන් සොහොන් භූමිය වෙත ගෙන යන අවස්ථාවලට සහභාගි වීම වඩාත් ප්‍රියකල මොහු, රාත්‍රී කාලයේ දැන හදුනන සියල්ලන් වෙත ගොස් ඔවුන්ගේ යාච්ඤා වලටද විශේෂයෙන් මළවුන් වෙනුවෙන් යාච්ඤා ඔප්පු කරන මෙන් ඉල්ලා සිටියේය. යාච්ඤාවේ නිරත වීමට එතුමාණන්ට වේලාවක් නොවීය. ඇතැම් අවස්ථා වලදී රාත්‍රී කාලයේ පවා දේව ලැදියාව නිසාම මෙතුමා තම පියාගේ නිවසට යාබද කෝර්ටාලිම් ගමේ පිහිටි ශු. පිලිප් හා සිමියොන් යන අපෝස්තුඵවරුන්ට කැපවූ දේවස්ථානයට ගියේය. මෙතුමා මෙම දේවස්ථානයට යන කල්හි එහිදී වසා තිබූ දේවස්ථානය මෙතුමා අතතැබූ සැනින්ම විවෘත වූ බව සදහන් වේ.[උපුටාදැක්වීම අවශ්‍යයි] දිළිදුන් හට ත්‍යාගශීලී වූ කුඩා ජුසේ බොහෝවිට තම දෙමව්පියන්ට රහසේ තම රාත්‍රී ආහාරය දන් දුනි.

එකල සැන්කෝලයේ විසූ වයස්ගත පුද්ගලයෙකු වූ අන්තෝනියෝ කර්ඩෝසෝ කුඩා ජෝශප් පිළිබදව නිතර පැවසූ දෙයක් නම් "අහෝ සැන්කෝලය, නුඹට උරුම වූ වූ ආශිර්වාදය පිළිබදව නුඹ නොදන්නෙහිය. එහෙත් උතුම් වූ දෙව්පියාණන් වහන්සේ විසින් විසින් ඔහුගේ දෙමව්පියන් වෙත දුන් පොරොන්දුව ඉටුකරන දිනයක් පැමිණෙනු ඇත" යන්නයි. ඔහුට මහත් ආදරයක් දැක්වූ ගැමියෝ ඔහු ඇමතුවේ "ශුද්ධ වූ ළදරුවා" යන නමිනි. (පුංචි සාන්තුවරයා ) සැන්කෝලේහි හි පෘතුග්‍රිසි පාසැලකට ගිය ජුසේ ගේ මව් බස වූයේ කොන්කාණි බසයිි. තම දරුවා පිළිබද ශුභාරංචිය කල්තියා දැනගත් එතුමන්ගේ දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව වූයේ ඔහු පැවිදි දිවියට ඇතුලත් කරවීමය.

සැන්කොවාලේ ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරු මෙතුමා එහිදී පෘතුගීසි භාෂාව පිළිබඳ අධ්‍යාපනය ලැබීය. පසුව බෙනවෙලුම්හි මහා විදුහලෙන් ලතින් භාෂාව පිළිබඳ ඉගෙන ගැනීමට එතුමාට හැකිවිය. ජෝශප්ගේ දක්ෂකම් දුටු ඔහුගේ පියා වැඩිදුර අධ්‍යාපනය සඳහා ගෝව විශ්වවිද්‍යාලයට යවනු ලැබීය. තවද ජේසු නිකායික පාසලක්වු සා.පාවුලු විද්‍යාලයෙන් අලංකාර විද්‍යාව හා සමජ විද්‍යාව ද, ගෝවේ ඇක්වයිනාස් දෙව්සත්හලට ඇතුලුව දර්ශනවාදය හා දේව ධර්මය පිළිබඳව හැදෑරීය. 1675 දී පැවිදි දිවියට ඇතුලත්වු මෙතුමා 1676 වසරේ අප්‍රේල් මාසයේදී එවකට ගෝව අගරදගුරු අති උතුම් අන්තෝනියෝ බ්‍රන්ඩාඕ අගරදගුරුතුමන් අතින් පූජකවරය ලැබීය.

පූජකවරය ලබා කෙටි කලකින් සිගන්නකු ආකාරයෙන් පයට පාවහන් නොමැති හිස් දෙපතුලෙන්ම ජීවත් වන්නට විය. එහි දී එතුමා දක්ෂ ලෙස ධර්මය දේශනා කරමින් ද, ජනතාවට පාපොච්ඡාරණය වැනි ප්‍රසාද නිධාන දානය කරමින් ද සිදුකල සේවය නිසා ඉතා කෙටි කලකින් සැමගෙම ගෞරවාදරයට පාත්‍ර වන්නට විය. තවද එතුමා සෙන්කොලේ ප්‍රදේශයේ අනාගත පුජක පුතුන්ගේ ප්‍රයෝජනය සඳහා ලතින් බසද ඉගැන්විය.

තම ගම් පියසේ සේවය[සංස්කරණය]

සහය මීසම් පියතුමකු ලෙස යම් දේවස්ථානයක සේවය කිරීමට ආශාවෙන් පසු වුවද, එවැනි කිසිවක් නොලැබීම නිසා අධෛර්යට පත් නොවූ තරුණ ජුසේ වාස් පියතුමා කලේ තමා සතුව තිබු කාලයෙන් ප්‍රයෝජන ගනිමින් තමා හැඳි වැඩුන ගම වූ සැන්කෝලයේ, පුජකවරයා ලැබීමට සුදානම්ව සිටි තරුණයන්ට ලතින් භාෂාව ඉගැන්වීමයි තමාගේම සොහොයුරියගේ පුත්‍රයා වූ ජෝශප් කරවල්ලෝ ජුසේ වාස් පියතුමන්ගෙන් ලතින් භාෂාව ඉගෙනගත් මුල්ම ශිෂ්‍යයා විය. තම මයිලනුවන් අනුගමනය කරමින් පුජකවරයා ලබා ඔරතොරියානු නිකායට බැඳී ශ්‍රී ලංකාවටද පැමිණි කරවල්ලෝ පියතුමා මහනුවර වසුරිය රෝගීන්ට උපස්ථාන කරමින් සිටියදී මරණයට පත් වුයේ ය. ජෝශප් මෙනසිස් ද තවත් එවැනි ලතින් භාෂාව හැදෑරු මුල් ශිෂ්‍යයකු වූ අතර, එතුමාද පුජකවරය ලබා ඔරතොරියානු පියතුමකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණියා පමණක් නොව ශේෂ්ඨ පියතුමා ලෙස ජුසේ වාස් පියතුමාගේ පළමු අනුප්‍රාප්තිකයා වීමටද භාග්‍ය ලැබි ය.

කැනරාවේ සේවය[සංස්කරණය]

මේ සමයේදි ලක්දිව ලන්දෙසීන් විසින් කතෝලික ජනයාට ඇතිකරන පීඩනය පිලිබඳව මෙතුමාට දැනගැනීමට ලැබුනි. ජුසේ වාස් පියතුමා ලක්දිවට පැමිණීමට ශේෂ්ඨයින්ගෙන් අවසර ඉල්ලු නමුත් එතුමාට යෑමට අවසර ලබුනේ ඊට අසල පිහිටි කැනරාවටය.මෙලෙස ජුසේවාස් පියතුමාව කැනරාව වෙත යොමුකරනු ලබන්නේ පෘතුගීසින් යටතේ බිහිවූ ධර්මදූත කණ්ඩායමත් (පූද්‍රෝආදු) වතිකානයේ පාප්තුමාගේ ධර්මදූත කණ්ඩායමත් (ප්‍රොපගැන්ඩා ෆිඩේ) අතර ඇතිවූ ගැටුමක් විසදීම සඳහාය. එම වකවානුවේදී ශුද්ධාසනය විසින් අලුතෙන් සොයාගන්න ලද රටවල ධර්මදූත කටයුතු කෙරෙහි යම් යම් බලතල ඔවුන්ටම ලබාදී තිබුනි. මෙම ක්‍රමය පූද්‍රෝආදු ක්‍රමය ලෙස හැදින්වේ. මෙම ගැටලුව ඇතිවන්නේ වතිකානයෙන් තෝමස් ද කස්ත්‍රො යන රදගුරුතුමාට මීසම් කිහිපයක නායකයෙකු ලෙස උසස්වීමක් ලැබීමත්, එම උසස්වීම පළාතේ අගරදගුරුතුමා ප්‍රතික්ෂේප කිරීමත් සමඟය. එහි පැමිණි ජුසේවාස් පියතුමාට දැකගත හැකිවන්නේ දෙකඩවී වෙන්වීගිය කතෝලික සභාවක්ය.නීතිමය පියවරක් ගැනීමේ අරමුණින් ජුසේ වාස් පියතුමාව කැනරාවට එවනු ලැබූවත් එතුමා යොමුවන්නේ සාමකාමී විසඳුමක් ලබාගැනීම සඳහායි.

ලක්දිව සේවය[සංස්කරණය]

1681 සිට 1684 දක්වා කැනරාවේ සේවයේ යෙදි සිටි මෙතුමා ලක්දිව තත්ත්වය සොය බලමින් ලංකාවට පය තැබිය හැකි ක්‍රමයක් සොයමින් සිටියහ. වසර ගණනක් පුරාවට පියාතුමකුගේ අධ්‍යාත්මික ආධාරය ලබා නොතිබු ලක්දිව කතෝලික ජනතාව වෙත ජුසේ වාස් පියතුමාගේ දයාව හා කරුණාව හිමි විය. පාවහන් රහිතව, වැරහැලි ඇදගත් යාචකයකු විලාශයෙන් 1687 මාර්තු මස අගදී ඉන්දියාවෙ තූත්තූකුඩියට ජුසේ වාස් පියතුමා පැමිණියේ ලංකාව බලා පැමිණීමේ අරමුණ ඇතිවය. නැවක නැගී ලක්දිව බලා ගමන්ගත් මෙතුමාට මුහුද මැදදී කුනාටු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුය. රළ පහරින් යාත්‍රාව ආපදාවනට ගොදුරු වූ හෙයින් දින 3ක මුහුදු ගමන දින 30ක් දක්වා දීර්ඝ විය. අවසානයේ 1687දී ජුසේ වාස් පියතුමා සහ එතුමන්ගේ සහයක ජෝන් ශ්‍රි ලංකාවේ මන්නාරම් වෙරලට ගොඩබසින ලදි. එසේ ගොඩබසින ලද්දේ ජීවත්ව සිටි කෙනෙකුට වඩා මළ කෙනෙකුගේ ස්වභාවය අතුව බව සඳහන් වේ.

මේ වන විට ලක්දිව තුළ පෘතුගීසි ආදිපත්‍ය බිඳවැටී වසර 40ක් පමණ ගතවී තිබුණි. පෘතුගීසීන්ගෙන් පසුව ලක්දිව මුහුදුබඩ පළාත් සියල්ලක්ම පාහේ පාලනය කරනු ලැබුවේ ලන්දේසීන් විසිනි. ලන්දේසීන්ගේ පරම අභිප්‍රාය වී තිබුනේ තම වෙළද කටයුතු සිදු කරනවාත් සමඟ පාලන ප්‍රදේෂ පුරාවට කැල්වින් ආගම ප්‍රචලිත කිරීමය. මේ සඳහා ඔවුන් දැඩි ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට විය. කැල්වින් දහමට ජනතාව බලෙන් හරවාගන්නා ලද අතර කැල්වින් දහම හැර වෙනත් ආගම් අදහන්නන්ට විරුද්ධව දැඩි ක්‍රියාමර්ග අනුගමනය කරන්නට විය. මෙහිදී වඩිපුරම දුක්ගැහැට විදින්නට සිදු වූයේ කතෝලිකයන්ටය. [2]කතෝලික ආගම ඇදහීම තහනම් කරන්නට විය.කතෝලික දහම අදහන්නකුට දඩුවම් ලෙස මියයනතුරු ලන්දේසි බලකොටුවල වැඩ කිරීමට සිදුවිය.කතෝලික පියතුමකුට රැකවරනය දුන් අයගේ දේපල රාජසන්තක කරන ලදුව එම පුද්ගලයන්ට විරුද්ධව දඩුවම් ක්‍රියාත්මක කරන්නට විය.දේවස්ථාන ගිනිබත් කරන ලදි. ප්‍රතිමා ප්‍රසිද්ධියේම කඩාබිද දමන ලදි. පාරම්පරික කතෝලිකයන්ව බලෙන් ඔවුන්ගේ දේවස්ථානවලට රැගෙනයන ලදි. ඔවුන්ගේ දරුවන්ට රෙපරමාදු පාසල්වල බලෙන් කැල්වින් දහම උගන්වන්නට විය. මේ කාලයේදි යාපනය , මන්නාරම, පුත්තලම මීගමුව හා කොළඹ ප්‍රදේශවල කතෝලිකයන්ට විශ්වාසය වෙනුවෙන් තම ජීවිත පූජා කරන්නට සිදුවිය. ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධීරයෙන් ශුද්ධවූ කතෝලික සභාව තව තවත් ශක්තිමත් වන්නට විය. ලේඛනවලට අනුව පෘතුගීසි සමය අවසාන වන විට ශ්‍රී ලංකාව තුළ කතෝලිකයන් 200,000 පමණ ජීවත්ව සිට ඇත. නමුත් ජුසේවාස් පියතුමා ශ්‍රී ලංකාවට පයතබන විට ඉන් 10,000ක් පමණක් සොයාගත හැකිව තිබුණි. බෝහෝ කතෝලිකයන් පිරිසක් වනාන්තරවලට පලාගොස් තිබුණි. තවත් පිරිසක් රහසින් ආගම අදහා ඇත. තවත් පිරිසක් ලන්දේසි පාලනයට බියෙන් කැල්වින් ආගම වැලදගෙන ඇත.

South Bar[සංස්කරණය]

ක්‍රි.ව. 1687 මැයි මාසයේ දී කුලීකාරයෙකුගේ වෙස්ගනිමින් ජුසේ වාස් පියතුමා හා සේවක ජෝන් නම් තරුණයා මන්නාරම් වෙරළට ගොඩබැස්සේ මේ ස්ථානයට ය.

යාපනයේ සේවය[සංස්කරණය]

1687 අප්‍රේල් මාසයේ ජුසේවාස් පියතුමා යාපනයට සේන්දු විය .ඒ යාපනයේ කොළඹතුරෙයි නම් ස්ථානයෙනි. අදටත් එම ස්ථානයේ ජුසේවාස් පියතුමාගේ පිළිරුවක් පිහිටා ඇත. එසේ පැමිණි එතුමා ගෙයක් අසල මඩුවක ලගුම් ගත්තේය. එතැන් පටන් ජපමාලයක් (කොන්තයක්) කරේ දමාගෙන රහසින් කතෝලිකයන් සොයා ගමන්ගත්තේය. ජපමාලයක් (කොන්තයක්)කරේ දමගෙන යන බැවින් ලන්දේසි බටයන් විටක සිතුවේ එතුමන් මානසික ලෙඩෙකු කියාය. විටක සන්නාසියකු විලසින්ද, විටක කරවල වෙළෙන්දකු විලසින්ද , විටක කත්කරුවකු විලසින්ද විවිධ වෙස් ගනිමින් ජුසේ වාස් පියතුමා හා හිතවත් ජෝන් ගෙයින් ගෙට ගමන් කළෝය. ඔවුන්ගේ අරමුණ ලන්දේසි පාලනයට බියෙන් සැඟවී සිටින කතෝලිකයන් සොයාගැනීම විය. කිතුණු පවුලක් ලෙස නොපැහැදිලිව අවධාරණය කරහත් පසු ඔවුන්ටද ළකුණක් වන ලෙස ජුසේ වාස් පියතුමා තම ඉනෙහි සඟවාගත් කුරුසිය ප්‍රදර්ශණය කරයි. තමා ඉදිරියේ සිටින්නේ අන් කවරකුත් නොව කතෝලික පියතුමකු බව දැනගත් ඔවුන් ප්‍රීතියෙන් පිනා යයි. ඔවුන් සමඟ මද වෙලාවක් නැවතී යාච්ඤාකොට ඔවුන්ට අවශ්‍ය අධ්‍යාත්මික පෝෂණය ලබාදී එනම් දිව්‍ය සත්ප්‍රසාදය, පාපොච්ඡාරණය වැනි ප්‍රසාධ නිධාන දානය කොට එම ස්ථානයෙන් නික්ම යයි.

මේ වන විට යාපනයේ ලන්දේසි අණ දෙන්නා ලෙස කටයුතු කරන ලද්දේ ඒඩ්‍රියන් වෑන් රීඩ් නම් පාලකයෙක්. ඔහු යාපනයේ කතෝලිකයන්ට විරුද්ධව කෲර පාලනයක් ගෙන ගිය පාලකයෙක් විය.

මේ අයුරින් දින ගතවන්නට විය. ජුසේවාස් පියතුමා ශ්‍රී ලංකාවේ ගතකරන පළමු නත්තල උදාවිය. ඒ වර්ෂ 1689දිය. යාපන කතෝලිකයන්ගේ ධෛර්‍ය කොපමණද කියතොත් යාපනය පුරා ස්ථාන 8ක දෙව මෙහෙයන් සංවිධානය වන්නට විය. දිව්‍ය පූජාව ආරම්භ කිරීමට පෙර ජනතාව හමු වී ඔවුන් සමඟ සුහදව කතා කිරීමටත් දහම් කරුණු සාකච්ඡා කරන්නටත් එතුමා කාලය වැය කළේය. ඔවුන් හට පාපෝච්ඡාරනය අතුලු ප්‍රසාද නිධාන දානය කිරීමටත් එතුමා අමතක කළේ නැත.පසුව නත්තල් දිව්‍ය යාගය ආරම්භවිය. වසර ගනනාවකට පසුව දිව්‍ය පූජාවකට සහභාගිවන මෙම ජනතාව තුල තිබුනේ දැඩි භක්තියකි. වැඩිහිටියන් පියතුමකු දකින්නේ වසර තිහකටත් අධික කාලයකට පසුවය. කුඩා දරුවන්ට මෙය ආගන්තුක, නුපුරුදු අත්දැකීමක් විය. වසර ගණනකට පසුව තමන් ලැබූ මෙම ප්‍රීතිමත් නත්තල පිළිබඳව සියල්ලෝම දෙවියන්ට ප්‍රසංසා කළහ. කෙසේ නමුත් සුදුවූයේ නොසිතු සිදුවීමකි. ද්‍රෝහියකුගේ පාවාදීමකට අනුව හදිසියේම ලන්දේසීන් එම ස්ථානය වටලන්නට විය. ඔවුන්ගේ අරමුණ වී තිබුනේ රහසින්ම් යාපනයේ සැරිසරන පූජකතුමන් අල්ලා ගැනීමය. කිසිවකුටත් එතනින් පැනයාමට නොහැකි විය. ජනතාවගේ විලාප හඬ මැද ඔවුන් පූජාසනයත් එම ස්ථානයේ තිබුනු සියලු දෙත් විනාශ කරන්නට විය. කාන්තාවන්ගේ ඇදුම් ඉරාදමා ඔවුන් නිරුවත් කරන ලදි. මෙසේ අල්ලගත් 300කට අධික පිරිස යාපනය කොටුව වෙත රැගෙන යන ලදි. නමුත් ඔවුන් සෙවූ පුද්ගලයා ඔවුන් හමු වුනේ නැත. ජුසේවාස් පියතුමා එම ස්ථානයෙන් ගැලවීගෝස් තිබුණි.[උපුටාදැක්වීම අවශ්‍යයි]

අල්ලාගන්නා ලද කතෝලිකයන් යදම්වලින් බැද මුගුරුවලින් පහරදී යාපනය බලකොටුව වෙත රැගෙන යන ලදි. ජුසේවාස් පියතුමන්ට රහසින් නවාතැන් දුන් පේද්‍රොට නැවතත් කැල්වින් ආගමට හැරෙන ලෙස ලන්දේසීන් ඉල්ලූහ. ඔහුට කේක් හා වයින් ලබාදී තව තවත් ඔහුට පෙරැත්ත කළද එකම කතෝලික ශුද්ධවු සභාව කෙරෙහි තම විශ්වාසය පේද්‍රො නොබියව ප්‍රකාශ කළේය. කෝපයට පත් ලන්දේසීන් ඔහුට මැරෙන්තුරු පහරදෙන්නට විය. ඔවුන්ගේ පහර දරාගතනොහැකි පේද්‍රෝ මිය ගියේය. තවත් 4දෙනෙකු යදම්වලින් බැද යාපනය බලකොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ බරපතල වැඩවලට යොදවන ලදි. අවසානයේ ඔවුන්ද මිය ගියෝය. ලන්දේසීන් පියතුමන් සොයා ගම් නියම්ගම් පීරන්නට විය. මේ අයුරින් තත්වය කෙමින් කෙමින් දරුණු වත්ම යාපනයේ කතෝලිකයෝ ජුසේවාස් පියතුමාවත් ජෝන්වත් පුත්තලමට පිටත් කර හරින ලදි. ඒ වන විට පුත්තලම කන්ද උඩරට රජ්‍යට අයිතිව පැවතුනි. එබැවින් පුත්තල්මේ වාසය කිරීම වාස් පියතුමාගේ ආරක්ෂාවට හේතු විය.

සිල්ලාලෙයි[සංස්කරණය]

ජුසේ වාස් පියතුමා වසර 2ක කාලයක් තම ධර්මදුතික මෙහෙවර ආරම්භ කරන ලද්දේ මෙහිදීය. එම නිසා ලක්දිව සභා නවෝදයේ මුල් ග්‍රාමය වන්නේ ද මේ ග්‍රාමයයි.  තවද මෙරටට කොඩිගස හදුන්වා දුන් අතර සහ එතුමාණන්ගේ දෑතට දිව්‍ය බිලිදාණන් වැඩම කරන  ලද්දේ ද මෙහිදීය.එතුමාණන් සැගවී සිටි නිවස පිහිටා තිබු ස්ථානයේ අද ස්මාරකයක් පිහිටා තිබේ.

පුත්තලම

වර්ෂ 1640 කතෝලිකයින්ගේ කේන්ද්‍රස්ථානය වන මීගමුව ලන්දේසි අතට පත්වීමෙන් පසු පනස් වසරක් පුරාවට කතෝලික පූජකයකු නොමැතිකමින් පුත්තලමේ කතෝලික වැසියො පීඩා විදින්නට විය. ජේසු නිකායික පියතුමන්ලා පුත්තලමේ කතෝලිකයන්ගේ සහයට පැමිණියත් එලෙස පැමිණි පියවරුන්වත් ලන්දේසීන් විසින් මරාදමා තිබුණි. එසේ නැතහොත් පිටුවහල් කර තිබුණි. බොහෝ කතෝලිකයන් ප්‍රසාද ස්නාපනය (බව්තීස්මය) ලබා තිබුනද දිව්‍ය පූජවකට සහභාගි වූ කාලයක් මතක නැති තරම් විය. එවැනි සමයක් තුළ ඔවුන් අතරට පැමිණි ජුසේවස් පියතුමන්ව ඉතාමත් ආදරයෙන් ඔවුන් අතරට පිළිගන්නා ලදි.

1690 දී පුත්තලමේ පදිංචියට ගිය ජුසේ වාස් පියතුමාට වසරක් තුළදී පුත්තලමේ කතෝලික ජනතාව නගා සිටුවීමෙහිලා විශාල වැඩ කොටසක් ඉටු කිරීමට හැකිවිය. පුත්තලම ප්‍රදේශයේ ජේසු නිකායික පියවරුන් ගොඩනැගූ දේවස්ථාන මෙතුමාගේ සේවාව සඳහා මනා පිටුවහලක් විය. තවද කතෝලික පියතුමකු නොමැති අවස්ථාවලදී අධ්‍යාත්මික කටයුතු කරගෙන යෑම සඳහා අන්නාවිවරුන් පත්කරන ලදි. විශේෂයෙන්ම කල්පිටිය, හලාවත, මුන්නේෂ්වරම්, කම්මල, මාදම්පේ, මාරවිල, කටුනේරිය, ඇටියාවල, මාකඳුර හා මැටියන්ගහ යන ප්‍රදේශවලට එතුමන්ගේ සේවය වඩාත් ඵලදායි විය. [3] ජුසේවාස් පියතුමන් 1690 අගෝස්තු 15 වැනි දින ඔරතෝරියානු නිකායේ ප්‍රධාන පියතුමා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ඛේදනීය තත්වය පිළිබඳව දැනුවත් කරන ලදි.

එතුමන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කල්පිටිය අර්ධද්වීපයේ ග්‍රාමීය පෙදෙස්වලටද තම සේවය ලබා දෙන්නට අමතක නොකලේය. විශේෂයෙන්ම මුක්කුවාර්වරු ජීවත්වූ මාන්තිව්, නාවක්කුඩා, හා මාන්පුරි ප්‍රදේශවලටද එතුමන්ගේ සේවය හිමිවිය.වන්නි ප්‍රදේශයේ ගල්ගමුව ග්‍රාමයේ ජීවත්වන මිනිසුන් වනඅලින්ගෙන් හා සර්පයන්ගෙන් සිදුවන කරදර හේතුවෙන් බොහෝ දුක්ගැහැට විඳින්නට සිදුවිය. ජුසේවාස් පියතුමා එම ස්ථානයේ ලි කුරුසියක් සිටවූ අතර අදටත් එම ග්‍රාමය වන සතුන්ගෙන් ආරක්ෂාවී තිබෙන බව ගම්මුන් විශ්වාස කරයි. එදා ජුසේ වාස් මුනිතුමා මෙලෙස පලු ගස යට කළුවර කුරුසිය සිටවන විට තවත් ප්‍රාර්ථනයක් කළේය. එනම් අනාගතයේදීවත් කිසිම කතෝලික පූජක තුමකු සර්ප දෂ්ටනයකින් මිය නොයේවා කියාය. සර්ප දෂ්ටනයකින් මියගිය කතෝලික පියතුමකු ගැන අද වනතුරුත් වාර්තා වී නැත.[4] සියවස් ගණනාවක් ජනතාව එම කුරුසිය අසල ඉටිපන්දම් දැල්වීම නිසා එය අර්ධ වශයෙන් පිළිස්සි කළු පැහැවී තිබුණි. එවකට කුරුණෑගල රදගුරුතුමන් මෙම කුරුසිය සංරක්ෂණයට පියවර ගෙන ඇති අතර ජුසේවාස් පියතුමන්ගේ ප්‍රතිමාවක් එම ස්ථානයේ ස්ථාපිත කර ඇත. එම පෙදෙස දැන් හඳුන්වන්නේ “ජුසේ වාස් පුරය” යනුවෙනි.[5] මේවන විට එම කුරුසිය විශේෂ කුටියක පිහිටුවා ඇත. කුරුණෑගල රදගුරු පදවියේ ජනතාව අද දවස දක්වා මෙම දේවස්ථානයේ ජුසේවාස් පියතුමාගේ වාර්ෂික මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි. පුත්තලමේ සිට කම්මල දක්වා විහිදී ඇති සත්කෝරළය එවකට ලන්දේසි පාලනයට අයිතිව තිබූ ප්‍රදේශයකි. සත්කෝරළය පුත්තලමට වඩා බහුලව කතෝලිකයන් ජීවත්වූ ප්‍රදේශයකි. ජුසේවාස් පියතුමා මහනුවර බලා යෑමට පෙර මෙම ප්‍රදේශවලටද පැමිණ ඇත. ඒ වසර 40කට පසු මෙහි පැමිණි ප්‍රථම පියතුමා ලෙසය. මීට පෙර පුත්තලමට සේවය සඳහා පැමිණි කතෝලික පියවරුන් මෙම ප්‍රදේශවලට පමිණියත් ලන්දේසින් විසින් ඔවුන්ව වධබන්ධනවලට පමුණුවා රටින් පිටුවහල් කොට තිබුණි. කොළඹ කොමාන්ඩරිය යටතේ පාලනය වූ මෙම ප්‍රදේශවල පවතින අවදානම තේරුම්ගත් ජුසේවාස් පියතුමා සහ ජෝන් කන්ද උඩරට බලා යාමට සූදානන්ම් විය.

කන්ද උඩරට සේවය[සංස්කරණය]

17වන සියවස වන විට ශ්‍රී ලංකාවේ අගනගරය වූයේ කන්ද උඩරට ප්‍රදේශයයි. ලන්දේසි පාලන ප්‍රදේශවල තිබුණු අවදානම හැරුනුකොට කන්ද උඩරට යෑම සඳහා බලපැ අනෙකුත් හේතුව වන්නේ ඇන්ටෝනියෝ සූසා නම් පෘතුගීසි ජාතිකයකුගෙන් එතූමාට ආරාධනාවක් ලැබීමයි. ඇන්ටෝනියෝ සූසා නුවර ප්‍රදේශයේ ජීවත්වූ පුද්ගලයෙක් විය.ඔහු නිතරම වෙළදාම් කටයුතු සඳහා පුත්තලමට ආ ගිය කෙනෙකි. ඔහු ජුසේවාස් පියතුමා මුණගැසී කන්ද උඩරට විශාල කතෝලික බැතිමතුන් පිරිසක් සිටින බවත් ජනතාවගේ ආගමික කටයුතු ඉටුකර දීමට උඩරට සැපත්වන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම ඔහු උඩරට රාජකීය අධිකරණයේ නිලධාරියෙකු හඳුනන බවත් ඔහු හරහා උඩරට පමිණීමට රජුගේ අවසරය ලබාගත හැකි බවත් පවසන ලදි.

මෙම කාල වකවානුව වන විට ජුවාම් ද බ්‍රැගන්සා නම් පියතුමෙක් පුත්තලමේ මුක්කුවාර්වරු ජීවත්වූ ප්‍රදේශවල සේවය කර ඇත. ජුසේවාස් පියතුමාගේ අරමුණ වූයේ එතුමන්ව යවා කන්ද උඩරට ආරක්ෂාකාරීව අතුල්විය හැකි ක්‍රමයක් සෙවීමයි. හදිසියේම එතුමන් රෝගාතුර වූ බැවින් ජුසේවාස් පියතුමන්ට වෙනත් විකල්පයක් නොවීය. එතුමන් 1690 අගෝස්තු මස ගෝවේ තම ප්‍රධානීන්ට යවන ලද ලිපියකත් මෙය වැඩිදුරටත් සඳහන් වේ. පුත්තලමේ සිට නුවරට සැතපුම් 80ක් පමණ වෙයි. එලෙස ගමන්කළවිට හමුවන වෑඋඩ ප්‍රදේශයේ උඩරට රාජධානියට ඇතුල්වීම සඳහා වන කඩවතක් පිහිටා ඇත. එතැන් සිට තවත් සැතපුම් 18ක් නුවරට ළඟා වීම සඳහා ගමන් කළ යුතුව තිබුණි. ඇන්ටෝනියෝ සූසාගේ නිවස පිහිටියේද වෑඋඩ බැවින් පියතුමාට එහිදී ඔහු හමුවිය. තමන්ගේ නිවසට ජුසේ වාස් පියතුමන්ව ආදරයෙන් පිලිගන්නා සුසා එතුමන්ට තම නිවසේ නවාතැන් පහසුකම් සලස්වා උඩරට අධිකරණයේ සේවය කරන තම හිතවතා සොයා මහනුවරට පියත්විය. ඒ පියතුමාට නුවරට ඇතුළුවීමට අවසර ලබාගැනීම පිළිබඳව එම නිලධාරියා සමඟ සකච්ඡා කිරිම. ජුසේවාස් පියතුමා එහි සිටියදී පෘතුග්‍රීසි ඔත්තුකරුවෙකු යැයි සිතා කන්ද උඩරට දෙවන විමලධර්මසූරිය රජුගේ භටයන් ඔහුව අත් අඩංගුවට ගන්නා ලදී. ඉන්පසුව මහනුවර මහා හිරගෙදර එතුමාව ඔවුහු සිරගත කළහ.

ඉඩෝරයේදී වැසි ලබාදෙයි[සංස්කරණය]

1696දි මහනුවර ප්‍රදේශය පුරාම දැඩි නියං තත්වයක් ඇතිවන්නට විය. ගොවි ජනතාව බොහෝ දුක් මහන්සියෙන් කළ වගාවන් පාළුවන්නට පටන්ගත්තේය. සතුන්ට බීමට ජලය නොමැතිව මිය යන්නට විය. ඉඩෝර කාලය එන්න එන්නම දරුනු වන්නට විය. එය කෙතරම් දරුණුවුවාද කියතොත් මහනුවර රජතුමාටද මෙය මහත් ගැටලුවක් විය. රජතුමාද මේ නියඟයෙන් රට බේරාගැනීමට හැකි හැමදේම සිදුකරන ලෙස තම නිලධාරීනට උපදෙස් දෙන්නට විය. සිදුකල කිසිදු කටයුත්තක් සාර්ථක නොවීය. එන්න එන්නම ඉඩෝරය දරුනු වන්නට විය. රජුට තම හිර භාරයේ සිටින ජුසේවාස් පියතුමා ගැන කණ වැකුණි. ‍රජතුමා ඔහු කැඳවා තමන් අදහන දෙවියන්ට යාච්ඤාකර වර්ෂාව ලබාදෙන ලෙස වාස් පියතුමාගෙන් රජතුමා ඉල්ලා සිටියේය. රජුටත් ජනතාවටත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ලෙස උපදෙස් දුන් වාස් පියතුමා අධික මර්ධන ක්‍රියාවලින් පසු රජමාලිගාව ඉදිරිපිට කුරුසියක් තැබු පීඨයක් තබා දනින් වැටී සියල්ල කළ හැකි දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. [6] මද වෙලාවකට පසු එම ස්ථානයට මහා වර්ෂාවක් ඇද හලෙන්නට විය. නමුත් එතුමාට හෝ පූජාසනයට හෝ එකදු වැහි බින්දුවක් පතිත නොවැටුනේය. මෙම සිද්ධිය 1745දී ලිස්බන් නඟරයේ පලකරන ලද වාර්ථාවකද සඳහන් විය. මෙම සිදුවීමෙන් පසු රජතුමාත් ජනතාවත් වාස් පියතුමා කෙරෙහි දැඩි ගෞරවයක් හා කරුණාවක් දක්වන්නට විය. එපමනකදු නොව ජුසේවාස් පියතුමා නිදහස් කොට මහනුවර ප්‍රදේශයේ ආගමික කටයුතු නිදහස්ව කරගෙන යෑමට එතුමාට පූර්ණ අනුග්‍රහය හිමිවිය. රජුගේ අවසරය ඇතිව ගෝවෙන් තව පියතුමන්ලා කන්ද උඩරටට ගෙන්වා ගැනීමටත් වාස් පියතුමාට හැකිවිය.

මරණයෙන් පසු[සංස්කරණය]

ජුසේ වාස් පියතුමන්ගේ ශුද්ධවන්තභාවය ගැන ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ගෝව පමණක් නොව පෘතුගාලය ආදි යුරෝපා රටවල ද අවධානය යොමුවිය.

භාග්‍යවරයට එසවීම ක්‍රියාදාමය[සංස්කරණය]

ජුසේවාස් මුනිතුමන්ට ගෝවා පුරයේ, කැනරාවේ හා ලංකාවේ ද ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන්ට නොදෙවැනි භක්ත්‍යාදරයක් දේව ජනතාව අතර ප්‍රචලිතව තිබිණි. මේ නිසා ම එතුමාණෝ සගසැපත් වී වසර දෙකක් පිරුණු කල එනම් කි්‍ර.ව. 1713 දී ගෝවේ අගරදගුරු පරිපාලක හා කොචින් රදගුරු අති උතුම් ඩොම් පේඩ්‍රෝ පචෙකෝ හිමිපාණන් විසින් ආරම්භ කරන ලදී. එහෙත් එතුමන්ගේ හදිසි වියෝවෙන් ඒ සියලු කාර්යයන් ඇණහිටීය.

ඉන් අනතුරුව ක්‍රි.ව. 1737 දී ගෝවේ ඔරතෝරියාන නිකාය ද එම කාර්ය ඉදිරියට ගෙන යනු වස් පදවි මට්ටමින් ද, ගෝවා ප්‍රාදේශිකයෙන් ද එතුමන්ගේ භාග්‍යවරයට අවැසි සියලු සාධක ඉදිරිපත් කළ අතර, එකී ලිපි ලේඛන ශුද්ධාසනය වෙත ද ඉදිරිපත් කෙරුණි. එනමුදු සාන්තුවරභාවය සඳහා යෝජනා කළ දී "දේව දාසයා" සම්බන්ධව ශුද්ධාසනයට ඉදිරිපත් කළ ලේඛන සාන්තුවරයන් පිළිබඳ සංසදය අපේක්ෂා කරන අංග ඒ තුළ නොමැති විය. මේ නිසාම 14 වන ඛෙනඩික් පාප්තුමන් එකී වාර්තාවන් ප්‍රතික්ෂේප කොට, යළිත් මුල සිට කටයුතු අරඹන්නට නියෝග කළේය. තවද එතුමන් ස්වර්ගස්ථ වී වසර 29 ක් ගිය කල එනම්, ක්‍රි.ව. 1740 දී එවකට කොචින් රදගුරු ජේසු නිකායික අති උතුම් ඩොම් ෆ්‍රැන්සිස් ද වස්කොන්සෙල්ලොස් හිමිපාණෝ ශුද්ධාසනය වෙත ආයාචනාවක් ද ඉල්ලීමක් කරමින්, මෙම ක්‍රියාදාමය නොනවත්ව ක්‍රියා ලෙස ආයාචනා කර සිටියේය.

ඒ පිළිබඳ සලකා බැලූ ශුද්ධාසනය ද 14 වන ඛෙනඩික් ශුද්ධෝත්තම පියතුමා ද ක්‍රි.ව. 1742 සැප්තැම්බර් මස 27 වන දින දී "දේව සේවක" ජුසේවාස් පියතුමා සාන්තුවර භූමිකාවට සුදුසු යැයි තීරණය කොට ශු. සභාවේ දී "වන්දනීය" තත්ත්වයට එතුමාණන් එසැවීය. ඒත් සමගම ක්‍රි.ව. 1747 දී වන්දනීය ජුසේ වාස් පියතුමාගේ් ඥාති පුත්‍ර ගරු සෙබස්තියන් ද රේගෝ් පියතුමා විසින් Vida do Veneravel Jose Vaz නමින් පෘතුගීසි බසින් ප්‍රථම වරට ජුසේ වාස් මුනි චරිතාපදානය ග්‍රන්ථාරූඨ කළේය. ක්‍රි.ව. 1835 දී "පද්‍රෝ - ආඩෝ" ගිවිසුම තුළ පෘතුගාල රජය විසින් තම යටත් විජිත රටවල ධර්මදූතික කටයුතු අත්හිටුවාලූ නිසා එතැන් සිට නැවතත් භාග්‍යවර ක්‍රියාදාමය ක්‍රියාත්මක නොවීය.

ඒ නිසා ම දී "ගෝවා පුරයේ" ජුසේ වාස් මුනිතුමා විසින් ස්ථාපනය කරන ලද ඔරතෝරියාන සංඝය ද, විනාශ විය. ඒ වසර 150 ක දිගු කාලයක් පුරාවට ඕලන්ද පීඩන නොතකා අභීතව මෙරට ධර්මදූතික මෙහෙවරෙහි යෙදුනායි පසුවය.

මේ අතර මේ කාලයේ දී ලංකාවේ ධර්මදූතික මෙහෙවර උදෙසා ඉතාලි, ප්‍රංශ, නිකායික ධර්මදුතවරු පැමිණි අතර ඔවුහු ඉන්දීය ඔරතෝරියාන නිකායික පියවරුන් අතර සුහදත්වයක් මෙන් ම සහයෝගිතාවයක් නොදැක්වීය. තවද මේ දෙපිරිස අතර වූ භේදය ද " පද්‍රෝ - ආඩෝ භේදය" ලෙස සැලකේ. ගෝවේ අගරදගුරුතුමා භාරයේ ලංකාව තුළ රදගුරු වසම් පිහිටුවීමෙන් පසුවද මීසම් හා දේවස්ථාන පැවතිණි. ඒ නිසා ම මෙකල ලංකාවේ විසූ සභා ශ්‍රේෂ්ඨයෝ එකල සිටි ඔරතෝරියාන ධර්මදූතවරුන්ගේ දෘෂ්ටිකෝණයෙන් ජුසේ වාස් මුනිතුමාවද බලන්නට විය. මේ නිසාම එකල සිටි බටහිර මිෂනාරිවරුන්ගේ දැක්මට අනුව ආසියාවේ උපන් මේ අග්‍රගන්‍ය අපෝස්තුළුවරයාණන් භාග්‍යවරයට එසැවීමට ඔවුහු එතරම් උනන්දුවක් නොදැක්වූහ. මෙලෙස යටගියා වූ මෙම කාර්යය නැවත ඉස්මතු වූයේ ක්‍රි.ව. 1887 සිට 1911 දක්වා නැගෙනහිර ඉන්දියානු ප්‍රදේශවල අපෝස්තලික තානාපතිව වැඩහුන් අති උතුම් ලැඩිස්ලාස් මයිකල් සෙලෙස්කි හිමිපාණන්ගෙන් සුවිශේෂී දායකත්වය නිසාවෙනි. ක්‍රි.ව. 1896 දී එතුමා ප්‍රථම වරට Apostle of Ceylon හෙවත් "ලංකා අපෝස්තුළුවරයාණෝ" නමින් ජුසේ වාස් මුනි චරිතය ඉංගී්‍රසි බසට පරිවර්ථනය කොට මුද්‍රණය කරන ලදී. මෙ මගින් සිරිලක තුළ දී වැළලී තිබූ ජුසේවාස් පිය බැතිය යළිදු නංවාලන්නට එතුමාට හැකිවිය. තවද එකල ලක්දිව රදගුරු වසම් තුනක් පැවති අතර ඒ රදගුරු සමුඵ වලට සෙලස්කි හිමිපාණෝ පෞද්ගලිකව ප්‍රකාශ කළේ ජුසේ වාස් මුනි බැතිය නංවාලීමටත් එතුමාණන් මිහිදන්කර ඇති ස්ථානය සෙවීමටත් ය. සිය කෘතියට ලියූ පෙරවදනේ සෙලෙස්කි හිමිපාණෝ මෙසේ සඳහන් කර ඇත.

"සසුන්පති අටවන උර්බානු සුදතුම් පියතුමාගේ නියෝගයන් වලට අනුකූලව, මම කිව යුත්තේ, ජුසේවාස් පියතුමාගේ ශුද්ධවන්තභාවය පිළිබඳව මා තුළ අංශුමාත්‍රයකවත් සැකයක් නොමැති බවයි. ජුසේවාස් පියතුමා ගැන මා ඉදිරිපත් කළ කරුණු මෙහිලා මතක සටහනට ඇතුළත් කර ඇති විශ්මයජනක සත්‍ය කරුණු ද එහිලා මා ගත් තීරණ ද, සභා මාතාවගේ විනිශ්චයට යටත් කරමි...."

මෙලෙස අවස්ථා කීපයක දී ගෝවෙන් හා ලංකාවෙන් මේ කර්තව්‍ය සඳහා සවිමත් සැලැස්මක් හා දැක්මක් නොතිබිණි. වර්ෂ 1954 දී ඉන්දියාවේ බොම්බායේ පැවති මරිය සම්මේලනයට, පාප්වහන්සේගේ නියෝජිතයා ලෙස සහභාගි වූ අති උතුම් ග්‍රාසියාස් කාදිනල් හිමිපාණන් හට වන්දනීය ජුසේවාස් පියතුමා සාන්තුවරයකු කරන ලෙස ඉන්දීය, පකිස්ථාන, බංග්ලාදේශ හා ශ්‍රී ලාංකේය රදගුරු සමුඵ අත්සන් කළ පෙත්සමක් 12 වන පියුස් සුදු පියාට බාර කරන ලදී. එනමුදු ඊට පෙර ගෝවේ අගරදගුරු පේත්‍රාක් ඩී. තියෝටෝනියෝ එම්. ආර්. වියේරා ද කොස්තා හිමිපාණෝ ගෝවා පුරයෙන් අවශ්‍ය තොරතුරු එක් රැස් කිරීමට සංසදයක් පිහිටු විය. මේ සමගම ශ්‍රී ලංකාවේ එවකට කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණෝ ද ජාතික ජුසේවාස් ලේකම් කාර්යාංශයක් පිහිටුවාලමින් එවකට සිටි මහනුවර රදගුරු අති උතුම් පෝල් පෙරේරා හිමිපාණන් හට එහි භාරකාරත්වය පැවරිය. 1955 දී හලාවත රදගුරු අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා ද වන්දනීය ජුසේවාස් පියතුමා භාග්‍යවරයට ඔසවන්නැයි ඉල්ලා 62,000 ජනතා පෙත්සමක් ශුද්ධාසනයට ඉදිරිපත් කර ඇත. 1958 ද, 1962 යන අවස්ථා දෙකකදී කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණෝ ශුද්ධෝත්තම පියතුමන් වෙත සිහි කැඳවීම් ද ඉදිරිපත් කළේය.

එවකට ශුද්ධාසනයේ ශුද්ධවතුන් භාර සංසදය ද භාග්‍යවත් ජුසේවාස් මුනිදුන් පිළිබඳවත්, එතුමන්ගේ සුදුවර භූමිකාව පිළිබඳවත් පර්යේෂණාත්මක වාර්තාවක් පළ කරන ලෙස ඉල්ලීය. මෙම පර්යේෂණාත්මක කෘතිය වසර 10 ක කාලයක් පුරාවට ම රෝමයේ සිට එහි ලේඛන එකිනෙක පිරික්සාලමින් ඉමහත් කැපවීමෙන් හා නිවැරදිව සම්පාදනය කළේ හලාවත පදවියේ ගරු ජෝ. කුවින්ටස් පියතුමාණෝය. Postio Historica de Padre Iose Vaz නම් මෙම කෘතිය පිටු 1024 කින් සමන්විතය. මෙතුමා වනාහි භාෂා 16 කින්, සමන්විත උගතෙකි.

මේ අනුව එම පර්යේෂණ වාර්තාව 1987 සාන්තුවරයින් භාර වතිකාන සංසදයට භාර දුන් අතර නැවත වරක් සභා නිල මට්ටමින් 1989 මැයි 19 වන දින එතුමන්ට "වන්දනීය" නාමය නිල වශයෙන් පිරිනැමුණි. තවද "වන්දනීය වූ පුජනීය වූ " නම් ජුසේ වාස් මුනි සමරු ගීතිකාව ජේ. කේ එස් . පෙරේරා ශුරින් විසින් රචනා කරන ලදී.

එහෙත් භාග්‍යවරයෙක් යැයි ප්‍රකාශ කිරීමට ඉහළ මට්ටමේ සභාව පිළිගත් ප්‍රාතිහාර්යයක් අවැසි විය. එය වනාහි ක්‍රි.ව. 1938 නොවැම්බර් 27 වන දින සිදුවූ ගරු කොස්මේ කොස්තා පියතුමාගේ උපත වේ. ගෝවේ කැරෝනා ඇල්ඩෝනා නම් ගමේ විසූ ක්‍යුටෙරියා නෙරෝ ද කොස්තා මහත්මියට තිබූ ගර්භිත, දෝෂ සහිත වීමකි. එනම් 1930 දී සිදුවූ ඇගේ දියණියගේ උපතින් පසු ඇයගේ ගැබ් ගැනීම් සියල්ලක් ම ගබ්සා විය. මෙහිදී වෛද්‍ය උපදෙස් වූ මින් ඉදිරියට දරුවන් ඇයට නොලැඛෙන බවයි.

මෙහිදී ඇය හා ඇයගේ සොහොයුරිය සැන්කෝආලේ ග්‍රාමයට පැමිණ භාග්‍යවත් ජුසේ වාස් මුනිදුන් කෙරෙහි බැතියෙන් දරුඵල අපේක්ෂාවෙන් යදින්නට වූහ. ඔවුන්ගේ ඉල්ලීම සර්වප්‍රකාරයෙන් සාර්ථක විය. ඒ ගරු කොස්මේ කොස්තා පියතුමා තුළිනි. තවද සිය බිළිදු උපත ලබද්දී ඒ උපත ද පුදුමාකාර විය. මවගේ ගර්භාෂය තුළ අභ්‍යන්තර ලේ ගැලීමක් ද, සිදුවිය.ළදරුවා මෙලොව එළිය දුටුවේ ද නොමේරූ දරුවකු ලෙසට ය.

උපදින විට බර රාත්තල් 2 1/2 ක් පමණ වූ මෙතුමා පිළිබඳව බොහෝ වෛද්‍යවරුන්ගේ මතය පිළිගැනීම වූයේ දරුවා ජීවත් නොවන බවයි. එනමුදු වෛද්‍ය විද්‍යාව අභිබවා යමින් 1938 නොවැම්බර් 27 වන දින උපත ලද කොස්මේ ජෝසප් වාස් කොස්තා පියතුමාගේ උපත පළමු පෙළේ ප්‍රාතිහාර්යයක් බව ශුද්ධාසනය විසින් පිළිගන්නා ලදී. ඒ අනුව "භාග්‍යවරයෙක්" ලෙස ප්‍රකාශ කිරීමට වූ අවැසිව තිබූ ප්‍රාතිහාර්යයද සම්පූර්ණ විය.

භාග්‍යවරයට එසවීමේ මහෝත්සවය[සංස්කරණය]

1993 ජුලි මස 06 වන දින ශුද්ධෝත්තම පියතුමන් ප්‍රමුඛ ශුද්ධවතුන් භාර සංසදය පිළිගත් අතර පළමු පෙළේ ප්‍රාතිහාර්යයක් බව ශුද්ධාසනය විසින් පිළිගන්නා ලදී. ඒ අනුව භාග්‍යවරයෙක් ලෙස ප්‍රකාශ කිරීමට වූ අවැසිව තිබූ ප්‍රාතිහාර්යයද සම්පූර්ණ වූ නිසා භාග්‍යවරයට එසවීමේ නිල උත්සවය පැවැත්වීමට විධිවිධාන සකස් කරන ලදී. ඒ සදහා වූ ප්‍රධාන කෙටුම්පත මහනුවර රදගුරු අති උතුම් ජෝශප් වියානි ප්‍රනාන්දු හිමිපාණන් විසින් ද ප්‍රධාන ආයාචනාකරු (Postulator) වූ ගරු. මයිකල් පිට්ස්පැට්‍රික් ( නි.ම.නි.) පියතුමන් විසින් ශුද්ධාසනය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ සදහා එතුමන්ට සහය වුයේ ගෝවේ උර්බිනිනෝ මොන්ටෙයරෝ පියතුමන් සහ ලංකාවේ ගරු. ඇලෙක්ස් දසනායක යන පියවරුන්ය. භාග්‍යවරයට එසවීමේ මහෝත්සවය සදහා තීරණ තුනක් විය. පළමුවැන්න වුයේ - එය රෝමයේ දී පැවැත්වීය යුතු බවයි. දෙවැන්න වුයේ - ජුසේ වාස් පියතුමන් ඉන්දියාවේ ගෝවේ පුත්‍රයෙකු නිසා ගෝවා පුරයේදී එය දී පැවැත්වීය යුතු බවයි. තුන්වැන්න වුයේ - එතුමන් ලංකාවේ අපෝස්තුළුවරයාණන් වූ නිසා එය ලංකාවේ පැවැත්වීය යුතු බවයි. කෙසේ වෙතත් මෙහි මුලික අයිතිය ශ්‍රී ලංකාව සතු වීම නිසාත් මෙහි කෙටුම්පත මහනුවර රදගුරුතුමන් විසින් ශුද්ධාසනය වෙත ඉදිරිපත් කරන ලද නිසාත්, ජුසේ වාස් මුනිතුමන් ලංකා පොළවේ මිහිදන් වී ඇති නිසාත් භාග්‍යවරයට එසවීමේ මහෝත්සවය ලංකාවේ පැවැත්වීය යුතු බවට තීරණය විය.[උපුටාදැක්වීම අවශ්‍යයි] සමාන්‍යයෙන් භාග්‍යවරයට එසවීමේ මහෝත්සවය පවත්වන්නේ ශුද්ධෝත්තම පියතුමාගේ මුලාසන හෙබවිමෙනි. එම නිසා එකල ලක්දිව කතෝලික රාජගුරු මණ්ඩලය විසින් තම අද්ලිමිනා සංචාරය නිමිත්තෙන් ශුද්ධෝත්තම පියතුමාට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී. ශුද්ධෝත්තම පියතුමා විශ්ව කතෝලික සභාවේ අධ්‍යාත්මික නායකයාණන් පමණක් නොව ලොව කුඩාම රාජ්‍ය වන වතිකාන රාජ්‍යයේ රාජ්‍ය නායකයා ද වන නිසා රදගුරුතුමන්ලාගේ ආරාධනාවට අමතරව රාජ්‍ය නායකයා ලෙස එකල ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු. ඩි. බි. විජේතුංග මැතිතුමන් විසින් ද, ශ්‍රී ලංකාවට සපැමිණෙන ලෙස දෙවන ජුවාම් පාවුළු සසුනිසුරාණන්ට ආරාධනා කළ අතර 1995 ජනවාරි මසට යෙදී තිබුණු ලෝක කිතුනු යොවුන් දින මහෝත්සවය සදහා පිලිපීනයේ මැනිලා නුවර සිට රෝමයට ආපසු වඩින ගමනේදී ප්‍රථමයෙන් පැපුවා නිව් ගිනියාවට ද, දෙවනුව ඔස්ට්‍රේලියාවට ද ගොස් ශ්‍රී ලංකාවට සැපත් වන බවද ශ්‍රී ලංකාවේ පැය 25 ක කාලයක් ගත කරන බවද දැනුම් දුන් අතර, 1994 අප්‍රියෙල් මස 25 වන දින වතිකාන ගුවන්විදුලිය තුලින් ශුද්ධෝත්තම පියතුමාගේ ලංකාගමනය පිළිබද නිල වශයෙන් දැනුම් දෙන ලදී. ඒ අනුව එකල කොළඹ අගරදගුරු අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ මගපෙන්වීම තුළ එකල කොළඹ සහය රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පිහිටවූ අතර එහි අනුකමිටු 15ක් ආරම්භ කෙරුණි. ඒ අනුව ඒ ඓතිහාසික දිනය 1995 ක් වූ ජනවාරි මස 20 වන දින පස්වරු 3.00 ට ඔස්ට්‍රේලියානු ක්වෙන්ටස් නම් ගුවන්යානයෙන් කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපලෙන් අති උත්තම දෙවන ජුවාම් පාවුළු සසුනිසුරාණන් මෙරටට සම්ප්‍රාප්ත වුන් සේක. එකල ලක්දිව කතෝලික රාජගුරු මණ්ඩලය සහ රජය වෙනුවෙන් ඉතා හරසරින් මෙතුමන් පිළිගනු ලැබූ අතර , විශේෂ රථ පෙරහැරකින් මෙතුමන්ව කොළඹ කරා රැගෙන යන ලදී. ඒ යන ගමනේදී කටුනායක සීදුව, ජා- ඇල, කදාන , වත්තල ........ආදී පෙදෙස් වල විසු කිතුනුවන්ගේ ඔල්වර හඩ මැද කොලොම්පුරයට එන ගමනේදී කොච්චිකඩේ ශු. අන්තෝනි සිද්ධස්ථානයට පැමිණීමද සුවිශේෂී වේ. ඉන් අනතුරුව පස්වරු 4.30 ට ජනාධිපති ලේකම් කාර්යාංශය වෙත වැඩම කළ එතුමාණෝ එකල ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හමුවූ අතර සුහද පිලිසදරකින් පසු ප.ව. 6.00 ට කොටහේන ශා. ලුසියා ආසන දෙව්මැදුරට සපැමිණි මෙතුමාන්ව පිළිගනු ලැබුවේ බදුල්ල රදගුරු අති උතුම් එඩ්මන්ඩ් ජේ. ප්‍රනාන්දු (නි.ම.නි. ) හිමිපාණන් විසිනි. එහිදී එතුමන් ලාංකේය ශු.සභාවේ රදගුරු , පුජක, පැවදි සියල්ලන් සහ එක්ව සැදෑ යාම යැදුම සිදුකල අතර , සියල්ලන් සමග බෙදා ගත් පණිවුඩය වුයේ

"  ජුසේවාස් පියතුමා රදගුරු, පූජක, පැවිදි සහ ගිහි සෑමකෙනෙකුටම පෙනෙන ආදර්ශයකි. මේ දෙවි සමිදාණන්ට ප්‍රසන්න වසරයි. ජුසේවාස් පියතුමා භාග්‍යවරයට එසවීම මගින් සියළු ශ්‍රී ලාංකික කතෝලිකයනට පරිශුද්ධත්වය සහ සුවිශේෂය ප්‍රකාශ කිරීම සඳහා අභියෝග එල්ල වී ඇති වසරයි. ඔබ රටේ ජනතාව නිතර බැතියෙන් පුද දුන් සසුනේ මෑණියන් වන මරිය මව මේ සියල්ල ජය ගැනීමට ඔබට සහය දෙත්වා......" යන්නයි. 

එදින රාත්‍රියේ අපෝස්තලික තානාපති නිල නිවසේ නවාතැන් ගත් මෙතුමාණෝ පසු දින උදැසන බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සෙසු ආගමික නායකයන්ට හදුන්වා දෙනු ලැබිය. එතැනින් එතුමන් කොළඹ ගාලු මුවදොර පිටියට සම්ප්‍රාප්ත වූ අතර ලක්ෂ 5ක පමණ ජනසමුහයක් එතුමන් පැමිණෙන තෙක් පෙර දින සිට මග බලා සිටි අතර උදැසන 9.15 සසුනිසුරාණෝ ජනතාවට ආශ්‍රීර්වාද කරමින් දිව්‍ය යාගය පිදීමට පැමිණි අතර ලක්දිව රදගුරුවරුන් සහ ඉන්දීය රදගුරුවරුන් ඊට එක්වීම ද සුවිශේෂී වේ. විවෘත වේදිකාවක් මත දිව්‍ය යාගය පුදකිරීමට සුදානම් කර තිබු අතර , එය මහනුවර යුගයේ කැටයම් වලින් සමන්විත වී තිබුණි. මෙය සුප්‍රකට කලාවේදී මාපලගම විපුලසාර හිමියන්ගේ අනුශාසකත්වය තුල ගරු. ප්‍රියන්ත සිල්වා පියතුමාගේ නිර්මාණයකි. වාර්ගික අර්බුදය පැවතුනත් උතුරු, නැගෙනහිර කිතුනුවන් ද මේ දිව්‍ය යාගයට හවුල් වීම සුවිශේෂී වේ.

මෙහිදී මෙරට ජාතින් නියෝජනය කරමින් සසුනිසුරාණන් පිළිගත් අතර ලාංකේය ශු. සභාව නියෝජනය කරමින් කොළඹ අගරදගුරු අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් සහ යාපනය රදගුරු අති උතුම් තෝමස් සෞන්ද්‍රනායගම් හිමිපාණන් විසින් පිළිගන්නා ලදී. දිව්‍ය යාගය ආරම්භ වීමත් සමගම මහනුවර රදගුරු අති උතුම් ජෝශප් වියානි ප්‍රනාන්දු හිමිපාණන් විසින් වන්දනීය ජුසේ වාස් පියතුමන් භාග්‍යවරයට ඔසවන ලෙස දෙවන ජුවාම් පාවුළු සසුනිසුරාණන්ගෙන් අයැද සිටි අතර එතුමන්ගේ චරිතාපදානය ප්‍රකාශ කරන ලද්දේ ගෝවේ අගරදගුරු පේට්‍රියාක් අති උතුම් රාහුල් ගොන්සාල්වෙස් හිමිපාණන් විසිනි. ඉන් අනතුරුව ශුද්ධෝත්තම පියතුමා විසින් වන්දනීය ජුසේ වාස් පියතුමන් භාග්‍යවරයට එසවීමේ ප්‍රකාශනය සිදුකල අතර සැදැහැවත් සියල්ලෝ "ආමෙන්" යයි හඩනගා ඔල්වර සන් දෙමින් දෙවිදුන්ට තුති පිදුහ. ඉන් පසුව මහිම ගියේ සිට දිව්‍ය යාගයේ ඉතිරි කොටස ආරම්භ වූ අතර එදින එතුමන් විසින් පැවසු දේශනය කොටසක් මෙසේය.

".......ශ්‍රී ලංකාවේ කිතුනුවනි, ජුසේ වාස් පියතුමාගේ පණිවුඩය කුමක්ද? ඔබගේ පවුල් තුළ සහ ඔබගේ කුඩා ජන කොට්ඨාශ තුළ සුභාරංචියේ අප්‍රතිහත සාක‍ෂිකරුවන් වීමට භාග්‍යවන්ත ජුසේ වාස් මුනිතුමා ඔබ දිරිමත් කරයි. ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් තුන්වන දහස් වසර සැමරීමට ආසන්නයේ සිටින අපි ක්‍රිස්තුන් වහන්සේ ගෙන් ලැබූ ධර්මදානයේ වරම යළි පණ ගැන්වීමට කැඳවනු ලැබ සිටිමු. නව ධර්මදානයේ අභියෝගවලට මුහුණ දීමටද අපි කැඳවනු ලැබ සිටිමු. මේ මහද්වීපය තුළ වෙසෙන ජනතාව අතර සුභාරංචියේ සත්‍යතාවයන් සහ පුරුෂාර්ථයන් ක්‍රියාශීලිව ඉගැන්වීමේ වඩාත් හොඳම ක්‍රමය වන්නේ ජීවිත පාරීශුද්ධත්වයයි. ආසියාවේ ගෞරවණීය සම්ප්‍රදායන් වන නිහැඬියාව නිසල බව ධ්‍යානය භාවනාව යාච්ඤාව තමා ත්‍යාජ කිරීම වැනි දේවලට පූර්ණ අර්ථයක් ලැඛෙන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මානූභාවය සමග මුහුණට මුහුණ මුණගැසුණු ජීවිතයක් ගත කිරීම තුළයි. සමිදාණෝ එකම දෙවිඳුන් බව ඔබගේ සාක‍ෂිය තුළින් ලෝකයේ සියළු ජාතීන් දැනගනු ඇත. ....." දිව්‍ය යාගයෙන් පසුව දිවා භෝජනය සදහා අගරදගුරු නිවසට පැමිණි සසුනිසුරාණෝ ඉන් පසුව ප.ව. 4.00 ට කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපලෙන් Air Lanka ගුවන් යානයෙන් රෝමය බලා ගමන් ගත්තේය. වන්දනාකරුවකු ලෙස තම බැහැදැකීම සංකේතවත් කරමින් සසුනිසුරාණෝ සිය බැහැපත්කම සහ නිහතමානිත්වය විදහා පාමින් ලාංකේය කිතුනු සභා ඉතිහාසයේ ස්වර්ණමය දිනයක් ලෙස සනිටුහන් කිරීම සුවිශේෂී වේ.

ඒ අනුව 1995 ජනවාරි 21 වන දින වශයෙන් කොළඹ ගාලු මුවදොර දී දෙවන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමා විසින් ජුසේවාස් පියතුමාව නිල වශයෙන් "භාග්‍යවරයට" ඔසවන ලදී. භාග්‍යවරයට එසැවීමෙන් පසු එතුමන් පිළිබඳ බැතිය ප්‍රචලිත වනුයේ ලංකාවේ හා ඉන්දියාවේ පමණි.

ශුද්ධවරයට එසවීම[සංස්කරණය]

ක්‍රි.ව. 2000 ජනවාරි 16 වන දින ගෝව සහ ඩමාන් යන අගරදගුරු වසමේ නාම සාන්තුවරයා ලෙස ජුසේ වාස් මුනිදුන් නම් කල අතර 2011 වසරේදී එතුමන්ගේ සග සැපත් තෙවන මහෝත්සවය උත්සවශ්‍රීයෙන් තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ සැමරීමද සුවිශේෂී විය. ශුද්ධවරයට එසවීමෙහිලා අවැසි මූලික තත්ත්වයේ ප්‍රාතිහාර්ය කීපයක් දැනට ලැබී ඇති අතර ඉන් පළමුවැන්න ලෙස ඇමරිකාවේ පදිංචි ලාංකේය වෛද්‍ය යුවළගේ අත්දැකීම නම් කළ හැකිය. මේ ප්‍රාතිහාර්යයට අමතරව තව බොහෝ ප්‍රතිහාර්යයන් ද වාර්තාගත වී ඇති අතර, ඒවා පිළිබඳව ද ශුද්ධාසනය වෙත යොමු කෙරුණි. එතුමන් ශුද්ධවරයට එසවීම සදහා ලාංකේය රදගුරු මණ්ඩලය විටින් විට ශුද්ධාසනයට ආයාචනා කල අතර , 2014 වසරේ එතුමන්ලාගේ අද්ලිමිනා සංචාරය මෙහිදී සුවිශේෂී වන්නේය. ඒ අවස්ථාවේදී සියලුම රදගුරුතුමන්ලා විසින් සසුනිසුරාණන්ගේ ලංකාගමනය හේතු කොට මේ වරම ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී. මේ සදහා සුවිශේෂී මෙහෙවරක් සිදුකරන ලද්දේ අති උතුම් වියානි ප්‍රනාන්දු හිමිපාණන් සහ අති ගරු. ඇලෙක්ස් දසනායක පියතුමා විසිනි. ගරු. දසනායක පියතුමා සිය රෝගිබව වුවද පසෙකලා අවැසි ලේඛන සකස් කල අතර ඒ සදහා ගෝවේ එරමිටෝ රෙඛෙල්ලෝ පියතුමාද දැක්වුයේ ප්‍රබල සහයෝගයකි. ඒ සදහා වූ ප්‍රධාන ලේඛනය වන්නේ Postio Super Canonica Cione නම් කෘතියයි. ප්‍රධාන ආයාචනකාර තැම්පත් අති ගරු. තෝමස් ක්ලෝස්ටර් ක්ලෑම්ප් ( නි.ම.නි.) පියතුමා, ගරු. රෝමෝල්ඩෝ රොබින් රොඩි්‍රගස් පියතුමා , ගරු. ඇන්තනි ප්‍රනාන්දුපුල්ලේ පියතුමා සහ ජුසේ වාස් ලේකම් කාර්යාංශය මෙම කාර්යයේ නිරත වුණු ප්‍රබල පිරිසක් ලෙස නම් කළ හැකිය. තවද අවස්ථා කීපයකදී ශ්‍රී ලාංකේය රදගුරු සමුළුව ශුද්ධෝත්තම පියතුමන් වෙත සිහිකැදවීම් සිදුකරන ලදී.ඒ අතර 2014 වසරේ ශ්‍රී ලාංකේය රදගුරු සමුළුවේ අද්ලිමිනා සංචාරය සුවිශේෂී වේ. 2014 සැප්තැම්බර් 17 දින වතිකානුව විසින් භාග්‍යවන්ත ජුසේ වාස් පියතුමන්ව ශුද්ධවරයට ඔසවනු ලබන බව නිළ වශයෙන් නිවේදනය කළේය. එම සුවිශේෂී කාර්ය සිදුවුයේ 2015 ජනවාරි 13 සිට 15 දක්වා යෙදී තිබු අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරේදිය. 2015 ජනවාරි 15වන දින කොළඹ ගාලු මුවෝදර පිටියේ පැවත්වු විශේෂ දිව්‍ය පුජා යාගයේදී ලක්ෂ සංඛ්‍යාත ජනාතාවගේ යාච්ඤා හඬ මැද ජුසේ වාස් පියතුමන්ව ශුද්ධවරයට ඔසවන ලදී.

ජුසේ වාස් මුනිදුන්ගේ සාන්තුවර ක්‍රියාදාමයේ නියමුවෝ[සංස්කරණය]

රදගුරු හිමිවරුන් කොචින් රදගුරු අති උතුම් ඩොම් පේඩ්‍රෝ පචෙකෝ හිමිපාණන් කොචින් රදගුරු ෙජ්සු නිකායික අති උතුම් ඩොම් ෆ්‍රැන්සිස් ද වස්කොන්සෙල්ලොස් හිමිපාණෝ අති උතුම් වින්සන්ට් රොසයිරෝ ( ඔරතෝරියාන ) හිමිපාණෝ අති උතුම් කයිතානෝ අන්තෝනියෝ ( ඔරතෝරියාන ) හිමිපාණෝ අති උතුම් ලැඩිස්ලාස් මයිකල් සෙලෙස්කි හිමිපාණන් ගෝවේ අගරදගුරු පේත්‍රාක් ඩී. තියෝටෝනියෝ එම්. ආර්. වියේරා ද කොස්තා හිමිපාණෝ කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණෝ හලාවත රදගුරු අති උතුම් එඩ්මන්ඩ් පීරිස් ( නි.ම.නි.) රදගුරුතුමා අති උතුම් ජේකබ් බැස්ටියම්පිල්ලේ දියෝගුපිල්ලේ හිමිපාණෝ මහනුවර රදගුරු අති උතුම් පෝල් පෙරේරා හිමිපාණන් මහනුවර රදගුරු අති උතුම් ජෝශප් වියානි ප්‍රනාන්දු හිමිපාණන් හලාවත රදගුරු අති උතුම් ප්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් කුරුණෑගල රදගුරු අති උතුම් රේමන්ඩ් පීරිස් හිමිපාණන් ගෝවේ අගරදගුරු පේත්‍රාක් රාහුල් ගොන්සාල්වෙස් හිමිපාණන් ගෝවේ අගරදගුරු පේත්‍රාක් පිලිප්නේරි ෆේරෝ හිමිපාණන්

පියවරුන් ගරු සෙබස්තියන් ද රේගෝ් පියතුමා ගරු. එස්. ජී. පෙරේරා ( ෙජ්.නි.) පියතුමා ගරු. දොන් පීටර් පියතුමා ගරු. ක්ලෝඩ් ලෝරන්ස් ( නි.ම.නි.) පියතුමා ගරු. විටෝ පර්නියෝලා ( ෙජ්.නි.) පියතුමා ගරු. පිලිප් කැස්පර් ( සා.ඛෙ.නි.) පියතුමා ගරු ජෝ. කුවින්ටස් පියතුමා ගරු. පිටර් සුවාරිස් පියතුමා ගරු. තියඩෝර් පීරිස් පියතුමා ගරු. අර්නස්ට් පෝරුතොට පියතුමා ගරු. ජෝශප් ඇලෝසියස් දසනායක ( නි.ම.නි.) පියතුමා ගරු. ඇලෝසියස් පීරිස් ( ෙජ්.නි.) පියතුමා ගරු. මැනුවෙල් ගෝමිස් පියතුමා ගරු. මයිකල් මස්කරෙන්හස් ( දො.සැ.නි.) පියතුමා ගරු. ජෝන් පෙරෙයිරා පියතුමා ගරු. එස්. තෝමානුපිල්ලෙයි ( නි.ම.නි.) පියතුමා ගරු. ඩෙනිස් ෙජ්. පෙරෙයිරා පියතුමා ගරු. පියෝ චියම්පා ( ෙජ්.නි.) පියතුමා ගරු. ලුවී මාරි නවරත්න ( සා.ඛෙ.නි.) පියතුමා ගරු. ජුසේප්පේ ද ලිඛෙරෝ පියතුමා ගරු. කාර්ලෝ ගස්බරි පියතුමා ගරු. ෙජ්ම්ස් ෆිල්ප් පැටි්‍රක් ( නි.ම.නි.) පියතුමා ගරු. මාර්ටින්ස් ද වේගා ( නි.ම.නි.) පියතුමා ගරු. උර්බිනියෝ මොන්ටෙරියෝ පියතුමා ගරු. ඇලෙක්ස් දසනායක පියතුමා ගරු. ඇන්තනි ප්‍රනාන්දුපුල්ලේ පියතුමා, ගරු. පීටර් සුවාරිස්

ගිහි සැදැහැවතුන් දොන්. එස්. බර්නාදු මහත්මා,ජේ.කේ. එස්. පෙරේරා මහත්මා ඩි. එල්. සී. ප්‍රනාන්දු මහත්මා රිචඩ් පිරිස් මහත්මා එමිල් එලායස් මහත්මා සිරිල් ජයසේකර මහත්මා සවරිමුත්තු ඒබ්‍රහැම් මහත්මා,රෝගී කුරේරා ,ෂෙල්ටන් ප්‍රනාන්දු, අසේල දසනායක, රේමන්ඩ් ප්‍රනාන්දු , ආර්. ක්‍රිස්ටෝෆර්, තියෝබෝල්ඩ් සමරතුංග, විවියට් මියර්වෝල්ඩ්

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  • ශ්‍රී ලංකාවේ ධර්මදූතයාණන් වූ වන්දනීය ජුසේවාස් පියතුමා / අති උතුම් ලදිස් ලාවූස් මිචෙල් සලෙස්කි අගරදගුරු හිමි. ක්‍රි.ව 1895.
  • මෙය හාස්කමක්ද? ශ්‍රී ලංකාවේ අපොස්තු`ඵවර වන්දනීය ජුසේවාස් පියතුමා - ශ්‍රී ලංකා රදගුරු සමු`ඵව, 1987
  • ජුසේවාස් පියතුමාගේ ලක්දිව ධර්මදූත මෙහෙය - නිමල් ද සිල්වා 1994
  • එදා මෙදා තුර - දෙමංගල මහෝත්සවය 1995 - ගරු සිරිල් ගාමිණී පියතුමා
  • හලාවත පදවි පන්නරය, ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා, 2006
  • සුදුවරයට ඔසවන ජෝශප් වාස් නම් යාචකයා - ලෝරන්ස් ප්‍රනාන්දු - 1994
  • ලක්දිව කතෝලික පීඩන සමය - ඩබ්.එල්.ඒ. දොන් පීටර් පියතුමා -
  • බෝලවත්තේ කතෝලික ඉතිහාසය - අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමිපාණෝ - 1950
  • ශ්‍රී ලංකා අපෝස්තුඵවර භාග්‍යවන්ත ජුසේවාස් මුනිිතුමා - ශාන්ත ලාල් හෙට්ටිආරච්චි - 2002
  • ලංකාවේ අපෝස්තුඵවර ජුසේවාස් පියතුමාගේ ධර්ම චරිතය - දොන් එස් බර්නාදු - 1936
  • ශ්‍රී ලංකාවේ අපෝස්තුඵවරයාණෝ - හලාවත පදවිය - 2003
  • ගෝවෙන් ආ අමුත්තෙක් - කුසුම් වෛද්‍ය රත්න - 2012
  • ඕලන්ද යුගයේ වීරෝධාර කතෝලිකයෝ - අසේල දසනායක ජ් 2013
  • Vida do Venerble Jose Vaz- Rev. Fr. Sebastian do Rego,1747
  • Life of Blessed Joseph Vaz, Apostle of Sri Lanka – Rev. Fr. S.G. Perera ( S.J.) 1942
  • History of the Miracles Cross of Old Goa – Rev. Fr. John Perira(S.F.X) 1982
  • Life & Achievements of Blessed Joseph Vaz- Rev. Fr. Cosme Jose Costa 1996 (S.F.X) 1982
  • The Dutch Period volume 1 – Rev. Fr. V. Perniola (S.J.)
  • The Dutch Period volume 11 – Rev. Fr. V. Perniola (S.J.)
  • A Glistening wake of the Life of Venerable Fr. Joseph Vaz- Rev. Fr. Jos Claude Lawrence (O.M.I.)1981
  • The Sanciticity of Father Joseph Vaz –Rev. Fr. W.L.A. Don Peter,1990
  • Though Storm & Tempest a Biography of Blessed Joseph Vaz-Rev. Fr. Michael Mascarenhas (S.D.B.) 2001
  • The Apostle of Ceylon – Most Rev. Dr. Mons. L.M. Zaleski (1897)
  • Life of Ven. Fr. Joseph Vaz – Rev. Fr. Phip Caspersz ( O.S.B.)
  • Historical Sketches - Rev. Fr. S.G. Perera ( S.J.)
  • Oratorian Mission- Rev. Fr. S.G. Perera ( S.J.)
  • Positio, Sacra Cowgregatuio pro Sanctorum Officium Historium, Beatificationis in Canowizationis Servi Dei IOSEPH VAZ- Fr. Joe Quintus Perera, 1985
  • Ven. Fr. Joseph Vaz – Rev. Fr. Pio Ciampa ( S.J.)
  • To the Rescue of Sri Lanka – Rev. Fr. Joseph Aloysius (O.M.I.)
  • Studies in Ceylon Church History –Rev. Fr. W.L.A. Don Peter
  • Blessed Joseph Vaz, The Man, His Mission , His Message –Rev. Fr.Denis G. Pereira
  • St. Anne’s of Talavila – Most Rev. Dr. Edmund Peiris (O.M.I.)
  • The Story of the Rosary in Ceylon – Rev. Fr. S. Thommanupillai (O.M.I.),1958
  • 207 Stories of Blessed Joseph Vaz– Rev. Fr. Romualdo Robin Rodrigues – (2005)
  • Blessed Joseph Vaz- A Creative Missionary A Head of His Time - Rev. Fr. Manuel Gomes (2010)
  • Letters of Blessed Joseph Vaz – Son of Goa, , Apostle of Sri Lanka & Canara- Rev. Fr. Cosme Jose Costa 1996 (S.F.X)2011
  • Star in the East -–Rev. Fr. W.L.A. Don Peter,1995
  • Joseph Vaz – India’s First & Greatest Missionary – R. H. Lesser 1992
  • Joseph Vaz, Apostle of Sri Lanka – Jean Olwen Maynard ,2001
  • The Apostle of Ceylon- Tr Ambrose Cator 1913
  • A Saint for the New India – Charles Gasbarri, 1961

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සිරිලක් කිතු සසුන, ගරු තිමති කොළමුන්නේ පියතුමා
  2. http://blessedjosephvaz.org/apostolateinkandy.htm
  3. සිරිලක් කිතු සසුන, ගරු තිමති කොළමුන්නේ පියතුමා, 97
  4. www. silumina.lk/2014/09/28/
  5. www. silumina.lk/2014/09/28/
  6. සිරිලක් කිතු සසුන, ගරු තිමති කොළමුන්නේ පියතුමා, 97
"https://si.wikipedia.org/w/index.php?title=ශාන්ත_ජුසේ_වාස්_තුමා&oldid=414075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි