ජීවීන් අභ්‍යාවකාශගතකිරීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
1959 නිකුත් කරනලද ලයිකා ගේ රුව ඇති රුමේනියානු මුද්දරයක්

අභ්‍යාවකාශයේ සතුන්[සංස්කරණය]

1946 දී ඇමරිකානුවන් විසින් අත්පත් කර ගත් ජර්මානු V-2 රොකට්ටු මඟින් පලතුරු මැස්සන් මුදා හැරීම, විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා වාර්තා ගත සතුන් අභ්‍යාවකාශයට මුදා හැරීමේ ප්‍රථම අවස්ථාව විය.

කක්ෂයකට යවන ලද ප්‍රථම සත්වයා වූයේ ලයිකා බැල්ලියයි. 1957 මේ සිදුවීම යොදා ගන්නා ලද්දේ සඳහා උපකාරී වූයේ ස්පුට්නික් 2 අභ්‍යාවකාශ යානයයි. එම බැල්ලිය නැවතත් පෘථිවිය කරා ගෙන ඒමට කිසිදු අදහසක් හෝ ක්‍රමයක් නොතිබූ අතර එමනිසා අභ්‍යාවකාශයට ළඟා වීමෙන් පසු දින කිහිපයක දී ආතතියෙන්, අධික තාපයෙන් හා විජලනය නිසා ඇය මරණයට පත් විය. 1960 දී සෝවියට් අභ්‍යාවකාශ සුනඛයන් වන බෙල්කා හා ස්ට්‍රෙල්කා පෘථිවිය වටා කක්ෂගත වී නැවත සාර්ථකව පෘථිවිය කරා පැමිණෙන ලදී.

ඇමරිකානු අභ්‍යාවකාශ වැඩසටහන අප්‍රිකාවෙන් චිම්පන්සීන් ගෙනවිත් ප්‍රථම මිනිසා කක්ෂගත කිරීමට ප්‍රථම අවම තරමින් චිම්පන්සීන් දෙදෙනෙක් වත් අභ්‍යාවකාශයට යවා අත්හදා බලා ඇත. 1968 දී සොන්ඩ් 5 යානය මඟින් සෝවියට් සංගමය ඉබ්බන් අභ්‍යාවකාශයට යවන ලදී. සඳ වටා පියාසර කිරීමට වරම් ලත් ප්‍රථම සතුන් වූයේ ඔවුන්ය.

අභ්‍යාවකාශයේ මිනිසුන්[සංස්කරණය]

අභ්‍යාවකාශයට ගිය ප්‍රථම මිනිසා යුරි ගගාරින් වේ.

සෝවියට් අජටාකාශගාමී යුරි ගගාරින් අභ්‍යාවකාශයට ගිය ප්‍රථම මිනිසා බවට පත් වූයේ 1961 අප්‍රේල් 12 වන දා වොස්ටොක් 1 යානය මඟින් කක්ෂයට ඇතුළත් වීමත් සමඟය. මෙම දිනය වර්තමානයේ දී රුසියාව හා වෙනත් බොහොමයක් රටවල්වල නිවාඩු දිනයක් ලෙස සැලකේ. ඔහු මිනිත්තු 108ක් පුරාවට පෘථිවිය වටා කක්ෂගත වී සිටියේය.

දවස් 23කට පසු ෆ්‍රීඩම් 7 ලෙස හැඳින්වූ උප කක්ෂීය මෙහෙයුමක දී ඇමරිකාව වෙනුවෙන් ඇලන් ෂෙපර්ඩ් අභ්‍යාවකාශයට ඇතුළ් විය. 1962 පෙබරවාරි 20 වනදා කක්ෂ 3ක් සම්පූර්ණ කරමින් පෘථිවිය වටා කක්ෂගත වූ ප්‍රථම ඇමරිකානුවා වීමට ජෝන් ග්ලේන් සමත් විය. මේ සඳහා උපකාරී වූයේ ෆ්‍රෙන්ෂිප් 7 යානයයි.

පළමුවරට මිනිසුන් දෙදෙනෙකුගෙන් යුත් ගුවන් ගමන් ද මුලින්ම ඇරඹුණේ සෝවියට් සංගමයෙනි . ඒ 1962 අගොස්තු 11 - අගෝස්තු 15 අතරතුරය. සෝවියට් හි වැලන්ටිනා තෙරෙශ්කෝවා 1963 ජූනි 16 වනදා වොස්ටොක් 6 යානය මඟින් අභ්‍යාවකාශයේ සංචාරය කරමින් අභ්‍යාවකාශයට යන ලද ප්‍රථම කාන්තාව බවට පත් විය. කොරලව් විසින් වැඩි කාලාන්තරයකින් යුත් තවත් වොස්ටොක් මෙහෙයුම් සැලසුම් කර තිබුණ ද ඇපලෝ වැඩ සටහන ප්‍රකාශයට පත් වීමෙන් පසුව අගමැති කෘෂෙව්ට තවත් ප්‍රථම ස්ථාන අවශ්‍ය විය. දෙදෙනෙකුට වඩා වැඩි කාර්ය මණ්ඩලයකින් යුත් ප්‍රථම ගුවන් ගමන වූයේ සෝවියට් එකමුතුවෙහි වොස්ක්හොඩ් 1යි. වොස්ටොක් යානාවල නවීකරණය කරන ලද අංගයක් වූ මෙය 1964 ඔක්තෝබර් 12 වනදා ෆියොක්ටිස්ටොව්, කොමරව් හා යෙගොරොව් රැගෙන අභ්‍යාවකාශගත විය. මෙය කාර්ය මණ්ඩලය අභ්‍යාවකාශ ඇඳුම් නොඇඳ සිටි ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වේ.

සෝවියට් සංගමය මඟින් 1965 මාර්තු 18 නිකුත් කරන ලද වෝස්හොඩ් 2හි ඇලෙක්සි ලියනෝෆ් ප්‍රථම අභ්‍යාවකාශ ඇවිදීම සිදු කරන ලදී. මෙම මෙහෙයුමේ අවසානය ව්‍යසනයක් වීමට ඉතා වැඩි ඉඩ ප්‍රස්ථාවක් පැවතුණි. දුර්වල රෙට්‍රො රොකට් දහනයක් නිසා යානය ඉලක්කයෙන් 1600km එපිටින් පතිත වූ අතර ලෙනොව්හට කැප්සුලයට පැමිණීමට හැකි වූයේ යන්තමිනි. මෙම අවස්ථාව වන විට කෘෂෙව් තම තනතුරක් අස්වී තිබූ අතර නව සෝවියට් නායකත්වය දුර්වලතා සහිත චන්ද්‍ර ගොඩබෑම් උත්සාහයකට කැමැත්තක් දැක්වූයේ නැත.