කාමේශ්වර

විකිපීඩියා වෙතින්
කාමේශ්වර
සර්වබලධාරි දෙවියන්
විශ්වයේ උත්තරීතර දෙවියන්, බ්‍රහ්මන්, ශිව දෙවියන්ගේ අග්‍රගණ්‍ය ස්වරූපය
වෙනත් නම්රාජ රාජේශ්වර, ත්‍රිපුර සුන්දර, පරමේශ්වර, ත්‍රිපුරන්තක, ත්‍රිපුරාරි
දේවනාගරීकामेश्वर
සංස්කෘත පරිවර්තනයKāmeśvara
අනුබැඳිය
වාසභවනයකෛලාශය, මණිද්වීපය
මන්ත්‍රය
  • ඕම නමඃ ශිවාය
  • ඕම් ශ්‍රී කාමේශ්වරාය නමඃ
ආයුධයපාශ, අංකුශ, දුන්න / උක් ගස සහ හී
සංකේත
  • ඕම්
  • ලිංගය
  • උඩැක්කිය
දිනයසඳුඳා
පෞද්ගලික තොරතුරු
වල්ලභයාකාමේශ්වරී
දරුවන්
වාහනයනන්දි නම් ගවයා
පාඨ ග්‍රන්ථ
උත්සව

කාමේශ්වර (සංස්කෘත: कामेश्वर, IAST: kāmeśvara), මහාකාමේශ්වර යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ධර්මයේ ශෛව සම්ප්‍රදාය තුළ විශ්වයේ සර්වබලධාරි දෙවියන් වන ශිව දෙවියන්ගේ උසස්ම ස්වරූප අතරින් එක් ස්වරූපයකි. එතුමා පිළිබඳව බ්‍රහ්මාණ්ඩ පුරාණයේ ලලිතා මාහාත්ම්‍යම් සහ ත්‍රිපුරා රහස්‍ය තුළ ප්‍රධාන වශයෙන් සඳහන් කොට ඇත.[1][2]

නිරුක්තිය සහ නාමකරණය[සංස්කරණය]

කාම යන සංස්කෘත වචනයේ අරුත ඉච්ඡාවන් වේ. ඊශ්වර යනු අධිපතියා යි. කාමේශ්වර යනු ඉච්ඡාවන්ට අධිපතියා යි. ශිව දෙවියන්, සියලු ගුණාංගවලින් ඔබ්බට ගිය, උත්තරීතර යථාර්ථය සහ ප්‍රාථමික හේතුව වූ අතර උන්වහන්සේ මුළු විශ්වයටම 'ස්වාමියා' වන නිසා, 'ඊශ්වර' වේ; එබැවින් ශිව දෙවිඳුන් 'කාම ඊශ්වර' හෝ සරලව 'කාමේශ්වර' ලෙස හඳුන්වනු ලබයි. ශිව බ්‍රහ්මන් වූ අතර ඔහුගේ ආශාවෙන් (කාම) මුළු ලෝකයම නිර්මාණය කළේය, එබැවින් උන්වහන්සේ කාමේෂ්වර ලෙස හැඳින්වේ.[3]

උපාඛ්‍යාන[සංස්කරණය]

බ්‍රහ්මාණ්ඩ පුරාණයේ ලලිතෝපාඛායනයට අනුව භණ්ඩාසුර විනාශ කිරීමට ත්‍රිපුර සුන්දරී දේවිය පැමිණි පසුව, ඇය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිර්මිත ශ්‍රී නගරය තම වාසස්ථානය කොටගනි. එහිදි බ්‍රහ්ම දෙවියන්ගේ ඉල්ලිම පිරිදි ඇය හා විවාහ වීමට පරම පුරුෂයන් කාමේශ්වර ස්වරූපයෙන් ප්‍රකට විය.

බ්‍රහ්ම දෙවියන් මෙසේ සිතමින් සිටියදීත්, මහේශ්වර මුළු විශ්වයම වශී කරන ස්වරූපයක් ගනිමින් ඔහු ඉදිරියේ පෙනී සිටියේය. දිව්‍යමය වස්ත්‍ර හැඳ, දිව්‍යමය මල්මාලා හැඳ, දිව්‍යමය සුවඳින් හා වස්ත්‍රවලින් පිරිපුන් වූ දස කෝටියක් කන්දර්පයන්ගේ ශෝභමාන ලක්‍ෂණවලින් සමන්වාගත දිව්‍ය පෞරුෂයක් උන්වහන්සේ සතු විය. කිරීටයක්, මාල, වළලු, කරාබු ආදියෙන් ශෝභමාන විය. උන්වහන්සේ මෙසේ බ්‍රහ්මයා ඉදිරියේ පෙනී සිටියේ ලෝකයම වශීකරන ස්වරූපයක් ගෙනය. ලෝකයන්ගේ පියා වූ බ්‍රහ්මා, මනරම් සිරුරකින් හෙබි එම තරුණ විරුවාට කාමේශ්වර යන නම තැබීය.

— බ්‍රහ්මාණ්ඩ පුරාණය, ලලිතා මාහාත්ම්‍ය, පරිච්ඡේදය 14, ශ්ලෝක 18:21

ත්‍රිපුරා රහස්‍ය තුළ කාමේශ්වරගේ ප්‍රකට වීම මෙසේ දක්වා ඇත.

මෙසේ බ්‍රහ්මා ඇතුළු අනෙකුත් අය විසින් ඉල්ලා සිටි පරිදි ත්‍රිපුර සුන්දරී දේවිය ඇගේ මුල් වාසස්ථානය වූ ආකාරයටම ඇගේ පිරිවර සමඟ මේරු ශිඛරය මත විශ්වකර්ම විසින් ඉදිකරන ලද යහපත් නගරයේ රැඳී සිටියාය. එවිට විශ්ව මාතාව ඔවුන්ගේ ඉල්ලීම පරිදි කාමේශ්වර තම අර්ධ ශරීරයෙන් හැඩගස්වා ඔහු සමඟ විවාහ වී ඔහු සමඟ නැවතී සිටියාය.

— ශ්‍රී ත්‍රිපුරා රහස්‍ය (මාහාත්ම්‍යා ඛණ්ඩ), පරිච්ඡේදය 53, ශ්ලෝක 6:8

ඉක්බිතිව අපි දුටුවේ කැඩපතකින් පෙනෙන ආකාරයට තමාගේම රුව සමඟ සම්බන්ධ වූ සමාන රූමත් දෙවි කෙනෙකුගේ වම් කලවා මත පරමේශ්වරිය විශිෂ්ට ලෙස වාඩි වී සිටින බවයි. අහෝ විශ්වකර්මා! අපගේ ආශාවන් තෘප්තිමත් වූ හෙයින් අප අසමසම සතුටක් ලැබුවේය. අන්‍යෝන්‍ය වැළඳගැනීමේ අධික ප්‍රීතිය ප්‍රදර්ශනය කළ මෙම යුවළ ඔවුන්ගේ අලංකාරයෙන් සහ චමත්කාරයෙන් එකිනෙකා අභිබවා යමින් සිටියහ.

— ශ්‍රී ත්‍රිපුරා රහස්‍ය (මාහාත්ම්‍යා ඛණ්ඩ), පරිච්ඡේදය 55, ශ්ලෝක 68:70

අප නූගත් බව දුටු සදාශිව මෙය අසා ඇයට වැඳ මෙසේ කීවේය: “ඕ දේවී ! ඔබ දෙදෙනා අපගේ ආශාවන් (කාම) ඉටු කළ බැවින් ඔබතුමිය කාමේශ්වරී වන අතර ඔබේ ස්වාමියා කාමේශ්වර වනු ඇත. ඔබ වහන්සේලා අපගේ පාලකයන් වන බැවින්ද, රජවරුන්ගේ රජු වන බැවින්ද, ඔබතුමිය රාජ රාජේශ්වරී වන අතර ඔබතුමියගේ ස්වාමියා රාජ රාජේශ්වර වනු ඇත. ඔබතුමිය ත්‍රිපුරසුන්දරී වන අතර උන්වහන්සේ ත්‍රිපුරසුන්දර වනු ඇත.

— ශ්‍රී ත්‍රිපුරා රහස්‍ය (මාහාත්ම්‍යා ඛණ්ඩ), පරිච්ඡේදය 55, ශ්ලෝක 73:75

ප්‍රතිමාශිල්පය[සංස්කරණය]

කාමේශ්වරගේ නූතන නිරූපණයකි

කාමේශ්වර සහ කාමේශ්වරී (ත්‍රිපුර සුන්දරී) අමෘත සාගරය මධ්‍යයේ පිහිටි මණිද්වීපයේ (මැණික් දිවයින) වාසය කරන බව සඳහන් වේ. එම දිවයින තුළ, කාමේශ්වර සහ කාමේශ්වරීගේ වාසස්ථානය පිහිටා ඇත්තේ, අගනා මැණික් වර්ගයක් වන චින්තාමණියෙන් නිමවා, උද්‍යානවලින් වට වූ බලකොටුවක් තුළය. එහිදී ඔවුන් බ්‍රහ්ම, විෂ්ණු, රුද්‍ර සහ මහේෂ්වර යන පාද හතර වන අතර සදාශිව ආසනය වන දිව්‍ය යහනක වාඩි වී සිටිති. ශක්තිය කාමේශ්වරගේ වම් උකුලේ වාඩි වී සිටී.[4]

කාමේශ්වර දෙවියන්ට ද කාමේශ්වරී දේවියට සමානව පාශ, අංකුෂ, ඊතල සහ දුන්නක් ඇත. කාමේශ්වරි කිසිවක් උසුලන්නේ නැති බවත්, නමුත් ඇය රැගෙන යන්නේ කාමේශ්වර දරා සිටින ආයුධ වල ප්‍රතිබිම්බය බවත් වී.රවී ප්‍රකාශ කරයි.[5] වී. රවී තවදුරටත් සිය ලලිතා සහස්‍රනාම ග්‍රන්ථයේ ද සඳහන් කරන්නේ, ශිවගේ පශුපති ස්වරූපයටත් වඩා ඉහළම ස්වරූපය ලෙස කාමේශ්වර සලකන බවත්, කාමේශ්වර බ්‍රහ්මන් බවත්ය.[6]

දේවස්ථාන[සංස්කරණය]

  • කාමේශ්වර දේවස්ථානයක් ඉන්දියාවේ වරනාසි තුළ පිහිටා ඇත.

ආශ්‍රේයයන්[සංස්කරණය]

උපුටා දැක්වීම්[සංස්කරණය]

  1. Tagare, G.V. (2020). The Brahmanda Purana. Motilal Banarsidass Publications. ISBN 9788120838246.
  2. Rao, Lakshmana (2011). Shri Tripura Rahasya (Mahatmya Khanda).
  3. Krishnamurthy, V (2023). Paramacharya on Soundarya-Lahari. Notion Press. ISBN 9798888693285.{{cite book}}: CS1 maint: location missing publisher (link)
  4. Thyagarajan, Padmaa (2018). Thus Spake The Divine - Vol. 1. Giri Trading Agency Private Limited. ISBN 9788179507889.
  5. Ravi, V (2013). Understanding worshipping Sri Chakra. CreateSpace Independent Publishing Platform. p. 89. ISBN 9781493713639.
  6. Ravi, V (2010). Lalita Sahasranama. MANBLUNDER. p. 90. ISBN 9781456417635.

උපුටා දක්වන කෘති[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කාමේශ්වර&oldid=597451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි