උත්තරාරාම පුරාණ විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
උත්තරාරාම පුරාණ විහාරය
Uththararama Purana Vihara
Uththararama Purana Vihara.jpg
ධර්ම ශාලාව සහ පැරණි පිංතාලිය
මූලික තොරතුරු
පිහිටීමඋඩුගම්පළ, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°07′45.7″N 79°58′58.2″E / 7.129361°N 79.982833°E / 7.129361; 79.982833ඛණ්ඩාංක: 07°07′45.7″N 79°58′58.2″E / 7.129361°N 79.982833°E / 7.129361; 79.982833
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයගම්පහ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (8 ජූලි 2005)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

උත්තරාරාම පුරාණ විහාරය (මාළිගාගොඩැල්ල විහාරය‎ ලෙසින්ද හැඳින්වේ) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ උඩුගම්පළ පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වේ. එය උඩුගම්පළ-වීදියවත්ත මංසන්ධිය මාර්ගයෙහි, උඩුගම්පළ වටරවුම සිට මීටර 500ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලෙස වර්තමානයේදී විහාරය හා ඊට ආසන්නව පිහිටි උඩුගම්පළ උපරාජධානියට අයත් පතහ සහ අගල, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2005 වර්ෂයේ ජූලි 8වන දිනදී රජයේ ගැසට් අංක 1401 යටතේ සිදුකොට තිබේ.[1]

ඉතිහාසය[සංස්කරණය]

අටවන පරාක්‍රමබාහු රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ නවවන පරාක්‍රමබාහු රජු විසින් කෝට්ටේ රාජධානිය පාලනය කල අතරවාරයේ, ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකු වූ තනිය වල්ලභ මාදම්පේ ප්‍රදේශයත්, සකල කලා වල්ලභ උඩුගම්පල ප්‍රදේශයත් පාලනය කරන ලදී.[2] රාජාවලිය සහ අලකේෂ්වර යුද්ධය වැනි ඉතිහාසමය ග්‍රන්ථයන් මගින් සනාථ කෙරෙන තොරතුරු අනූව, උඩුගම්පල සහ එහි අවට ප්‍රදේශය කෝට්ටේ රාජධානි සමයේදී උප රාජධානියක් වූ බැව් සඳහන් වෙයි.[3]

1517දී හයවන විජයභාහු රජු විසින් පිහිටුවන ලද කදිරාන සන්නසෙහි දැක්වෙන ප්‍රකාරව එම වසරේ ජූනි 18 වන දින රජු විසින් උඩුගම්පල පිහිටි ඔහුගේ අළුත් මාළිගයේ සිට බ්‍රාහ්මියන්ට දන් ලබා දුන් බව සඳහන් වේ.[4] ඒ අනූව වර්තමානයේදී උත්තරාරාම පුරාණ විහාරය ඉදිකොට පවතින, මාළිගාගොඩැල්ල යනුවෙන් හඳුන්වන භූමිය උඩුගම්පළ රජුගේ මාළිගාව ගොඩනංවා තිබූ ස්ථානය වශයෙන් හඳුනාගෙන තිබෙන අතර[5] විහාරය ආසන්නයේ පිහිටි පතහ සහ ශේෂව පවතින පවුරු බැමි, උඩුගම්පල රාජධානියට අයත් අනෙකුත් නටඹුන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කොට තිබේ. කෙසේනමුදු විහාර භූමියෙන් සහ ආශ්‍රිත අවට භූමියෙන් මතුව තිබූ ශිලා ස්ථම්භ, ගල් උළුහව් කොටස්, ඉර හඳ කෙටූ මායිම් ගල්, උළුකැට කැබළි ආදී පුරාවිද්‍යා නටඹුන් මේ වන විට පතහ පොකුණ ආසන්නයේ පිහිටුවා ඇති පුරාවිද්‍යා කාර්යාලයෙහි සංරක්ෂණය කොට තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1401. 8 ජූලි 2005.
  2. "දි ඇනුවල් නානුමුර මංගල්‍යය ඔෆ් ද තනිවැල්ල දේවාලය ටුඩේ". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). 16 අගෝස්තු 2013. Retrieved 30 ජූනි 2017.
  3. විජේසූරිය, දිනිති (2015). "ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆ් උඩුගම්පල, සබ් කිංඩම්: අ හිස්ටොරිකල් ඇන්ඩ් ආකියෝලොජිකල් ලෙගසි". කැළණිය විශ්වවිද්‍යාලය. Retrieved 30 ජූනි 2017.
  4. සෝමරත්න, ජී.පී.වී. (1975). ද පොලිටිකල් හිස්ට්‍රි ඔෆ් ද කිංඩම් කෝට්ටේ, 1400-1521. කෝට්ටේ: ද යුනිවසිටි ඔෆ් මිචිගන්. පිටු 328. https://books.google.lk/books?id=A2YdAAAAMAAJ&q=kadirana+sannasa&dq=kadirana+sannasa&hl=en&sa=X&ved=0ahUKEwimmL_0_v7UAhXDQI8KHZrRBhAQ6AEILzAD. 
  5. "පෘතුගීසින්ගෙන් රට බේරාගත් සකලකලා වල්ලභයන්ගේ උඩුගම්පොළ රාජධානිය". දිවයින (පුවත්පත). 16 සැප්තැම්බර් 2009. Retrieved 11 ජූලි 2017.