Jump to content

අමරදේව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාභිමාන්‍ය වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා වඩාත් ප්‍රකට වන්නේ ඩබ්. ඩී. අමරදේව යන නමිනි. ඔහු උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුව කොරල වැල්ලේදී මෙළොව එළිය දුටුවේ ය. වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙන් වූ අතර ඔහු ලී වලින් සාදා දුන් වයලිනය තුලින් ඔහු විශිෂ්ට වයලින් වාදකයෙක් ද වූහ. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.

අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.

‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.

‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.

ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය. එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි. එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි. මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක,ටී.එම්.ජයරත්න,සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි.

පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි. එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.

හදිසියේ ඇති වූ රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් මෙතුමා 2016 නොවැම්බර් මස 03 වැනි දින ජීවන ගමනින් සමු ගත්තේය.

ජීවිතය හා ජීවන රටාව

[සංස්කරණය]

ළමා කාලය සහ අධ්‍යාපනය

[සංස්කරණය]

වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්‍රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි. තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්‍රවුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි.

අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනි. අමරදේව, කුඩා කළ තම මවගේ ස්තෝත්‍ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඬවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හත වන විට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමිවේ.

කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්‍රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සඳහා අමරදේවයන් හට ආරාධනා කරයි. අනතුරුව තම ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි.

ශ්‍රි සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අමරදේව, මොරටු විද්‍යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්‍රහණය ලබන්නේ මේ අතරදීය. එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ. මෙම ජයග්‍රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්‍රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්‍රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට බුහුටි වෙයි.

තම ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු (ඩී.ටී. ප්‍රනාන්දු ) මහතා සමග දැන හැඳුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ප්‍රනාන්දු මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනියි.

මෙකලදී "අශෝකමාලා" චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුවෙහි ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හඳුන්වා දෙනු ලබයි. අමරදේවයන්ගේ ශක්‍යතාවන් හඳුනාගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි.

ඩී.ටී. ප්‍රනාන්දු පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කොරළවැල්ල පාසලේ සංගීත ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ප්‍රනාන්දු විසින් අමරදේවයන්ගේ දක්ෂතාවන් හඳුනා ගනු ලබයි. අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්ධයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්‍රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ප්‍රනාන්දු මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සඳහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය. අශෝකමාලා චිත්‍රපටයේ පද රචකයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ප්‍රනාන්දු මහතා වන අතර, ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය මේ සදහා පිටුවහලක් වෙයි. තම උසස් අධ්‍යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණි පසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ප්‍රනාන්දු මහතා මුණගැසෙන අතර එහිදී තමා සඳහා පද්‍ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි. මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ප්‍රනාන්දු මහතා විසින් "පීනමුකෝ කළුගගේ" ගීතය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්‍රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි.

තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව, මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්‍රපටයක වැඩ සඳහා ඉන්දියාව බලා යයි. "ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි.

වෘත්තීමය

[සංස්කරණය]

ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ අධ්‍යාබනායතනයෙහි ලැබූ පරිචයත් සමග, ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ. බාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනුයි.

මේ සමය වන විට ශ්‍රි ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්වයක් විය. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි.

දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්‍රි ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ. මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ.

කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති ආදිය), චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය.

අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රන්ජන අමරදේව නමින් පුතෙකු සහ සුභානි අමරදේව - දක්ෂ ගායන ශිල්පිණියෙකි, ප්‍රියන්වදා අමරදේව නමින් දියණිවරුන් දෙදෙනෙකු සිටිති.

සම්මාන

[සංස්කරණය]
  • පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001)
  • ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය
  • ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති සම්මානය
  • ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය

චිත්‍රපට නාමාවලිය

[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂක

[සංස්කරණය]
වසර චිත්‍රපටය අනෙකුත් සටහන්
1962 රන් මුතු දූව සංගීත අධ්‍යක්ෂවරයා
1963 අදට වැඩියෙන් හෙට හොදයි ගීත ගායනය
සිකුරු තරුව එක් ගීතයක් සහ පසුබිම් සංගීතය
ගම්පෙරළිය
ගැටවරයෝ
1965 සාමා පසුබිම් සංගීතය
ළා දළු
සාරවිට
ආදරයයි කරුණාවයි
1966 දෙළොවක් අතරේ
වෙස්තුරු සිරිත

සංගීත ඇල්බම

[සංස්කරණය]
ඉරට-මුවාවෙන් කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත[1]
අංකය. ගීතය කාලය
1. "ජගන් මොහිනී (සරස්‌වතී දේවි)" (ඇල්බම අනුවාදය) 04.25
2. "‍ඔබේ නමින්" (ඇල්බම අනුවාදය) 03.29
3. "බිංදු බිංදු රන්" (ඇල්බම අනුවාදය) 03.52
4. "වැලිතලා අතරේ" (ඇල්බම අනුවාදය) 03.45
5. "මුණි සිරිපා සිඹිමින්නේ" (ඇල්බම අනුවාදය) 04.12
6. "ඉරට මුවාවෙන්" (ඇල්බම අනුවාදය) 04.24
7. "ඇසේ මතුවන" (ඇල්බම අනුවාදය) 03.42
8. "ගී පොතයි" (ඇල්බම අනුවාදය) 02.41
9. "හිම කඳු අතරින්" (ඇල්බම අනුවාදය) 04.17
10. "සංසාරේ එක මොහොතක්" (ඇල්බම අනුවාදය) 03.10
11. "දස්කොන් සකිසඳ (නීලා වික්‍රමසිංහ සමඟ)" (ඇල්බම අනුවාදය) 03.07
12. "කන්දෙන් ලන්දට" (ඇල්බම අනුවාදය) 02.51
සම්පූර්ණ දිග:
43.55
කොළොන්තොට කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත[2]
අංකය. ගීතය කාලය
1. "කන්ද උඩින්" (ඇල්බම අනුවාදය) 04.27
2. "සඳ තරු නිහඬයි" (ඇල්බම අනුවාදය) 03.08
3. "තාත්තා උනත්" (ඇල්බම අනුවාදය) 03.32
4. "කුල ගෙදරට" (ඇල්බම අනුවාදය) 03.24
5. "රන්වන් කෙත (සුභානි අමරදේව සමඟ)" (ඇල්බම අනුවාදය) 03.55
6. "කොළොන්තොටින්" (ඇල්බම අනුවාදය) 02.56
7. "මිහිරියේ ගැමි ලදේ" (ඇල්බම අනුවාදය) 03.06
8. "මා වවුලන්" (ඇල්බම අනුවාදය) 03.05
9. "මුවරද බර" (ඇල්බම අනුවාදය) 02.53
10. "මාල පබලු වැල් (නන්දා මාලිනී සමඟ)" (ඇල්බම අනුවාදය) 03.40
11. "කඳුළු කිරි පොවා" (ඇල්බම අනුවාදය) 04.24
12. "මළහිරු බසිනා" (ඇල්බම අනුවාදය) 03.36
සම්පූර්ණ දිග:
42.06
සසර වසන තුරු කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත[3]
අංකය. ගීතය කාලය
1. "සසර වසන තුරු" (ඇල්බම අනුවාදය) 04.27
2. "සඳපානේ වැලිතලා" (ඇල්බම අනුවාදය) 03.08
3. "රත්නදීප" (ඇල්බම අනුවාදය) 03.32
4. "ඩිංගිරාල" (ඇල්බම අනුවාදය) 03.24
5. "සතර වරම් දෙවි" (ඇල්බම අනුවාදය) 03.55
6. "බඳුන් පිරි (නිරංජලා සරෝජිණී සමඟ)" (ඇල්බම අනුවාදය) 02.56
7. "ලොව්තුරු පෙම්" (ඇල්බම අනුවාදය) 03.06
8. "මේ මහ කන්ද" (ඇල්බම අනුවාදය) 03.05
9. "බවේ බීත හැරදා" (ඇල්බම අනුවාදය) 02.53
10. "සුනිල දියේ" (ඇල්බම අනුවාදය) 03.40
11. "නිම් හිම් සෙවුවා" (ඇල්බම අනුවාදය) 04.24
12. "සුව දෙන සිත (සුභානි අමරදේව සමඟ)" (ඇල්බම අනුවාදය) 03.36
13. "ප‍ටු අදහස් නම් (සුනිල් එදිරිසිංහ සමඟ)" (ඇල්බම අනුවාදය) 03.36
14. "සෝමාවතී" (ඇල්බම අනුවාදය) 03.36

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අමරදේව&oldid=590963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි