Jump to content

1962 ලාංකික රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ප්‍රයත්නය

විකිපීඩියා වෙතින්
(1962 අසාර්ථක හමුදා කුමන්ත්‍රණය වෙතින් යළි-යොමු කරන ලදි)

1962 ලාංකික රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ප්‍රයත්නය ( කර්නල් කුමන්ත්‍රණය ලෙසින්ද හැඳින්වේ) යනු ශ්‍රී ලංකාවේ (ලංකාව) සැලසුම් කරන ලද අසාර්ථක හමුදා කුමන්ත්‍රණයකි. අග්‍රාමාත්‍යය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජාතන්ත්‍රීය ලෙසින් බලයට පත් වුනු රජය, 1962 ජනවාරි 27 දින රාත්‍රියෙහි පෙරලා දැමීමට බොහෝ ක්‍රිස්තියානි ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරින් විසින් සැලසුම් කරන ලද නමුත්, [1] කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට පෙර, ප්‍රධාන නායකයන් අත්අඩංගුවට ගන්නා ලදි.[2]

පසුබිම

[සංස්කරණය]

1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනාගත් ලංකාව, ලැබුයේ ඩොමීනියන් තත්ත්වයකි (ඩොමීනියන් ලංකාව). දේශීයයන්ගේ ස්වයං-පාලනය ඇරඹුනේ මෙතැනිනි. එනමුදු බ්‍රිතාන්‍යයන් විසින් දේශපාලන හා රාජ්‍යපාලන නායකත්වයෙන් විශාල කොටසක් පවරා දෙනු ලැබුයේ, 1948 ට පෙර බ්‍රිතාන්‍යයන්ට සේවය කල ලාංකික ක්‍රිස්තියානි ප්‍රභූ පිරිස වෙතය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, රජයේ උසස් නිලයන් සියල්ලම දරනු ලැබුයේ මෙම ප්‍රභූ පිරිස විසිනි.

එංගලන්ත සභා භක්තිකයෙකුව සිට බෞද්ධයෙකු බවට ආගම් වෙනස් කල එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා, 1956දී බලයට පත්වූයේ ක්‍රිස්තියානි සුළුතරයට සාපේක්ෂව වරප්‍රසාද අඩුවෙන් ලත් යැයි සැලකුණු සිංහල ජනයාගෙන් සමන්විතවූ රටේ බහුතරයෙහි අනුග්‍රහය ලැබූ ජාතිකවාදී ව්‍යාපාරයක ප්‍රතිඵලයක් ලෙසින්ය. මැතිවරණ ව්‍යාපාරයෙහිදී ලබා දුන් පොරොන්දු ප්‍රකාර, රජයෙහි සියළු පාර්ශවයන්හී සීඝ්‍ර සිංහලකරණයක් බණ්ඩාරනායක මහතා විසින් ඇරඹූ අතර, එහි මස්තක ප්‍රපාප්තිය වූයේ සිංහල පමණයි පනත සම්මත කරගැනුමයි. එලෙසින්ම, ලංකාවේ අවසන් බ්‍රිතාන්‍ය හමුදා කඳවුර ඉවත් කල අතර සමාජවාදී පන්නයේ ආර්ථිකයක් වෙතට ගමන ඇරඹීය.

සැලසුම් කල කුමන්ත්‍රණය

[සංස්කරණය]

1962 ජනවාරි 26 සිකුරාදා සැන්දෑවේ අගමැතිනිය කොළඹින් පිටත් වී කතරගම යාමට සැලසුම් කර සිටියාය. එහෙත් කෙ‍සේ හෝ ඇයගේ ගමන වැළකුණි. රාජකීය ගුවන් හමුදා (Seconded) නිලධාරියාගේ යටතේ තිබූ ගුවන් හමුදාව මීට සම්බන්ධ නොවීය. කුමණ්ත්‍රණය සැලසුම් කළ බොහෝ දෙනා උපසේවා සහ විශ්‍රාමික නිලධාරීන් සහ පොලිස් නිලධාරීහූ වූහ.

අත් අඩංගුවට ගැනීමට නියමිත වූ අය අතර ඇමතිවරුන්, ආරක්ෂක හා විදේශ කටයුතු ස්ථිර ලේකම්, පොලිස් පති, නියෝජ්‍ය පොලිස් පති (DIG) පොලිස් අධිකාරී (CID) සහ වැඩ බලන නාවික හමුදාපති යනාදීහූ වූහ. හමුදාපති ඇතුළු අනෙකුත් අණදෙන නිලධාරීන් එදින රාත්‍රියේ නියම කරනු ලබන එක්තරා වේලාවකින් පසුව නිවසේ රැඳී සිටිය යුතු විය. මැදියම් රැය පසු වූ වහාම ශබ්ද විකාශන යන්ත්‍ර සවි කළ පොලිස් මෝටර් රථ යවා කොළඹ නගර සීමාව තුළ වහාම ඇඳිරි නීතිය පැනවූ බව ප්‍රකාශයට පත් කළ යුතුව තිබුණි. කොළඹ මධ්‍යම ටෙලිග්‍රාෆ් කාර්යාලයේ ද අනෙකුත් නගරවල ද දුරකථන හුවමාරු මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවීය යුතුව තිබුනණි. පත්තර කාර්යාල, ගොඩනැගිලි, පොලිස් මූලස්ථානය, අපරාධ පරීක්ෂණ කාර්යාලය, සහ අනෙකුත් වැදගත් ස්ථාන අත් පත් කර ගත යුතු විය. කුමණ්ත්‍රණයේ සාර්ථකත්වය සහතික කිරීමට නිශ්චිත ස්ථානවල සන්නද්ධ රථ නවතා තැබිය යුතු විය. කුමන හෝ උත්සාහයක් යොදා පනාගොඩ හමුදා කඳවුරේ භට පිරිස් එදින රාත්‍රී කොළඹට පැමිණීම වැළැක්විය යුතු වූයේය. ගුවන් විදුලි පණිවුඩ පහසුකම්වලින් යුත් හමුදා රථ කැළණි පාලම් දෙකෙහි ද කිරුලපනේ පාලමෙහි ද තවත් ස්ථානවලද ස්ථාන ගත කිරීමට නියමිතව තිබිණි. එදින රාත්‍රී 11.00 සිට සන්නද්ධ පොලිස් යතුරු පැදි කරුවෝ නිදහස් චතුරස්‍රයෙහි සිටිය යුතු විය. විශේෂ ඍජු දුරකථන සබඳතා මාර්ගයක් පහළ වැව පාරේ (වර්තමාන හමුදා මූලස්ථානය) සිට ඇචිලන් බැරැක්ක වෙත කලින් දින රාත්‍රීයේ ඇද තිබිණ. ඒ හමුදා නිලධාරීන්ගේ පාවිච්චිය සඳහාය.

කෙසේ වෙතත් අගමැතිනිය බැහැර නොගියාය. එදින රාත්‍රියේ ඇය හමුවීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති S.A.දිසානායක සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජෝන් ආටිගල පැමිණියහ.(මේ දෙදෙනාම පසුව පොලිස්පතිවරු වෙති) ඔවුන් පැමිණ දන්වා සිටියේ රජය කුමණ්ත්‍රණයකින් පෙරලා දැමීමේ උත්සාහයක් පවතින බවත් එය මෙහෙයවනු ලබන්නේ එක්තරා හමුදා, නාවික හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් බවට තමාට තොරතුරු ලැබී ඇති බවත්ය. මෙම තොරතුරු ලැබුණේ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී ස්ටැන්ලි සේනානායකගෙනි. (ඔහු පසුව පොලිස්පති විය) ඔහු කොළඹ පොලිස් ප්‍රධානියා වී සිටියේය. ඔහු කුමණ්ත්‍රණ නායකයින්ගේ විශ්වාසය දිනාගෙන එම තොරතුරු ලබා ගෙන තම මාමා වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ලේකම් පී.ද.එස්.කුලරත්නට දැන්වූයේය. කුලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීය.

මෙම තොරතුරුවලින් අගමැතිනිය කම්පනයට පත් වූවාය. ඇයගේ ඥාති පුත් සහ එවකට මුදල් ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක කෙසේ හෝ කුමණ්ත්‍රණකරුවන් කොටු කර අත්අඩංගුවට ගෙන අගමැති නිල මැදුර වූ අරලියගහ මන්දිරයට ගෙන ඒමට කටයුතු කළේය. එහිදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක පෞද්ගලිකව ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද ප්‍රශ්න කරන ලදී. කොමිෂන් ලත් හමුදා නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් ද පොලීසියේ ගැසට් කළ නිලධාරීන්ද සහ එක් පරිපාලන නිලධාරියෙකු ද ඇතුළුව 31 දෙනෙකු කුමණ්ත්‍රණයට හවුල් වූවන් ලෙස සළකා අත්අඩංගුවට ගන්නා ලදහ.

ප්‍රතිඵලය

[සංස්කරණය]

වෙඩි තැබීම් සිදු නොවූ බැවින් සහ හමුදා මෙහෙයුමක් සිදු නොවූ බැවිනුත් කුමණ්ත්‍රණකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කළ නොහැකි විය. එබැවින් පසුව නඩු විභාගයක් පවත්වන තෙක් ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ මැගසින් අංශයේ විශේෂ කොටසක රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි. ලංකා සැහැල්ලු පාබල හමුදාවෙන් තෝරා ගත් භට කණ්ඩායමකගෙන් සැදුම් ලත් කොම්පොසිටි ගාර්ඩ් (Composite Guard) යනුවෙන් නම් කරන ලද විශේෂ ආරක්ෂක බලකායක් ඉහත පිරිසගේ ආරක්ෂාව සඳහා යොදවන ලදී. හුලංගමුව නම් මේජර්වරයා කාර්ය භාර නිලධාරියා වශයෙන් පත් කර තිබුණි. ඔවුන් හුදෙකලා කර සිර ගත කරන ලද්දේ පාපොච්චාරණයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

ඡන්ද බලයෙන් පත්වූ රජයක් පෙරළීමේ කුමණ්ත්‍රණයට කොටස් කරුවන් වී චෝදනා ලැබූ 26 දෙනාම ක්‍රිස්තියානි ලබ්ධිකයෝ වූහ. ජනවාර්ගික වශයෙන් ගත් කළ එයින් 12 දෙනෙකු සිංහලයෝද දෙමළ හය දෙනෙක් ද බර්ගර්වරු හය දෙනෙක්ද වූහ. ඔක්ස්පර්ඩ් වෙතින් අධ්‍යාපනය ලත් OBE නාමධාරි කර්නල් ෆෙඩ්රික් ද සේරම් නම් ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් වරයෙක්ද (ඔහු S.W.R.D.බණ්ඩාරනායකගේ ඤාති සහෝදරයෙක් ද විය) සී.සී.දහනායක නම් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද (හමුදාවේ දෙවැනි අණ දෙන නිලධාරී) හමුදාවේ කාර්යමණ්ඩල ප්‍රධානි කර්නල් මොරිස් ද මෙල් OBE නාමධාරි රියර් අද්මිරාල් රොයිස් ද මෙල් සහ ලංකා සිවිල් සේවයේ ඩග්ලස් ලියනගේ යනාදීහු මෙම කුමණ්ත්‍රණයේ නායකයෝ වූහ. ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණු බැවින් ඉතිරි පස් දෙනාට නඩු නොපරවන ලදී.

චූදිතයින් වෙනුවෙන් ජී.ජී.පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් අති දක්ෂ නීතිඥවරුන්ගෙන් කීප දෙනෙක් වූ H.W. ජයවර්ධන සහ S.J.කදිරගාමර් පෙනී සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් ෆීලික්ස් බණ්ඩාරනායක පෙනී සිටියේය. කෙසේ වෙතත් කර්නල් F.C. ද සේරම් පාපෝච්චාරනණයක් කළ අතර එය පැමිණිල්ලට උපකාරී විය. 'අපරාධ නීති විශේෂ විධි විධාන පනත 1962' යනුවෙන් නව පනතක් ගෙනා අතර එයින් කටකතා, ප්‍රවාද පවා සාක්ෂියක් ලෙස පිළිගැනීමට ඉඩකඩ ලැබුණි. මෙම දරුණු නීතිය යටතේ නඩුව විභාග කිරීම සඳහා එම නීතිය බලපැවැත්වෙන කාළය 1962 ජනවාරී 1 දක්වා ආපස්සට නියම කරන ලදී.

නව නීතිය යටතේ පළමු නඩු විභාගය 1962 දී පවත්වන ලදී. තමන් මෙම නඩුව විභාගයට පත් කරන ලද්දේ විධායකය බවත් ඔවුනට එසේ කිරීමට ව්‍යවස්ථාපිත බලයක් නොමැති බවත් කියමින් විනිශ්චයකාරවරු අධිකරණය විසුරුවා හැරියහ. අනතුරුව පනත සංශෝධනය කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයාකාරවරුන් පත් කිරීමට බලය පවරමිණි. දෙවැනි නඩු විභාගය ද නතර කරන ලද්දේ පත් කරන ලද එක් විනිශ්චයකාරවරයෙකු කළින් නීතිපති වීමත් ඔහු එම නඩුවේ විමර්ශන කටයුතුවලට සහය වී තිබීමත් හේතුවෙනි.

1963 ජුනි 3 වෙනි දින 3 වැනි වරට නඩුව විභාගයට ගෙන දින 324 ක් තිස්සේ කරන ලද විභාගයෙන් පසු චූදිතයන් 24 දෙනාගෙන් 11 දෙනෙකු වැරදිකාරයන් කරන ලදී. කර්නල් F.C.ද සේරම්, කර්නල් මොරිස් ද මෙල්, රියර් අද්මිරාල් රොයිස් ද මෙල්, සී.සී.දිසානායක සහ ඩග්ලස් ලියනගේ ඒ අතර වූහ. දඬුවම වූයේ අවුරුදු 10 ක් සිර ගත කිරීම හා දේපළ රාජ සන්තක කිරීමය. කෙසේ වෙතත් විත්තිකරුවෝ නඩුව ප්‍රිවි කවුන්සලය දක්වා ගෙන ගියහ. 1965 දී එහි තීන්දුව දෙන ලදී. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලය ඉක්මවා යමින් සම්මත කර ගන්නා ලද 1962 විශේෂ පනත නවත්වමින් ප්‍රිවි කවුන්සිලය කීවේ මෙම පනත මගින් සාධාරණ නඩු විභාගයක් මග හැර තිබෙන බවත්, එම නීතිය පනවා ඇත්තේ හුදෙක් විත්තිකරුවන් වැරදිකරුවන් කිරීමේ අභිලාෂයෙන් බවත්ය. මෙම නඩු විභාගයේදී සාමාන්‍ය අපරාධ නීතිය යටතේ විත්තිකරුවන්ට තිබූ රැකවරණය මෙම නඩු විභාගයේදී ඔවුනට නොතිබුණු බව ප්‍රකාශ කරමින් ප්‍රිවි කවුන්සිලය විත්තිකරුවන් 11 දෙනාම නිදහස් කළේය.

විත්තිකරුවන්ගේ අදහස වී තිබුණේ පැරණි අගමැතිවරුන් යොදා ගෙන ජුන්ටා රජයක් පිහිටුවීම යයි ප්‍රකාශ වුණේය. එහෙයින් එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක කළින් අගමැතිවරුන් වූ ඩඩ්ලි සේනානායක සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල යන අය මෙම කුමණ්ත්‍රණයට සම්බන්ධ කිරීමට රජයේ සාක්ෂිකරුවන් උත්සාහ දැරූහ. මෙය කිසිසේත් ඔප්පු නොවුණි. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර පදවියෙන් ඉල්ලා අස්වී බ්‍රිතාන්‍යයට ගියේය. ඔහුගේ තනතුරට සිරිමාවෝ බණ්ඩාරනායකගේ මාමා කෙනෙකු වූද එවකට එක්සත් ජනපදයේ ලංකා තනාපති ලෙස සිටියාවූ ද විලියම් ගොපල්ලව පත් විය.

ආශ්‍රිත

[සංස්කරණය]