හැනිබල්ගේ ඇල්ෆ්ස් තරණය

විකිපීඩියා වෙතින්
හැනිබල්ගේ ඇල්ෆ්ස් තරණය
දෙවන පියුනික් යුද්ධයෙහි හි කොටසකි

ඉතාලිය වෙත හැනිබල්ගේ පථය
දිනය218 ක්‍රිපූ
පිහිටුම
ප්‍රතිඵලය හැනිබල් ඉතාලියට පැමිණ ක්‍රියාන්විත මූලයක් පිහිටුවයි
යුද්ධාවතීරයන්
රෝමානු ජනරජය කාර්තේජ්
ආඥාපතියන් සහ නායකයන්
පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ
ටි‍බේරියස් සෙම්ප්‍රෝනියස් ලොන්ගුස්
හැනිබල්
හස්ඩ්රුබල්
මාගෝ
හස්ඩ්රුබල් ජිස්කෝ සයිෆැක්ස්
වෘද්ධ හැනෝ
හිස මුඩු හස්ඩ්රුබල්
හැම්ප්සිකෝරා
මහර්බල්
හමුදාමය ප්‍රබලතාවය
94,000+
අපාතිකයන් සහ හානි
68,000+


ක්‍රිපූ 218 දී සිදුවූ හැනිබල්ගේ ඇල්ෆ්ස් තරණය දෙවන පියුනික් යුද්ධයෙහි සිදුවූ ප්‍රධාන සිද්ධීන් අතරින් එකක් වන අතර, ඕනෑම කිසියම් හමුදාමය බලකායක් විසින් පුරාතන යුධකරණයෙහිදි සාක්ෂාත් කල මහත් කීර්තිමත් මස්තකප්‍රාප්තීන් අතරින් එකක් ලෙසින් සැලකෙයි. [1] රෝමානු සහ මිත්‍ර පාක්ෂික භූමි හමුදා ඛණ්ඩ ස්ථාපිතයන් මෙන්ම රෝමානු නාවික ආධිපත්‍යයද පසුකර ඉදිරියට පැමිණි හැනිබල් විසින්, ඔහුගේ කාර්තජේනියානු හමුදාව ඇල්ෆ්ස් මතින් ඉතාලිය වෙතට තරණය කරවා රෝමානු ජනරජය අබියසට යුද්ධය ගෙන ඒමට සමත් විය.

පසුබිම[සංස්කරණය]

ඊගට්ස් දිවයින් වෙතදී සිදුවූ අවසන් කාර්තජේනියානු නාවික පරාජයෙන් පසුව,[2] කාර්තජේනියානුවෝ යටත් වෙමින් පළමු පියුනික් යුද්ධයෙහි පරාජය භාර ගත්හ. [3]කාර්තේජ්හී දේශමාමක පක්ෂයෙහි ප්‍රධාන සාමාජිකයෙක්වූ සහ පළමු පියුනික් යුද්ධය පැවති වකවානුවේදී තම හැකියාව ප්‍රදර්ශනය කරමින් ක්‍රියාන්විතයෙහි යෙදුනු ජෙනරාල්වරයෙක්වූ හැමිල්කර් බාර්කා (බාර්කා යන්නෙහි අර්ථය අකුණුපහර යන්නයි) විසින්,[4] සිසිලියේදී රෝමානුවන් අබියසදී පරාජයට පත්වීමෙන් කාර්තේජයට ඇතිවූ අලාභයන් වෙනුවෙන් පිළියම් යෙදීමේ මාර්ග විමසමින් සිටියේය.[5]මෙයට අමතරව, සාර්ඩිනියාව අහිමිවීම පිළිබඳව, කාර්තජේනියානුවෝ (සහ පුද්ගලික වශයෙන් හැමිල්කර්)[6] අප්‍රසන්නව සිටියහ. රෝමානුවන්ට යුද්ධය පරාජය වීමත් හා සමගම, රෝමානුවන් විසින් කාර්තජේනියානුවන් වෙත පැනවුනු කොන්දේසි සැලසුම් කර තිබුනේ, රෝමයට කප්පම් ගෙවන පුරවරයක් බවට කාර්තේජ් පත් කරන අතරම එහි නාවික බල ඇණිය එයට අහිමි කරන ලෙසිනි.[7]සාම ගිවිසුමෙහි කොන්දේසි කර්කශ වුවද, කාර්තේජයේ ශක්තිය බිඳලීමට රෝමානුවෝ උත්සුක නොවූහ; කාර්තේජය එම කාලයේදී අතිශය සෞභාග්‍යමත් සාමුද්‍රික වෙළෙඳ වරායක් වූ බැවින්, රෝමානුවන් විසින් ඔවුන් වෙත පනවන ලද කප්පම වාර්ෂීක පදනමකින් පහසුවෙන් ගෙවා දමන ලද අතරම කාර්තජේනියානු කුළී හේවායින් විසින් සිදු කල කැරලි ගැසීම් වලට කාර්තේජය නියැලී සිටියේය.[7]

පළමු පියුනික් යුද්ධයෙන් පසුව රෝමානු භාණ්ඩාගාරයන් පුරවමින් කාර්කේජය වෙතින් ගිලිහී ගිය සිසිලයේ ධන සම්පත්තිය වෙනුවට ආදේශ කරලීම සඳහා සහ ඔවුන්ගේ භාණ්ඩාගාරයට ඉතාමත් ආවශ්‍යයිකව තිබූ ආදායම සැපයීම [8] සඳහා අවශ්‍ය විවිධාංගික ස්වභාවික සම්පතෙන් හෙබියාවූ දේශයක්වූ අයිබීරියාව යටත් කර ගැනීමේ අභිලාෂයක් කාර්කජේනියානු දේශමාමක පක්ෂය වෙත තිබුණි. මෙයට අමතරව, දේශමාමක පක්ෂයේ ප්‍රමුඛ කුලවත් පවුලක් වූ බාර්කාවරුන්ගේ අභිලාෂයක් වූයේ, රෝමානු හමුදාමය සන්ධානයට එරෙහිව පළිගැනීමේ යුද්ධයක් දියත් කිරීමට මෙහෙයුම් මූලයක් ලෙසින් කිසියම් දිනයක අයිබීරියානු අර්ධද්වීපය භාවිතා කිරීමය. මෙම කරුණු දෙක අත්වැල් බැඳ ගත් අතර, ගවේෂණය වෙත මධ්‍යස්ථමතධාරීන්ගේ විරෝධය එල්ල වුවද, ක්‍රිපූ  238 දී[8][9][10] හැමිල්කාර් විසින් අයිබීරියානු අර්ධද්වීපය යටත් කර ගැනුමෙහි මෙහෙයුම දියත් කෙරුණේ මෙම පරමාර්ථයන් සිහි දරා ගෙනය. කාර්තේජය වෙතින් බටහිර දෙසට නික්ම ගොස් [11] හර්කියුලීස් ස්තම්භ දෙසට ගමන් කල[12] හැමිල්කාර්ගේ හමුදාව විසින් සමුද්‍රසන්ධිය තරණය කොට අර්ධද්වීපය යටත්කරගැනුම ඇරඹූ අතර, වසර නවයක පරාසයක් තුලදී [9][10][12] හැමිල්කාර් විසින් අර්ධද්වීපයෙහි අග්නිදිග කොටස දික්විජය කරන ලදි. [9] අළුතින් දික්විජය කෙරුණු පළාත් තුල ඔහුගේ පරිපාලනය අධ්‍යයනය කල වෘද්ධ කතෝ හට "හැමිල්කාර් බාර්කා හට සමාන කල හැකි කිසිදු රජෙකු නොවීය" යැයි නොපවසා සිටීමට නොහැකි විය. [13]

ක්‍රිපූ  228 දී,[9] හැනිබල් විසින් එම සිද්ධිය බලා සිටියදීම, හැමිල්කාර් මරා දැමුණේ,[14] අර්ධද්වීපයෙහි කෙල්ටික් ස්වදේශිකයන්ට එරෙහිව යුද්ධ මෙහෙයුමක් තුලදීය.[10] ඔහුගේ බෑනා වූ [10] සහ දේශමාමක පක්ෂයෙහි සාමාජිකයෙක්ද වූ, නාවික හමුදා අණදෙන නිලධාරියා– "කඩවසම්" හස්ඩ්රුබල් [9][10] – වෙත කාර්තජේනියානු අයිබීරියානු යුද්ධ හමුදාවෙහි නිලධාරින් විසින් ප්‍රධාන අණදෙන නිලධාරී තනතුර පැවරිණි. [10][15] අයිබීරියානු අර්ධද්වීපයෙහි නැගෙනහිර වෙරළ ඔස්සේ ග්‍රීක ජනාවාස ගණනාවක් පිහිටි අතර ඒ අතුරින් වඩාත් සංගණ්‍ය වූයේ සගූන්ටුම් නම් වෙළෙඳ මධ්‍යස්ථානය විය. [15] හඩ්ස්රුබල්ගේ දක්ෂ හමුදාමය නායකත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික නිපුණතාවය [12] විසින් අත්පත් කරදුන්, අර්ධද්වීපය තුල කාර්තජේනියානු බලය තහවුරු කරගැනීම පිළිබඳ මෙම ජනාවාස විසින් සැලැකිලිමත් බව ප්‍රකාශ කෙරුණි. ආරක්ෂාව සඳහා, සගූන්ටුම් විසින් රෝමයේ සහය පැතීය; රෝමය විසින් නගරය වෙත හමුදා බලකායක් එවුනු අතර කාර්ටජේනාහී හඩ්ස්රුබල්ගේ කඳවුර වෙත රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් යවමින්,[15] ඔහු වෙත දන්වා සිටියේ ස්පාඤ්ඤය තුල කාර්තජේනියානු ප්‍රගමනයන් වෙත අයිබරස් ගංගාව විසින් සීමාවක් පැනවිය යුතු බවය. [12] [16] ගිවිසුමට එළඹීම සහ තානාපතියන් හඩ්ස්රුබල්ගේ කඳවුර වෙත යැවීම ක්‍රිපූ 226 දී සිදුවිය. [16] [17]

ක්‍රිපූ 221 දී,[14] ඝාතකයෙක් අතින් හඩ්ස්රුබල් මිය ගියේය. [18] [19] [20] අයිබීරියාවෙහි කාර්තජේනියානු යුද්ධ හමුදාවෙහි නිලධාරින් විසින් හැමිල්කාර්ගේ 29-වියැති [14] පුතු, හැනිබල්,[20] පිළිබඳ ඔවුන්ගේ උසස් මතවාද ගෙනහැර පාමින් ඔහු යුද්ධ හමුදාවෙහි ප්‍රධාන ආඥාපති බවට තෝරා පත් කර ගත්තේ මෙම වසරෙහිදීය. [14] [18] දුෂ්කර කඳු සටන් තුලින් වසර නවයක් තිස්සේ තම පියා විසින් සංයුක්ත කෙරුණු යුද්ධ හමුදාවේ ආඥාපති තනතුරෙහි වැඩ භාර ගත් (කාර්තජේනියානු සෙනෙට් මන්ත්‍රණ සභාව විසින් පරාක්‍රීය ලෙසින් අනුමත කෙරුණු [18]) හැනිබල් ප්‍රකාශයට පත් කලේ, ඉතාලිය තුලදී රෝමයට එරෙහිව යුද්ධ වැදී එහිදී එය පරාජය කිරීමෙහි තම පියාග් සැලසුමෙහි පළමුවන අරමුණ වූ අයිබීරියානු අර්ධද්වීපය දිනාගැනීමෙහි තම පියාගේ ව්‍යාපෘතිය සාක්ෂාත් කොට අවසන් කිරීමට තමා කටයුතු කරන බවය.

ඔහුගේ ආඥාපතිත්වයෙහි පළමුවන දෙවසර තුලදී, හැනිබල් තම පියාගේ අභිප්‍රාය සාක්ෂාත් කරගැනීම ඉටුකිරීමට පිඹුරුපත් සකසමින් සහ ඒ අතරම අඩවශයෙන් හඩ්ස්රුබල්ගේ මරණය නිසා හටගත් සහ එතෙක් දිනා සිටි කාර්තජේනියානු දේපල, භූමිභාග ආදියට තර්ජන එල්ල කරමින් ඇතිවූ භව්‍ය කැරළි කිහිපයක් මැඩ පැවැත්වීමෙහි නියැලිණි. ඔල්කේඩ්ස් නමැති ගෝත්‍රයක් වෙත ප්‍රහාර එල්ල කොට අල්තයියා නම් ඔවුන්ගේ ප්‍රධාන නගරය ඔහු අත්පත් කර ගති. [18] අසල්වැසි ගෝත්‍ර කිහිපයක් විසින් මෙම ප්‍රහාරයෙහි ජවය සහ චණ්ඩ ගිජුකම පිළිබඳව විමතිය පල කල අතර,[18] එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහූ කාර්තජේනියානුවන්ට යටත්වූහ. [2] මෙම මෑතදී යටත්වූ ගෝත්‍ර සියල්ල වෙතින් ඔහු වෙත කප්පම් ලැබුණු අතර ඔහුගේ යුද්ධ හමුදාව යළි කාර්ටජේනා වෙත ප්‍රයාණය කොට එහිදී ඔහුගේ හමුදාවන්ට තුටු පඬුරු ප්‍රදානය කොට අනාගතයෙහිදී තවත් තෑගි ප්‍රදානය කෙරෙන බවට පොරොන්දු විය. [18] ඊළඟ දෙවසර තුලදී, සගූන්ටුම් නගරය හැර, ඒබ්රෝ දෙසින් දකුණු දිග පිහිටි අයිබීරියානු සියළු භූමිය හැනිබල් විසින් සාර්ථක ලෙසින් තමන් යටතට පත් කර ගත් අතර, රෝමයෙහි ආරක්ෂාව යටතේ පැවති එම නගරය, ඔහුගේ ආසන්නතම සැලසුම අතර නොවීය. අර්ධද්වීපය තුල මෙවිට හැනිබල් යටතේ නොපැවතියේ කැටලෝනියා සහ සගූන්ටුම් යන ප්‍රදේශ පමණි. [21]

රෝමානු විදේශ සම්බන්ධතා[සංස්කරණය]

රෝමානු දේශපාලනය පිළිබඳ විස්තර හැනිබල් වෙත දන්වනු ලැබූ අතර, ඔහු නිර්ණය කලේ ප්‍රහාරයට සුදුසුම අවස්ථාව උදාවී ඇති බවය. රෝමානු ජනරජයෙහි සෑම මුල්ලකම ස්ථානගත කර සිටි ගෝල් ජාතික චරපුරුෂයන් ඔහු සතු වූ අතර, සෙනෙට් මන්ත්‍රණ සභාවේ ඇතුළාන්ත සමූහයෙහි පවා ඔවුහු සිටියහ. [22] පළමුවන පියුනික් යුද්ධය (ක්‍රිපූ 264-241) කෙළවර වීමෙන් අනතුරුව රෝමන්වරු වසර ගණනක කාලයක් වැය කලේ [23] අර්ධද්වීපය තුල සිය බලාධිකාරිය දැඩි ලෙසින් තහවුරු කර ගැනීම සඳහා අර්ධද්වීපය තුල වැදගත් භූගෝලීය ස්ථාන අත්පත් කර ගැනීමට අමතරව සිසිලිය, කෝර්සිකාව සහ සාර්ඩීනියාව යන ප්‍රදේශ දක්වා රෝමයේ බලාධිකාරිය දිගු කර ගැනීම සඳහාය.

මේවාට අමතර වශයෙන්, පඩනේ ගෝල්වරුන් හා සමග සියවසකට වැඩි කාලයක් පුරා විටින් විට රෝමන්වරු සටනෙහි ඇවිලුණහ. [24] බෝයිවරු ක්‍රිපූ 238 දී රෝමන්වරුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කල අතර, එම යුද්ධය ක්‍රිපූ 236 වන තුරු පැවතිණි.[25]උතුරු දිග ඉතාලියෙහි ස්වදේශිකයන්ට අයත්ව තිබුණු භූමිප්‍රදේශ ආක්‍රමණික ලෙසින් ජනපදකරණය සඳහා රෝමානුවන් ක්‍රිපූ 225දී යළිත් අරඅඳින බව දුටු එම ස්වදේශිකයෝ, ප්‍රහාරය සඳහා යොමුවූ නමුදු,[26] පරාජය කරනු ලැබූහ.[27] තමන්ගේ දේශසීමාව ඇල්ෆ්ස් දක්වා විහිදුවීමට දැඩි ආශාවක් රෝමානුවන් තුල තිබිණි. [28] ක්‍රිපූ 224 දී, බෝයිවරු රෝමානු ආධිපත්‍යයට නතුවූ අතර, ඊළඟ වසරෙහිදී අනරිවරුන්ද රෝමානුවරුන්ට යටහත් වූහ. [28] [29]ක්‍රිපූ 224දී,[28] රෝමානුවන් ගොල්වරුන් හා තවත් සටනකට එළඹුනු අතර, මෙවර එය සිදුවූයේ ඉන්සියුබර්ස්වරුන් හා සමගිනි. [30] පළමුව පෝ සහ ආද්දා ගංගාවන් හමුවන සන්ධිය අසල තොටුපොලක් තරණය කිරීමට උත්සාහ කරද්දී ඉන්සියුබර්ස්වරුන් වෙතින් රෝමානුවරුන් සැලකිය යුතු හානියක් අත්දුටුහ. [28] මෙම ප්‍රදේශයෙහි කඳවුරු බැඳ ස්වල්ප දවසක් ගත කරමින් කිසිදු තීරණාත්මක ක්‍රමවේදයකට එළඹිමට නොහැකිව සිටින විටෙක, රෝමානු කවුන්සල්වරයා එක්වරම තීරණය කලේ ඉන්සියුබර්ස්වරුන් හා සමගින් ගිවිසුමක් නිරාකරණය කර ගත යුතු බවය. [28] නැවුම්ව කතිකා කරගත් මෙම යුද්ධ විරතිය අනුව, ඔවුන්ගේ මිත්‍රපාක්ෂිකයන්වූ චෙනෝමනිවරුන්ගේ භූමිප්‍රදේශ වෙත පූර්ණ ගෞරව අභිමානයෙන් ප්‍රයාණය කිරීමේ වරම රෝමානුවරුන්ට හිමි විය. [28] කෙසේවෙතත්, චෙනෝමනිවරුන්ගේ භූමිප්‍රදේශ වෙත ආරක්ෂා සහගත ලෙස එළැඹි රෝමානුවෝ, ඉන්සියුබර්ස්වරුන්ගේ භූමිප්‍රදේශ වෙත ඔවුන්ගේ යුද්ධ හමුදාව යළි ප්‍රයාණය කරමින් විජයග්‍රහණය කළහ. [28] [31]

ක්‍රිපූ 222දී, කෙල්ට්වරු විසින් රෝමානු සෙනෙට් මණ්ඩලය වෙත රාජ්‍ය තාන්‍ත්‍රික පිරිසක් යවමින් සාමය අයැද සිටියහ. තමන් විසින්ම ජයගැනුම සඳහා අවස්ථාවක් ඇති බවට දුටු කවුන්සල්වරු (මාර්කුස් ක්ලෝඩියස් සහ ග්නායුස් කොර්නේලියුස්) විසින් එම තානාපති පිරිස තරයේ ප්‍රතික්ෂේප කල අතර, රෝමානුවරුන් හා යුද්ධයකට ගෝල්වරුන් සූදානම් වූහ. ඇල්ෆ්ස් කඳු වලින් ඔබ්බෙහි සිට කුලී හේවායින් 30,000 කුලියට බඳවාගත් ඔවුහූ, රෝමානුවරුන් පැමිණෙන තුරු බලා සිටියහ. [32] මෙහෙයුම් කාලසීමාව ඇරඹෙත්ම, කවුන්සල්වරුන්ගේ භට හමුදා නැවතත් ඉන්සියුබර්ස්වරුන්ගේ භූමිප්‍රදේශ වෙතට ප්‍රයාණයෙහි යෙදුනහ. මේඩියෝලානුම් අසබඩ පෙදෙසකදී, දරුණු ගැටුමක් ඇවිලුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් ගෝල් විප්ලවයෙහි නායකයෝ රෝමානුවරුන්ට යටත් වූහ. [32] මෙම ජයග්‍රහණයත් හා සමගින්, පඩනේ ගෝල්වරුන් අවාසනාවන්ත ලෙසින් දමනය කරනු ලැබූ අතර කැරලිගැසීම සඳහා පන්නරය ලදහ.

සූදානම් වීම[සංස්කරණය]

තත්ත්වය පිළිබඳ අවබෝධයකින් පසුවූ හැනිබල්, පෝ නිම්නයෙහි ගෝල් ජාතික ගෝත්‍රයන් වෙත රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් ගණනාවක් පිටත් කර යැවීය. ක්‍රිපූ  220 දී, පඩනේ ගෝල්වරුන් ("පඩනේ ගෝල්වරුන්" ලෙසින් ඔවුන් හැඳින්වුනේ මෙම යුගයෙහිදී පෝ ගංගාව රෝමන්වරුන් හැඳින්වූයේ "පාඩුස්" ලෙසින් වන නිසාය) හා සමගින් ඉතා සමීපයෙන් සන්නිවේදනය කිරීම ඔහු විසින් ඇරඹූ අතර, මුදල්, ආහාර සහ මගපෙන්වීම සැපයීම සඳහා පොරොන්දු මෙම දූත පිරිස් විසින් කාර්තජේනියානුවන් වෙත යළි රැගෙන එන ලදි. [33]

මෙම දූත කාර්ය මෙහෙවරෙහි විශේෂිත අරමුණ වූයේ, ඇල්ෆ්ස් කඳු වැටියෙහි සිට පෝ නිම්නය වෙත හැනිබල් හට පහත වැසීමට සුදුසු ආරක්ෂිත ස්ථානයක් පිළියෙල කර ගැනුමය. ඇල්ෆ්ස් කඳු පිළිබඳ මහත් දැනුමක් හැනිබල් සතු නොවූ නමුත්, එය දුෂ්කර ප්‍රයාණයක් වීම සහතික බව ඔහු දැන සිටියේය. මෙම කඳු පංතිය පිළිබඳව සමහරක් තොරතුරු සපයන්නන් විසින් ලබා දුන් වාර්තා පරිදී, එහිදී ගෝල්වරුන් වෙතින් පවා සිදුවීමට ඉඩ ඇති දුෂ්කරතා පිළිබඳව ඔහු අවබෝධයෙන් සිටියේය. [33] මෙම කර්කශ කඳු පංතිය තරණය කොට අතිශයින් වෙහෙසට පත් බල ඇණි සමගින් පෝ නිම්නය වෙත පහතට බැස එකෙණෙහිම සටනකට මුහුණ දීමට ඔහු අපේක්ෂා නොකලේය.

හැනිබල්
හැනිබල්ගේ බවට වාර්තා වන කිරිගරුඬ උඩුකයක්.

ඇල්ෆ්ස් කඳු පිළිබඳව හැනිබල් විශේෂිත වශයෙන් දැන සිටියේ ඉහළට නැගීමට වඩා පහතට බැසීම සීඝ්‍රතම බවය. ඔහු ප්‍රයාණයෙහි යෙදෙන භූමි භාගයන්හී මිත්‍ර පාක්ෂිකයන් සීටිම ඔහුට අවශ්‍යවීමට මෙය එක් හේතුවක් විය. ඉතාලිය වනාහී, අප්‍රිකානු මහාද්වීපික තැටියෙහි කොටසක් නොවූ අතර එය යුරෝපියානු තැටියෙහි කොටසක් විය; භූකාරක තැටි චලනය නිසාවෙන් ඉතාලියානු අර්ධද්වීපය, යුරෝපය වෙතට තල්ලුකිරීම නිසා ඇල්ෆ්ස් කඳු තැනී ඇති අතර ඉහත කරුණ නිසාම ඇල්ෆ්ස් කඳු වල ඉතාලියානු පැත්ත සැලකිය යුතු තරමක් තද බෑවුමක් සහිත විය.

ඔවුන් විසින් මෑතකදී යටත් කරගත් ගෝල්වරුන්ට රෝමානුවන් විසින් නොසතුටුදායක ලෙසින් සලකා තිබූ අතර, මෙම ස්වදේශිකයන් සතුව තිබූ ඉඩම් රෝමානු ජානපදිකයන් අතර බෙදා දීමද මෙම නැවුම්ව යටත් කර ගත් ගෝත්‍රයන්ගේ පක්ෂපාතිත්වය සහතික කරනු වස් අතිශයින් පීඩාකාරී පියවර ගැනීමද සිදු කොට තිබුණි. විශේෂයෙන් ඇල්ෆ්ස් කඳු වැටියට යාබදවම පැවති ගෝත්‍රික භූමිප්‍රදේශයක් සහිතවූ ඉන්සියුබර්ස්වරුන් සහ පෝ ගංගාවේ තවද පහළ ජීවත්වූ බෝයි ජාතිකයන්, හැනිබල් විසින් සැලසුම් කර තුබූ ආක්‍රමණය කෙරෙහි මහත් මනාපයක් දැක්වූහ. මෙයට අමතර වශයෙන්, අයිබීරියානු අර්ධද්වීපයෙහි පදිංචිව සිටි බොහෝ ජන කොටස් එකිනෙකට ඥාතිත්වයක් දැක්වූ ගෝල් ජාතික ගෝත්‍ර වලට අයත් වූ අතර,[34] මෙම ගෝල් වරුන්ම හැනිබල්ගේ හමුදාවෙහි සේවය කලහ. මහත් සේ කලකිරුණු මෙම ගෝත්‍ර සමග, විශේෂයෙන් ඇල්ෆ්ස් කඳු යාබදව ජීවත්වූ ගෝත්‍ර සමග, කිට්ටු සබඳතා ඇති කර ගැනුම පහසු බව පෙනී ගිය අතර, ඔවුන් අතරින් ඉන්සියුබර්ස්වරුන් සහ බෝයි ජාතිකයින්, තම අවශ්‍යතා ඉටු කර ගනු වස් හැනිබල්ගේ හමුදාව සමගින් සංවාදයෙහි යෙදෙනු ඇති බවට විශ්වාස කෙරිනි. හැනිබල්ගේ සැලසුම පිළිබඳව පොලිබියුස් පැවසුවේ මෙයයි:

ඔහුගේ ව්‍යාපාරය මෙහෙයවූයේ පරිපූර්ණ විචාරබුද්ධියක් සහිතවයි; එසේ කල හැකි වූයේ ඔහු අවතීර්ණ වීමට නියමිත භූමියේ පැවති තත්ත්වය පිළිබඳව සහ එහි නිවැසියන් තුල රෝමානුවන්ට එරෙහිව පැවති එදිරිවාදී ස්වභාවයන් නිරවද්‍ය ලෙසින් අවබෝධ කර ගත් නිසාය; භූමි ප්‍රදේශයෙහි ස්වදේශිකයන් සමග සබැඳියාව දුෂ්කර තැන්හී ඔහු තැබූ මාර්ගෝපදේශකයන් සහ හසුරුවන්නන් ඔහුගේ අපේක්ෂාවන් සහ සමාන චරිත ස්වභාව ඇත්තන් වූහ [35]

සගූන්ටුම් වටලෑම[සංස්කරණය]

මෙම සූදානම් වීම හමාර වත්ම, සගූන්ටුම් වැසියන් තමන් හා සමග යුද්ධ වැදෙනු බවට පොළඹවාගැනුමට හැනිබල් ප්‍රයත්න දැරුවේ සගූන්ටුම් හී ක්‍රීයාවන් ඔස්සේ ඇයගේ ප්‍රතියුක්තයා වූ රෝමයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමට අවකාශ ලබා ගැනුමටයි. තමන් විසින්ම සාමය බිඳදැමීමට ඔහු සතුටු නොවූ අතර,[36][37] සගූන්ටුම් වැසියන් විසින් ඔහු වෙත ප්‍රහාරය දියත් කිරීම සඳහා පොළඹවාගැනුමට විවිධ උපක්‍රම ගණනාවක් උපයෝගී කර ගති.[36] කෙසේවෙතත්, කාර්තජේනියානුවන්ගේ යුද්ධකාමී හැසිරීම පිළිබඳව පැමිණිලි කෙරුමට රෝමානුවන් වෙත රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් යැවීම හැර වෙනත් යමක් සගූන්ටුම් වැසියෝ නොකලහ.[36][38] එවිට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ප්‍රතිචාර දැක්වූයේ, අයිබීරියාවට කමිටුවක් යැවීමෙන් සහ [38] ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික ලෙසින් විසඳා ගැනුමට ප්‍රයත්න දැරීම තුලිනි. මෙම කොමිසම සමග ගණුදෙනු කිරීමට හැනිබල් වෙත කිසිම අභිලාශයක් නොතිබුණු අතර ඔහු සිදු කලේ එයට අවඥාසහගත ලෙසින් සැලකීම වන අතර එය තුලින් ඔහු බලාපොරොත්තු වූයේ කොමිසම විසින් ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමට එය පෙළඹවෙනු ඇති බවයි. කෙසේවෙතත්, කොමිසම නොමග යැවීම සාර්ථක නොවූ අතර යුද්ධයක් අත ළඟ බව එයට හැඟී ගොස් තිබුණි.[36] සාමය නොබිඳෙන ලෙසට කොමිසම කටයුතු කල අතර, පහර දීමට හැනිබල් සූදානම්ව සිටින බවද ඉතා ඉක්මනින් පහර දීම සිදු වනු ඇති බවද යන ප්‍රවෘත්තිය ඔවුන් විසින් රෝමය වෙත දන්වන ලදි.[36][38] ඉදිරියෙහිදී කාර්තජේනියාව හා සමගින් සිදුවිය හැකි යැයි අනුමාන කෙරුණු ගැටුම සඳහා සම්පත් නිදහස් කරගනු වස් පියවර කිහිපයක් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් ගන්නා ලදි. ඉලේරියානු කැරැල්ලක් දරුණු ලෙසින් පූර්ණ බලය යොදමින් මැඩ පවත්වන ලද අතර, සිසැල්පයිනියානු ගෝල් ප්‍රදේශයෙහි බලකොටු ගණනාවක් තැනීමේ ක්‍රියාවලිය රෝමානුවන් විසින් වේගවත් කරන ලදි.[36] රෝමය හා සමගින් පෙරදී පැවැති ඔහුගේ මිත්‍ර පාක්ෂිකභාවය අත්හල ෆේරෝස් හී ඩිමීට්‍රියස් විසින් රෝමානු රාජ්‍යය වෙත ඈඳාගනු ලැබුණු ඉලේරියානු නගර වෙත පහර දීම එවිට අරඹා තිබුණි.[39]

හැනිබල් බලාපොරොත්තු වූ දේවල් එලෙස සිදු නොවූ අතර අවසානයෙහිදී ඔහු විසින් (ඔහුගේ දේශපාලන සතුරන්වූ සාම පක්ෂය බලයේ සිටි) කාර්තේජයට දන්වා යැවුවේ [40] සගූන්ටුමියානුවන් විසින් ඔවුන් යටතේ සිටි ගෝත්‍රයක් වූ ටෝර්බලිට්ස්වරුන් හට කෲර ලෙසින් වධ හිංසා පමුණුවන බවත්,[36]කාර්තේජ් වෙතින් පිළිතුරක් නොමැති කල තමන් සගූන්ටුම් ඉදිරියේ කඳවුරු බැඳ සිටින බවත්ය. කාර්තජේනියානු සෙනෙට් මණ්ඩලයෙහි කතා බහ කෙරුණේ රෝමානුවන් හට හැනිබල් පාවා දිය යුතු බවත් ඔහුගේ මෙම ක්‍රියාවන් ප්‍රතික්ෂේප කල යුතු බවයි. කෙසේවෙතත්, කාර්තේජයෙහි බහුතරයක් විසින් යුද්ධය නැවැත්වීමට වඩා ගැටුම සඳහා ප්‍රියමනාපයක් දැක්වූහ.[36]

මාස අටක කාලයක් තුල වටලෑම සිදුවූ අතර,[36] ඔවුන්ගේ සන්ධානයෙහි එකඟතාවයන්හී කොටසක් වශයෙන් සිදුව තිබිය යුතු වූවද, රෝමානුවන් විසින් කිසිදු ආධාරයක් සගූන්ටුම් වැසියන් වෙතට නොඑවූ බව සංගණ්‍ය කරුණක් වශයෙන් දත යුතුය. ඉලේරියානුවන් හා යුද්ධයෙහි පැටලී සීටිමට ඉඩ දීම මිස,[36] අයිබීරියාවෙන් නැග ආ කාර්තජේනියානු තර්ජනය පිළිබඳව කල යුතුව තිබූ සැලකිල්ල රෝමානුවෝ නොදැක්වූහ.

වැටලීමෙන් පසුව, වැසියන් සියල්ල වහලුන් ලෙසින් විකිණීමට හැනිබල් ක්‍රියා කල අතර, එම විකිණීමෙන් උපයා ගත් මුදල් සිය සොල්දාදුවන් අතර බෙදා හැරීය. එයට අමතර වශයෙන්, නගරය කොල්ලකෑමෙන් ලැබූ සියළු වස්තුව කාර්තේජය වෙත ගෙන ගොස් එහි ජනතාව අතර බෙදා දුන්නේ, ඔහුගේ අභිප්‍රාය වෙනුවෙන් සහයෝගය උපයා ගැනීම සඳහාය. නගරයෙහි වස්තුවෙහි ඉතිරි කොටස ඔහුගේ යුද්ධ වියදම් පෙට්ටගම වෙත බහාලනු ලැබුවේ ඔහු සැලසුම් කර තිබූ ගවේෂණයන් සඳහා භාවිතා කරනු වස් විය.[41]

පිරනීස් හරහා ප්‍රයාණය[සංස්කරණය]

ක්‍රිපූ 200 පමණ පේකඩ නෙලීමක දැක්වෙන අයිබීරියානු යුද්ධ භටයෙක්. ෆල්කටාවකින් සහ ඕවලාකාර පළිහකින් යුද්ධ භටයා සන්නද්ධව ඇත. අයිබීරියානු ගෝත්‍රිකයෝ දෙවන පියුනික් යුද්ධයෙහිදී දෙපාර්ශවය සඳහාම සටන් වැදුනු වුවද, ඔවුන්ගේ සත්‍ය අභිලාෂය වූයේ සමස්ත විදේශ ආධිපත්‍යයන්ගෙන් මිදීමටය. ස්පාඤ්ඤ ජාතික පුරාවිද්‍යාත්මක කෞතුකාගාරය, මැඩ්රිඩ්

හැනිබල් විසින් සගූන්ටුම් වටලෑමෙන් පසු පැමිණි ශීත සෘතුව කාර්ටජේනාවෙහි ගත කල අතර, එම කාලසීමාව තුලදී ඔහුගේ හමුදාවන් ඔහු විසින් ඔවුන්ගේ ස්වදේශයන් වෙත යන පරිදී නිදහස් කොට තිබුණි. දුෂ්කර මෙහෙයුමක් වන බවට ඔහු දැන සිටි ඉදිරි මෙහෙයුම සඳහා ඔහුගේ යුද්ධ හමුදාවෙහි චිත්ත ධෛර්යය හැකි ඉහළම මට්ටමට මස්තකප්‍රාප්ත කරවීමෙහි බලාපෙරොත්තුව සහිතව ඔහු විසින් මෙසේ සිදු කරන ලදි. ඔහුගේ සොහොයුරු, හස්ඩ්රුබල් යටතෙහි කාර්තජේනියානු අයිබීරියාවෙහි පරිපාලනය සහ රෝමානුවන්ට එරෙහිව එහි ආරක්ෂාව ඔහු විසින් පමුණුවන ලදි. මෙයට අමතරව, අයිබීරියාවෙහි දේශීය හමුදාවන් අප්‍රිකාව වෙතද සහ අප්‍රිකාවෙහි දේශීය හමුදාවන් අයිබීරියාව වෙතද ඔහු හුවමාරු කරන ලදි.[42] තමන් රෝමය විනාශකෙරුමෙහි කාර්යයෙහි නිරතව සිටියදී හමුදාව හැර යෑම අවම කිරීම සඳහා සහ හමුදාවන්හී පක්ෂපාතිත්වය සහතික කිරීම සඳහා ඔහු විසින් මෙය සිදු කරන ලදි. ඔහුගේ සොහොයුරු වෙතට යාත්‍රාවන් කිහිපයක්ද ඔහු විසින් සපයන ලදි.[43]

රෝමානුවන්ට කැටලෝනියාවෙහි කඳවුරු ලෑමට අවකාශ දීමෙන් අත්විඳිය හැකි ගැටළු පිළිබඳ පූර්වදැනුමක් හැනිබල් සතු විය. මෙම භූමිප්‍රදේශයෙහි ඔවුනට මිත්‍ර පාක්ෂිකයන් ගණනාවක් වූ අතර, සටනක් නොමැතිව ඔහුගේ පාදකයෙහි භූමිප්‍රදේශයක රෝමානුවන්ට ස්ථානගතවීමට ඔහුට ඉඩ දිය නොහැකි විය. ඉතාලියේදී සටනෙහි වැදෙමින් සිටියදී ඔහු වෙත භට හමුදා ඛණඩ පැමිණීම සඳහා මෙම භූමි ප්‍රදේශය ඔස්සේ වැටෙන මං පෙත් භාවිතා කල යුතුව සිටි බැවින් මෙම භූමි ප්‍රදේශය ඔහු විසින් යටත් කර ගත යුතුව තිබුණි. ඔහු ඉතාලියෙහි සටන් වැදීම ඇරඹූ කල්හී අයිබීරියාවෙහි ඉරණම දෛවයට භාර කෙරුමට ඔහුගේ අභිලාෂයක් නොවීය. වේගවත් හා ජවසම්පන්න මෙහෙයුමක් භාවිතයෙන් භූමි ප්‍රදේශය යටත් කර ගැනුම හැනිබල් විසින් තෝරාගන්නා ලද අතර, එය සාක්ෂාත් කර ගනු වස් ඔහුගේ යුද්ධ හමුදාව පේළි තුනකට වෙන් කොට එමගින් භූමි ප්‍රදේශයෙහි සමස්තයම එකවර අභිබවනය කෙරුමට ඔහු සැලසුම් කලේය.

කැටලෝනියාව ඔස්සේ හැනිබල්ගේ මං පෙත

ඔහු විසින් භාවිතා කිරීමට නියමිත මං පෙත පිළිබඳව, ඔහුගේ ඔත්තු සපයන්නන් සහ ඇල්ෆ්ස් කඳු අවට ජීවත්වූ කෙල්ටික ගෝත්‍ර වෙතින් විස්තර ලද පසු, හැනිබල් විසින් කාර්තජේනියානුවන් මෙහෙයුම වෙත යොමු කරවන ලදි. විවිධ අප්‍රිකානු සහ අයිබීරියානු ජාතීන් වෙතින් සමන්විතවූ 90,000 ක බැර අවි පාබළ සේනාවක් සහ 12,000 ක අශ්වාරෝහක හමුදාවක් සමගින් ඔහු පිටත් විය. ඒබ්රෝ සහ පිරනීස් අතර ප්‍රයාණයෙහිදී ඉලර්ජිටෙස්වරු, බාර්ගසීවරු, ඇරනසීවරු සහ ඇන්ඩොසීනිවරු යන්නාවූ ගෝත්‍ර සතරක් හා සටන් වැදුමට කාර්තජේනියානුවන් හට සිදු විය. මෙම මෙහෙයුමෙහිදී හැනිබල් විසින් නගර ගණනාවක් යටත් කර ගත්තද පොලිබියස් විසින් ඒවා සඳහන් කොට නොමැත. මෙම මෙහෙයුම වේගයෙන් සිදු කරන ලද්දේ, මෙම භූමි ප්‍රදේශය හැකිතරම් කෙටි කාලයකින් නතු කර ගැනුම හැකි වන පරිදීය. හැනිබල්ගේ පාර්ශවයට සිදුවූ හානි කිහිපයක් පොලිබියස් විසින් වාර්තා කර ඇත. මෙම භුමි ප්‍රදේශය යටත් කර ගැනුමෙන් පසුව, මෙම ප්‍රදේශය තුල මෙන්ම විශේෂයෙන්ම රෝමානුවන් සමග පැවති ඇඟෑලුම්කම නිසා ඔහුගේ අවිශ්වාසයට පාත්‍රවීමට හේතු කාරක වූ බාර්ගසීවරු මත ආඥාපතිත්වය පතුරුවනු පිණිස , ඔහුගේ සහෝදර හැනෝ යෙදවීය. මෙම භූමි ප්‍රදේශය පාලනය කිරීම සඳහා ඔහුගේ සහෝදරයා වෙත පාබළ හමුදා භටයන් 10,000 ක් සහ අශ්වාරෝහක භටයන් 1,000 ක් ඔහු විසින් සැපයිණි.[44]

මෙහෙයුමෙහි මෙම මුල් අදියරෙහි, තවත් පාබල භටයන් 10,000 ක් සහ අශ්වාරෝහක භටයන් 1,000 ක් නිවෙස් බලා යැවීමේ විකල්පය ඔහු තෝරා ගති. කරුණු දෙකක් ඉටු කරනු වස් ඔහු මෙය සිදු කලේය: හැනිබල් කෙරෙහි ධනාත්මක ආකල්පයන් දරන පිරිසක් ඔහු අනුගමනය කරනු දැක්ම ඔහු රිසි විය; ගවේෂණයෙන් හොඳ ප්‍රතිඵල ලැබීමේ හැකියාවන් ඇති බවට ඉතිරි අයිබීරියානුවන් (ඔහුගේ හමුදාවෙහි මෙන්ම ඉන් පිටතද) විශ්වාස කිරීම නිසා, ගවේෂණය ඉදිරියට යත්ම ප්‍රතිස්තම්භනයන් ලෙසින් භට ඛණ්ඩයන් අවශ්‍ය වන විට ඒවාට බැඳීමට වඩාත් නැඹුරුතාවයක් ඔවුන් විසින් දක්වනු ඇති බව යන විශ්වාසය නිසාය.[44] ඉතිරිවූ භට හමුදාව සමන්විත වූයේ පාබල හමුදා භටයන් 50,000 ක් සහ අශ්වරෝහක භටයන් 9,000 ක් වෙතිනි.[45]

ප්‍රධාන පේළිය වූයේ දකුණුතම පේළිය වූ අතර, එය වෙත යුද්ධ වියදම් පෙට්ටගම, අශ්වරෝහක හමුදාව, මාර්ගෝපකරණ, යුද්ධයට අවශ්‍ය සියළු දේ සහ හැනිබල් තෙමේද විය.[46] මෙය ඉතාමත් වැදගත් පේළිය වූ අතර, හැනිබල් එම පේළිය වෙත වීම අහුඹු සිදු වීමක් නොවීය. රෝමානුවන්ගේ සැබෑ ක්‍රියාවන් හා උරෙන් උර ගැසී සිටීමට හැකි වන පරිදී තමන් වෙත යාත්‍රාවන් නොමැති තාක් කල් , තම යුද්ධ හමුදාවන් පිරනීස් මතින් ප්‍රයාණය තුලදී නැගුමෙහි හෝ බැසුමෙහි හෝ යෙදී සිටියදී ඒවාට පහර දීමට උත්සාහ කෙරුමට හැකිවන පරිදී ගොඩබැසීමක් සිදු කිරීමට රෝමානුවන් ක්‍රියා කරන විටක එවන් අවස්ථාවක එය මුහුණ දීමට හැකි වන පරිදී සිටීමට හැනිබල්ට අවශ්‍ය විය. ඇඩබා නගරයෙහිදී ඒබ්රෝ තරණය කල මෙම පේළිය,[47] ටැරකෝ, බාචිනෝ, ජුරන්ඩා, එම්පොර්යයි සහ එලිබරෙස් හරහා වෙරළ තීරය ඔස්සේ කෙලින්ම ගමන් කලහ.[46] මෙම ඔප්පිඩුම් නගරයන් සියල්ලක්ම යටත් කර ගෙන ආරක්ෂිත බලකොටු බවට හැරවිණි.

මෝරා නම්වූ ඔප්පිඩුම් නගරයෙහිදී දෙවන හෝ මධ්‍යම හෝ පේළිය එබ්රෝ තරණය කල අතර, එතැන් සිට එය පිළිබඳ ලැබුණු තොරතුරු අල්පය.[47] මෙම භූමි ප්‍රදේශයෙහි මිටියාවත් කිහිපයක් ඔස්සේ එය ගමන් කල අතර, එහි ඉදිරි ගමනට විරුද්ධතාවය දැක්වූ ඕනෑම ගෝත්‍රයක් මැඩපැවැත්වීමට එයට අණ ලැබී තිබුණි. එහි ඉලක්කය සපුරාලීමෙන් අනතුරුව එය ප්‍රධාන පේළිය හා එය අත්‍යන්තයෙහිදී යළි එකතු විය.

සිකරිස් ගංගාව විසින් එය ස්පර්ශ කරන ස්ථානයෙහිදී එබ්රෝ ගංගාව තරණය කල තුන්වන හෝ වම් හෝ පේළිය ගංගා මිටියාවත ඔස්සේ ගමන් කොට කඳුකර භූමි ප්‍රදේශ වෙත ඇදුණේය. දෙවන පේළිය සහ පළමුවන පේළිය විසින් සිදු කල කාර්යයම එය විසින් සිදු කරන ලදි. මෙම එක් එක් ප්‍රයාණයන් සැලසුම් කරන කල, සෑම පේළියකම මං පෙත හරහට රූබ්‍රකේටස් ගංගාව පිහිටන බවට හැනිබල් සහතික වූ අතර, බාර්බේරියානුවන් අතින් කිසියම් උපද්‍රව සහිත තත්ත්වයකට එක් පේළියක් පත්වුවහොත් අනෙකුත් පේළි විසින් ගංගාව ඉහළට හෝ පහළට ගමන් කිරීමෙන් එකෙිනෙකා වෙත උදව් කල හැකි වන පරිද්දෙන් මෙය සිදු කෙරිණි.[46]

මාස දෙකක කාලයක් පුරාවට මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර, එය අතිශයින් වැය අධික විය. දෙමසක් තුල පැවැති මෙහෙයුම තුල, හැනිබල්ගේ භටයන් 13,000 නටහ.

රෝන් වෙත ප්‍රයාණය[සංස්කරණය]

පිරනීස් හරහා බැසීමෙන් පසු රෝන් වෙත ප්‍රයාණයෙහි කැපී පෙනෙන විස්තරය වන්නේ එය පිළිබඳ කැපී පෙනෙන ලෙසින් කිව යුතු කිසිවක් නොමැති බවය. පසුගිය ජූලි[48] සහ අගෝස්තු [48] මාස තුලදී පිරනීස් කඳුවැටියහෙි ජීවත්වූ බොහෝ සැඩපරුෂ ජන කොටස් මැඩ පවත්වමින් සිටි කාර්තජේනියානුවන් හට මෙම ප්‍රයාණය මනස්කාන්ත ‍ජව මාරුවක් වූවා විය හැකිය. මෙම ප්‍රදේශයෙහි දේශීය ජනයා විසින් ආක්‍රමණික හමුදාවන් වෙතට විරුද්ධව එල්ල කල දරුණු ප්‍රතිවිරුද්ධතා පිළිබඳ බොහෝ උදාහරණ වෙතින් කැටලෝනියාවේ ඉතිහාසය වර්ණවත්ව තිබේ. අර්ධද්වීපික යුද්ධය යනු බොහෝ උදාහරණ අතුරින් එකක් පමණක් වන අතර, වඩාත් පැතලිමය භූමිභාගයක් විසින් ලබා නොදෙනු ලබන බොහෝ වාසිදායක තත්ත්වයන් මෙම භුමි ප්‍රදේශයෙහි ඡින්න භූමි ලක්ෂණ විසින් විරෝධන කණ්ඩායම් වෙත උදා කර දෙයි. මෙම සරියෙහි ඔහු පසු කල භූමි ප්‍රදේශයන්හි ජනයා විසින්, කාර්තජේනියානුවන්, රෝමානුවන් සහ හැනිබල්ගේ හමුදාව ඔවුන්ගේ භූමිය හරහා ගමන් කිරීම පිළිබඳව විවිධ හා ප්‍රභින්න මත දැරූහ. මෙම ගෝත්‍රයන්ගෙන් සමහරක් ඔහුගේ අභිප්‍රායට මිත්‍රශීලි සහයෝගයක් දැක්වූ අතර අනෙකුන් ඔහුට විරුධත්වය දැක්වූහ.[49] මෙම භූමි ප්‍රදේශය හරහා ඔහුගේ ප්‍රයාණයෙහිදී මෙම ජනයා සමග ගනුදෙනු කිරීමෙහිදි හැනිබල් විසින් දැක්වූ හැකියාව ප්‍රකටව දැක්වුණේ, මෙම ප්‍රදේශයෙහි ජනතාව අතර දේශපාලනමය සජානියත්වයක පැවතීම විරල වුවද, මෙම භූමි ප්‍රදේශය තුල කිසිදු සටනක් සිදුවූ බවට වාර්තාව නොතුබූ හෙයිනි. ඔවුන්ගේ භූමි ප්‍රදේශය තුලින් ප්‍රයාණයෙහි යෙදෙත්ම, එක් එක් ගෝත්‍රය හා සමගින් ගනුදෙනු කිරීම ඔහු විසින් සිදු කෙරිණි.[49] ඔහු වෙත තිබූ පොළඹවාගැනුමෙහි ක්‍රමවේදනයන් වූ ඔහුගේ පුද්ගලික ආකර්ෂණීය භාවය සහ ඔහුගේ යුද්ධ වියදම් පෙට්ටගම ඔහු විසින් භාවිතා කෙරිණි.

සාර්ථක ග්‍රීක වෙළෙඳ පුරයක්වූ මසීලියා (වර්තමාන මාර්සේල්), රෝමානුවන්ගේ ආභාෂය යටතේ කලක් පැවති අතර, රෝමානුවන් විසින් එහි ජානපදිකයන් පවා පදිංචි කර තිබුණහ. ඉදිරියට පැමිණෙමින් සිටි කාර්තජේනියානු හමුදාව පිළිබඳ මසීලියා පුරය බිය වූ හෙයින්, රෝමානු අභිප්‍රායයන් වෙනුවෙන් අවි ගැනීම කරනු වස් රෝන් නදියෙහි වම් ඉවුරෙහි (නැගෙනහිර ඉවුරෙහි) දේශීය ගෝත්‍රයන් පොළඹවා ගැනුමෙහි ප්‍රයත්නයක යෙදුනහ.[50] එය එසේ සිදු කිරීමට ඔවුනට හැකි වූ අතර, මෙම භූමි ප්‍රදේශයෙහි බාබේරියානුවන් විසින් රෝන් නදිය තරණය කිරීම හැනිබල්ට ගැටළු සහගත කරවන ලදි.

ක්‍රිපූ  218 සඳහා කොන්සල්වරුන් අතරින් එකෙකු වූ පුබිලියුස් ස්කීපියෝ,[12][50] විසින් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙන් අණ ලද්දේ, එබ්රෝ හෝ පිරනීස් හෝ රණ මඬලෙහිදී හැනිබල්ට මුහුණ දෙන ලෙසටය.[50][51] [52] සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් ඔහුට මේ සඳහා යාත්‍රා 60 ක් වෙන් කර දෙන ලදි.[53] කෙසේවෙතත්, කාරණය විසින් අවශ්‍යව තුබූ ජවය හා වේගයෙන් ඔහු ක්‍රියා නොකලේය. පෝ ප්‍රදේශය වෙත ඔහු ලඟා වෙත්ම, අළුතින් යටත් කර ගැනුනු ගෝල්වරුන් අතර කැරැල්ලක් ඇති වී තිබුණි.[50][54] පෝ ප්‍රදේශයෙහි ජනපද බොහෝමයක් පිහිටුවා තිබූ අතර, එය නිසා, හැනිබල් ඔවුන් වෙත එමින් සිටි බවද දැන් සිටි බෝයි සහ ඉන්සියුබර්ස් යන ගෝත්‍ර අළුතින් නැගී සිටිමින් සිටියහ.[51] එම අවස්ථාවෙහි සූදානම්ව තිබුණු භට සේනාංක නියමිත පරිදී අයිබීරියානු ගවේෂණය සඳහා භාවිතා කරනු වෙනුවට, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය අණ දුන්නේ [53] ප්‍රීටරවරයෙකුගේ ආඥාපතිත්වය යටතේ ඒවා පෝ ප්‍රදේශයට යැවිය යුතු බවත්, කොන්සල්වරයා විසින් නව භට සේනාංක බඳවා ගත යුතු බවත්ය.[53][54] නව යුද්ධ හමුදාවක් තැනීම, රෝමානුවන්ට සාපේක්ෂ ලෙසින් පහසු කාර්යයක් විය. යුද්ධ හමුදාවෙහි සේවය කිරීමට සුදුසුකම් ලත් බොහෝ පුරවැසියෝ සිටි අතර, රජය විසින් කල යුතුව තිබුණේ තවත් සොල්දාදුවන් අවශ්‍ය බවත් ඔවුන් සේවයේ යෙදීම අවශ්‍ය බවත් දැන්වීම පමණි. කිසියම් අවස්ථාවකදී සේවයෙහි යෙදීම අනිවාර්යයෙන්ම පැන නගින හෙයින්, බොහෝ රෝමානුවන්, ඔවුන්ගේ යෞවන කාලයෙහි කොටසක් වැය කලේ හමුදා ඛණ්ඩ වල සේවය කිරීමට පුහුණුව ලබා ගැනුමටය.

අවසානයෙහිදී, සියළු නව හමුදා ඛණ්ඩයන් රැස් කර ගැනුමෙන් පසුව – තත්ත්වය විසින් ඔහුගෙන් බලාපොරොත්තුවූ ඉක්මන් බවට වඩා ඉතාමත් කම්මැලි ස්වභාවයෙන්– ඕස්ටියා වෙතින් ඔහු නැව් නැංගේය. මාලිමා යන්ත්‍ර නොතිබූ මෙම කාලයෙහිදී, යාත්‍රිකයන්ගේ පුරුද්දක් වූයේ ඔවුන්ගේ නැව් වෙරළ අසබඩින් යාත්‍රා කොට රාත්‍රියෙහිදී ආහාර පාන සඳහා නැවැත්වීමයි.[55]ඒ අනුව, (ඉතාලියානු) අර්ධද්වීපයෙහි වෙරළ ඔස්සේ උතුරු දෙසට යාත්‍රා කොට අයිබීරියානු අර්ධද්වීපය වෙතට බටහිර දෙසට හැරුණු නැව් පෙලට මසීලියා පුරයෙහි නතර කරන ලෙසට කොන්සල්වරයා නියෝග කලේය.[53][56]ඔහු එහි පැමිණි පසු, ඔහුගේ විශ්මයට හේතුවක් වෙමින් මසීලියානුවන් පැවසුවේ ඔහු සිතූ පරිදී තවමත් කැටලෝනියාවෙහි සිටිනවා වෙනුවට,[56] දින 4 ක පමණ ප්‍රයාණයකට ඔබ්බෙන් [57] නගරයට මෙහා රෝන් නදියෙන් එහා පැත්තේ හැනිබල් සිටින බවයි.

රෝන් නදියෙන් එතෙර වීම[සංස්කරණය]

හොන්රි මාට් විසින රචිත, 1878, හැනිබල් බාර්කා විසින් රෝන් නදියෙන් එතෙර වීම තුල යුද්ධ හස්තීන් නිරූපණය කර තිබූ අයුරු

හැනිබල්ගේ ප්‍රයාණයන් බොහෝමයක්ම පිළිබඳ වාද භේද පවතින අතර, විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ ඇල්ප්ස් මතින් ප්‍රයාණයට ඔහු භාවිතා කල මං පෙත පිළිබඳවය. කෙසේවෙතත්, නූතන ඉතිහාසඥයින් එකඟ වන්නේ රෝන් නදියෙහි බටහිර ඉවුරෙහි හැනිබල් විසින් ඔහුගේ යුද්ධ හමුදාව කඳවුරු ලා සිටි ස්ථානය පිළිබඳව සහ නදියෙන් එතෙර වීමෙහි අදහස ඔහුගේ මනස තුල පහළ වී එය සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක කෙරුණු ආකාරය පිළිබඳවය.[උපහරණ ඇවැසිය]

කැටලෝනියාවෙහි ඇයගේ මිත්‍ර පාක්ෂිකයන් කාර්තජේනියානුවන් හමුවේ අනාරක්ෂිතව පැවතීමට තරම් රෝමය උදාසීන වූ අතරතුර, රෝමානුවන්ගේ මිත්‍ර පාක්ෂිකයන්වූ මසීලියානුවන් උත්සුක වූයේ, රෝන් නදියට වම් පස (නැගෙනහිර) ඉවුරෙහි ගෝත්‍රයන් කාර්තජේනියානුවන්ට එරෙහිව පෙළඹවීමයි.[50] මසීලියා පුරයට අසබඩින් කාර්තජේනියානුවන් සිටින බවට ඔත්තුසේවා තොරතුරු ලද සැනින් කොන්සල්වරයා විසින් ඔහුගේ යෝජිත අයිබීරියානු ගවේෂණය අත්හල අතර ඒ වෙනුවට ඔහුගේ මනසෙහි පහල වූ ඊළඟ තර්කානුකූල පියවර වූ ඔහුගේ උපරිමයෙන් හැනිබල් රෝන් නදියෙන් එතෙර වීම වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කරවීය.[56] මෙය සාක්ෂාත් කර ගනු වස් ඔහු විසින් අශ්වාරෝහක භටයින් 300 කින් සැදුම්ලත් පේළියක් [57] රෝන් නදියෙහි වම් (නැගෙනහිර) ඉවුර දිගේ ඉහළට යැවුයේ හැනිබල්ගේ යුද්ධ හමුදාව ගැවසෙන නියම ස්ථානය නිර්ණය කර ගන්නා ලෙස නියෝග සහිතවය.[56] හැනිබල් විසින් ද එවැනිම රහස් ඔත්තු පුවත් ලද්දේ ඔවුන්ගේ කොන්සල් හමුදාවන්ගෙන් එකක් (22,000 පාබළ සහ 2,000 අශ්වාරෝහක) සමග රෝමානුවන් පැමිණි බවටයි.[58]

දකුණු පස (බටහිර) ඉවුරෙහි සිටි සෙල්ටියානුවන් සහ රෝමානුවන් අතර පෙර සිට පැවැති ද්වේෂයෙන් හැනිබල් වාසි ලබා ගත් අතර, මෙම බැරෑරුම් අවහිරයෙන් එගොඩ වීමට ඔවුන්ගේ උපකාරය ලබා දෙනු වස් එකඟ කරවා ගත්තේය.[56][57] මුහුදෙහි ගමන් කල හැකි බෝට්ටු කිහිපයක් සහ එම ප්‍රදේශයෙහි ස්වදේශිකයන් විසින් භාවිතා කරන ලද ඔරු ගණනාවක එකතුවක් ඔහු ඔවුන්ගෙන් ලබාගත්තේය.[56] මේවා මිලදී ගැනීමට අමතර වශයෙන්,[56] තවත් බෝට්ටු ගණනාවක් තැනීම සඳහා උපකාර ඔවුන්ගෙන් ලබා ගැනුමට ඔහු සමත් විය.[53][59] රෝන නදියෙන් එගොඩ වීමට මෙසේ සූදානම් වීමෙහි ක්‍රියාවලියට දින දෙකක් ගතවිය.[59]

කාර්තජේනියානු හමුදාවෙහි සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් රෝන් නදියෙහි වම් ඉවුරෙහි, කවාරෙස් නම් ගෝල් ජාතික ගෝත්‍රයක් රැඳී සිටියහ. [59] නදියෙහි ඈත පැත්තෙහි බලකොටු සහිත කඳවුරක් මෙම ගෝත්‍රය සතුවූ අතර,[60] හැනිබල්ගේ හමුදාව විසින් ගංගාව තරණය කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුන් සිටියේ,[57] ඔවුන් තරණය කරද්දීම ප්‍රහාර එල්ල කරන අටියෙනි.[60] [60] ඉන්දියාවෙහිදී මහා ඇලෙක්සැන්ඩර්ගේ හිඩෑස්පස් ගංගාව තරණය කිරීම පිළිබඳව හැනිබල් නොදැන සිටියා නොවිය හැකි අතර, උපායමාර්ගික සහ යුද උපායශිලී කරුණු සැලකූ කල මෙහි පැවැති තත්ත්වය එවැනිම විය. හැනිබල් විසින් එම ආකෘතිය සැලකිල්ලට ගනිමින් තම සැලසුම සැකසූ අතර (වර්තමානයෙහි පවා හමුදාමය ආයතනයන්හී යුද්ධ ආධුනිකයන්හට මෙම සැලසුම හඳුන්වනු ලබන්නේ ගංගාවන් තරණය කිරීමෙහි කුකී කටර් ක්‍රමය ලෙසිනි) ඔහුගේ ලුතිනන්වරුන් අතුරින් එක් අයෙකුවූ බොමිල්කාර්ගේ පුත් හැනෝ හට අණකලේ, [57][60] උතුරු දෙසට හමුදාමය චාරිකාවක් සිදුකොට,[60] ඔහුගේ අදහසෙහි ආකාරයට එයට සුදුසුම ස්ථානයෙහිදී රෝන් නදිය තරණය කොට, බලාත්කෘත ප්‍රයාණයන් තුලින් දකුණු දිශාවට ප්‍රයාණය කොට, හැනිබල් විසින් නදිය තරණය කරන විටදීම බාර්බේරියානු හමුදාවෙහි පැති ඛණ්ඩය වෙත ප්‍රහාර එල්ලකරන ලෙසටයි.[60]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ලොන්සෙල්, සර්ජ්, හැනිබල්, පි. 71
  2. 2.0 2.1 වොල්බෑන්ක් 1979, පි. 187
  3. කණි, හන්ස් ඩීල්බ්රුක්; වෝල්ටර් ජේ. රෙන්ෆ්‍රෝ විසින් ජර්මානු භාෂාවෙන් පරිවර්තනය කරන ලදි, (1990). හිස්ට්‍රි ඔෆ් ද ආට් ඔෆ් වෝ. ලින්කන්, නෙබ්‍රාස්කා: නෙබ්‍රාස්කා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය / බයිසන් බුක්. ISBN 978-0-8032-9199-7.{{cite book}}: CS1 maint: extra punctuation (link) CS1 maint: multiple names: authors list (link)
  4. ඩොජ් 1994, පි. 131
  5. ඩොජ්, තියඩෝර් (1994). හැනිබල්. මිකැනික්ස්බර්ග්, පෙන්සල්වේනියා: ග්‍රීන්හිල් බුක්ස්.
  6. වොල්බෑන්ක් 1979, පි. 189
  7. 7.0 7.1 ඩීල්බ්රුක් 1990, පි. 303
  8. 8.0 8.1 ඩීල්බ්රුක් 1990, පි. 312
  9. 9.0 9.1 9.2 9.3 9.4 ඩොජ් 1994, පි. 146
  10. 10.0 10.1 10.2 10.3 10.4 10.5 පැටන් 1922, පි. 243
  11. වොල්බෑන්ක්, පොලීබියුස්; පරිවර්තනය. ඉයන් ස්කොට්-කිල්වර්ට් විසින්; එෆ්.ඩබ්. විසින් රචිත හැඳින්වීමක් සමග වරණය (1981). ද රයිස් ඔෆ් ද රෝමන් එම්පයර් (යළි-මුද්‍රණය. ed.). හාමන්ඩ්ස්වර්ත්: පෙන්ගුයින්. ISBN 978-0-14-044362-2.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  12. 12.0 12.1 12.2 12.3 12.4 වොල්බෑන්ක් 1979, පි. 111
  13. වින්ලෝ, සී.වී. "හෙරිටේජ් හිස්ට්‍රි". සම්ප්‍රවේශය 31 ජූලි 2012.
  14. 14.0 14.1 14.2 14.3 මොම්සෙන් 1862, පි. 94
  15. 15.0 15.1 15.2 ඩොජ් 1994, පි. 147
  16. 16.0 16.1 පැටන් 1922, පි. 273
  17. මොම්සෙන් 1862, පි. 92
  18. 18.0 18.1 18.2 18.3 18.4 18.5 වොල්බෑන්ක් 1979, පි. 190
  19. ඩොජ් 1994, පි. 148
  20. 20.0 20.1 පැටන් 1922, පි. 331
  21. ඩොජ් 1994, පි. 157
  22. මොම්සෙන් 1862, පි. 95
  23. මොම්සෙන් 1862, පි. 62
  24. පැටන් 1922, පි. 287
  25. මොම්සෙන් 1862, පි. 77
  26. මොම්සෙන් 1862, පි. 78
  27. පැටන් 1922, පි. 317
  28. 28.0 28.1 28.2 28.3 28.4 28.5 28.6 පැටන් 1922, පි. 319
  29. මොම්සෙන් 1862, පි. 81
  30. මොම්සෙන් 1862, පි. 82
  31. පැටන් 1922, පි. 321
  32. 32.0 32.1 පැටන් 1922, පි. 325
  33. 33.0 33.1 ඩොජ් 1994, p. 164
  34. ඩොජ් 1994, පි. 165
  35. ඩොජ් 1994, පි. 166-167
  36. 36.00 36.01 36.02 36.03 36.04 36.05 36.06 36.07 36.08 36.09 මොම්සෙන් 1862, පි. 96
  37. වොල්බෑන්ක් 1979, පි. 191
  38. 38.0 38.1 38.2 වොල්බෑන්ක් 1979, පි. 192
  39. වොල්බෑන්ක් 1979, පි. 193
  40. මොම්සෙන් 1862, පි. 91
  41. වොල්බෑන්ක් 1979, පි. 194
  42. වොල්බෑන්ක් 1979, පි. 209
  43. වොල්බෑන්ක් 1979, පි. 210
  44. 44.0 44.1 වොල්බෑන්ක් 1979, පි. 211
  45. වොල්බෑන්ක් 1979, පි. 212
  46. 46.0 46.1 46.2 ඩොජ් 1994, පි. 173
  47. 47.0 47.1 ඩොජ් 1994, පි. 172
  48. 48.0 48.1 ඩොජ් 1994, පි. 171
  49. 49.0 49.1 ඩොජ් 1994, පි. 176
  50. 50.0 50.1 50.2 50.3 50.4 ඩොජ් 1994, පි. 177
  51. 51.0 51.1 වොල්බෑන්ක් 1979, පි. 213
  52. මොම්සෙන්, තියඩෝර් (2009). ද හිස්ට්‍රි ඔෆ් රෝම් (ඩිජිටල් මුද්‍රිත අනුවාදය ed.). කේම්බ්‍රිජ්: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 978-1-108-00974-4.
  53. 53.0 53.1 53.2 53.3 53.4 වොල්බෑන්ක් 1979, පි. 214
  54. 54.0 54.1 මොම්සෙන් 1862, පි. 102
  55. ඩොජ් 1994, පි. 127
  56. 56.0 56.1 56.2 56.3 56.4 56.5 56.6 ඩොජ් 1994, පි. 178
  57. 57.0 57.1 57.2 57.3 57.4 වොල්බෑන්ක් 1979, පි. 215
  58. මොම්සෙන් 1862, පි. 103
  59. 59.0 59.1 59.2 ඩොජ් 1994, පි. 179
  60. 60.0 60.1 60.2 60.3 60.4 60.5 ඩොජ් 1994, පි. 180


ඛණ්ඩාංක: 45°40′49″N 06°53′02″E / 45.68028°N 6.88389°E / 45.68028; 6.88389