හැමිල්කර් බාර්කා
හැමිල්කර් බාර්කා | |
---|---|
උපත | ක්‍රිපූ 275 පමණ |
මියගිය දිනය | ක්‍රිපූ 228 |
තනතුර | කාර්තජේනියානු ජෙනරාල්වරයා |
කාල සීමාව | 19 වසර; ක්‍රිපූ 247–228 |
අනුප්‍රාප්තිකයා | සාධාරණ හස්ඩ්රුබල් |
දරුවන් | හැනිබල් බාර්කා හස්ඩ්රුබල් බාර්කා මාගෝ බාර්කා |
හැමිල්කර් බාර්කා හෝ බාර්කස් (ක්‍රිපූ 275 – 228 පමණ) යනු කාර්තජේනියානු ජෙනරාල්වරයෙක් සහ රාජ්‍යතාන්ත්‍රිකයෙක්, බාර්සිඩ් පවුලේ නායකයා සහ, හැනිබල්, හස්ඩ්රුබල් සහ මාගෝ ගේ පියා විය. සාධාරණ හස්ඩ්රුබල්ගේ මාමාණ්ඩියද වූයේ ඔහුය.
හැමිල්කර් (පියුනික්-ෆනේෂියානු හම්ල්කර්, "මෙල්කාර්ට්ගේ සහෝදරයා") යන නම කාර්තජේනියානු පුරුෂයන්ට ලබා දුන් පොදු ව්‍යවහාරික නමක් විය. පියුනික් භාෂාවෙන් බ්ර්ක් (හෝ බරක්) යන නමෙහි අර්ථය "අකුණු පහර" වූ අතර, බොහෝ සමකාලීන ග්‍රීක සෙන්පතියන් අතර පොදුවේ ව්‍යවහාරවූ කිරවුනූස් යන ගුණනාමයට හෝ විරුදනාමයට සහ, බයිබලීය ජෙනරාල් බරාක් යන්නන්ට සමතුල්‍ය විය.[1]
ක්‍රිපූ 247 සිට ක්‍රිපූ 241 දක්වා පළමු පියුනික් යුද්ධයෙහි අවසන් අදියරයන්හිදී, සිසිලියේ කාර්තජේනියානු භූමි හමුදා බලකායන් සඳහා අණ දෙන ලද්දේ හැමිල්කර් විසිනි. ඔහුගේ යුද්ධ හමුදාව යථාස්ථ වශයෙන් තබාගත් ඔහු සිසිලියේ රෝමානුවරුන්ට එරෙහිව සඵලවත් ගරිල්ලා යුද්ධයක් මෙහෙයවීය. කාර්තේජ් පරාජය වීමත් සමගම ක්‍රිපූ 241 දි එළැඹි සාම ගිවිසුම හා සමගින් හැමිල්කර් අප්‍රිකාව වෙත විශ්‍රාම ගන්වන ලදි. එනමුදු ක්‍රිපූ 240 දී කුළී හේවා යුද්ධය පැන නැගුනු විට, අණදෙන නිලධාරියා වශයෙන් හැමිල්කර් නැවත කැඳවන ලද අතර, අරගලය සඵලවත් ලෙසින් කෙළවර කිරීමෙහි ලා හේතුභූත විය. ක්‍රිපූ 237 දී ස්පාඤ්ඤය වෙත කාර්තජේනියානු ගවේෂණය සඳහා අණ දෙන ලද්දේ හැමිල්කර් විසින් වන අතර, ක්‍රිපූ 228 දී සටනෙහිදී මිය යන තෙක් වසර අටක් පුරා ස්පාඤ්ඤයේ කාර්තේජ් බල ප්‍රදේශය පුළුල් කිරීමෙහි ඔහු යෙදී සිටියේය. ඔහුගේ පුත් හැනිබල් විසින් දෙවන පියුනික් යුද්ධයේදී ක්‍රියාවට නැංවූ රෝමානු ජනරජය පරාජයේ දොරටුව වෙත ලඟා කර ලීමේ උපායමාර්ගය නිර්මාණය කිරීමෙහි ලා ඔහු වග කියන්නට ඇත.
දිවියෙහි මුල් අවදිය
[සංස්කරණය]පියුනික් යුද්ධයන්ට පෙර කාලසීමාවට අදාළව බාර්කා පවුලෙහි සම්භවය හෝ ඉතිහාසය හෝ සම්බන්ධයෙන් විස්තර දන්නේ ඉතා සුළු වශයෙනි. ටෝනි බාත් උපුටා දක්වමින්, "මුලින්ම සයිරීනී වෙතින් පැමිණි බාර්කා පවුල, බලවත් පවුලක් වුවද එකල් කාර්තේජ්හී ප්‍රමුඛ පවුල් අතරින් එකක් නොවීය". (සයිරීනී පැවතියේ නූතන ලිබියාවෙහිය).[2] අවාසනාවකට මෙන් ටෝනි බාත් විසින් ආශ්‍රිත දක්වන්නේ නැත. ලන්සල් සර්ජ් පවසන්නේ හැමිල්කර්ගේ පවුල, කාර්තේජයෙහි ඉඩම් හිමි රදළ පෙළැන්තියෙහි කොටසක් වූ බවයි.[3] ක්‍රිපූ 247 දී සිසිලියානු ආඥාපතිත්වය ඔහු වෙත පවරන කළ හැමිල්කර්, වයස 28 ක් වූ තරුණයෙක් විය. මේ වන විට, ඔහුට දියණියන් තිදෙනෙක් වූ අතර, ඔහුගේ පුතු හැනිබල් උපත ලද්දේ එම වසරෙහිදීය.
සිසිලියේ තත්ත්වය
[සංස්කරණය]ක්‍රිපූ 249 දී ඩෙප්‍රානම් සටනේදී ඔවුන් ලද ජයග්‍රහණයෙන් පසුව මුහුදේ ආධිපතිත්වය ලැබුමට කාර්තජේනියානුවන් සමත් වුවද, හැමිල්කර් ආඥාපතිත්වයට පත් වන විට, ඔවුනට සිසිලියේ අයත් වූයේ නගර දෙකකි: ලිලිබායුම් සහ ඩ්‍රෙපානම්. කාර්තජේනියානු රාජ්‍යයට එකල නායකත්වය සැපයුවේ ඉඩම් හිමි රදළ පෙළැන්තිය මගින් වන අතර, සිසිලියේ කලහකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාට වඩා අප්‍රිකාවේ බලය පැතිරවීමට ඔවුන් රුචිකත්වයක් දැක්වූහ. ක්‍රිපූ 248 සිට අප්‍රිකාවේ මෙහෙයුම් භාරව සිටියේ "මහා" හැනෝ වූ අතර [4] ක්‍රිපූ 241 වන විට ඔහු විසින් සැලකිය යුතු භූමි ප්‍රදේශයක් අත් පත් කර ගෙන තිබුණි.[5]
මෙම කාලය වන විට, දිගුකාලීන ගැටුමෙහි පීඩාව කාර්තේජය වෙත දැනෙමින් තිබුණි. සිසිලියෙහි නාවික බල ඇණියක් සහ සොල්දාදුවන් පවත්වාගෙන යෑමට අමතරව, ඔවුහූ අප්‍රිකාවෙහි ලිබියානුවන් සහ නියුමීඩියානුවන් හා සටනෙහි යෙදුනහ.[6] මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, කුඩා යුද්ධ හමුදාවක් හැමිල්කර් වෙත ලබා දුන් අතර කාර්තාජ්නියානු නාවික බල ඇණිය ක්‍රමයෙන් ඉවත් කර ගැනීම නිසා, ක්‍රිපූ 242 වන විට, කාර්තේජය විසින් කිසිම නැවක් සිසිලියේ නොයෙදූ තරම් විය. [7]
සිසිලියෙහිදී හැමිල්කර් වෙත පැවරුණු කාර්යභාරය
[සංස්කරණය]රෝමය පරාජය කරනු ලැබ සිටි බවක් සිතීමට කාර්තජේනියානු නායකත්වය විසින් බොහෝ විට පෙළඹුනු බැවින් සිසිලියේ සුළු මිනිස්බලයක් පමණක් යෙදවීමට ඔවුහූ උක්සුක වූහ.[8] කුඩා බලකායක් පමණක් සතුව සිටි හා නව හමුදා භටයන් බඳවාගැනුමට මුදල් නොමැතිව සිටි හැමිල්කර් විසින් ස්තම්භනයක් පවත්වා ගෙන යෑමේ මූලෝපායයක් අනුගමනය කළේ යුද්ධයක් දිනීමට තරම් සම්පත් ඔහු සතුව නොවූ හෙයින් සහ සාමකාමී ලෙසින් ගැටුමක් සමථයකට පත් කර ගැනීමෙහි බලාධිකාරියක් හෝ ඔහු සතුව නොවූ බැවිනි [9] බහු ජාතීක කුළී හේවා භටයන්ගෙන් සමන්විතවූ යුද්ධ හමුදාවකට ආඥාපතිත්වය සැපයූ හැමිල්කර් විසින් එම බලකාය සඳහා නායකත්වය සැපයීමට හැකිවීම තුලින්ම ක්ෂේත්‍ර ආඥාපතිවරයෙකු ලෙසින් ඔහුගේ හැකියාව මොනවට පැහැදිලි කරයි. ඇලෙක්සැන්ඩර් හෝ පියුරෝස් හෝ විසින් භාවිතා කළ පරිදී, ඒකාබද්ධ අවි ප්‍රයෝග ඔහු විසින් භාවිතා කරන ලද අතර, [10] ක්‍රිපූ 217 දී ඉතාලියේදී පැවති දෙවන පියුනික් යුද්ධයෙහිදී දෛවෝපගත ලෙසින් හැමිල්කර් බාර්කාගේ වැඩිමහල් පුතු හැනිබල්ට එරෙහිවම කුයින්ටුස් ෆබියුස් මක්සිමුස් විසින් යොදවන ලද ක්‍රමෝපායයම වැන්නක්ද ඔහු විසින් භාවිතා කෙරිණි. වෙනස වූයේ, සතුරාගේ හමුදාවට වඩා සංඛ්‍යාත්මක වශයෙන් උත්තරීතර වූ මෙන්ම සැපයුම් ගැටළු නොතිබුණු හා හමුදාව මෙහෙයවීමේ ඉඩකඩ අසීරුතාවයක්ද නොතිබිණු යුද්ධ හමුදාවක් සඳහා ෆබියුස් විසින් ආඥාපතිත්වය සපයන ලද අතර, රෝමානුවන්ට වඩා බෙහෙවින් කුඩා වූ මෙන්ම එක තැන් සිරවී සිටි හමුදාවක් හැමිල්කර් මෙහෙයවමින් කාර්තේජය වෙතින් මුහුදෙන් එවුනු සැපයුම් මත යැපීමට සිදුවීම විය.
පනෝමොස් ක්‍රිපූ 247– ක්‍රිපූ 244
[සංස්කරණය]ක්‍රිපූ 247 ගිම්හානයෙහිදී හැමිල්කර් විසින් ආඥාපතිත්වය භාර ගත් පසු,[11] කැරළි ගසමින් සිටි (කළට නොගෙවුණු ගෙවීම් නිසා නොහික්මුණු ස්වභාවයක සිටි) කුළී හමුදා භටයින්ට දඬුවම් පැමිණවූයේ, සමහරක් දෙනෙකු රාත්‍රියෙහි ඝාතනය කිරීමෙන්ද ඉතිරිය මුහුදේ ගිල්වා දැමීමෙන්ද,[12] බොහෝ දෙනෙකු අප්‍රිකාවට පහ කර යැවීමෙනුත්ය. අඩු කර දැමුණු යුද්ධ හමුදාවක් සහ නාවික බල ඇණියක් සහිතව, හැමිල්කර් විසින් ඔහුගේ මෙහෙයුම් අරඹන ලදි. [13] රෝමානුවන් විසින් ඔවුන්ගේ හමුදා බල ඇණි බෙදා වෙන් කරන ලද අතර, ලූකියුස් කයිකීලියුස් මෙටැලූස් කොන්සල්වරයා ලිලිබායුම් සමීපයෙහි සිටි අතර, නුමේරෙයුස් ෆබියුස් බූතෙයෝ විසින් එය වන විට ඩ්‍රෙපානම් වටලමින් තිබුණි. හැමිල්කර් විසින් බොහෝ දුරට ඩ්‍රෙපානම්හිදී අතීරණාත්මක සටනක නියැලෙන්නට ඇති මුත්,[12] මෙය ගැන සැකසිතීමට හේතූන් ඇත.[14]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ S. ලන්සෙල්, හැනිබල් පි.6.
- ^ බාත්, ටෝනි, හැනිබල්ස් කැම්පේන්ස්, පි18 ISBN 0-88029-817-0
- ^ ලන්සල්, සර්ජ්, හැනිබල්, පි8 ISBN 0-631-21848-3
- ^ අපියන් හිස්පානියා 4
- ^ ඩයඩෝරස් සිකූලුස් 24.10, පොලිබියුස් 1.73.1, 1.72.3
- ^ බැග්න්ල්, නයිජ්ල්, ද පියුනික් වෝස්, පි 92-94 ISBN 0-312-34214-4
- ^ පොලිබියුස් 1.59.9
- ^ ලේසන්බි, ජේ.එෆ්, ෆර්ස්ට් පියුනික් වෝ, පිටු144
- ^ මයිල්ස්, රිචඩ්, කාර්තේජ් මස්ට් බී ඩිස්ට්‍රෝයිඩ්, පිටු193, ISBN 978-0-141-01809-6
- ^ බේකර්, ජී.පී, හැනිබල්, පි 54 ISBN 0-312-34214-4
- ^ පොලිබියුස් 1.56.2
- ^ a b සොනාරස් 8.16
- ^ ලේසන්බි, ජෝන්.එෆ්, ‘’ෆර්ස්ට් පියුනික් වෝ’’, පිටු145 ISBN 1-85728-136-5
- ^ ලේසන්බි, ජෝන්.එෆ්, ‘’ෆර්ස්ට් පියුනික් වෝ’’, පිටු146