Jump to content

හමීදා බානු බෙගම්

විකිපීඩියා වෙතින්
හමීදා බානු බෙගම්
حمیدہ بانو بیگم
හමීදා බානු බෙගම්
උපතක්‍රි.ව. 1527 අවට
මරණයක්‍රි.ව. 1604 අගෝස්තු 29
අග්‍රා, ඉන්දියාව
භූමදානය1604 අගෝස්තු 30
හුමායුන්ගේ සොහොන්ගැබ, දිල්ලි
වල්ලභයාහුමායුන්
දරුවන්අක්බර්
පියාෂයික් අලි අක්බර් ජාමි
මවමහා අෆ්‍රෝස් බෙගම්
ආගමෂියා ඉස්ලාම්

හමීදා බානු බෙගම් (ක්‍රි.ව. 1527 පමණ – 1604 අගෝස්තු 29, පර්සියානු: حمیدہ بانو بیگم; පරිවර්ත.: Ḥamīda Banū Begum) යනු දෙවන මූඝල් අධිරාජයා වූ හුමායුන්ගේ භාර්යාවක වන අතර, ඇය තෙවන මූඝල් අධිරාජයා වූ අක්බර්ගේ මෑණියන් වූවා ය.[1] ඇයව ඇගේ පුත්‍රයා වූ අක්බර් විසින් පිරිනමන ලද මරියම් මකානි යන ගෞරව නාමයෙන් ද හැඳින්වේ.[2]

අක්බර්ගේ මව බෝට්ටුවකින් අග්‍රා වෙත යාත්‍රා කරන අයුරු

හමීදා බානු බෙගම් උපත ලැබූයේ 1527 පමණ පර්සියානු ෂියා මුස්ලිම්වරයකු වූ ෂයික් අලි අක්බර් ජාමිට දාව ය. ඔහු පළමු මූඝල් අධිරාජයා වූ බාබුර්ගේ බාලම පුත් හින්දල් මීර්සාගේ ගුරුවරයකු විය. අලි අක්බර් ජාමි, මියන් බාබා දෝස්ත් ලෙස ද ප්‍රකට ය. ඔහු අහමද් ජාමි සින්දා-ෆිල්ගේ පෙළපතෙන් පැවතෙන්නෙකි. හමීදා බානුගේ මව වූ මහා අෆ්‍රෝස් බෙගම්, අලි අක්ඉර් ජාමි සමග විවාහ වූයේ සින්ධ්හි පාට් ප්‍රදේශයේ දී ය. ඇගේ පෙළපත අනුව, හමීදා භක්තිමත් මුස්ලිම්වරියක වූ බැව් පෙනේ.[3]

හුමායුන් මුණගැසීම

[සංස්කරණය]

ඇයට හුමායුන් මුණගැසෙන විට, ඇගේ වයස අවුරුදු දාහතරකි. ඇය මීර්සා හින්දල්ගේ නිවසට ආගිය තැනැත්තියක වූ අතර, අල්වාර්හි ඔහුගේ මව, දිල්දාර් බෙගම් (බාබුර්ගේ බිසවක සහ හුමායුන්ගේ සුළු මව) පැවැත්වූ භෝජන සංග්‍රහයකට ඇය පැමිණියා ය. දිල්ලියේ ඇෆ්ගන් පාලනය නැවත ස්ථාපිත කිරීමට ෂේර් ෂා සූරිගේ හමුදා අපේක්ෂාවෙන් සිටි අවධියේ දිල්ලියෙන් පිටව යාම හේතුවෙන්, හුමායුන් මේ වනවිට පිටුවහල් කොට තිබිණි.[4]

හුමායුන් සමග හමීදා බානු බෙගම්ගේ විවාහය සිදු කිරීමට සාකච්ඡා පවත්වන විට හමීදා මෙන්ම හින්දල් ද මෙම විවාහය දැඩිව අප්‍රසාදය පලකළහ. මෙයට හේතුව ඔවුන් දෙදෙනා සම්බන්ධව සිටි බැවින් විය හැක.[5] හමීදා හින්දල් සමග ප්‍රේමයෙන් බැඳී සිටි බැව් පෙනේ. නමුත් මේ බවට ඇති සාක්ෂි මතභේදාත්මක ය.[5] සිය ග්‍රන්ථය වන හුමායුන්-නාම තුළ හින්දල්ගේ සොයුරිය සහ හමීදාගේ සමීප මිතුරියක වූ ගුල්බදාන් බෙගම් දක්වා ඇත්තේ එම දිනවල හමීදා සිය සොයුරාගේ මාලිගයේ මෙන්ම, සිය මෑණියන් වූ දිල්දාර් බෙගම්ගේ මාලිගයේ ද නිතර දක්නට ලැබුණු තැනැත්තියක බවයි.[6]

ආරම්භයේ දී, හමීදා අධිරාජයා මුණගැසීමට ප්‍රතික්ෂේප කළත් දින හතළිහක් හඹා යාමෙන් පසුව සහ දිල්දාර් බෙගම්ගේ බල කිරීම මත ඇය ඔහු සමග විවාහ වීමට කැමති විය. ඇය මුලින් දැක්වූ අප්‍රසාදය හුමායුන්නාම තුළ මෙසේ දක්වා ඇත:

මම කෙනකු සමග විවාහ විය යුතුයි; නමුත් ඔහු මගේ අතින් ඔහුගේ කරපටිය ස්පර්ශ කළ හැකි අයකු විය යුතු ය. ඔහුගේ සාය ස්පර්ශ කළ හැකි අයකු නොවේ.

[7]

විවාහය

[සංස්කරණය]

විවාහය පැවැත්වුණේ පුහුණු නක්ෂත්‍රකරුවකු වූ අධිරාජයා විසින්ම සිය තරික්සුව ආධාරයෙන් නිර්ණය කළ දිනයක ය. මෙය 1541 සැප්තැම්බර් මස සඳුදා දිනක දහවලේ දී (ජුමාදා අල්-අව්වාල් 948 AH) පාටර් (පාට්, ඩාඩු දිස්ත්‍රික්කය, සින්ධ්) හි දී පැවැත්විණි. මෙලෙසින් ඇය ඔහුගේ කනිෂ්ඨ බිසවක බවට පත්වූවා ය. මෙකල අධිරාජයාගේ පළමු බිසව මෙන්ම අගබිසව ද වූයේ බෙගා බෙගම් (පසුව හාජි බෙගම් ලෙස හැඳින්විණි) ය.[1][8][9] මෙම විවාහය හුමායුන් හට "දේශපාලනික වශයෙන් වාසිදායක" වූයේ ඔහුට යුධ සමයේ දී සතුරු ෂියා කණ්ඩායම්වල ද සහාය හිමි වූ නිසායි.[7]

වර්ෂ දෙකක පසු, කාන්තාරය ඔස්සේ දුෂ්කර ගමනකින් පසු, 1542 අගෝස්තු 22 ඇය සහ හුමායුන් අධිරාජයා හින්දු සෝධා රාජ්පුත්වරයකු වූ රාණා ප්‍රසාද් විසින් පාලනය කළ උමේර්කොට් වෙත ළඟා වූහ. රාණා ඔවුනට රැකවරණ සැලසී ය. මාස දෙකකට පසු, 1542 ඔක්තෝබර් 15 (රාජාබ් සිව්වන දිනය, 949 AH) දින උදෑසන ඇය අනාගත අධිරාජයා වූ අක්බර්ට උපත ලබාදුන්නා ය. ලාහෝරයේ දී ස්වප්නයකින් හුමායුන්ට ඇසුණු නාමයක් වූ ජලාල්-උද්-දීන් මොහම්මද් අක්බර් යන නාමය ඔහුට තබන ලදී.[10][11][12][13][14]

පසුකාලීන වර්ෂවල ඇය සිය සැමියා සමග දුෂ්කර චාරිකා ගණනාවකට සහභාගී වූවා ය. අනුයාත දෙසැම්බ‍රයේ ආරම්භයේ දී, ඇය සිය බිළිඳා සමග ජූන්හි කඳවුරක් වෙත පැමිණියේ දින දහයක් හෝ දොළහක් පුරා සංචාරය කිරීමෙන් පසුවයි. අනතුරුව 1543දී, ඇය සින්ධ් වෙත නැවත වරක් දුෂ්කර චාරිකාවක නියැළුණා ය. මෙහි අරමුණ කන්දහාර් වෙත ළඟා වීම වුවත්, හුමායුන්හට ෂාල්-මස්තාන් සිට ක්ෂණිකව පලායාමට සිදුවූයේ, ‘කාන්තාරයක් සහ ජලය රහිත භූමියක් ඔස්සේයි.’ සිය කුඩා පුතු රඳවා ගිය ඇය, සිය සැමියා සමග පර්සියාව බලා පිටත් විය. මෙහි දී ඔවුහු ඇගේ මුතුන්මිත්තකු වූ අහමද්-ඉ ජාමිගේ සහ ෂියා දේවස්ථාන නැරඹූ අතර, සෆාවිද් රාජවංශයේ සම්භවය සිදු වූ ඉරානයේ අර්දාබිල් ද දැක බලාගත්හ. 1544දී හේරාත්වලට සැතපුම් 93ක් දකුණින් වූ සබ්සවාර් කඳවුරේ දී, ඇය දියණියක බිහිකළා ය. අනතුරුව ඇය ඉරානයේ ෂාවරයා වූ Iවන තාහ්මස්ප් විසින් හුමායුන්ට ලබාදුන් සේනාවත් සමග පර්සියාවේ සිට යළි පැමිණියා ය. කන්දහාර්හි දී ඇයට දිල්දාර් බෙගම් හා ඇගේ පුත් මීර්සා හින්දල් මුණගැසිණි. මෙලෙසින් 1545 නොවැම්බර් 15 (රාමදාන් 10වන, 952 AH) තෙක් ඇය ඇගේ පුත් අක්බාර් දුටුවේ නැත. කාන්තාවන් සමූහයක් අතුරින් ලාබාල අක්බර් සිය මෑණියන් හඳුනාගත් අයුරු අක්බර්ගේ චරිතාපදානය වූ අක්බර්නාම තුල මැනවින් නිරූපණය කොට ඇත. 1548දී, ඇය සහ අක්බර් හුමායුන් සමග කාබුල් වෙත පිටත්ව ගියහ.[14]

අක්බර්ගේ රාජ්‍ය සමය

[සංස්කරණය]

1545 මැයි මස ෂේර් ෂා සූරි මියගියේ ය. ඉන් අනතුරුව ඔහුගේ පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා වූ ඉස්ලාම් ෂා 1554දී මියගියේ ය. මෙලෙසින් සූරි රාජවංශයේ පාලනය කැබලි වී යන්නට විය. 1554 නොවැම්බරයේ දී, හුමායුන් ඉන්දියාව බලා පිටත්ව ගිය විට, ඇය කාබුල්හි රැඳී සිටියා ය. 1555දී ඔහු දිල්ලියේ පාලනය ලබාගත්ත ද, නැවත පැමිණ වර්ෂයක් ඇතුළත දිල්ලියේ පුරානා ක්විලාහි ඔහුගේ පුස්තකාලයේ පියගැට පෙළෙන් ඇදවැටී ඔහු මරණයට පත් විය. එවිට ඔහුගේ වයස අවුරුදු 47කි. අනතුරුව ඔහුගේ දහතුන් හැවිරිදි පුත් අක්බර් උරුමකරු ලෙස සිහසුනට පත් විය. අක්බර් පසුකාලීනව ‍මූඝල් අධිරාජ්‍යයේ ශ්‍රේෂ්‍ඨතම පාලකයන්ගෙන් අයකු බවට පත් විය. කාබුල් සිට හමීදා බානු අක්බර් වෙත පැමිණියේ ක්‍රි.ව. 1557දී අක්බර්ගේ දෙවන රාජ්‍ය වර්ෂයේ දී ය. එතැන්සිට ඇය ඔහු සමග රැඳීසිටියා ය. ඇය විවිධ අවස්ථාවල දේශපාලන කටයුතු සඳහා ද මැදිහත් වූවා ය. උදාහරණයක් ලෙස 1560දී අක්බර් නිසි වයසට පත්වූ පසු මූඝල් අමාත්‍ය බයිරම් ඛාන් ධුරයෙන් පහ කිරීමට ද ඇය දායක වූවා ය.[14]

මරණය සහ ප්‍රතිඵලය

[සංස්කරණය]
හමීදා බානු බෙගම්, දාරා ෂිකොහ් සහ අන්‍යයන්ගේ සොහොන්කොත්; දිල්ලියේ හුමායුන්ගේ සොහොන්ගැබේ පැති කුටියකිනි.

1604 අගෝස්තු 29 (19වන ෂාරියාර්, 1013 AH) අග්‍රාහි දී ඇය මරණයට පත්වීමෙන් පසු ඇගේ දේහය හුමායුන්ගේ සොහොන්ගැබේ භූමදානය කෙරිණි. මෙසේ ඇය මියගියේ ඇගේ පුත්‍රයා වූ අක්බර්ගේ මරණයට වසරකට පෙර වන අතර, ඇගේ සැමියාගේ මරණයෙන් අර්ධ සියවසකට පමණ ‍පසු ය. ඇගේ ජීවිත කාලය තුළ ඇය බෙහෙවින් ඇගේ පුත්‍රයා වූ අක්බර්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ බැව් ඉංග්‍රීසි සංචාරකයකු වන තෝමස් කොර්යාට් වාර්තා කොට ඇත. ලාහෝර් සහ අග්‍රා වෙත ඇය කළ සංචාරයක දී වරක් අක්බර් ඇගේ දෝලාව ඔහු විසින්ම ඔසවාගෙන ගඟක් තරණය කළ බැව් වාර්තා වේ. පසුව අනාගත අධිරාජ ජහාන්ගීර් බවට පත් සලීම් කුමරු සිය පියා වූ අක්බර්ට එරෙහිව කැරැල්ලක් ඇති කරන විට, ඇය සිය මුණුපුරාගේ ගැටලුව සමථයකට පත් කරන්නට උත්සාහ දැරුවේ සලීම් විසින් කුමන්ත්‍රණය කොට අක්බර්ගේ ප්‍රියතම අමාත්‍යවරයකු වූ අබු’ල්-ෆාසල් පවා මරාදමා තිබියදීයි. අක්බර් සිය හිස සහ නිකට අවස්ථා දෙකක දී පමණක් මුඩු කළේ ය. එක් අවස්ථාවක් නම් ඔහුගේ හදාගත් මව වූ ජිජි අංගාගේ මරණයයි. අනෙක් අවස්ථාව ඔහුගේ මෑණියන්ගේ මරණයයි.[15][16][17]

ඇයට මරණාපරව මරියම්-මකානි යන නාමය ප්‍රදායන කෙරිණි. මරිය මව්තුමියගේ නාමය හා සම්බන්ධ මෙවන් නාමයක් අක්බර් ඇයට පුදකළේ ඇය, 'අහිංසකත්වයේ ප්‍රතිමූර්තියක්' බඳු යැයි සැලකූ හෙයිනි.[18] ඇගේ දිවිය පිළිබඳ තොරතුරු හුමායුන්ගේ සොයුරිය වූ ගුල්බාදන් බෙගම් විසින් රචිත හුමායුන් නාම[19][20] ග්‍රන්ථයෙන් මෙන්ම, ඇගේ පුත් අක්බර් සමයේ ලියැවුණු අක්බර්නාම සහ අයින්-ඉ-අක්බාරි ග්‍රන්ථවලින් හමුවේ.

ජනප්‍රිය සංස්කෘතිය තුළ

[සංස්කරණය]
  • මෙහ්බූබ් ඛාන් විසින් අධ්‍යක්ෂණය කළ හින්දි වීරකථා චිත්‍රපටයක් වන හුමායුන් (1945) තුළ ඇගේ චරිතය නිරූපණය කළේ නිළි නාර්ගීස් විසිනි.[21]
  • අශුතෝෂ් ගෝවාරිකර් විසින් අධ්‍යක්ෂණය කළ 2008 ඉන්දියානු වීරකථා චිත්‍රපටයක් වන ජෝධා අක්බර් තුළ හමීදා බානුගේ චරිතය නිරූපණය කරන ලද්දේ පූනම් සිංහා විසිනි.[22]
  • 2013 ජූනි 18 දින සී ටීවී නාළිකාව විසින් ආරම්භ කළ ජෝධා අක්බර් රූපවාහිනී කතාමාලාව තුළ හමීදා බානු බෙගම්ගේ චරිතය නිරූපණය කරන ලද්දේ ඡායා ෆඩ්කාර් විසිනි.

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • Humayun-Nama : The History of Humayun by Gulbadan Begum, Tr. by Annette S. Beveridge (1902). New Delhi, Goodword, 2001. ISBN 81-87570-99-7.E-book at Packard Institute Excerpts at Columbia Univ.
  • Begam Gulbadam; Annette S. Beveridge. The history of Humayun = Humayun-nama. Begam Gulbadam. pp. 249–. GGKEY:NDSD0TGDPA1.
  • Mukhia, Harbans (2004). The Mughals of India. Malden, MA: Wiley-Blackwell. ISBN 9780631185550. {{cite book}}: Invalid |ref=harv (help)

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b The Humayun Nama: Gulbadan Begum's forgotten chronicle Yasmeen Murshed, The Daily Star, 27 June 2004.
  2. ^ Findly, Ellison Banks (1993). Nur Jahan, empress of Mughal India. New York: Oxford University Press. p. 94. ISBN 9780195360608.
  3. ^ Dr. B. P. Saha. Begams, concubines, and memsahibs. Vikas Pub. House. p. 20.
  4. ^ Mukherjee, p.119
  5. ^ a b Eraly, Abraham (2000). Emperors of the Peacock Throne : The Saga of the Great Mughals ([Rev. ed.]. ed.). Penguin books. pp. 65, 526. ISBN 9780141001432.
  6. ^ Wade, Bonnie C. (1998). Imaging Sound : an Ethnomusicological Study of Music, Art, and Culture in Mughal India. Univ. of Chicago Press. p. 62. ISBN 9780226868417.
  7. ^ a b Mukherjee, p.120
  8. ^ Nasiruddin Humayun The Muntakhabu-’rūkh by Al-Badāoni, Packard Humanities Institute.
  9. ^ Bose, Mandakranta (2000). Faces of the feminine in ancient, medieval, and modern India. US: Oxford University Press. p. 203. ISBN 0-19-512229-1. සම්ප්‍රවේශය 6 August 2009.
  10. ^ Part 10:..the birth of Akbar Humayun nama by Gulbadan Begum.
  11. ^ Conversion of Islamic and Christian dates (Dual) සංරක්ෂණය කළ පිටපත 2009-08-01 at the Wayback Machine As per the date converter Akbar's birth date, as per Humayun nama, of 04 Rajab, 949 AH, corresponds to 14 October 1542.
  12. ^ Amarkot Genealogy සංරක්ෂණය කළ පිටපත 2009-08-31 at the Wayback Machine Queensland University.
  13. ^
     
    This article incorporates text from a publication now in the public domain
    Chisholm, Hugh, ed (1911). "Akbar, Jellaladin Mahommed". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (11th ed.). Cambridge University Press. .
  14. ^ a b c Schimmel, Annemarie; Burzine K. Waghmar (2004). The empire of the great Mughals. Reaktion Books. p. 146. ISBN 1-86189-185-7..
  15. ^ Genealogy of Hamida Begum
  16. ^ Mukhia, Harbans (2004). The Mughals of India. India: Wiley. p. 115. ISBN 81-265-1877-4.
  17. ^ Hamida Banu Faces of the feminine in ancient, medieval, and modern India, by Mandakranta Bose. Oxford University Press US, 2000. ISBN 0-19-512229-1. Page 203.
  18. ^ Mausoleum that Humayun never built සංරක්ෂණය කළ පිටපත 2008-07-04 at the Wayback Machine The Hindu, 28 April 2003.
  19. ^ Humayun-Nama : The History of Humayun by Gul-Badan Begam. Translated by Annette S. Beveridge. New Delhi, Goodword, 2001,ISBN 81-87570-99-7. Page 149.
  20. ^ LXXXIII. Ḥamīda-bānū Begam Maryam-makānī Humayun-nama Chapter 57, Appendix A. Biographical Notices of the Women mentioned by Babar|, Gulbadan Begum, and Haidar.LXXXIII.. Packard Humanities Institute
  21. ^ Humayun හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
  22. ^ Jodhaa Akbar හා සබැඳි අයිඑම්ඩීබී යොමුව

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=හමීදා_බානු_බෙගම්&oldid=649357" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි