ශ්‍රී ලංකාවේ ශිලා ලිපි

විකිපීඩියා වෙතින්
පියංගල ආරණ්‍ය සේනාසනයේ වූ ලෙන් ලිපි සහිත ගුහාවක්

ශ්‍රී ලංකාවේ ශිලා ලිපි ප්‍රධාන වශයෙන් අවධි තුනකට අයත් වේ.

පළමු අවධිය[සංස්කරණය]

මෙම අවධිය පූර්ව බ්‍රාහ්මී යුගය ලෙසද හැඳින්වේ. මීට ක්‍රි. පූ. 3 වන ශතවර්ශයේ සිට ක්‍රි. ව. 1 වන ශතවර්ශය දක්වා වූ ශිලා ලිපි අයත් වේ.

ලෙන් ආශ්‍රිතව ලියැවී ඇති බැවින් මෙම යුගයේ ලිපි ලෙන් ලිපි වශයෙන් හඳුන්වයි. ශ්‍රි ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පාහේ මෙම වකවානුවට අයත් ලිපි හමුවේ. පහළ ඌව වැලියාය, මොනරාගල, ඇතිලිවැව, ගලබැද්ද, නාමළුව, බුද්දම, කොල්ලදෙණිය, කෝමාරිකාගල හා නැව්ගල වැනි ප්‍රදේශ ඊට උදාහරණ වේ. මේ ආකාරයේ ලිපි වල අන්තර්ගතය වී ඇත්තේ එකල සමාජයේ විවිධ තරාතාරම් වලට අයත් ජනයා විසින් සංඝයා වහන්සේලාට කරන ලද ලෙන් පූජා පිළිබඳ විස්තර වේ.

දෙවන අවධිය[සංස්කරණය]

මිහින්තලය පුවරු ලිපි

මෙම අවධිය අපර බ්‍රාහ්මී යුගය ලෙස හඳුන්වනු ලැබේ. මීට ක්‍රි. ව. 1 වන ශතවර්ශයේ සිට ක්‍රි. ව. 7 වන ශතවර්ශය දක්වා වූ ශිලා ලිපි අයත් වේ.

මෙම සමයේ දැකිය හැකි විශේෂත්වය වන්නේ වඩා පුළුල් විස්තර සහිත ගිරි ලිපි හා පුවරු ලිපි විකාශනය වීමයි. එසේම ශිලා වලට අමතරව රන්පත් (වල්ලිපුරම් රන් සන්නස), දුනුකේ කොල, තල්පත් ආදියෙහි ලිපි ලිවීම සිදුවී ඇත.

මෙම යුගයට අයත් ලිපි කතරගම, මොනරාගල, සියඹලාණ්ඩුව, ගලබැද්ද හා බුත්තල වැනි ප්‍රදේශවලින් හමුවේ. අක්ෂර වල හැඩය හා විකාශය අනූව මෙම ලිපි අපර බ්‍රාහ්මී ලිපි ලෙස හඳුන්වනු ලැබේ. විහාරාරාමයන්ට ගම්බිම්, ඉඩකඩම්, වැව්, පොකුණු ආදිය පූජා කිරීම සම්බන්ධ තොරතුරු මෙම ලිපිවල අන්තර්ගත වේ. මෙහි දැකිය හැකි තවත් විශේෂයක් වන්නේ රජවරු හා ඔවුන්ගේ පරම්පරා විස්තර ඇතුළත් වීමයි.

තෙවන අවධිය[සංස්කරණය]

බදුලු ටැම් ලිපිය

මෙම අවධිය මැදි කාලීන යුගය ලෙසද හැඳින්වේ. මීට ක්‍රි. ව. 7 වන ශතවර්ශයේ සිට ක්‍රි. ව. 15 වන ශතවර්ශය දක්වා වූ ශිලා ලිපි අයත් වේ.

මෙම යුගයේ ශිලා ලිපි ටැම් මත ලියැවුණු හෙයින් ටැම් ලිපි, අත්තානි කණු ලිපි ලෙස හැඳින්වේ. රජවරු විසින් විහාරාරාමයන්ට දෙන ලද වරප්‍රසාද, විහාරාරාමවලින් කඩාවඩා ගන්නවුන්ට කරන ලද ශාප පාඨ එසේම ජනතාවට පනවන ලද නීති රීති ආදිය පිළිබඳ විස්තර මේවායේ අන්තර්ගත වේ.

මෙම යුගයට අයත් ලිපි හෝපිටගමුව, යුධගනාව, දඹේගොඩ, කතරගම හා යටියල්ලාතොට වැනි ප්‍රදේශවලින් හමුවේ. බදුල්ල මහජන පුස්තකාල ගොඩනැගිල්ල තුල ස්ථාපිත, මහියංගනය සොරබොර වැව අසලින් හමුවූ බදුල්ල ටැම් ලිපිය සමකාලීන ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය තත්වය නිරූපණය කරයි.

ආශ්‍රිත[සංස්කරණය]