ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

කම්කරු නීතිය හැඳින්වීම[සංස්කරණය]

කම්කරු නීතිය යනුවෙන් අදහස් කරනු ලබන්නේ සේව්‍ය-සේවක යන දෙපාර්ශ්වයේම වගකීම්, අයිතිවාසිකම් හා ගිවිසුම් පිළිබඳ නීතියයි. ඒ අනුව කම්කරු නීතියට පාදක වන්නේ සේව්‍ය-සේවක සම්බන්ධතාවයයි.

කම්කරු නීතියේ ඉතිහාසය[සංස්කරණය]

18 වන ශතවර්ෂයේදී යුරෝපය තුළ ඇති වූ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට කම්කරු පන්තිය , වැටුප් ලබන පන්තිය හෝ වැඩ කරන පන්තිය යන විවිධ නම් වලින් හඳුන්වනු ලබන පිරිසක් බිහි විය. ශ්‍රමය පමණක් තම එකම සම්පත කොට ගත් ඔවුනට අතීතයේදී තම ශ්‍රමය සඳහා සාධාරණ මිලක් හෝ වටිනාකමක් ශ්‍රම වෙළඳපොළ තුළ හිමි වූයේ නැත. ඊට ප්‍රධාන ලෙසම හේතු වූයේ ඔවුන්ගේ ශ්‍රමය ලබා ගන්නා සේවායෝජකයින් ආර්ථිකමය වශයෙන් ප්‍රබල ස්ථානයක සිටීමත් ඔවුන් හා සාපේක්ෂව බලන කළ ශ්‍රමිකයින්ගේ කේවල් කිරීමේ ශක්තිය අඩු වීමත්ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සේවායෝජකයා විසින් නියම කරනු ලබන කොන්දේසි වලට යටත්ව තම ශ්‍රමය සැපයීමට ඔවුන්ට සිදු වූ අතර ඒ හේතුවෙන් කම්කරු ජනයාගේ ශ්‍රමය සූරා කෑමට ලක් විය. එම යුගයේදී යුරෝපීය රාජ්‍යයන් විසින් ගෙන ගිය නිර්බාධක ආර්ථික ප්‍රතිපත්තිය හේතුකොටගෙන කම්කරුවන්ට සිදු වූ අසාධාරණයන් අවම කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීමක් සිදු නොවූ හෙයින් කම්කරු පන්තිය දැඩි පිඩනයකට හසුව ජීවත් වූහ.

නමුත් පසුකාලීනව කාල්මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද දර්ශනයත් කම්කරුවන් ඒකරාශී වීමත් කම්කරුවන් වෙනුවෙන් සිදු කළ උද්ඝෝෂණත් හේතුකොටගෙන රජයන් සිය නිර්බාධක රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරමින් රටේ අඩු වරප්‍රසාද ලත් හෝ වරප්‍රසාද නොලත් ජනකොටස් පිළිබඳව සොයා බලා ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතු බව තේරුම් ගැනීමෙන් පසුව එම රාජ්‍යයන්ද සුභසාධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළහ. අඩු වරප්‍රසාද ලත් කොටසක් වූ කම්කරු පන්තිය බලවත් සේවායෝජකයින් හමුවේ විඳි දුක් කරදර තරමක් දුරට හෝ තුනී කරලීම සඳහා රජය විසින් සේව්‍ය-සේවක සම්බන්ධතාවයට මැදිහත් විය.මේ අනුව සේවා ගිවිසුමට බලපෑම් කිරීම සඳහා ක්‍රමක්‍රමයෙන් රජයන් විසින් සුභසාධන නීති පැනවීම ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරු නීතිය බිහි විය.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියක් බිහි වූ අන්දම[සංස්කරණය]

බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පසු ඔවුන් විසින් උඩරට ප්‍රදේශයන්හි ආරම්භ කළ වතු කර්මාන්තය හරහා මෙරට කාර්මික විප්ලවයක් සිදු විය. එම වකවානුවේදී වැවිලි කර්මාන්තය සඳහා අවශ්‍ය වූ කම්කරුවන් ලංකාවෙන් සොයා ගත නොහැකි වූ බැවින් දකුණු ඉන්දියාවෙන් අඩු කුලියට කම්කරුවන් ගෙන්වා ගන්නා ලදී. ඒ අනුව අප රටේ කම්කරු පන්තියක් ආරම්භ වූයේ දකුණු ඉන්දියානු කම්කරුවන්ගෙනි.ලංකාවට නිදහස ලැබී විවිධ කර්මාන්ත ආරම්භ කරන තෙක්ම බ්‍රිතාන්‍යයන් මෙම රටේ වෙනත් කර්මාන්ත බිහි කිරීමට උත්සුක නොවීම හේතුවෙන් බොහෝ කලක් යන තෙක් ලංකාවේ කම්කරු පන්තියේ වර්ධනයක් සිදු නොවීය.

මේ නිසා අප රටේ මුලින්ම ඇති වූ නීති කිහිපය පවා වතුකරයේ ඉන්දියානු කම්කරුවන්ට අදාළ ඒවා විය. මෙරට මුල්ම කම්කරු නීතිය පනවනු ලැබුවේ 1841 දීය. 1948ට පෙර මෙරට පනවා තිබුණේ කම්කරු නීති 18ක් පමණි. දැනට විවිධ අංශ ආවරණය කරමින් පනත් 600ක් පමණ කම්කරු නීතිය සම්බන්ධයෙන් පැනවී ඇත. මෙම නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා එවකට සිටියේ කම්කරු පාලකවරයෙකි. නමුත් අද ඒ වෙනුවට කම්කරු කොමසාරිස්වරයකු සිටී.

කම්කරු නීති වල අරමුණු[සංස්කරණය]

කම්කරු නීති ක්‍රියාවට නැංවීම හරහා ඉටු කර ගැනිමට බලාපොරොත්තු වන අරමුණු කිහිපයක් පවතී,

I) සමාජ සාධාරණත්වය තහවුරු කිරීම

II) විධිමත් සේව්‍ය-සේවක සම්බන්ධතාවයක් ගොඩ නැඟීම හරහා කාර්මික සාමය ඇති කිරීම

III) සේවකයින්ගේ අවම සේවා කොන්දේසි පිළිබඳ සම්මුතින් පැනවීම

IV) කාර්මික ආරවුල් වැළැක්වීම සහ අවම කිරීම

V) කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා වගකීම් ආරක්ෂා කිරීම සහ තහවුරු කිරීම

VI) ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම

VII) අසාධාරණ සේවා සමාප්තීන් පිළිබඳ කටයුතු කිරීම හා රැකියාව සුරක්ෂිත කිරීම

VIII) සේවකයින් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම හා ඒවා රැස් කිරිම


කම්කරු සබඳතා විධිමත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන කම්කරු නීති (ව්‍යවස්ථාපිත අණපනත්)[සංස්කරණය]

එක් එක් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විවිධාකාර වූ කම්කරු අණපනත් ක්‍රියාත්මක වේ.


* සේවා කොන්දේසි සහ නියමයන්

1) 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත

2) 1947 අංක 47 දරණ පඩි පාලක සභා ආඥා පනත


* කාර්මික සම්බන්ධතා


1) 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත

2) 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත

3) 1971 අංක 45 දරණ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත


* ස්ත්‍රීන්, ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේදී අදාළ වන විශේෂ කොන්දේසි

1) 1956 අංක 47 දරණ ස්ත්‍රීන් ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේ පනත

2) 1934 අංක 39 දරණ මාතෘ ප්‍රතිලාභ ආඥා පනත

3) 1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත


* සේවක විශ්‍රාම ප්‍රතිලාභ

1) 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත

2) 1980 අංක 46 දරණ සේවක භාර අරමුදල් පනත

3) 1983 අංක 12 දරණ පාරිතෝෂික දීමනා පනත


* සේවක සුරක්ෂිතතාවය හා සෞඛ්‍යය ආරක්ෂා කිරීම

1) 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත

2) 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත


* ශ්‍රමිකයින් පුහුණු කිරීම

1) 1971 අංක 49 දරණ ජාතික ආධුනිකත්ව මණ්ඩල පනත

2) 1978 අංක 08 දරණ පෞද්ගලික අංශයේ පුහුණු වන්නන් සේවයේ යෙදවීමේ පනත

කම්කරු නීති ක්‍රියාත්මක කිරීම[සංස්කරණය]

ඉහත දක්වන්නට යෙදුණු කම්කරු අණපනත් වල ඇතුළත් ප්‍රතිපාදන සේවායෝජකයින් විසින් නියමාකාරයෙන් ක්‍රියාත්මක කරයිද යන්න සොයා බැලීමේ කාර්යය පැවරී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවටය. එම කොන්දේසි හා නියමයන් උල්ලංගනය කරන්නන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම කම්කරු කොමසාරිස්වරයාගේ වගකීමකි. එම කොන්දේසි හා නියමයන් කැඩීම දඩ මුදලකට හා/හෝ සිරදඬුවමකට යටත් කළ හැකි වරදවල් ලෙස සැළකේ.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වය[සංස්කරණය]