ශ්‍රී ලංකාවෙහි ගම්සභා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ගම්සභාව යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිට විසිවෙනි සියවසයේ දෙවන භාගය දක්වා, අවුරුදු 2500 කටත් අධික කාලයක් තිස්සේ ගම්බද ජනතාවගේ පරිපාලන ආර්ථික, සාමාජීය, අධිකරණ ආදී සියලු ක්ෂේත්‍ර වල අවශ්‍යතා සපුරාලූ ආයතනයකි. 1833 දී සිදුකල කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් ගම්සභා ක්‍රමය නොසලකා හැරියද, පසුව ඔවුන් විසින්ම ශ්‍රී ලංකාවේ මුල්බැස තිබු ගම්සභා ක්‍රමය නැවත 1848 දී ප්‍රතිස්ථාපනය කරන ලදී. 1856 දී හෙන්රි වෝර්ඩ් ආණ්ඩුකාරයා විසින් ගම්සභා ක්‍රමය පණගන්වා ඉදිරියට ගෙන ආවේය. 1980 දී ගම්සභා ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභා සහ ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමය ස්ථාපනය කරන ලදී.

ගම්සභාවේ ආරම්භය[සංස්කරණය]

ගම් පාලන ක්‍රමය ක්‍රි.පු. 5 වෙනි සියවසයේදී පමණ ලංකාව ජනාවාසයන් කල ආර්යයන් විසින් හදුන්වා දුන් සංස්ථාවක් බවයි. මෙම මතය අනුව ඈත අතීතයේ සිට ඉන්දියාවේ ජනප්‍රියව පවතින පංචයත් නමැති ග්‍රාමීය ක්‍රමය ආර්යයන් විසින් ලංකාවට හඳුන්වා දෙන ලද බවත් පසු කාලීනව දේශීය අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සකස් වෙමින් ගම්සභා ක්‍රමය වර්ධනය වූ බවත් කියවේ. [1] ශ්‍රි ලංකාවේ ක්‍රි පු 377 පමණ දී රජවූ පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුරය තම අග නගරය ලෙස තෝරාගෙන එයින් පසුව ඔහු විසින් නගර පාලනය සහ ගම් පාලනය සදහා එකිනෙකට වෙනස් වූ පළාත් පාලන ආයතනයන් පිහිටුවා ක්‍රියාත්මක කරන ලදී.[2] පුරාණයේ ක්‍රි.ව. 1301 දී 3 වැනි පරාක්‍රමබාහු රජ සමයේදී ගම් 250000 කින් යුත් මායා රටද, ගම් 45000 කින් යුත් යුත් පිහිටි රට ද ගම් 770000 කින් යුත් රුහුණු රට ද ලක්දිව තිබුණි.[3]

ගම්සභාවේ සංයුතිය[සංස්කරණය]

ගම්සභාවේ සංයුතිය යනු ගමේ පවුල්වල ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් බව සැලකේ.[4] අනුරාධපුර යුගයේ මුල් කාලයේ ගමේ කටයුතුවල ප්‍රධාන ස්ථානයක් ගත ගමික හෙවත් ගමරාල ගමේ ප්‍රභූවරයෙකු විය. ගම මට්ටමේ රජු සහ වැසියන් අතර සම්භාන්දතාවය පවත්වාගැනීම සදහා නිලදාරියෙකු(ග්‍රාම නිලදාරියෙකු)ගමික හෝ ගමරාලා එකල රාජ්‍ය නිලදාරියෙකු විය.[5],[6] මේ තත්වය තුල ගම මුලාදෑනියා සහ ගම්වැසියන් අතර ඉතා කිට්ටු සුහද සම්භන්දයක් පවත්වාගත හැකිවූ බැවින් ගමේ කටයුතු වලට රජයේ නිලදාරියෙකු සම්බන්ද වීමෙන්ද ගම්වැසියන් භුක්ති විදින ලද ස්වයං පාලන බලතලවලට කිසිදු හානියක් නොවිය. එහෙත් 10 වැනි සියවස වනවිට ගම්සභාවල කටයුතු වලට රජයේ නිලදාරියෙකු සම්භන්ධ වු බව වේවැල්කැටිය සෙල් ලිපිය සහ හෝපිටිගම සෙල් ලිපිය [7] නොහෝත් බදුලු ටැම් ලිපිය යන සෙල් ලිපි වලින් කියවේ. වේවැල්කැටිය සෙල් ලිපියෙහි 4-6 වගන්ති වල සදහන් පරිදි දස ගම් වලට පවරන ලද අධිකරණ බලතල ගම මුලාදෑනීන් මෙන්ම ගම් ප්‍රධානීන් සහ ගෘහ මුලිකයින්ගෙන්ද සමන්විතවූ මණ්ඩලයකින් ක්‍රියා කර ඇත.[8] දළදාගේ සෙල්ලිපියට අනුව ගම්වැසියන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ගැන කියවේ.[9][10]

1859 දී කිරියාට එරෙහි පූලා නඩුවේදී අස්ගිරි විහාරවාසී නායක ස්වාමින් වහන්සේ කෙනෙකු ගම්සහාවේ සංයුතිය ගැන අධිකරණයට ඉදිරියේ මෙසේ කරුණු දක්වා ඇත

"අවුරුදු 8 කට පමණ පෙර සිට පැමිණිලි කරු විතිකරුගේ පියා අතර පැවතී ආරවුලක් මාවෙත ඉදිරිපත් කල අතර මා විසින් ඒ පිළිබද පරීක්ෂණ පවත්වන ලදී ඒ සදහා ගම්සභාවක් කැදවා එය රැස්කරවුයෙමි. අපේ විහාරස්ථානයේ නිලධාරියා වු විදානෙට සහ ආණ්ඩුවේ ආරච්චි වරයාට ගම්සභාවක් කැදවන ලෙසට මා නියම කලෙමි . මා එම නියමය කලේ වාචිකවය.ඒ අනුව "කොරස" පන්සලේදී ගම්සභාව රැස්වූ අතර එහි මුලසුන දරන ලද්දේ මා විසිනි.එහි සාමාජිකයින් 15 දෙනෙකු සිටි අතර ගමේ දුරයාලා වැනි බලයේ සිටි ගම් ප්‍රදානීන් සහ කලින් බලයේ සිටි ගම් ප්‍රධානීන්ද එයට ඇතුලත් කෙරිණි.ආරවුලට සම්බන්ද දෙපක්ෂයම පැමිණ සිටි අතර අපි එම දෙපක්ෂයේම සාක්ෂි විමසා සටහන් කොට තීන්දුව ලිඛිතව සීට්ටුවක් වශයෙන් සටහන් කළෙමු.පැමිණිලිකරු වෙත එය භාර දෙන විට සියල්ලන්ම එයට අත්සන් කරන ලදී.මා මෙවැනි ගම්සභා කීපයකම මුලසුන දරා ඇති අතර මෙම ක්‍රියා පිළිවෙල සාමාන්‍යයෙන් චාරිත්‍රානුකුලව අනුගමනය කරනු ලැබූ ක්‍රියා පිළිවෙලයි.ලිඛිත සටහන් තැබීම සාමාන්‍යයෙන් ගම්සභාවල පැරණි පුරුද්දක් නොවුනත් එය දියුණු ක්‍රමයක් ලෙස අනුගමනය කිරීමට මා පුරුදුව සිටියෙමි.ගම්සභා රැස්වීමකට අවම වශයෙන් සාමාජිකයින් 4 හෝ 5 සිටිය යුතු අතර ගම්සභා රැස්වීම බිම රවුමට පැදුරුවල වාඩිවී පැවැත්වීම සිරිත විය.

කෙසේ වෙතත් ගම්සභාවේ කටයුතු පිළිබද ලිඛිත විස්තර තබාගැනීම පැරණි පුරුද්දක් නොවන බවට මෙම භික්ෂුන් වහන්සේ කර ඇති ප්‍රකාශය එතරම නිවැරදි නොවේ.අනුරාධපුර යුගයේදී එකල රජුගේ උසාවියට සාක්ෂි වශයෙන් ඉදිරිපත්කල ගම්සභාවල ලිඛිත වාර්තා තිබී ඇත.[11]

ගම්සභාවේ කාර්‍යභාරය[සංස්කරණය]

ගම්සභාව සතු ආරම්භක කාර්‍යභාරය වුයේ වාරිමාර්ග කටයුතු පරිපාලනය කිරීමය.ආර්යන් මෙරටට පැමිණීමට පෙර පවා වැවු භාවිතා කල බවට සාධක ඇත.[12] ගැමි ජනතාව සාමුහිකව ගොවිතැන් වාරිමාර්ග කටයුතු සදහා දෙඩවීම පිණිස ගම්සභාව විසින්ම සකස් කරන ලද විදිවිධාන කඩකරන අයට විරුද්දව කටයුතු කිරීමත්, සුළු ආරවුල් බේරුම් කිරීමත් ගම්සභාව විසින් ඉටුකර ඇත. ආරම්භක අවදියේ පටන්ම ගම්සභාවට පැවරී තිබු තවත් සේවාවක් වුයේ ගමට අවශ්‍ය බැංකු සේවාවන් සපයීමයි.[13]. අනුරාධපුරයේ පශ්වාත් භාගයෙදී එනම් කි ව 6 වැනි සියවසයේ සිට ගම්සභාවේ වර්ධනය සහ කාර්‍යභාරය පිළිබද මුලාශ්‍ර කීපයක් ඇත. එනම් කි.ව.935 -938 දක්වා රජකළ 3 වෙනි උදය රජුගේ ආංඥවක් සටහන් කොට ඇති ඌව පළාතේ මයියංගනය අසල හොපිටිගම සෙල්ලිපිය[14] සහ කි.ව.956-972 දක්වා රජකළ 4 වෙනි මහින්ද රජුගේ වෙවැල්කැටිය පුවරු ලිපිය වේ [15]මෙම සෙල්ලිපි වලට අනුව රජු විසින් ගම්සභාවට අධිකරණ යුක්තිය විසදීමේ බලය පවරා ඇත .හොපිටගම සෙල් ලිපියට අනුව ගම්සභාවල පරිපාලනය කමිටු කීපයක් හරහා සිදුවූ බව කියවේ.

  1. ගමේ සාමාන්‍ය පරිපාලනය භාර 8 දෙනෙකුගෙන් යුතු කමිටුව.
  2. වනාන්තර සහ මුඩු ඉඩම් භාර කමිටුව.
  3. ගමෙන් රජුට අයවියයුතු බඩු සහ දඩමුදල් භාර කමිටුව.
  4. කුඹුරු ඉඩම් භාර කමිටුව.

ගම්වැසියන්ගේ සම්භන්ධයෙන් යුක්තිය විසදීමට පමණක් නොව ගමේ ආරක්ෂාව පිළිබද කටයුතු ගම්සභාවට පවරා තිබුනි. අල්ලාගැනීමට අපහසු පැනගිය වැරදි කරුවන් දින ගණනක් තුල අල්ලාදීමේ වගකීමද ගම්සභාවෙත පැවරී තිබුණි. එසේ එම වගකීම ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ගම්සභාව ඒ වෙනුවෙන් රජයට දඩමුදල් ගෙවිය යුතු විය.[16] මෙමගින් ගම්වැසියන් වෙත වගකීමක් මෙන්ම යම් බලතල ප්‍රමාණයක්ද පවරා තිබුණි. ගම්සභාවේ සාමාජිකයින් ගමේ සිදුවන අපරාධ සහ වැරදි පිළිබදව නඩු විසදු අන්දම අටදා සන්නය යේ සදහන්වී ඇත.[17].රජුගේ උසාවි වල නඩු විසදු අකාරයටම ගම්සභාවලද දෙපක්ෂයේ ශාක්ෂි වලට ඇහුම් කන්දී 'චාරිත්‍ර ධර්ම' සහ 'පුරවාදර්ශ'සලකා බලා තීන්දු දී ඇත. [18]

උඩරට රාජධානියෙහි ගම්සභාව[සංස්කරණය]

උඩරට රාජධානියෙහි ක්‍රියාත්මකවූ ගම්සභා ක්‍රමය පිළිභදව ඇසින් දුටු විස්තර සපයන රොබට් නොක්ස් සහ ජෝන් ඩොයිලි ගේ විස්තර වැදගත් වේ. රොබට් නොක්ස් (1660-1679) අවුරුදු 20 කට අධික කාලයක් උඩරට රාජ්‍යයයේ කුරුණෑගල, ගම්පොල සහ මහනුවර අවට එළිමහන් සිරකරුවකු ලෙස කාලය ගතකර ඇත. ඒ අනුව උඩරට ප්‍රදේශයන්හී ක්‍රියාත්මක වු ගම්සභා ක්‍රමය පිළිබධව ඔහුගේ කෘතියට ඇතුලත් කොට ඇත. "අසල්වැසියන් අතර නඩුහබ පිළිබද පැමිණිලි විසදීමත් යුක්තිය ඉටුකර දීමත් සදහා මෙම නිලධාරීන්ගෙන් සහ ප්‍රදේශයේ ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් අධිකරණ උසාවි වර්ගයක් තිබිණි. ඒවා ගම්සභා වශයෙන් හදුන්වනු ලැබේ."[19] යනුවෙන් නොක්ස් සිය කෘතියේ සටහන් කර ඇත. එම උසාවි වලින් දෙනු ලැබූ තීරණයක් පිළිගැනීමට අකමැති අයෙකුට ප්‍රදේශයේ ප්‍රධාන පාලකයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවද තිබු බව සදහන් කරයි. එයින්ද සෑහීමකට පත් නොවන්නේනම් අධිකාරම් වෙත හෝ රාජ්‍යයේ ඉහලම අධිකරණය වන කන්ද උඩරටට අභියාචනයක් කිරීමේද හැකියාව පැවති බව කියයි.

ඩොයිල්ගේ උඩරට ආණ්ඩු ක්‍රමය පිළිබධ කෘතියේ ගම්සභාව නමැති උසාවිය ගමේ ජ්‍යෙෂ්ඨ මෙන්ම අත්දැකීම් බහුල තැනැත්තන්ගෙන් සමන්විත වු බවත් ඉඩම් ආරවුල්, ණය සොරකම් සුළු රන්ඩු, සිවිල් අපරාධ නඩු පැනනැගී අවස්තාවක අම්බලමක හෝ සෙවනැති ගසක්යට රැස්වී හැකිතරම් දුරට ප්‍රශ්නය සාමකාමීව විසදීමට ප්‍රයන්තය දැරූ බවත් දඩුවම් පැමිණවීම වෙනුවට හුදෙක්ම සමගි කරවීම මගින් ප්‍රශ්න නිරාකරණය කර ඇත.[20]

පෘතුගීසීන් සහ ලන්දේසී සමයේ ගම්සභා[සංස්කරණය]

ඉංග්‍රීසීන් යටතේ ගම්සභා ක්‍රමය[සංස්කරණය]

1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ තුල ගම්සභාව[සංස්කරණය]

1833 විලියම් කෝල්බෲක් සහ චාල්ස් හේ කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවේ වැදගත් නිර්දේශයක් වන්නේ ගම සභා ක්‍රමය අඛන්ඩව පවත්වාගෙන යායුතු ආයතනයක් බවයි. ඔවුන් විසින් යෝජනා කරන ලද්දේ ඔවුන්ගේ උසාවි ලංකාවේ සාමාන්‍ය ගැමි ජනතාව අතර පැනනගින සුළු නඩු හබ විසදීමට සුදුසු නැති බවත් ගම්සභා අභාවයට යමින් තිබු ප්‍රදේශ වල මෙන්මගම්සභා වෙනුවට උසාවි පිහිටුවා තිබු ප්‍රදේශයන්හි ගම්සභා නැවත ප්‍රතිෂ්ඨාපනය කලයුතු බවයි.[21] [22] ගම්සභා නැවත ප්‍රතිස්ථාපනය කිරීම තුලින් ලබාගත හැකි ප්‍රයෝජන තුනක් එහිදී දක්වා ඇත.

  1. රජයේ පරිපාලන වියදම අඩුකරගැනීම.
  2. දේශීය ජනතාවට හුරුපුරුදු සිරිත් විරිත් සම්ප්‍රදායන්ට අනුව ගම්වල පාලන කටයුතු කරගැනීමට ඉඩ ලැබීමෙන් ඔවුන් සතුටට පත්වීමෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට ජනතාවගේ පක්ෂපාතිත්වය ලැබීම.
  3. ගම්සභා ක්‍රියාත්මක කිරීමෙන් සුළු නඩු විසදීම පමණක් නොව පොලිස් සේවයද ගැබුරු නීති රීති නොපනවා ඉතා සරල රෙගුලාසි කීපයක් මගින් ග්‍රාම පාලනයද කරවා ගත හැකි බවත්.

මේ අන්දමට කෝල්බෲක් විසි ගම්සභා ක්‍රමය කොතරම් අගය කර ප්‍රතිස්තාපනයට නිර්දේශ ඉදිරිපත් කලත් 1833 දී යටත්විජිත කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ යටතේ ගම්සභාව ප්‍රතිස්ථාපනය වුයේ නැත. එකල උඩරට ගම්වල තත්වය මේජර් තෝමස් ස්කිනර් සදහන්කරන්නේ මෙලෙසය

ජනතාව හුදෙකලා ගම්වල මෙසේ විසිර සිටින හෙයින් පිටිසර පෙදෙස්වල මිනිසුන්ගේ සාමය ,මනාපාලනය හා පොදු සංවර්ධනය රජයේ ආධිපත්‍ය සහ බලපැවැත්ම මත මෙන්ම මුලාදෑනින්ගේ කාර්යක්ෂමතාවය මත පිහිටීම අනිවාර්ය වුවකි.අපේ ප්‍රතිපත්තිය වියයුතුව තිබුනේ ඔවුන්ගේ ගරුත්වය පිළිගැනීම සහ අප විසින් සුදුසු සීමාවන්හි පිහිටා ඔවුන්ගේ නිත්‍යානුකුල ප්‍රභුත්වයට හා අධිපත්‍යට අනුබලදීමය.එහෙත් අවාසනාවකට මෙන් අපේ ආධිපත්‍ය පවත්වාගෙන යාමේදී ස්වදේශික ප්‍රභුත්වය හා ආධිපත්‍ය පිළිගැනීම අයෝග්‍ය ය යන සාවද්‍ය අදහසක් අප අතර පැවතුනි.[23]

ඉංග්‍රීසින් යටතේ ගම්සභාව නැවත ප්‍රතිස්ථාපනය කිරීම[සංස්කරණය]

ඉංග්‍රීසීන් විසින් 1833 දී හදුන්වාදෙන ලද අධිකරණ ප්‍රතිසංස්කරණ සහ අනිවාර්ය සේවා රාජකාරී [24] ක්‍රමය අවලංගු කිරීම හේතුවෙන් ගම්බද ප්‍රදේශ වල ක්‍රියාත්මක වෙමින් පැවතී සමස්ථ දේශපාලන,සමාජ ආර්ථික රටාවන් දෙදරා යන්නට විය.ටොරින්ටන් ආණ්ඩුකාරවරයා විසින් යටත් විජිත ලේකම් වරයා වු ග්‍රේ සාමිවරයාවෙත යැවූ විස්තරයක මෙසේ සදහන්වේ

දැනට ප්‍රයෝජනයට ගනු ලබන වැවු ,ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීම නඩත්තු කිරීම කොතරම් නොසලකා හැර තිබේද කිවතොත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඒවා සීග්‍රයෙන් පරිහානියට පත්වෙමින් තිබෙනු දැකිය හැකිය.ප්‍රධාන මහාමාර්ග ඉදිකිරීම සදහාවත් අවශ්‍යතරම් ශ්‍රමය වැටුප් ගෙවාවත් ලබාගැනීමට ඉතාමත් දුෂ්කර වී ඇත.එසේ ලබාගත් ශ්‍රමය පවතින මහාමාර්ග ප්‍රතිසංස්කරණය කොට නඩත්තු කිරීම සදහා වත් ප්‍රමාණවත් නැත.කුඩා මංමාවත් ඇලවේලි ,ප්‍රාදේශීය වැදගත්කමකින් යුත් වෙනත් පොදු කටයුතු කෙරෙහි ලැබෙන අවධානය කිසිසේත්ම ප්‍රමාණයවත් නැත.[25]

ගම්සභා පරිහානියට පත්වීමෙන් උද්ගතවී තිබු ව්‍යාකුල තත්වයට පිළියම් යෙදීම සදහා ගම්වලට ස්වාපාලන තත්වයක් ලැබෙන පරිදි පැරණි සිරිත් විරිත් සම්ප්‍රදායන් මත පදනම් වු ග්‍රාමීය ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය සදහා ස්ථීර ක්‍රියාමාර්ගයක් මුලින්ම අනුගමනය කලේ ශ්‍රීමත් හෙන්රි වෝඩ් (1855-1860) ආණ්ඩුකාරවරයා විසිනි. 1856 දී ඔහු විසින් පැරණි ගම්සභාවට සමාන ආයතනයක් යලි පිහිටුවීම සදහා වු පනතක් ඉදිරිපත් කරන ලදී.එය 1856 අංක 9 දරණ වාරිමාර්ග පිළිබද පනත වශයෙන් හදුන්වනු ලැබේ.ගම්සභාවට සමානවූ මෙම පනතේ පුර්විකාවෙන් එම පනත පැනවීමට තුඩු දුන් හේතු දක්වා ඇත.[26] [27]

නිදහස ලැබීමෙන් පසු ගම්සභා ක්‍රමයේ විකාශනය සහ අභාවය[සංස්කරණය]

ගම්සභා ක්‍රමයේ අභාවය[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. ,Paranavithana.S ,"Village Communities of Ceylon"-Ceylon Literary Register ,3rd Series Vol:1, Feb 1931 pp 49-53
  2. , Mahawamsa-Geiger Wilhelm(Reprinted,1950,Colombo),Page73.
  3. වතුවත්තේ ප්‍රේමානන්ද හිමි -රාජාවලිය 74 වැනි පිටුව.
  4. D'oyly Sir John -A scketch of the construction of the Kandyan Kindom, 2nd Edition ,1975,Dehiwala P42.
  5. සෙනරත් පරණවිතාන-පැරණි යුගයේ සභ්‍යත්වය :අර්ථ දේශපාලන සමාජ තත්වය ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය 1 කා 1 1964 , 228 පිටුව.
  6. පීරිස් රැල්ෆ්- සිංහල සමාජ සංවිධානය ,1964 ,කොළඹ 23 පිටුව .
  7. බදුලු ටැම් ලිපිය
  8. Epigraphica Zeylonica Vol No 21 ,p.241.
  9. අනුරාධපුරයේ ථූපාරාමයට නැගෙනහිරින් දළදා ගේ නටබුන් අතර හමුවන හතර වැනි මහින්ද රජුට අයත් බව පිළිගනු ලබන දළදාගේ සෙල්ලිපිය
  10. Codrington H.W.-Ancient Land Tenure and revenue in Ceylon Colombo 1938 -page 65 Appendix ii Daladage Inscription
  11. EZ Vol 3, P 71-100 Hopitigama Pillar Inscription -Line A39-B1
  12. [1],[2], Sinhalese Social Organization (Kandyan Period) by Ralph Pieris.
  13. මහාචාර්ය සෙනරත් පරණවිතාන : ප්‍රකාශිත ග්‍රන්ථ හා ලිපි, Senarath Paranavithana: Ceylon Literary Register, 1931).Vol 1 No 1 Page 53
  14. Epigraphia Zeylanica,Epigraphia Zeylanica Vol 3 P 71-100.
  15. Epigraphia ZeylanicaEpigraphia Zeylanica Vol 1 No 21 P 241 .
  16. Epigraphia Zeylanica,Epigraphia Zeylanica Vol 1 No 21 lines 14-18 ,18-20 P 250.
  17. Ranawalle ,Sirimal -V Slab Inscription and its copies 1996 Colombo p4.
  18. පීරිස් රැල්ෆ් ,සිංහල සමාජ සංවිධානය ,254,257 පිටු
  19. නොක්ස්ගේ "An Historical Relation of the Island Ceylon" පොතෙහි සිංහල අනුවාදය "එදා හෙළදිව"වේ , An Historical Relation of the Island Ceylon,1981 Dehiwala P-181.
  20. [3],Doylys Johan-A sketch of constitution of the Kandian Kingdom 1975,Dehiwala PP42-43 .
  21. Mendis G.C.Colebrook -Cameron Papers ,Vol 1 introduction p.vii
  22. De Silva Colvin R - Ceylon Under the british Occupation Vol 2 p 578
  23. මේජර් තෝමස් ස්නිකර් ,ලංකාවේ පනස් වසරක්(පරිවර්තනය ඇල්ලේපොල එච්. .එම් සෝමරත්න,ඇම්.ඩී.ගුණසේන සමාගම ,කොළඹ,1966,149 පිටුව.
  24. කුල ක්‍රමය පදනම් කරගෙන කල සේවාවන් වේ
  25. SLNA 5/35 Depatch from Governor Torrington to Sec of State ,Earl Grey No.91 of 6 May 1848
  26. An Ordinance to Facilitate the Revival and the enforcement of the Anciant Custom Regarding the Irrigation and cultivation paddy Land
  27. SLNA 5/41 Depatch from Governor Ward to Sec of State Laboucher No.128 of 22 July 1856
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවෙහි_ගම්සභා&oldid=363746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි