රොකට් තාක්ෂණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රොබට් එච්. ගොඩාඩ් විසින් නිපද වූ මුල්ම රොකට්ටුව

ශතවර්ෂ කීපයකට පෙරදී චීන ජාතිකයන් යුද කටයුතු සඳහා භාවිතා කළ රොකට්ටුව වර්තමානය වන විට අභ්‍යවකාශ ගවේෂණය සඳහා යොදා ගැනෙන තරමට වැඩි දියණු වී අවසන්. එපමණක් නොව යුද කටයුතු වලදී මිසයිල නිපදවීම සඳහාත් මෙම රොකට් තාක්ෂණය යොදා ගනු ලබයි. මෙසේ මිනිසාට හිතකර මෙන්ම අහිතකර කාර්යයන් රැසක් සඳහා යොදා ගැනේ.

රොකට් තාක්ෂණයේ ඉතිහාසය[සංස්කරණය]

එක්සත් ජනපද අභ්‍යවකාශ හා රොකට් මධ්‍යස්ථානයේ දී සැටර්න් V ප්‍රථම අදියර වන F-1 එන්ජිම සමග වර්න්හර් වොන් බ්රෝන්

මුලින්ම වෙඩි බෙහෙත් හඳුන්වා දීමත් සමගම රොකට්ටු නිර්මාණයද එළිදැක්වී ඇත. වර්ෂ 1200 දී චීන ජාතිකයන් විසින් ඊතලයක් සමග රොකට් භාවිතා කර ඇති බව සඳහන් වේ. නලයක් තුළ තද වන ලෙස ඇසිරූ වෙඩි බෙහෙත් වලින් මෙම කුඩා රොකට් විශේෂය සාදා තිබිණි. මෙම නලයේ එක් කෙළවරක් වසා තිබූ අතර අනෙක් කෙළවර විවෘත වී තිබිණි. මෙම සරල රොකට්ටුව වර්තමාන රොකට් නිෂ්පාදනයට උපයෝගී කර ගැණිනි. රොකට් නිර්මාණ තාක්ෂණය ඉතා ඉක්මණින්ම යුරෝපයට ව්‍යාප්ත විය. ඒවා යුද කටයුතු සඳහාද යොදා ගත් අතර තුවක්කු සහ කාලතුවක්කු දියුණු වීමත් සමග 1700 අග භාගය වන තෙක් රොකට්ටු යුද කටයුතු වලින් ඈත් විය.නැවත වතාවක් බි‍්‍රතාන්‍ය ජාතිකයකු වූ විලියම් කොන්ග‍්‍රිව් රොකට්ටුව කාර්යක්ෂම ආයුධයක් ලෙස වැඩි දියුණු කිරීමට පටන් ගත්තේය. 1850 දී ඉංග‍්‍රීසි ජාතික විලියම් හේල් විසින් රොකටයේ නොසලයට වක‍්‍රයක් සවිකිරීමෙන් එහි නිවැරදිතාවය වඩාත් වැඩිදියුණු කළේය.[1] වර්ෂ 1800 අග භාගය වන විට මෙම රොකට්ටු අභ්‍යවකාශ කටයුතු සඳහා යොදා ගත හැකි බව මිනිසුන්ට අවබෝධ විය. රුසියානු ජාතික ගුරුවරයෙකු වූ කොන්ස්තන්තීන් සියොල්කොවුස්කි මෙම රොකට් තාක්ෂණය පිළිබඳ ඉතා දීර්ඝ වශයෙන් පර්යේෂණ කළ අතර එම හේතුවෙන් ඔහු අභ්‍යවකාශ යානා වල පියා යනුවෙන්ද හඳුන්වයි. එක්සත් ජනපදය හා ජර්මනියද මේ පිළිබඳව ප‍්‍රධාන වශයෙන් පර්යේෂණ සිදුකර ඇත.[2] එක්සත් ජනපදයේ රොබට් එච්. ගොඩාඩ් විසින් ප‍්‍රථම ද්‍රව ඉන්ධන රොකටය 1926 දී ගුවන් ගත කරන ලදී.[3] ජර්මනියේදී ආචාර්ය වර්නන් වොන් බ්‍රොන් ඇතුළු කණ්ඩායමක් විසින් V - 2 නම් රොකට්ටුව නිර්මාණය කළහ. ඉන් දෙවන වන ලෝක යුද සමයේ ලන්ඩනයට හෙළීමට බෝම්බ නිෂ්පාදනය කෙරිණි.[4] V - 2 යනු වර්තමානයේ භාවිතාවන රොකට් මිසයිල හා අභ්‍යවකාශ රොකට්ටු වල පැරණිතම මුතුන්මිත්තා වශයෙන් සැළකෙයි. මිනිසා ප‍්‍රථම වරට සඳ මතට ගෙන ගිය රොකටය වූ සැටර්න් V රොකටයේ නිර්මාතෘවරයා වූයේද ආචාර්ය බ්‍රාන්ය.

රොකට්ටුවක කි‍්‍රයාකාරීත්වය[සංස්කරණය]

පරීක්ෂා කරනු ලබන රොකට් එන්ජිමක්

සරල රොකට්ටුවක කි‍්‍රයාකාරීත්වය සඳහා ඉන්ධන ඉතා විශාල ප‍්‍රමාණයක් දහනයෙන් නිපදවෙන වායුව යොදා ගනී. මෙහිදී හට ගන්නා බලයෙන් රොකටයෙන් පහළට තෙරපුමක් ඇති කරන අතර ඉන් එය ඉහළට එසවීමට අවශ්‍ය බලය ලැබේ. සාමාන්‍යයෙන් චලිතය පිළිබඳව නිව්ටන්ගේ (සර් අයිසැක් නිව්ටන්) තුන්වන නියමයට අනුව රොකට්ටුවක කි‍්‍රයාකාරිත්වය සිදුවෙයි. “සෑම කි‍්‍රයාවකටම සමාන වූත් ප‍්‍රතිවිරුද්ධ වූත් කි‍්‍රයාවක් ඇති” බව නිව්ටන්ගේ 3 වැනි නියමයෙන් කියැවේ. රොකට්ටුවක් ගුවන්ගත කිරීම සඳහා අවශ්‍ය බලය උත්පාදනය කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය වලට ප‍්‍රචාලන යැයි කියනු ලබයි.[5] මේ ආකාරයෙන් ප‍්‍රචාලන වර්ග 2 ක් රොකට්ටුව සඳහා යොදා ගැනේ. ඉන් එක් වර්ගයක් ඝන ප‍්‍රචාලන ලෙසද අනෙක් වර්ගය ද්‍රව ප‍්‍රචාලන වශයෙන් ද හඳුන්වයි. මේ වර්ග දෙකේදීම බලය උත්පාදනය සඳහා ඉන්ධන හා ඔක්සිකාරක වශයෙන් කොටස් දෙකක් යොදා ගැනේ. මෙහිදී ඔක්සිකාරකය යනුවෙන් හඳුන්වන්නේ යොදා ගන්නා ඉන්ධනය දහනය කිරීමට අවශ්‍ය ඔක්සිජන් වායුව ලබාගන්නා ද්‍රව්‍යටයි.

ඝන ප‍්‍රචාලන[සංස්කරණය]

රොකට්ටුව එසවීමට අවශ්‍ය බලය ලබාගැනීමට වෙඩි බෙහෙත් වැනි ද්‍රව්‍ය යොදා ගන්නා විට ඒවා ඝන ප‍්‍රචාලන නමින් හඳුන්වයි. එයට ගල් අඟුරු (කාබන්) සහ සල්ෆර් ඉන්ධනය ලෙසත්, වෙඩිලුණු (පොටෑසියම් නයිටෙ‍්‍රට්) ඔක්සිකාරකය ලෙසත් යොදා ගනී. අභ්‍යවකාශ ගත කරන රොකට්ටුව සඳහා විවිධ වර්ග වල ඝන ප‍්‍රචාලන යොදා ගනී. ඝන ප‍්‍රචාලන මගින් කි‍්‍රයා කෙරෙන රොකට්ටු ඉතා සරල හැඩයෙන් නිමවා ඇත. දහනය වීමේදී නිපදවෙන වායුව පිටවීමට යෙදූ නොසලයක් ද සහිත සිලින්ඩරයක ඒවා අසුරා ඇත. එම සිලින්ඩරය ඉන්ධන දහනය වන දහන කුටීරය ලෙසද කි‍්‍රයාකරයි.

ද්‍රව ප‍්‍රචාලනය[සංස්කරණය]

අභ්‍යවකාශයට ගුවන් ගත කෙරෙන රොකට්ටු වලට වඩා බහුල ලෙස යොදාගනු ලබන්නේ ද්‍රව ප‍්‍රචාලනයි. ද්‍රව ප‍්‍රචාලන වලින් ඝන ප‍්‍රචාලන වලට වඩා විශාල බලයක් උත්පාදනය කිරීමට හැකිවීම එයට හේතුවයි. අභ්‍යවකාශ ෂටල වල සහ ප‍්‍රධාන රොකට් යන්ත‍්‍ර වල ඉන්ධනය ලෙස ද්‍රව හයිඩ‍්‍රජන් සහ ඔක්සිකාරකය ලෙස ද්‍රව ඔක්සිජන් භාවිතා කරයි. මෙම ප‍්‍රචාලන දහනයේදී එයින් ජලය සහ විශාල තාපයක් උත්පාදනය වේ. වාෂ්ප ලෙස නික්මෙන ජලය රොකටයේ නොසලයෙන් ඉතා වේගයෙන් පිටතට නිකුත් කෙරේ. සමහර රොකට් වල භුමිතෙල් හෝ හයිඩ‍්‍රසීන් ඉන්ධන ලෙස යොදා ගනී. ද්‍රව ප‍්‍රචාලන රොකට්ටු වල පවතින ප‍්‍රධාන අවාසියක් වන්නේ ඒවායේ අධික වේගය ලබා ගැනීමට සෑම තත්පරයකම ප‍්‍රචාලන ටොන් කීපයක් දහනය කළ යුතු වීමයි. මේ බාධකය ජය ගැනීමට වර්තමානයේ විද්‍යාඥයෝ විවිධ පර්යේෂණ පවත්වති.

රොකට් තාක්ෂණයේ අනාගතය[සංස්කරණය]

දැනට අපට සඳ මතට ගමන් කිරීමේ හැකියාව ඇත. නමුත් දැනට පවතින වර්ගයේ රසායනික දහන රොකට්ටු වලින් වෙනත් ග‍්‍රහලෝක කරා ගමන් කිරීමේ හැකියාව නැත. එහෙයින් විද්‍යාඥයන් විසින් මේ සඳහා යෝග්‍ය රොකට්ටු වර්ග පිළිබඳ විවිධ අදහස් දක්වති.කෙසේ නමුත් අභ්‍යවකාශයේ දුරගමන් සඳහා යෝග්‍ය වන රොකට්ටු ඉතා ඉක්මණින් නිර්මාණය වනු ඇත. ඒවා න්‍යෂ්ටික ශක්තිය හො වෙනත් උපක‍්‍රමයකින් කි‍්‍රයාත්මක කිරීමට ද මේ වනවිට අත්හදා බැලීම් සිදුවී ඇත. එක්සත් ජනපදයේ නාසා ආයතනය මෙම පර්යේෂණවලින් මේ වනවිට සාර්ථක ඵල නෙලාගෙන ඇති බවද සඳහන්. කෙසේ වෙතත් දුරින් පිහිටි වෙනත් ග‍්‍රහ වස්තූන් කරා යා හැකි ප‍්‍රබල රොකට්ටු නිර්මාණය කිරීමේ සිහිනය සැබෑ වීමට වැඩි කලක් ගත නොවනු ඇත.

චන්ද්‍රිකා සදහා රොකට් තාක්ෂනය[සංස්කරණය]

චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවිමට මුල් කාලයේදි යොදාගත් ප්‍රධාන මේවලම වූයේ රොකට්ටුවයි. චන්ද්‍රිකා පමණක් නොව අභ්‍යවකාෂයේ තොරතුරු ගවේශනය සදහා සහ චන්ද්‍රයාගේ තොරතුරු ගවේෂණය සදහා යොදා ගත් අභ්‍යවකාශ යානා උඩු ගුවනට ගෙනයාම සදහාත් ඒවා අභ්‍යකාෂයේ අෑතට ගමන් කරවීම රොකට්ටු යොදා ගැනිණි‍.‍‍‍‍‍‍

අදාළ[සංස්කරණය]

  • පද්මා පැඩිඩිලියන් (2002). මිනිසාගේ විශිෂ්ටතම සොයා ගැනීම්. වාසනා ප්‍රකාශකයෝ. ISBN ISBN 955-8441-10-4. 
  1. "Sir George Cayley". ?. සම්ප්‍රවේශය 2009-07-26. Sir George Cayley is one of the most important people in the history of aeronautics. Many consider him the first true scientific aerial investigator and the first person to understand the underlying principles and forces of flight. 
  2. Kermit Van Every (1988). "Aeronautical engineering". Encyclopedia Americana. 1. Grolier Incorporated. 
  3. "Sir George Cayley (British Inventor and Scientist)". Britannica. n.d. සම්ප්‍රවේශය 2009-07-26. English pioneer of aerial navigation and aeronautical engineering and designer of the first successful glider to carry a human being aloft. 
  4. "A Brief History of NASA". Hq.nasa.gov. සම්ප්‍රවේශය 2012-03-20. 
  5. "The Pioneers: Aviation and Airmodelling". ?. සම්ප්‍රවේශය 2009-07-26. Sir George Cayley is sometimes called the 'Father of Aviation'. A pioneer in the field, he is credited with the first major breakthrough in heavier-than-air flight. He was the first to identify the four aerodynamic forces of flight – weight, lift, drag, and thrust – and their relationship and also the first to build a successful human carrying glider. 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රොකට්_තාක්ෂණය&oldid=426963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි