රුක්මණී දේවී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(රුක්මණි දේවි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
රුක්මණී දේවී
රුක්මණී දේවි1.jpg
උපතඩේසී ඩැනියල්ස්
ජනවාරි 15, 1923(1923-01-15)
නුවරඑළිය, බ්‍රිතාන්‍ය ලංකාව
මරණයOctober 28, 1978(1978-10-28) (වයස 55)
ජාඇල, ශ්‍රී ලංකා
ආගමරෝමානු කතෝලික
සහකරු(වන්)එඩී ජයමාන්න
දෙමාපියන්ජෝන් ඩැනියල්ස් (පියා)
පෙලන් රෝස් (මව)

ඩේසි ඩැනියල්ස් (1923 ජනවාරි 15 — 1978 සැප්තැම්බර් 25) වු කල් ශ්‍රී ලංකවේ ජීවත් වු ප්‍රවීණ රංගන ශිල්පිණියක් සහ ගායිකාවකි. රුක්මණී සංස්කෘතියට අයත් ජනප්‍රිය කලාකාරිනියකි. ප්‍රථම සිංහල සිනමාවේ නිළිය මෙන්ම සිංහල සිනමාවේ අග්‍රගනය නිළිය ද, සිංහල සංගීතයේ අග්‍රගනය්‍ය ගායිකාව ද වේ. ශාන්ත මැතීවී විදුහලේදී විවිධ ප්‍රසංග සඳහා රුක්මණී දේවි සහභාගි වුවාය.ඇය ශ්‍රී ලංකාවේ අසහාය ගීත කෝකිලාවක් ලෙස හදුන්වනු ලැබයි. වේදිකා රංගනයෙන් රංග දිවිය ඇරඹු ඈ රිදී තිරයට පැමිණ සියයකට අධික චිත්‍රපට සංඛ්‍යාවක රගපෑවා ය. ග්‍රැමෆෝනක් යුගයේදි ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටි ගිත කෝකිලාව විමට තරම් ඇය භාග්‍ය සම්පන්න වුවා ය. ඇයගේ මරණයෙන් පසු ඈ සරසවිය රණ තිසර (ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන) සම්මානයෙන් 1979 සරසවි සම්මා උළෙලේදි පිදුම් ලැබුවාය.

වේදිකා රංගනයෙන් තිරයට පිවිසෙන ඈ, ලංකාවේ ප්‍රථම නිළිය වූවාය. ගායනයෙන් ගීත කෝකිලාවිය ද වූ ඇය ඉතාම නිහතමානී කාන්තාවක වූ අතර ඇය තුළ තිබූ විනය හා කැපවීම ආදර්ශවත් ය. පුරාවෘතයක්‌ බඳු වූ රුක්‌මණී දේවි නම් වූ සුවිශේෂී කලාකාරිය බිහි වූ සමාජ හා සංස්‌කෘතික පසුබිමද පිරිස්‌සා බැලීමේ දී, රුක්‌මණීය ම කියා ඇති පරිදි කාන්තාවක්‌ කලාවට සම්බන්ධ වීම, අවඥාවෙන් සැලකූ යුගයකි. නිළියන් ගැන කතා කරන විට "මොනවද ඔය ටීටර් කාරයෝ" යෑයි මහජනයා සඳහන් කළේ ඉතාම පහත් කොටසක්‌ ගැන කතා කරන කලෙක මෙ නැයි 1956 දී ලියා පළ කළ "මගේ ජීවිත විත්ති" නම් වූ ග්‍රන්ථයෙහි ලා කියා පායි. එබඳු වටපිටාවක නිළියක හා ගායිකාවක ලෙස කලාවට ප්‍රවිශ්ට වීමට තරම් රුක්‌මණී දැක්‌ වූ එඩිතර භාවය අගනේ ය. අද පවතින නිළි සංස්කෘතියට ඉඩ ලබා දුන්නේ ඇයයි.

ළමා විය සහ තරැණ අවධිය[සංස්කරණය]

රැක්මණි දේවි නුවරඑළිය රම්බොඩ නම් ග්‍රාමයේ 1923 ජනවාරි 15 දින උපත ලැබූ ඩේසි රාසම්මා ඩැනියල්ස් ලෙස කොළඹ වෙට්ටි ක්‍රිස්තියානි පවුලක උපත ලැබුවාය. ගැහැනු දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත වූ පවුලක පවුලේ දෙවෙනියා වු ඩේසිගේ පියා ජෝන් ඩැනියෙල් නම් වැවිලිකරැවකු වු අතර ඇගේ මව වු පෙලන් රෝස් ගුරැවරියක වුවා ය. වැඩිමහලු සහෝදරිය මේබල්, තම එකම සොයුරු පෙඩ්රික්‌, වැඩිමහල් බාල සහෝදරී ප්ලොරන්ස්‌, මද්දුම බාල සහෝදරී හෙලන් සහ බඩ පිස්සී සරෝජනී ය.

පියා වූ ඡේ. ඩී. ඩැනියෙල්ස්‌ ඒ කාලයේ ඔහු වත්තක රැකියාවක්‌ කළේය. මව හෙලන් රෝස්‌ ඩැනියෙල්ස්‌ ගුරුවරියකි. මෙම දම්පතීන්ගේ දෙවැනි දියණිය කුඩා අවදියේ සිට ම ගීතයට තදින් හද බැඳුණි. බාල අවධියේ ම පල්ලියේ ගීතිකා ගායනාවන්ට යොමු කිරීම නිසාවෙන් ඇය කිතුණු පරිසරයට බෙහෙවින් අනුගත වූවා ය. එ පරිදි කුඩා කල සිට ම ගීත ගැයීම හේතුවෙන් ස්වර උච්චාරණ ක්‍රමයට ගීත පදමාලාව හැසිරවීමට සතතාභ්‍යාසයේ යෙදීම නිසා ගායනයේ දී විශිෂ්ඨ වූවා ය. සත් හැවිරිදි වත් ම ඩේසි ඩැනියල් ශිෂ්‍යාවට මැතිව් විදුහලේ වේදිකාවට පිවිස නර්තනයේ යෙදෙමින් ගායනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වූවා ය. එම පළමු ගීතය ම ළමා ගායිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් වීමට ප්‍රමාණවත් වූවා ය. "ට්‌වින්කල් ට්‌වින්කල් ලිට්‌ල් ස්‌ටාර්" "දිලෙන් දිලෙන් පුංචි තරු" නමැති ඉංග්‍රීසි කවිය කී හැටි, පාසලේදී ඉගෙන ගත් ඉංග්‍රීසි ගීත, කවි හා පල්ලියේදී කියන ලද ගීතත්, කට පාඩම් කරගැනීමට ඇය පුරුදු වී සිටියා ය. ලක්‍ෂමී බායි, සුසිලා ජයසිංහ වැනි එම යුගයේ ජනප්‍රියව සිටි ගායක ගායිකාවන් ගැයූ "විජිත සුන්දර පුෂ්ප උයනේ", "මහමුනි ශ්‍රී පාද තැබූ ලංකා දීපේ", "එන්න පායා" ආදී ගීතයන් ආසාවකින් ගැයූ ඇය ලක්‍ෂ්මී බායි, සුසිලා ජයසිංහ සහ රෙජිනා ඇනී බොතේජු වැනි සුප්‍රකට ගායිකාවක්‌ වීමට ඇත්නම්, කියා දිවා රෑ සිහින මැව්වා ය.

ඇයගේ පියා සංගීතය ප්‍රිය කළ අයෙකු ලෙස තම දුවණියට මිහිරි හඬින් ගී කීමට පුළුවන් බව මුලින්ම දුටු තැනැත්තා ඔහු ය. ගායිකාවක්‌ වශයෙන් රටට හඳුන්වා දීමට මුලින්ම අදහස්‌ කරනු ලැබූයේ ඇයගේ දයාබර පියා ය. රම්බොඩ හැර දමා පසුකලෙක මොරටුවේ පදිංචියට පැමිණ වැඩිදුර අධ්‍යාපනය සඳහා වේල්ස්‌ කුමරි බාලිකා විදුහලට ඇතුළත් කෙරුණි. එතැනින් සිප්සතර හදාරා දෙවැනි වරට වැල්ලවත්තේ සෙන්ට්‌ ක්‌ලෙයාර්ස්‌ විදුහලට ඇතුළත් කෙරුණි. ඇයගේ මවද එහි ගුරුවරියක වූවාය. ඉන්පසු දෙමටගොඩ සෙන්ට්‌ මැතිව් විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී විවිධ ප්‍රසංගවල රඟපෑමට අවස්‌ථාව ලැබුණි. එවිට ඇයගේ වයස අවුරුදු 12 කි. එහිදී දෙව් දූතයෝ යන නාට්‍යයේ රගපා දස්‌කම් දැක්‌ වූ තැන චන්ද්‍රලේඛා හා සී. ඒ. පෙරේරා ගුරුතුමියන් යටතේ හොඳ හැටි පුහුණුව ලැබුවාය.

කොළඹ ප්‍රදේශයෙ හි ළමාවිය ගත කළ ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත මැතිව් විද්‍යාලයෙනි. පසුව ඇය වැල්ලවත්ත ශාන්ත ක්ලොරාගේ විද්‍යා‍ගයේදි ඇතුළත් දී එහි දී අධ්‍යාපන කටයුතු හැදැරෑවා ය.

කුඩා අවධියේ සිටම ඇය නර්තනට ගායනයටත් දස්කම් පෑවාය. හත්වන වියේදි නත්තල් කැරොල් ගායක සද"හාද ඇය සහභාගි වුවාය. පාසල් ගුරුවරියක් ද සුප්‍රකට නෘත්‍යාංගනාවක වු "චන්ද්‍රලේඛා" ඇගේ කලා ලොව ගුරුවරිය වූයේ ය. ඇයගේ සහජනයෙන් ඇති දක්ෂතා හදුනාගැනිමේ ප්‍රතිඵලයක් ලෙස ඇය සපත්තු සාදන්නාගේ බිරිද යන නත්තල් නාටකයේ ප්‍රධාන චරිතය සදහා තොරාගනු ලැබුවාය. මෙම නාටකය වැල්ලවත්ත ශාන්ත ‍ක්ලොරාගේ පාසලේදි පුහුණු කර ඉදිරිපත් කරනු ලැබීය.

ඇයගේ මෙම රංගනය දුටු වෝල්ටර් අබේසිංහ නම් නාට්‍ය නිෂ්පාදකයා ඇගේ පියාගේ අවසරයද ඇතිව එහුගේ රමායනය නාට්‍යයේ සීතාගේ චරිතය සදහා තෝරා ගත්තාය. සිංහ නාට්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලැබු මෙම නාට්‍යය 1935 ඇය වයස අවුරැදු 12 රග දක්වනු ලැබීය.

ගායනය[සංස්කරණය]

ඇය ගායනයට පිවිසෙනුයේ 1906 දී පෙරළියක් ඇති කළ ග්‍රැමෆෝන් යුගයේ දී ය. ඇගේ ගීතවල ක්‍රිස්තියානි ආභාසය තිබුණි. එමෙන්ම ඇය 1939 කාලයේදී ගුවන් විදුලි සංගිත වැඩසටහන් වලට සහභාගි වුවාය. ඇය ගැයූ ප්‍රථම ග්‍රැමෆෝන් ගීතය සිරි බුද්ධගයා විහාරේ ගීතයයි. ඇය සමඟ එච්.ඩබ්ලිව්. රූපසිංහයන් 1939දී ගැයූ "සිරි බුද්ධගයා විහාරේ" නම් ගීතය පළමුවරට ග්‍රැමෆෝන් තැටියකට ගායනා කලා ය. එවිට ඇයගේ වයස අවුරුදු 13 කි. රූපසිංහ මාස්‌ටර් ඇය ගී ලොවට ගත් පසු "ඩේසි" නාමය ඉවත් කොට රුක්‌මණී දේවි යෑයි නම තැබුවේ ය. මෙම ගීතය ජනප්‍රිය වූ විගස ග්‍රෑමෆෝන වෙළඳ තැටි සඳහා ගීත දහයකට වැඩි ප්‍රමාණයක් ද, චිත්‍රපට පසුබිම් ගීත ද, විරිදු හා කණ්ඩායම් ගීත ද බොහෝ ප්‍රමාණයක් ගායනා කර දායාද කර දුන්නා ය. රූපසිංහ මාස්‌ටර් සමගින් බොදු ගී ගායනා කරන ලද අතර, කාර්ගිල්ස්‌ සමාගමේ ගේබ්‍රියෙල් ගුණරත්න මහතාගෙන් එච්.එම්.වී. තැටිවලට (HMV Disks) ගීත ගායනයට ඇරයුම් ලැබුණි. "සිරි බුද්ධගයා විහාරේ" හි තාලය හා සංගීතය ඇසෙන සැම විටම ආගමික හැඟීමෙන් ශ්‍රාවක සිත් කිලිපොලා යයි. කලා ක්ෂේත්‍රයේ ග්‍රැමෆෝන යුගය ලෙස හැඳීන් වූ කාල පරිච්ඡේදය හා නූතන යුගය ආබද්ධ කිරීමේ සන්ධිස්ථානය වූයේ රුක්මණී දේවියයි. ග්‍රැමෆෝන යුගයේ සිට වර්තමාන යුගයට ඇය පිවිසෙන්නේ වෙස් මුහුණු, සිවම්මා ධනපාල, ඔතේලෝ, වෙස්සන්තර නාට්‍ය හා අහසින් පොළොවට රූගත කිරීම්වලට දායකවීමෙනි. ඒ කල් හි රුක්මණී දේවිය නවක නිළියන්ගේ ආදරණීය ඩේසි අක්කා වූවා ය.

ඇය ගීත, චිත්‍රපට, වේදිකා නාට්‍ය බොහෝමයකට ම දායක වී ඇත. විචාරකයන් ඇය "මෙලඩි ක්වීන්" ලෙස හැඳින්වුයේ ඇගේ ගීත නිසාවෙනි. රුක්මණී අනෙක් සංගීඥයන් මෙන් සංගිතය ඉගෙන නොතිබිණි. රුක්මණියට අපරදිග සංගිතයට මෙන්ම ඉන්දීය පෙරදිග රාගධාරී සංගිතයට ද අනුවද ගීත ගායනා කළ හැකි වූවා ය. ඇය ලංකාවේ එකල් හි සිටි හොඳම පොප් ගායිකාව ද වුවාය. 1947 ගුවන් විදුලි ශ්‍රවණ පර්යේෂණයකදී ඇය ජනප්‍රිය ගායන ශිල්පින් අතර 2 වන ස්ථානයට පත්විය.

ඇය විසින් "ලොවේ දසත පුජිත" - ගරු සිංහල ජාතියෙ උපන්න විරිඳු ගීතය ද සැඟවුණු පිළිතුර චිත්‍රපටයේ ද්‍රවිඩ පිටපත වන කුසුමලතා හි ද්‍රවිඩ ගීතයක් ද ඇය ගැයුවා ය.

වේදිකාව[සංස්කරණය]

ඇය මෙම කලාවට අවතීර්ණ වනුයේ වේදිකා නාට්‍යය නුර්තිය පිරිහෙන කාලයේ දීය. එකල් හි ලාංකික කලා ක්ෂේත්‍රය ගොඩ නැඟුනේ සාම්ප්‍රදායික වූ ජන කවීන්ගෙන් හා ශාන්ති කර්ම, යකදුරු ක්‍රියාවන් ආශ්‍රිතව බිහි වූ යාතිකා මෙන්ම, දේශීය සංගීත භාණ්ඩ උපයෝගී කර ගනිමිනි. වෙස්සන්තර, සඳකිඳරු, කුස ජාතකයන් වැනි වූ ආගමික කථා හා රාමායනය, අශෝක මාලා වැනි දෘෂ්‍ය කාව්‍ය අනුසාරයෙන් රඟ දැක් වූ නාට්‍ය හා නූර්ති ගී දිවයින පුරා ජනප්‍රිය වී තිබුණි. 19 සියවස ආරම්භයේ දී ම එදා පැවති කෝපි කඩේ හා නිවෙස්වල ගීත ඇසීමට ග්‍රැමෆෝනය ජනප්‍රිය වූයේ ය. නාට්‍ය කණ්ඩායම් ලක්දිව පුරා සංචාරය කරමින් වේදිකා නාට්‍ය රංගනයෙන් හා නූර්ති ගී ගැයීමෙන් ප්‍රේක්ෂක ජනප්‍රියත්වය ඇති කළේ ය. එකල නිළියක වීම පිළිබඳ සාමාන්‍ය ජනයා අප්‍රසාදය පළ කරමින් එය පහත් ලෙස සළකමින් හංවඩු ගැසී තිබුණි. එම නාට්‍යවල ගී ගැයීම හා ස්ත්‍රී චරිතයන් හි රංගනය යෙදුණේ ස්ත්‍රී ලෙස වෙස් ගත් පිරිමින් ය. පුරුෂ ආධිපත්‍යයට පැතිර වූ කාල වකවානුවක් අතීතයේ පැවති බැවින් කාන්තාවන්ට නර්තනය හෝ ගායනයට වේදිකාව තහනම් කලාපයක් වීම ලක්ෂණයකි. කාන්තාවක් වේදිකාවට පිවිස පුරුෂයින් සමඟ නර්තනයේ, රංගනයේ හෝ ගායනයේ යෙදීම ස්ත්‍රී විලාපයකට හේතුවන ක්‍රියාවක් ලෙස එදා සමාජය සැලකූ අතර ටීටර්කාරියෝ, බයිස්කෝප් කාරිනියන් ලෙස ඔවුන් සමච්චලයට පත් කරමින් විවාහයකට හෝ නුසුදුසු අය ලෙස සැලකුවේ ය. එම කාල වකවානුව තුල ජීවත් වූ ස්වදේශීය කාන්තාවෝ නර්තනය, ගායනය ප්‍රතික්ෂේප කළා ය.

ඇයගේ ප්‍රථම වේදිකා නාට්‍යය වූයේ රාමායනයයි. එහිදී ඇය සීතාවගේ භූමිකාවට රංගනයෙන් දායක වීය. ඇගේ ස්ත්‍රී දේහ ලක්ෂණ, හඬ හැසිරවීම, වේදිකාවට පිවිසීමේදී ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කළේය. එබැවින් සමකාලීන නාට්‍ය නිෂ්පාදකයෝ ඇයගේ සහභාගිත්වය තම නර්තනයට, ගායනයට නිරතුරුව අපේක්ෂා කරන ලදි. මේ අතර තුර කාලයේ දි රුක්‌මණි සමග නාට්‍යවල රඟපෑමෙන් හඳුනාගත් ස්‌ටැන්ලි මල්ලවආරච්චිගේ මාර්ගයෙන් එඩී ජයමාන්නත් මිනර්වා සංචාරක නාට්‍ය කණ්‌ඩායමත් ඇයට හඳුනා ගන්නට ද ඊට එක් වීමට ද භාග්‍යය ලැබිණ. මෙහිදී නර්තනයෙන් හා රංගනයෙන් බොහෝ දුරට සහභාගි නොකර ගායනයට පමණක් අවස්ථාව ලබා දී ඇත. නාට්‍යයක් විටින් විට රඟපෑමේදී එම කොටස් අතරතුර වේදිකාව සැරසීමට එදා බොහෝ වෙලාවක් ගත වූයේ ය. එම විරාමය තුළ ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීම සඳහා විටින් විට රුක්මණී දේවී ගීත ගායනය සඳහා මිනර්වා නාට්‍ය කණ්ඩායම විසින් යොදවන ලද්දේ ය. ප්‍රේක්ෂකයාට මෙන්ම රුක්මණී දේවියට ද මෙය නව අත්දැකීමක් වූවා ය. ඇයගේ පුරුදු ගීත ගායනය නිදහසේ ඉදිරිපත් කිරීමට මෙම අවස්ථාව බෙහෙවින් ප්‍රයෝජනවත් වූවා ය. මුල් කාලයේ වේදිකා නාට්‍ය රඟපෑවත් ඇය එතරම් ජනප්‍රියත්වට පත් නොවුවා ය.

රාමායණය, මායාවතී, රෝහිණී වැනි නාට්‍ය කිහිපයක රඟපා ජනප්‍රියත්වයට පත්වු ඇය මිනර්වා නාට්‍ය සංගමයට බැඳුනා ය. රුක්මණී වඩා ප්‍රිය කළේ ගීතයට ය. ඇය අවතාරය නාට්‍යයෙන් අරඹා එම සංගමයේ නිපද වු නාට්‍යවල අතිරේක ගායිකාවක ලෙස ද දායක වූවා ය. කඩවුණු පොරොන්දුව නාට්‍යෙයේ රංජනීගේ චරිතයට පණ පෙවීමෙන් රඟපෑමද ආරම්භ කළා ය.

එදා රාමායනයෙන් වේදිකාවට පිවිස 1939 දී ඇයගේ ප්‍රථම රංගනය ඉදිරිපත් කළාය. ඉන් පසු බද්දේගම රතනසාර විද්‍යාලයේ ගුරුවරුන් හා ළමුන් සමග එක්‌ වී ජී.පී.පී. ආටිගල මහතාගේ "රෝහිණී" දෘශ්‍ය කාව්‍ය නාටකයේ රඟ පෑවා ය. ටී. ඩී. තාඹුගල සහ ඒ. එන්. ද සිල්වා මහත්වරුන් "මායාවතී" නාටකයේ රඟපෑවේ එවකට ප්‍රවීන ගායකයකු වූ සූරියසං කර් මොල්ලිගොඩ ද සමඟිනි. ලුමන් රාජපක්‍ෂගේ "රාජ ද්‍රෝහියා" නාට්‍යයේ ස්‌ටැන්ලි මල්ලවආරච්චි සමග රඟපෑවා ය. මොරටුවේ රඟදැක්‌ වු "රංගල අප්පු" නාට්‍යයෙ හි මුල සිටම අග දක්‌වා විකට චරිතයක්‌ එඩී ජයමාන්නයන් සමගින් මුල්වරට රඟ පෑවා ය. සිස්‌ ඩයස්‌ගේ "ජානකී හරණයේ" ජානකී ලෙස ද, "කීකරු බිරිඳ" නාට්‍යයේ කීකරු බිරිඳ ලෙසද රඟ දැක්වීය. විශාඛා විදුහල් නාට්‍යක වූ "සිරිසඟබෝ" හි රාජ දේවිය වූවා ය.

සිනමාගමනය[සංස්කරණය]

ඇය මෙරට ප්‍රදර්ශනය කෙරුණු ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රංජනීගේ චරිතය රඟපෑවා ය. මුලින් ම ප්‍රේක්ෂකයන්ගේ ගර්භාවට ලක්වන චරිත කඩවුණු පොරොන්දුව වැනි චිත්‍රපටවල රඟපෑ නමුත් පසුව ප්‍රේක්ෂක අනුකම්පාව දිනාගත හැකි දෛවයෝගය වැනි චරිත රඟපෑවා ය.

කඩවුණු පොරොන්දුව නාට්‍යය සතර දිසාවේ 800 වාරයක්‌ වේදිකාගත වී ඉමහත් ජනාදරයට පත් වූ නාට්‍යයකි. මේ අතරතුර කාලයේ දී ඉන්දියාවෙන් පැමිණි එස්‌. එම්. නායගම් මහතා කඩවුණු පොරොන්දුව නාට්‍යය නරඹා තිරයට නැඟීමට අදහස්‌ කොට බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න මහතා සමග කතිකා කර, ගිවිසුම් අත්සන් කොට 1946 දී ඉන්දියාවට ගොස්‌ චිත්‍රපටයට රූ ගත කිරීය. ඇය ඒ පිළිබඳව සඳහන් කළේ ඇගේ ජීවිතයේ ලැබූ අභිමානවත් අත්දැකීමක් ලෙස ය. "කොළොම්බස් අමෙරිකාව සොයා ගත්තා සේ" ඇය ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටයට දායක වූ බවය. එහි ප්‍රධාන චරිතය වූ රංජනීගේ චරිතය රුක්‌මණී දේවි රඟපෑවා ය. 1947 ජනවාරි 21 වෙනි දින රාජ්‍ය අනුග්‍රහය සහිතව මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සිනමා රසික රසිකාවියන් බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයෙන් කොළඹ කිංස්ලි සිනමාහලේදී කඩවුණ පොරොන්දුව ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලැබීය. එහිදී ඩේසි ඩැනියල් හෙවක් රුක්මණී දේවිය ප්‍රථම සිංහල චිත්‍රපට නිළිය ලෙස කිරුළු පැළඳී ඓතිහාසික දිනය ද විය. ඉන් පසුව ද නිර්මාණය වූ නාට්‍යවල හා චිත්‍රපටල ප්‍රධාන නිළි චරිතයට ඇය දායක වූවාය. ග්‍රැමෆෝන් මෙන්ම නූර්ති ගී ද ගැයූ රුක්මණී දේවි ප්‍රතිභාපූර්ණ කලාකාරිණියක්, වේදිකා හා චිත්‍රපට නිළියක් වශයෙන් සක්‍රීයව හිමි කලා ක්ෂේත්‍රයේ පසුතලය ස්ථාපිත කරනු ලැබූයේ එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමඟ ගැයූ ‘සිරි බුද්ධගයා විහාරේ’ ගීතයෙනි. ඇය නිළියක ලෙස කපටි ආරක්ෂකයා (මල්ලිකා), වැරදුණු කුරුමානම (ස්වර්ණා), පෙරළන ඉරණම (සුවිනීතා), හදිසි විනිශ්චය (කාන්ති), සැඟවුණු පිළිතුර (කුසුමලතා), උමතු විශ්වාසය (දිවිත්ව චරිත මව සහ දුව), කැලෑහඳ (මාලිනී), අයිරාංගනී (අයිරාංගනී), මත්භේදය (කුසුමා), පෙරකදෝරූ බෑණා (මාලිනී), දොස්තර (චන්ද්‍රා) ලෙසත් රඟමින් ඇය අලුත උපන් සිනමාවට දායකත්වය සැපයුවා ය.

ඇය රඟ පෑ එම චිත්‍රපටයන් හි රංගනයෙන් පමණක් නොව ගීතයෙන්ද එක් වූයේ ය්. "සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා" — කපටි ආරක්‍ෂකයාට ද, "පින්සාර මාගෙ සොහොයුරා" — වැරදුණු කුරුමානමට ද, "ගලා කන්දේනී මතුවෙනා දොළකි ප්‍රීති ජීවිතේ" — පෙරළෙන ඉරණමට ද, "ඕලු මලෙහි සුදෝ සුදෝ" — හදිසි විනිශ්චයට ද, ජයමංගල ගාථාවන් — සැඟවුණු පිළිතුරට ද, "ලේ කිරිදීලා" — උමතු විශ්වාසයට ද — පළමු වරට මොහිදින් බෙග් සමග ද, "සුදට සුදේ සිරිය දිලේ" නව කතාවක්‌ පළමු වරට තිරගත කළ ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ — කැලෑහඳට ද, "අන්න සුදෝ අර පාට වලා" — අයිරාංගනීට ද, "රාණියේ එන්නකෝ නැගී" මතභේදයට ද, "පෙම්මල් මාලා නෙළා ගොතාලා" — පෙරකදෝරු බෑණාට ද, "මුහුදේ පතුලේ කිමිදී" — දොස්‌තරට ද ගායනා කලා ය.

ප්‍රවේශමෙන් යන්නකො සුදා මගේ චිත්‍රපටය තිරයට නැඟෙද්දී රම්බොඩ මාර්ගයේ රුක්‌මණී දේවිය හර්බට්‌ එම්. සෙනෙවිරත්න සමගින් මෝටර් රථයක නැඟී ගමන් කරන දර්ශනය රූගත කරන අවස්‌ථාවේදී රිය පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමේදී ගස්‌ දෙබලක රැඳී දෙදෙනාගේ ම ජීවිත බේරුණි.

"සිරියලතා" ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ චිත්‍රපටයට නැගි දෙවන නව කථාවයි. රුක්‌මණී සිරියලතා නමින් ද්විත්ව චරිතයක්‌ නිරූපණය කළා ය. ඩබ්. ඒ. සිල්වා සූරීන්ගේ තෙවැනි වරට ද තිරගත කළ ඓතිහාසික නවකතාව වූ දෛවයෝගය හි ශීලා කුමරිය ලෙසත් රඟපෑවා ය. ඩොමී ජයවර්ධන සමගින් එක්‌ වී මුල් වරට රඟපෑවේ "සැමියා බිරිඳගේ දෙවියාය" චිත්‍රපටයේ ය. "සුවදෙන සිත සැනසුම් අම මිහිරකි රස ලොව පෙම්" ගීතය ගයමින් "ලාදලු" චිත්‍රපටයේ ස්‌ටැන්ලි පෙරේරා සමග අසුපිට නැඟ රංගනයක යෙදුණේ ඩබ්. ඩී. අමර දේවයන් සමගින් යුග ගීතයක්‌ ගයමිනි.

56 වරක්‌ තිරයේ පෙම්වතිය වී පෙම් ජවනිකා රඟ පාමින්, ඉන්පසුව වැඩිහිටි චරිතවලට මුල් තැන දෙමින් "අබුද්දස්‌ස කාලෙ" ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරීස්‌ මහතාගේ "අහසින් පොළොවට වැනි චිත්‍රපටවල මවු චරිතයට කොටු වූවාය. "සක්‌විති සුවය" චිත්‍රපටයේ අවසන් වරට රඟමින් තිස්‌ එක්‌ වසරක්‌ තුළ අනූවකට වැඩි සිනමා පටවලට රංගනයෙන් දායක වූවාය.

ඇය හට නිළියක වීමේ ආශාව එකල ඇගේ සිතෙහි සිහිනෙන් වත් වීමට අදහසක් නොතිබුණු බව ද ගී ගැයීමට නම් හය හතර දැනගත් දා සිටම ආශාවක් පැවති බවද ඇය කීවා ය.

කෙසේ හෝ ඇය ලංකාදීප පුවත්පතින් සංවිධානය කරනු ලැබූ දීපශිඛා සම්මානයෙන් පිදුම් ලැබුවා ය. ජාත්‍යන්තර චිත්‍රපට සඟරාවක් වන ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් විදේශීය සඟරාවේ මුල් පිටුවේ ඇගේ ඡායාරූපයක් පළ කිරීමෙන් සිනමා හා ගායන ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ඨ සේවය අගයමින් උපහාර දැක් වීය.

ෆිල්ම් ෆෙයාර් පුවත්පත රුක්මණීගේ රුවින්
වසර චිත්‍රපට චරිතය
1947 කඩවුණු පොරොන්දුව රංජනී
1948 කපටි ආරක්ෂකයා මල්ලිකා
1948 වැරදුනු කුරුමානම ස්වර්ණා
1949 පෙරළෙන ඉරනම සුවිනීතා
1950 හදීසි විනිශ්චය කාන්ති
1951 සැඟවුණු පිළිතුර කුසුමලතා
1952 උමතු විශ්වාසය මව සහ දුව
1953 කැලෑ හඳ මාලිනී
1954 අයිරාංගනී අයිරාංගනී
1955 මතභේදය කුසුමා
1955 පෙරකොදෝරු බෑණා මාලිනී
1956 දොස්තර චන්ද්‍රා
1959 දෛවයෝගය ශීලා දස්කොන්, පෙමිලා බිසව
1960 නළඟන ප්‍රේමා
1960 කවට අන්දරේ
1962 දස්කොන්
1963 මංගලිකා
1964 සැමියා බිරිඳගේ දෙවියාය චන්ද්‍රා
1964 හෙට ප්‍රමාද වැඩී
1965 සතුටු කඳුළු
1965 ළා දළු
1966 සම්පත
1967 පිපෙන කුමුදු
1967 හතර කේන්දරේ
1967 මඟුල් පෝරුව
1967 රෑන ගිරවු
1968 අබුද්දස කාලේ
1969 පාරා වළලු
1969 රෝමියෝ ජුලියට් කතාවක්
1970 ගීතා
1970 නිම් වළල්ල
1971 සීයෙ නෝට්ටුව
1971 සමනල කුමරියෝ සමඟ අපි කවදත් සූරයෝ
1972 වීදුරු ගෙවල්
1972 හතර වටේ
1972 සහනය
1973 සුහද පැතුම
1973 හොඳට හොඳයි
1974 දිනුම් කණුව
1974 ළසඳා
1974 සාගරිකා
1974 ජීවන ගංඟා
1975 සාධනා
1975 ඔබයි මමයි
1975 ජීවන ගීතය
1975 හිත හොඳ මිනිසෙක්
1975 සූකිරි කෙල්ල
1975 කොහොම කියන්නද
1975 ලස්සන දවසක්
1976 කවුද රජා
1976 වාසනා
1976 උන්නත් දාහයි මලත් දාහයි
1976 ආදරෙයි මං ආදරෙයි
1976 සරදියෙල්ගෙ පුතා
1976 නයනා
1976 හරිම බඩු තුනක්
1976 නෑදෑයෝ
1976 හරියට හරි
1976 රන් තිලකා
1976 ඔන්න මාමේ කෙල්ල පැනපි
1977 ශ්‍රී මදාරා
1977 හිතුවොත් හිතුවාමයි
1977 ටොම් පචයා
1977 සුදු පරවියෝ
1977 චින් චින් නෝනා
1977 දෙවියනි ඔබ කොහෙද
1977 සජා
1978 මධුවන්ති
1978 කුණ්ඩලකේෂී
1978 අප්සරා
1978 අහසින් පොළොවට
1979 රාං කුරුල්ලෝ
1979 නුවන් රේණූ
1979 පොඩි මල්ලි
1979 අමල් බිසෝ
1979 සමන්මලී
1979 ජීවන කඳුළු
1979 මොණරතැන්න
1979 අනූශා
1980 සිල්වා
1980 සිංහබාහු
1980 ටක් ටික් ටුක්
1981 සතර දිගන්තය
1981 බබා කෙටූ හැටි
1981 සැනසුම
1981 ජීවන්ති
1982 සුදු අයියා
1982 සිතාරා
1982 සක්විති සුවය
1982 තන ගිරවී
1983 හිතත් හොඳයි වැඩත් හොඳයි
1983 සඳමාලී
1984 ඇර සොයිසා

වේදිකා නාට්‍යයන්[සංස්කරණය]

  • වෝල්ටර් අබේසිංහයන්ගේ - රාමායණය
  • චාල්ස් ඩයස්ගේ - මායාවතී
  • ඩික් ඩයස්ගේ - ජානකීහරණය
  • පී.පී. ආටිගලගේ- රෝහිණී
  • ලූමන් රාජපක්ෂගේ - රාජද්‍රෝහියා
  • සී.ඒ. ෆොන්සේකාගේ - කීකරු බිරිඳ
  • විලාෆ්‍රඩ් පීරිස්ගේ-රංගල අප්පු
  • ධම්ම ජාගොඩගේ - වෙස්මුහුණු
  • ඔතෙලෝ
  • වෙස්සන්තර
  • ඔන්න බබෝ ඇතින්නියා
  • සිවම්මා ධනපාල

මිනර්වා නාට්‍ය[සංස්කරණය]

  • අවතාරය - ගායනයෙන්
  • කඩවුණු පොරොන්දුව - රංජනී
  • පෙරැළෙන ඉරණම - සුවිනීතා
  • උමතු විශ්වාසය - සුසිලා
  • කපටි ආරක්ෂකයා - මල්ලිකා
  • හදිසි විනිශ්චය - කාන්ති
  • වැරදුණු කුරුමාණම - ස්වර්ණා

වියෝව[සංස්කරණය]

ගීත කෝකිලාවිය ලෙස ජනාදරය දිනූ රුක්‌මණී දේවී කලා දිවියට වසර 40ක් සපිරෙන මොහොත මුල් කොට ගෙන ස්‌වර්ණ ගී මහා ප්‍රසංගය ලෙස ගීත උළෙලක්‌ කොළඹ කාන්තා විද්‍යාලේදී 1978 ඔක්තෝබර් මස 29 දින පැවැත්වීමට කටයුතු කරමින් සිටින අතරතුර දී මාතර උයන්වත්ත හි ගී සාදය නිමාකොට මීගමුව සිය නිවස බලා එමින් සිටියදී ජා-ඇල, තුඩැල්ලේදී ඇය ගමන් ගත් රිය තෙල් බවුසරයක ගැටීමෙන් එදින අලුයම නිසල පරිසරයම නසාගෙන දේවිය නිහඬ වූවා ය. එම ස්ථානය ආසන්නනයේ ම ඇයගේ ජීවී සිරුරට බොහෝ සෙයින් සමාන වූ ශ්වේත වර්ණාලේපිත පිළිරුවක් මීගමුවකොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාපිත කර තිබේ. [1]

සම්මාන[සංස්කරණය]

  • 1976 - හොඳම පසුබිම් ගායිකාව - දොයි දොයිය පුතා - අහසින් පොළොවට - ජනාධිපති සම්මාන
  • 1955 - හොඳම නිළිය - කැලෑ හඳ - දීපශිකා - ලංකාදීප පුවත්පත
  • 1955 - හොඳම නිළිය් - දිනමිණ පුවත්පත මගින් පාඨක ඡන්ද 16221 මත.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රුක්මණී_දේවී&oldid=407056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි