බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
B.A.W. Jayamanne.jpg
උපතබර්නාඩ් ඇලෝසියස් වන්නිආරච්චි ජයමාන්න
මැයි 2, 1908(1908-05-02)
මරණයFebruary 16, 1965(1965-02-16) (වයස 56)
ජාතිකත්වයබ්‍රිතාන්‍යය ලංකාව
වෘත්තියනාට්‍ය රචකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකයෙකු හා නළුවෙකු
සක්‍රීය වසර1947-1965
ප්‍රසිද්ධ වන්නේකඩවුණු පොරොන්දුව
නෑයන්එඩී ජයමාන්න (මල්ලි) රුක්මණී දේවී (නෑනා)

බර්නාඩ් ඇලෝසියස් වන්නිආරච්චි ජයමාන්න හෙවත් කවුරුවත් වඩා හොඳින් හඳුනන බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න (උපත 20 මැයි 1908, විපත 16 පෙබරවාරි 1965) ලාංකික නාට්‍ය රචකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකයෙකු හා නළුවෙකු ද වේ. ඔහු 1947 දී ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තනමින් එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක විය.

ලෝක සිනමාවට නව සිංහල සිනමාවක් බිහි කර දීමෙ හි විෂයෙහිලා ගෞරවයක් පුද කළ යුතු තැනැත්තකු ලෙස ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව හි තිර කතා රචකයකු හා අධ්‍යක්ෂවරයකු වශයෙන් සිංහල සිනමාවට වෘත්තීයමය ලෙස උපරිම දායකත්වයක් දැක් වූයේ ය. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයට පාදක වූයේ ද එනමින්ම යුතු ඔහුගේ ම මිනර්වා කණ්ඩායමේ වේදිකා නාට්‍යයකි. එම වේදිකා නාට්‍යයේ ද චිත්‍රපටයේ ද ප්‍රධාන නළුවා වූයේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන් ය.

පෙර අවධිය[සංස්කරණය]

බර්නාඩ් ඇලෝෂියස් වන්නිආරච්චි ජයමාන්න 1908 දී මීගමුව පෙරියමුල්ලේ දී මාරි ස්ටෙලා විද්‍යාලයේ ගුරුවරයෙකු වූ ඩබ්ලිව්. දොන් තෝමස් හට දාව උපත ලබා ඇත. මූලික අධ්‍යාපනය මීගමු මාරිස්ටෙලා විදුහලෙන් ලබා ගැනී ය. මොහු නාට්‍යකරණයට උනන්දුවක් හා සම්බන්ධ වී ඇත්තේ පාසල් වියේ සිට ම බව පෙනී යයි. ඔහු විසින් පාසල් වේදිකාවෙ හි රඟ දැක් වූ DOCTOR FAUSTUS ඔහු රඟපෑ නාට්‍ය අතරින් එකකි. එය ඉංග්‍රීසි ජාතික ක්‍රිස්ටෝපර් මාර්ලෝගේ නාට්‍ය රචනයක් වූයේ ය. 1930 දී ඔවුන් මිනෙර්වා රඟහල් කණ්ඩායම ආරම්භ කරන ලදි සහ සමහර නාට්‍යයන් නිරූපණයෙන්, වේදිකාගත කිරීමෙන් කීර්තියක් ලබා ගැනීය. සාමාන්‍යයෙන් මිනෙර්වා විශේෂාංග නාට්‍යයන් හි ප්‍රධාන චරිතයන් රුක්මණී දේවී, එඩී සහ ජෙමිණි කාන්තා රඟන ලදි.[1]

වේදිකාව[සංස්කරණය]

"හත්වැනි පැය" හෙවත් "භයානක පොරොන්දුව" බී. ඒ. ඩබ්ලිව්. රචනා කොට නිෂ්පාදනය කළ මුල්ම නාට්‍යය වූයේ ය. බෙන්ජමින් ප්‍රනාන්දු හා ලක්ෂ්මී බායි ආදී නළුවන් ද එහි රඟපෑවේ ය. ඔවුන් වෘත්තීය නළු නිළියන් වූ නිසාවෙන් යම් යම් ප්‍රශ්න පැන නැඟී ඇතිවීම නිසා ඊළඟ නාට්‍යය තැනීමේදී, බී. ඒ. ඩබ්ලිව්. උනන්දුවක් දැක් වූයේ ආධුනික පිරිසක් ද ඊට සම්බන්ධ කර ගැනීමට ය. ඒ අනුව මිනර්වා ආධුනික නාට්‍ය සමාජය (MINERVA AMATEUR DRAMATIC CLUB) නමින් නවතම නාට්‍ය සංවිධානයක් පිහිටුවා ගත්තේ ය. එකල බොහෝ අය මෙයට MAD CLUB (මෝඩ සමාජය) යනුවෙන් නින්දාවට අපකීර්තියට ලක් කෙරුණ ද පසුව එය මිනර්වා යන නමින් පමණක් පවත්වාගෙන ගියේය.

මිනර්වා යනු රෝම දේව කතාවලට අනුව ප්‍රඥාවට අධිපති දෙවියා ය. මෙම නාමය ඉන්දීය චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරයට ද සම්බන්ධ කරගෙන තිබුණේ ය.

  • මිනර්වා කණ්ඩායම යටතේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන් නිෂ්පාදනය කළ නාට්‍යයන් වලට නම් තැබුවේ ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර අනු පිළිවෙළට අනුව ය.
  1. A – APPARITION (අවතාරය)
  2. B – BROKEN PROMISE (කඩවුණු පොරොන්දුව)
  3. C – CHANGING FATE (පෙරළෙන ඉරණම)
  4. D – DEFEETED AIM (වැරදුණු කුරුමානම)
  5. E – EVASIVE DINIAL (සැඟවුණු පිළිතුර)
  6. F – FANTATIC FAITH (උමතු විශ්වාසය)
  7. G – GRISLY GUARDIAN (කපටි ආරක්ෂකයා)
  8. H – HASTY DECSION (හදිසි විනිශ්චය)
  9. I – IRANGANIE (අයිරාංගනී)

ඊට අමතරව නඩු තීන්දුව නමින් නාට්‍යයක් ද මිනර්වා යටතේ නිෂ්පාදනය කිරීය. අවතාරය නාට්‍යය විශේෂ වැදගත්කමක් දරන්නේ එය රුක්මණී දේවි සම්බන්ධ වූ පළමු මිනර්වා නාට්‍යය වීම ය. ඒ අතිරේක ගායිකාවක් ලෙස ය. එකල නාට්‍යවලට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීම පිණිස මෙවැනි අතිරේක ගී හා නැටුම් යොදා ගැනී ය. නාට්‍යයක එක් ජවනිකාවක් නිම වී අනිත් ජවනිකාව ඇරඹෙන අතරවාරයේ මේ ගී — නැටුම් ඉදිරිපත් වූයේය.

බී.ඒ.ඩබ්ලිව් ගේ නාට්‍ය මෙරට රසිකයන් අතර ජනාදරප්‍රාප්ත වූයේ ය. කඩවුණු පෙරොන්දුව වැනි නාට්‍යයක දර්ශන වාර 800 ක් පමණ රඟදැක් වීමෙන්ම ඒ බව සාක්ෂාත් වෙයි. මෙරට සිටි ප්‍රකට ව්‍යපාරිකයකු වූ එස්. එම්. නායගම් 1945 දී පමණ සිංහල චිත්‍රපටයක් නිපදවීමේ අදිටනින් "චිත්‍රකලා මුවිටෝන්" නම් වූ චිත්‍රපට සමාගමක් සහ ඉන්දියාවේ මධුරෙයි නගරයේ "චිත්‍රකලා" නමින් චිත්‍රාගාරයක් ද පිහිටුවා ගනු ලැබීය. නායගම් විසින් කඩවුණු පොරොන්දුව නාට්‍යය චිත්‍රපට ගත කිරීමේ යෝජනාව බී. ඒ. ඩබ්ලිව්. වෙත යොමුකරන ලද අවස්ථාවේ බී. ඒ. ඩබ්ලිව්. මුලදී ඊට කැමැත්තක් පළ කර නැත. ඊට හේතුව වූයේ ඔහුම වරක් කියා ඇති පරිදි නාට්‍යවලින් ලොකු ආදායමක් ලැබෙද්දී එය නැවැත්වීමට අකැමැති වීමයි. ඔහු පසුව ඊට එකඟ වූයේ චිත්‍රපට නිපදවීමෙන් ඊට වැඩි මුදලක් මෙන්ම වැඩි ජනප්‍රියත්වයක් ද ලැබිය හැකි යැයි පෙන්වා දීමෙන් අනතුරුවය.

බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට වන්නේ නාට්‍ය කලාව "රස්තියාදුකාරයන්ගේ" කලාවක් ලෙස පරිභවයට පත්ව තිබූ යුගයක දීය. එකල නාට්‍ය නැරඹූවන් අතරේ කලිසම්කාරයකුට සිටියේ බී. ඒ. ඩබ්ලිව්. පමණක් බව ද සඳහන්ව ඇත. තමාගේ නාට්‍යයක් වේදිකා ගත කර ගැනීම සඳහා මොහු එකල මීගමුව ප්‍රදේශයේ සිටි ප්‍රසිද්ධ නාට්‍ය රචකයකු වූ සී. බෙන්ජමින් ප්‍රනාන්දු හමුවීමට ගිය අවස්ථාවේ දී ඔහු විසින් බී. ඒ. ඩබ්ලිව්ට කියා ඇත්තේ නාට්‍ය කලාව පස්සේ නොඑලවන ලෙස ය. එකල වැදගත් යැයි සම්මත පුද්ගලයකුට වේදිකාව කොහෙත්ම සුදුසු තැනක් නොවේ මැයි කියා බෙන්ජමින් මාස්ටර් තමාට කියූ බව බී.ඒ.ඩබ්ලිව්. ප්‍රකාශ කර සිටියේ ය. "වේදිකාව රස්තියාදුකාරයන් වැනි මිනිසුන්ට අයිතිවීමට ඉඩ හැර දීම නාට්‍ය කලාවට කරන නිගාවක් පමණක් නොව ඉන් අපේ නාට්‍ය කලාව සම්පූර්ණයෙන්ම නැති වී යන්නට ද ඉඩ තිබෙනවා."[2] බී.ඒ.ඩබ්ලිව් වේදිකා නාට්‍යය අධීක්ෂණයට අවතීර්ණ වනූයේ එවැනි නාට්‍ය කලාව පසුගාමී වාතාවරණයකදී ය.

සිනමාව[සංස්කරණය]

බී. ඒ. ඩබ්ලිව්. හා නායගම් අතර අත්සන් තැබූ ගිවිසුමේ කොන්දේසි වූයේ කඩවුණු පොරොන්දුව නාට්‍යයේ රඟපෑ මිනර්වා ශිල්පීන් පමණක් චිත්‍රපටයට ඇතුළත් කර ගත යුතු බව සහ කුමන හේතුවකට හෝ කතාව වෙනස් නොකළ යුතු බවත් ය. චිත්‍රපටය සම්පූර්ණයෙන් නිෂ්පාදනය කර නිම වන තුරු මාසකට රුපියල් 25,000ක් බැගින් ද, චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් හිමිවන ලාබයෙන් 2%ක් බැගින් ද බී.ඒ.ඩබ්ලිව්. හට ගෙවිය යුතු බවට ද එම ගිවිසුමේ සඳහන් වූ බව ද පැවසේ ය.

1946 ජූනි 26 වැනිදා කඩවුණු පොරොන්දුව නිෂ්පාදන කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ගිය හ. මෙම ගමනේදී තිර හා වේදිකා සැරසිලි ද රැගෙන ගොස් ඇත. ඊට හේතුව වූයේ නාට්‍යය රඟ දක්වන අවස්ථාවේ ම එය චිත්‍රපටයට නඟන්නේ ය යන වැරදි වැටහීමක් බී.ඒ.ඩබ්ලිව්. ට සහ ඔහුගේ නාට්‍ය කණ්ඩායමට තිබීම ය. ඔහු ඒ බව "මුලදී මා හිතාගෙන සිටියේ ඡායාරූප ශිල්පියකු යම් කිසි දෙයක් ඡායාරූපයට නඟන්නාක් මෙන් අප නාට්‍යය රඟ දක්වා ගෙන යන විට ඔවුන් එය චිත්‍රපටයට නඟාගෙන යනවා ඇත කියායි. පසුව නියම තත්ත්වය දැනගත් කල මා තුළ ඇති වූයේ ලැජ්ජාවකි" ලෙස වරෙක පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කොට ඇත.[3] මෙයින් හෙළිවනූයේ ඔවුන් සිනමා කර්මාන්තය ගැන කිසිදු අවබෝධයකින් නොසිටි බවයි.

1947 දී ඔහුගේ කඩවුණු පොරොන්දුව තිරගත වන සමය වන විට ලෝක සිනමාව තුළ ශ්‍රේෂ්ඨ චිත්‍රපට රැසක් බිහිව තිබිණි. බැට්ල්ෂිප් පොටෙම්කිං, ද පැෂන් ඔෆ් ජෝන් ඔෆ් ආර්ක්, සිටි ලයිට්ස්, ද කැබිනට් ඔෆ් ඩොක්ටර් කැලිගරි, සිටිසන් කේන් එබඳු චිත්‍රපට අතර වෙයි.

කඩවුණු පොරොන්දුව සිට පෙරළෙන ඉරණම දක්වා චිත්‍රපටවල කතා රචනය ඔහුගේ වුව ද එම චිත්‍රපටයන් අධ්‍යක්ෂණය කරනු ලැබූයේ ඉන්දීය ජාතිකයන් ය. ඉන්දියාවේ දී චිත්‍රපට පටිගත කිරීම පිළිබඳ බොහෝ දේ තමන් හට වටහා ගැනීමට ඉඩ නොතැබූ බව ඔහු පුවත්පත් සාකච්ඡාවක දී කියා ඇත.[4]

බී.ඒ. ඩබ්ලිව්ගේ හොඳම චිත්‍රපටය ලෙස එකල හි විචාරකයන් පිළිගැනුම කැලෑහඳ චිත්‍රපට ය. මහගම සේකරයන් විසින් රචිත "කැලෑහඳ" නවකතාව, එය නවකතාවක් ආශ්‍රයෙන් සිනමාවට නැඟුණු ප්‍රථම ලාංකික චිත්‍රපටය වීම ද ඓතිහාසික සුවිශේෂත්වයකි. 1956 පැවති "ලංකාදීප චිත්‍රපට කල්‍යාණි තරගය" හෙවත් "දීපශිඛා" හි හොඳම නළුවා වූයේ ද බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් ය. ඒ කැලෑහඳ හි අන්දෝ සීයා ලෙස ඉදිරිපත් කළ රංගනය උදෙසා ය. 1953 වසරේ පැවති "දිනමිණ රඟමඬල චිත්‍රපට තරගය" හි ප්‍රියතම චිත්‍රපටය ලෙස තේරුණේ ද කැලෑහඳ ය.

කඩවුණු පොරොන්දුව පිළිබඳව පසු කලෙක අදහස් දැක් වූ අවස්ථාවක ප්‍රකට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ කියා සිටියේ එය එතෙක් භාෂා 12 ක් කතා කරමින් තිබූ ඉන්දීය සිනමාවට තවත් භාෂාවක් එක්වීමක් බවය. එලෙස ඔහු කියා පෑවේ කඩවුණු පොරොන්දුව හි මුසුව තිබූ දෙමළ මුහුණුවරයි. බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න කැලෑහඳ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමෙන් පසුව ඔහු විසින් දෙමළ චිත්‍රපට අනුකරණයට ගොදුරු වීමට පෙළඹුණි. ඔහුගේ වනලිය (මිනල්කොඩි), මංගලිකා (කල්ලතුර් කන්නම්මා), මඟුල් පෝරුව (මනප්පන්දල්) දෙමළ චිත්‍රපපටවල අවඥාසහගත අනුකරණයන් වූයේ ය.

බී.ඒ.ඩබ්ලිව්. චිත්‍රපට අධ්‍යක්ෂණයේ නියැලුනේ එකල පැවති ප්‍රේක්ෂක රුචිකත්වයට අනුකූලව පමණි. පැය 2 1/2 කට සීමා වූ මතභේදය චිත්‍රපටය නැරඹූ එක් ප්‍රේක්ෂකයකු විසින් කළ ප්‍රකාශයක් බී. ඒ. ඩබ්ලිව්. අවධාරණය කර ඇත්තේ මෙසේය. "මොන කෙහෙම්මලක් ද? අඩියක් ගහලා ගිහින් ඉඳගත්තම වෙරි හිදෙන්න ඉස්සෙල්ලා පික්චර් එක ඉවරයිනේ." චිත්‍රපට නිපදවන්නේ මෙන්න මොවුන්ට ද කියා ද බී. ඒ. ඩබ්ලිව්. තවදුරටත් කියා ඇත.[5]

අධ්‍යක්ෂණයන්[සංස්කරණය]

  • 1950 - හදිසි විනිශ්චය
  • 1951 - සැඟවුණු පිළිතුර
  • 1952 - උමතු විශ්වාසය
  • 1953 - කැලෑ සඳ
  • 1954 - අයිරාංගනී
  • 1955 - මතභේදය
  • 1956 - දෛව විපාකය
  • 1958 - වනලිය
  • 1959 - හදිසි විවාහය
  • 1960 - කවට අන්දරේ
  • 1961 - ජීවිත් පූජාව
  • 1963 - මංගලිකා
  • 1967 - මඟුල් පෝරුව

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ජොසී බබා, මානප්පුවා සහ මීගමුව මිනෙර්වා කණ්ඩායම". ලක්දිව. Archived from the original on ඔක්තෝම්බර් 9, 2008. සම්ප්‍රවේශය 18 අප්‍රේල් 2009. 
  2. "සිළුමිණ 1954 මැයි 19". සිළුමිණ. 1954 මැයි 19.  Check date values in: |date= (help)
  3. දිනමිණ. 1953 ජනවාරි 28.  Check date values in: |access-date=, |date= (help); Missing or empty |title= (help);
  4. "සරසවිය සිනමා වාර්ෂිකය 1964". සරසවිය.  Check date values in: |access-date= (help);
  5. "දිනමිණ 1961 ජූනි 19". දිණමිණ. 1961 ජුනි 19.  Check date values in: |date= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බී.ඒ.ඩබ්ලිව්._ජයමාන්න&oldid=382868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි