Jump to content

බෙල්ලන්විල විහාරය

විකිපීඩියා වෙතින්
බෙල්ලන්විල රාජ මහා විහාරය
ගොනුව:Bellanwila Temple.jpg
බෙල්ලන්විල රාජ මහා විහාරය, ශ්‍රී ලංකාව
විස්තර
සංස්ථාපනයදෙවැනි පෑතිස් රජ සමය
පිහිටුවීම
භික්‍ෂූන් වහන්සේ(ලා)විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි , විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමි , අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°50′44″N 79°53′24″E / 6.84556°N 79.89000°E / 6.84556; 79.89000ඛණ්ඩාංක: 6°50′44″N 79°53′24″E / 6.84556°N 79.89000°E / 6.84556; 79.89000
වෙබ් අඩවියwww.bellanwila.org
ද්වාරය:බුද්ධාගම

බෙල්ලන්විල රාජ මහා විහාරය පිහිටා ඇත්තේ කොළඹ නගර සීමාවෙන් කිලෝමීටර 3 ක් පමණ දුරින් ඇති බෙල්ලන්විල ග්‍රාමයෙහිය. මෙහි ඇති විශේෂත්වය නම් මෙම පූජනීය ස්ථාන පරිශ්‍රයෙහි වැඩ වසන්නාවූ පුරාණ බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේය. බෙල්ලන්විල ග්‍රාමය පිහිටා ඇත්තේ බොරලැස්ගමුව නගරය සමීපයෙහිය. සිංහල බෝධිවංශයෙහි දැක්වෙන පරිදි, මෙම බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේ ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන හා ක්‍රිස්තු පූර්ව තෙවන සියව‍ස යුගයෙහි අනුරාධපුරයෙහි රෝපණය කරන ලද්දාවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමකි.

බෙල්ලන්විල කියූ පමණින් ගම මතක් නොවේ. මෙනෙහි වන්නේ විහාරස්ථානය ය, චිත්‍රයක් සේ සිත දිගට ඇදී එන්නේ බෙල්ලන්විල මහ පෙරහර අසිරියය. ඒ තරමට බෙල්ලන්විල බොදු දන හද බැඳි උප සංස්කෘතියක් උත්පාදනය කර තිබෙයි. සත්තකින් මෙය ලාංකේය බෞද්ධ සංස්කෘතික උරුමයේ නව ලකුණක් නිර්මාණය කිරීමට සමත් වී සිටියි. බෙල්ලන්විල බෝධීන් වහන්සේ සතුව මහා බලයත් ඇතැයි බොහෝ බැතිමතුන් අතර පවතින්නේ දැඩි විශ්වාසයකි. විශේෂයෙන් ගර්භනී මව්වරු ආපදා උපද්‍රව සහිත බැතිමත්හු සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ලංකාවේ සතරදිග් භාගයෙන්ම බෝධි පූජා පැවැත්වීමට මෙම ස්ථානයට පැමිණෙති. ඒ තරමට බෙල්ලන්විල මහ බෝ සමිඳුන් වටා ගොනු වී ඇති පුරාවෘත්තය බලවත් ය. වත්මන් විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නා හිමිපාණන්ගේ අනුග්‍රහයෙන් විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමිපාණන්ගේ නායකත්වයෙන් මෙම රජ මහා විහාරයෙන් කෙරෙන ශාසනික සමාජ මෙහෙවර රටේ අභිවෘද්ධියටද ආශිර්වාදයක් වී තිබෙයි.

බෙල්ලන්විල විහාරයේ ඉතිහාසය

[සංස්කරණය]

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පෞරාණිකත්වය දේවානම් පියතිස්ස රාජ්‍ය කාලය දක්වා දිවයයි. දෙවනපෑතිස් රජු සමයේ අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලද, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවෙන් පැන නැඟුණු දෙතිස් මහා බෝධීන් වහන්සේ අතුරෙන් එක් බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල පුද බිමෙහි රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ. මේ අනුව බෙල්ලන්විල රෝපණය කර ඇත්තේ අනුරාධපුර මහ මෙවුනා උයනෙහි රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල රුහ බෝධීන්ගෙන් එකකි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙහි පැවැති ශ්‍රී විභූතිය, පෘතුගීසීන් විසින් විනාශ කිරීම නිසා බෙල්ලන්විල ද වනගත පෙදෙසක් බවට පත්වී ඇති බවත්, සියවස් දෙකක පමණ කාලයක් බෙල්ලන්විල වනගතව ජනශූන්‍යව පැවැති බවත් ඉතිහාසයෙහි සඳහන් වේ. විදේශිකයින්ගේ ආක්‍රමණයන්ට ගොදුරුව අඳුරු කාලපරිච්ඡේදයක පැවැති බෙල්ලන්විල 1850 වර්ෂයේ දී නැවත සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ තේන්ගොඩගෙදර හිමිපාණන්ටය. ලන්දේසීන් අප රට පාලනය කරන අවදියේ ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත්තේ බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානය අසළින් වැටී ඇති කටු ඇළයි. අදත් දක්නට ඇති මෙම කටු ඇළ හරහා කළුතර සිට කොළඹ දක්වා ඔරු පාරු උපයෝගි කරගනිමින් ගමන් ගත් බව සඳහන් වේ.

මේ කාලයේ තේන්ගොඩගෙදර හිමිපාණන් වහන්සේ තොටියෙකුත් සමඟ පැපිලියාන දෙසට ඔරුවකින් ගමන් කරද්දී වනපෙතින් හේවිසි හඬක් ඇසී විශ්මයට පත්ව ඔරුවෙන් බැස හේවිසි නාදය ඔස්සේ වනය පීරමින් ඉදිරියට ගමන් කරද්දී බෙල්ලන්විල ඓතිහාසික බෝ සමිඳුන් දර්ශනය වී ඇති අතර ගැමියන් කැඳවා වනය හෙළි පෙහෙළි කර එම ඓතිහාසික බෝ සමිඳු මතුකරගෙන ඇත. බෙල්ලන්විල බෝ සමිඳුන්ට අධිගෘහිත බලසම්පන්න දෙවියකු සිටින බවත්, බෝ සමිඳු වනගතව සිටින සමයේ දෙවි දේවතාවුන් මෙම බෝධීන් වහන්සේට පුද පූජා පවත්වා ඇති බවත්, තේන්ගොඩගෙදර හිමිපාණන්ට ඇසුණු බෙර හඬ දෙවියන් විසින් පවත්වන ලද්දක් බවත් ජනප්‍රවාදයේ කියැවේ. බෙල්ලන්විල රාජමහා වෙහෙරට නැගෙනහිර දෙසින් පිහිටි වෙල්යාය මැද බෙල්ලන් සිටි විලක් පැවැති හෙයින් මෙම විල අයත් ග්‍රාමයට බෙල්ලන්විල යන නාමය පටබැඳි බව පැරැන්නන්ගේ මතයයි. බෙලිවනය, කුඹුරුයාය නිසා ‘බෙල්ලන්විල’ නාමය ඇතිවී යයි ද තවත් මතයකි.

තේන්ගොඩගෙදර හිමිපාණන් බෙල්ලන්විල පුදබිම සොයාගැනීමෙන් පසු එහි විහාරාධිපති ධූරය දැරූ අතර, ඉන්පසු විහාරාධිපති ධූරයට පත්වූවෝ නම්, උඩුගම්පල ශ්‍රී රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, උඩුගම්පල ශ්‍රී ධම්මක්ඛන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අභිධම්මිකාචාර්ය වෑබඩ ශ්‍රී සංඝරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අස්ගිරියේ දේවරක්‍ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ වර්තමාන විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

විහාරස්ථානයේ ස්වර්ණමය යුගය

[සංස්කරණය]

වර්ෂ 1946 දී බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් ස්ථානයේ විහාරාධීපති ධූරයට පත් වීමෙන් පසුව නූතන ස්වර්ණමය යුගය ඇරැඹුණු බව සඳහන් කළ හැකියි. උන්වහන්සේ බෙල්ලන්විල ග්‍රාමයේ විහාරස්ථානයන් අතර සබඳතාවය ගොඩනඟමින් විහාරස්ථානයේ දියුණුවට සුවිශේෂ මෙහෙවරක් සිදුකරන්නට සමත් වූහ. පොළොන්නරු ජේතවනාරාමයේ අනුරුවක් අනුව ගොඩනැඟුන විහාර මන්දිරයත්, දෙමහල් ධර්ම ශාලාව, දේව මන්දිරය, සංඝාවාසය, සීමා මාලකය, ධාතු මන්දිරය, විහාරස්ථානයට ඇතුල්වන විශාල මකර තොරණ ආදිය ඉදි කරමින් බෙල්ලන්විල රාජ මහා විහාරය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළේ සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. ත්‍රිවිධ රත්නයේත්, දෙවියන්ගේත්, ආශිර්වාදය ප්‍රදේශවාසීන්ට ලබාදීමේ අරමුණෙන් උන්වහන්සේ 1950 වසරේ දී ආරම්භ කරන ලද ඇසළ පෙරහර උඩරට පහතරට නැටුම් සහ අලි ඇතුන්ගෙන් සමන්විතව අති උත්කර්ෂවත් අන්දමින් සෑම වසරකම පැවැත්වෙයි. අද දක්වා අඛණ්ඩව පැවත එන බෙල්ලන්විල මෙම ඇසළ පෙරහර මංගල්‍යය අප දේශය පුරා ප්‍රචලිත වූ පෙරහර සංස්කෘතියේ ප්‍රබල සලකුණත් සටහන් කර තැබීමට සමත්ව ඇත.

බෙල්ලන්විල ඇසළ පෙරහැර

[සංස්කරණය]

63 වසරකට වැඩි අත්දැකීම් සහ මහනුවර ඇසළ පෙරහරේ ලක්‍ෂණ ගුරුකොට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය අගනුවර තදාසන්න පෙරහර අතුරෙන් අග්‍ර ස්ථානයක් හිමිකරගන්නේ ඉන් පිළිබිඹු වන සාම්ප්‍රදායික සංස්කෘතික අංග නිසා බව සඳහන් කළ හැකි ය. සෑම වසරකම බෙල්ලන්විල ඇසළ උත්සවය ආරම්භ වනුයේ ධර්ම දේශනා මාලාවකිනි. දින තුනක බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනාවෙන් අනතුරුව සති පිරිත් දේශනය ආරම්භ වන අතර දොරකඩ අස්න දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර සති පිරිත අවසන් වන දිනයේ පැවැත්වේ. ඉන් එළඹෙන දින තුන මල් පෙරහර පවත්වනු ලබයි. ඉන් අනතුරුව පිළිවෙළින් පාවාඩ පෙරහරත්, රන්සිවිලි පෙරහරත්, රන්දෝලි මහා පෙරහරත්, පවත්වා පෞරාණික චාරිත්‍රානුකූලව දිය කැපීමේ මංගල්‍යය එළැඹෙන දින දවල් බොරලැස්ගමුව තොටුපලේ දී සිදුකර, බොරලැස්ගමුව පරාර්ථසාධන සමිතියේ දායකත්වයෙන් දෙවියන්ගේ දානය පිරිනමා දිය කැපීමේ පෙරහර විහාරස්ථානයට ගෙවදීමෙන් පසු විහාරස්ථානයේ දී ද දෙවියන්ගේ දානය පිරිනමා ඇසළ පූණ්‍යෙීත්සවයේ වැඩ කටයුතු නිමාවට පත් කෙරේ. එදා පටන් නන්දෙසින් විහාරස්ථානයට පැමිණෙන සැදැහැවත්හු බෝ සමිඳුන්ට බෝධි පූජා පැවැත්වීමෙන් සිය අභිමතාර්ථයන් ඉටු කර ගනිති. කිරිකැටි දරුවන් පවා බෙල්ලන්විල බෝ සමිඳු අභියස වැලිමළුවේ තබා සෙත් පතන්නේ මෙම බෝ සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.

බෙල්ලන්විල විහාරයේ ගොඩනැගිලි

[සංස්කරණය]

විහාර මන්දිරය

[සංස්කරණය]

1950 වසරේ දී ඉදිකෙරෙන විහාර මන්දිරය, පොළොන්නරු ජේතවන ප්‍රතිමා ගෘහයේ ආකෘතිය අනුව ඉදි කරන ලද්දකි. මෙය පැරැණි හා නූතන යුග මිශ්‍රණයේ අසිරිමත් ඉදිකිරීමකි. පිවිසුම් වාහල්කඩින් ඇතුල් වන විටම ඉදිරියේ ඇති අටළොස්රියන් හිටි පිළිම වහන්සේ දැක ගැනීමට ලැබෙයි. බුදු මැදුරක් තුළ මෙවන් දසුනක් දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. දෙපස ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේද ඉතාමත් සංයමයෙන් මනා අංග ලක්‍ෂණයන් මතු කරලමින් කළ විශිෂ්ට නිර්මාණයන් ලෙස නෙත් පහන් කරවයි. ඉතා දැකුම්කළු මතු බුදුවන මෛත්‍රී බෝසත් ප්‍රතිමාව පිට මාලයේ ඇති බුද්ධ පරිනිර්වානය නිරූපිත ප්‍රතිමා පෙළ බෙල්ලන්විල රජ මහා විහාර වංශ කතාව විචිත්‍රවත් කරනා නිමැවුම්ය. විහාර මැදුරේ මෑතදී ඇඳ ඇති බිතු සිතුවම් පෙළ නූතන බිතුසිතුම් කලාවේ සන්ධිස්ථානයක් මතු කර පෙන්වන සුළුය.

සේවාවන්

[සංස්කරණය]

වර්තමාන විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලයේ නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථානයේ සේවාවන් නොපිරිහෙලා පවත්වාගෙන යාමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් ආගමික සේවාවන්ට අමතරව ප්‍රජා සේවාවන් රැසක් ද ක්‍රියාත්මක කරනු ලබයි. සිසුන් 2500 අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසලත්, පාසල් හැර ගිය සිසුන්ට වෘත්තිය පුහුණුවත් ලබාදී, රැකියාවන් සඳහා යොමු කරන ප්‍රජා සංවර්ධන පදනමත්, වැඩිහිටියන් සඳහා වූ දිවා සුරැකුම් මධ්‍යස්ථානයත්, මසකට වරක් පැවැත්වෙන වෛද්‍ය සායනය, ලේ දන්දීමේ කඳවුර, තෙමසකට වරක් පැවැත්වෙන විශේෂඥ වෛද්‍ය සායනය, නොමිලයේ ඇස් පරීක්‍ෂා කර ප්‍රතිකාර සහ ඇස් කණ්ණාඩි ලබාදීමත් හෘද සැත්කම් ආදිය සඳහා වෛද්‍යාධාර ලබාදීමත්, නිවාස නොමැති අයට නිවාස සාදා දීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ හැකිය.

විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ මඟපෙන්වීම යටතේ 2012 වසරේ සිට බෙල්ලන්විල ඇසළ පූණ්‍යෙීත්සවයේ සියලු කටයුතු සංවිධානය කරන්නේ විහාරස්ථ ඇසළ පෙරහර කොමිටිය මඟිනි. ඒ සඳහා විහාරස්ථ දායක සභාව, තරුණ බෞද්ධ සංවිධානය, තරුණ සංසදය, ශ්‍රී බෝධිරාජ කුලඟන සමිතිය ඇතුළු විහාරස්ථානයට සම්බන්ධ සියලු සංවිධානවල සහ ප්‍රදේශවාසීන්ගේ පූර්ණ අනුග්‍රහය ලැබෙන අතර පෙරහර කටයුතු මැනවින් සංවිධානය කිරීම සඳහා රාජ්‍ය ආයතන හා ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ගෙන් ලැබෙන සහයෝගය ද අති මහත් ය.

විහාරස්ථානයේ දේවාල

[සංස්කරණය]

ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි, ශ්‍රී සමන් යන හතර මහා දේවාල ඇතුළු දේවාල දහයක් විහාරය තුල පවතියි. එමෙන්ම බෙල්ලන්විල ඇසළ මහා පෙරහැරෙහි සතර මහා දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි. විහාරස්ථානයේ පිහිටි සියලු දේවාල පහතින් දැක්වේ.

  1. විෂ්ණු දේවාලය
  2. කතරගම දේවාලය
  3. සමන් දේවාලය
  4. පත්තිනි දේවාලය
  5. නාථ දේවාලය
  6. ගණපති දේවාලය
  7. දැඩිමුණ්ඩ දේවාලය
  8. ගම්භාර දේවාලය
"https://si.wikipedia.org/w/index.php?title=බෙල්ලන්විල_විහාරය&oldid=494737" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි