බෙකෙටාටන්

විකිපීඩියා වෙතින්
(බැකෙටාටන් වෙතින් යළි-යොමු කරන ලදි)
බෙකෙටාටන් රූපාක්ෂර වලින්
it
n
ra
G29
t
B1

බැකෙටාටන්
Bꜣk.t Jtn
ආටන්ගේ සේවිකාව
ටියේ රැජිනගේ ප්‍රතිමා ශිල්පියා වන යුටි බෙකෙටාටන්ගේ ප්‍රතිමාවක් නිම කරයි‍. හුයාගේ අමර්ණ සොහොන්ගැබෙනි.

බෙකෙටාටන් (ක්‍රි.පූ. 14වන සියවස) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ කුමරියකි. බෙකෙටාටන්, පාරාවෝ IIIවන අමෙන්හොටෙප් සහ මහා රාජකීය භාර්යා ටියේ බාලම දියණිය ලෙස සැලකේ. ඒ අනුව ඇය පාරාවෝ අක්නාටන්ගේ සොයුරියකි.[1] ඇගේ නාමයේ අරුත "ආටන්ගේ සේවිකාව" යන්නයි.

චරිතාපදානය[සංස්කරණය]

බෙකෙටාටන් පිළිබඳ ප්‍රධාන තොරතුරු හමුවන්නේ ටියේ රැජිනගේ ආරක්ෂකයා වූ හුයාගේ අමර්ණ සොහොන්ගැබෙනි.[2]

වෙනස් භෝජන සංග්‍රහ දෙකක බෙකෙටාටන්ගේ රුව ටියේ රැජින සමග දක්වා ඇත. ටියේ රැජින පාරාවෝ අක්නාටන් සහ නෙෆර්ටිටි රැජිනට මුහුණලා අසුන්ගෙන සිටියි. එක් දර්ශනයක බෙකෙටාටන් සිය මව වන ටියේට යාබදව කුඩා අසුනක සිටිනු නිරූපිත ය. අනෙක් භෝජන සංග්‍රහ දර්ශනයේ බෙකෙටාටන් ටියේ අසල සිටගෙන සිටියි. හුයාගේ සොහොන්ගැබේ නැගෙනහිර බිත්තියේ අක්නාටන් සිය මෑණියන් වූ ටියේව දේවස්ථානයක් වෙත කැඳවාගෙන යනු නිරූපිත ය. ඔවුන් දේවස්ථානයට ඇතුළු වන ස්ථානයේ බෙකෙටාටන් ඔවුනට ආධාර වෙයි.[2]

උතුරු බිත්තියේ උඩලිපතෙහි රාජකීය පවුල් දෙකක් නිරූපිත ය. දකුණු පසින් IIIවන අමෙන්හොටෙප්, ටියේ රැජිනට මුහුණලා අසුන්ගෙන සිටින අතර, ඇය සමග බෙකෙටාටන් කුමරිය ද වේ. ටියේට පසුපසින් සේවිකාවන් තිදෙනකු ද වේ.[2]

අක්නාටන් සිය මෑණියන් වූ ටියේ සමග; බෙකෙටාටන් ටියේට පසුපසින් සිටියි.
IIIවන අමෙන්හොටෙප්, ටියේ සහ බෙකෙටාටන්.

වෙනත් යෝජිත අනන්‍යතාවන්[සංස්කරණය]

බෙකෙටාටන්ගේ එකම හඳුනාගත් පදවි නාමය රජුගේ සිරුරේ ඔහුගේම දියණිය යන්නයි. ටියේ රැජිනගේ මරණින් පසු ඇය පිළිබඳ ඓතිහාසික වාර්තා හමුනොවන බැවින්, ඇය තරුණ වියේදී මිය යන්නට ඇතැයි සිතිය හැක. ඇතැම් විද්වතුන් යෝජනා කරන්නේ IIIවන අමෙන්හොටෙප්ගේ බාලම දියණිය වන නෙබෙටාහ් යනු බෙකෙටාටන් බවයි.[3] කෙසේනමුත්, මේ දෙදෙනා එකම තැනැත්තිය බව සනාථ කෙරෙන කිසිදු සාක්ෂියක් හමුවී නැත.

තවත් මතයක් අනුව කියැවෙන්නේ බෙකෙටාටන් යනු සැබැවින්ම අක්නාටන් සහ ඔහුගේ උපබිසවක වූ කියාගේ දියණියක් බවයි. ඇතැම්විට කියා සමග නිරූපිත -ආටන් යන කොටසින් අවසන් වන නාමයක් සහිත කුමරිය ඇය වන්නට ඇත. නමුත් මෙහි සම්පූර්ණ නාමයම දැකගත නොහැක. කියාගේ මරණයෙන් පසු ඇගේ රුව වෙනස්කොට එතැන මෙරිටාටන් සහ අන්ඛෙසෙන්පාටන් ඔවුන්ගේ දියණිවරුන් වන මෙරිටාටන් ටැෂෙරිට් සහ අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට් (ඇතැම්විට මෙම නම් දෙක කියාගේ හිස්තැන පිරවීමට යෙදූ ප්‍රබන්ධ නාමයන් ද්විත්වයක් විය හැක) ගේ නාමය යොදා ඇත.[4] මෙම තර්කය ප්‍රධාන වශයෙන්ම ගොඩනැගී ඇත්තේ අමර්ණහි කිසිදු දර්ශනයක බෙකෙටාටන් රජුගේ සොයුරිය ලෙස නම් කොට නොමැති නිසායි. නමුත් ඇයව රජුගේ සිරුරේ දියණිය ලෙස පමණක් නම් කොට ඇත. එසේම ඇය නෙෆර්ටිටිගේ දියණියන් සමග නිරූපණය කර නොතිබීමෙන්, ඇය කියා වැනි අක්නාටන්ගේ උපබිසවකගේ දියණියක් බවට අදහස් පල විය. ඇගේ මවගේ මරණින් පසු, බෙකෙටාටන්ව ඇගේ මිත්තණිය වූ ටියේ විසින් හදා වඩාගන්නට ඇත.[5] බෙකෙටාටන් පිළිබඳ සඳහන් වර්ෂය 13ට අයත් වයින් සටහනක් අනුව යෝජනා වී ඇත්තේ ඇය කියාගේ මරණින් පසු ඇගේ වතු යාය උරුම කරගත් බවයි.[6]

ප්‍රබන්ධ තුළ[සංස්කරණය]

Amarnan Kings කතාමාලාව[සංස්කරණය]

බෙකෙටාටන්ගේ චරිතය මැක්ස් ඔවර්ටන් විසින් රචිත, රයිටර්ස් එක්ස්චේන්ජ් ඊ-පබ්ලිෂිං සමාගම විසින් ප්‍රකාශික ඓතිහාසික නවකථා පහේ ප්‍රධාන චරිතයක් ලෙස දක්වා ඇත. මෙම නවකථා මගින් මුල්කාලීන ළමාවියේ සිට මහා රැම්සෙස්ගේ රාජ්‍ය සමය දක්වා කාලය තුළ බෙකෙටාටන්ගේ දිවිය නිරූපිත ය. මෙම ග්‍රන්ථ පහ මගින් අක්නාටන් (ස්කැරබ්-අක්නාටන්), ස්මෙන්ඛ්කරේ (ස්කැරබ්-ස්මෙන්ඛ්කරේ), ටූටන්ඛාමන් (ස්කැරබ්-ටූටන්ඛා‍මන්), ආයි (ස්කැරබ්-ආයි), සහ ‍හොරෙම්හෙබ් (ස්කැරබ්-හොරෙම්හෙබ්) යන රජවරුන්ගේ රාජ්‍ය සමයයන් නිරූපිත ය. මෙම කතාමාලාවේ සයවන ග්‍රන්ථය මගින් 1960 දශකයේ ඊජිප්තුවේ බෙකෙටාටන්ගේ සොහොන්ගැබ සොයාගැනීම නිරූපණය වේ.

The Egyptian[සංස්කරණය]

බෙකෙටාටන් චරිතය අප්‍රධාන චරිතයක් ලෙසින් මිකා වෝල්ටරිගේ The Egyptian නවකථාවේ දක්වා ඇත. මෙහි ඇගේ නාමය බැකෙටේටන් (මෙහි චිත්‍රපටයේ ඇගේ නාමය බැකෙතාමූන් ය) ය. නවකථාවේ, සාමාන්‍ය රුධිරය සහිත ඊජිප්තු යුධ අධිපතියකු වන හොරෙම්හෙබ් ඇය (රාජකීය රුධිරය ඇති) සමග විවාහ වේ. කෙසේනමුත්, සාමාන්‍ය වැසියකු ස්පර්ශ කිරීම පවා ඇය ප්‍රතික්ෂේප කරයි. ඔහු නැවත ඇයව ස්පර්ශ කළහොත් ඇය තමන් බැස්ට් දෙවඟනගේ පුනරුත්පත්තියක් බවට තීබ්ස් ජනයා මුළා කරන බව පවසන්නී ය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්; ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔ‍ෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්; තේම්ස් ඇන්ඩ් හඩ්සන් (2004), පි.154
  2. 2.0 2.1 2.2 එන්. ඩි ජී. ඩේවීස්; ද රොක් ටූම්බ්ස් ඔෆ් එල්-අමර්ණ, කොටස් III සහ IV, 1905 (නැවත මුද්‍රණය 2004), ඊජිප්තු ‍ගවේෂණ සමාජය, ISBN 0-85698-160-5
  3. ජොයිස් ටිල්ඩෙස්ලි: නෙෆර්ටිටි – ඊජිප්ට්'ස් සන් ක්වීන්
  4. ආචාර්ය. මාක් ගැබෝල්ඩි: ද එන්ඩ් ඔෆ් ද අමර්ණ පීරියඩ්
  5. ක්‍රේමර්; එනිග්මැටික් කියා, තුළින්: අ ඩෙල්ටා-මෑන් ඉන් යෙබු; සංස්කරණය ඒ. කේ. එයිමා, සී. ජේ. බෙනට්, යුනිවර්සල්-පබ්ලිෂර්ස්, 2003
  6. ජැකොබස් වැන් ඩිජ්ක්; අ නෝබල් ලේඩි ෆ්‍රොම් මිටැනි ඇන්ඩ් අදර් රෝයල් ෆේවරිට්ස් ෆ්‍රොම් ද එයිටීන්ත් ඩයිනාස්ටි, ෆ්‍රොම් එසේස් ඔන් ඒණ්ෂන්ට් ඊජිප්ට් ඉන් ඔනර් ඔෆ් හර්මන් ටේ වෙල්ඩේ, බ්‍රිල්, 1997
"https://si.wikipedia.org/w/index.php?title=බෙකෙටාටන්&oldid=389460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි