පුසුල්පිටිය රජ මහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පුසුල්පිටිය රජ මහා විහාරය
Pusulpitiya Raja Maha Vihara 1.JPG
විහාරයේ වූ ස්ථූපය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම

පුසුල්පිටිය රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ නවංගම ග්‍රාම නිළදාරී වසමේ පුසුල්පිටිය ග්‍රාමයේ පිහිටි එෙතිහාසික වටිනාකමකින් යුත් පුරාණ විහාරස්ථානයක් වේ. එළාර රජ අනුරාධපුරය පාලනය කල සමයේ දුටුගැමුණු කුමාරයා සිය තරුණ අවධිය ගෙවූ ස්ථානයක් ලෙස මෙම ප්‍රදේශය ජනප්‍රවාදයේ විස්තර වේ.[1]

ඉතිහාසය[සංස්කරණය]

පුසුල්පිටිය විහාරයේ ආරම්භය නිශ්චිතව පැහැදිලි නොවූවත් දුටුගැමුණු කුමරු කොත්මලේට පැමිණීමට පෙර දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිවූ විහාරයක් බැව් විශ්වාස කෙරේ.

ජනප්‍රවාද[සංස්කරණය]

ජනප්‍රවාදයන්ට අනූව දඹදිව සිට පැමිණි එක්තරා බ්‍රාහ්මණයෙක්, නිධන් වදුලක තිබූ විස්තරයකට අනුව කොත්මලේ ඔය අසල නයින්කෙළිනා තොටේ වූ ගල්පර්වතයක් තුළ තබන ලද රත්‍රන් පුහුලක් පිළිබඳව විස්තර දැන එය ලබා ගැනීමට රිසිව එම ප්‍රදේශයෙන්ම විවාහයක් කොට ගනිමින් පුතෙකු වදන ලදී. නිසි කාලය එළැඹෙත්ම සිය පුතු බිලි දී රන් පුහුල ලබා ගත් බ්‍රාහ්මණයා පුහුලත් රුගෙන පළා යන අවස්ථාවේ සිය විඩාව නිවාගනු වස් එක්තරා පිටියකට පැමිණ එහි තිබූ ගල්තලාවක් මත පුහුල තබා දිය බීම පිණිස අසල දියකඩක් වෙත ගොස් තිබේ. දිය බිවු බ්‍රාහ්මණයා නැවත පැමිණ බලන අවස්ථාවේ ගල්තලාව පැළී රන් පුහුල ඒ තුළ ගිලා බැස ඇති බව දැක අධික ශෝකයට හා උමතුවටත් පත්වූ බැව් පැවසේ. එදා එසේ පිටියේ පුහුල තැබූ ස්ථානය පසුකාලීනව පුසුල්පිටිය වී තිබන අතර එම රන් පුහුල තැබූ ගල්තලාවේ පුසුල්පිටිය විහාරය ගොඩනංවා තිබෙන බව ජනප්‍රවාදයේ සඳහන් වේ.[2]

රාජ අනුග්‍රහය[සංස්කරණය]

මහල් දෙකකින් සමන්විත වූ පැරණි විහාර ගෙයි සිතුවම්

ගම්පොළ රාජධානි සමයේ සිව්වැනි බුවනෙකබාහු රජු විසින් හා මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම විහාරස්ථානයට ගම්වර පූජා කල බව සඳහන් වේ.

දළඳා වහන්සේ ආරක්ෂා කිරීම[සංස්කරණය]

ශ්‍රී දළදා වහන්සේ පුසුල්පිටිය රජ මහා විහාරය තුල තුන් වතාවක් රහසිගත ලෙස වඩා හිඳුවා තිබූ බව ඉතිහාස ග්‍රන්ථයන්හී සඳහන් වේ.

  • පොළොන්නරුව කාලිංග මාඝ රජ සමය (1215-1236).
  • තුන්වන විජයබාහු රජ සමය (1232-1236)
  • 1815 වසරේදී බ්‍රිතාන්‍යයින් උඩරට යටත් කර ගැනීම හේතුවෙන් උද්ගත වූ අර්බුදකාරී තත්වයන් හමුවේ දළඳා වහන්සේ ආරක්ෂා කරනු වස් 1815 අප්‍රියෙල් 6 වන දින සිට 22 වන දින දක්වා මෙම විහාරයේ වූ සපු ගස් බෙනයක සඟවා තිබේ. වර්ථමානයේ මෙම සපු ගස, දළදා සපුව ලෙස හැඳින්වේ.

විහාරය[සංස්කරණය]

නව විහාර ගෙයි සිතුවම්

දුටුගැමුණු කුමරු සිහිවීම පිණිස මෙම විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකර කොට තිබෙන අතර එම කුඩා චෛත්‍යය මැදිවන පරිදි විහාර ගෙයක් ගොඩනංවා තිබේ. විහාරය බුදු මැදුරු ද්විත්වයකින් සමන්විත වන අතර, පැරණි බුදු මැදුර මහල් දෙකකින් යුක්ත වේ. එහි හතරවන බුවනෙකබාහු රජතුමා විසින් කරන ලද බැම්මක් හා රාජාධිරාජසිංහ රජුගේ ගමන් මාලිගාවක තිබූ උළුවස්සක් දැක ගත හැකිවේ.

එසේම දෙතිස් මහා ඵලරුහ බෝධීන් වහන්සේලාගේන් එක් නමක් මෙම පුසුල්පිටිය විහාර භූමියේ රෝපණය කොට තිබේ. බෝධිය අසල වූ ගලෙහි ශිලා ලිපියක් හා විහාර මළුවට තරමක් උසින් සිරිපතුල සිතුවම් කළ ගල් පුවරුවක් දැකගත හැකිවේ.

ශ්‍රී ලංකාවේ අවසන් වරට වැඩ විසූ මලියදේව රහතන් වහන්සේ විසින් ඉන්දියාවෙන් රැගෙන එනු ලැබූ දඹ රන් පිළිම හතරෙන් එක් පිළිම වහන්සේ නමක් මෙම පුසුල්පිටිය රජ මහා විහාරයේ තැන්පත් කොට ඇති බව පැවසෙයි. අනෙකුත් පිළිම වහන්සේලා වට්ටාරාමය, දිද්දෙනිය හා මාදන්වෙල තැම්පත් කොට තිබෙන බැව් විශ්වාස කෙරේ.

මකර තොරණ[සංස්කරණය]

ගම්‍පොළ යුගයේ රජ කළ  වන බුවනෙකබාහු රජතුමා විසින් නිර්මාණය කොට කොත්ම‍ලේ පුසුල්පිටිය රජමහා විහාරයේ තැන්පත් කොට තිබූ මැණික් ඔබ්බවා ඇත්දළවලින් කැටයම් යොදා සාදා තිබූ මිල කළ නොහැකි පෞරාණික මකර තොරණක් තිබිනි. එය ලංකාවේ වැඩ  විසූ අවසන් මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ ඉන්දියාවේ සිට මෙරටට වැඩමවා පුසුල්පිටිය රජමහා විහාරයේ තැන්පත් කර තිබූ දඹරන් බුදු පිළිමය වඩා  හිඳුවීම සඳහා රජතුමා මෙම මකර තොරණ නිර්මාණය කරවූ බව සඳහන්ය.

එය අඩි 3 1/2 ක් පමණ උසය.

මූලාශ්‍ර[සංස්කරණය]