ආක්ෂක සැකිල්ල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ආක්ෂක සැකිල්ල
Axial skeleton diagram.svg
ආක්ෂක සැකිල්ලේ සටහනක්
තොරතුරු
ලතින්Skeleton axiale
හඳුන්වනයන්
ග්‍රේ ගේp.80
TAA02.0.00.009
FMA71221
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ආක්ෂක සැකිල්ල යනු පෘෂ්ඨවංශියකුගේ හිසේ සහ ක‍‍ඳෙහි අස්ථිවලින් සැදුම්ලත් සැකිල්ලේ කොටසයි. සානව සැකිල‍්ලේ නම් එය අස්ථි 80කින් සමන්විත වන අතර, එය ප්‍රධාන කොටස් හයකින් සංවිධානය වී ඇත; එනම් හිස්කබලේ අස්ථි, මැද කනේ කර්ණ අස්ථිකා, කණ්ඨිකාව, පර්ශු කූඩුව, උරෝස්ථිය සහ කශේරුවයි. ආක්ෂක සැකිල්ල සහ ගාත්‍රා සැකිල්ල එක්ව සම්පූර්ණ සැකිල්ල නිර්මාණය වේ. කශේරුකා, ත්‍රිකාස්ථිය, අනුත්‍රිකාස්ථිය, පර්ශු සහ උරෝස්ථිය ඇතුළු අස්ථි ලෙස ද ආක්ෂක සැකිල්ල හැඳින්විය හැක.[1]

ව්‍යූහය[සංස්කරණය]

ආක්ෂක සැකිල්ලේ අර්ධයක් සැලකූ විට එය දිශා දෙකෙන්ම පෙනෙන අයුරු. ශ්‍රෝණිය හා සම්බ්නධව ඇති අයුරු මින් පෙන්වා තිබුණ ද, හිස්කබල පෙන්වා නැත. 1909 Sobotta's atlas of human anatomy ග්‍රන්ථයෙනි.

පැතලි අස්ථි මගින් මොළය සහ සෙසු ජීවී අවයව වටවී ඇත. මෙම ලිපිය මගින් ප්‍රධාන වශයෙන්ම මානය ආක්ෂක සැකිල්ල කෙරෙහි අවධානය යොමුකොට ඇත; කෙසේනමුත්, ආක්ෂක සැකිල්ලේ පරිණාමීය පෙළපත පිළිබඳ වටහා ගැනීම වැදගත් වේ. මානව ආක්ෂක සැකිල්ල වෙනස් අස්ථි 80කින් නිර්මාණය වී ඇත. සිරුරේ මධ්‍ය හරය වන මෙමගින් ශ්‍රෝණිය සිරුරට සම්බන්ධ කෙරෙන අතර, ආක්ෂක සැකිල්ල සන්ධානය වීම ද සිදු වේ. සැකිල්ල වියපත් වන විට හිස්කබල හැර සෙසු අස්ථි දුර්වල වේ. මොළය හානිවලින් ආරක්ෂා කරගැනීමට හිස්කබල ඝනකම්ව පවතියි.

පර්ශු කූඩුව[සංස්කරණය]

පර්ශු කූඩුව පර්ශු යුගල 12ක් සහ උරෝස්ථිය ඇතුළත්ව සමස්ත වෙන්වෙන් අස්ථි 25කින් සෑදී ඇත. පර්ශු කූඩුව හෘදය සහ පෙනහැලි වැනි ජීවී අවයව සඳහා ආරක්ෂකයක් ලෙස ක්‍රියා කරයි. මෙම පර්ශු අඩසඳ හැඩැති අතර, එක් අන්තයක් පැතලි අයුරින් ද, අනෙක් අන්තය රවුම් අයුරින් ද නිර්මාණය වී ඇත. රවුම් අන්ත පසුපස උරස් කශේරුකාවල සන්ධි සමග සම්බන්ධ වන අතර, පැතලි අන්ත පූර්ව දෙසින් උරෝස්ථිය වෙත පැමිණේ.[2]

ඉහළ පර්ශු යුගල සත පර්ශුක කාටිලේජ ඔස්සේ උරෝස්ථිය සමග සම්බන්ධ වේ. මෙම පර්ශු “සත්‍ය පර්ශු” නම් වේ. 8වන සිට 10වන දක්වා පර්ශුවල පර්ශුක-නොවන කාටිලේජ ඇති අතර, ඒවා ඉහළින් ඇති පර්ශුවලට සම්බන්ධ වේ. අවසන් පර්ශු යුගල ද්විත්වය “පාවෙන පර්ශු” හෙවත් “මුක්තාග්‍ර පර්ශු” ලෙස හැඳින්වෙන්නේ ඒවා උරොස්ථියට හෝ සෙසු පර්ශුවලට සම්බන්ධ නොවී “නිදහසේ” පවතින බැවිනි. පළමු සිට සත්වන දක්වා පර්ශුවල දිග පහළට යත්ම වැඩිවන අතර, එතැන් සිට 12වන පර්ශු යුගල දක්වා පර්ශුවල දිග ක්‍රමිකව අඩුවේ. මින් පළමු පර්ශුව වඩාත් කෙටිම, පළල්ම, පැතලිම සහ වඩාත්ම වක් වූ පර්ශුවයි.[3]

හිස්කබල[සංස්කරණය]

මිනිස් හිස්කබල කපාලය සහ වක්ත්‍ර අස්ථිවලින් සමන්විත ය. කපාලය මගින් එහිවූ කපාල ගෝලාර්ධය නම් වූ විශාල අවකාශය තුළ මොළය ආරක්ෂා කරයි. කපාලය තැනී ඇත්තේ ඵලක-හැඩැති අස්ථි අටකින් වන අතර, ඒවා එකිනෙක සම්බන්ධ වී ඇත්තේ සීවනී නම් සන්ධිවලිනි. මීට අමතරව වක්ත්‍ර අස්ථි 14ක් ඇති අතර, එමගින් හිස්කබලේ පහළ පූර්ව පෙදෙස තැනේ. මෙම අස්ථි 22 එක්ව කපාල ගෝලාර්ධයට අමතරව වෙනත් කුඩා අවකාශ ද සෑදේ. උදාහරණ වශයෙන් අක්ෂි කූප, ඇතුළු කන සඳහා අවකාශය, නාසය සහ මුඛය සඳහා වන අවකාශය දැක්විය හැක. වඩාත් වැදගත් වක්ත්‍ර අස්ථි අතරට අධෝහනුව, උර්ධවහනුක අස්ථිය, කම්මුල් හෙවත් යුග අස්ථිය සහ නාසාස්ථිය ඇතුළත් ය.[4]

මිනිසුන් උපත ලබන විට ඵලක‍ වෙන්වී ඇති අතර ඒවා පසුව හා වීම සිදුවේ. මෙසේ ඵලක වෙන්ව පිහිටා ඇත්තේ ප්‍රසූතියේ දී හිස්කබල ශ්‍රෝණිය සහ උපත් මාර්ගය තුළින් පැමිණීමේ දී සුනම්‍යභාවයක් ලබා දීම පිණිසයි. වර්ධනයේ දී, අපරිණත අස්ථිවල වෙන් වෙන් ඵලක අට හාවී හිස්කබල නම් තනි ව්‍යූහට සෑදේ. හිස්කබලේ සෙසු කොටස්වලින් වෙන්ව පවතින එකම අස්ථිය අධෝහනුවයි.[5]

කශේරුව[සංස්කරණය]

උපතේ දී, මිනිසුන් බොහෝදෙනකුට වෙන්වූ කශේරුකා 33ක් පිහිටයි. කෙසේනමුත්, සාමාන්‍ය වර්ධනයේ දී, ඇතැම් කශේරුකා හාවීම සිදුවේ. එවිට බොහෝ අවස්ථාවල දී කශේරුවේ සමස්ත අස්ථි ප්‍රමාණය 24ක් බවට පත්වේ. හාවීම සිදුවූව ද, නොවූව ද, කශේරුක කඳන් 32-34ක් පමණ පිහිටන අතර, අවසාන කශේරුකා වන ත්‍රිකාස්ථිය සහ අනුත්‍රිකාස්ථිය හාවූ කුඩා අස්ථි කිහිපයකින් සෑදී ඇත. කශේරුකා ගණනය කෙරෙනේනේ මෙසේ ය: වෙන්වෙන් කශේරුකා 24ක් සමග බද්ධ කශේරුකා 5කින් සැදි ත්‍රිකාස්ථිය සහ බද්ධ කශේරුකා 3-5කින් සැදි අනුත්‍රිකාස්ථිය ලෙස එය සැලකේ. ත්‍රිකාස්ථිය සහ අනුත්‍රිකාස්ථිය යනු වෙනවෙනම තනි කශේරුකාවක් ලෙස සැලකූ විට සම්පූර්ණ කශේරුකා සංඛ්‍යාව 26කි. බද්ධවූ කශේරුකා වෙනවෙනම ගණනය කළ හොත් කශේරුකා සංඛ්‍යාව 32 සහ 34 අතර අගයයක් ලෙස ලැබේ.

කශේරුව ප්‍රධාන කොටස් 5කින් සමන්විත ය. ඉන් වඩාත්ම මුදුනින් ඇති (කපාලික) පෙදෙස ග්‍රෛවී කශේරුකාවලිනුත් (7), අනතුරුව පිළිවෙලින් උරස් (12), කටී (5), ත්‍රිකාස්ථි (4–5) සහ අනුත්‍රිකාස්ථි කශේරුකා (3–4) ද පිහිටයි.

ග්‍රෛවී කශේරුකා කශේරුව සහ කපාලය අතර සන්ධිය තනයි. ත්‍රිකාස්ථි සහ අනුත්‍රිකාස්ථි කශේරුකා සංයුක්තවී ඇති බැවින් ඒකකයක් ලෙස ගත්විට එය බොහෝවිට "ත්‍රිකාස්ථික අස්ථිය" හෝ "අනුත්‍රිකාස්ථික අස්ථිය" ලෙස හඳුන්වයි.

ත්‍රිකාස්ථික අස්ථිය මගින් කශේරුව සහ ශ්‍රෝණි අස්ථි අතර සන්ධි තනයි.

නිරුක්තිය[සංස්කරණය]

"ආක්ෂක" යන වදන "අක්ෂය" යන්නෙන් බිඳී ආවක් වන අතර, ඉන් හැඟවෙන්නේ අස්ථි සිරුරේ මධ්‍ය "අක්ෂය" සමීපව හෝ දිගේ පිහිටා ඇති බවයි.[6]

කෙටි සාරාංශය[සංස්කරණය]

ආක්ෂක සැකිල්ල අස්ථි 80කින් සමන්විත ය.

අමතර පින්තූර[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Folkens, Tim D. White, Michael T. Black, Pieter A.; Pierter, Folkens; Michael, Black (2012). Human osteology (3rd සංස්.). Amsterdam: Elsevier/Academic Press. පි. 11. ISBN 978-0-12-374134-9. 
  2. "Postcranial Skeletal/Ribs" (PDF). Observation and Analysis Method for Human Bones. Retrieved 25 February 2014.
  3. "Human Body Maps/Ribs". Healthtime. Retrieved 25 February 2014.
  4. "Features of the Human Skull". Face and Emotion. Archived from the original on 14 February 2014. Retrieved 25 February 2014. Cite uses deprecated parameter |deadurl= (help)
  5. "Skull". Inner Body. Retrieved 25 February 2014.
  6. "Axial skeleton". AnatomyExpert. Retrieved 15 March 2013.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:HumanBones

"https://si.wikipedia.org/w/index.php?title=ආක්ෂක_සැකිල්ල&oldid=429761" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි