Jump to content

ක්ෂුද්‍ර ජීවීන් සහ රෝග

විකිපීඩියා වෙතින්
ක්ෂය රෝගය සෑදීමට හේතුවන Mycobacterium tuberculosis බැක්ටීරියාවන්ගේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ඡායාරූපයක්
10,000 වාරයක් විශාලනය කල Escherichia coli බැක්ටීරියා ඝනාවාසයක්
10,000 වාරයක් විශාලනය කල Staphylococcus aureus බැක්ටීරියා
A large round blue object with a smaller red object attached to it. Multiple small green spots are speckled over both.
වසා සෛල මත වගා කල HIV-1 හි (කොළ පැහැයෙන්) පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ඡායාරුපයක්.

බොහොමයක් රෝග සෑදීම ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදු කරයි. බැක්ටීරියා, වෛරස, දිලීර සහ නෙමටෝඩාවන් ද ඒ අතර වේ. නිරෝගී සිරුර මත හා තුළ ක්ෂුද්‍ර ජීවීන් විශාල ගණනක් වාසය කරයි. මවුකුස තුළ ජීවත් වන කළලය/භ්රුණය සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර වේ. නමුත් ඉපදීමේදී හා ඉපදීමෙන් පසුව සාමාන්‍ය හා විශේෂිත ක්ෂුද්‍ර ජීවී ගහණ මිනිස් දේහය තුළ ස්ථාපනය වේ. අලුත බිහිවන දරුවාට ප්‍රථමයෙන් ආසාදනය වන්නේ Lactobacilli නම් බැක්ටීරියාවන් වේ. මෙම බැක්ටීරියා මවගේ ප්‍රජනක මාර්ගය තුළ ජීවත් වීම මෙයට හේතුවයි. අලුත බිහි වූ දරුවන්ගේ ආහාර මාර්ගය තුළ මෙම බැක්ටීරියා දැකිය හැක. බිහිවීමෙන් පසුව E. coli ඇතුළු වෙනත් බැක්ටීරියා දේහය මත හෝ තුළ ස්ථාපනය වේ. මෙය ජීවිත කාලය මුළුල්ලේම සිදු වේ. මේ නිසා මිනිසාගේ දේහය මත හා දේහය තුළ සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවි සමුදායක් වශයෙන් අති විශාල විවිධත්වයකින් යුත් ක්ෂුද්‍ර ජීවීන් ජිවත් වේ.

උදා: මිනිස් සිරුරේ දේහ සෛල ගණන 1013 ක් පමණ වේ. මිනිස් සිරුරේ ඇති බැක්ටීරියා සෛල ගණන 1014 වේ. මෙම ජීවීන් සාමාන්‍යයෙන් හානිකර නොවන අතර සහභෝජින් ලෙස ජිවත් වේ.
මොවුන්ගෙන් සමහරක් සම මත ජිවත් වේ. තවත් සමහරක් නාස් මාර්ගය, ග්‍රසනිකාව, ස්වාසනාලයේ ඉදිරි කොටස (ශ්වසන පද්ධතියේ ඉහළ කොටස්), ආන්ත්‍ර මාර්ගය, මෞත්‍ර ලිංගික මාර්ගයේ ශ්ලේෂ්මල පටල මත දේහ අභ්‍යන්තරයේ ජිවත් වේ. මෙම අභ්‍යන්තර පද්ධති සියල්ලම බාහිරයට විවෘතව පවතින නිසා මේවායේ ක්ෂුද්‍ර ජීවීන් ජිවත් වේ.
නමුත් නිරෝගී මිනිස් සිරුරේ ඇතැම් අවයව හා පටක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර වේ. උදා: ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය
ක්ෂුද්‍ර ජීවි රෝග සෑම අතින්ම විවිධාකාර වේ. මෙහිදී දේහයේ ඇති ඕනෑම අවයවයකට බලපෑම් ඇති වන අතර මේ නිසා විවිධ රෝග ලක්ෂණ ගණනාවක් ඇති වේ. මිනිස් සිරුරේ ජිවත් වන මෙම ක්ෂුද්‍ර ජීවීන් වැඩි දෙනෙක් සහභෝජි වුවද අවස්ථාවාදී ව්‍යාධිජකයින් විය හැකිය.
  1. සිරුරේ පටක වලට හානියක් වූ විට
  2. දිගු කාලීන ප්‍රතිජීවක භාවිතය
  3. ප්‍රතිශක්ති මර්ධක ඖෂධ භාවිතය
  4. අධික වෙහෙස
  5. මත්ද්‍රව්‍ය භාවිතය වැනි සිරුරේ සාමාන්‍ය ප්‍රතිරෝධය අඩු වූ අවස්ථා වලදී මෙම ක්ෂුද්‍ර ජීවීන් ආසාදන ඇති කරයි.
උදා: නියුමෝනියාව සාදන බැක්ටීරියාවන් උගුර ආශ්‍රිතව ජිවත් වේ. නමුත් රෝගය ඇති නොකරයි. එහෙත් සාමාන්‍ය ප්‍රතිරෝධය අඩු වූ විට රෝගය ඇති කරයි.


ව්‍යාධිජනකයා

[සංස්කරණය]

ධාරකයා තුළ රෝගයක් හට ගැන්වීමේ හැකියාව ඇති ක්ෂුද්‍ර ජීවියා, ව්‍යාධිජනකයා ලෙස හඳුන්වයි.

ධාරකයා

[සංස්කරණය]

දේහය මත හෝ දේහය තුළ පරපෝෂිත ජීවීන් වාසයට ඉඩ ලබා දෙන ජීවියා ධාරකයා ලෙස හඳුන්වයි.

අවස්ථාවාදී ව්‍යාධිජනකයා

[සංස්කරණය]

සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවී සමුදායේ ජීවත් වන, ධාරකයාගේ ප්‍රතිරෝධය අඩු වූ අවස්තාවක දි ව්‍යධිජනකයින් ලෙස ක්‍රියා කරන ක්ෂුද්‍ර ජීවීන් වේ.

සම්භාව්‍ය ව්‍යාධිජනකයා

[සංස්කරණය]

සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවි සමුදායේ ජිවත් නොවන, නමුත් දේහයට ඇතුළු වූ විට අනිවාර්යයෙන්ම රෝගයක් ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් වේ.

රෝගය (ආ රෝගය)

[සංස්කරණය]

ක්ෂුද්‍ර ජීවි ආසාදනය, ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය, හා ක්ෂුද්‍ර ජීවී ඵල ආදියේ ප්‍රතිඵලයක් ලෙස කායිකව ඇතිවන දුබල තත්ත්වයයි.

ව්‍යධිජනකතාවය

[සංස්කරණය]

ක්ෂුද්‍ර ජීවීන් මගින් ධාරකයා ආසාධනය වූ විට එම ධාරකයා තුළ රෝගයක් හට ගැන්වීමට ක්ෂුද්‍ර ජීවීයාට ඇති හැකියාවයි.

ධාරකයා ලෙස හඳුන්වන වෙනත් ජීවියෙකු මත හෝ එම ජීවියාගේ පටක තුළ වාසය කරමින් ධාරකයාගෙන් පෝෂණය ලබා ගන්නා ජීවියා වේ.

රෝග ඇති කිරීමට බලපාන සාධක

[සංස්කරණය]
  • ව්‍යාධිජනකයාගේ නිසඟ ගුණ
මෙය ප්‍රචණ්ඩතා සාධක ලෙස හඳුන්වයි. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් තුළ අධික ප්‍රචණ්ඩතාවයක් ඇත. (උදා: පැපොල රෝගය සාදන වෛරසය). ඇතැම් ක්ෂුද්‍ර ජිවින්ගේ ප්‍රචණ්ඩතාවය ඉතා අඩුය. (උදා: සෙම්ප්‍රතිශ්‍යාව සාදන වෛරස).
ක්ෂුද්‍ර ජීවීන් නිසා රෝගයක් ඇති වීම වැලැක්වීමට, ධාරකයා විසින් ඇති කරන ආරක්ෂක ක්‍රියාවන් සඳහා රෝගකාරක ක්ෂුද්‍ර ජීවියා දක්වන ප්‍රතිචාරය ප්‍රචණ්ඩතාවයයි.
  • ධාරක ප්‍රතිරෝධය
රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් දේහයට ඇතුළු වීම, ඔවුන්ගේ තහවුරු වීම වැලැක්වීමට ධාරකයාට ඇති හැකියාව ධාරක ප්‍රතිරෝධයයි.
  • ආසාදනයට සහභාගී වන ක්ෂුද්‍ර ජීවි මාත්‍රාව
මෙය ව්‍යාධිජනකයාගේ ප්‍රචණ්ඩතාවය හා ධාරකයාගේ ප්‍රතිරෝධය අනුව වෙනස් විය හැකිය. අධික ප්‍රචණ්ඩතාවයක් ඇති ක්ෂුද්‍ර ජීවීන් සුළු මාත්‍රාව පවා රෝගයක් ඇති කිරීමට හේතු වේ.
  • පරිසර සාධක, දේශගුණික සාධක
  • ධාරකයාගේ පෝෂණ මට්ටම
ධාරකයා සහ ව්‍යාධිජනකයා අතර සම්බන්ධතාවය ගතික වේ. ක්ෂුද්‍ර ජීවි මාත්‍රාව, ප්‍රචණ්ඩතා සාධක සහ ධාරක ප්‍රතිරෝධය මත ආසාදනය වෙනස් වේ.

රෝග සෑදීමට හේතු වන ව්‍යාධිජනකයා සතු විශේෂ ලක්ෂණ

[සංස්කරණය]

මේ සඳහා ව්‍යාධිජනකයාගේ ආක්‍රමණකතාවය හා ධූලකජනකතාවය බලපායි.

ආක්‍රමණකතාවය

[සංස්කරණය]

මිනිස් සෛල හා පටක ආක්‍රමණය කර පටක තුල ගුණනය වීමේ හැකියාව මෙසේ හඳුන්වයි. ව්‍යාධිජනකයා විසින් නිපදවන බහිස්සෛලීය එන්සයිම ගණනාවක්, ආක්‍රමණකතාවය සඳහා හේතු වේ.

එන්සයිමය ආක්‍රමණකතාවයට දායක වන අන්දම
පොස්පොලයිපේස් සත්ත්ව සෛල පටලය විනාශ කරයි.
ලෙසිතිනේස් සෛල පටලයේ ලිපිඩ වල ඇති ලෙසිතින් නම් සංරචකය ජල විච්ඡේදනය කරයි.
හයලුරොනිඩේස් සෛල අතර ද්‍රව්‍ය එකට බැඳ තබන හයලුරොනික් අම්ලය බිඳ දමමින් පටක විනාශ කරයි.

කිරීමට

ධූලකජනකතාවය

[සංස්කරණය]

සෛල වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා කරන ධූලක නම් ජෛව රසායනික ද්‍රව්‍ය නිපදවීමට ක්ෂුද්‍ර ජීවියාට ඇති හැකියාවයි. මේවා ප්‍රෝටීන් හෝ පොලිසැකරයිඩ වේ. ක්ෂුද්‍ර ජීවින් විසින් නිපදවන මෙම ධූලක ජෛව විෂ ලෙසද හඳුන්වයි. මේවා ප්‍රධාන වර්ග දෙකක් ඇත.

  1. අන්තර්ධූලක
  2. බහිර්ධූලක

අන්තර්ධූලක

[සංස්කරණය]

ක්ෂුද්‍ර ජීවී සෛලයේම කොටසක් ලෙස මෙම ධූලක පවතී. මේවා තාප ස්ථායි ධූලක වේ. උදා: Salmonella typhi සෛල බිත්තියේ ඇති ලිපොපොලිසැකරයිඩ.

බහිර්ධූලක

[සංස්කරණය]

මෙය සෛල වලින් පිටතට ශ්‍රාවය කරන ද්‍රව්‍යයකි. මේවා ප්‍රෝටීන සයුතියක් ඇති බැවින් තාප අස්ථායි වේ. එබැවින් නැටවිමේදී විනාශ වේ. මේවා ග්‍රෑම් + හෝ ග්‍රෑම් - බැක්ටීරියා මගින් නිපදවයි.

ධූලකය බලපෑම නිපදවන ක්ෂුද්‍ර ජීවීන්
නියුරෝටොක්සින් (Neurotoxin) ස්නායු ආවේග සම්ප්‍රේෂණයට බලපෑම් ඇති කරයි. Clostridium tetani
එන්ටරෝටොක්සින් (Enterotoxin) ආමාශ ආන්ත්‍රික මාර්ගයේ සෛල අධිකව උත්තේජනය කරයි. Clostridium botulinum
සයිටොටොක්සින් (Cytotoxin) සෛල වලට පහර දී හානිකර විනාශ කරයි. Corynebacterium diphtheriae

ක්ෂුද්‍ර ජීවීන් දේහයට ඇතුළු වන ප්‍රවේශන මාර්ග

[සංස්කරණය]

මිනිස් සිරුර තුලට ව්‍යාධිජනකයනට ඇතුළු වීමට ඇති මාර්ග ගණනාවකි. මේවා ප්‍රවේශ මාර්ග ලෙස හඳුන්වයි. බොහොමයක් ව්‍යාධිජනකයන් ධාරකයාගේ බිඳවැටුණු පටක හරහා දේහය තුලට ඇතුළු වේ. ඇතැම් ව්‍යාධිජනකයන් ශ්වසන මාර්ගය, ආමාශ ආන්ත්‍රික මාර්ගය, මෞත්‍රලිංගික මාර්ගය, ඇසේ අක්ෂිපටලයේ ඇති ශ්ලේෂ්මල පටලය හරහා දේහයට ඇතුළු වේ.ව්‍යාධිජනකයන් වැඩි ගණනක් දේහයට ඇතුළු වන්නේ නිශ්චිත ස්ථානයකින් පමණි. (උදා:Clostridium tetani වියළි හමේ පතිත වූ විට හානියක් සිදු නොවේ නමුත් තුවාලයක් මත පතිත වූ විට පිටගැස්ම ඇති වේ. මොවුන් ධූලක නිකුත් කරයි. මේවා රුධිර සංසරණය හරහා දේහය පුරා ව්‍යාප්ත වේ. මේ නිසා පිටගැස්ම ඇති වේ).

ධාරක ප්‍රතිරෝධය

[සංස්කරණය]

ජීවී දේහය තුලට ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වීම වැලක්වීමටත් ඔවුන් ජීවි දේහය තුළ වර්ධනය වීම මැඩ පැවැත්වීමටත් ධාරක් දේහය සතු අනුවර්තන මෙසේ හඳුන්වයි. මෙම ආරක්ෂක යාන්ත්‍රණය කොටස් දෙකකට බෙදිය හැක.

  1. විශිෂ්ට නොවන ආරක්ෂක යාන්ත්‍රණය (අවිශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය)
  2. විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය

විශිෂ්ට නොවන ආරක්ෂක යාන්ත්‍රණය

[සංස්කරණය]

ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවින් විසින් ආසාදන ඇති කිරීමට එරෙහිව, මුලින්ම ඇති කරන භෞතික සහ රසායනික බාධක විශිෂ්ට නොවන ආරක්ෂක ලෙස හඳුන්වයි. මෙම ආරක්ෂක යාන්ත්‍රණ සහජයෙන්ම ලැබෙන අතර උපතේ සිටම මෙමගින් ආරක්ෂාව ලැබේ. මෙම ආරක්ෂක යාන්ත්‍රණ ඕනෑම ව්‍යාධිජනක විශේෂයක් කෙරෙන් ධාරකයා ආරක්ෂා කර ගනී.

  1. සම මගින් ඇති කරන ආරක්ෂක යාන්ත්‍රණය
  2. ශ්ලේෂ්මල පටලය
  3. දේහ තරල වල ඇති ප්‍රති ක්ෂුද්‍ර ජීවි ද්‍රව්‍ය
  4. භක්ෂ සෛලිකතාවය
  5. ප්‍රදාහක ප්‍රතිචාර

මිනිසාගේ දේහය ආවරණය කරමින් සම පිහිටා තිබේ. සම,

  1. දේහය තුලට ක්ෂුද්‍ර ජීවින් ඇතුළු වීම වළක්වන භෞතික බාධකයක් ලෙස ක්‍රියා කරයි. (සමේ අපිචර්මයේ සෛල ඉතාම සමීපව ඇහිරී ඇති නිසා)
  2. අපිචර්මයේ බාහිර සෛල ස්ථර වල කෙරටින් තැන්පත් වී තිබේ. මෙම කෙරටින්, සම මත ජිවත් වන ක්ෂුද්‍ර ජිවින්ට එන්සයිම මගින් පහසුවෙන් විනාශ කල නොහැක. තවද කෙරටින් නිසා සම හරහා දේහය තුලට ජලය ඇතුළු වීම වැළකේ.
  3. දහදියෙ සහ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි ශ්‍රාව (සීබම්) වල අඩංගු බැක්ටීරියා නාශක ද්‍රව්‍ය (ප්‍රති ක්ෂුද්‍ර ජීවි ද්‍රව්‍ය), සම මත ක්ෂුද්‍ර ජීවින් තැන්පත් වීම හා ඔවුන්ගේ වර්ධනය වලක්වයි.

ශ්ලේෂ්මල පටලය

[සංස්කරණය]

දේහ තරල වල ඇති ප්‍රති ක්ෂුද්‍ර ජීවී ද්‍රව්‍ය

[සංස්කරණය]

ලයිසොසයිම

[සංස්කරණය]
අම්ල වර්ග
[සංස්කරණය]

භක්ෂ සෛලිකතාවය

[සංස්කරණය]

රුධිරයේ ඇති නියුට්‍රොෆිල, ඉයොසිනොෆිල, මොනොසයිට, වැනි සෛල වර්ග මේ සඳහා දායක වේ. සම්බන්ධක පටක වල ඇති මහා භක්ෂාණු සෛල, දේහයට ඇතුළු වන ක්ෂුද්‍ර ජීවින් භක්ෂණය කර විනාශ කරයි.

ප්‍රදාහක ප්‍රතිචාර

[සංස්කරණය]

ක්ෂුද්‍ර ජීවි ආසාදනයක දී හෝ පටක වලට හානියක් සිදු වූ විට ඇතිවන සමාන්යිත ප්‍රතිචාර, ප්‍රදාහක ප්‍රතිචාර ලෙස ලෙස හඳුන්වයි. මෙම ප්‍රදාහක ප්‍රතිචාර නිසා ක්ෂුද්‍ර ජීවින් මුල් ස්ථානයේ සිට පැතිරී යාම වලක්වයි. මෙම ප්‍රදාහක ප්‍රතිචාරයක දී පහත ලක්ෂණ දැකිය හැක.

  1. ආසාධිත ස්ථානය රතු වීම.
  2. ඉදිමීම.
  3. උෂ්ණත්වය ඉහල යෑම.
  4. වේදනාවක් ඇති වීම.

විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය

[සංස්කරණය]

මිනිස් දේහය තුලට විවිධ වෛරස, බැක්ටීරියා, දිලිර වැනි ක්ෂුද්‍ර ජීවින් සහ පරාග වැනි ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු වීම නිසා විශිෂ්ට ආරක්ෂක පද්ධතිය දේහය තුල ආරම්භ වේ. මෙම ජීවින් හෝ ද්‍රව්‍ය, ප්‍රතිදේහ ජනක ලෙස හඳුන්වයි. මෙම ප්‍රතිදේහ ජනක වලට එරෙහිව ප්‍රතිදේහ නිපදවීම මගින් විශිෂ්ට ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති වේ. මෙම ප්‍රතිදේහ විශිෂ්ට වූ ආගන්තුක ජීවින් හෝ ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වී ඒවා විනාශ කරමින් දේහ ආසාදන වලක්වයි. මෙය පරිචිත ප්‍රතිශක්තිය ලෙස හඳුන්වයි. (ප්‍රතිදේහ මගින් ඇතිවන ප්‍රතිශක්තිය පරිචිත ප්‍රතිශක්තිය ලෙස හඳුන්වයි). පරිචිත ප්‍රතිශක්තිය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

  1. සක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය
  2. අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය

සක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය

[සංස්කරණය]

ධාරකයා තුළට ප්‍රතිදෙහජනකය හෝ ධූලකය හෝ ඇතුල් වීම හෝ ඇතුල් කිරීම නිසා ධාරක දේහය තුල, විශිෂ්ට වූ ප්‍රතිදේහ හෝ ප්‍රතිධූලක ඇති වීම නිසා ඇති වන ප්‍රතිශක්තිය මෙසේ හඳුන්වයි. සක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

  1. ස්වභාවික සක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය
  2. කෘත්‍රිම සක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය
ස්වභාවික සක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය
[සංස්කරණය]

ධාරකයාගේ දේහය තුලට ස්වභාවිකව ප්‍රතිදේහ ජනක හෝ ධූලක ඇතුල් වීම නිසා ඇතිවන ප්‍රතිශක්තිය මෙසේ හඳුන්වයි. මෙම ප්‍රතිශක්තිය, ජිවිත කාලය පුරාම හෝ දිගු කාලයක් පැවතිය හැක. උදා: පැපොල්, සරම්ප, කම්මුල්ගාය වැනි රෝග සෑදෙන විට ඇති වන ප්‍රතිශක්තිය

කෘත්‍රිම සක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය
[සංස්කරණය]

ධාරකයා තුළට මරණ ලද හෝ බෙලහීන කරන ලද හෝ ක්ෂුද්‍ර ජීවින් හෝ විෂ නැසූ විෂ (Toxoid), එන්නත් මගින් ලබා දේ. එන්නත් සම තුළට, පේශි තුළට, රුධිර සංසරණයට හෝ මුඛ මාර්ගයට ලබා දිය හැක. උදා: පෝලියෝ, රුබෙල්ලා, ජලභීතිකාව, සරම්ප, හෙපටයිටිස් B, පිටගැස්ම, ඩිප්තිරියා

අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය

[සංස්කරණය]

මෙහිදී ධාරකයාගේ දේහයට පිටතදී නිපදවනු ලබන ප්‍රතිදේහ (නිමි ප්‍රතිදේහ) හෝ ප්‍රතිධුලක ඇතුළු කරනු ලැබේ. එවිට ධාරකයාගේ දේහය තුල ඇති වන ප්‍රතිශක්තිය මෙසේ හඳුන්වයි. දේහය තුල ස්වභාවික ක්‍රියාවන් හේතුවෙන්, ඇතුල් කල ප්‍රතිදේහ හෝ ප්‍රතිවිෂ ක්‍රමයෙන් බිඳ වැටේ. එබැවින් අක්‍රිය ප්‍රතිශක්තිය ක්‍රමයෙන් අඩු වේ. නමුත් සක්‍රිය ප්‍රතිශක්තිය ඇති වීමට පැය ගණනාවක් ගත වුවද මෙම අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය මගින් ඉක්මනින්ම ආරක්ෂාව ලැබේ. අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය ප්‍රධාන ආකාර දෙකකි.

  1. ස්වභාවික අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය
  2. කෘත්‍රිම අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය
ස්වභාවික අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය
[සංස්කරණය]
කෘත්‍රිම අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය
[සංස්කරණය]

මෙහිදී ධාරකයාගේ දේහය තුලට වෙනත් ජීවින් තුල නිපදවූ ප්‍රතිදේහ හෝ ප්‍රතිධුලක ඇතුළු කිරීම නිසා ඇතිවන ප්‍රතිශක්තිය මෙසේ හඳුන්වයි. උදා: ප්‍රතිටෙටනස් එන්නත - පිටගැස්ම වැලැක්වීමට, ප්‍රති රේබීස් එන්නත - ජලභීතිකාව වැලැක්වීමට


ක්ෂුද්‍ර ජීවීන් නිසා හට ගන්නා රෝග වැලැක්වීම

[සංස්කරණය]
  1. ක්‍රමවත් සනීපාරක්ෂක ක්‍රම භාවිත කිරීම. උදා: ආහාර හා ජලය පිරිසිදුව තබා ගැනීම, ක්‍රමවත්ව තනු වැසිකිළි භාවිතය
  2. ව්‍යසාධක හා ප්‍රතිපුතික ද්‍රව්‍ය භාවිත කිරීම.
  3. ප්‍රතිශක්තිකරණ ක්‍රම භාවිත කිරීම.
  4. රසායනික චිකිත්සාව
  5. ප්‍රතිජීවක භාවිත කිරීම.
ප්‍රතිජීවකය ක්ෂුද්‍රජිවින්ට බලපෑම
පෙනිසිලින් බැක්ටීරියා සෛල බිත්තිය සංස්ලේෂණය නිශේධනය කරයි.
පොලිමික්සින් බැක්ටීරියා සෛල වල පාරගම්‍යතාවයට හානි පමුණුවයි.
එරිත්‍රොමයිසින් බැක්ටීරියා වල ප්‍රෝටීන් සංස්ලේෂණය නිශේධනය කරයි.
කෘත්‍රිම සිෆ්‍රෝෆ්ලොක්සසින් බැක්ටීරියා වල DNA සංස්ලේෂණය නිශේධනය කරයි.
කීටෝකොනැසොල්/ක්ලෝට්‍රිමසෝල් දිලීර වල සෛල පටල සංස්ලේෂණය නිශේධනය කරයි.

වෛරස මගින් ඇති වන රෝග

[සංස්කරණය]
රෝගය රෝග කාරකයා සම්ප්‍රේෂණය දේහයට ඇතුළු වන ස්ථානය
සරම්ප (Measles) Paramyxovirus ප්‍රශ්වාස වාතයේ බිඳිති ශ්වසන මාර්ගය
කම්මුල්ගාය (Mumps) Paramyxovirus ප්‍රශ්වාස වාතයේ බිඳිති සහ ඛේටය ශ්වසන මාර්ගය, ස්නායු පද්ධතිය
ඉන්ෆ්ලුවෙන්සා (Influenza) Myxovirus ප්‍රශ්වාස වාතයේ බිඳිති ශ්වසන මාර්ගය
සෙම්ප්‍රතිශ්‍යයාව (Common cold) Myxovirus ප්‍රශ්වාස වාතයේ බිඳිති ශ්වසන මාර්ගය
වසූරිය (Small pox) Poxvirus ප්‍රශ්වාස වාතයේ බිඳිති ශ්වසන මාර්ගය
පැපොල (Chicken pox) Vericella-zoster (Hepes) virus ප්‍රශ්වාස වාතයේ බිඳිති, ස්පර්ශය, රෝගියෙකු භාවිත කල දුෂිත භාණ්ඩ මගින් ශ්වසන පද්ධතිය
ඩෙංගු (Dengue) Arbovirus වාහක මදුරුවන් මගින් සංසරණ පද්ධතිය
හර්පීස් 1 Herpes simplex-1 ස්පර්ශය මුඛයේ ශ්ලේෂ්මල පටලය
හර්පීස් 2 Herpes simplex-2 ලිංගික ස්පර්ශය ප්‍රජනක අවයව වල ශ්ලේෂ්මල පටලය
පෝලියෝ (Poliomyelitis) Poliovirus මළ ද්‍රව්‍ය හා මළ ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වූ ජලය සහ ආහාර මගින් ආහාර මාර්ගය
ජලභීතිකාව (Rabies) Rhabdovirus ඛේටය තුවාල සහ සතුන් සපා කෑ ස්ථාන වලින්
හෙපටයිටිස් A Hepatitis A virus මළ ද්‍රව්‍ය හා මළ ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වූ ජලය සහ ආහාර මගින් ආහාර මාර්ගය
හෙපටයිටිස් B Hepatitis B virus ආසාධිත රුධිරය (සමහර විට ශුක්‍ර තරලය, ශ්වසන ශ්‍රාව) මවගෙන් දරුවාට, ශ්ලේෂ්මල පටල, ආහාර මාර්ගය, අක්මාව
ඒඩ්ස් (AIDS) HIV (Retrovirus) ආසාධිත රුධිරය, දේහ තරල, ශුක්‍ර තරල මවගෙන්, ශ්ලේෂ්මල පටල, රුධිර සංසරණය

බැක්ටීරියා මගින් ඇති වන රෝග

[සංස්කරණය]
රෝගය රෝග කාරකයා
ගලපටලය Corynebacterium diphtheriae
මස්තිෂ්ක සුෂුම්නා පටල ප්‍රදාහය Neisseria meningitidis
නියුමෝනියාව Streptococcus pneumoniae
ක්ෂය රෝගය Mycobacterium tuberculosis
කක්කල් කැස්ස Bordetella pertussis
Coccidioidomycosis Coccidioides immitis
ෂිගෙල්ලා අතීසාරය Shigella spp.
Histoplasmosis Histoplasma capsulatum
Brucellosis (Undulant fever) Brucella spp.
කොළරාව Vibrio cholerae
Salmonellosis Salmonella enteritidis
S. typhimurium
S. cholerae
ටයිපොයිඩ් උණ Salmonella typhi
බොටියුලිනාව Clostridium botulinum
ගොනෝරියාව Neisseria gonorrhoeae
සිෆිලිස් Treponema pallidium
Gasgangrene Clostridium perfrigens
පිටගැස්ම Clostridium tetani
Leptospirosis Leptospira inferrogans
Plague Yersinia pestis
මැලේරියාව Plasmodium spp
ඇමීබා අතීසාරය Entamoeba histolytica